Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනෙහි සමබර ප්‍රවේශයක් ඇති කර ගන්නා ලෙස ජනපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටි

(-Colombo, November 18, 2024-)

President Dissanayake Urges IMF to Strike a Balance in Economic Recovery Program

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජයේ අමාත්‍යවරු පිරිසක් හමු විය.

තම රජය විසින් දිනා ගනු ලැබූ ජනවරමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිසාධනය කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සුදානම් බව මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවත වරක් තහවුරු කරනු ලැබීය.

President AKD At The discussion of the next steps in the IMF program

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම, ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ලබා ගන්නා ලද තීරණාත්මක මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව සිය සුබ පැතුම් එක් කළ අතර නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළහ.

IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳා පවතින්නේ පවත්නා පාලනය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ගොඩනැඟීම මත බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවරමට අනුව කටයුතු කිරීම තම පරිපාලනයේ වගකීම බව අවධාරණය කළේය.

Senior Mission Chief Peter Breuer At discussion of the next steps in the IMF program

ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තම රජය කැපවිමෙන් කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳවද සලකා බලා සමබර ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියේය. තම නායකත්වය යටතේ ළමා දරිද්‍රතාවය සහ මන්දපෝෂණය පිටුදැකීම මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා සහයෝගය ලබා දීම ආදී අත්‍යවශ්‍ය සුබසාධනයට ප්‍රමුඛත්වය දෙමින්, සමාජ සේවා සඳහා වන ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කරන බවට ද ජනාධිපතිවරයා සහතික විය.

පසුගිය කාලයේ සමාජ සේවා වියදම් සඳහා වූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළ අතර, සම්පත් කාර්යක්ෂමව වෙන් කිරීම සහ භාවිතය සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳවද මෙහි දී ජනාධිපතිවරයාව දැනුවත් කළහ.

K M Mahinda Siriwardana At discussion of the next steps in the IMF program

රට පාලනය කිරීම සහ දූෂණයට එරෙහි වීම යන කරුණු පිළිබඳව මෙහි දී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් විය. ජනතාව ලබා දුන් ජනවරමේ ප්‍රධාන අංගයක් වන දූෂණයට එරෙහි සටන සඳහා තමන් හා තම රජය කැපවීමෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේය.

එම කටයුතුවල විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සහ අනෙකුත් ආයතනික ව්‍යුහ වැඩිදියුණු කිරීම සඳහා තම රජය දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා IMF කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළේය.

Senior Mission Chief Peter Breuer And The Team At discussion of the next steps in the IMF program

මෙම හමුව රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සහයෝගීතාවයේ සාධනීය ඉදිරි පියවරක් සනිටුහන් කරනු ලැබූ අතර, එමඟින් ආර්ථිකය ප්‍රතිසාධනය සහ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මූලික වටපිටාව සකස් කෙරිණි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද, කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුද, මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.