Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“නාරම්මල පොලිස් වෙඩි තැබීමට වැඩ බලන පොලිස්පති සහ පොලිස් ඇමති වගකියන්න ඕනෑ…” -ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

-Colombo, January 20, 2024-

පසුගිය 18දා නාරම්මල ප්‍රදේශයේදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලීසිය නිරායුද සිවිල් වැසියෙකුට වෙඩිතබා ඝාතනය කිරීම අපි පිළිකුලෙන් හෙළාදකිනවා. ඒ වගේම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාම, උද්ඝෝෂණවලට පහරදීමට පැමිණීම කාලයක් තිස්සේ සිදුවන බව අපි දකිනවා. නිල ඇඳුමක් තිබියෙදී සිවිල් ඇඳුමෙන් සැරසී පොලීසිය ක්‍රියාකිරීම අතිශය බරපතළ තත්වයක්. මේ ආකාරයෙන් ක්‍රියාකිරීම නිසා පොලීසිය සහ පාතාලය වෙන්කර හඳුනාගන්නේ කෙසේද? මේ තත්වය සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තත්වයක්. නාරම්මලදී සිදුවී තිබෙන්නේ වාහනය නතර කළේ නැහැ කියලා පිටුපසින් එලවාගෙන පැමිණ, නතර කර තිබූ වාහනයේ රියදුරාට වෙඩිතබා ඝාතනය කිරීමයි. කවුරුහරි වරදක් කළා නම් දඬුවම් කරන්න අයිතියක් පොලීසියට නැහැ. පොලීසියට තිබෙන්නේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ නීතිමය ක්‍රියාමාර්ගයයි. නමුත් මෙතන සිදුවී තිබෙන්නේ රටම අරාජික කරමින් මෙවැනි ඝාතන සිදුකළ පසු වැඩබලන පොලිස්පති ඒ පවුලේ සාමාජිකයන්ට මුදල් ලබාදී ඝාතනයේ බරපතළකම සාමාන්‍ය තත්වයක් දක්වා හෑල්ලුවට ලක්කිරීමයි. පොලීසිය සිදුකර තිබෙන පැහැදිලි කිරීම්වත් මේ සිදුවීමේ බරපතළ බව ඒ බරෙන් බාරගෙන නැහැ.

මේ තත්වයට පොලීසිය පත්කර තිබෙන්නේ මේ දක්වා ආණ්ඩු කළ උදවිය තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් අනීතිකව පොලීසිය පාවිච්චි කිරීම විසිනුයි. නීතියක් නැතිව වැඩ කළ හැකි මානසිකත්වයක් පොලීසිය තුළ නිර්මාණය කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සිටි කාලයේ ප්‍රකාශ කළේ චක්‍රලේඛ, නීතිරීති පැත්තකට දමා තමන් කට වචනයෙන් කියන දේ ක්‍රියාත්මක කරන ලෙසයි. රනිල් වික්‍රමසිංහත් නුවරඑළියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පවරා ගන්න ඒ ආකාරයෙන්ම බලය යෙදවූ හැටි අපි දැක්කා. ජනාධිපතිලා පාතාල නායකයෝ වගේ හැසිරීම ඇමතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් නිලධාරීන්ටත් බෝවෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් අත්විඳින්නේ එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිවිපාක. මැති ඇමතිවරුන්ම පොලීසියත්, නීතියක් නැති, වගවීමක් නැති කොල්ල කල්ලියකගේ තත්වයට පත්කර තිබෙනවා. මීට පෙර වැලිගම ප්‍රදේශයේදී මෙවැනිම වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් මිය ගියා. තව කෙනෙකුට තුවාල සිදුවුණා. ඒ වෙඩි තැබීමෙන් පසුවත් වෙඩි වැදුණු අයව ළඟම රෝහලට ගෙන යන්න නීත්‍යානුකූල ලෙස කටයුතු නොකර, කොළඹ රැගෙන එන්න ආවා. පොලීසිය මේ තත්වයට පත් කළේ, පොලිස් නිලධාරීන් තමන්ගේ අරමුණු වෙනුවෙන් යොදාගත් ආණ්ඩුවල මැති ඇමතිවරුන්.

