(-කුරුණෑගල තරුණ රැලිය – 2024.06.02-)
මේ වනවිට අයහපත් කාලගුණික තත්වය හේතුකොටගෙන ආපදා තත්වයක් ඇතිවෙලා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල ජනතාව අවතැන්වී සිටිනවා. ඒ වගේම ජීවිත අහිමිවීම් කිහිපයක් වාර්තා වී තිබෙනවා. වර්ෂාව නිසා මිය ගිය හා අසරණභාවයට පත්වූ ජනතාවට ජාතික ජන බලවේගය ලෙස අපේ පැත්තෙන් උදවු කරන්න, සහාය දෙන්න අපේ සහන සේවා බලකායන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එහෙත් ගංවතුර හේතුවෙන් සමහර ප්‍රදේශවල යාමට නොහැකිව තිබෙනවා. ගංවතුරකින් මිය යෑමටත්, මෙතරම් විශාල සංඛ්‍යාවක් අවතැන් වීමත්, සිදුවිය යුතු නැහැ. වැස්ස ස්වභාවිකයි. නමුත් අනතුර ස්වභාවික නැහැ. අපේ රටේ පාලකයින් දීර්ඝ කාලයක් අනුගමනය කරන ලද වැරදි සංවර්ධන ප්‍රතිපත්තිවල ප්‍රතිඵල තමයි වර්තමාන පරම්පරාව මේ බුක්ති විඳිමින් තිබෙන්නේ. ලෝකයේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව විසින් මෙවැනි අනතුරක් කල්තියා හඳුනාගෙන, වර්ෂාව වැඩිපුර ලැබෙන්නේ කුමන ප්‍රදේශයටද, ගංවතුර අවදානම තිබෙන්නේ කුමන ප්‍රදේශයටද යන්න හඳුනාගත හැකිව තිබෙනවා. හඳුනාගෙන මෙම ව්‍යසනයන් අවම කරගත හැකිව තිබෙනවා. දත්ත, තොරතුරු ලබාගැනීමට හැකි තාක්ෂණය දියුණු වී තිබෙනවා. නමුත් අපේ රටේ තාක්ෂණය උපයෝගීකර ගැනීමට අසමත්වී තිබෙනවා. මේ ව්‍යසනයන් අපට අඬගසා කියන්නේ මේ රට වෙනස් කළ යුතුයි කියන පණිවිඩයයි.
මේ ඉන්නේ ඉතාමත් ප්‍රබල බලපෑමක් කළ හැකි තරුණ පරම්පරාවක්. මේ පරම්පරාව ලෝකයට විශාල පණිවිඩයක් හා අත්දැකීමක් දුන්න පිරිසක්. අපේ පැරණි දේශපාලකයන්ටත්, දේශපාලකයන්ගේ ප්‍රතිපත්තිවලටත් ප්‍රබල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. මීට වසර දෙකකට පෙර මෑත ඉතිහාසයේ විශාල ස්වභාවික ජන නැගිටීමක් සිදුවුණා. පසුගිය දශක කිහිපය ඇතුලේ කොතනකවත් ජනතාව ස්වභිවික ලෙස සංවිධානය වෙලා පාරට බැහැලා, එහි පාලකයන් පලවා හැර නැහැ. මැදපෙරදිග යම් යම් රටවල්වල සිදුවීම් තිබුණත් ඒවා සිදුවුණේ යටි අරමුණු සහ යටි මැදිහත්වීම් අනුව. අපේ රටේ ස්වභාවිකව ජනතාව නැගිට්ටා. මේ ජනතාව අවදි කිරීමේ විශාල කාර්යභාරය කළේ වත්මන් තරුණ පරම්පරාව. වර්තමාන ලෝකය අපේ කාලයේ තිබුණු පරම්පරාව නොවෙයි. 1995 සිට 2009 දක්වා අවුරුදු 15 ඇතුළත ඉපදුණු පරම්පරාව ඉෂෙඞ් පරම්පරාව කියලා අපි හඳුන්වනවා. ඉන්පසු පරම්පරාව ඇල්ෆා පරම්පරාව කියලා හඳුන්වනවා. අපේ පරම්පරාව එක්ස් රම්පරාව 1965-1979 අතර ඉපදුණු අයයි. මෙතනට රැස්වී සිටින බොහෝ දෙනා අයිති වෙන්නේ ඉෂෙඞ් පරම්පරාවටයි. අපේ රටේ තිබෙන ගෘහ ඒකක ලක්ෂ 52න් ඒකක ලක්ෂ 30ක ඉෂෙඞ් පරම්පරාවට අයත් තරුණයෙක් හෝ තරුණියක් ජීවත් වෙනවා.
