-Colombo, January 05, 2024-
මේ වෙනකොට අපේ රටේ ජනතාවට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය දරාගත නොහැකි අන්දමේ බඩු මිල වැඩිවීමයි. පවුලේ ගෘහණියට, අපේ අම්මලාට බඩු මිල වැඩිවීමේ පීඩාව වැඩියෙන්ම දැනෙනවා. මුළු රටේම ඉන්න කාන්තාවන් මුහුණ දෙන පවුලේ ගින්දර පාලකයින්ට දශමයකින්වත් දැනේන්නේ නැහැ. 2024 අවුරුද්ද ලබද්දී සෑම කෙනෙකුටම දැනුනේ මහ භයානක ආර්ථික කඩාවැටීමක සේයාවක්. හෙට දවසේ ජීවත් වෙන්නේ කොහොමද, වැට් බදු බරට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන මහා කම්පනයක් සියලු දෙනාටම තිබුණේ. පත්තරේ එක පැත්තක අවුරුදු සුබ පැතුම් පළකර තිබුණත් අනෙක් පැත්තේ ජනවාරි පළමුවැනිදාම වැට් වදින හැටිත් තිබුණා. “භාණ්ඩ වර්ග 97කට අලුතින් වැට් ගහනවා, ඩීසල්, පෙට්්‍රල්, ගෑස්වලටත් වැට් වදිනවා. මේ නිසා උද්ධමනය වැඩිවෙනවා.” වැනි විවිධ මාතෘකාවලින් ප්‍රවෘත්ති පළවෙලා තිබුණා. අම්මලා නිරාහාරව සිටිමින් දරුවන්ට එක වේලක් හැර එක වේලක් හෝ කන්න දෙන්න පෙළඹේන්න තරම් පීඩාකාරී උද්ධමනයක් තිබෙන්නේ. දරුවන්ගේ දුක, කාන්තාවනගේ දුක, ජීවන බර, ආණ්ඩුවට, ඇමතිවරුන්ට තේරෙන්නේ නැහැ.
මිනිසුන්ගේ ආදායම රුපියලකින්වත් වැඩිවෙලා නැහැ. රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10000/-කින් වැඩිකරන බව කීවත් අනෙක් සියලු ජනතාව මත පටවන වැට්බදු බර දරාගන්නේ කොහොමද? 2024 අයවැය සම්මත කර ගන්න ඡන්දය දුන් මන්ත්‍රීවරුන් ගෙම්බන් වගේ පනින්න පටනගෙන තිබෙනවා. නමුත් ඔවුන් සම්මත කර දුන් අයවැය අනුව භාණ්ඩ හා සේවා මත මේ වර්ෂයේදී රුපියල් බිලියන 2235ක් අයකර ගන්න සූදානම් වෙනවා. මේ දක්වා 15%ක් වූ වැට් බද්ද 18% දක්වා වැඩිකර තවත් භාණ්ඩ හා සේවා 97ක් අලුතින්ම එකතු කර එක්වරම 18%ක බද්දක් ගැහීමෙන් මේ රුපියල් බිලියන 2235 එකතු කර ගන්න බලාපොරොත්තු වෙනවා. මේ බදු ගහන්නේ රටේ සංවර්ධනයට නොවෙයි.
ජනවාරි මාසයේ සිට එක පුද්ගලයෙකුට මාසයකට රුපියල් 38000ක ණය පොලී ගෙවීමට සිදුවී ඇති බව පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකොරාල පෙන්වා දී තිබෙනවා. අපි ගෙවන බදුවලින් මේ තරම් විශාල ණය පොලියක් ගෙවිමට සිදුවි තිබෙන්නේ සංවර්ධනයේ මුවාවෙන් ණය අරගෙන කොල්ලකෑම කළ නිසයි. රාජ්‍ය ආදායමෙන් 93%ක් බදු මගින් ලබාගන්න ආණ්ඩුව ක්‍රියාකර තිබෙනවා.
