Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“මේ වෙලාවේ වැඩවර්ජන කියන්නේ ජනතාව ද්‍රෝහී පාලකයන් වෙත තල්ලුකර හැරීමක්” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත-

(-ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පුනරුදයේ සම්ප්‍රාප්තිය වැඩපිළිවෙළ ජනගත කිරීම – 2024.07.11-)

NTUC

තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් කියලා අපි සෑහෙන කාලයක් කතා කළා. මම ඉස්කෝලේ යන කාලයේ ඒ කතාව ඇසුවාම මට අවුරුදු 60ක් වෙනකොටවත් දියුණු වෙයි කියලා හිතුවා. අපේ දූදරුවෝ තරුණ අවධියට එනකොට රට දියුණු වෙලා තියෙයි කියලා හැඟීමක් ඇති වුණා. නමුත් 2022 අප්‍රේල් මාසයේදී අපි බංකොලොත් රටක් කියලා ප්‍රකාශ කළා. දැන් අපි ආර්ථික, සමාජ, සංස්කෘතික හැම පැත්තෙන්ම කඩා වැටුණු බංකොලොත් රටක්. පාලකයොත් ඒක නිල වශයෙන් පිළිගත්තා. වැඩකරන ජනතාව හැටියට රාජ්‍ය අංශය, අර්ධ රාජ්‍ය අංශය, සහ ආර්ථිකයේ ප්‍රධානම කොටස වන පෞද්ගලික අංශය සහ වතු ක්ෂේත්‍රය තිබෙනවා. ඒ වගේම විශ්‍රාම ගිය අයගේ ජීවිත සම්බන්ධයෙනුත් කතා කළ යුතුයි. මේ සියලු ක්ෂේත්‍ර කඩා වැටිලා තිබෙන්නේ. වෘත්තිය සමිති ඉල්ලීම් පදනම් කරගත් සියලු සටන් ක්‍රියාමාර්ග දියත් වෙන්නේ පෙර කියූ බංකොලොත් තත්වය යටතේ. මෙයට පෙර එවැනි අවස්ථාවක් තිබුණේ නැහැ.

බංකොලොත්භාවයට පත්වුණු නිසාම 2022දී එතෙක් පැවති දේශපාලනයෙන් මහජනතාව කැඩී වෙන්වුණා. එහි එක ප්‍රතිඵලයක් තමයි ගෝඨාභය රාජපක්ෂට තනතුර අතහැර පලා යන්න සිදුවීම. අරගලයේදී ජනතාව දේශපාලන සංස්කෘතියෙන් කැඩී වෙන්වුණා. 2022 මැයි 09දා අගමැති පලා ගියා. ඊළඟට ඇමති මණ්ඩලය පලා ගියා. ඊළඟට 2022 ජූලි මාසයේ ගෝඨාභය රාජපක්ෂ පලා ගියා. මේ රටේ පැවති දේශපාලනයෙන් කැඩී වෙන්වුණු ජනතාව පාරට බැහැලා අරගලයක් කළ නිසා වෙනම තත්වයක් ඇති වුණා. ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික කඩා වැටීම වගේම පාලකයන් පලා යාම නිසා දේශපාලනයේ අලුත් තත්වයක් ඇති වුණා. මේ වන විට පාලකයන් පලවා හරින්න ඕන කියලා වැඩකරන ජනතාව පෙළගැසී ඉන්න දේශපාලනයක් නිර්මාණය වෙලා තිබෙනවා. කඩා වැටීමට උත්තරය විදිහට පාලකයන් පන්නන්න ජනතාව පෙළගැසී සිටිනවා. පාලකයෝ හැර හැමෝම පොදුවේ පීඩාවට පත්වෙලා ඉන්නේ. ඒ නිසා පාලකයන් පලවා හැර අපේ රටට අලුත්ම තත්වයක් පුනරුදයක්, මෙයට පෙර අපේ රටේ ඇති නොවූ අලුත් තත්වයක් නිර්මාණය කර ගැනීමේ වුවමනාවකින් මුළු රටම පෙළෙනවා. ඒ සඳහා වන සටනක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එය මැතිවරණ භූමියේ සටනයි.