ලංකාවට ඉතිහාසයේ පළමුවෙනි වතාවට රීලෝඩ් පොලිස්පතිවරයෙකුගෙන් පසුව දැන් ඉන්නේ වැඩබලන පොලිස්පති කෙනෙක්. ඒ තත්වයට පත්වුණේ ඉහළ පොලිස් නිලධාරීන් සියලුම දෙනාටම මානවහිමිකම්, මූල්‍ය අපරාධ හෝ වෙනත් කුමන හෝ චෝදනා සමබන්ධයෙන් නඩු පවතින නිසයි. පොලිස්පති කෙනෙක් පත්කර ගන්න බැරි තරමට ඉහළ නිලධාරීන්ට නඩු තිබෙනවා නම් මෙයින් පීඩාවට පත්වෙන සිවිල් පුරවැසියන්ට මහමගදී වෙඩිකාලා මැරෙන්නත් සිදුවී තිබෙනවා. මේ තත්වයට වගකියයුතු පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම පමණක් ප්‍රමාණවත් නැහැ. වැඩබලන පොලිස්පතිවරයා සහ පොලිස්පතිවරයා පොලීසිය භාර ඇමතිවරයාත් වගකියන්න ඕනෑ. යුක්තියේ මෙහෙයුම නමින් ගෙන යන ක්‍රියාවලිය නීතියට පිටින් ගෙන යන බවට මානව හිමිකම් කොමිසමේ පෙන්වා දීම පොලිස් කොමිසමට පිළිගන්න සිදුවුණා. වැඩබලන පොලිස්පතිලාම නීතිය කඩලා පහළ නිලධාරීන්ට ආදර්ශ දී තිබෙන්නේ. ඒ නිසා දේශපාලනඥයෝ සහ ඔවුන්ගේ සුරතලුන් බවට පත්වුණු, වැඩබලන පොලිස්පති වගේ කණ්ඩායමක් අතිශය බරපතළ තත්වයක් නිර්මාණය කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේන්න උත්සාහ කරන්නේ මාර්ගයේ ගමන් කරන සාමාන්‍ය පුරවැසියාත් ඒ අයගේ ඕනෑකමට ත්‍රස්තවාදීන් ලෙස නම් කරන්නයි. ඉතිහාසයේ කවරදාවත් නොතිබූ ආකාරයට මේ රටේ ජනතාවට තුන්වේල කන්න බැරි තත්වයක් මේ ආණ්ඩුවෙන් ඇතිකර තිබෙනවා. කර්මාන්තකරුවන් කඩාවට්ටා විශාල බදුබරක් පටවමින් 2048 රට සංවර්ධනය කරන තුරු ඉන්න කියනවා. ඒ අතරේ රනිල් වික්‍රමසිංහ අයවැයෙන් ජනාධිපතිට වෙන්කර ගත් මුදලට අමතරව මේ ජනවාරි මාසයේදීම අලුතින් කෝටි 20ක් වෙන්කරගෙන තිබෙනවා. අමාරුවෙන් ජීවත්වෙන පොදු ජනතාවට බදු ගහලා එකතු කර ගන්න සල්ලි ටිකත් රට සවාරි යන්න, පුද්ගලික ආරක්ෂාවට, වාහන ගන්න වියදම් කරනවා. නැව්වල ගිහින් මුහුද මැදදි පාටි දානවා. මේ වගේ වෙලාවක ජීවත්වීම වෙනුවෙන් වෘත්තිය කර ගන්න පාරේ බැහැලා යන අයට පොලීසියෙන් ඇවිත් වෙඩි තබා ඝාතනය කරනවා. ඒ නිසා අපි ජනතාවට කියන්නේ දැන් මේ තත්වය දරාගෙන ඉවසාගෙන හිටියා ඇති, වෙනස් කරන්න එකතු වෙන්න කියලයි. වෙඩි තැබූ පොලිස් නිලධාරියාට විතරක් දඬුවම් කර මේ ප්‍රශ්න විසඳන්න බැහැ. නීතිය ස්වාධීනව, සාධාරණව, ක්‍රියාත්මක කෙරෙන ආර්ථික හයිය තිබෙන රටක් අපි ගොඩනඟන්න ඕනෑ. මිනිසුන්ගේ ජීවිතයේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරගෙන යහපත් සමාජීය ජීවිතයක් ගත කළ හැකි මනුෂ්‍යත්වය තිබෙන රටක් අපි ගොඩනඟන්න ඕනෑ. පවතින මේ විනාශකාරී තත්වය වෙනස් කර, රට ගොඩනැගීම වෙනුවෙන් අපි සියලු දෙනාම පෙළගැසෙන්න ඕනෑ. නාරම්මලදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සහ පොලීසිය බාර ඇමති වගකිව යුතු බව අවධාරණය කරන අතර, එවැනි තත්වයන් ඇති කරන මේ ආර්ථික දේශපාලනික ක්‍රමය වෙනස් කිරීමත් අත්‍යවශ්‍ය බව අවධාරණය කරනවා.