මේ විදිහට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මත බදු පනවමින් ජනතාවට කියන්නේ තණකොළ කන්නද? අපේ රටේ ජනතාව මත බදු ගහලා හෙම්බත් කරලා, පීඩාවට පත්කර, නිහඬකර තබන්න ආණ්ඩුව සූදානම් වුවත් ජනතාව ඊට සූදානම් නැහැ. ජාතික ජන බලවේගයේ කාන්තාවන් හැටියට ගම්නියම්ගම් කරා ගිහින් ආර්ථික ඝාතකයන් කවුද කියන එක ජනතාවට පැහැදිලි කරනවා. මේ බදු එකතු වුණාම අපේ රටේ මන්දපෝෂණයට, ගැබිණි මව්වරුන්ගේ නීරක්තියට මොකද වෙන්නේ? දරුවන්ගේ අනාගතය අනාරක්ෂිතයි. අපේ අම්මලාට පටිතදකර ගන්න කියන පාලකයන් සියලු සුඛ විහරණයන් බුක්ති විඳිනවා. දැන් අපිට කාලය ඇවිත් තිබෙන්නේ මේ ක්‍රමය වෙනස් කර, ආර්ථික ඝාතකයින්ට දඬුවම් දෙන්න. ආර්ථික ඝාතකයින් පිල් මාරුකර, ඇඳුම් මාරුකර බලයට එන්න සූදානම් වෙනවා. ඒ තත්වය වෙනස් කරන්න ගැහැණුන් ළඟ ඉතිරි වී තිබෙන්නේ ධෛර්යය විතරයි. මෙ ධෛර්යයෙන් අලුත් රටක ගොඩනඟන්න ජාතික ජන බලවේගය සමග එක්වන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා.
“රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපි මත දිගටම පටවන මේ බර නිහඬව තවදුරටත් දරා සිටිය යුතු නැහැ.”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්–
අවුරුදු සුභ පැතුම් එවන කාලයට අපිට කෙටි පණිවිඩ ලෙස ලැබුණේ භාණ්ඩ හා සේවා මිල වැඩිවීම පිළිබඳ පණිවිඩයි. ඒ තුළින් මේ අවුරුද්ද සුබ කරගන්න පෙළ ගැසෙන්නේ කොහොමද කියන එකයි අපිට සාකච්ඡා කර ගන්න වී තිබෙන්නේ. වැට් බදු වැඩිකිරීමට කලින් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෑතකදී කළ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ලංකාවේ නිවාස 60.5%කගේ මාසික ආදායම පහත වැටී අපේ නිවාස 91%ගේ මාසික වියදම වැඩිවෙලා. මේ සංඛ්‍යා දත්තවල 91%ක් කීවාට නිවාස සියයට සියයකම වගේ පවතින්නේ මෙවැනි තත්වයක්. අවු: 03 – 21ක් අතර අපේ දරුවන්ගේ අධ්‍යාපනය 54.9%කින් බිඳවැටෙන්න ආර්ථික අර්බුදය හේතුවී තිබෙන බව එම සමීක්ෂණයෙන් පෙන්වා දී තිබෙනවා. දෛනිකව කුලී ලබන අය අදටත් රුපියල් 1500/- -2000/- අතර ආදායමක් ලබන්නේ. තවත් සමහර අය දවසට රුපියල් 1000/-ටත් අඩුවෙන් වැඩ කරනවා. දවසට රුපියල් 2000/- ගානේ ගත්තත් මාසයකටම ලැබෙන්නේ රුපියල් 60,000/-යි. ලයිට් බිල්, වතුර බිල්, ප්‍රවාහන වියදම් දරා ගනිමින් ආහරපාන ටිකවත් ගන්නේ කොහොමද? දරුවන් සහ මව්පියන් ඉන්න පවුල්වල මේ රුපියල් 60,000/- ජීවත් වෙන්න ප්‍රමාණවත් නොවෙන නිසා ආච්චිලා පවා වැඩ සොයාගෙන යනවා.
අපේ ගෘහණියන්, ගැහැනුන්, පවුල් සංස්ථාව මෙවැනි අර්බුදයක සිටින අතර හදිසියේ රෝගී වුවහොත් රජයේ රෝහලකින් පවා කරගත නොහැකි පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් කරගත යුතුයි. ඖෂධ මිලදී ගත යුතුයි. මේ නිසාම 2023 අගභාගය වන විට රන් භාණ්ඩ උගස් තබා ණය ලබාගැනීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඉස්සර රන් භාණ්ඩ උකස් තබා ණය ගත්තේ හදිසියකට වුණත් දැන් එදිනෙදා ආහාරපාන ලබාගන්න, ලයිට් බිල් ගෙවා ගන්න, උකස් ණය ගන්න සිදුවී තිබෙනවා.