ඔවුන්ගේ අපේක්ෂාවන් වෙනස්, ගෙදරට බලපෑම් කළ හැකි ඩිජිටල් ලෝකයේ ජීවත් වෙන අයයි. ඒ පරපුර අපේ පරපුරේ තිබුණු සීමිත අවශ්‍යතා සහ ඉතා කුඩා ලෝකයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. පෑනේ මිතුරන්, ගුවන් විදුලියේ අසන්නන්ගේ ඉල්ලීම්, තැපැල් පත්, මූලික කරගත් පරම්පරාවෙන් වෙනස් වී ඩිජිටල් ලෝකයේ සැරිසරණවා. අපේ පරම්පරාව උදේ නැගිටලා මුලින්ම තේ එකක් බොනවා ඒ වෙනුවට ඔබේ පරම්පරාව මුලින්ම ෆෝන් එක අතට ගන්නවා. ඔබට වේගයෙන් තොරතුරු ගලාගෙන එනවා. අපට ලැබුණේ පෙරණ ලද තොරතුරු. පත්තරෙන් ලැබෙන තොරතුරුවලට ප්‍රතිචාර දක්වන්න තිබුණේ “කතෘට ලියුම්” තුළින්. ඔබට තොරතුරක් ලැබෙන විටම ඔබේ ප්‍රතිචාරය දක්වන්න පුළුවන්. අපි ඉතා කුඩා ලෝකයක තරුණ විය ගත කළත් ඔබ විශ්ව ලෝකයේ ගත කරනවා. 2022 තරුණ නැගිටීමට මූලික වුණේ මේ ඩිජිටල් විශ්ව ලෝකයයි. නමුත් ඒ අරගලයේ තිබුණු ඇත්ත ආධ්‍යාත්මික බැඳීම සහ ඔබ වෙත තිබුණු නැගීගෙන එන තරුණ පරම්පරාවේ අපේක්ෂාවන් ඛේදජනක අන්තයකට ගෙන ගියා. ඔබේ පරම්පරාව දේශපාලන පක්ෂ සමග සමීපව ගැටගැසී නොසිටියත් අපේ පරම්පරාවට වඩා අරමුණුවලින් දේශපාලනය සමග බැඳීම් තිබෙනවා. ඔවුන්ට යහපත් දේශපාලනයක අපේක්ෂාවන් තිබෙනවා.
නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙන, හොරකම් නැති රාජ්‍යයක් අපේක්ෂා කිරීම, සාධාරණ සමාජයක් වගේ සක්‍රීය පොදු දේශපාලන උවමනාවක යෙදී සිටින නිසයි, අරගලයට ඔබව කැඳෙව්වේ. තරුණ පරම්පරාවේ කැකෑරෙන වේදනාව තුළින් පැන නැගුණු අරගලය පාලකයන් හැඳින්වූයේ කුඩුකාරයන්ගේ වැඩක් කියලයි. මේ පාලකයන් පාඩමක් ඉගෙන ගන්නවා නම්, ඉගෙනගත යුතුව තිබුණේ අරගලයේ හරයෙන්. නමුත් ඔවුන් මුග්ධ, සාහසික ලෙස කුඩුකාරයන්ගේ නැගිටීමක් ලෙස හැඳින්වූවා. තවදුරටත් කීවේ ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ගේ නැගිටීමක් කියලා. අඩුම තරමින් එවැනි විශාල ජනතා නැගිටීමකින් වත් මේ පාලකයන් පාඩම් ඉගෙන නැහැ. ඈත ගම්මානයක ජීවත් වුවත් ගෝල්ෆේස් එකේ අරගලය සමග අධ්‍යාත්මික බැඳීමක් තිබුණා. පාලකයන් අඩුම ගානේ ඒ ආධ්‍යාත්මික බැඳීමවත් තේරුම් නොගෙන තමන්ගේ බලය යොදවමින් මර්දනය දියත් කරන්න උත්සාහ කළා. ප්‍රසන්න රණවීර ගුවන් තොටුපොළ සේවකයෙකුට පහරදීම, තොණ්ඩමන් ඇමතිවරයා ආයතනයකට කඩා පැන පාලන අධිකාරිය බිය වැද්දීම, කළ හැකි ආකාරයෙන් ඔවුන්ගේ බලය තාවකාලිකව ස්ථාපිත කරගෙන පරණ සතාට එළියට එන්න ඉඩහැර තිබෙනවා.
ජනතාවගෙන් කොල්ලකාගත් දේපළ නැවත පවරා ගන්න කියන සටන් පාඨය අරගලයේ තිබුණා. ඒ වගේම නීතිය එකලෙස ක්‍රියාත්මක නොවීම ඩයනා ගමගේ ඇමතිවරියගෙන් හොඳටම පැහැදිලි වෙනවා. ඇයට පුරවැසිභාවය නැති බව වඩාත් හොඳින් දන්නේ ඩයනාමයි. එහෙම තිබියදී පාර්ලිමෙන්තුවට ඇවිත් රාජ්‍ය අමාත්‍යවරියක් වී සිටින්නේ නීතියට වඩා උඩින් ඉන්නවා කියන හැඟීමෙන්. ඔබට පුරවැසි හැඳුනුම්පත නොතිබුණොත් කෙතරම් පීඩාවකට පත්වෙනවාද, නමුත් ඇයට රනිල් වික්‍රමසිංහගේ රැකවරණය තිබුණා. අවුරුදු හතරක් රැක ගත්තා. මිස් ෆයර් එකකින් දඬුවමක් ලැබුණා. ඩයනාට පුරවැසිභාවය නැති බව දෙවෙනියට දන්නේ රනිල්.