මැතිවරණ භූමියේ සටනෙන් මෙතෙක් සිටි පාලකයන්ට ජයග්‍රහණය කරන්න බැරි බව පාලකයන් සහ ජනතාව තේරුම්ගෙන සිටිනවා. පළාත් පාලන ඡන්දය කල්දැමීම, පළාත් සභා මැතිවරණය ගැන කතා කරන්නේ පවා නැතිවීම, ජනාධිපතිවරණය අභියස විවිධ රඟදැක්වීම් තුළින් පාලකයන්ට ජයග්‍රහණය කළ නොහැකි බව පැහැදිලිව තේරුම් යමින් තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම කියන සංවාදයෙන් පටන් ගත් විවිධ සාකච්ඡා තවදුරටත් කරළියට ගෙන එමින් පවතිනවා. බොහෝදුරට ඔක්තෝබර් 05වැනි සෙනසුරාදා ජනාධිපතිවරණය පවත්වයි කියලා විශ්වාස කරනවා. මෙතෙක් සිටි පාලකයන් පලවා හැර වැඩකරන ජනතාව මූලික කරගත් ප්‍රගතිශීලී ජනතාවගේ පාලනයක් පිහිටුවා ගැනීමේ ආසන්නයට අපි ඇවිත් ඉන්නවා. ඒ නිසා අපේ වෘත්තීය සටන් ක්‍රියාමාර්ග තෝරන්නේ මේ නව දේශපාලන තත්වය පිළිබඳව හොඳින් සලකා බලමිනුයි. එහෙම නැතිව සටන් ක්‍රියාමාර්ග තෝරන්න කාටවත් අයිතියක් නැහැ. වැඩකරන පංතියට සහ පීඩිත ජනයාට තමන්ගේම වූ පාලනයක් පිහිටුවා ගන්න ආසන්න මොහොතකදී ඕනෑම ඉල්ලීමක් සම්බන්ධයෙන් මේ නව දේශපාලන තත්වය ගැන කල්පනා කළ යුතුමයි. තත්වයන් ගෙන් පරිබාහිරව සටන් නැහැ.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික සහ වතු ක්ෂේත්‍රයේ වගේම විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට උත්තර සොයන්නේ කොහොමද කියන එක සලකා බලන්න ඕනෑ, මේ පවතින තත්වය යටතේයි. එයින් වියුක්ත වී තීරණ ගන්න ප්‍රගතිශීලී කිසිකෙනෙකුට හැකියාවක් නැහැ. වැටුප් විෂමතා ප්‍රශ්නයක් සහ තවත් කරුණු පදනම් කරගෙන දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මකයි. රුපියල් 25,000ක් දක්වා දීමනාවක් ලබාගැනීම වෙනුවෙන් තවත් අරගලයක් යනවා. ඊට කලින් වෛද්‍යවරුන්ට රුපියල් 35,000ක් වූ දීමනාව 70,000 දක්වා වැඩි කළා. එය වැඩිකරන්න ඕනෑ. ඒ සම්බන්ධයෙක් කිසි ගැටලුවක් නැහැ. මාණ්ඩලික තලයේ අයටත් වැඩි කළා. ඒ එක්කම අනිත් අයට වැඩිකරන්න ඕනෑ කියන සටනත් හරියටම හරි. ගුරුවරුන්ගේ අරගලයේදී වෘත්තිය සමිති එකමුතුවක් තිබෙනවා. ඒ එකමුතුවකින් වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කර, මේ දක්වා ලබාගත යුතුව තිබෙන වැටුප් වර්ධකයේ 2/3ක කොටස ලබාගැනීමට ගෙන ආවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් වැඩවර්ජන නොවෙන උද්ඝෝෂණ තිබෙනවා. විශ්වවිද්‍යාල වර්ජනය තවම තිබෙනවා. එතන සියලු වෘත්තිය සමිති එකතු වී ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් ඔක්කෝම සාධාරණයි.

