Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“අප හදන්නේ ව්‍යවසායකයා සමග එකට කල්පනා කරමින්, ක්‍ෂේත්‍රය ඉදිරියට ගෙනයන ආණ්ඩුවක්” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ ජාතික සංචාරක ප්‍රතිපත්තිය එළිදැක්වීම – 2024.08.26 – මොනාක් ඉම්පීරියල් – ශ්‍රී ජයවර්ධනපුර-)

AKD On Stage At NPP Tourism Policy Launch Event

අප විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය අනිවාර්යයෙන්ම ක්‍රියාවට නඟනවා. අපි සංචාරක ක්‍ෂේත්‍රයෙන් කරුණු කිහිපයක් මූලිකව අපේක්‍ෂා කරනවා. තෝරාගෙන තිබෙන අනෙකුත් ක්‍ෂේත්‍රවලට යම් ආරම්භයක් ගන්න යම් කැප කිරීමක් සහ යම් කාලයක් ගත වෙනවා. නමුත්, රට ආර්ථික වශයෙන් කඩාවැටී තිබෙන අර්බුදයෙන් කෙටිකාලීන විසඳුමක් සොයා ගැනීමට තිබෙන ප්‍රධාන මාවත සංචාරක කර්මාන්තයයි. අපි මුහුණ දී සිටින ප්‍රධාන අර්බුදයක් නම්, වාර්ෂිකව අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමට සමත් නොවීම සහ රට තුළ වියදමට අදාළව ආදායම් උපයා ගැනීමට සමත් නොවීමයි. මේ ප්‍රධාන මූලාශ්‍ර දෙකෙන් තමයි, ප්‍රධාන වශයෙන් ම ආර්ථික අර්බුදය ජනිත කර තිබෙන්නේ. දිගුකාලීන, ස්ථිර ආර්ථික සැලැස්මක් සකස් කර වසරකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සහ භාණ්ඩාගාරයට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ යුතු වෙනවා. සංචාරක කර්මාන්තය ඩොලර් උපයා ගැනීමේදී වැදගත්ම ක්‍ෂේත්‍රයක් වෙනවා. ලෝකයේ බොහෝ රටවල් මුහුණ දුන් නමුත්, අප මුහුණ නොදුන් සාධකයක් තමයි, නාගරික ජනාවාසකරණය. චෙන්නායි, ඩකා, ෂැංහයි නගර මේ අර්බුදයට මුහුණ දී සිටිනවා. අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය ගමේ ඉන්න කෙනා ගමේම රැඳෙමින්, ආර්ථික, සමාජයීය ජීවිතය උසස් කර ගැනීමයි. ඒ වෙනුවෙන් අපේ ආර්ථික ආකෘතිය සකස් කර තිබෙනවා.

