(-ජාතික ජන බලවේගයේ නීතිඥයන්ගේ මාධ්‍ය හමුව – 2024.09.18-)
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ශ්‍රී ලංකාවාසී ජනතාවට උදාකර දීම පිණිස පුනරුද යුගයක් ඇරඹීමේ අපගේ මැතිවරණ ව්‍යාපාරය ලංකාව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආමන්ත්‍රණය කරමින් අවසන් ජයග්‍රාහී රැලිය අද සැන්දෑවේ නුගේගොඩදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. චෞර කල්ලි නැති, පනින රිලවුන් නැති, එකම විනයානුකූල දේශපාලන ව්‍යාපාරය ලෙස ජාතික ජන බලවේගය නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව අපගේ විරුද්ධවාදීන් පවා පිළිගෙන තිබෙනවා. රූපවාහිනී සංවාදයකට මුහුණ දෙන්න බැරි, අඩුම ගානේ තනිවම හෝ සංවාදයකට එන්න බැරි, අපේ ප්‍රතිපත්තියක් පිළිබඳ තාර්කික විවේචනයක් එල්ල කරන්න බැරි ප්‍රතිවාදීන් මේ අවස්ථාවේ විවිධ මඩ ප්‍රචාර ගෙන යනවා. ජාතික ජන බලවේගය විසින් නිරාගමික රාජ්‍යයක් පිහිටුවනවා යන්න ප්‍රධානම මඩ ප්‍රචාරයක්. ශ්‍රී ලංකාවාසී ජනතාවගේ හැඟීම් අවුස්සා අවිනිශ්චිතතාවක් ඇති කරන්න මේ වැනි ප්‍රචාර ගෙනයනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා රාජ්‍යය බෞද්ධාගමට මුල්තැන දෙන අතර, අනෙකුත් ආගම්වලට නිසි තැන දීමට බැඳී සිටිනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තිය ප්‍රතිපත්ති ප්‍රකාශයක් මගින් වෙනස් කරන්න බැහැ. ඒක පක්ෂයකට වෙනස් කරන්නත් බැහැ. 83 වැනි වගන්තියෙන් කියන්නේ නව වැනි වගන්තියෙන් ආගම් සම්බන්ධයෙන් දී තිබෙන ප්‍රතිපාදන ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකියි කියන එක. ඒ නිසා මේ රට නිරාගමික රාජ්‍යයක් කරන්න කිසිම ආණ්ඩුවකට ජනතාවගෙන් අහන්නේ නැතිව බැහැ. ජාතික ජන බලවේගය නිරාගමික රාජ්‍යයක් පිහිටුවනවා කියන එක පුස් තර්කයක් පමණයි. අපි ඇති කරන්නේ විනයානුකූල, නීතියේ විධානය සහිත සියලුම දෙනාට සතුටින් ජීවත් විය හැකි සමාජයක්. ඒ සමාජය තුළ එකිනෙකාගේ සංස්කෘතික අයිතිවාසිකම් නිදහසේ භුක්ති විඳීම තහවුරු කරනවා. තවත් පැත්තකින් බංගලිදේශයේ ඡායාරූප ප්‍රචාරය කර බිය ගැන්වීමට උත්සාහ කරනවා. ඒ වගේම 2022 පැවැති සාමකාමී ජන අරගලය ජාත්‍යන්තරව පිළිගත් සිවිල් ජනතාවගේ අරගලයකින් අගමැතිවරයෙක් සහ ජනාධිපතිවරයෙක් ඉවත් කරනු ලැබුවා. එහිදී පුරවැසියන් හැසිරුණු බව හඟවන වීඩියෝපට මේ අවස්ථාවේදී ප්‍රචාරය කරලා මඩ ගැසීමට උත්සාහ කරනවා. නමුත් 2022 ජන අරගලයකින් පැවැති ඒ පාලනය වෙනස් කිරීම වෙනත් සංසිද්ධියක්. 2024 සැප්තැම්බර් 21 සිදුවෙන්නේ ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලය වෙනස් කිරීමක්. සැප්තැම්බර් 21 දාට ජනතාව රොද බැඳගෙන එන්නේ මෙතෙක් ජනතාව මහමඟට බසිමින් ඉල්ලා සිටි ඡන්ද අයිතිය ප්‍රයෝජනයට ගන්නා බවටයි. නමුත් මඩ පෝස්ටර දියත් කිරීමක් මගින් අනාගමික රාජ්‍යයක් ඇති කරනවා යැයි කියමින් ප්‍රචාරය කිරීමට තරම් ප්‍රතිවාදීන් පහත් තත්වයට ඇද වැටිලා.
