Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“මුස්ලිම් සමාජය බියගැන්වීමට යවන මඩ වීඩියෝවලින් මුළා වෙන්න එපා” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්-

(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ පඬුවස්නුවර රැලිය – 2024.08.20-)

Muneer-Mulaffar-At-Panduwasnuwara-Public-Rally

ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැලි අපි දකුණෙන් පටන් ගත්තා. ජයග්‍රාහී ලෙස රට පුරාම රැලි පවත්වමින් යන අතරේ පඬුවස්නුවර ජනතාව ආමන්ත්‍රණය කරන්න පැමිණියා. රනිල් වික්‍රමසිංහ මහත්තයා රට පුරාම පෝස්ටර් ගහලා තියෙන්නේ ‘පුළුවන්’ කියලා. ඊට කලින් මහජන සල්ලි වියදම් කරලා පෝස්ටර් ගැහුවේ එයා ජනාධිපති කියලයි. ලබන මාසයේ විසිඑක වෙනකම් ඔහු ජනාධිපති වුණත්, විසිඑක්වැනිදා ඡන්දයේදී දේශපාලන පවුල් පසුබිමකින් පත් නොවී ‘පුනරුද ගමනට’ නායකත්වය දෙන අනුර දිසානායක සහෝදරයා නියත වශයෙන්ම ජනාධිපති කරනවා. සමහර මුස්ලිම් නායකයන් වාගේ දේශපාලන සූදු කෙළින්න නොවෙයි, අපි ජාතික ජන බලවේගයේ වේදිකාවට නැග්ගේ. තනතුරු, තානාන්තර, වරප්‍රසාද ලබා ගන්න ඕනෑ නම්, මේ වේදිකාව සුදුසු නැහැ. මුස්ලිම් සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙරට තිබෙන දූෂිත දේශපාලන පක්‍ෂ සමඟ ගිවිසුම් ඇති කර ගන්නා ආකාරය අපි දැක්කා. උගත්, තරුණ, නූතන මුස්ලිම් ප්‍රජාව ඒ අයට උත්තර දී තිබුණේ, ජාතික ජන බලවේගය සමඟ එක් වන බවට ප්‍රකාශ කරමිනුයි. පැය හතරක් විසන්ධි කර තිබුණු විදුලිය පවුල් දශලක්‍ෂයකගේ සදහටම විසන්ධි කරන්න රනිල්ට හැකි වී තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සීමා කරන්න රනිල්ට හැකි වී තිබෙනවා. රනිල් අපට අභියෝගයක් නොවන බව ඔබ සැම දෙනාම දන්නවා.

හොරු රැළකට මේ රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති මත දේශපාලනය කරන බව කියන අතර, ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ කෙනාත්, එය ගොඩනඟන බව කියන කෙනාත් එතැන ඉන්නවා. විල්පත්තුව කැපුවා කියන කෙනාත්, විල්පත්තුව රැකගන්නවා කියූ කෙනාත් එතැන ඉන්නවා. පක්‍ෂ මාරු කළ විට නඩු දාන කෙනාත්, පක්‍ෂ මාරු කළ ජී.එල්. පීරිස්ලාත් එතැන ඉන්නවා. එවැනි වටාපිටාවක තමයි, සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති ගැන කතා කරන්නේ. ආගමික නායකයන් ලෙස වෙන දේ බලාගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතිව හෘදයසාක්‍ෂියක් තිබෙන නිසා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී වශයෙන් බෙදීමට විරුද්ධව අපි මාලිමාව සමඟ එක්වූවා. ආඩම්බරයෙන් ශ්‍රී ලාංකික ජාතිය අපියි කිවහැකි දේශපාලන නායකත්වය තිබෙන්නේ ජාතික ජන බලවේගයේ පමණයි. අද වෙන කොට මුස්ලිම් සමාජය තුළ මඩ වීඩියෝ ක්ලිප් බෙදාහැරෙමින් තිබෙනවා. මුස්ලිම් සමාජයත්, බෞද්ධ සමාජයත්, ව්‍යාපාරිකයනුත් විවිධ බොරු ප්‍රචාර මඟින් බියගන්වන්න උත්සාහ කරනවා. නමුත්, අපි හැමෝම පුනරුද යුගයක් වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමුයි කියන ඉල්ලීම අපි සියලුම දෙනාගෙන් කරනවා.