Crowd At NPP Tourism Policy Launch Event

මේ වන විට ජාතික ආර්ථිකයට සියයට 36ක දායකත්වයක් බස්නාහිර පළාතෙන් ලබා දෙන අතර, ඌව පළාතෙන් ලබා දෙන්නේ සියයට 04ක් පමණයි. උතුරුමැද පළාතෙන් සියයට 05යි. කොළඹ කේන්ද්‍රගත කරගෙන ආර්ථිකය ගොඩනැඟී ඇති හැටිත් පැහැදිලියි. මේ මොහොතේ අර්බුදයක් ලෙස නොපෙනුණත්, එය අනාගතයේ අර්බුදයක් නිර්මාණය කළ හැකියි. ඒ නිසා ගමේ කෙනා ගමේම රඳවමින්, ආර්ථික සහ සමාජයීය ජීවිතය උසස් කිරීමේ විශේෂ විභවතාවක් සංචාරක කර්මාන්තයට තිබෙනවා. වෙරළ තීරය, මධ්‍ය කඳුකරය, ඓතිහාසික උරුමයන් රට පුරා සැලැකිය යුතු ප්‍රමාණයකින් විසිරී තිබෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම, සංචාරක කර්මාන්තයත් එක්ක එකට ගැටගැසී තිබෙනවා. සංචාරක කර්මාන්තය සහ තේ කර්මාන්තයේ එකවිට නියැළෙන ව්‍යාපාරිකයෙක් අපට ඉතා වැදගත් කරුණක් සඳහන් කළා. අවුරුදු තිහක් තේ කර්මාන්තයේ නියැළී සිටියත්, එම සේවකයකුට රුපියල් 35,000කට, 40,000කට වඩා මාසයකට දෙන්න බැහැ කියලා ඔහු කිවුවා. නමුත්, එයාගේ සංචාරක හෝටලයේ අවුරුද්දක් වැඩ කළ පසුව සේවකයෙකුට රුපියල් ලක්‍ෂයක පමණ දීමනාවක් ගන්න පුළුවන් බව ඔහු කිවුවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමේ දී සංචාරක කර්මාන්තයට පැවරී තිබෙන කාර්යභාරය මෙයින් පැහැදිලියි. ලෝකයත් එක්ක ශ්‍රී ලංකාව පිටුපසින් ඉන්නා අතර, යුද්ධය හේතුකොටගෙන උතුරු, නැඟෙනහිර වඩාත් පිටුපසින් ඉන්නවා. දශක කිහිපයක් තිබුණු යුද්ධය විසින් එම ජනතාවට ආර්ථිකයේ හිමි විය යුතු අවස්ථා අහිමි කර තිබෙනවා. එම ජනතාව ආර්ථික ක්‍රියාකාරකමකට ඉක්මනින් ගෙන යනවා නම්, සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් කාර්යභාරයක් තිබෙනවා. ඒ අනුව අපේ ආණ්ඩුවක් යටතේ සංචාරක කර්මාන්තයේ අවශ්‍යතාව පිළිබඳ යථාර්ථය සත්‍ය වශයෙන්ම අප දකිනවා.

NPP Tourism Policy Launch Event Crowd Front

එහිදී අපේ කාර්යභාරය මොකක්ද? මිලියන 4ක සංචාරක ඉලක්කය සපුරා ගන්න පවතින ගුවන්තොටුපොළ මඟින් උත්සාහ කළොත්, පැය දෙක තුනක් රස්තියාදු වෙන්න වෙනවා. එහෙම නම්, අපේ ගුවන්තොටුපොළේ නවීකරණයක් සිදු කළ යුතුයි. කටුනායක ගුවන්තොටුපොළ නවීකරණය කිරීමට පැමිණි ආයෝජකයන් එය දාලා ගියේ ඇයි කියලා ඔබ දන්නවා. ජාත්‍යන්තර මට්ටමේ යටිතල පහසුකම් ප්‍රමුඛතා අනුව ලබා දීම සිදු කරනවා. ඔබ සහ අප අතර අවබෝධයෙන් ඒ කටයුතු කරගෙන යනවා. ඒ වාගේම නීතිමය රැකවරණය මූලික අවශ්‍යතාවක්. ඒ වාගේම සංචාරක ව්‍යාපාරය ඉහළම මට්ටමක පවතින රටවල තමන්ගේ ජාතික ගුවන් සේවය ප්‍රමුඛතම කාර්යභාරයක් ලෙස පිළිගෙන තිබෙනවා. අපි ප්‍රතිපත්තියක් ලෙස ජාතික ගුවන් සේවයට පක්‍ෂපාතී වන අතර, දැන් අපට ‘එයාර් ලංකා’ පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. එය රජයේ තබාගෙන වර්ධනය කරන්න පුළුවන්ද? රජය සහ කළමනාකරණ හැකියාව තිබෙන සමාගමක් එක් කරගෙන ඒකාබද්ධව මෙහෙයවන්න පුළුවන්ද? නැත්නම්, මුළුමනින්ම අත්හැර දමනවාද යන විකල්ප තුන අප හමුවේ තිබෙනවා. එයින් අප වඩාත් කැමැති රජය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්නයි. සාමාන්‍ය තත්වයකින් ගලාගෙන යන විට සාමාන්‍ය තත්වයෙන් පවතින ආයතන ප්‍රමාණවත්. නමුත්, විශේෂ පිම්මක් ගන්න නම්, පරිවර්තනයකට භාජනය කරවන්න නම්, ඒ සියලු ක්‍ෂේත්‍ර ඒකාබද්ධ කර ගත් ආයතනයක් අවශ්‍යයි. උදාහරණයක් හැටියට වෙනත් බලතල තිබුණත්, මහවැලි අධිකාරිය ගත්තොත්, එයට ඉඩම්, නිවාස, ක්‍රීඩා, වාර්මාර්ග, මහාමාර්ග ඉදිකිරීමේ බලතල ලබා දී තිබෙනවා. ඒ කාර්යය අවසන් කළාට පස්සේ ඉඩම් එම අමාත්‍යාංශයටත්, වැව්, ඇළවල් වාර්මාර්ග අමාත්‍යාංශයටත් ආදී වශයෙන් දෙන්න ඕනෑ. තිස් අවුරුද්දකට මුලින් සැලැසුම් කර තිබූ මහවැලි අධිකාරිය සය අවුරුද්දකට සීමා කරන විට එක ආයතන පද්ධතියකට ගත යුතු වුණා.

