2023.10.11 ජාතික ජන බලවේගය මාධ්‍ය හමුවේදී...
අපේ රටට වාර්ෂිකව වැස්සෙන් ලැබෙන ජලය සොබාවිකව නිර්මාණය වූ ගංගා 103කින් සහ කුඩා ගංගා 94කින් අපේ භූමියේ පිහිටීම අනුව සොභාවිකව කළමනාකරණය වෙනවා. ඒ වගේම මිනිසාගේ මැදිහත් වීමෙන් භූමියේ පිහිටීම උපයෝගී කරගෙන එල්ලංගා වැව් පද්ධතිය, නිර්මාණය කිරීම නිසා, මහඟු ජෛව විවිධත්වයක් උරුම වී තිබෙනවා. මේ රටට ලැබෙන ඝන මීටර් බිලියන 130ක වැසි ජල ප්‍රමාණය වෙළඳපොළ අගයකට ගලපන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සූදානම් වෙනවා. මේ වතුර ලීටරයක මිල ශතයක් විදිහට ගත්තොත් රුපියල් මිලියන එකොළොස් ලක්ෂ ගණනක් උපයන්න මේ නරුම චින්තනය අනුව ගණනය කිරීම් කර තිබෙනවා. මේ අනුව පරාක්‍රමබාහු සමූද්‍රයේ ජල ධාරිතාවය වන ඝන මීටර් මිලියන 134ක ප්‍රමාණය මිල කළොත් රුපියල් මිලියන 1340කට තකසේරු කරන්න පුළුවන්. ජලය ලීටරයක් ශතය බැගින් මිල කළොත් මේ අගය ලැබෙනවා. ස්වභාවිකව ලැබෙන වතුර විකුණන්න යෝජනා කර තිබෙන්නේ කොතරම් අතිවිශාල ලාභයක් ලබන්න දැයි අපි කාටත් පැහැදිලියි. කුඹුරු අක්කර ලක්ෂ 16කට වී වගාවටත් ජලයෙන් 88%ක් භාවිතා කරන සමස්ත කෘෂිකර්මාන්තයට. කුඹුරු අක්කරයකට වී වගාව සඳහා එක කන්නයකදී ජලය ලීටරයක් ශතය බැගින් ගන්න සිදුවුණත් 4000ක මිලක් ගෙවන්න සිදුවෙනවා. ජලය විකිණීමේ තිබෙන බරපතළකම මෙයින් තේරුම් ගන්න හැකිවේවි.
ලෝකයේ පරිසරවේදීන් ගණනය කර තිබෙන ආකාරයට ධාන්‍ය කිලෝ එකක් නිෂ්පාදනය කරන්න ජලය ලීටර් 3500කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය බව සොයාගෙන තිබෙනවා. රනිල් – රාජපක්ෂලා වතුරට මිලක් නියම කළොත් අපේ රටේ සහල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 35ක් වැය වෙනවා. එක් බිත්තරයක් නිෂ්පාදනය කරන්න ජලය ලීටර් 360ක් පමණ වැය වෙන බව ගණනය කර තිබෙනවා. එහෙම නම් එක බිත්තරයක් වෙනුවෙන් රුපියල් 4කට ආසන්න අමතර පිරිවැයක් දරන්න සිදුවෙනවා. එක් කිරි ලීටරයක් ලබාගන්න එළදෙනුන් වෙනුවෙන් ජලය ලීටර් 1000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙන බව සොයාගෙන තිබෙනවා. වී, එළවළු, පලතුරු විතරක් නොවෙයි පශු සම්පත් නිෂ්පාදනයේදීත් අතිවිශාල පිරිවැයක් දරන්න සිදුවෙනවා. ජලය පරිභෝජනය කරන ඕනෑම ක්ෂේත්‍රයකට ජලයට ගෙවීමටත් ඒ අනුව බදු පැනවීමත් ඒ නිසා මිල වැඩිවීම වැළැක්විය නොහැකි වෙනවා. මේ පනත වහාම හකුළා ගන්න අපි හැමෝම එක හඬින් බල කරන්න ඕනෑ.