Ruwan-Dissanayake-At-Panduwasnuwara-Public-Rally

“සියලු කලාකරුවන්ට ආදරයේ වේදිකාවට එකතු වෙන්න ආරාධනා කරනවා”
-ප්‍රවීණ සංගීතවේදී දර්ශන රුවන් දිසානායක-

නිදහසින් පසුව අවුරුදු හැත්තෑපහකට වැඩි කාලයක් අපේ රට පාලනය කළේ එකම කණ්ඩායමක් බවයි මම හිතන්නේ. ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදී මාරුවෙන් මාරුවට රට පාලනය කළ බව දැන් අපි කවුරුත් දන්නවා. කලාකරුවන් හැටියට අපිත් ඒ ප්‍රධාන කණ්ඩායම් දෙකට බෙදී අනුකණ්ඩායම්වලටත් බෙදී පැමිණීම නිසා අපට අහිමි වී තිබෙන්නේ ආදරයයි. ආදරය කියන්නේ විශාල පරාසයක්. කලාකරුවන් හැටියට අපට ආදරය පිරි ජනතාවක් ගොඩනඟා ගන්න නොහැකි වී තිබෙනවා. ආගම්, ජාති, පක්‍ෂ, පාට හැටියට බෙදී ඇති වුණු ගැටුම් සියල්ල අවසන් කර ආදරයේ නාමයෙන් සියලු දෙනා එකට එකතු කරන්න අපට හැකි වී තිබෙනවා. අහසින් වැටුණු වතුර බිඳුවලට, අව් රශ්මියට, හමන සුළඟට සීමා මායිම් නැතිවා වාගේම ජාතික ජන බලවේගයේ වේදිකාවටත් ආදරයේ සීමා මායිම් නැති බවයි මම හිතන්නේ. අනෙකුත් කලාකරුවන්ටත් මම කියන්නේ ආදරයේ මේ වේදිකාවට එකතු වෙන්න කියලයි. එළැඹෙන සැප්තැම්බර් විසිඑක් වැනිදා මගේ උපන් දිනය දවස. එදාට මම සමරන්නේ ජීවිතයේ වැදගත්ම උපන් දිනය බව මට විශ්වාසයි. අනුර සහෝදරයා ජනාධිපති ලෙස පත් වන්නේ ඒ දිනයේයි. කලාකරුවන් හැටියට අප ළඟ තිබෙන්නේ සෞන්දර්යයේ බලයයි. ඒ බලයට මිනිසුන්ව වෙනස් කරන්න පුළුවන්. ගොඩක් මාධ්‍ය එක පැත්තකට එකතු වී තිබෙන අතර, ජාතික ජන බලවේගයේ සෙනඟ පෙන්වන්න කැමරා කෝණ මඳි තරම් විශාලයි. අපි මේ වේදිකාවට ඇවිත් තිබෙන්නේ කිසිම දෙයක් ගන්න නොවෙයි, මේ කාර්යයෙන් පස්සේ වේදිකාවෙන් බැහැලා යනවා. රදළ දේශපාලනය කවදාවත් අපේ රටේ බිම් මට්ටමේ ජනතාවට අවස්ථාවක් ලබා නොදුන් බව මතක තබාගෙන විසිඑක් වැනිදාට මාලිමාවට කතිරය ගහන්න.

Nadee-Kammallaweera-At-Panduwasnuwara-Public-Rally

“අද අපේ දේශපාලන තීන්දුව ගැන ඉදිරි පරම්පරාවන් කෘතවේදීත්වය පළ කරාවි”
-ප්‍රවීණ රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර-

මේ ගෙවී යන්නේ මගේ, ඔබේ, අපේ රටේ තීරණාත්මකම සති කිහිපය බව මම විශ්වාස කරනවා. රටේ පුරවැසියන් විදියට අවුරුදු හැත්තෑහයක් පුරා අතිශය කටුක වේදනා විඳි අපට අද අප ඉදිරිපිට තිබෙන්නේ ඓතිහාසික වගකීමක්. සිහිකල්පනාව ඇතිව මේ රටේ ජීවත් වන ඕනෑම කෙනකුට සැප්තැම්බර් විසිඑක් වැනිදා ගත යුතු තීරණය මොකක් දැයි පැහැදිලියි. අපි වැටී සිටින අගාධයෙන් ගොඩ එන්න නම්, තිබෙන එකම මාවත ජාතික ජන බලවේගයේ අනුර දිසානායක සහෝදරයා විශාල බහුතර ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරවීම පමණයි. ඒ විශ්වාසය ඔබ සියලු දෙනාටත් තිබෙන බව මම දන්නවා.