AKD Addressing At NPP Tourism Policy Launch Event

සංචාරක කර්මාන්තය පිම්මක් ගන්න නම්, අප විසින් යෝජනා කර තිබෙන කොමිෂන් සභාව පිහිටුවිය යුතුමයි. අප ගන්නා වර්ධන ඉලක්ක සම්පූර්ණ කරගෙන සාමාන්‍ය තත්වයට පත් වූ පසු අදාළ ආයතනවලට අදාළ බලතල පවරා අවසන් කළ යුතුයි. 2019 සිදු කළ පාස්කු ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තය විශාල වශයෙන් බිඳවැටී තිබෙනවා. කොවිඩ් වසංගතයෙන් නැවත වැටුණත්, බොහෝ රටවල් යථා තත්වයට පත් වී ඇතත්, අපි තවමත් පැවති තත්වයට පැමිණීමට අසමත්ව සිටිනවා. පොදුවේ ඇති වූ ගෝලීය අර්බුදයක් නිසා කඩාවැටීම සිදු වුණා නම්, සමස්ත රටක් හැටියට එයින් ගොඩඒමේ මාර්ගය සකසාගත යුතුයි. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් යෝජනා කර තිබෙන සහන බැංකුවෙන් සංචාරක කර්මාන්තයේ යෙදී සිටින්නන් ගිලී සිටින ණය බරෙන් නිදහස් කරමින්, ක්‍රමානුකූලව බැංකු ණය ලබා දී, ගොඩගත යුතුයි කියන ස්ථාවරයේ අප ඉන්නවා. ඒ වාගේම මේ ක්‍ෂේත්‍රයට අලුත් කණ්ඩායම් පැමිණෙන්නත් ඕනෑ. ලක්‍ෂ අටක රැකියා ලබා දීමේ ඉලක්කය වෙනුවෙන් මහා පරිමාණ හෝටල් තුළම රඳාපැවතිය යුතු නැහැ. ග්‍රාමීයව කුඩා ඒකක ලෙස පිහිටුවා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විශාල පිරිසක් අතට මෙය පත් කළ යුතුයි. අලුත් අය මේ ක්‍ෂේත්‍රයට කැඳවා ගැනීමට ප්‍රාග්ධනය, කළමනාකරණ හැකියාව ලබා දීම ආණ්ඩුවේ වගකීමක් හැටියට අපි පවරා ගන්නවා. එදිනෙදා අපේ දේශපාලන ක්‍ෂේත්‍රයේදී අපට ඔබව මුණගැසෙනවා අඩුයි. වෙනත් අය අප ගැන ඔබට කියන දේවල් වැඩිපුර සන්නිවේදනය වන බව අපි දන්නවා. ආණ්ඩුවක් ධනය නිෂ්පාදනය කරන්නේ නැහැ. ධනය නිෂ්පාදනය කරන්නේ ඔබ සැම. ඔබ නිෂ්පාදනය කරන ධනයෙන් බදු ලෙස පංගුවක් ආණ්ඩුව ගන්නවා.

