Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“මේ සිදුව තිබෙන්නේ දකුණු අත විසින් වම් අතට වෙඩි තැබීමක්…” -ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ සභාපති නීතිඥ හේමක සේනානායක-

-Colombo, January 04, 2024-

ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස මේ මාධ්‍ය හමුව පවත්වන්නේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්වයන් පිළිබඳවත්, වැලිගමදී සිදුවූ පොලිස් නිලධාරියෙකුගේ ඝාතනය පිළිබඳවත් දැනුවත් කිරිමට. ජාතික ජන බලවේගය ප්‍රතිපත්තියක් ලෙස දූෂණය, වංචාව, අපරාධ හෙළාදකින දේශපාලන ව්‍යාපාරයක්. පාතාලයට, කුඩුවලට, මත්ද්‍රව්‍යවලට එරෙහිව පොලිසිය විසින් සිදුකරනු ලබන මෙහෙයුම්වලට නීතිඥයන් ලෙසත්, ජාතික ජන බලවේගය ලෙසත් ඒ ක්‍රියාවන්වලට අපේ සහයෝගය තිබෙනවා. අපේ ආණ්ඩුවක් යටතේත් මේ පාතාලයන් මර්දනය නිවැරදිව ඉදිරියට ගෙනයාමට සූදානම්.

ලංකාවේ පොලීසිය ඉතා දක්ෂ කණ්ඩායමක් වගේම ඕනෑම අපරාධයක් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම අවශ්‍ය යටිතල පහසුකම් තිබෙනවා. හැබැයි පොලිසියට සොයාගත නොහැකි වූ හා විසඳා ගැනීමට නොහැකි වූ සෑම අපරාධයක් පිටුපස දේශපාලනඥයෙක් ඉන්නවා. අපි මෙතනදි මත්ද්‍රව්‍ය මාතෘකාව ලඝු කොට ගන්නවා. ලංකාදීප පුවත්පතේ පසුගිය දිනෙක වැලිගම සිද්ධිය සම්බනධයෙන් ප්‍රධාන සිරස්තලයේ සඳහන් වුණා “පොලිසියෙන්, පොලිසියට” වෙඩි තැබූ බව. අපි මෙතෙක් ඉතිහාසයේ හමුදාව විසින් හමුදාවට වෙඩි තබා හෝ පොලිසිය විසින් පොලිසියට වෙඩි තබා මිනිස් ඝාතන සිදුකළ බවක් අසා නැහැ. අපි රූපවාහිනී ප්‍රවෘත්තිවල දුටුවා පොලීසිය බාර අමාත්‍යවරයා මෙම ක්‍රියාව සම්බන්ධයෙන් වන්දි ලබාදෙන බවත්, ඇමතිවරයා පවා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කළා. මේ සිදුවීම කියන්නේ පොලිසිය බාර අමාත්‍යවරයා යටතේ තිබෙන එක යුනිට් එකකින් තවත් යුනිට් එකකට වෙඩි තැබීමක්. ඒ කියන්නේ දකුණු අත විසින් වම් අතට වෙඩි තැබීමක්. මෙවැනි සිද්ධියකදි අමාත්‍යවරයාට උදම් අනන්න හෝ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා කියන්න බැහැ. මෙවැනි බරපතළ, සාහසික සිදුවීමක් පිළිබඳව මෙවැන්නක් සිදුවූයේ කෙසේද යන්න ගැන පැහැදිලිවම පරීක්ෂණයක් පැවැත්විය යුතුමයි.

මියගිය පොලිස් නිලධාරියාගේ පවුලේ අයට මරණය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට අවශ්‍ය වුවහොත් ඒ වන්දි නඩුවේ විත්තිකරුවන් බවට පත්කරන්නේ කවුද? මෙවැනි ආකාරයේ නීතිය අතට අරගෙන, නීතිය අයුතු ලෙස පාවිච්චි කරමින්, දේශපාලනඥයන්ට උවමනා ආකාරයෙන් යුක්තියේ මෙහෙයුම ක්‍රියාවට නඟමින් සිදුකරන සාහසික ක්‍රියාවන්වලට අපේ විරෝධය සහ විවේචනය ඉදිරිපත් කරනවා. මෙම ක්‍රියාවන් අත්හිටුවීමක් සිදුවිය යුතුයි. රටේ ජනතාවට බිය ගෙනඒමට ආයුධ ඉදිරියට ගැනීම, වෙඩි තැබීම් සිදුකිරීම, අධිකරණයමය නොවන මරණයන් සඳහා කටයුතු කිරීම, වැනි රාජ්‍ය ත්‍රස්තය ක්‍රියාත්මක වීමට තිත තැබීමක් කළ යුතුයි. මේ ආණ්ඩුව ගෙනයන මේ ක්‍රියාදාමය ජාතික ජන බලවේගය දැඩිලෙස හෙළා දකිනවා. මත්ද්‍රව්‍ය සහ අපරාධ නතර කිරීම සඳහා ඔබට විශ්වාසය තැබිය හැකි එකම කණ්ඩායම ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක පමණක් බවත් ප්‍රකාශ කරනවා.

