(-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ – මාධ්‍ය හමුව – 2024.07.25-)
පොලිස්පතිවරයාගේ ධුරය තාවකාලිකව තහනම් කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (25දා) අතුරු නියෝගයක් දුන්නා. ඒ වාගේම වැඩ බලන පොලිස්පතිවරයකු ලෙස සුදුස්සකු පත් කරන ලෙසත් ජනාධිපතිවරයාට නියෝගයක් කර තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන දේශපාලනඥයන් දෙදෙනෙක් සිටිනවා. පළමුව කතානායක සිදු කළ අනීතික ඡන්ද පාවිච්චිය නිසයි මේ ගැටලුවේ කේන්ද්‍රය නිර්මාණය වුණේ. රනිල් වික්‍රමසිංහ මෙම ගැටලුවේ ප්‍රධානම හවුල්කරුවා වෙනවා. දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ලෙස සිටි අතර, ස්ථිර පොලිස්පති ලෙස පත් කරන්නේ විධායක ජනාධිපති, රනිල් වික්‍රමසිංහ විසිනුයි. මේ දෙදෙනා සිදු කළ පත්වීම සම්බන්ධයෙන් තමයි, ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් ගණනාවකින් විභාග කළේ. දේශබන්දුගේ ධුරය අත්හිටුවා දිනක් ගත වුණත්, රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් වැඩ බලන පොලිස්පතිවරයකු ගැන කිසිදු ප්‍රවේශයක් ගෙන නැහැ. මේ නිසාම රටේ ජනතාවගේ පැත්තෙන් බරපතළ දෙගිඩියාවක් ඇති වී තිබෙනවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා ගණනාවකදී විසඳු දෙයක් සම්බන්ධව කෝටි දහසක වියදමෙන් ව්‍යවස්ථා සංශෝධනයක් සංශෝධනය කරන්න සූදානම් වෙනවා.
ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගල් ගැසූ ඉතිහාසයක් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂගේ කාලයේ තමන්ට පක්‍ෂපාත නොවන තීන්දුවක් ලබා දීම හේතුවෙන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් පලවාහැරියා. ආණ්ඩුවේ වුවමනාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉටු නොවන අවස්ථාවල විධායකය මැදිහත් වී වෙනත් ගැටුමක් නිර්මාණය කරනවා. රනිල් වික්‍රමසිංහ පොල් සංවර්ධන මණ්ඩලයේ දී කළ කතාවකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු නොපිළිගන්නා බව හැඟවූවා. මහියංගනයේ පැවැති ඔප්පු බෙදා දීමේ රැස්වීමකදී ජනතාවගේ අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව පැවසුවා. ආණ්ඩුව ගෙන ආ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විමසීමට ලක් කළා. නමුත්, මේ තුට්ටු දෙකේ වැඩවලදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ලබා දුන්නාම එයට ප්‍රහාර එල්ල කරනවා.
මානව හිමිකම් උල්ලංඝනය කළ පොලිස් නිලධාරියකු පොලිස්පති ධුරයට පත් කළ අවස්ථාව සම්බන්ධයෙන් තීන්දු ලබා දීම නිසා ආණ්ඩුව අධිකරණය සමග ගැටුම්කාරී තත්වයකට යන්න උත්සාහ කරන බවක් පේනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කැබිනට් මණ්ඩලය ඉදිරියේ විමර්ශනයට ලක් කරන බව ඊයේ ප්‍රකාශ කර තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් කැබිනට් මණ්ඩලයෙන් විමර්ශනයට ලක් කිරීම නිරර්ථකයි. ඒ වාගේම පොලිස්පතිවරයකු නොමැති නිසා මැතිවරණ කල් යයි ද යන ප්‍රශ්නයක් මතු කර තිබෙනවා. ඒක හරි වැඩක් නේ. එහෙම නම්, මෙයත් වැඩබලන ජනාධිපති නේ. රනිල් වික්‍රමසිංහ ජනවරමක් ලබාගෙන නැහැ නේ. එහෙම නම්, වැඩ බලන පොලිස්පතිවරයකුට නිසියාකාරව මැතිවරණ කටයුතු සිදු කළ හැකියි. මෙය කිසිසේත්ම අධිකරණය සහ විධායකය අතර ගැටුමකට දක්කාගෙන යන්න එපා කියලා අපි අවධාරණය කරනවා. අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් කම්පා වීම රනිල් වික්‍රමසිංහගේ වුවමනාව වුණත්, එය රටේ වුවමනාව නොවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුව කිසිසේත්ම මැතිවරණයක් කල් දැමීමට හේතු නොවන බව අපි මේ රටේ ජනතාවට කියනවා. ආණ්ඩුවට අපි අවධාරණය කරන්නේ මෙම තත්වය යහපත් ලෙස කළමනාකරණය කර ගනිමින් ක්‍රියාත්මක වනු විනා ගැටුමකට නොයා යුතු යැයි අපි අවධාරණය කරනවා.