සුළු පිරිසක් තවමත් මීදුම් දුමාරයක වාගේ ඉන්න බව කලා ක්‍ෂේත්‍රයේ අත්දැකීම් තුළින් මම දන්නවා. මේ තිබෙන අන්ධකාරයෙන් ගොඩ එන්න තිබෙන්නේ මාලිමාව පමණක් බව හදවතින් කියා ගන්න බැරිව ඉන්න අයටයි මම කතා කරන්නේ. මේ රට වෙනස් කරන්න ඕනෑ බව හිතනවා නම්, මාලිමාව හැර වෙනත් විකල්පයක් තිබෙනවාද කියන ප්‍රශ්නය මම අහනවා. රට විනාශ කළ අයටම රට ගොඩ ගන්න පුළුවන්ද කියලා මම අහනවා. මාලිමාව එක් පැත්තකත්, අනෙක් අපේක්‍ෂකයන් අනෙක් පැත්තේත් තියලා හදවතින් සහ නුවණින් එකවර තීරණය කරන්න කියා මම ඉල්ලා සිටිනවා. මම මෙය භාරගෙන තිබෙන්නේ ඡන්දයක් විදියට නොවෙයි, මගේ ජීවිතය සහ මගේ එකම දරුවාගේත්, සමස්ත රටවැසියන්ගේත් ජීවිත දිනා ගැනීමේ සටනක් ලෙසයි. අවුරුදු කිහිපයක් මම ජීවත් වුණේ ලෝකයේ දියුණුයි කියලා විශ්වාස කරන රටක. දියුණු අධ්‍යාපනයක් තිබෙන මනුෂ්‍යයන්ට මනුෂ්‍යයන් ලෙස සලකන රටේ නායකයාටත්, පුරවැසියන්ටත් එකම නීතියක් ක්‍රියාත්මක වන රටක සිටියේ. අපි අද ඉන්නේ එවැනි රටක් ලෙස හැඳින්විය හැකි තත්වයක් තිබෙන රටක නොවෙයි. අවම වශයෙන් ලෙඩකට බෙහෙත් ගන්න ඉස්පිරිතාලයට ගියාම දෙන බෙහෙත්වලින් මැරෙන්නේ නැති වෙයි කියලා විශ්වාසයක් තියා ගන්න පුළුවන්ද? මෙතෙක් අපි බලයට පත් කළ පාලකයන් කොතෙක් දුරට මනුෂ්‍යත්වය පිරි අය වූවාද?

මම මේ කතා කරන්නේ දේශපාලනයකට වඩා සමස්ත ජනතාවගේම ජීවිත ගැනයි. අවුරුදු හැත්තෑහයක් තිස්සේ මැතිවරණයකදී කතා කරන්නේ එදා වේල සොයා ගැනීම ගැන නම්, මේ රටේ සිටි පාලකයන් සිදු කර තිබෙන්නේ මොනවාද? අද අපි ගන්නා දේශපාලන තීන්දුව ගැන අපේ දරුවන් පරම්පරා ගණනාවක් කෘතවේදීත්වය පළ කරාවි. තවදුරටත් එදා වේල ගැන සිතමින්, බඩු මල්ලකට ඡන්දය දෙන්න තීරණය කරනවා නම්, අපේ දරුවන් අපට ශාප කරාවි. එසේ නොවී නුදුරේදීම උදා වන පුනරුද යුගයේ කොටස්කරුවන් හැටියට එක් වන ලෙස මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මාලිමාව හැර අපට වෙන කිසිදු විකල්පයක් නැහැ.

