-Colombo, December 06, 2023-
පසුගිය 04 වැනිදා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අයවැය විවාදය පැවැත්වූවා. ලබන වසර වෙනුවෙන් එම අමාත්‍යාංශයට වෙන්කර තිබෙන මුදල් මෙම වසරට වඩා 51%න් කපා හැරීමට එරෙහිව ජාතික ජන බලවේගයේ කාන්තාවෝ බත්තරමුල්ල, දියත උයන ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූවා. එම උදඝෝෂණයට එල්ල කළ බියගුළු ම්ලේච්ඡ ජල ප්‍රහාරය හෙළා දකිමින් මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වනවා. අධික වර්ෂාව මධ්‍යයේ එම උදඝෝෂණයට විශාල කාන්තාවන් පිරිසක් සහභාගී වුණා. නමුත් ඔවුන් පැමිණීමටත් පෙර පොලිස් කැරලි මර්දන ඒකකය එම ස්ථානයට ජල බවුසර් සමග යොදවා තිබුණා. ජනතාවට ජීවන බර උසුලා ගන්න බැරිම තත්වයට පත්කිරීම නිසා, රටේ සමස්ත කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් අපි ඊයේ පාරට බැස්සේ. දැඩි විරෝධයක් මේ කාන්තාවන් පළ කළත් කිසිම ආකාරයකින් සාමකාමී තත්වයට බාධා සිදුකළේ නැහැ. පොලීසියට ජල පහර එල්ල කිරීමට අවශ්‍ය වුණා නම්, ඒ ප්‍රහාරය එල්ල කළ, අවස්ථාවට වඩා තීව්‍ර වූ අවස්ථා රැසක් තිබුණා. නමුත් අවසන් වශයෙන් උද්ඝෝෂණයෙන් පසුව කාන්තාවන් විසිරී යාමට ආසන්න වෙලාවේ තමයි ප්‍රහාරය එල්ල කළේ. අපි මේ ප්‍රහාරය දකින්නේ අවසන් සුසුම් හෙළමින් සිටින ආණ්ඩුවේ බියගුළු ප්‍රහාරයක් හැටියටයි.
තව දින 05කින් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තිය අත්සන් කර, අවුරුදු 75ක් සම්පූර්ණ වෙනවා. රටක් හැටියට ලංකාවේ රජයක් තවත් රටවල රැසක් සමග මේ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. අපේ රටේ ජනතාවට මනුෂ්‍යයින් හැටියට අභිමානයෙන් ජීවත් වීමේ ගරුත්වය අහිමි කළ මේ ආණ්ඩුව මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියේ වගන්ති සහමුලින්ම උල්ලංඝනය කර තිබෙනවා. ලෝකයේ ස්ථිර සහ කල්පවතින ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් රටක මානව අයිතිවාසිකම් රැකීම අත්‍යවශ්‍ය සාධකයක් බව මේ විශ්ව ප්‍රකාශනයේ පූර්විකාවෙන් ඉතා හොඳින් සඳහන් වෙනවා. මේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව පාසල්වල ඉගැන්විය යුතු බවත් සඳහන් කර තිබෙනවා. අගහිඟකමින් තොරවීමේ නිදහස, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, තමන්ට හා තම පවුලට මිනිස් ගරුත්වය රැකෙන පරිදි ජීවත්වීමට අවශ්‍ය සාධාරණ වැටුපක් ලැබීමේ අයිතිය, ආහාර, ඇඳුම් නිවාස හා සෞඛ්‍ය සේවා ලබාගෙන යහපත් ජීවන තත්වයක් බුක්ති විඳීමට වගේම මව්වරුන්ට හා ළමුන්ට විශේෂ ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය වැනි මූලික කරුණු රැසක් අවධාරණය කර තිබෙනවා. මානසික සෞඛ්‍යය විශේෂයෙන් ඉලක්ක කරගෙන, කලාව හා සාහිත්‍යය විඳීමේ අයිතියත් අවධාරණය කර තිබෙනවා. රජයක් මේ මූලික අයිතිවාසිකම් කඩකරන අවස්ථාවල පාරට බැස උද්ඝෝෂණය කිරීමට තිබෙන අයිතියත් තහවුරුකර තිබෙනවා. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කිරීම වගේම කාන්තාවන් වෙනුවෙන් කතා කිරීමට විශේෂ වෘත්තීමය අයිතියක් නීතිඥවරුන් වශයෙන් අපට තිබෙනවා. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් වඩාත් සංවේදී වෙමින් අප සමග අත්වැල් බැඳ ගන්නා ලෙස සියලු දෙනාටම ආරාධනා කරනවා.
“අපේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ශාරීරක සෞඛ්‍යය, කඩා වැටීම තවදුරටත් බලා ඉන්න බැහැ.”
-නීතිඥ දිස්නි සමන්තිකා ලියනආරච්චි-
ලංකාවේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන්. පසුගිය වසරේ දූෂිත පාලනයට එරෙහිව ජන අරගලයේ ප්‍රධාන කොටසක් ඉටුකළේ කාන්තාවන්. පවතින දූෂිත පාලන ක්‍රමය කාන්තාවන්ට එල්ල කරන පීඩනය වෙනස් කිරීමට සාමකාමී උද්ඝෝෂණයක යෙදී සිටි කාන්තාවන්ට නින්දා සහගත ජල ප්‍රහාරයක් එල්ල කළා. අනාගත පරපුරට මඟ පෙන්වීමේ විශාල භූමිකාවක් ඉටුකරන කාන්තාවන්ට මෙම ප්‍රහාරය එල්ල කිරීම ජාත්‍යන්තර වශයෙනුත් බලපානවා. තමන්ට තිබෙන ගැටලු සම්බන්ධයෙන් කාන්තාවන් පාරට බැස්ස අවස්ථාවක් ඒක. ළමුන් හා කාන්තාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම නීති සහ අණපනත් පනවා තිබෙනවා. එසේ තිබියදීත් එල්ල කළ මේ ප්‍රහාරය කාන්තාවන් සහ නීතිඥවරියන් හැටියට දැඩි ලෙස හෙළා දකිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලින් තහවුරු කර තිබෙන අයිතියක් පාවිච්චි කිරීමේදී අශිෂ්ඨසම්පන්න ලෙස පහරදීම පිළිබඳව විශාල අවධානයක් යොමුවෙනවා.
අපේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ශාරීරක සෞඛ්‍යය, කඩාවැටීම තවදුරටත් බලා ඉන්න බැහැ. ඒ සම්බන්ධයෙන් හඬ නඟන කාන්තාවන්ට සවන් නොදී, බලය යෙදවීමට එරෙහිව සියලු දෙනා එක්විය යුතුයි. කාන්තාවන්ට පමණක් නොව වෙනත් සියලුම සාමකාමී උද්ඝෝෂණවලට මර්දනය දියත් කිරීම ආණ්ඩුවේ එකම පිළිතුර වී තිබෙනවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥවරු වශයෙන් අපි සියලු දෙනාම එක්වී ඉදිරි පියවර ගන්නවා.
“තොපේ මර්දනය අපේ පන්නරයයි…”
-නීතිඥ චමිලා කුලසේකර-
ලංකාවේ සමස්ත කාන්තාවන් වෙනුවෙන්ම පැවැත්වූ උද්ඝෝෂණයට ජල ප්‍රහාර එල්ල කිරීම හෙළා දැකීමට සමස්ත කාන්තාවන්ම නියෝජනය කරමින් අපි මේ මාධ්‍ය හමුව පවත්වනවා. කාන්තාවට අසීමිතව ඉවසීමේ හැකියාවක් තිබෙනවා. නමුත් කාන්තාවන්ගේ ඉවසීමේ සීමාව අවසන් වූ විට කිසිසේත්ම පාලනය කළ නොහැකි බව රනිල් රාජපක්ෂ ආණ්ඩුව තේරුම් ගත යුතුයි. දරුවෙක් ප්‍රසූත කිරීමේදී කාන්තාවන්ට දැනෙන වේදනාව විඳගත හැකිනම්, ජල ප්‍රහාරයක් විඳ ගැනීම මහලොකු දෙයක් නොවෙයි. මේ ඒකාධිපති වියරුවට එරෙහිව කාන්තවන් පාරට බැස්සේ අද විඳීමට සිදුවී තිබෙන අසීමිත පීඩනයන් නිසයි. දරුවෙකුට ආහාර වේලක් දෙන්න යද්දී මව කොතරම් අසරණ වෙනවා දැයි කාන්තාවන් දන්නවා. අත්‍යවශ්‍ය ඇඳුමක්, බේත්හේත්, අධ්‍යාපනයට පොත්පත්, ලබාදීමට නොහැකි අවස්ථාවල අසීමිතව අසරණ වෙනවා. රට ආර්ථික වශයෙන් වැට්ටීම නිසා කාන්තාවන් අද අන්ත දරිද්‍රතාවයට පත්වෙලා. මේ දක්වා පාලන බලය හෙබවූ ආණ්ඩුවල සිටි මහජන නියෝජිතයන් අපේ හඬ නැගුවේ නැහැ; තමන්ගේ කටයුතු කරගත්තා විතරයි.