ඒ වගේම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම පිළිබඳව විවිධ ප්‍රචාර යවනවා. ජාතික ජන බලවේගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව දැනගෙන පළාත් පාලන මැතිවරණය කල්දැම්මා. එය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කුමක් හෝ වෙට්ටුවක් දමා ජනාධිපතිවරණය වළක්වයි කියලා තවත් ප්‍රචාරයක් යැව්වා. නමුත් මේ මැතිවරණයෙන් අනුර කුමාර සහෝදරයා ජනාධිපති වීම නියතයක්. පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම ඇතුළු රාජ්‍ය බල ව්‍යුහයන් ස්වාධීනව කටයුතු කරන බව තහවුරු වී තිබෙනවා. ඒ නිසා සාමකාමී මැතිවරණයක් පවත්වා බල හුවමාරුවකට සූදානම් වෙනවා මිස, අදින් පසුව මැතිවරණ නීතිය උල්ලංඝනය කර, අපේ අනුගාමිකයන් කිසිදු කටයුත්තක් නොකරන බව ස්ථිරයි. ඒ වගේම ප්‍රතිවාදීන් ප්‍රචාරය කරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී සාමකාමීව ඡන්දපොළට ගොස් අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවන ලෙස ඉල්ලා සිටිනවා.
“සමස්ත සාමූහික පුරවැසියන් ලෙස එක්වී මේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්න”
-නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ-
අපි ගත කරමින් සිටින්නේ මේ රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතාමත්ම තීරණාත්මක මොහොතක්. මේ රටේ ජනතාව සිස්ටම් චේන්ජ් එකකට පෙළ ගැසී සිටියත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව එය සිදු කළේ නැහැ. මේ මහ පොළොව මත ජනතාවගේ පාලනයක් ස්ථාපිත කරන්න පෙළගැසී සිටිනවා. ආර්ථිකයේ යහපත් පරිවර්තනයක් සිදුකර, ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාවෙන් ජනතාව පෙළගැසී සිටිනවා. ජනතාවගේ මේ අපේක්ෂා මුදුන්පත් කර දිය හැකි අපේක්ෂකයා අනුර කුමාර දිසානායක බව මේ දක්වා ඔහුගේ කැපකිරීම්වලින්, අධිෂ්ඨානයෙන් පෙන්වා දී තිබෙනවා. මේ රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් සිදුකිරීමට ඔහු කැපවී සිටිනවා. ඔබ 21 වැනිදා මාලිමාව ඉදිරියේ ගහන කතිරය මේ රටේ සැබෑ ජනතාවාදී පාලනයක් පිහිටුවන ඡන්දයක්. ඒ නිසා තරුණ ප්‍රජාව මෙන්ම සමස්ත සාමූහික පුරවැසියන් ලෙස එක්වී මේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන ලෙස ඉල්ලා සිටිනවා.