Sirithilaka-Bandara-At-Panduwasnuwara-Public-Rally

“මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කළ දේශපාලන යුගය නිමා කරමු”
-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ පඬුවස්නුවර ප්‍රධානී, විශ්‍රාමික කපිතාන් සිරිතිලක බණ්ඩාර-

යුද හමුදාව තුළ සක්‍රිය සේවයේ සිටි ඉතිහාසයක් අපට තිබුණා. අපට තිබුණේ, වසර තිහක් පැවැති යුද්ධය නිමා කිරීමේ අභියෝගයයි. ඒ අභියෝගය ජය ගැනීමෙන් පසුව අප සියලු දෙනාට මේ රටේ සාමයෙන් ජීවත් විය හැකි යැයි අප විශ්වාස කළා. නමුත්, එය එසේ නොවුණු බව අප හැමදෙනාම දන්නවා. නමුත්, මේ වන විට නිවැරදි ප්‍රතිපත්ති සහිත නායකත්වයක් තිබෙන ජාතික ජන බලවේගය රට භාර ගැනීමට සූදානමින් සිටිනවා. එළඹෙන සැප්තැම්බර් 21වැනිදා පඬුවස්නුවර ආසනයේ අප සියලු දෙනාම ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණයෙන් ආරම්භ කරමු කියන ඉල්ලීම කරනවා. ඔබේත්, මගේත්, අපි හැමෝගේමත් ජීවිත සමඟ සෙල්ලම් කළ දේශපාලන යුගය මේ රටෙන් නිමා කරමු. අපි ‘අදිටන ත්‍රිවිධ හමුදා සාමුහිකය’ පිහිටුවාගෙන කටයුතු කරන්නේ කියන චේතනාවෙනුයි. රට පුනරුද යුගයක් කරා ගෙන යාමේදී අපට පැවරී තිබෙන කාර්යභාරය නිවැරදිව ඉටු කරමු කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

Sanjeewa-Karunasagara-At-Panduwasnuwara-Public-Rally

“පුනරුද යුගයේ ගෞරවනීය කොටස්කරුවන් ලෙස අත්වැල් බැඳ ගනිමු”
-ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් විධායක සභික සංජීව කරුණාසාගර-

අද මේ වේදිකාවේ ඉන්න බහුතරයක් ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ සිටි අය නොවෙයි. වේදිකාව ඉදිරියේ රැස් වී ඉන්න අයත් එහෙමයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ලෙස තෝරා ගත් පසු මහා මැතිවරණයේදීත් එක්සත් ජාතික පක්‍ෂයට, පොහොට්ටුවට, සජිත් ප්‍රේමදාසලාට සක්‍රියව වැඩ කළ බොහෝ පිරිසක් කිසිදු දේශපාලන භේදයකින් තොරව එළැඹෙන 21වැනිදා අනුර දිසාානයක සහෝදරයා ජනාධිපති කරවන්න උරෙනු’ර ගැටෙමින් වැඩ කරනවා. අපට ඉතිරිව තිබෙන්නේ බොහොම කෙටි කාලයයි. මේ දක්වා අපි හැමෝම දුක් විඳි, නීරස ජීවිතය නිමා කර පුනරුද යුගයේ ගෞරවනීය කොටස්කරුවන් ලෙස තවදුරටත් අත්වැල් බැඳ ගනිමින්, ඉදිරියට එන බව අපට විශ්වාසයි. සතුරෝ බොහොම කලබල වෙලා සිටියත්, ඒ කිසිවකින් නොසැලෙන ජනතාවක් මේ රට ගොඩනැඟීමේ කාර්යභාරයට එක් වී අවසන්. ලබන 21වැනිදා වන තෙක් හැමෝම බලාගෙන සිටින්නේ කිසිම ඉස්පාසුවක් නැතිවයි.

Namal-Karunarathne-At-Panduwasnuwara-Public-Rally

“ඉතිහාසයේ පළමු වතාවට ජනතා හදගැස්ම දැනෙන අපේක්‍ෂකයෙක් ජනාධිපති වෙනවා”
-සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න-