රටේ 52%ක් වන කාන්තාවන් වෙනුවෙන් ඔවුන් කිසිදිනෙක කටයුතු කළේ නැහැ. මේ නිසා අද අපි පැමිණ සිටින්නේ අපි වෙනුවෙන් අපි සිටගත යුතුයි තැනට. අන්න ඒ නිසයි, පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතා පැවැත්වූයේ. ගල්කැටයක් හෝ අතින් නොගෙන සමස්ත රටේ පුරවැසියන් වෙනුවෙන් හඬනැගූ කාන්තාවන් හට අපේ ප්‍රණාමය පුදකළ යුතුයි. මේ පහර දීමේ අවස්ථාවට පොලිස් කාන්තාවන් යොදවා සිටියා. කාන්තාවන්ගේ කුසෙන් බිහිවුණු පොලිස් නිලධාරීන් තමයි හිටියේ. අපට දැනෙන අමාරුකම් මේ නිලධාරීන්ට දැන්නේ නැද්ද? පාලකයන්ගේ අවශ්‍යතාවලට හිස නමන්න පොලීසිය යොදවා තිබෙනවා.
අද සිටින්නේ වැඩබලන පොලිස්පතිවරයෙක්. ඒ තනතුරු වරදාන ආරක්ෂා කර ගැනීම සඳහා පාලකයන්ගේ අවශ්‍යතාවලට පොලීසිය මෙහෙයවන්න ඔවුන් සූදානම් වී සිටිනවා. නමුත් අපි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එක දෙයක් තහවුරුකර කියනවා. “තොපේ මර්දනය අපේ පන්නරයයි.” කාන්තාවන් මීට වඩා ධෛර්යසම්පන්නව සවිමත්ව ඉදිරියට එන බව අවධාරණය කරනවා. ජල ප්‍රහාරවලට යටත්ව කොන්ද නමන පිරිසක් නොවෙයි කාන්තාවන්. අපි අදූෂිත ව්‍යාපාරයක නියමුවන් බව ආඩම්බරයෙන් කියනවා. වැදගත් දේශපාලන ව්‍යාපාරයක නියමුවන් අපි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වැදගත් ආකාරයෙන් විරෝධය දැක්වීමට අපි සූදානම්. ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයට අපි උත්තර දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පමණයි. මේ පෙරට එන්නේ යහපත් අනාගතයක සුබ සිහින දකින පිරිසක්. ඒකාධිපති වියරුව පරද්දන්න අපි සියලු දෙනා පෙළ ගැහෙන බවට ආණ්ඩුවට පණිවිඩයක් ලබාදෙනවා.
“ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට නුදුරු දිනෙකදී මේ පහර දීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනවා.”
-නීතිඥ නිලන්ති කොට්ටහච්චි–
විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූ කෙනෙක් හැටියට ලැබූ අත්දැකීම මුලින්ම කියන්න කැමතියි. අපි සියලු දෙනා සාමකාමීව රැස්වී සටන් පාඨ හඬනඟා කියමින් ජනතාවට වගේම පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ට මේ රටේ කාන්තාවන්ගේ කණගාටුදායක තත්වය පිළිබඳව අවධානයට ලක්කළා. සාමකාමී විරෝධතාවයේ අවසානය සනිටුහන් කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හරිනි සහෝදරිය, සමන්මලී සහෝදරිය සහ සරෝජා පොල්රාජ් සහෝදරිය ප්‍රමුඛව කාන්තාවන් ඇමතීමට සූදානම්වනවාත් එක්කම ජල ප්‍රහාර එල්ලකළා. ජල ප්‍රහාර හමුවේ ඇඳිවත පවා රැකගත්තේ ඉතාම වෙහෙසක් දරලයි. කාන්තාවන් කියන්නේ රටක පරපුරක් ඉදිරියට ගෙනයන පිරිස. ඒ වගේම රටේ නිෂ්පාදන ක්‍රියාවලියට වැඩිම දායකත්වයක් සපයන්නෙත් කාන්තාවන්. අපි සියලුම දෙනා ගැහැනුන් විදියට පීඩනයට පත්වූවන් ලෙසයි විරෝධතාවයට සහභාගී වූනේ. පවුලක් නඩත්තු කරමින් දරුවන්ගේ අනාගතය ගොඩනැගීම දරාගත නොහැකි පීඩාවක්වී තිබෙනවා. වැවිලි කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය සහ විදේශ රැකියා ක්ෂේත්‍රවල කාන්තාවන් සක්‍රීයව සුවිශාල දායකත්වයක් ලබාදෙනවා. පාර්ලිමේන්තුව තුළ 5.3%ක් වූ කාන්තා නියෝජනයෙන් මෙ රටේ කාන්තාවන්ගේ හඬ අවශ්‍ය ආකාරයට මතුවෙන්නේ නැහැ. 1948න් පසු ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛන තුළ ගතානුගතික සහ ගෝත්‍රික ආකාරයෙන් මුදල් වෙන්කර තිබෙනවා. ඒ තුළ කාන්තාවන්ට ලබාදී තිබෙන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක් පමණයි.