“මෙපමණ කලක් රාජකාරිය හරියට කළා නම්, පොලීසියට මාධ්‍ය සංදර්ශන අවශ්‍ය වෙන්නේ නැහැ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර-

රටේ කුඩු ව්‍යාප්තිය, පාතාල ක්‍රියාකාරකම් නතර කිරීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කිසිවෙකුත් දශමයකින් හෝ විරුද්ධ නැහැ. අපේ පාලනයක් යටතේ නීතියට අනුකූලව අපි මේ ක්‍රියාවලිය ගෙනයනවා. නමුත් මෙතන ‘යුක්තිය’ යනුවෙන් නම් කළාට, පොලීසිය මෙපමණ කලක් තම රාජකාරිය හරියට කළා නම්, මාධ්‍ය සංදර්ශන පවත්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වැඩබලන පොලිස්පතිට පොලිස්පතිවීමේ හීනයක් තිබෙන බව අපි දන්නවා. අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකුට ක්‍රෑරත්වයෙන් සැලකීම සම්බන්ධයෙන් මේ වැඩබලන පොලිස්පති අධිකරණය හමුවේ වැරදිකරුවෙකු වූ පුද්ගලයෙක්. එවන් පුද්ගලයෙකු වැඩබලන පොලිස්පති ලෙස පත්කළ දේශපාලන නායකත්වය යන පාර අපට හිතාගන්න පුළුවන්. ප්‍රධානියා ක්‍රෑරත්වයට කැමති පුද්ගලයෙක් නම් ඒ තත්වය පහළට ගලායාම වළක්වන්න බැහැ. නාරම්මල වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ යම් පුද්ගලයෙක් විඩියෝ ගත කර තිබුණේ නැතිනම් අපට අහන්න වෙන කතාව මොකක්ද? ප්‍රබල පාතාල අපරාධකරුවෙකු කුඩු රැගෙන පලා යන විට අණ නොතකා ධාවනය කළ නිසා වෙඩි තැබූ බවට ප්‍රබන්ධයක් ගොතනනවා. යුක්තිය යනුවෙන් නම් කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් සාම්පල් විශාල ප්‍රමාණයක් පාන්පිටි බව රස පරීක්ෂක හෙළි කර තිබෙනවා. දැන් ජීවිත කීයක් මේ මෙහෙයුමෙන් අහිමි කළාද? මේක නවත්වන්නේ කොතනින්ද?

