Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

මැයි දිනය ජනතාවගේ පාලනයක් වෙනුවෙන් ජනතාව පෙළගස්වන දිනයක් බවට පත්කර ගනිමු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.04.24)

npppres-created

ජාතික ජන බලවේගය ලෙස මැයි දිනයට සහභාගිවීම පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණෙන් අපි මේ මාධ්‍ය හමුව පැවැත්වීමට තීරණය කළා. මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනයයි. ලෝකය පුරා සිටින ප්‍රගතිශීලී කම්කරු ජනතාව මැයි දිනයේදී තමන්ගේ අරමුණු, ඉලක්ක ජයග්‍රහණය කරගැනීම සඳහා සහ තමන්ගේ සමගිය, ශක්තිය පෙන්වීම අරමුණු කර ගෙන මැයි දිනය සමරනවා. මේ මැයි දිනය උදාවෙන මොහොතේ ලෝකය පුරාම සිටින වැඩකරන ජනතාව විශාල අර්බුදයන්ට මුහුණ පා සිටිනවා. වර්තමානයේ ලෝකයේ අධිරාජ්‍යවාදය බිඳවැටීම නිසා ලොව පුරා ජනතාව මත විශාල බරක් පැටවී තිබෙනවා. ඒ වගේම වැඩකරන ජනතාව දිනාගත් අයිතිවාසිකම් කප්පාදු කෙරෙමින් තිබෙනවා. ජනතාව ජීවත්වෙන්න බැරි තත්වයකට මුහුණ දී තිබෙනවා. ලොව පුරා අපරාධ වැඩිවී තිබෙනවා. ඒ වගේම යුද ගිනිදැල් ඇවිලී තිබෙනවා.

අද වන විට ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් කරපු රටක්. ගෙවා ගත නොහැකි ණය බරක් පාලකයන් විසින් ගොඩගසා තිබෙනවා. ගෙවා ගත නොහැකි බදු බරක් ජනතාව මත පටවා තිබෙනවා. වංචා දූෂණ, මහජන මුදල් නාස්තිය, දේශපාලකයන් විසින් ජනතාව රැවටීම දිගටම සිදුවෙමින් තිබෙනවා. ඉතිහාසය පුරා ජනතාව දිනාගත් අයිතිවාසිකම් කප්පාදු කරමින් තිබෙනවා. ලෝකය පුරාම වගේම අපේ රටේ ජනතාවත් බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් තිබෙනවා. 1886 අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර වැඩකරන ජනතාව පැය 12- 15ක් පමණ වූ සේවා කාලය වෙනුවට පැය අටක වැඩ දිනයක් ඉල්ලා උද්ඝෝෂණය කළා. එවකට පාලකයන් විසින් එම උද්ඝෝෂණය මර්දනය කළා. කම්කරු නායකයන් කිහිපදෙනෙකුට දිවි පුදන්න සිදුවුණා. එසේ වුවත් එම අරගලය ජයග්‍රහණය කළා. එම අරගලය සිහිපත් කිරීම සඳහා මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස නම් කර, සමරනු ලැබෙමින් තිබෙනවා. 1886 අරගලය කළේ පැය අටක වැඩ දිනයක් දිනාගැනීම සඳහායි. එහෙත් අද නව ලිබරල්වාදයේ ක්‍රියාමාර්ග හමුවේ දිනාගත් පැය අටේ වැඩ දිනය ජනතාවගෙන් උදුරා ගනු ලැබ තිබෙනවා. කාන්තාවන්ට පවා පැය අටකට වැඩියෙන් වැඩ කිරීමට බල කෙරී තිබෙනවා. එසේ වැඩ කිරීමෙන් පවා ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන තත්වයක් උදාවී තිබෙනවා.