NTUC

මේ තත්වය තුළ වෘත්තිය ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනතාවගේ විරෝධයක් පවතිනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නය බරපතළයි. කොරෝනා ප්‍රශ්නයේ ඉඳලාම ආර්ථික අර්බුදය දක්වා දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා තිබෙන්නේ. මේ වගේ වටපිටාවක ගුරුවරු වැඩවර්ජනයක් කළාම දෙමාපියන්ට සහ දරුවන්ට රිදෙනවා. මේ පාලකයන් පලවා හැරලා නව පාලනයක් පිහිටුවා ගැනීමේ අරගලයේදී ගුරුවරු, දෙමාපියන්, දරුවන්, සියලු දෙනාම ඉන්නේ එක පැත්තේ. වැඩවර්ජනයකදී සිදුවන්නේ ඒක දෙකට බෙදීමයි. දෙමව්පියන් සහ දරුවන් එක පැත්තක හිටගෙන ගුරු විදුහල්පතිවරු අනෙක් පැත්තේ හිටගන්නවා. එල්ලෙන්න වැලේ වැල් නැතිව ඉන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු පාලක කල්ලිය දෙමව්පියන් සහ දරුවන්ගේ පැත්තේ හිට ගන්නවා. පොදු ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න පිදුරු ගහක හරි එල්ලෙන්න පාලක කල්ලිය උත්සාහ කරනවා. ගුරු විදුහල්පතිවරුන්ගේ වර්ජනය රනිල් වික්‍රමසිංහලා එල්ලෙන්න වැලක් බවට පත්කර ගන්නවා. ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ දැක්ම අනුව මේ වෙලාවේ ගුරුවරුන්ගේ වැඩවර්ජනය පාලකයන්ට එල්ලෙන්න අවස්ථාවකුත් පොදු අරගලයට අවාසියකුත් නිර්මාණය වෙනවා. අපි කියන්නේ ගුරු විදුහල්පතිවරුන්ට මේ පාලනය පන්නන්න අරගල කරමු කියලා. ඔව්, මේ පාලකයන්ගෙන් 2/3ක වැටුප් වැඩිවීම දිනා ගන්නත් බැහැ.

අපි වැඩවර්ජනය නොකර, වෙනත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල යෙදීමට යෝජනා කරනවා. නමුත් වෘත්තිය සමිතිවලින් අඛණ්ඩ වැඩවර්ජනයක් කරමු කියන යෝජනාව එනවා. මහින්ද සහෝදරයා වගේ කෙනෙකුට ඒ වගේ තැනකදී පංතියේ සමගිය තියාගන්න තත්වයන් තුලනය කර ගන්න ඕනෑ. පොදු ක්‍රියාමාර්ගවල ඉන්නත් ඕනෑ. එම වෘත්තිය සමිතිවල දැක්ම ජාතික අරගලය වෙත රැගෙන එන්න අභ්‍යන්තර අරගලයක් කරන්න වෙනවා. වැඩවර්ජනය වෙනුවට ගුරුවරු, දෙමාපියන් සහ පොදු ජනතාව සම්බන්ධ කර ගත් ඉදිරි වෙනත් ක්‍රියාමාර්ගවලට යන්න එකඟ වී තිබෙනවා. එය හොඳ තත්වයක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉල්ලීම් දිනා ගන්න වැඩවර්ජනයකට යා යුතු බව යෝජනා කළ අවස්ථාවේ අපි එය නොසුදුසු බව ප්‍රකාශ කළා. අපි සියලුම දෙනා එකතු වී “ඉල්ලීම් ලබාදෙන්න බැරි පාලකයන් පලවා හරිමු” කියන සටන් පාඨය ඉදිරියට ගන්න ඕනෑ. දුම්රිය වැඩවර්ජනයක් කරනවා නම් දින කිහිපයකට පෙර එය ප්‍රකාශයට පත්කරන ලෙස බොහෝ කාලයක සිට අපි ඒ සහෝදරවරුන්ට පෙන්වා දී තිබෙනවා. වැඩ ඇරිලා සවස ගෙදර යන්න එනවිට වැඩවර්ජනය කරලා නම් පොදු ජනතාව අසීමිත පීඩාවකට පත්වෙනවා. වෘත්තිය සමිති ව්‍යාපාරය මේ කරුණු ගැන වැඩිදුරටත් අවධාරණය කරන්න ඕනෑ.