යුක්තිය නමින් අයුක්තිය සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. මේ පොළොව තුළ යුක්තිය ස්ථාපනය කරන්නේ අධිකරණය මිස පොලීසිය නොවෙයි.”
-නීතිඥ අකලංක උක්වත්ත

වෘත්තීමය නීතිඥයන් ලෙසත්, ජාතික ජන බලවේගය ලෙස අපේ සාමූහිකයත් යුක්තිය පසිඳලීම සඳහා වංචා, දූෂණ, මත්ද්‍රව්‍ය, හා පාතාලය වැනි සමස්ත අපරාධයන් වැළැක්වීම සඳහා ගනුලබන ක්‍රියාවන්ට අපගේ ප්‍රසාදය හා ඒ සඳහා අපගේ සහාය පළ කරනවා. ඒ යුක්තිය තුළ වැඩ බලන පොලිස්පතිතුමාගේ වැඩ බැලීම තුළ යුක්තිය වෙනුවෙන් අයුක්තියක් සිදුවෙනවා නම් ඒ සම්බන්ධව කතා කිරීමේ අයිතිය නීතිඥවරුන් ලෙස අපට තිබෙනවා. මාටිං ලූතර් කිං පවසා තිබෙනවා, “කිසියම් තැනක සිදුවෙන අයුක්තියක් සෑම විටම යුක්තියට එරෙහිව සිදුවන්නක්” බව.

මෙම සිදුවීම සම්බන්ධව කරුණු දෙකක් මම ප්‍රශ්නාර්ථයක් ලෙස කැටිකොට දක්වන්නම්. ඇමතිතුමාගේත් වැඩබලන පොලිස්පතිතුමාගේත් 2006 සිට 2009 දක්වා කාලය තුළ එතුමා මිරිහානේ එස්.එස්.පී. එතුමා නුගේගොඩ ඩිවිෂන් එකෙන් දකුණු පළාතේ මෙහෙයුමකට ගිහින් මෙවැනිම දෙදෙනෙක් හෝ එක්කෙනෙක් ඝාතනය වුණා. ඒ අවස්ථාවේ 2006 සිට 2009 දක්වා සිටි අයි.ජී. තමයි ඉලංගකෝන් මහත්තයා. එදා සිදුකළ එම වරද නිසාම ඉලංගකෝන් මහතා චක්‍රලේඛයක් ඉදිරිපත් කළා “යම්කිසි අවස්ථාවක තමන්ගේ පොලිස් බල ප්‍රදේශයෙන් පිට බල ප්‍රදේශයකට ගොස් වැටලීමක් කරනවා නම්, අනිවාර්යයෙන් ප්‍රාදේශීය පොලිස් බල සීමාවේ තිබෙන පොලිස් ස්ථානය දැනුවත් කළ යුතුමයි” කියලා. අද දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති වශයෙන් ඉන්න අවස්ථාවේ තමන්ට එදා සිදුවුණු වැරැද්දට අදාළ චක්‍රලේඛනය නැවත ඔහු විසින්ම උල්ලංඝනය කර තිබෙනවා. ඔහු පොලීසියේ ඉහළම නිලධාරියා. පොලිස්පතිතුමා නිකුත් කළ ආඥා පනත තුළ අයි.ජී. මෙන්ම වැඩ බලන අයි.ජී.ත් බැඳී සිටිනවා. ඩී.අයි.ජී., එස්.එස්.පී. පහළ සිටින සියලුම නිලධාරීන් බැඳී සිටිනවා. අයි.ජී.ට කිසිම වරප්‍රසාදයක් නැහැ. මුක්තියක් නැහැ.