මේ වකවානුව ජනතාවට අයිතිවාසිකම් දිනාගැනීමට හැකි වකවානුවක් නොවෙයි. වැඩකරන ජනතාවට අපි කියන්නේ මේ පාලකයන්ගෙන් අයිතීන් ඉල්ලීම තේරුමක් නැහැ. ඔවුන් අයිතිවාසිකම් දෙන්න සූදානම් නැහැ. ඇතිවී තිබෙන අර්බුදය තුළ අයිතීන් දෙන්න බැහැ. අපේ රටේ ප්‍රගතිශීලී ජනතාවට, වාමාංශික ජනතාවට තිබෙන එකම විකල්පය තමයි මේ දුෂ්ට පාලනය පරදවා, සැමදෙනාටම සාධාරණය ඉටුකිරීමට හැකි යුක්තිගරුක සමාජයක් නිර්මාණය කරන එක. ජාතික ජන බලවේගය ලෙස අපි තීරණය කළා, “රට හදන විසඳුමට – ජන බලය එක පෙළට” යන තේමාව සහිතව මැයි දිනය පැවැත්විය යුතුයි කියලා. ජාතික ජන බලවේගය ගොඩනැගුවාට පසුව පවත්වන පළමුවැනි මැයි දිනය මෙයයි. මේ මැයි දිනය පවත්වන්නේ ඉදිරියේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට තිබෙන අවස්ථාවකයි. මේ මැයි දිනය ජනාධිපතිවරණයට ශක්තියක් වෙන යෝධ පියවරක් තබාවි යැයි අපි විශ්වාස කරනවා. රට හදන විසඳුම වෙනුවෙන් ජන බලය මාලිමාව වටා ඒකාරාශී කිරීම තමයි අපේ අරමුණ. ඒ සඳහා දැවැන්ත ජනතාවක් සම්බන්ධ කර ගනිමින් මැයි දිනය පවත්වන්න අප තීරණය කර තිබෙනවා. මේ වසර තුළ නිර්මාණය කරන දැවැන්ත බලය උපයෝගී කරගෙන, මේ රට බංකොලොත් කළ දුෂ්ට පාලනය පරාජයට පත්කර, රට ගොඩනඟන්න පුළුවන් ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. ඒ සඳහා බලය පෙළ ගැස්වීම තමයි අපේ අරමුණ.

විශාල ජනතාවක් කොළඹට එක්රැස් කිරීමට අපහසු නිසා වැඩි ජනතාවක් සම්බන්ධ කර ගැනීමේ අරමුණ සහිතව අප ස්ථාන හතරක මැයි දින සැමරුම් පවත්වනවා. යාපනය, අනුරාධපුරය, කොළඹ, මාතර යන ප්‍රධාන නගර හතරක මැයි සැමරුම් හතරක් පවත්වන්න තීරණය කර තිබෙනවා. යාපනයේදී මැයි රැලිය පළමුවැනිදා උදේ කාලයේත් අනෙක් මැයි දින සැමරුම් සවස් වරුවේත් පවත්වන්න අදහස් කොට තිබෙනවා.

අපේ තේමාව වෙන්නේ මේ පවතින දුෂ්ට පාලනය නිමා කිරීම වෙනුවෙන් ජනතාව පෙළගැස්වීමයි. මේ වන විට අපේ රටේ සෑම ජන කණ්ඩායමක්ම මේ පාලනයෙන් බැට කා තිබෙනවා. ජීවත්වීම ඉතා අමාරුවෙලා තිබෙනවා. වැඩකරන ජනතාවට වැටුප් වැඩිවීමක් නැතිවා වගේම බදු බර වැඩිවීමත්, බඩු මිල වැඩිවීමත් වෙලා තිබෙනවා. අධ්‍යාපනය අර්බුදයට ලක්වෙලා තිබෙනවා වගේම දරුවන්ට ඉගෙන ගැනීමේ අවස්ථා අහිමි වෙලා තිබෙනවා. පෞද්ගලික අධ්‍යාපනයේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. දරුවන්ට අධ්‍යාපනය ලබාදීම දෙමාපියන්ට බරක් වෙලා තිබෙනවා. අනෙක් පැත්තෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමෙන් රෝගීන් අපහසුතාවයට පත්වී තිබෙනවා. පොදුවේ සමාජ ව්‍යුහයන් බිඳ වැටී අරාජිකත්වයට පත්වී, සමාජය තුළ ආරක්ෂාව නැතිවෙලා තිබෙනවා. ළමුන්ට වගේම කාන්තාවන්ට ආරක්ෂාව අහිමිවෙලා. මේ සමාජය මිනිස්සුන්ට මිනිස්සු ලෙස ජීවත්වීමට බැරි තත්වයක් උදාවෙලා. මෙවන් තත්වයක් දරාගෙන, මෙවන් සමාජයක් පවතින්න ඉඩහැරීමට යුක්තිගරුක ජනතාවකට අයිතියක් නැහැ.