පාසල් වාරය අලුතින් පටන්ගන්නකොට අලුත් පොත් ලැයිස්තුවට රුපියල් විසි දහසේ සිට විසිපන්දාහ දක්වා මුදලක් වැයකරන්න සිදුවී තිබෙනවා. දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න පවුල් මේ බර දරාගන්නේ කොහොමද? අපේ කුටුම්භ තුළ ශාරීරික පීඩනයට, මානසික පීඩනයට ගොදුරුවී පවුල් සම්බන්ධතා පවත්වාගෙන යාමත් ගැටලුවක්වී තිබෙනවා. සමාජ සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. එකතු කරගත යුතු වුවත් එකතු කර නොගත් බදු රුපියල් බිලියන 900 ඉක්මවා තිබෙන බව ඇතැම් වාර්තා සඳහන් කරනවා. සාමාන්‍ය ජනතාව මත අලුතින් වැට් බදු පනවන්නේ මෙන්න මේ ආකාරයට දූෂණය, හොරකම, වංචාව තවදුරටත් කරගෙන යන්න ඉඩදී තිබෙන පසුබිමකයි. ජාතික ජන බලවේගයේ කාන්තාවන් හැටියට අපි රටේම කාන්තාවන් ඇතුළු සියලු දෙනා දැනුවත් කරමින් ඉදිරියට යනවා. තමන්ගේ අයිතීන් දිනාගැනීමට නිර්භයව මේ ගමන යන්න එන්න කියලා සියලු දෙනාට ආරාධනා කරනවා. සතුට කියන්නේ අපේ අයිතියක්. රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපි මත දිගටම පටවන මේ බර නිහඬව තවදුරටත් දරා සිටිය යුතු නැහැ.
“ජාත්‍යන්තරයට අයි.එම්.එෆ්. එකට මැජික් පෙන්වා සතුටු කිරීමේ පදනම මත ආණ්ඩුව ක්‍රියාකරනවා.”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය–
රටක බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී සලකා බැලිය යුතු මූලික කරුණු කිහිපයක් තිබෙනවා. සාධාරණවීම, සමස්ත ආර්ථිකයේ කොටසක්වීම, විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීම, අක්‍රමිකතා අවම වන ලෙස ක්‍රියාත්මක කිරීම, සහ බදු ගෙවන්නන්ට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් විය යුතුයි. මේ කිසිම මූලධර්මයක් අද වෙනකොට අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වන විටත් ඉතාමත්ම අසාධාරණ ලෙස ක්‍රියාත්මක වුණු බදු ප්‍රතිපත්තිය මත වැට් බදු පනවා තිබෙනවා. දැන් අවුරුදු දෙකක් පුරා ක්‍රියාත්මක කරන ආර්ථිකය හැකිළීමෙ ප්‍රතිපත්තිය තුළ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැතිකරලා. ආර්ථිකයට සහභාගීවීමේ හැකියාව ජනතාවට අහුරා තබා මේ යන ගමන ජනතාවගේ පැත්තෙන් නොවෙයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව බදු සහ ආර්ථිකය ගැන කල්පනා කරන්නේ ගිණුම් තුළනය කිරීමේ පැත්තෙන් පමණයි. ආර්ථිකය අවසන් වශයෙන් බලපාන මිනිස් ජීවිත, පවුල් ජීවිත, සහ රටේ සමස්ත පුරවැසියන් ගැන කිසිම තැකීමක් නැහැ. මිනිසුන් කියන්නෙත් සංඛ්‍යා ලේඛන විතරක් හැටියට පාලකයන් හිතනවා නම්, එවැනි පාලකයන් මේ ආකාරයේ ආර්ථික තීන්දු තීරණ ගන්නවා. මේ ආණ්ඩුවට මිනිසුන් හෝ මිනිසුන් ජීවත් වීම ගැන කිසිම අදාළත්වයක් නැහැ. ජාත්‍යන්තරයට අයි.එම්.එෆ්. එකට මැජික් පෙන්වා සතුටු කිරීමේ පදනම මත ආණ්ඩුව ක්‍රියාකරනවා.
අලුතින් පැනවූ බදු නිසා මහජනතාවට පීඩා එල්ලවෙනවා වගේම සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවෙනවා. සියලුදේම කප්පාදුකර අවමයෙන් ජීවත් වීම ගැන හැමදෙනාම කල්පනා කරන්නේ. පොල් සම්බෝලයට ලූණු දාන්නේ කොහොමද කියලා ගෘහණියන් කල්පනා කරනවා වගේම, ආර්ථිකයට සම්බන්ධ ව්‍යවසායකයනුත් කල්පනා කරනවා. මේ දක්වා දෙමාපියන් “මොනවා කළේ නැතත් දරුවන්ට උගන්වන්න ඕනෑ.” කියලා කල්පනා කළා. නමුත් අද වෙනකොට දරුවන් අධ්‍යාපනයෙන් පිටමන් කරවනවා. මොන ක්‍රමයකින් හෝ ආදායමක් සොයා ගන්න තැනට අවුරුදු 15-16 දරුවන් යොමුකර තිබෙනවා. ජනතාවගේ එදිනෙදා පීඩනය ගැන කිසිම සංවේදීභාවයක් නැති බව ඔවුන් කරන කියන සෑම දෙයකින්ම පැහැදිලියි.