වැලිගම සිදුවීම සම්බන්ධයෙන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ කේ.ඩී.එච්. වාහනයකින් පැමිණ අදාල ඩබලිව්. ෆිෆ්ටීන් නමැති හෝටලයේ වැටලිමක් කරන අවස්ථාව සම්බන්ධව වැලිගම පොලීසිය දැනගෙන තිබී නැහැ. මාධ්‍ය ප්‍රකාශකගේ මුල් ස්ථාවරය වුණේ අදාළ කුඩු ව්‍යාපාරික පුද්ගලයෙකුගේ ගෝලයන් හා ඔහුගේ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක් මාතර දකුණු ප්‍රදේශයේ දෙදෙනෙකුගෙන් එක්කෙනෙක් එම ස්ථානයේ නැවතී සිටියා. ඒ නිසා 2023 දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ අළුයම එතැනට ගියා. එම හෝටලය දෙසින් වෙඩි තැබුවා. එයට ප්‍රතිචාර ඔවුන් දැක්වුවා. නමුත් මෙම විමර්ශනයේදී අනාවරණය වෙන්නේ හෝටලය දෙසින් වෙඩි තැබීමක් සිදුනොවුණු බව. හොටලයේ නවාතැන් ගෙන සිටි පිරිස වෙඩි තැබීමේ සිද්ධිය ගැන ප්‍රශ්නය ආවට පසුව 119ට කතා කර තිබෙනවා. 119න් වැලිගම පොලිසියට සම්බන්ධ වුවාට පසුව වැලිගම පොලීසිය ඒ අවස්ථාව වන විටත් යුක්තියේ මෙහෙයුමට හමුදා නිලධාරීන් අනුයුක්ත කර තිබෙනවා. එම නිලධාරීන් පැමිණ වෙඩි තබමින් සිටි වෑන් රථයට වෙඩි තබනවා. එම වෙඩි ප්‍රහාර දරාගත නොහැකිව ඔවුන් පළා යනවා. අවසානයේ ඉමදුවේදී අධිවේගී මාර්ගයේ පිවිසුම් ස්ථානයට ඇතුළත් කිරීමේදී එම ස්ථානයේ සිටි නිලධාරියා විසින් මෙම වාහනය නවත්වනවා. වාහනයේ පිටුපස දැඩිසේ රුධිර වහනය වූ අයෙක් හා පණ අදිමින් සිටි කෙනෙක් දැක තිබෙනවා. එම නිලධාරියා වාහනයට යාමට නොදී ඇම්බියුලන්ස් එකක් ගෙන්වා තුවාලකරුවන් රෝහලට යවනවා. වාහනය මුදාහැරීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී එකේ ප්‍රධාන අධ්‍යක්ෂකගේ ඇමතුමක් ලැබුණ බවට තොරතුරු තිබෙනවා.

මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. ඇයි ඉමදූවට දැම්මේ, කරාපිටිය රෝහලට යන්න? මනුස්සයෙක් මරණාසන්න මොහොතක සිටින අවස්ථාවක රෝහලකට යැවිය යුත්තේ ළඟම තිබෙන රෝහලකටද, දුර තිබෙන රෝහලකටද? ආසන්නවම මාතර හා වැලිගම රෝහල් තිබෙනවා. ඉමදූව දක්වා පැමිණීම අපට සැකයට හේතු වෙනවා. අපට තිබෙන ප්‍රශ්නය තමයි යුක්තිය මුවාවෙන් සිදුකරන අයුක්තිය. ලැබී තිබෙන තොරතුරු අනුව කේ.ඩී.එච්. එකේ තිබෙන නම්බර් ප්ලේට් එක පවා ව්‍යාජයි. ඉමදූවේදී නතර කළේ නැතිනම් මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම යට යනවා. වැලිගම පොලීසිය නොපැමිණියේ නම්, පොලීසිය-පොලීසිය අතර වෙඩි තැබීමක් සිදුනොවුනේ නම්, හෝටලයේ කිසිවෙකු හෝ මිය ගියා නම්, ඒ වගකීම ගන්නේ කවුද? මෙය කරළියට එන්නේ නැහැ. මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මාධ්‍ය ප්‍රකාශක දන්නේ නැහැ.