අපේ රටේ වැඩකරන ජනතාව, වෘත්තියවේදීන්, ප්‍රගතිශීලී බලවේග, මේ සියලු දෙනාටම තෝරා ගැනීමට තිබෙන්නේ එකම විකල්පයයි. අපට ලැබෙන පළවැනි අවස්ථාවේදීම මේ පාලනය වෙනස්කොට අලුත් පාලනයක් ගොඩනැගිය යුතුයි. අපි කළ යුත්තේ පාලනයක් ගොඩනැගීම විතරක් නොවෙයි; මේ පවතින සමාජයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමයි. මේ ණයට කන, විකුණන් කන ආර්ථිකය වෙනුවට, නිෂ්පාදනය මත පදනම් වුණු ශක්තිමත්, ස්ථාවර, ආර්ථිකයක් හදන්න ඕනෑ. අපට ජාතික පුනර්ජීවනයක කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව ඒකරාශී කරගැනීමේ හා සැබෑ නිදහස දිනාගැනීමේ වගකීම අපට තිබෙනවා. ඒ සියල්ල ඒකරාශී කරගත්, ජනතාව සවිඥානකව දායක වෙන වැඩසටහනක් අපට අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ සඳහා ජනතාව පෙළගස්වන, යෝධ පියවරක් තබන අවස්ථාව බවට මේ මැයි දිනය පත්කර ගනිමු. ඒ සඳහා 2024 මැයි දිනය, ජාත්‍යන්තර කම්කරු දිනය ජාතික ජන බලවේගය හැටියට පුළුල් තේමාවක් ඔස්සේ පොදු ජනතාවට බලය ලබා ගැනීම සඳහා පොදු ජනතාව පෙළගස්වන දිනය බවට පත්කර ගනිමු. අපි ඔක්කොම එකතු වෙලා මේ සමාජය වෙනස් කරන තීරණය ගනිමු යැයි වැඩකරන ජනතාව, ගොවි ජනතාව, වෘත්තියවේදීන්, ධීවර ජනතාව, කාන්තාවන්, තරුණයන් ඇතුළු රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අපේ රටේ කම්කරුවන්ට වෙඩි තැබූ අය, කම්කරු අයිතිවාසිකම් උදුරා ගන්න අයත් කම්කරු දිනය සමරනවා. කම්කරුවන් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා කරන උද්ඝෝෂණයවලට පහර දෙන, වැඩකරන ජනතාව මර්දනය කරන අයත් මේ මැයි දිනය සමරනවා. එය හාස්‍යයට කරුණක්. එය කම්කරු ජනතාවට කරන අපහාසයක්. විකාරයක්. මැයි දිනය කෙළසන්න දරන එවැනි උත්සාහයන් පරද්දන්නත් මැදිහත් වෙන්න කියාත් අපි ජනතාවගෙන් ඉල්ලනවා. මැයි දිනයේ අයිතිය තිබෙන්නේ වැඩකරන ජනතාව ඇතුළු පීඩාවට පත් පොදු ජනතාවටයි. ජනතාවගේ අයිතිවාසිකම් නොදෙන, ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගන්නා මේ පාලනය පෙරළා දමා, ජනතාවගේ පාලනයක් නිර්මාණය කිරීම සඳහා ජනතාව පෙළගස්වන, මැයි දිනයක් බවට මේ මැයි දිනය පත්කර ගනිමුයි කියා වැඩ කරන ජනතාව ප්‍රමුඛ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

npppres-created

“2024 මැයි දිනය ගැහැනු අපට සුවිශේෂී මැයි දිනයක් වෙන්න නියමිතයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

ජාතික ජන බලවේගයේ හැටියට අපි පවත්වන ප්‍රථම මැයි දිනය සඳහා ස්ථාන හතරක් තෝරාගෙන තිබෙනවා. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක වන මේ අවුරුද්ද තුළ රටට අවශ්‍ය, රටේ පුරවැසියන් ඉල්ලන ඒ පරිවර්තනීය යුගය ආරම්භ කරන සලකුණ තියන්න මේ මැයි දින රැලි හතර තුළින් අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ සියලුම වැඩ කරන ජනතාව එකතු කරගෙන ඒ පරිවර්තනයට සූදානම් කියලා ප්‍රකාශ කරන මොහොතක් වෙයි කියන බලාපොරොත්තුව අප තුළ තිබෙනවා. මේ මැයි දිනය වැඩකරන කාන්තාවන්ට සුවිශේෂී එකක් වෙන්න නියමිතයි. මෙතෙක් ඉතිහාසයේ නොදුටු, පළමුවැනි වතාවට දේශපාලනිකව කාන්තාවන් සවිබල වෙලා, තමන්ගේ බලය පෙන්වන්න සූදානමින් ඉන්නවා අපි දැක්කා. මේක කාන්තාවන්ට දේශපාලනිකව නායකත්වය ගන්නත්, සංවිධානය වෙන්නත්, මැදිහත් වෙන්නත් හැකියාවක් තිබෙන බව රටටත් ලෝකයටත් පෙන්වපු කාලයක්.