මේ පාලකයන් වැඩකරන ජනතාවට ලබාදුන් සටන් භූමි තිබුණා. මහපාර එක සටන් භූමියක්. මහපාරේ උද්ඝෝෂණ ජාතික මට්ටමකට ගෙන ආවොත් ඒක වැඩවර්ජනයකට වඩා ප්‍රබලයි. උද්ඝෝෂණ එක්ක පොදු ජනතාව සම්බන්ධ වෙනවා මිස එරෙහි වෙන්නේ නැහැ. නමුත් ගුරුවරුන්ගේ වැඩවර්ජනයක් කළොත් දෙමාපියන් සහ දරුවන් එරෙහි වෙනවා වගේම පාලකයන්ට එල්ලෙන්න පිදුරු ගසුත් හම්බ වෙනවා. අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනත් අධ්‍යාපනය විනාශ කරන්න ක්‍රියාකළ රනිල් වික්‍රමසිංහලා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින වීරයින් බවට පත්වෙන්නත් අවස්ථාව සලසා ගන්නවා. වැඩවර්ජනය තුළින් සමාජය දෙකට බෙදෙනවා. උද්ඝෝෂණයේ ප්‍රබලත්වය එන්නේ නිවැරදි මතවාදී ජයග්‍රහණයකින්. 5/6ක බලයක් තිබූ ආණ්ඩුවක් එක්ක පොදු ජනතාව සිටි 1980 ජූලි වර්ජනය අවස්ථාවේ පාලකයන්ට එය තලාපෙලා දාන්න හැකි වුණා. අද පොදු ජනතාව පෙළගැසී ඉන්නේ පාලකයන් පලවා හරින්න. එවැනි අවස්ථාවක පොදු ජනතාවගෙන් පිටතට සටන ගෙන යනවා කියන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව පාලකයන්ට ඉඩ සලසා දීමක්.

