Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අද රටේ පුරවැසියන් තවදුරටත් රැවටිය නොහැකියි” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

(-ජාතික ජන බලවේගයේ කාන්තාවෝ – මාධ්‍ය හමුව – 2024.08.08-)

NPPW-Press-Harini

මේ රටේ සිදුවුණු විශාල ජනතා පිබිදීමකින් පසුව, 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පළා යාමෙන් පසුව, සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණයට අපි මුහුණ දෙනවා. මේ ජනාධිපතිවරණය සුවිශේෂී ඓතිහාසික එකක් වන බව අපට විශ්වාසයි. අපි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා. එයින් පුරවැසියන්ගේ අපේක්ෂාව වී තිබෙන පුනරුද යුගයකට රට ගෙනයාමේ අවස්ථාව උදාවී තිබෙනවා. අරගලය තුළත් ඉදිරියෙන්ම සිටි ගැහැනු විශේෂ කාර්යභාරයක් ඉටුකළා. ඒ වගේම මාලිමාව වටා එක්කවුණු ගැහැනුන් “ගැහැනු අපි එක මිටට” කියන තේමා පාඨයෙන් විශාල දේශපාලනික සංවිධානය වීමක් සහ පිබිදීමක් ඇති වී තිබෙනවා. ඔවුන් නායකත්වය ගැනීම සඳහා පෙරට එමින් සිටිනවා. සැප්තැම්බර් 21 ඓතිහාසික තීන්දුවත් සමග මේ රටේ ගැහැනුන් අපේ සහෝදරියන් සංවිධානය කරමින් නායකත්වය ලබාදීම නිසා මහන්සි වී කැපවීමෙන් කටයුතු කර, ගැහැනු අපි නායකත්වය ගැනීමට බිය නැති පාලනයක් බිහිකර ගන්නා බව විශ්වාසයි. සහෝදරියන්, ගැහැනුන් තමන්ට අවශ්‍ය නායකත්වය ලබාගනිමින් ඉදිරි දින කිහිපය තුළ විශාල කාර්යභාරයක් සිදුකරන බව විශ්වාසයි.

මාලිමාවේ ගැහැනුන්ගේ ජාතික සමුළුව අගෝස්තු 25 වැනිදා කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඒ පිළිබඳ විස්තර ඉදිරියේදී ලබාදෙනවා. මේ රටේ ගැහැනු බලය, අනුර සහෝදරයා සමග එකට සිටගන්නා බව අපට විශ්වාසයි. විශාල වශයෙන් මුදල් වියදම් කරමින් බොරු කියමින් ආණ්ඩුව සහ ඒ හා සමාන අනෙකුත් පක්ෂ තමන්ගේ බංකොලොත්භාවය ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ඔවුන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ප්‍රධාන කරුණු කිහිපයක් ජනගත කරන්න සැලසුම් කර තිබෙනවා. මේ රට අර්බුදවලින් බේරා ගන්න ඉදිරිපත් වූ එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව නිතරම පවසනවා. මේක එක බොරුවක්. රාජපක්ෂ පවුලත් පොදු ජන එක්සත් පෙරමුණත් බේරා ගන්න රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත් කළ පසුව ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමෙන් හිස්වූ ජනාධිපති ධුරයට පොහොට්ටු මන්ත්‍රීවරු විසින් රනිල් වික්‍රමසිංහව පත්කර ගත්තා. මේ රනිල් වික්‍රමසිංහ ගෙනයන බොරු ප්‍රචාරයේ දෙවන කාරණය, ස්ථාවර කළ රට ඉදිරියට ගෙනයාම සඳහා රනිල් වික්‍රමසිංහ හැර වෙන කිසිවෙක් නැති බව ප්‍රකාශ කිරීමයි. පෝලිම් යුගය අවසන් කිරීමෙන් රට ස්ථාවර බව ඔවුන් කියනවා. නමුත් මේ ලෙස ප්‍රකාශ කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර කියන මූලික අවශ්‍යතා තුන හෝ සපයා ගන්න නොහැකි වී ජන ජීවිත කඩා වැටී තිබියෙදීයි. ජන ජීවිත කප්පාදු කරගෙන තිබෙන තත්වය පිළිබඳව අසංවේදී රනිල් වික්‍රමසිංහලා ජනතාව මුලාකරන්න විවිධ දත්ත ඉදිරිපත් කරනවා.