අපේ කාන්තාවන් සියලුම ආර්ථික ක්ෂේත්‍රවල නියෝජනය වෙනවා. අපේ රටේ ගැහැනුන් මේ රටේ ආර්ථිකයේ කොඳු නාරටියේ ප්‍රමුඛස්ථානයක් ගන්නවා. විදේශගත රැකියා ක්ෂේත්‍රයේ, තේ වගා ක්ෂේත්‍රයේ, නිදහස් වෙළඳ කලාපයේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු සෑම ක්ෂේත්‍රයකම ප්‍රමුඛ කාර්යභාරයක් ගැහැනුන් විසින් නියෝජනය වෙනවා. ඊට අමතරව මේ රටේ පවුල, දරුවන්, වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ගෙවල් තුළත්, ප්‍රජාව තුළත් ගැහැනුන් විශාල කාර්යභාරයක් කරනවා. ඒ සුරැකුම් වැඩවලට ආණ්ඩුවලින් පහසුවක්, කිසිම ගරුත්වයක්, සුදුසු තැනක් දී නැහැ. ඇය සූරාකෑමට ලක්වෙන ප්‍රධාන චරිතය බවට පත්වෙලා තිබෙනවා. ඒ සූරාකෑම තුළින් මේ දූෂිත ආර්ථිකය පවත්වාගෙන ගොස් තිබෙනවා. බදු වැඩිවෙන විට, බඩු මිල වැඩිවෙන විට ගැහැනියගේ ජීවිතය ඉතාමත් සංකීර්ණ වෙනවා වගේම අමාරු වෙනවා. තම නිවස තුළ, වැඩ කරන ආයතනය තුළ, ප්‍රජාව තුළ මේ සෑම තැනකදීම ගැහැනියට විශාල අර්බුදවලට මුහුණ පෑමට සිදුවෙලා තිබෙනවා. ඒ වගේම ඒ තිබෙන තත්වයන් සියල්ලම කළමනාකරණය කරගෙන පවුල රැකගන්න ඇය විශාල සටනක යෙදෙමින් ඉන්නවා. ඒ නිසාම 2024 මැයි දිනය ගැහැනු අපට සුවිශේෂී මැයි දිනයක් වෙන්න නියමිතයි. අපි සියලුම ගැහැනුන්ට ආරාධනා කරනවා, මෙතෙක් ගෙන ආ පිබිදීම, තමන්ගේ බලය පෙන්වන්න මේ මැයි දිනය අවස්ථාවක් කර ගනීවි යැයි අපි විශ්වාස කරනවා. මේ රට වෙනස් කරන ප්‍රධාන බලවේගයක් හැටියට ගැහැනු අපි මැයි දිනයේදී එකතු වෙමු කියා ආරාධනා කරනවා.

npppres-created

“මෙවර මැයි රැලිය රටේ සියලුම පීඩිත ජනතාවට ඉතාමත් වැදගත් මැයි රැලියක් වේවි”
-ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ-

අපි ජාතික ජන බලවේගය ලෙස වසර පහක් පමණ කාලයක් සමාජගත වෙමින් ආවා. පසුගිය වසරවලදී අපි ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාළිවලට සහ රැලිවලට සහභාගි වුණා. මෙවර අපි ජාතික ජන බලවේගයේ මංගල මැයි රැලිය පවත්වනවා. මේ මංගල මැයි රැලිය පවත්වන්නේ ජනාධිපතිවරණයක් අභියස. මෙවර මැයි රැලිය රටේ සියලුම පීඩිත ජනතාවට ඉතාමත් වැදගත් මැයි රැලියක් වේවි. අපි සූදානමින් ඉන්නේ මේ දූෂිත දේශපාලනය වෙනස් කරන මොහොතකයි. 1886 සිට අවුරුදු 138ක් ගතවී තිබියදීත් ලෝකයේ වැඩකරන ජනතාව, මැයි දිනය තමන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට, තමන්ට යහපත් වැඩකරන පසුබිමක් දිනාගැනීමට සහ සංවිධානය වීමට භාවිතා කරනවා. අපිත් වැඩකරන ජනතාව සමග ජාතික ජන බලවේගය ලෙස මේ මැයි දිනය සමරනවා.