NTUC

මේ දක්වා විවිධ සටන් භූමිවල වෘත්තිය ක්‍රියාමාර්ග යෙදී තිබුණත් පොදු ජනතාවට මැතිවරණ සටන් භූමියේ දිනන්න හැකි වී නැහැ. එක්කෝ බලවේග මර්දනය කළා. පක්ෂ තහනම් කළා. නමුත් ලංකාවේ පළමුවැනි වතාවට ඔවුන්ගේ සටන් භූමියක් වූ මැතිවරණ භූමියට ඉතාම සංවිධානාත්මකව පොදු ජනතාව කඩා වැදී තිබෙනවා. ඒ නිසා පාලකයන් නිතරම උත්සාහ කරනවා, වෘත්තිය සමිති සහ ජනතාව අතර බෙදීමක් ඇති කරන්න. නමුත් පාලකයන් වෙට්ටු දාලා ජනතාවගේ අයිතීන් ලබානොදී මැතිවරණත් කල්දාන්න උත්සාහ කරනවා නම්, සටන් භූමිය වඩාත් ශක්තිමත් කර ගනිමින් යා යුතු වෙනවා. එසේ නොකර පාලකයන්ට එල්ලෙන්න වැල් ලබාදීම විශේෂයෙන් සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉඩ ලබානොදිය යුතුයි. අඛණ්ඩ වැඩවර්ජන නැහැ, අඛණ්ඩ අරගල තිබෙනවා. මේ යන්නේ ගෝල්ෆේස් අරගලයේ තවත් අදියරක්. ගෝල්ෆේස් එකේ සම්පූර්ණ කර ගන්න බැරිවූ ජයග්‍රහණය මැතිවරණ සටන් බිමේදී ලබා ගන්න ආසන්න වෙමින් සිටිනවා. ජනාධිපති කාර්ය මණ්ඩලයේ වැටුප් ලබන වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා අය ජනතාව පීඩාවට පත්කරන වෘත්තිය සමිති අරගල එළියට දාන්න නොයෙක් උත්සාහ කරනවා. දුම්රිය වර්ජනය එහෙම වර්ජනයක්ද කියලා සැකයක් අපට මතුවෙනවා. පැරණි සම්ප්‍රදායන් මත පදනම් වෙලා අරගල කරන යුගයක් නොවෙයි දැන් තිබෙන්නේ. වෙනස්ම තත්වයක් තිබෙන්නේ. මේ තත්වය සමග වෙනස් වී නව අරගල හඳුන්වා දෙන්න බැරි නම්, එය මෙතෙක් පැවැති වෘත්තිය සමිති අරගලවලටත් සිදුකරන අපරාධයක්. දැනුවත්ව හෝ නොදැනුවත්ව අරගලයේ ජයග්‍රාහී කොඩිය එසවීමට එරෙහි ක්‍රියාමාර්ග ගන්නවා නම්, එය ද්‍රෝහී ක්‍රියාවක්.

කළ යුත්තේ පුනරුද යුගය ලබා ගැනීමට අලුත් තත්වයන් සමග වෙනස් වීමයි. මෙතැනින් ඉදිරියට ජනතාවාදී පාලනයක් පිහිටුවා ගන්නා වටපිටාවක වෘත්තිය අරගල සටන්, සියල්ල කරන අතරේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය කිසිදු වැඩවර්ජනයකට සහභාගී නොවීම ස්ථිරයි. අනෙකුත් වෘත්තිය සමිතිවලට අපි යෝජනා කරන්නේ හැමදෙනාම එක්වී මේ පාලකයන් පන්නා දමමු කියලයි. ලෝක ඉතිහාසය පුරාම පැවති සටන් සියල්ලම ප්‍රගතිශීලී නැහැ. ප්‍රතිගාමී සටන් තිබිලා තියෙනවා. ප්‍රගතිශීලී කොටස් අතර ප්‍රතිගාමිත්වයේ කොටස් සටන් කරනවා. සටනක් නොකළ යුතු වෙලාවක වැඩිපුරම සටන් ඉල්ලන්නේ ප්‍රතිගාමී කණ්ඩායම්. මේ තත්වයන් හඳුනාගන්න අපට හැකි වෙන්න ඕනෑ. රනිල් රාජපක්ෂලා මුළුමනින්ම පලවා හැරීමට වැඩවර්ජනයක් කැඳවූවොත් හැර ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය වෙනත් ඉල්ලීම් පදනම් කර ගත් වැඩවර්ජන කරන්නේ නැහැ. ඒ වෙනුවට වෙනත් අරගල ඕනෑ තරම් තිබෙනවා. පසුගිය දවස්වල “වැඩ නතර කර සටන් කරනවා මිස වැඩ කරමින් සටන් කරන්නේ නැත.” කියලා සටන් පාඨයක් ආවා. මේ සටන් පාඨය රනිල්ලාගේ නැතිනම් සජබ එකක් මිස පොදු ජනතාවගේ නොවෙයි. බැලූ බැල්මට ප්‍රගතිශීලී වුණත් ගැඹුරින් බැලුවාම මේ සටන් පාඨය පට්ට ප්‍රතිගාමියි. මහින්දලා ගෝඨාභයලා පැන්නුවේ වැඩ කරමින් ගෙන ගිය අරගලවලින් තමයි.