එදා නැගිටීම තුළ රටේ සම්පත් විකිණීමට එරෙහි මතයක් තිබුණා. දැන් යළි වේගයෙන් ලාභ ලබන රාජ්‍ය ආයතන ඇතුළු රටේ සම්පත් විකුණමින් සිටිනවා. අපේ අයි.ටී. කර්මාන්තයම අනතුරට ලක්කරමින් ලාභ ලබන ටෙලිකොම් ආයතනය විකුණන්න යනවා. තාවකාලික පාලකයන් ලාභ ලබන රක්ෂණ සංස්ථාව, පශු සම්පත් මණ්ඩලයේ අක්කර විසිඅට දාහක්, ලාභ ලබන ගෑස් සමාගම විකුණන්න යනවා. ඒකෙන් පැැහදිලි වන්නේ ගමේ භාෂාවෙන් කියනවා නම්, ගලේගහලාවත් හදන්න බැහැ කියන එකයි.
එදා 2022 නැගිටීමෙන් පාඩම් ඉගෙන ගන්නනවා නම් ඒ නැගිටීමේ හරය සමග සමපාතවන දේශපාලනයකට යා යුතුව තිබුණා. නමුත් ඒ දේශපාලනයේ තිබෙන්නේ ජාතික ජන බලවේගය තුළ පමණයි. 2022 අරගලයෙන් විශාල ආශ්වාදයක් ලැබුවත්, එය අවසානය නොවෙයි, එළඹෙන ජාතික මැතිවරණයකදී ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීම සඳහා කටයුතු කිරීම එහි දෙවන අදියරයි. අනාගතය තිබෙන්නේ ඉෂෙඞ් සහ ඇල්ෆා පරම්රාවේ අතේ. අනාගතය වෙනුවෙන් දේශපාලන අරමුණු පෙළ ගැසෙන්න ඕනෑ. විශේෂ දැනුමක් සහ ප්‍රාගුන්‍යයක් එදා පරම්පරාවට වඩා ඔබ එකතු කරගෙන තිබෙනවා. එදා චේන්පොටක් ගැනීමට, මුද්දක් හදාගැනීමට, මුදල් එකතු කර ගත් අරමුණු වෙනුවෙන් ගාමන් ෆැක්ටරිය උත්තරයක් වුණා. අද අධ්‍යාපන මට්ටමින් ඉහළ ගිහින් වෘත්තීය මටටමකට ආපු වෙනස් තරුණ පිරිසක් ඉන්නේ. ලෝකයේ ඇති නව වෙනස්කම් උකහා ගත් වෙනස් ජීවිත අරමුණු ඔබට තිබෙනවා. එදා තිබුණු රස්සාව අද ඔබට නොගැලපෙන නිසා, ගාමන්ට් ෆැක්ටරිවල ඇබෑර්තු පවතිනවා. නමුත් තරුණ තරුණියන්ට රස්සා නැහැ. හේතුව තරුණ තරුණියන් ජීවත් වෙන වර්තමාන ලෝකයට ඒ පුරප්පාඩු ගැලපෙන්නේ නැහැ. ගාමන්ට්වල ඉල්ලන ප්‍රාථමික ශ්‍රමය වෙනුවට දැනුම අත්දැකීම් සහිත වෙනම ශ්‍රම ප්‍රාගුන්‍යයක් ඔවුන් සතුව තිබෙන්නේ.
තරුණ පරම්පරාව ප්‍රතික්ෂේප කරන ලද ආර්ථිකයක් මේ රටේ තිබෙන්නේ. තරුණ පරම්පරාව වෙනස්වුණු වේගයට ආර්ථිකය වෙනස් වුණේ නැහැ. ඒ නිසා මේ ආර්ථිකය සමග සම්බන්ධ නොවෙන විශාල තරුණ පරම්පරාවක් එළියේ ඉන්නවා. ඒ තරුණ පරම්පරාවේ සිතිවිලි, අපේක්ෂාවන්, ජීවන රටාවන්වලට අනුරූපවන පරිදි ගලපන ආර්ථික ක්‍රමයක් ගොඩනැගීම අපේ අරමුණයි. 2030 වන විට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් ලෝකයට අවශ්‍ය වෙනවා. ඊට අදාළ සැලසුම්වලට තරුණ පරපුර ගෙනයන්න මේ පාලකයන් සැලසුම් සකස්කර තිබෙනවාද? එසේ නොවෙන නිසා අනාගත අවිනිශ්චිතතාවයෙන් පෙළෙන, රට අත්හැර යාමේ අරමුණ සහිත තරුණ පරපුරක් අද ඉන්නේ. නමුත් ඔබේ සිතුම් පැතුම්, අපේක්ෂාවන්, විලාසිතාවන්වලට අනුරූප සිනමාවක්, සංගීතයක්, ක්‍රීඩාවක් සම්බන්ධයෙන් සැලසුම් පවතින්නේ ජාතික ජන බලවේගයට පමණයි. නූතන ලෝකය සමග අත්වැල් බැඳගෙන යන ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාවේ අරමුණු, ඉටුකරන්නේ ජාතික ජන බලවේගය පමණයි. අපි ලෝකයේ ඉතාමත් ප්‍රාථමික ශ්‍රම වෙළඳපොළක් මේ වන විට අත්පත්කරගෙන ඉන්නේ. මේ පරම්පරාවේ දුවා දරුවන්ගේ අනාගතය නිර්මාණය කිරීමේ සද් උවමනාවක් අපට තිබෙනවා.