මෑතකදී පටන් ගත් තුන්වැනි බොරු ප්‍රචාරය “හොරු ආරක්ෂා කළේ නැහැ” කියන එක. මේ තරම් කුරිරු, විහිළු කතාවක් කිසිම තැනකදී මම අහලා නැහැ. මොහුගේ දේශපාලන ජීවිතය පුරාම සිදුකර තිබෙන්නේ ඔහුගේ යහළුවන් සහ හිතවත් අය ආරක්ෂා කිරිම වෙනුවෙන් බලය යෙදවීමයි. ඔහු පාතාල නායකයන් පවා ආරක්ෂා කර තිබෙනවා. බැංකු හොරුන් ආරක්ෂා කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්, රවී කරුණානායක, ආරක්ෂා කරන්න ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ අද කියන්නේ හොරු ආරක්ෂා කළේ නැහැ කියලා. එහෙම නම් 2015 යහපාලන ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූ වංචනිකයන්, දූෂිතයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිම වැළැක්වීමට මැදිහත් වුණේ කවුද කියලා අපි අහනවා. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීමෙන් හොරුන්, දූෂිතයන් පමණක් නොවෙයි, අපරාධකරුවන් ආරක්ෂා කරන්නත් ක්‍රියාකර තිබෙනවා. අද රටේ ඉන්නේ තවදුරටත් රැවටෙන්නේ නැති පුරවැසියන්. පරණ පුරුදු ඩීල් දේශපාලනයෙන්, බොරු කියන, රවට්ටන පොරොන්දු දේශපාලනය තුළින් මේ පාලක පැළැන්තියට තවදුරටත් පවතින්න විදිහක් නැහැ. ජනතාවාදී නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි වැඩියෙන කැපවෙමු කියලා මම ආරාධනා කරනවා.

NPPW-Press-Samanmali

“මේ ඡන්දය වෙනදාට වඩා බරකින් අපට දැනෙන්නේ පුනරුද යුගයේ ආරම්භය ගත යුතු නිසයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ-

ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින මොහොතක ගැහැනු අපි විශාල වගකීමකින් තීරණයක් ගත යුතු වෙනවා. ගැහැනු අපට අද වේලිලා, කර්කශ වී තිබෙන රට අලුත් බලාපොරොත්තු සහිත පුනරුද යුගයක් කරා පෙරලන්න ක්‍රියාකළ යුත්තේ කෙසේද යැයි අවබෝධයක් තිබීම අවශ්‍යයි. රට වැට්ටූ හොරු රැළ එපා කියලා, මේ දේශපාලන සංස්කෘතියම එපා කියලා පාරට බැස්සේ අපේ අම්මලා, තරුණ තරුණියන්, අපේ දරුවන්, මොනතරම් පීඩාවකට පත්වී සිටියාද කියන අවබෝධයෙන්. ජනාධිපති ප්‍රමුඛ දූෂිත පාලකයන් රැළ දැන් නැවතත් ජනතාවට කතන්දර කියන්න පටන්ගෙන තිබෙනවා. මේ රට අලුත් කරන්න දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතියේ නව පුනරුද යුගයකින් මුල සිට ආරම්භ කරන්න ඕනෑ. සැප්තැම්බර් 21 කියන්නේ ගැහැනු අපේ, අපේ දරුවන්ගේ, සමස්ත ජනතාවගේ වගේම ජීවිත තීරණය කරන දවසක්. ජාතික ජන බලවේගයේ ගැහැනුන් හැටියට මේ ඡන්දය වෙනදාට වඩා බරකින් අපට දැනෙන්නේ පුනරුද යුගයේ ආරම්භය ගත යුතු නිසයි. පසුගිය කාලයේ ගමින් ගමට ගිය අපි ගැහැනුන් සංවිධානය කරමින් දේශපාලනයේ පෙරමුණ ගන්න යොමු කර වූවා. ගැහැනුන් හැටියට තවදුරටත් ශක්තිමත් වී සියලු පුරවැසියන් නිවැරදි මාවතට ගෙනයාමේ කාර්යභාරයක් ඉතා හොඳින් සිදුකිරීමට නායකත්වය ගන්නා ලෙස ආරාධනා කරනවා.