ගුරුවරුන්ගේ දරුවන්ගේ වුවමනාවන් වෙනුවෙන් පාරට එන්න දෙමාපියන්ට පුළුවන්. විශේෂයෙන් මේ වෙලාවේ වැඩවර්ජන කියන්නේ ජනතාව ද්‍රෝහී පාලකයන් වෙත තල්ලු කර හැරීමක්. ඒ කියන්නේ පාලකයන් වෙනුවෙන් කරන සටනක්. නමුත් අපි ඉල්ලීම් දෙන්න බැරි පාලකයන් පන්නා හැරීමට පොදු අරගලයක් කරමු. ගෝල්ෆේස් අරගලය බාගයට සම්පූර්ණ නොකර පාර්ලිමේන්තුව වටකරන තැනට මුළු ජනතාවම ගෙන ආවා නම් ඒ අරගලය සම්පූර්ණ වෙනවා. නමුත් ඇතැම් ගෝල්ෆේස් අරගලයේ නායකයන් ඒ අරගලයට යන්න නොදුන්නා විතරක් නොවෙයි, නිවේදන පවා නිකුත් කළා. ජනාධිපති පලවා හැර පාර්ලිමේන්තුව තියා ගත්තාම නැවතත් ගොඩනැගූ ජනාධිපති ධුරය නිසයි ජනතාව දිගින් දිගටම බැට කන්නේ. ගෝල්ෆේස් අරගලය බාගයට කිරීම නිසා රනිල් වික්‍රමසිංහ කියන පාලකයෙක් දුෂ්ට පාර්ලිමේන්තුවෙන් ගොඩනගාගෙන මේ දක්වා ක්‍රියා කරනවා. අවුරුදු 76ක පාලනය පලවා හරින්න නිවැරදිව ක්‍රියා නොකළහොත් ගෝල්ෆේස් අරගලය වගේම මේ අවස්ථාවත් ගබ්සා විය හැකියි. අපි එයට ඉඩ නොදිය යුතුයි.

මැතිවරණ සටන් බිමේදී පීඩිත ජනතාව නැවත ඔසවා තිබෙන ජයග්‍රහණයේ කොඩිය එසවීම අනුවණ වැඩවර්ජනවලින් නැවත අඩපණ විය හැකියි. අනුවණ කියන්නේ පොදු ජනතාව බෙදන ක්‍රියාමාර්ගවලටයි. ගෝල්ෆේස් අරගලය ගබ්සා වුණා වගේ මේ අරගලයත් ගබ්සා වුණොත් ඒක අපරාධයක්. දැන් වෘත්තිය සමිති අරගලයේ ඉන්න ප්‍රතිගාමීන් තරම් සටන්කාමී නැහැ වෙන කවුරුවත්. මැතිවරණ බිමේ අරගලය අඩපණ කරන්න වෘත්තිය සමිති ප්‍රතිගාමිත්වය එනවා නම් වැඩබිමේ යහළු මිත්‍රකම් අත්හැර ඒ ප්‍රතිගාමිත්වය පරාජය කළ යුතුයි. ඒ වගේම වෘත්තිය සමිති සන්ධාන ප්‍රතිගාමිත්වයට යනවා නම්, අපි ඒ සන්ධානවලින් ඉවත්වී අපේ ස්ථාවරය මත නිවැරදි ක්‍රියාමාර්ග සහිතව අරගලය ඉදිරියට ගත යුතුයි. වැඩකරමින් අරගල කරන මූලික සටන් භූමිය ශක්තිමත් කිරීමේ නව ක්‍රියාමාර්ග සොයමු. වැඩකරන ජනතාවගේ බලයක් පිහිටුවා අපේ අයිතිවාසිකම් දිනාගනිමු.