විරෝධතාව පැවති අවස්ථාවේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ කරන්න හෝ පොදු මහජනතාවගේ ගමනාගමනයට ඉතා කුඩා හෝ බාධාවක් පමුණුවන්න අපි ක්‍රියාකළේ නැහැ. පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා පමුණුවන්නත් අපේ කිසිම අපේක්ෂාවක් තිබුණේ නැහැ. නමුත් වැඩබලන පොලිස්පතිවරයාගේ ක්‍රියාපටිපාටිය ඉතාම නින්දිතයි. සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණත් මේ ආණ්ඩුව එයට ඉඩදෙන්නේ නැහැ. ජල ප්‍රහාර එල්ල කළේ ඒ නිසයි. රාජ්‍ය ප්‍රතිපත්තිවල මූලික මූල ධර්මයක් ලෙස පවුල පිළිගෙන තිබෙනවා. නමුත් එම වැදගත්ම ඒකකය අමතකකොට දමා කටයුතු කළ ආකාරය, ළමුන් සහ කාන්තාවන් කෙරෙහි දක්වන ආකල්පය ජාත්‍යන්තර වශයෙනුත් පැහැදිලි වුණා. මේ ප්‍රහාර හෙළාදැකීමෙන් පමණක් ජාතික ජන බලවේගය නතර වන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට නුදුරු දිනෙකදී මේ පහරදීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පොලිස් ආඥා පනත සම්බන්ධයෙන් මූලික මඟපෙන්වීමක් ජනතාවට ලබාදෙන්නත් ක්‍රියාකරනවා. නීතිය ක්‍රියාත්මක කරවන්නන් හට එමගින් නීතිය පැහැදිලි කර දෙන්නත් අපේක්ෂා කරනවා. ඊයේ එල්ල කළ සාහසික ජල ප්‍රහාරයත් සමග තහවුරු කර තිබෙන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් යුක්තිගරුක දේශයක් නොවෙන බවයි. මේ ආණ්ඩුව තවදුරටත් පාලනයේ සිටීමට සුදුසු නැහැ. මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවා ගැහැනුන්ගේ ශක්තියට නිසි ඇගයීමක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
“ආණ්ඩුවේ අසීමිත පීඩනයට එරෙහිව විරෝධය දැක්වූවා…”
-නීතිඥ නිමලා සිරිවර්ධන-
ගෙවී යන 2023 වර්ෂයේදී කාන්තා, ළමා සහ සමෘද්ධි අංශයට රුපියල් බිලියන 152ක් වෙන්කර තිබුණා. නමුත් ලබන 2024 වර්ෂය සඳහා වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 75යි. 50%කට වඩා මේ ප්‍රතිපාදන කපා හැර තිබෙනවා. හිටපු ජනාධිපතිවරු සිවුදෙනෙක් සහ ජනාධිපති බිරිඳක් නඩත්තු කරන්න 2023 වර්ෂයේදී වෙන්කර තිබුණු රුපියල් මිලියන 84 ලබන වර්ෂය සඳහා රුපියල් මිලියන 110ක් දක්වා වැඩිකර තිබෙනවා. හිටපු ජනාධිපතිවරු සහ පැනලා ගිය ජනාධිපති වෙනුවෙන් වෙන්කරන මුදල් වැඩිකරන අතර මේ රටේ ජීවනාලිය වන ළමා හා කාන්තා පරපුරට වෙන්කරන මුදල් 50%කින් කපාහැර තිබෙනවා. සෞඛ්‍ය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින පීඩනය වැඩිවශයෙන් දැනෙන්නෙත් කාන්තාවන්ට. තිබුණු ප්‍රතිපාදනත් කපා හැරීම තුළින් කාන්තාවන් මත තිබෙන පීඩනය තවදුරටත් ඉහළ නංවනවා. මෙයට එරෙහිව පවතින ආණ්ඩුවට බල කිරීමේ අයිතියක් අපට තිබෙනවා. ආණ්ඩුව ගෙනයන වැරදි කප්පාදු කිරීම්වලට එරෙහිව විරෝධය දැක්වීමයි අපි සිදුකළේ.
නීතිඥ ක්‍රිෂාන්ති විජේබණ්ඩාර, නීතිඥ චන්දිමා හතුරුසිංහ, නීතිඥ ගීතා දර්ශනී යන අයද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.