එස්.සී.එෆ්.ආර්. මූලික අයිතිවාසිකම් නඩුවේ 107/2011 යටතේ වැඩබලන පොලිස්පතිට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලබා දුන්නා. පෞද්ගලික මුදලින් ලක්ෂ පහක් ගෙවන්න කිව්වා. ඒ පෙත්සම්කරුවන් කියා සිටියා ඉතා අමානුෂික හා කෲර ලෙස සැලකූ බව. එහෙම කෙනෙක් ආරක්ෂා කරන්න පොලිස් ඇමතිට පුළුවන්ද?

දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත් උතුරු දිශාව බාරව පත්වුණේ 2015දී. දැනට අවුරුදු 09ක් වෙනවා. මේ මත්ද්‍රව්‍ය මෙහෙයුම කරන්න වැඩබලන පොලිස්පති වෙන්නම ඕනෑද? පොලීසිය බාර ඇමති ප්‍රසිද්ධියේ කිව්වා මේ වැඩ බලන පොලිසපතිවරයා කුමන තත්වයක් යටතේවත් ඉවත් කරන්න නොදෙන බව. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ීක්‍ත්‍ඍ/107/2011 අංක දරන මූලික අයිතිවාසිකම් නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් වැරදිකරුවෙකු කර, කෲර සහ අවමන් සහගත ලෙස ක්‍රියාකර ඇති බව තීන්දු කළා. පැමිණිලිකරුට පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවා ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් තීන්දුකර තිබුණා. අධිකරණයෙන් මෙවැනි තීන්දුවක් ලැබී තිබෙන නිලධාරියෙකු පොලීසියේ තියාගන්නවාද? මෙවැනි තීන්දුවක් වෙනත් නිලධාරියෙකුට ලැබුණා නම්, තනතුරෙන් පහළ හෙළනවා. ඒ වගේම මැයි 09වැනිදා අරගලයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වගේම ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ සල්ලි නිසි ක්‍රියාවලියකින් බාර නොදීමට අදාළ නඩු දෙකක් ඔහුට විරුද්ධව තිබෙනවා.

මෙවැනි පුද්ගලයෙක් වැඩබලන පොලිස්පති හැටියට පත්කර මොනම තත්වයක් යටතේවත් එම තනතුරෙන් ඉවත් නොකරන බව දේශපාලන නායකත්වය ප්‍රකාශ කරනවා. එහෙව් රටකට අධිකරණයක් මොකටද? රටේ නායකයා බැඳුම්කර වංචාව පිළිබඳව චෝදනා ලැබූවෙකු වී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කප්පම් ගැනීමේ වැරදිකරුවෙකු වී මහජන ආරක්ෂක ඇමති ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් දී තිබෙද්දී පොලිස්පතිවරයා මූලික අයිතිවාසිකම් කඩ කරද්දී තවදුරටත් ඔවුන් රට පාලනය කිරීම තුළ පුරවැසියාට යුක්තිය ඉටු වෙයිද? පොලීසියට යුක්තිය විසඳන්න බැහැ, අධිකරණය තියෙන්නේ ඒකට. පොලීසියට හැකියාව තිබෙන්නේ අදාළ විමර්ශන නිසියාකාරව සිදුකර අධිකරණයට සහාය දැක්වීමයි. මේ පොළොව තුළ යුක්තිය ස්ථාපනය කරන්නේ අධිකරණය මිස පොලීසිය නොවෙයි. යුක්තිය මෙහෙයුම නමින් අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයෙක්ම සැකකරුවෙකු මිස වැරදිකරුවෙකු නොවේ. මොන නාටක රඟ දක්වා හෝ වැඩබලන පොලිස්පති, පොලිස්පතිවීම ලොකුයිද? වැලිගමදී වෙඩි වැදී මියගිය උපුල් චමින්ද පොලිස් නිලධාරියාගේ දරුවන්ට තාත්තෙක් නැතිකරලා, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවීම ලොකුයිද? ඒ බිරිඳට සැමියෙක් නැති කරලා දේශබන්දු පොලිස්පතිවීම ලොකුයිද? අපේ ප්‍රශ්නය ඒකයි.