ඒ වගේම සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය ගෙනයන පවුල් දේශපාලනය තරුණ පරම්පරාව අතට මාරු කළ යුතුව තිබෙනවා. ස.ජ.බ. හෝ වෙන කිසිවෙකු එවැනි බලයක් තරුණ පරම්පරාවට ලබාදෙන්නේ නැහැ. සජිත් ඇතුළු සමගි ජන බලවේගයේ නායකයන් සියලුම දෙනා පෙර පරම්පරාවල පුතුන්. අනෙක් පැත්තෙත් ඉන්නේ පුත්තුන්ගේ එකතුවක්. අපේ තරුණ පිරිස යොදවා ගන්නේ ඔවුන්ගේ පෝස්ටර් ගහන්න, කැන්වසින් යන්න විතරයි. ජාතික ජන බලවේගයේ අපි කිසිවෙක් පාරම්පරික දේශපාලන පවුල්වලින් එන අය නොfවි. මේ රට වෙනස් කිරීම සඳහා නව දේශපාලන අපේක්ෂාවන් තෝරාගත් අය පමණයි ජාතික ජන බලවේගයේ ඉන්නේ. අපි මේ කරමින් ඉන්නේ ඔවුන් අතේ තිබෙන බැට්න් එක අරගෙන ඔබ අතට ලබාදීමේ ක්‍රියාමාර්ගයයි. ඉතා කෙටි කලකින් අපි ඒ බැට්න් එක ඔබ අතට ලබාදී ඔබ විසින් රට ගොඩනගන ආකාරය දෙස බලමින් සතුටු වෙන්න අපේක්ෂා කරනවා. නමුත් ඔවුන් ලේසියෙන් බලය අත්හරින්නේ නැහැ. ඔවුන් සතු පවුල් බලයත් රාජ්‍ය බලයත් යොදවා දේශපාලන බලය අල්ලාගෙන ඉන්න උත්සාහ කරනවා. පුතාට බැට්න් එක ලබාදෙන්න හැකි සෑම දෙයක්ම පියා කරනවා. එහෙම නම් අපි පොරබදලා මේ බැට්න් එක මාරුකර ගන්න එළඹෙන ජාතික මැතිවරණය යොදාගත යුතු වෙනවා.
බලය මාරුකර ගන්න සුදුසු අවස්ථාව එන තුරු ධෛර්යයෙන් අල්ලාගෙන සිටිය යුතුයි. පුද්ගලිකව ගත්තොත් මගේ ජීවිතයෙන් අවුරුදු 35ක් ඒ අල්ලාගෙන සිටීම කළා. අවලාද, අපහාස, චෝදනා ජනතාව ප්‍රතික්ෂේප කිරීම, 3%ට වැට්ටවීම් සියල්ල මැද්දේ අල්ලාගෙන සිටිමේ කාර්යභාරය පසුගිය කාලය පුරාම සිදුකර තිබෙනවා. දැන් අවස්ථාව එළඹී තිබෙනවා. මුලින් පවත්වෙන්නේ ජනාධිපතිවරණය ද, මහ මැතිවරණය යන්න තෝරා ගැනීමට බැරි තරමට පාලකයන් අර්බුදයට ගොස් සිටිනවා. පොහොට්ටුවට අපේක්ෂකයෙක් තෝරා ගැනීමට නොහැකිවී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉල්ලනවාද නැද්ද යන්න තීරණය කළ නොහැකි තත්වයක් මතුවෙලා තිබෙනවා. සාම්ප්‍රදායික ලෙස තිබෙන ආණ්ඩුවෙන් පස්සේ විපක්ෂ නායකයාට ඔටුන්න වැටුණු කාලය දැන් අවසන්. ඒ නිසා ඔවුන් විශාලතම මානසික පීඩාවට ලක්ව සිටිනවා. ඉස්කෝලේ ළමයි ඉදිරියේ කියන කතා බැලුවාමත් ඔවුන්ගේ මානසික ආතතිය පැහැදිලි වෙනවා. විපක්ෂ නායක විහිළු කාරයෙක් වෙලා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ ඔබගේ බලය, ශක්තිය ඇතුගල්පුරටත් වඩා විශාල බව අපි හිතනවා. අපි හැමෝම එකතුවී ප්‍රබෝධමත්ව සතුටින් ජයග්‍රහණයේ ආස්වාදය සහිතව සිනහමුසු මුහුණින් මේ පරිවර්තනයට දායක වෙමු. සියලු දෙනාට ජය ප්‍රාර්ථනා කරනවා.
“තරුණ අපිත් හැරටමියෙන් යනතුරු රට හැදෙයි කියා බලාගෙන සිටිය යුතුද?”
-සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකා නිපුණා සාරංගි-
ලෝක ඉතිහාසයේත් අපේ රටේ ඉතිහාසයේත් තරුණ තරුණියන්ගේ ජීවිත තිබණේ මේ ආකාරයෙන් නොවෙයි. අපි යම් අයිතිවාසිකමක් දිනාගෙන තිබෙනවා නම්, ඒ කිසිවක් පාලකයන් අපට බන්දේසිවල තියලා ලබාදෙන්නේ නැහැ. ගැහැනුන්, මිනිසුන්, තරුණ තරුණියන් එකතුවී අරගල කර ලබාගත් ජයග්‍රහණ ඒවා. අපිට අපි තුළ සටනක් තිබෙනවා. එය නිරවුල්ව සිදුකර ගත් නිසයි, ඔබ සැමදෙනා මෙතනට රැස්වී සිටින්නේ. සාම්ප්‍රදායිකත්වයෙන් තොරවී නූතනත්වය දිනාගැනීම වෙනුවෙන් අපිට සටනක් තිබෙනවා. රටේ තරුණ තරුණියන් ජාතික ජන බලවේගය වටා එක්වී සිටින්නේ ඒ නූතන අභියෝග බාරගත් තරුණ පරපුර ලෙසයි. මීට වඩා ලස්සන රටක්, හොඳ අනාගතයක් හොඳ ලෝකයක් අපි කවරුත් බලාපොරොත්තු වෙනවා.
තරුණ පරපුර අතේ තිබෙන නව තාක්ෂණය පවා පාලකයන් යොදා ගත්තේ අපිව ජාති, ආගම්, කුල මල අනුව බෙදන්නයි. මෙන්න මේ ජඩ දේශපානයට එරෙහිව සටනක් අපට තිබෙනවා. අධ්‍යාපනයට සරිලන රැකියාවක්, ඒ රැකියාවෙන් ජීවත් විය හැකි ආර්ථිකයක් අපට තිබෙන්න ඕනෑ. නමුත් අද කයිවාරු ගහන නායකයන්ගේ උස නම්, සිකියුරිටි, මිටිනම් කම්කරු රැකියා දීමේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. පිනට ජනාධිපති වුණු සීයා අපට කියන්නේ 2048 වන තුරු ඉවසන්න කියලා. අපිත් හැරමිටියෙන් යන තුරු මේ රට දියුණු වෙයි කියා බලාපොරාත්තුවෙන්න ඕනෑද. අපේ තරුණ කාලයෙන් වැඩි කොටසක් දුර්දාන්ත පාලකයන්ගේ අමනෝඥ වැඩ නිසා විනාශවී අවසන්. අවුරුදු ගණනාවක් රට අගාධයට ඇදගෙන ගොස් පවුල් පාලනයකට ගෙනගිය පිරිස කෙසේ හෝ බලය රැකගන්න උත්සාහ කරනවා. නමුත් මේ තත්වය වෙනස් කර, අපේ ජීවිතය නූතනත්වයේ ඉඳලා ගොඩනගා ගැනීමේ අවස්ථාව තිබෙන්නේ ජාතික ජන බලවේගය තුළ පමණයි. භඡඡ ශදමඑය එක තුළ සිටින තරුණියන් ලෝකය වෙනස් කළ අයගේ ආදර්ශ අනුව යන ජයග්‍රාහී ගමනට සියලු දෙනාම එකතු වෙමු.
“රටේ හොඳම ජවය අද අයාලේ යන්න ඉඩ ඇරලා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නාමල් කරුණාරත්න සහෝදරයා-
මේ රටේ ඉඳලා තමන්ගේ අනාගතය ගොඩනඟා ගැනීමේ අපේක්ෂා සුන්වූ තරුණ තරුණියන් පාස්පෝට් පෝලිමේ ඉඳලත් තමන්ගේ අංකය ගන්න පගාව දෙන්න සිදුවී තිබෙනවා. රටට වැඩ කරන්න අවස්ථාවක් ගන්න උත්සාහ කළත් ඒ වෙනුවෙන් අවස්ථාවක් නැහැ. මනසට ලොකු බරක්, නිදි නැතිව කල්පනා කරනවා. අන්තිමේදී බෝට්ටුවෙන් හරි රටෙන් පැනලා යන්න කල්පනා කරනවා. තවත් සමහර අය සියදිවි නසා ගන්නවා. තවත් සමහර අය අකලට රෝගී වෙනවා. රටේ හොඳම ජවය අද අයාලේ යන්න ඉඩ හැර තිබෙනවා. රටම වෙලාගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් තිබෙනවා. වැඩිහිටියන්ට වඩා දැනුමෙන් තාක්ෂණයෙන් ඉදිරියෙන්ම ඉන්න තරුණයන්ගේත් ශ්‍රමය අපේ මව්බිමට ගන්න බැරිවී තිබෙනවා. මුළු රටම ඇද දා තිබෙන, අඳුරු අගාධයෙන් ගොඩගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඉදිරි පරම්පරාව වගේම ඔබ සම්බන්ධයෙනුත් පැහැබර අනාගතයක් ගොඩනගන්න අපට හැකියාව තිබෙනවා.