NPP Tourism Policy Launch Event Crowd

එම නිසා භාණ්ඩාගාරයට වැඩියෙන් ධනය උපයා ගැනීම සඳහා ඔබ ඔබේ ව්‍යාපාරය, කර්මාන්තය වැඩි වැඩියෙන් දියුණු කරන්න ඕනෑ. ආණ්ඩුවක් හැටියට අපේ වගකීම ඊට අවශ්‍ය සහාය ලබා දීමයි. මේ රටත්, රටේ ජනතාවත් පිළිබඳව පැහැදිලි සද් වුවමනාවක් අපට තිබෙනවා. ඒ අරමුණ වෙනුවෙන් ඔබේ ක්‍ෂේත්‍රයෙන් දායකත්වය අපට දෙන්න. ඒ සඳහා රජයේ පහසුකම් අප සලසා දෙන්නම්. ඔබ සහ අප කියන්නේ පාර්ශ්ව දෙකක් නොවෙයි. ව්‍යවසායකයා සහ ආණ්ඩුව ගැටුමක් පවතින පාර්ශ්ව නොවිය යුතුයි. දැන් පවතින්නේ ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ සහ ව්‍යවසායකයා අතර ගැටුම් ඇති වීමයි. නමුත්, අපි පළමු වතාවට ව්‍යවසායකයාත්, ආණ්ඩුවත් එකට කල්පනා කරමින්, මේ ක්‍ෂේත්‍රය ඉදිරියට ගෙන යාමේ ආණ්ඩුවක් අපි නිර්මාණය කරමු. මේ වැඩපිළිවෙළ සකස් කරන්න පාර්ශ්ව ගණනාවක් එක් වී ක්‍ෂේත්‍රයේ බිම් මට්ටමට ගොස් වසර කිහිපයක් සාකච්ඡා කළා. උදාහරණයක් හැටියට ඇල්ල ප්‍රදේශයේ ඉදිකිරීම්වල පවතින අක්‍රමවත්භාවය ඇතුළු කරුණු ගණනාවක් අපි අධ්‍යයනය කළා. එවැනි ආකාරයෙන් නිර්මාණය කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමට අපි බැඳී සිටින බව අවධාරණය කරනවා.

Mr Nilan Addressing The NPP Tourism Policy Launch Event

“සංචාරක දියඇල්ලේ ප්‍රතිලාභ රටේ මිලියන 22ක ජනතාවට බෙදා දෙන්න අපි සූදානම්”
-ලයන් රෝයල් හෝල්ඩින් සභාපති නිලාන් වික්‍රමසිංහ-

ජාතික ජන බලවේගයේ සංචාරක ප්‍රතිපත්ති එළිදැක්වීම දක්වා පැමිණි ගමන්මඟක් තිබෙනවා. හෝටල් සංගමයෙන් කරන ලද ආරාධනයක් උඩ අනුර දිසානායක මහතා සමග මුලින්ම කිංස්බරි හෝටලයේ දී හමු වී සාකච්ඡා කළා; ප්‍රශ්න කතා කළා. ඉන් අනතුරුව අප සකස් කර තිබෙන්නේ නිකම් දත්ත ගොඩගැසූ වාර්තාවක් නොවෙයි. රටේ සංචාරක කර්මාන්තයේ නියැළී සිටින කුඩාම ව්‍යවසායකයාගේ සිට ඉහළ දක්වා මුණගැසී රටේ විවිධ ප්‍රදේශවල දී තිබෙන ගැටලු හඳුනා ගත්තා. පාරිසරික සංචාරක කර්මාන්තයේ යෙදී සිටින අපට මෙම අවස්ථාවට ආරාධනා කර තිබීම විශාල ගෞරවයක්. මම සංචාරක ව්‍යාපාරයට ඇතුළු වන්නේ 1983 ජුනි මාසයේ. 1983 ජූලි මාසය වන විට සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ඇදවැටුණා. ඊට පස්සේ 1986 සිට දිගටම විවිධ බාධක මධ්‍යයේ හිතා ගන්න බැරි තරම් අසීරුතා විඳිමින් වැඩ කළා. කොහොම හරි කාගෙන ඉඳලා, යුද්ධය ඉවර වෙලා අවුරුදු දෙකක් යන කොට කාමර 50ක හෝටලයක් ඉදි කරන්න හැකි වුණා. අපි මහපොළොවේ හැදුණු, වැඩුණු අය මිස මහ ලොකු සල්ලිකාරයෝ නොවෙයි. ගයිඩිං කරන්න පටන් ගත්තේ, වෙන කෙනකුගෙන් සපත්තු දෙකක් ඉල්ලාගෙන. අවුරුදු හතළිහක් පුරා පයින් ආ ගමනක් වාගේ මහන්සියක් දැනෙනවා. සංචාරක ව්‍යාපාරයේ දියුණුව තිබෙන්නේ දේශපාලන ස්ථාවරත්වය, සමාජයීය ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය සහ සාමය මතයි. තිරසර ආර්ථිකයක් බලාපොරොත්තු වෙනවා නම්, ආයුධ හදන්න ඕනෑ නැහැ; සංචාරක ව්‍යාපාරය තුළින් උපදවන්න පුළුවන් ආදායම කියලා නිම කරන්න බැහැ. ලෝක ආර්ථිකයෙන් සියයට 10ක පංගුවක් සංචාරක ව්‍යාපාරය දරනවා. එය ඉදිරියට යන්න නම්, ප්‍රශ්න අඩු වෙන්න ඕනෑ.