අපි මේ කතා කරන්නේ මිනිස් ජීවිත දූවිලි බවට පත්කරන මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගත යුතුයි කියන ස්ථාවරයේ ඉඳලයි.”
-ජාතික ජන බලවේගයේ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල

වැලිගම සිද්ධිය සහ ප්‍රශ්නගත මෙහෙයුම් සම්බන්ධයෙන් පවතින නීතිමය සිද්ධාන්තය මොකක්ද? වැලිගම වෙඩිතැබීමේ පිටුපස කතාව පිළිබඳව ප්‍රධාන මාධ්‍යයේ වගේම සමාජ මාධ්‍යවලත් විශාල කතාවක් යනවා. මේ මාධ්‍යවල ඇතිවී තිබෙන සංවාදයෙන් හෙළිවන කරුණු පිළිබඳව පවත්වන පරීක්ෂණය මොකක්ද?

වැලිගම වෙඩිතැබීමෙන් පසුව දෙහිවල හෝටලයක් කඩා ඉවත් කිරීමේ නාටකය රඟ දැක්වූවා. ඒ හෝටලය විවෘතකර තිබෙන්නේ නාමල් රාජපක්ෂ, හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර, මධුර විතානගේ, ජයන්ත කැටගොඩ, ඒ.එම්.එෆ්. ෆවුසි වගේ එවකට හිටපු මැති ඇමතිවරුන් සහභාගිත්වයෙන්. හෝටලය සම්බන්ධයෙන් ලබාගත යුතු අවසර පත්‍ර සියල්ල ලබාගෙන තිබෙන බව හෝටලය සම්බන්ධයෙන් කරුණු දක්වන පාර්ශ්වයන් කියනවා.

ඒ වගේම තව තුන්වෙනි සිද්ධියකුත් තිබෙනවා. ඒ සිද්ධියට රටේ සමස්ත ජනතාවගෙන් වැඩි පිරිසකට බලපානවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මේ කතා කරන්නේ මිනිස් ජීවිත දූවිලි බවට පත්කරන මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගත යුතුයි කියන ස්ථාවරයේ ඉඳලයි. නමුත් දැන් සිදුකරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නැති මිනිසුන් පවා පොලිස් ස්ථානවල රඳවා තබාගෙන සිටීමයි. තමන් ජීවත්ව සිටින ප්‍රදේශයේ පොදු ජනතාව වෙනුවෙන් පෙත්සම්වලට අත්සන් එකතු කරපු කාන්තාවන් පවා මත්ද්‍රව්‍ය චෝදනා යටතේ පොලීසියෙ රඳවාගෙන සිට තිබෙනවා. මේ වන විට රටේ පවතින විශාල ආණ්ඩු විරෝධය වටා එකතුවෙන ජනතාව බියට පත්කිරීමේ දොරට තමයි මෙ තට්ටු කරන්නේ.

විදුලි බල මණ්ඩලය කොටස්වලට කඩා විකිණීමට එරෙහිව විශාල විරෝධතා ව්‍යාපාර පවත්වමින් සිටිනවා. ඔවුන්ව බිය ගන්වන්න බොරු චක්‍රලේඛ නිකුත් කරනවා. මත්ද්‍රව්‍ය මෙහෙයුම් නාමයෙන් මේ සිදුකරන්නේත් එවැනි කටයුත්තක් දැයි විශාල සැකයක් අපට තිබෙනවා. මිනිසුන් විශාල වශයෙන් බියට පත්කර තැබීමට ගෙනයන උත්සාහයක් දැයි විශාල සැකයක් අපට තිබෙනවා.

වැලිගම මෙහෙයුම ඇතුළු මෙහෙයුම්වලදී සිදුවී තිබෙන්නේ ඉඳුරුවේ ආචාරියාට සිදුවුණු දේ වගේ දෙයක්. වැලිගම මෙහෙයුමට පිටස්තර පොලිස් කණ්ඩායමක් යවන්නේ අධිකරණයෙන ගත් “A” වාර්තාවක්වත් අරගෙන නොවෙයි. හෝටලය කඩන්න ලබාගත් අධිකරණ නියෝගයක් තිබුණෙත් නැහැ. යුක්තිය කියන වචනය ඉදිරියට දමා වෙනත් මෙහෙයුම්, පටු පෞද්ගලික අරමුණු ඉටුකර ගන්න උත්සාහ කරනවාද කියන සැකය ජාතික ජන බලවේගය මතුකරනවා. මේ ගෙනයන ක්‍රියාමාර්ග තුළින් ප්‍රජාතන්තවාදය නීතියේ බලය ප්‍රශ්න කරන්නේදැයි බලවත් සැකයක් අපට තිබෙනවා.