“කාන්තාව දේශපාලන කරළියේ විශාල භූමිකාවක් ඉටුකිරීම වෙනුවෙන් පෙරට පැමිණ සිටිනවා”
-නීතිඥ නිලන්ති කොට්ටහච්චි-
අපි 76 වසරක් පැමිණි ගමන්මඟේ උඩුගම් බලා පිහිනා ජයග්‍රහණයක් අපේක්ෂා කරන මොහොතක් මේක. තමන්ගේ රහසිගත ඡන්දයෙන් මේ ක්‍රමය වෙනස් කරන බව මේ දක්වා රට පාලනය කළ අයට ජනතාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් එක්කෝටි හැත්තෑ එක්ලක්ෂයක් දෙනා ඡන්දය දෙන්න සුදුසුකම් ලබා තිබෙනවා. ජනතාව තීරණාත්මක සාධකයක් වී සිටිනවා. ඡන්ද අයිතිය නැති ලක්ෂ 50ක පමණ ජනතාව වෙනුවෙන් තීරණය ගන්නේ ඡන්ද අයිතිය හිමි අයයි. දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව අතරින් බහුතරයක් දෙනා මේ වන විට කියන්නේ රට අනුරට බවයි; රට වෙනස් කිරීම සඳහා අපි ජාතික ජන බලවේගය සමග බවයි. මෙවැනි මොහොතක මාලිමාවේ බව කියමින් ප්‍රචණ්ඩත්වය වපුරන වෛරී සහගත කටයුතු කරන අය සම්බන්ධයෙන් මාලිමාවේ නීතිඥයන් හැටියට අපි ඉතාම අවධානයෙන් ඉන්නවා. එවැනි අකටයතුකම් කරන අය නීතිය හමුවට ගෙනයාම වෙනුවෙන් ඉතාම ඉවසිලිමත්ව, බුද්ධිමත්ව ක්‍රියාකරන බව පැහැදිලියි. පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකරාවි. යම් නොසන්සුන්කාරී බවක් ඇති කළහොත් එයට එරෙහිව සංසිඳුවීමේ පැත්තෙන් විශාල කාර්යභාරයක් කාන්තාවන්ට කළ හැකියි. මේ දේශපාලන වෙනස ඇති කිරීමේ විශාල කාර්යභාරයක් කාන්තාවන්ට පැවරී තිබෙනවා. කාන්තාව දේශපාලන කරළියේ විශාල භූමිකාවක් ඉටුකිරීමේ කාර්යභාරය වෙනුවෙන් පෙරට පැමිණ සිටිනවා. 1965 සිට ඉතාම අසීරු අවස්ථාවලදී පවා ජනතාව වෙනුවෙන් කටයුතු කළ දේශපාලනය ජය ලබා අනිවාර්යයෙන්ම ජනතාවාදී පාලනයක් පිහිටුවීමට කටයුතු පෙළගැසී අවසන්.
“ජනතාව ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය වටා රොද බැඳගෙන අවසන්”
-නීතිඥ සුසන්ත දොඩාවත්ත-
ජාතික ජන බලවේගයේ නීතිඥයන්ගේ ජාතික මහා සමුළුව 2800ක් පමණ සහභාගී වූ නීතිඥයන්ගෙන් යුතුව ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වූවා. මේ රටේ සුවහසක් නීතිඥ ප්‍රජාව ජනතාව දැනුවත් කරමින් අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණයට අප ක්‍රියාකරමින් සිටින අතර, පසුගිය කාලයේ බෙදී සිටි ප්‍රජාව තවදුරටත් එවැනි බෙදීම් නැති එකම කණ්ඩායමක් බව පැහැදිලි කර අවසන්. 20 වැනි සියවසේදී අපට මඟහැරුණු පුනරුදය 21 වැනි සියවසේදී ළඟාකර ගන්න පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශය මූලික කරගෙන රොද බැඳගෙන අවසන්. ලංකාවේ නව වැනි ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර සහෝදරයා නියත වශයෙන්ම තේරී පත්වෙනවා. ඒ ප්‍රතිඵලය මගින් රටේ දේශපාලන සංස්කෘතිය වංචාව, දූෂණයෙන් තොරව ස්ථාපිත කිරීම වෙනුවෙන් අඩිතාලම ලබාගන්නවා. ඒ වගේම ජයග්‍රහණයෙන් පසුව සාමකාමීව ප්‍රතිඵලය භුක්ති විඳින්නේ කෙසේද යන්නත් සම්බන්ධයෙන් ඉතිහාසයට අත්දැකීමක් එකතු කර දෙනවා. මේ මැතිවරණයෙන් අනතුරුව රටේ සමස්ත ජනතාව අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළගැසෙන බව ස්ථිරයි.
