Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“දැන් ආණ්ඩුව සහ විපක්ෂයේ ස.ජ.බ. කොටස එකට එක්වී ඉඩම් කොල්ලකනවා” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.08.10-)

මෙම මාධ්‍ය හමුව කැඳවූයේ රනිල්-සජිත් හවුල අල්ලස් දී මන්ත්‍රීවරුන් බිලී බා ගන්න ගෙනයන ක්‍රියාවලියේ හෙළුව හෙළිකරන්නයි. සල්ලි විතරක් නොවෙයි, බාර් ලයිසන්, ඉඩම්, මහාමාර්ග කොන්ත්‍රාත් ආදී විවිධ දේ අල්ලස් වශයෙන් ලබාදෙමින් සිටිනවා. මේ වන විට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉඩම්වල මහා පරිමාණ ඉඩම් කොල්ලයක් දියත් කර තිබෙනවා. එක් පුද්ගලයෙකු වෙත ඉඩම් අක්කර 50කට වැඩියෙන් තියාගන්න බැහැ කියන නීතියක් තිබෙනවා. ජේ්.ආර්. ජයවර්ධන මේ නීතිය යොදා ගනිමින් තම හිතවතුන්ගේ ඉඩම් රජයේ වටිනා සමග හුවමාරුකර ගත්තා. ලක්ෂ්මන් කිරිඇල්ලගේ නෝනාට හන්තානේ ඉඩම් ගත්තා වගේ ක්‍රියාවලියක් රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ කබීර් හසීම් මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ සමග එක්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය කාලයේ තිබුණා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතු යායේ අක්කර 12යි රූඩ් 03යි පර්චස් 53ක ඉඩමක් සම්බන්ධ ජාවාරමක් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සහ සජිත් ප්‍රේමදාසගේ විපක්ෂ කණ්ඩායම අතර සිදුකරගෙන තිබෙනවා. සජිත් ප්‍රේමදාසගේ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ වෙත එක්කර ගන්න දියත් කර තිබෙන එක් ජාවාරමක් මේ ඉඩම් හුවමාරුව තුළින් හෙළිවෙනවා.

මේ සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේදී කෝප් කමිටුවේ විමර්ශන ආරම්භ කිරීමට නියමිතව තිබුණා. නමුත් කෝප් කමිටුව අවලංගු වීමට ඉඩ හැර අදාළ ලේඛන ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. නමුත් එම ලිපි ජාතික ජන බලවේගයට ලැබීම වළක්වන්න ඔවුන්ට බැහැ. කබීර් හසීම්ගේ පුතාට හන්තාන වත්තෙන් අක්කර 12යි, රූඩ් 03යි, පර්චස් 18.53ක් දෙන්න කියලා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් ජනවසම සභාපතිවරයාට ලිඛිතව දන්වා තිබෙනවා. 2024 පෙබරවාරි මාසයේ ජනවසමෙන් එම ඉඩම වෙන්කරනවා. ඒ අතර මෙම ඉඩම් හුවමාරුව ගැන තොරතුරු හෙළිවීම නිසා කබීර් හෂීම්ට ගනුදෙනුව අවසන් කර ගන්න බැරි වෙනවා. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත සම්මත කර ගැනීමට පෙර තිබුණු තත්වයක් ඉදිරිපත් කරමින් කබීර් හෂීම් මේ ඩීල් එකට මුල පුරා තිබෙනවා. තමන්ට ලැබිය යුතු ඉඩමේ කොටසක් පුතාට පවරා දෙන ලෙස ඉල්ලා සිටිමින් මේ ඩීල් එක ගෙනයනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වැදගත් ලිපි මේ වන විට ගොනුවෙන් අතුරුදහන් කර ඇති බව හෙළි වී තිබෙනවා. කබීර් හෂීම් විසින් තමන්ගේ පුත්, එම්.එච්.එම්. කබීර්ගේ නමට ඉඩම් ඉල්ලා සිටීමේ සියලු විස්තර අප සතු වෙනවා.

මෙතන තිබෙන්නේ ඉඩම් නිරවුල් කර ගැනීමේ මුවාවෙන් ජනවසම සතු ඉඩම් දේශපාලනඥයන් විසින් කොල්ලකෑමක්. පසුගිය කාලයේ ආණ්ඩුවේ හිතවතුන්ට ඉඩම් බෙදා දුන්නා. දැන් සිදු කරන්නේ ආණ්ඩුව සහ විපක්ෂයේ ස.ජ.බ. කොටස එකට එක්ව ඉඩම් කොල්ලකෑමක්. පසුගිය කාලයේ බාර් ලයිසන් බෙදා ගැනීම, ෂෙඩ් බෙදා ගැනීම, බස් පර්මිට් බෙදා ගැනීම, සිදුකළ ආකාරයෙන්ම මේ කටයුතු කරගෙන යනවා. හන්තානේ ජන වසමට අයත් වතු යාය මැද්දෙන් අක්කර 45ක් පෞද්ගලික සමාගමකට දෙන්න සියල්ල සූදානම් කර තිබෙනවා. හන්තාන වත්ත මැද වත්තක් පෞද්ගලික සමාගමකට අයිති බව කියමින් මෙම ජාවාරම සිදුකිරීමට සූදානම් වෙනවා. ඒ වගේ විවිධ ආකෘති අනුගමනය කරමින් දැන් ඒ ගොල්ලන් දෙකට බෙදාගෙන ඉන්නවා. ඡන්දයට සල්ලි සොයන්න හිල්ටන් හෝටලය, බෝගම්බර හිරගෙදර තිබුණු ඉඩම, විකුණන්න කටයුතු කළා. ආණ්ඩුව විතරක් නොවෙයි, තමන් විපක්ෂයේ බව කියමින් මේ දක්වා ගෙනගිය ජාවාරම් සියල්ලට තිත තැබීම එළඹෙන ජනාධිපතිවරණයෙන් සිදුකළ යුතුයි. අපි මේ හෙළි කළ තොරතුරු සම්බන්ධයෙන් ඉක්මනින්ම නීතිමය පියවර ගන්නවා. ඒ වගේම මේ දූෂිතයන් එක පෙළට තබා පරාජය කරන්න ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගන්නා ලෙස දූෂණ විරෝධී ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය: ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට අභියෝගයක් වී සිටින්නේ කවුද?

පිළිතුර:
ඒ කඳවුරෙන් ඉදිිපත් වී සිටින කිසි කෙනෙක් අපිට අභියෝගයක් නොවෙයි. දෙවැනි තුන්වැනි තැන ගන්න එක ඔවුන්ට මුහුණ දීමට සිදුවී තිබෙන අර්බුදවලින්ම පැහැදිලියි. රනිල් වික්‍රමසිංහ පටන් ගන්නකොට මන්ත්‍රීවරු 133ක් සිටියා. අපේක්ෂකත්වයේ ඇප තැන්පත් කරනකොට 90ක් විතර සිටියා. ඊයේ වෙනකොට ඔහුගේ ඇමතිවරු දෙදෙනෙකු හට මන්ත්‍රී ධුරත් අහිමි වුණා. ලබන 22දා දෙවැනි තැනට කවුද එන්නේ කියන එක බලාගන්න පුළුවන්. අපි මේ රටේ නීතියට ගරු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවීම, පසුගිය අවුරුදු 30කට වැඩි කාලයක් පුරා තහවුරු කර තිබෙනවා. ජනතාව අපේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළගැසෙමින් එනවා. උදේට ටීවීවල කෑ ගහන අය සම්බන්ධයෙන් අපි තැකීමක් කරන්නේ නැහැ.