අපේ හැමදෙයක්ම කොපි කරන අයට විශේෂ අවධානයක් කරමින් අපි කළුතරින් ගැහැනුන්ගේ රැලි මාලාවක් ආරම්භ කරනවා. මුළු ලංකාව පුරාම මේ රැලි මාලාව පවත්වා අගෝස්තු 25දා ජාතික මහා රැලියක් කොළඹදී පවත්වනවා. ඡන්දය දවසට විතරක් දේශපාලනයෙන් එළියට බැස්ස ගැහැනු මොනතරම් සවිඥානිකව දේශපාලනික වශයෙන් අවදිකරන්න ජාතික ජන බලවේගයට හැකි වුණාද යන්න අපි ඔප්පු කරනවා. මේ රට බංකොලොත්භාවයට පත්කළ නායකයන් අද කියනවා රට බංකොලොත්භාවයෙන් මුදා ගත්තා කියලා. මහ බැංකුව හොරකම් කරලා, මහජන මුදල් හොරකම් කරලා, පෝලිම් ඇති කළ නායකයන් දත්ත ඉදිරිපත් කරමින් ගෙන යන ප්‍රෝඩාව පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනෑ. 2022 අගෝස්තු මාසයේ උද්ධමන වේගය 64.3%කින් වැඩිවී තිබෙනවා. 2024 ජූලි මාසය වන විට උද්ධමන වේගය 2.4% දක්වා අඩු කළ බව කියනවා. උද්ධමනය අඩු වෙලා කීවාට අපේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවලින් මේ බව දැනෙනවාද? 2022 අගෝස්තු මාසයේ සම්බා හාල් කිලෝ එක රුපියල් 240යි. නාඩු රුපියල් 210යි. ආර්ථිකය හොඳයි කියන දැන් සම්බා කිලෝ එක රුපියල් 250යි. නාඩු කිලෝ එකක් රුපියල් 220 – 230 අතරේ පවතිනවා. උද්ධමන වේගය විශාල වශයෙන් අඩුවී ඇති බවත් ආර්ථිකය හොඳ බවත් ඔවුන් කීවත් මේ සංඛ්‍යා ලේඛන මහ පොළොවේ නැහැ. ගෙදර බත්පත උයාගන්න වැයවන වියදම වැඩිවෙලා මිස අඩුවී නැහැ.

ඒ වගේම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 අවුරුද්ද වෙනුවෙන් ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිවි තිබෙන්නේ අපේ රටේ ගෘහ ඒකකවලින් 90.1%කගේ මාසික ජිවන වියදම වැඩිවී ඇති බවයි. එහෙම නම් ආර්ථිකය ශක්තිමත්ද? වියදම වැඩි නිසා ආහාර වගේම තවත් අත්‍යවශ්‍ය වියදම් කපා හැර තිබෙනවා. බෙහෙත්හේත්වලට වියදම් කරන්න සල්ලි නැති නිසා අත්බෙහෙත්වලට යොමුවීමෙන් මහා ඛේදවාචකයක් සිදුවී තිබෙනවා. පවුල් ඒකක 53.1%ක් පාසල් උපකරණ මිලදී ගැනීම් අඩු කර තිබෙනවා. ගෘහ ඒකකවල අධ්‍යාපනයට සම්බන්ධ මාර්ගගත වියදම් 28.1%කින් කපා හැර තිබෙනවා. අමතර පංතිවලට සහභාගීවීම ගෘහ ඒකකවලින් 40.6%ක් අඩු කර තිබෙනවා. ජනාධිපතිගේ දිව නැවෙන නැවෙන ආකාරයට කරන ප්‍රකාශ ඇත්ත නොවෙයි. දරුවා අඳින, කනබොන ආකාරය මේ සංඛ්‍යා ලේඛනවලින් පවා තහවුරු වී තිබෙනවා. ඒ වගේම සිඟමන් යදින දරුවන් තිස්දහසක් සිටින බව මාධ්‍ය වාර්තාවලින් හෙළිකර තිබුණා. දරුවන් සිඟමන් යදින තත්වයට මේ රට නරාවළක් කළ පාලනය වෙනස් කරන්න මේ ජනාධිපතිවරණය යොදා ගනිමු. දරුවාට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදී, දෙමාපියන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර රජයේ වගකීමක් බවට පත්කර ගන්න නම් රටේම ගැහැනුන් එකමිටට එකතු වී අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ධුරයට පත්කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් ධෛර්යයෙන් එකතුවෙන ලෙස කාන්තාවන්ට ආරාධනා කරනවා.

NPPW-Press-Saroja

“ජනතාව නියෝජනය නොකළ මන්ත්‍රීවරු මේ වෙලාවේ එල්ලෙන්න වැල් සොයමින් සිටිනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ්-

මේ වන විට අපේ රට තුළ පුරවැසියන්ට ජීවත් විය නොහැකි තත්වයට පත් වී තිබෙන්නේ කාන්තාවන් හැටියට අපි අවබෝධයකින් තොරව ඡන්දය පාවිච්චි කළ නිසයි. නමුත් සැප්තැම්බර් 21 වැනිදින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කුළුඳුල් ඡන්දදායකයන්ද ඇතුළුව එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයකට වැඩි ඡන්ද දායකයන් ප්‍රමාණයක්, ඡන්දය පාවිච්චි කරන්න නියමිතයි. ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය වළපල්ලට යවමින් රටේ ජනතාවට ජීවත් විය නොහැකි තරමට ආර්ථික අර්බුදය උග්‍රකර තිබෙන මොහොතක සිංහල, දෙමළ, මුස්ලිම් සියලු පුරවැසියන්ට ජාතික සමගියෙන් ජීවත් විය නොහැකි තත්වයක් ඇති වී තිබෙනවා. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණයෙන් පසුව ආර්ථිකය ගොඩනඟා, නීතියේ ආධිපත්‍යය සහ විධානය තහවුරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමත් මූලිකව සිදුකරනවා.