යුක්තිය නමින් සිදුකරන මාධ්‍ය සංදර්ශනය තුළ කන්හැන්දෙන් කුඩු ගෙනා අය අල්ලනවා. මහාපරිමාණ ජාවාරම්කරුවන් අල්ලා නැහැ. මේ තත්වය තුළ ‘ඔන්ලයින් පනත’ 23වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එක් දිනයකින් සම්මත කර ගන්න උත්සාහ කරනවා. මේ පනතට මූලික කරුණු ලබාගත් සිංගප්පූරුව වැනි රටවල භාෂණයේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අදහසට බාධා සිදු කර නැහැ. නමුත් අපේ රටේ මේ පනත ගෙන එන්නේ ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නයි. මේ කෙටුම්පතේ වගන්ති 31ක් වෙනස් කරන්න නීතිපතිවරයා එකඟ වෙලා ඉන්නවා. ඒ වෙනස්කම් මොනවා දැයි පාර්ලිමේන්තුවටත් දැනගන්න ලැබෙන්නේ නැහැ. යෝජිත කෙටුම්පත අනුව සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නියාමනයට පත්කරන, කොමිසමේ සාමාජිකයන් පත්කරන්නේත්, ඉවත් කළ හැක්කේත් ජනාධිපතිට. මේ පනතේ තිබෙන වගන්තිවලින් වැඩි ප්‍රමාණයක් අපේ විවිධ අණපනත්වලින් ආවරණය වී තිබෙනවා. මේ පනතට සමගාමීවම ඉදිරිපත් කර තිබෙන ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. හදිසියේ මේ පනත් දෙකම ගෙන එන්නේ ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පාලකයන් ඇපත් නැතිව පරදින නිසයි. සමස්ත සමාජයක් තුවාල වී වේදනා විඳින පසුබිමක ජාතික ජන බලවේගය මේ සමාජය සුවපත් කිරීමේ ක්‍රියාවලියක් පිළිබඳ මතවාදය වේගයෙන් සමාජගත කරමින් සිටිනවා. මේ රට වෙනස් කරන්න ඉදිරියට එන්න. මර්දනකාරී නීතිරීතිවලට එරෙහිව රටක් වශයෙන් පොදු ජනතාව වශයෙන් එක්වෙමු.

මාධ්‍යවෙදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් :

ප්‍රශ්නය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ජාතික ජන බලවේගය සාකච්ඡා කිරීම ගැන සමගි ජන බලවේගයෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ?

පිළිතුර: මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අපේ කාර්යාලයට පැමිණ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ඒ ගොල්ලෝ කලබලවීම අපට පිළිගන්න පුළුවන්. ඒ නිසා ඔය මහත්වරුන්ගේ හීන් කෙඳිරිලි අපි ගණන් ගන්නේ නැහැ. අපි අපේ ප්‍රතිපත්තිය ගැන රටට කියලා තිබෙන්නේ. තමන්ගේ ප්‍රතිපත්තියක් නැතිව කුණු එකතු කරමින් ඉන්න, ඒ අය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනවා. අප සමග විවෘතව සාකච්ඡා කරන්නේ ජාතික ජන බලවේගය බලයට පත්වෙන බව මූල්‍ය අරමුදල පවා පිළිගෙන ඇති නිසයි. අපේ රටේ සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගනිමින් රට ගොඩනැගීමට ගෙනයන ප්‍රතිපත්ති පිළිබඳව අපි ඇති තරම් රටට හෙළි කර තිබෙනවා. ඒ අයට අපේ ප්‍රතිපත්ති තේරෙන්නේ නැති එකට අපට කරන්න දෙයක් නැහැ. අපට තිබෙන්නේ කණගාටුයි මහත්වරුනි කියලා කියන්නයි.

ප්‍රශ්නය: ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ක්‍රියාකරන බව ජාතික ජන බලවේගයේ නායිකාවක් ප්‍රකාශ කර ඇතැයි මාධ්‍යවල පළවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පවතින තත්වය මොකක්ද?