ඒ අනාගතය වළක්වන්න විවිධ උපක්‍රම දියත් කරනවා. රංගේ බණ්ඩාර ඊයේ පෙරේදා මුට්ටියක් දාලා බැලුවා. පළවෙනි මොහොතේම එයට දැඩි ප්‍රහාර එල්ල කළා. සතුරු කණ්ඩායම් එක පොදියට ගාල්වී ඉදිරියට ආවත් ජන බලය හමුවේ ඔවුන්ට කිසිවක් කළ නොහැකියි. මෙතනට රැස්වී සිටින තරුණ පිරිස ඒ බව සනාථ කොට තිබෙනවා. ගෝල්ෆේස් අරගලයට පසුබිම නිරමාණය කළේ මේ රටේ ගුරුවරුන් සහ ගොවියන්. ගෝල්ෆේස් පිටියේ දැවැන්තම ශක්තිය වුණේ තරුණ ජවය. ඒ ඔබේ බලයෙන් සහ ශක්තියෙන් ජනාධිපතිවරයා බලයෙන් පළවා හැරියා. විධායක බලයට වඩා, කැබිනට් මණ්ඩලයේ බලයට වඩා තරුණ ශක්තිය සහ ජන බලය ප්‍රබල බව ඔප්පුකොට තිබෙනවා. ඇතුගල් පුරවරයේ තරුණ තරුණියන් යෝධ හස්තියන් වගේ ඉදිරියට පැමිණ ලංකාවේ වැඩියෙන්ම ඡන්ද තිබෙන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා ඉහළම ඡන්ද ප්‍රතිශතයකින් දිනවීමට දැන් තියාම ක්‍රිකාරීවන ලෙස ආරාධනය කරනවා.
“මේක ජනාධිපතිලගේ මෝඩ පුතුන්ට අයිති රටක් නෙවෙයි”
-සමාජ ක්‍රියාකාරික වෛද්‍ය නජිත් ඉන්දික-
මේ රටේ තරුණ පරපුර ලේ දහදිය හළමින් 2022 අරගලයකින් ජනාධිපතිවරයෙක් එලෙව්වා. ඒකෙන් රනිල් වික්‍රමසිංහ ගේම් එකක් ගහලා ජනාධිපති වුණා. ඒ කාලය පුරාම ජාතික ජන බලවේගය එය එසේ නොවීමට කටයතු කළත්, ඒ මොහොතේ බහුතරයක් දෙනා එය පිළිගත්තේ නැහැ. අවසානයේ ලේ අත්වල තැවරුණු නරුමයෙක් ජනාධිපති බවට පත්කර ගත්තා. ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමේදී තරුණ තරුණියන් අපේක්ෂා කළ දේ ඉදිරියට ගෙන යා නෙහැකි වුණත් පාඩම් ඉගෙන ගෙන ලක්ෂ ගණන් තරුණ තරුණියන් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට පෙළ ගැසී සිටිනවා. පසුගිය කාලයේ සිදුකළ අරගලය ජයග්‍රහණයෙන් කෙළවර කිරීමේ ආරම්භය සටහන් වන්නේ මාලිමාවේ ජනාධිපති කෙනෙක් සහ ආණ්ඩුවක් පත්කර ගෙන මේ රටේ සාමාන්‍ය අම්මා තාත්තාගේ අතට බලය ලබා ගැනීමෙන්. ඉන්පසුව මේ රට ගොඩගැනීමේ වගකීම් සහගත ක්‍රියාමාර්ගවලට මේ රටේ තරුණ තරුණියන් විශාල ශක්තියක් ලෙස ක්‍රියාකාරීව මැදිහත් වෙන බව අපිට විශ්වාසයි.
මේ අවස්ථාවේ රනිල්ගේ හෝ සජිත්ගේ රැස්වීමකට තරුණ තරුණියන් යන්නේ ඇයි? ආර්ථික බරින් මිරිකී සිටින සුළු පිරිසක් රස්සාවක් ගන්න බලාගෙන යන බව අපි දන්නවා. නමුත් මේ රටේ තරුණ තරුණියන් එකතු වී පසුගිය අවුරුදු තුන හතර පුරා ඊට වඩා විශාල දේශපාලන අරමුණක් වෙනුවෙන් රටම පෙළ ගස්වා තිබෙනවා. හැමදාම දණ ගස්වා, කොඳු කඩා සිටි තරුණ පිරිස 2022 නැගී සිටියා.