“විධායකයට අවශ්‍ය ආකාරයට තීන්දු දෙන්න අධිකරණය බැඳී නැහැ”
-ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම-
විධායකය විසින් අධිකරණයට එරෙහිව යම් ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට පසුගිය කාලසීමාව තුළ අවස්ථා ගණනාවක දී උත්සාහ කළා. පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා කළ ප්‍රකාශ විශේෂ අවධානයට ලක් කරන්න ඕනෑ. එයින් කියැවෙන්නේ ලංකාවට ශ්‍රේෂ්ඨාධිකරණයක් ඕනෑ නැහැ කියන එකද? එහෙම නැත්නම්, අධිකරණ ක්‍රමයක් ඕනෑ නැහැ කියන එකද? විධායකයට අවශ්‍ය ආකාරයට තීන්දු දෙන්න අධිකරණය බැඳිලා නැහැ. දහහත් වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ඇති වූ වර්ධනයන් එක්ක ව්‍යවස්ථාව සංශෝධනය වුණා. අධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ ආයතනයක් ලෙස ව්‍යවස්ථාදායක සභාව නම් කර තිබෙන්නේ යම් ස්වාධීනභාවයක් ඇති ආයතනයක් ලෙසයි. ජනාධිපතිවරයාගේ නිර්දේශ ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළේ නැහැ. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කියන ස්වාධීන ආයතන තුනට වෙන් වුණු පැවැත්මක් තිබෙනවා. නමුත්, ඊයේ හදිසියේ පැවැත් වූ කැබිනට් රැස්වීමෙන් පසුව බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර කැබිනට් තීන්දුව ප්‍රකාශ කරන බවයි. අධිකරණ බලය කැබිනට් එකට හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට හෝ නැවත සලකා බැලිය හැකි බවට ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සලසා නැහැ. මේක තනිකරම අධිකරණයට බලපෑමක්.
විනිශ්චයකාරවරුන්ගේ තීන්දු සලකා බැලීමේ සුදුසුකමක් කැබිනට් එකට තිබෙනවාද? කිසිසේත්ම එහෙම හැකියාවක් නැහැ. එස්.බී. දිසානායක අධිකරණයට එරෙහිව අපහාස කළ ආකාරයේ ක්‍රියාවක් මේ සිදු කරමින් ඉන්නේ. දෙදහස්දහයෙන් පස්සේ මේ වාගේ තත්වයකට මුලපිරුවා. ‘හෙජින්’ ගිවිසුම අත්සන් කළ කාලයේ පෙට්‍රල් මිල අඩු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් විධායකය විසින් ක්‍රියාත්මක කළේ නැහැ. ඊට පසුත් ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ශිරාණි බණ්ඩාරනායක මැතිනිය අගවිනිසුරු ධුරයෙන් පලවාහැරීමට කටයුතු කළා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළා. ඒ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් හැටියටයි, දෙදහස්පහළොවේ දී මහින්ද රාජපක්‍ෂටත් යන්න සිදු වුණේ. යහපාලන රජයක් පිහිටුවන බව මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මිනිසුන් සද්භාවයෙන් සලකා බලය දුන්නා. නමුත්, ඒ රනිල් වික්‍රමසිංහම දැන් ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ නැවත බල පෙරළියකට ජනතාවට පෙළඹීම් ලබා දීමයි. අධිකරණය ගැන විශ්වාසය ගොඩනැඟීමේ වගකීමක් විධායකයට සහ ව්‍යවස්ථාදායකයට තිබෙනවා. එය පැත්තකට දමා තමන් අභිමත නොවන තීන්දුවක් දුන් පමණින් බැණ අඬගහලා හරියන්නේ නැහැ. හිටපු පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් දී තිබෙන්නේ නඩුව විමර්ශනය කර අවසන් වන තුරු පොලිස්පති ධුරයේ වැඩ බැලීම අත්හිටුවීමයි. මේ නියෝගය දේශබන්දු තෙන්නකෝන් මහත්මයා කඩ කළොත්, අධිකරණයට අපහාස කිරීමේ වැරැදිකරුවකු වන්නේ ඔහුයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දෙවැනි කොටසින් කියන්නේ පොලිස්පති ධුරයට සුදුසු පුද්ගලයෙක් පත් කළ යුතු බවයි. මේ අනුව නියෝග දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී තිබෙනවා. ඒ නියෝග ක්‍රියාත්මක නොකිරීම අධිකරණයට අපහාස කිරීමක් වනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපි අවධාරණය කරන්නේ අධිකරණයත් එක්ක සෙල්ලම් කරන්න ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට බැරි බවයි. රටේ ජනතාවගේ අධිකරණය කෙරෙහි පවතින විශ්වාසය පළුදු වන ලෙස කටයුතු කරනවා නම්, ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස අපි ඊට එරෙහි කටයුතු කරනවා.