විකල්ප නැති බවට ජනාධිපතිවරයා කියන කතාව තක්කඩි කතාවක්. ඕනෑම ප්‍රශ්නයකට විකල්ප තිබෙනවා, උත්තර තිබෙනවා. කුමන විකල්පයක් තෝරා ගන්නවා දැයි තීරණය වෙන්නේ අපි දරණ මතවාදයත් ජනතාව සමග තිබෙන සම්බන්ධතාවයත් උඩයි. ජනතාව මත බර පටවන්න ඕනෑ කියන තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සාධාරණ බදු ක්‍රමයක් ඇති කිරීම, බදු නිසා ආර්ථිකය සංකෝචනය නොවීම සහ බදු ක්‍රමය විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නවා. පාරිභෝගිකයාගෙන් අයකරන වැට් බද්ද ඒ ආකාරයෙන්ම භාණ්ඩාගාරයට ලැබෙනවාද? යන්න විමසා බැලීමේදී ක්‍රමවේද තිබෙනවාද? මිනිස්සු බදු බරින් මිරිකා තිබුණත් ඒ බදු භාණ්ඩාගාරයට ගන්න තාක්ෂණය ක්‍රියාත්මක කර නැහැ. තවදුරටත් තමන්ගේ බලය ආරක්ෂාකර ගැනීම ගැන පමණයි ඔවුන් කල්පනා කරන්නේ. මේ රටේ ගැහැනුන් නිර්භීත, ධෛර්යමත් පිරිසක් බව ඉතිහාසය පුරා ඔප්පුකර තිබෙනවා. අපේ රට අවදානමට පත්වුණු සෑම අවස්ථාවකම ගැහැනුන් ඉදිරියට ඇවිත් තිබෙනවා. නැවත වතාවක් එවැනි මොහොතක් ඇවිත් තිබෙනවා. ගැහැනු අපි නායකත්වය ගත යුතුයි. තවත් සංවිධානය වෙමින් මේ වසරේදී දුෂ්ට පාලනය අවසන් කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….
ප්‍රශ්නය: වැට් බද්ද ටික කාලයකට පැනවූ බව ජනාධිපති ඇතුළු ආණ්ඩුව කියනවා. ඒ බව පිළිගන්න පුළුවන්ද?
පිළිතුරු: අපේ රටේ බදු ප්‍රතිපත්තිය ළඟ ළඟම වෙනස් කරනවා. ඒ වෙනස් කිරීමම ප්‍රශ්නයක්. ස්ථාවර බදු ප්‍රතිපත්තියක් නැති එක ලොකු ප්‍රශ්නයක්. අනෙක් පැත්තෙන් බදු අයකරලා ආර්ථිකයක් ශක්තිමත් කරන්න බැහැ. බදු කියන්නේ සමස්ත ආර්ථික සැලැස්මක කොටසක්. ආදායම් එකතු කරන එකම මාර්ගය බදු නම්, ඒ ආර්ථිකයට ගොඩයන්න බැහැ. ණය බර සහ ආර්ථිකය සංකෝචනය වීම යන ප්‍රධාන ගැටලු දෙකට අපි මුහුණදී සිටිනවා. ආදායම් සොයන එකම මාර්ගය බදු කියලා හිතනවා නම්, ඒ තරම් මෝඩ සිතුවිල්ලක් තවත් නැහැ.
ප්‍රශ්නය: අවුරුදු 18 වැඩි සියලු දෙනාට බදු අයකිරීමේ පින් අංකයක් ලබාගත යුතු බවට නියමකර තිබෙනවා. මේ තුළින් ඇතිවන විපාක මොනවාද?
පිළිතුර: ආර්ථිකය විශාල අර්බුදයකට මුහුණ දෙමින් සිටින මොහොතක ජනතාව එක සැලැස්මක් තුළට එකතුකර ගැනීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. දිගින් දිගටම උද්දච්චකම පෙන්වන ආණ්ඩුවකට ජනතාව එකතුකර ගෙන ආර්ථිකය ගොඩනගා ගන්න බැහැ. සමස්තයක් ලෙස ටැක්ස් ෆයිල් එකක් තිබීම පිළිගත හැකි වුවත්, අපේ රටේ එය හඳුන්වා දෙන්නේ මිනිසුන්ගේ ජීවිත අතිශයින්ම අවුල්කර, පීඩාවට පත්කර තිබෙන පසුබිමකයි.