පිළිතුර: ජාතික ජන බලවේගය විශාල මහජන ප්‍රසාදයක් දිනාගනිමින් මීළඟ මැතිවරණයෙන් බලයට පත්වීම සම්බන්ධයෙන් කලබලයට පත්වුණු පිරිසක් ඉන්නවා. ඒ අය අපේ යම් කෙනෙකුගේ ප්‍රකාශ කපාකොටා විකෘති කරමින් විවිධ ව්‍යාජ මත ගෙනයනවා. යම් ප්‍රකාශයක සමස්ත හරය මොකක්දැයි ගන්නේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයට සහ මහා මැතිවරණයට අපි අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. එවැනි ක්‍රියාමාර්ගයක් ඇතුළත් කර නැහැ. ඉතා පැහැදිලිව අපේ ප්‍රතිපත්තිය වෙන්නේ විනාශ කළ රට ගොඩනඟන්න ජාතික නිදහස ලබාගන්නත්, ජාතික එකමුතුව සහ ජාතික ඒකාග්‍රතාවය දිනාගන්නා පුනරුද ව්‍යාපාරයක් අවශ්‍ය බවයි. ඒ වෙනුවෙන් අපේ රටේ කාන්තාවන් පෙළගස්වා දැවැන්ත සමුළු පවත්වනවා. ඒ සමුළුවල කාන්තා ප්‍රඥප්තියත් අනුමත කර ගන්නවා. ඒ කිසිම එකක ඔවැනි අදහසක් නැහැ. මෙතන තිබෙන්නේ යමක් පැහැදිලි කිරීමේදී මතුවන වචනයක් අල්ලාගෙන ඔවුන්ට අවශ්‍ය ප්‍රචාර ලබාදීමයි.

අපි කැමති වුණත් අකමැති වුණත් ඇඟ විකුණන කාන්තාවන් අපේ රටේ ඉන්නවා. ඔවුන් එය කරන්නේ කැමැත්තෙන් නොවෙයි. ආර්ථික සහ සමාජ අර්බුදය විසින් ඔවුන් එතැනට ඇද දමා තිබෙනවා. අපේ ප්‍රතිපත්තිය සියලුම ස්ත්‍රීන්ට ගෞරවයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමයි. ඇඟ විකිණීම ගෞරවයක් නොවෙන බව කවුරුත් දන්නවා. අපේ ප්‍රතිපත්තිය ඇඟ විකුණන්න සිදුනොවෙන ආර්ථිකයක් සහ රටක් ගොඩනැගීමයි. ජාතික ආර්ථිකයට සක්‍රීය ලෙස කාන්තාවන් දායක කරගෙන එහි ප්‍රතිලාභ ඔවුන්ට ලබාදීම අපේ ප්‍රතිපත්තියයි. ස්ත්‍රීන් ආර්ථිකය ගොඩනැගීමේ බලවේගයක් බවට පත්කරගෙන ප්‍රතිලාභ ලබාදුන්නාම ඇඟ විකුණන්න සිදුවෙන්නේ නැහැ. කාන්තාවන්ට ඇඟ විකුණන්න බලකළ මේ සමාජ ක්‍රමය පරාද කිරීම අපේ ප්‍රතිපත්තියයි. ඒ අතර පසුගාමී ආකල්ප තිබෙන සමාජයක ඇඟ විකුණන කාන්තාවන් සම්බන්ධයෙන් තිබෙන්නේ මනුෂ්‍යත්වයෙන් තොර ආකල්පයක්. ඒ නිසාම ඒ අය අනාරක්ෂිත, හිංසනය සහ පීඩාවන්ට ලක්වී කර තිබෙනවා. ඒ තත්වය අවසන් කළ යුතු බව අපි කියනවා. එයින් කියන්නේ ගැහැනුන් ඇඟ විකුණන තත්වය අවසන් කර, ගෞරවයෙන් යුතුව ජීවත් වෙන රටක් ගොඩනැගිය යුතු බවයි. ඒ නිසා ඉතා පැහැදිලිව කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමේ ප්‍රතිපත්තියක් ජාතික ජන බලවේගයට නැති බවයි. අපි හදන රටේ, සමාජයේ ගෞරවණීය කොටස්කාරයින් බවට ස්ත්‍රීන් පත්කර ගන්නවා.