මීට අවුරුදු 43කට කලින් ජූනි 2වැනිදා යාපනයේ පුස්තකාලය ගිනි ගනිමින් තිබුණා. රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමැතිකමක් දරපු ආණ්ඩුවේ මැරයන් යාපනයට ගිහින් විශාල ප්‍රචණ්ඩත්වයක් මුදාහැර ඡන්ද මංකොල්ලයක් සිදුකර අවුරුදු 33ක යුද්ධයක් නිර්මාණය කළා. කුරුණෑගල එවකට සිටි ඇමතිවරු පුද්ගලිකවම යාපනයට ගොස් ඒ මැරයන්ට නායකත්වය දී තිබුණා. උතුරේ දකුණේ දෙකේම ලක්ෂයකට වැඩි තරුණ ජීවිත විනාශ කිරීමේ පසුබිමක් එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව නිර්මාණය කළා. සාමාන්‍ය පවුල්වල දරුවන් හමුදාවලට බැඳුනා. යුද්ධයේදී වැඩිම පිරිසක් මිය ගියේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. රනිල් වික්‍රමසිංහ තරුණ තරුණියන් ඝාතනය කරන්න ක්‍රියාකළ ආකාරය බටලන්ද කොමිෂන් වාර්තාවෙන් හෙළිකරනවා. අදත් ජාතිවාදය අවුස්සමින් පාලනය ගෙන යන්න කුරුණෑගල වඳ සැත්කම් ප්‍රශ්නයක් ඇදගෙන කේන්ද්‍රගත කර ගනු ලැබුවා. වෛද්‍යවරුන් පවා දැන දැනම ජාතිවාදය අවුස්සන්න ඒ ප්‍රචාරවලට දායක වුණා. මුළු රටක් අනිත් මනුස්සයා දෙස සැකයෙන් බලන්න පත්කරනු ලැබුවා. අවසානයේ පාස්කු ප්‍රහාරය බල උවමනාව වෙනුවෙන් දියත් කළා.
ඒ විතරක් නොවෙයි 1983 කළ දේම කරන්න නිකවැරටියෙන්, වාරියපොලෙන් උත්සාහ කළා. රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරිවෙන කොට ජාතිවාදය මතින් ජනමනස වෙනස් කරන්න දිගටම උත්සාහ කරනවා. නමුත් ජාතික ජන බලවේගයේ තරුණයන් හැටියට ඔවුන් එදා කළ සෙල්ලම්වලින් රට මුදා ගන්න අපි පෙරමුණට ඇවිත් සිටිනවා. ඒ අතර තවත් තරුණ පිරිසකට ජීවිතය ගැටගහගන්න අවශ්‍ය අවම ජීවන තත්වය ඇතිකර ගන්න බෝට්ටුවෙන් පැනයන්න සිදුවී තිබෙනවා. ඒ තත්වය වෙනස් කරන්න ප්‍රභූ දේශපාලනයෙන් මිදුණු සාමාන්‍ය ජනතාවගේ දරුවන් පෙරමුණට ඇවිත් දැක්මක් සහිතව ක්‍රියා කළ යුතු වෙනවා. ඉදිරි මාස තුන හතරක කාලය වෙනදාටත් වඩා වැඩියෙන් සාමූහිකව වැඩ කර, මේ රට වෙනස් කළ යුතුයි. මේ රට ඔබෙත් මගෙත් රට මිසක් ජනාධිපතිලාගේ මෝඩ පුත්තුන්ගේ රට නොවෙයි. නාමල් රාජපක්ෂගේ හෝ සජිත් ප්‍රේමදාසගේ හෝ ප්‍රභූ දේශපාලනයට අයිති රටක් නෙවෙයි. අපිට හැකි උපරිමයෙන් වැඩකර ඉතිහාසයේ පළමු වතාවට මේ රටේ පොදු ජනතාවගේ ජනාධිපති කෙනෙක් පත්කර ගෙන රට ගොඩනඟන්න දායක වෙමු.
“තරුණ අපි ස්මාර්ට් ගේමකට ලැහැස්තියි”
-සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර-
පසුගිය මාර්තු 14 වැනිදා මාලිමාවේ තරුණ සමුළුව පවත්වා අලුත් අවුරුද්දෙන් පසුව මැයි දින ඉතිහාසයේ දැවැන්තම ජනතා බලය තුළ විශාල තරුණ පිරිසක් ඒකරාශී කළා. ඉන්පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 1600කට වැඩි ප්‍රමාණයක් පුරා අපේ ආදරණිය තරුණ තරුණියන් ගොස් ඇතුගලටත් වඩා විශාල කුරුණෑගල තරුණ බලය මාලිමාව වටා එක්රැස් තිබෙනවා. මේ බලයත් එක්ක අවුරුදු 76ක් මේ රටේ පාලනය දැරූ අය වෙව්ලන්න පටන්ගෙන තිබෙනවා. දේශපාලනය කරනවා කියන පුතානෝ විකට නළුවා අපිව කොපි කරමින් තරුණ රැලි කිහිපයක් පැවැත්වූවා. නමුත් අපි කියන්න කැමතියි, ඔයා තව තවත් ජෝකර් කෙනෙක් වෙනවා මිස අපිත් එක්ක හැරෙන්නවත් ඔයාට බැරි බව. පරණ ටෙලිෆෝන් එක අරගෙන ගිහින් අලි මංතරයක් කියන්න විතරයි එයාට ඉතිරි වෙලා තියෙන්නේ. මේ දිස්ත්‍රික්කයේ චණ්ඩි බලය පෙන්වමින් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දුලා ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. මේ රටේ තාවකාලිකව බලයට පත්වී සිටින රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස බයවෙලා බෙදන්න පටන් ගෙන තිබෙනවා. ස්මාර්ට් යූත් එක්සිබිෂන් සහ ස්මාර්ට් යූත් නයිට් කියන වැඩසටහන් පටන් ගන්නා ලෙස හරින් ප්‍රනාන්දු ඇමතිගේ නිල ලිපි ශීර්ෂය සහිතව දන්වා යවා තිබෙනවා.