කොවිඩ් වසංගතයත් එක්ක ලෝකයේ සංචාරක ව්‍යාපාරය බිංදුවට වැටුණා. නමුත්, මේ වන විට නැවත සියයට 90ක් නැඟිටලා ඉවරයි. නමුත්, ස්ථාවරත්වයක් නැතිකම නිසා ලංකාව මේ තත්වයට වැටුණා. සුනාමියෙන් අපි ඉක්මනට ගොඩ ආවත්, පාස්කු ප්‍රහාරය නිසා දිගටම ඇදෙන ප්‍රතිවිපාක පවතිනවා. ලෝකයේම සංචාරක ව්‍යාපාරය පවතින්නේ සුළු හා මධ්‍ය පරිමාණ විශාල පිරිසක් නිසයි. පුංචි මිනිසුන් කළ හෝටල් අවුරුදු දෙකක්, තුනක් වැසී තිබෙන කොට ඇති වන තත්වය හිතා ගන්න පුළුවන්. නමුත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අත දුන්නේ කවුරුන්ද? අපි මහා බරක් කර තියාගෙන මෙතැනට ඇවිත් ඉන්නේ. මුලින්ම අනුර කුමාර දිසානායක මහතා කිංස්බරි හෝටලයේ දී හමු වුණු වෙලාවේ අපට කීවේ, “ඔබේ ප්‍රශ්න අපට හොඳින් තේරෙනවා. අපේ ආණ්ඩුවක් යටතේ අවශ්‍ය පහසුකම් ලබා දෙනවා” කියලා. දේශපාලනඥයකුගේ කටින් පිට නොවන වචනයක් එතුමා කීවා. “අපි හැම දෙයක්ම කරනවා. පෞද්ගලික අංශයෙන් මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න. ඔයගොල්ලන්ගෙන් වතුර උගුරක්වත් අපි බලාපොරත්තු වන්නේ නැහැ” කීවා. සැප්තැම්බර් 21 වැනිදායින් පස්සේ අපි කතා කරමු. “ඔබ වතුර උගුරක්වත් බලපොරොත්තු නොවුණාට අපි මේ ක්‍ෂේත්‍රයෙන් දිය ඇල්ලක් මවනවා. ඒ දියඇල්ලේ වතුර උගුරක්වත් අපි පෞද්ගලිකව බලාපොරොත්තු වන්නේ නැහැ. මේ රටේ මිලියන 22ක ජනතාවට ප්‍රතිලාභ බෙදා දෙන්න අපි සූදානම්.” ඒ ප්‍රතිලාභ ඔබේ දෑතින් බෙදා දෙන්න අවස්ථාව ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.