“බෞද්ධ විරෝධී ප්‍රචාරවලට, භීෂණකාරී තත්වයක් පිළිබඳ ප්‍රචාරවලට ඡන්දයෙන් පිළිතුරු දෙන්න”
-නීතිඥ කෝසල දාබරේ-
මැතිවරණවලදී ජනතාව හැමදාම ඉල්ලුවෙ වෙනසක්. බලයට පත්වූ පාලකයන් ජනතාවට වෙනස පෙන්වලා කොකා පෙන්වීමයි ඉතිහාසය පුරාම කළේ. 69 ලක්ෂය යනුවෙන් උපහාසයට ලක්වී සිටින්නේ, තාප්පවල චිත්‍ර ඇන්ද, ස්වේච්ඡාවෙන් තවත් කටයුතුවලට දායක වූ පිරිසක්. ඔවුන් උපහාසයට ලක්වීම සුදුසු නැහැ. වෙනසක් ඉල්ලූ මිනිසුන්ට තමන්ම පත්කර ගත් පාලකයා එළවා දමා තවදුරටත් වෙනස වෙනුවෙන් කැප වෙන්න සිදුවුණා. එහි කූටප්‍රාප්තිය ලෙස ජනතාව 2024 සැප්තැම්බර් 21දා සිංහල, දෙමළ, මුස්ලිම් යනුවෙන් භේදයක් නැතිව ජාතික ජන බලවේගය වටා විශාල වශයේ එක්රොක් වෙමින් සිටිනවා. මෙයට පෙර උතුරට, නැගෙනහිරට, වගේම කඳුකරයට අයිති ජනතාවගේ ඡන්ද වෙනුවෙන් අයිතිකාරයෙක් හිටියා. එවැනි නායකයන්ට තවදුරටත් මේ භූමියේ ඡන්ද ගොඩවල් ලෙස දේශපාලනය කරන්න බැහැ. ඒ නිසාම ජනතාවට බෞද්ධ විරෝධී ප්‍රචාර, භීෂණකාරී තත්වයක් පිළිබඳ ප්‍රචාර වැනි විවිධ ප්‍රචාරයන්ට හසු නොවී ඡන්දයෙන් පිළිතුරු දෙන ලෙස ඉල්ලනවා. ඒ වගේම බල හුවමාරුව නිසි ආකාරයෙන් සිදුකරන්න පෙළගැසෙන ලෙස ඉල්ලා සිටිනවා.
“යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට දේශපාලනඥයන් ඇඟිලි ගහන යුගයක් නැවත ඇති වන්නේ නැහැ”
-නීතිඥ අනුෂ කුලසේකර-
අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය නියතයක් වී තිබෙන පසුබිමක ඔහුගේ විරුද්ධවාදීන් සියලුම ක්ෂේත්‍රවල රජයේ නිලධාරීන් හට මෙන්ම ව්‍යාපාරිකයන් ඇතුළු අනෙකුත් කණ්ඩායම් වෙතද අනියත බියක් ඇති කිරීමට උත්සාහ කරනවා. චෞර දේශපාලනයේ සහකරුවන් වූ ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මේ රටේ කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට හෝ සේවකයෙකුට අංශු මාත්‍රයක හෝ ප්‍රතිලාභ කප්පාදුවක් සිදුවන්නේ නැහැ. ශ්‍රී ලාංකේය රාජ්‍යය එලෙසින්ම පවතිද්දී රාජ්‍යය පාලනය කිරීම, මෙහෙයවීම සඳහා අලුතින් ආණ්ඩුවක් පත්වෙනවා. ඒ වගේම නීිතියේ ආධිපත්‍යය සුරකින ආණ්ඩුවක් පිහිටුවන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ උගත් විනිසුරුවරුන්ද අපහසුතාවයට පත්වෙන ආකාරයේ ප්‍රකාශ රාජ්‍ය නායකයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකර, අධිකරණයට ගල් ගැසීමේ ක්‍රියාවලියක් ජාතික ජන බලවේගය යටතේ හෝ අනාගතයේ නැවත දකින්නේ නැහැ. අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට දේශපාලනඥයන් ඇඟිලි ගහන යුගයක් මෙරට ජනතාවට නැවත දකින්නේ ලැබෙන්නේ නැහැ. දේශපාලන සිතැඟියාවන් ඉටුනොකරන අගවිනිසුරුවරුන් කැකිල්ලේ නඩු විභාගවලින් නෙරපා හරින ක්‍රියාවලියක් නැවත දකින්න ලැබෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නීතියට යටත් ආණ්ඩුවක් මිසක් නිීතියට උඩින් ඉන්න ආණ්ඩුවක් නොවෙයි. සාමූහික ජනතාවගේ ආදරණීය සමාජයක් පිහිටුවීමේ දේශපාලන සද්කාර්යය වෙනුවෙන් අනුර කුමාර දිසානායක සහෝදරයාට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලනවා.