ඔවුන් කරන්නේ මොනවද? පසුගිය කාලයේ ඉරාජ්ලා එකතු කරගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ 18 සන්නිය නැටුවා. ඒ වෙනුවෙන් තරුණ සේවා සභාවේ මුදල් රුපියල් ලක්ෂ 20ක් වැය කර තිබෙනවා. අවුරුදු උත්සව සඳහා ලක්ෂ 200ක් වැය කර තිබෙනවා. ඉරාජ්ලා සම්බන්ධ කර ගත් තවත් සංගීත ප්‍රසංගවලට ලක්ෂ 220ක් වැයකර තිබෙනවා. ඊට අමතරව නුවර දිස්ත්‍රික්කයේ තිබෙන ජනාධිපති මන්දිරයට තරුණ තරුණියන් ගෙන්වා මාධ්‍ය සංදර්ශන පැවැත්වූවා. රනිල්ලාට, රාජපක්ෂලාට තවදුරටත් බලයක් නැති බව පැහැදිලිවීම නිසා තව තවත් බෙදන්න සූදානම් වෙනවා. තරුණ පරපුර වගේම රටේ ජනතාවත් මේ වන විට වෙනස්වී ඇති බව ඔවුන් තේරුම් ගෙන නැහැ. අද රටෙන් පිටවී යාමට පාස්පොර්ට් ගන්න ඉන්න පෝලිම එයාර් පෝර්ට් එකේ නැහැ. 2022 තරුණයන් 94180ක් රට ගිහින් තිබෙනවා. තරුණියන් 36499ක් රට ගිහින් තිබෙනවා. තරුණ තරුණියන් ලක්ෂ 09ක් පාස්පෝර්ට් හැදුවත් රැකියා සඳහා විදේශගත වී තිබෙන්නේ එක්ලක්ෂ හතළිස් දහසකටත් අඩු ප්‍රමාණයක්. ඔවුන්ගෙන් 77%ක් මැදපෙරදිගට ගිහින් තිබෙන්නේ. යුරෝපයට 7.4%ක්, ඕස්ටේ්‍රලියාවට සහ නවසීලන්තයට 0.9%යි. මෙයින් කියැවෙන්නේ සාතිෂය බහුතරය කම්කරු රැකියා සඳහා විදේශගත වූ බවයි.
ජාතික ජන බලවේගයේ අපි යෝජනා කරන්නේ වෘත්තිය දැනුමක් සහිතව විදේශ රැකියාවකට ගියහොත් මාසයකට ඩොලර් 2500ක් පමණ අම්මා තාත්තා වෙනුවෙන් එවන් පුළුවන්. එවැනි දැක්මක් සහිතවයි ජාතික ජන බලවේගය මානව සම්පත යොදවන්න සැලසුම් කරන්නේ. අධ්‍යාපනයට වැඩි පංගුවක් යෙදවිය යුතු බව අපි කියන්නේ මෙන්න මේ වෘත්තිය නිපුනත්වයක් සහිත පිරිසක් බිහි කරන්නයි. නමුත් පාලකයන් අදත් සිදුකරමින් සිටින්නේ අපේ හීන සිල්ලරට විකුණන එකයි. අපේ අම්මා තාත්තගේ ජීවිතවල සතුටක් නොතිබුණා වගේ තරුණ පරම්පරාවෙත් ජීවිත ඛේදවාචකයක් නොකරන පාලනයක් අපි ගොඩනගා ගත යුතු වෙනවා. අපිට ආර්ථික නිදහස, දේශපාලන නිදහස වගේම සංස්කෘතික නිදහසත් ඕනෑ. ඒ වෙනුවෙන් සමස්ත රටම නව නිදහස් සටනක් වෙනුවෙන් පෙළගස්වමින් සිටිනවා. මේ රටේ තරුණ තරුණියන් නව පුනරුද යුගයක කොටස්කරුවන් බවට පත්කර ගෙන සිටිනවා. අපිට නාස්තිකරන්න වෙලාවක් දැන් නැහැ. අවුරුදු 76ක් රට ගෙනගිය පාර වෙනුවට නව දිසාවකට හරවන්න ඕනෑ. එය කළ නොහැකි වුවහොත් මේ රට අඟලක්වත් ඉදිරියට ගෙන යන්න බැහැ. අපට ඉතිරි වෙන්නේ සොහොන් බිමක් විතරයි. ඒ නිසා තව මාස පහකින් අපේ රට නව නිදහස් සටනක, පුනරුද යුගයක ආරම්භයට පණ පොවන්න තරුණ පරපුර පෙළ ගැසෙන්න ඕනෑ. ස්මාර්ට් ගේමට අපි ලැහැස්තියි කියන පණිවිඩය රටට ලබාදෙන්න ඕනෑ. ඒ වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ පරපුර වගේම රටේම තරුණ පරපුරට ශක්තිය ලැබේවා!