“තමන්ගේ වුවමනාවන් ඉටු කර ගැනීමට අපේක්‍ෂා කළ අයගේ නාට්‍යය ඉදිරියේ දී රඟදක්වන්නට පුළුවන්”
-නීතිඥ සුසන්ත දොඩාවත්ත-
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම අතුරු තහනමකින් වැළැක්වූයේ පෙත්සම් නවයක් සලකා බලලයි. මේ තීන්දුව ලබා දෙන්න අධිකරණය සලකා බැලූ එකම කාරණාව ව්‍යවස්ථාදායක සභාව විසින් මේ පත් කිරීම කළා කියන එක නොවෙයි. පෙත්සම්කාර පාර්ශ්වයන් විසින් වෙනත් කාරණා ගණනාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඒ අතර මූලිකම වී තිබෙන්නේ මේ රටේ පොලිස්පති ධුරය හොබවන්න දේශබන්දු තෙන්නකෝන් කියන පුද්ගලයා සුදුසු නැති බවයි. ඊට දෙදහස්විසිදෙකේ මැයි නව වැනිදා නිදහස් සහ සාමකාමී අරගලකරුවන්ට පහර දීමේ අවස්ථාව පැමිණි මැරයන් සමඟ මේ පුද්ගලයා පැමිණ සිටීම ප්‍රධාන හේතුවක්. ගාලුමුවදොර පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් වගඋත්තරකරුවකු කරන ලෙස ගරු නීතිපතිතුමා විසින් ඉල්ලීමක් කර තිබුණා. ඒ වාගේම පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම, පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට ක්‍රෑර සහ අමානුෂික වධබන්ධන පැමිණවීමේ වරදකරුවකු වී සිටීම වැනි චෝදනා ගණනාවක් ඔහුට එරෙහිව පවතිනවා. පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙන්නේ, ව්‍යවස්ථාදායක සභාව නිසි ලෙස පත් කර තිබුණේ නම්, එසේ වුවද ඔහු මේ තනතුරට සුදුසු නැති බවයි. ඔහු පොලිස්පති ධුරයට පත් වීමට පෙර පොලිසිය රංගකලා භූමියක් බවට පත් කළා. පොලිස්පති වීමට පෙරත්, ඉන් පසුවත් ඔහුගේ හැසිරීම පොලිස්පති වෙනුවට දේශපාලනඥයකුගේ තත්වයට පත් කරගෙන තිබුණා. දැන් දේශබන්දු තෙන්නකෝන්ගේ රංගකලා පාසල අවසන්. පොලිස්පති ඇඳුම ඇඳගෙන කෝලම් නටන්න තවදුරටත් බැහැ. දේශබන්දු තෙන්නකෝන්ව පත් කරගෙන තමන්ගේ වුවමනාවන් ඉටු කර ගැනීමට අපේක්‍ෂා කළ අය ඔවුන්ගේ නාට්‍යය ඉදිරියේ දී රඟදක්වන්නට පුළුවන්. දේශබන්දු නැතිව ‘යුක්තිය’ අසාර්ථක වේවි, පාසල් දරුවන්ගේ බෑග්වල මත්ද්‍රව්‍ය තිබෙන්නට පටන් ගනීවි වැනි ප්‍රබන්ධ ඉදිරියේ දී එන්න පුළුවන්.
ඒ නිසා අපි මේ රටේ මහජනතාවට කියන්නේ අවදියෙන් ඉන්න කියලයි. මේ රටේ පැහැදිලි නීතියක් තිබෙනවා. පොලිස්පති ධුරය කියන වගකීම්සහිත ධුරය මේ තැනැත්තාගෙන් හිස් වන විට පොලිස්පතිවරයකු වැඩ බැලීමට පත් කිරීමේ වගකීමක් තිබෙනවා. ඒකට සුදුසුකම් තිබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉන්නවා. දේශබන්දු නැති වුණා කියලා මේ රටේ සාමාන්‍ය ජන ජීවිතයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දේශබන්දු තෙන්නකෝන් නමැත්තා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම නිසා මේ රටේ යුක්තිගරුක, නීතිගරුක පොලිස් නිලධාරීන් වඩාත් සතුටු වන අපි දන්නවා.