මීට පෙර ජනතා විමුක්ති පෙරමුණ ඉතා අභිමානවත්ව, සංවිධානාත්මකව, විනයගරුව මැයි රැලි පවත්වපු ඉතිහාසයක් තිබෙනවා. මෙවර මැයි රැලි හතරම සාර්ථක කර ගන්න, ජාතික ජන බලවේගයටත් විශාල අභියෝගයක් තිබෙනවා. මැයි පළමුවැනිදා උදෑසන යාපන නගරයේදී මැයි රැලියක් පවත්වනවා. අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී, කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේදී, මාතර වෙරළබඩ තීරයේදීත් මැයි රැලි තුනක් සවස පවත්වනවා. ජාතික ජන බලවේගයේ සියලුම කොට්ඨාස සභාවල සහෝදර සහෝදරියන් වගේම විශාල ජනතාවක් මැයි දින රැලිවලට සහභාගි වීමට සූදානම් වෙමින් ඉන්නවා. ඒ සහභාගිත්වය එළඹෙන මැතිවරණ අවදියේදී විශාල පිම්මක්, ශක්තියක් ලැබේවියි අපි විශ්වාස කරනවා. තමන්ගේ කායික හෝ මානසික ශ්‍රමය විකුණා ජීවත් වෙන සියලුම දෙනාගේ දිනය මැයි පළමුවැනිදායි. ඒ ශ්‍රේෂ්ඨ දිනය අපේ අරමුණු සාර්ථක කර ගන්නා පළමු අවස්ථාවක් බවට පත්කර ගනිමු. මේ රටේ සියලුම ජනතාවට, පීඩිත කොටස්වලට, ජාතික ජන බලවේගය ලෙස අපි ආරාධනා කරන්නේ අපේ රට වෙනස් කරන දිසාවට, යහපත් දේශයක් බිහිකර ගන්න දිසාවට, පත්කර ගන්න මේ මැයි දිනය ප්‍රයෝජනයට ගනිමු. ඔබ සියලු දෙනාටම ජාතික ජන බලවේගයේ මැයි දින රැලිවලට සහභාගි වන ලෙස ආරාධනා කරනවා.

npppres-created

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය:
ඔබතුමන්ලා සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කළා, විවාදයකට එන්න කියලා දින හතරක් ලබාදුන්නා. සජිත් පේමදාස මහතාට වැඩ තිබෙන නිසා, ඒ දින හතර තුළ ඒම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔබලා මේක කියවා ගන්නේ කොහොමද?

පිළිතුර:
මේ තත්වය රටේ ජනතාව දැනටමත් කියවා ගෙන ඉන්නේ. අපි දින හතරක්ම දුන්නේ වැඩ තිබේවි යැයි උපකල්පනය කළ නිසා. ඒ වගේම අනුර සහෝදරයාත් විශාල වැඩ කොටස්වල නිරත වෙමින් ඉන්න කෙනෙක්. මේ විවාදයේ තිබෙන වැදගත්කම සලකා දින හතරක් ලබා දුන්නේ. සජිත් ප්‍රේමදාස මහතාලගේ පැත්තෙන්ම කියනවා මේ විවාදය අතිශයින් වැදගත් කියා. එසේ නම් මේ දින හතරෙන් එකක් තෝරා ගත හැකියි. ඒ හතරම බැරි නම් පුළුවන් දිනය ප්‍රකාශ කරන්න. මේ කරන්නේ මගහරින්න. ඇත්ත වශයෙන්ම, සජිත් මහතා මේ විවාදයට එන්නේ නැහැ. ඒ වෙනුවට මෙය පටලවමින් වෙන කතන්දර කියමින් ඇදගෙන යනවා. ජනතාව නොමග යවන නිසාම අපි දින හතරක් දුන්නා. එහෙම බැරි නම් පුළුවන් දිනයක් කියන්න. මේකෙන් පැහැදිලි වෙන්නේ මේ විවාදයෙන් මගහැර යාම සඳහා ක්‍රම සොයනවා හැරෙන්න මුහුණ දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මේ මෑතක වීරකැටිය පෙදෙසේ පාසලකට ගොස් පාසල් ළමුන්ට කතා කරනවා ‘මිත්‍රවරුනි’ කියලා. ළමයින්ට කතා කරන්න දන්නේ නැති කෙනෙක් එක්කයි අපට මේ විවාද කරන්න සිදුවෙලා තිබෙන්නේ. ඒ ළමුන්ට කියනවා, “මට දින හතරක් එවා තිබෙනවා. මම ලැහැස්තියි විවාදයට” කියලා. මම හිතන්නේ ඒ විවාදයට ඔහු එන්නේ නැහැ.

