Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය.

(-Colombo, October 10, 2024-)

Pakistan High Commissioner Greetings President Anura Kumara Dissanayake

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වූ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතා ශක්තිමත් කර ගැනීමේ පාකිස්ථානයේ කැපවීම ද අවධාරණය කළේය.

Pakistan High Commissioner Discuss With The President Anura Kumara Dissanayake

ශ්‍රී ලංකා පාකිස්ථාන දීර්ඝකාලීන සබඳතාව මෙහිදී සිහිපත් කළ පාකිස්ථාන මහකොමසාරිස්වරයා පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත එවනු ලැබූ විශේෂ සුබ පැතුම් පණිවිඩය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

එම සුබපැතුම් පණිවිඩයේ පකිස්ථාන ජනාධිපතිවරයා මෙලෙස සඳහන් කර තිබේ. “ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර වන සමීප සබඳතාව මම බෙහෙවින් අගය කරමි. ප්‍රජාතන්ත්‍රවාදය, බහුත්වවාදය, නීතියේ ආධිපත්‍යය, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය යන කරුණු මත පදනම් වී ඇති අපගේ සහයෝගීතාව තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. එය අප දෙරටේම සුබ සිද්ධිය සඳහා හේතු වන බව මගේ විශ්වාසයයි.”

Pakistan High Commissioner See Documents With President Anura Kumara Dissanayake

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දීර්ඝකාලීන දේශපාලන සහ ආරක්ෂක සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළ අතර ආරක්ෂක ක්ෂේත්‍රයේදී පකිස්ථානයේ සහාය නොමඳව ශ්‍රී ලංකාව‍ට ලබා දෙන බවට මහ කොමසාරිස්වරයා සහතික විය.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර පවතින සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. දැනට වෛද්‍ය අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට පාකිස්ථානයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරෙන අතර ඉදිරියේදී කෘෂිකර්මය සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රයන් සඳහා ද අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

Pakistan High Commissioner And The Team Discuss With The President Anura Kumara Dissanayake

ග්‍රාමීය දරිද්‍රතාව මැඩලීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ඇති ශක්තිමත් සබඳතාව මෙම හමුවේදී තවදුරටත් තහවුරු කෙරුණු අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එම සබඳතා වර්ධනය කරගැනීමට දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.

Pakistan High Commissioner And President Anura Kumara Dissanayake