“කට කතාවලට කිසිවෙක් රැවටිය යුතු නැහැ”
-ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම-
හමුදාවේ සහ පොලීසියේ ඉහළ නිලධාරීන් ඔවුන්ගේ ධුරවලින් ඉවත් කරන බවට කට කතාවක් ඊයේ ප්‍රචාරය කර තිබුණා. මෙවැනි කට කතාවලට කිසි කෙනෙකුත් රැවටිය යුතු නැහැ. අපි සියලුම කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රටේ පවතින නීතිවලට යටත්ව පමණයි. ඒ සම්බන්ධයෙන් මම අවධාරණය කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
ප්‍රශ්නය: ඔබලාට ප්‍රතිපාර්ශ්ව අය වෙනුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට දායක වෙන්නේ කොහොමද?
පිළිතුර: පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන මගින්, ඒ ඒ මට්ටම්වලදී සිදුකෙරෙන පරීක්ෂණ අනුව යම් චුදිතයෙක් අධිකරණයට ඉදිරිපත් කරනවා. එවැනි ඕනෑම අවස්ථාවක තමන්ගේ සේවා දායකයන් වෙනුවෙන් පෙනී සිටින්න ලංකාවේ ඕනෑම නීතිඥවරයෙකුට අයිතියක් තිබෙනවා. පැමිණිල්ල මෙහෙය වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. චූදිතයන් වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥයන්ට අවසර තිබෙනවා. ජාතික ජන බලවේගයේ රජයක් ආවා කියලා ඒකට බාධාවක් වෙන්නේ නැහැ. අපරාධ හෝ අනෙකුත් චෝදනා එල්ලවන ඕනෑම පුරවැසියෙක් අධිකරණයකින් වැරදිකරුවෙකු කරන තෙක් නිර්දෝෂීභාවයන් වෙනුවෙන් වූ අයිතිය දී තිබෙනවා. ඒ වගේම අපරාධ නඩු සම්බන්ධයෙන් මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටින්න ඒ චූදිතයාට නීතිඥවරයෙකු ලබාගත නොහැකි නම්, රජයේ වියදමෙන් නීතිඥයෙකු ලබාදෙනවා. අභියායචකයෙකුට ඔහුගේ වියදමෙන් නීතිඥවරයෙකු ලබා ගත නොහැකි නම්, පුරවැසියෙකු හෝ වෘත්තියවේදියෙකු යම් පක්ෂයකට ඡන්දය දුන්නා කියලා ඒ පක්ෂයේ ලේබලය අලවා පැත්තකට කරන්න බැහැ. යුක්තිය පසිඳලීමේදී අධිකරණය දෙපාර්ශ්වයටම ඇහුම්කන් දෙනවා. උදාහරණයක් හැටියට පොට්ටනවුෆර් මහාධිකරණයේ විනිසුරුවරයෙකු ඝාතනය කළ අවස්ථාවේදී දෙපාර්ශ්වයටම නීතිඥවරුන් ලබාදීමෙන් පසුවයි නඩු විභාගය සිදු කළේ.