බලය ලබාගැනීම වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අවස්ථාවාදී ලෙස බෙදා ජාතික සමගිය වළපල්ලට හෙළා ජනතාව නොමඟ යැවූ යුගය අවසන් කළ යුතු වෙනවා. ආර්ථික ස්ථායීතාව, නීතියේ හා විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යන මූලික කරුණු තුන මත පදනම් වී අලුත් රටක් ගොඩනඟනවා. මෙතෙක් රට පාලනය කළ අය සමග එක්වී වර්තමානය වන විට එල්ලෙන්න වැලක් නැතිව සිටි අය ඡන්දයට මුහුණ දිය නොහැකිව රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතරේ පිල් මාරුකරමින් සිටිනවා. ජනවරමෙන් පාර්ලිමේන්තුවට පැමිණ ජනතාව නියෝජනය නොකළ මන්ත්‍රීවරු මේ වෙලාවේ එල්ලෙන්න වැල් සොයමින් සිටිනවා. නමුත් බිමේ ජනතාව මේ තත්වය අවබෝධ කර ගනිමින් මාලිමාව වටා එකතු වී පුනරුද යුගයේ නියමුවා ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා තෝරාගෙන සිටිනවා. ජාතිවාදී ප්‍රශ්න ඇති කළ සෑම අවස්ථාවකම ඔහු මුස්ලිම් අන්තවාදයට හෝ දෙමළ ජාතිවාදයට හෝ සිංහල අන්තවාදයට ඉඩ නොදී ජාතික සමගිය වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාකර තිබෙනවා. වතු ජනතාවට රුපියල් 1700ක දෛනික වැටුපක් ලබාදෙන බවට රනිල් වික්‍රමසිංහ දුන් පොරොන්දුවද දැන් කඩකර අවසන්. බොරු පොරොන්දු දෙමින්, ජනතාව දරිද්‍රතාවයට හෙළා එදා වේලට බඩු මල්ලක් ලබාදෙන ගැලවුම්කරුවන් ලෙස පැමිණෙමින් ඡන්දය කොල්ලකෑම අවසන් කිරීමට ජනතාව දැනුවත් වී සිටිනවා. ජාතික ජන බලවේගය සමග එක්වී නිවැරදි දැක්මක් සහ ක්‍රියාමාර්ගයක් පවතින සමාජ සුභසාධනය සලසන ක්‍රියාමාර්ග අවබෝධ කරගෙන කාන්තාවන් හැටියට මුළු රටේම ප්‍රබෝධයකින් සැප්තැම්බර් 21දා ජයග්‍රාහී නියමුවන් ලෙස පෙරට එන බව සහතික කරනවා.

NPPW-Press-All

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය: මේ වන විට සහන දෙන්න පටන්ගෙන සමහර සංවර්ධන ව්‍යාපෘතිත් ගම්මට්ටමෙන් කරගෙන යනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඡන්ද ඉලක්ක කරගෙන මේ ක්‍රියාමාර්ග ගත් බව පැහැදිලියි. එය ජාතික ජන බලවේගයේ කාන්තාවන්ට අභියෝගයක්ද?

පිළිතුර:
අපිට නම් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. අවස්ථාවාදී දේශපාලනය හොඳින් තේරුම් ගන්න ජනතාව සමත්වී සිටිනවා. කාන්තාවන්ගේ කුස්සියේ ප්‍රශ්න, විශ්‍රාමිකයන්ගේ වැටුප් ප්‍රශ්න, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රශ්න විසඳන්න ඇත්ත වුවමනාවක් තිබුණා නම්, ඒ සඳහා ඕනතරම් කාලය තිබුණා. ඔවුන් මේ එන්නේ ප්‍රශ්න විසඳන්න නොවෙයි, අවස්ථාවාදී ඡන්ද ගුණ්ඩු අරගෙන. මැතිවරණ කොමිසම මේවා පිළිබඳව ඉතාමත් විමසිල්ලෙන් බැලිය යුතුයි. ජනතාව මේ බොරුවලින් රැවටිය නොහැකි බව අපට විශ්වාසයි.