මම මෙයට පෙර සිටි ගල්ගමුව නගරය එකම ජන ගඟක්. මහව, වාරියපොළ, බණ්ඩාරකොස්වත්ත, නිකවැරටිය, කොබෙයිගනේ ජන හමු ගණනාවක් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැවැත්වෙනවා. ඒ හැම තැනකම එකම හිස් ගොඩක් තිබුණු බව වාර්තා වෙනවා. අපේ රැස්වීම්වලට අනෙකුත් ආසනවලින් ජනතාව ගේන්න බැහැ. ඒ හැම තැනකම තම තමන්ගේ රැස්වීම්වලට සහභාගී වන අතර, සමගි ජන බලවේගයේ රැස්වීම්වලට හොරොව්පතාන, කහටගස්දිගිලිය, දඹුල්ල, මාතලේ, ආණමඩුව විතරක් නොවෙයි, ගම්පහින් පවා බස් දාලා සෙනඟ ගෙන්වලා තිබුණා. කුරුණෑගල සත්‍යවාදී පිටිය පුරවා ගන්නවත් ඔවුන්ට නොහැකි වුණා. වෙනත් දිස්ත්‍රික්කවලින් පවා ගෙන්වා ගත්තාට වඩා වැඩි සෙනඟක් අද මෙතැන ඉන්නවා. මේ ඔක්කොම පඬුවස්නුවර ආසනයේ අපේ ආදරණීය ජනතාවයි. ඒ විතරක් නොවෙයි, සමුපකාර ඡන්දවලදී, අධ්‍යාපන සමුපකාර ඡන්දයේදී මාලිමාව ඉහළින්ම දිනලයි මේ අවස්ථාවට සහභාගි වන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමුපකාර දහයක ඡන්දය මාලිමාව දිනද්දී, එක සමුපකාරයක ඡන්දයක් දිනා ගන්න සජබට පුළුවන් වුණාද? ලබන මාසයේ 21වැනිදා ඡන්ද ප්‍රතිඵලයත් මේකමයි. මාලිමාවට අපි ඡන්ද හදනවා වාගේම ඒ ගොල්ලොත් ඡන්ද හදනවා. ඒ ගොල්ලෝ රැස්වීම් තියන කොට, පිල් පනින කොට මාලිමාවට ඡන්ද වැඩි වෙනවා. පඬුවස්නුවර ආසනය වෙනුවෙන් සිටි රත්නසේකරත්, දයාසිරිත් දෙන්නාම එකම තැනට පැන්නා. ඒ ගොල්ලෝ පැන්නාට ඡන්දදායකයෝ පනින්නේ නැහැ.

දයාසිරිලා පනින පනින ආකාරයට පනින්න බැරි බව ප්‍රකාශ කරමින් ඔහුට ඡන්දය දුන් ඡන්දදායකයන් මාලිමාව වටා එකතු වෙමින් සිටිනවා. ඓතිහාසික පඬුවස්නුවර රාජධානියේ සියලුම දෙනා මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වී සිටිනවා. ගොවි ජනතාව, කුකුළු කර්මාන්තයේ යෙදී සිටින ජනතාව ඇතුළු මේ රටේ නිෂ්පාදන ආර්ථිකයට උර දෙන ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳමින්, ජාතික ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමේ වැඩපිළිවෙළ අපි සකස් කර අවසන්. අපේම ආණ්ඩුවක් පත් කර ගැනීමේ පළමු පියවර ලෙස අපේම නායක, අනුර දිසානායක සහෝදරයා ජනාධිපති හැටියට පත් කර ගනිමු. රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ බෑනා. සජිත් ප්‍රේමදාස ආර්. ප්‍රේමදාස ජනාධිපතිගේ පුතා. නාමල් රාජපක්‍ෂ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පුතා. ඒ වාගේම ජනාධිපති ගෝඨාභයගේ සහෝදරයාගේ පුතා. ඒ ගොල්ලන්ට ඥාතිකම් අනුව අපේක්‍ෂකයන් තෝරාගෙන ඉන්න අතර, ඉතිහාසයේ පළමු වතාවට අපි හැමෝගේම ගම්බිම් නියෝජනය කරමින්, ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරියටම ඇවිත් සිටිනවා. මගේ අම්මත් කණ අත්සන ගහන්නේ. අනුර සහෝදරයාගේ අම්මත් කණ අත්සන ගහන්නේ. සාමාන්‍ය අම්මා, තාත්තාගේ පුතෙක් හැටියට විශ්වවිද්‍යාලයට ගිය, ඇවිදින පුස්තකාලයක් වැනි දැනුමක් තිබෙන, සාමාන්‍ය ජනතාවගේ හදගැස්ම දැනෙන පුතෙක් ජනාධිපති කරවන්න මුළු රටම සූදානමින් ඉන්නවා. පඬුවස්නුවර ජනතාවගේ සියයට හැත්තෑපහකට වඩා වැඩි ඡන්දයක් අනුර සහෝදරයා වෙනුවෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.