ප්‍රශ්නය:
අද සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා, ආර්ථික කමිටුවත් එක්ක ඉල්ලපු විවාදය මඟහරිනවා කියලා. ඇයි එහෙම මග හරින්නේ?

පිළිතුර:
ඇත්තටම එහෙම නැහැ. මේක නොමග යැවීමක් තිබෙන්නේ. අපිත් ඔබත් විශ්වාස කරනවා මේ වෙලාවේ ජනාධිපතිවරණයක් එනවා. ජනාධිපතිවරණයේදි දිනන්නේ සහ තීන්දු ගන්නේ ආර්ථික කමිටුව නොවෙයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන නායකයා අතේ තමයි වැඩි බලය තිබෙන්නේ. එයාලගේ ආර්ථික කමිටුව කියන්නේ හර්ෂද සිල්වා මහත්තයා ඉන්නේ සමගි ජන බලවේගයේද, යූ.එන්.පි.යේ ද කියලා අපට තේරුම් ගන්න බැහැ. එයා සමගි ජන බලවේගයේ ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය වර්ණනා කරනවා. විමධ්‍යගත අරමුදලෙන් රනිල් වික්‍රමසිංහගෙන් සල්ලිත් ගන්නවා. රනිල් වික්‍රමසිංහ ඒගොල්ලන්ගේ මන්ත්‍රීවරු හයදෙනෙකුට රුපියල් කෝටි 32ක් දීල තිබෙනවා. එරාන් වික්‍රමරත්න ඉන්නවා. එයා කියලා තියෙනවා “රජයේ දේපළ වික්කාට කමක් නැහැ. මැදපෙරදිග තෙල් විකුණනවා නම්, ඇයි අපට විකුණන්න බැරි” කියලා. මැදපෙරදිග රටවල් තෙල් වික්කාට තෙල් නිධිය විකුණන්නේ නැහැනේ. තෙල් ළිඳ විකුණන්නේ නැහැනේ. එරාන් වික්‍රමරත්නට ඒක තේරුම් ගන්න බැරි නම්, එයාලාවගේ අය එක්ක සාකච්ඡා කරන එකේ තේරුම මොකක්ද? අපේ ගත්තොත් අපි කිරි විකිණිය යුතුයි. හැබැයි කිරි ගොවිපොළ විකුණන්න ඕනෙ නැහැනේ. ලංකාවේ කරන්නේ කිරි විකුණනවා වෙනුවට කිරි ගොවිපොළ විකුණනවා. අපේ නිෂ්පාදිතයන් විකුණනවා වෙනුවට අපේ සම්පත් විකුණන එකයි.

අපි හිතනවා ඊට වඩා වැදගත් වගකීමක් තිබෙන්නේ නායකයොත් එක්ක සාකච්ඡා කරන එකයි. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාත් අපේ අනුර සහෝදරයාත් එක්ක සාකච්ඡාවක් කරමු. සජිත් මහත්තයා නිශ්චිතව, ලිඛිතව කියනවා නම්, මට එන්න බැහැ. ඕගොල්ලෝ මේ ගොල්ලොත් එක්ක කර ගන්න. ඒත් අපි ලැහැස්තියි. අපේ ආර්ථික කවුන්සිලය ඒක බැහැ කියන්නේ නැහැ. අපි හිතනවා ප්‍රමුඛතාවය ලබාදිය යුතුව තිබෙන්නේ නායකයෝ දෙන්නා අතර සාකච්ඡාවටයි. ඔවුන් තමයි ජනාධිපති අපේක්ෂකයෝ. ඔවුන් තමයි ප්‍රතිපත්තිවලට වගකියන්න ඕනෑ.