Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“විදුලි බිල 37%කින් අඩු නොකර තවදුරටත් ගේම් ගහන්න ලැහැස්ති වෙන්න එපා කියලා ඇමතිවරයාට අවධාරණය කරනවා” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-

(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.02.27)

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ආණ්ඩුව ජනතාවට එරෙහිව තවදුරටත් කටයුතු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ අපි සහ තවත් සංවිධාන කිහිපයක් මහජන උපයෝගී කොමිසම ඉදිරියේ කරුණු දැක්වීමට අවස්ථාව සලසා ගත්තා. විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මුලින් ප්‍රකාශ කළේ 3.34%කින් පමණක් බිල අඩු කළ හැකි බවයි. 2023 ඔක්තෝබර් මාසයේදී නීති විරෝධීව 18%කින් විදුලි බිල වැඩිකළා. අවුරුද්දකට දෙවරක් සංශෝධනය කළ යුතු වුවත් අනාගතයටත් බලපාන ලෙස තුන්වරක් සංශෝධනය කළා. විදුලි බල ඇමති දැන් කියන්නේ ඔක්තෝබර් මාසයේ තිබුණු මිල ගණන්වලට නැවත ගෙන යන බවයි. ඔවුන් කියන කරුණු අනුව විදුලි බල මණ්ඩලයේ මුළු ආදායම රුපියල් බිලියන 710ක් වන විට මුළු වියදම බිලියන 688ක් බව කීවා. සියලු වියදම් පියවා ගත්තාම බිලියන 23ක අතිරික්තයක් තිබෙන බවත් ඒ අනුව 3.34%කින් මිල අඩු කළ හැකි බවත් කීවා. නමුත් අපි මහජන උපයෝගීතා කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කරමින් විදුලි ධාරිතාවේ පිරිවැය බිලියන 50ක සිට බිලියන 133ට වැඩිකර තිබෙන බවත්, බෙදා හැරීමේ පිරිවැය 150%කින් පමණ ඉහළ දමා ඇති බවත් පෙන්වා දුන්නා. බැංකුවලින් ගෙන තිබෙන ණය පොලිය ලෙස රුපියල් බිලියන 53ක් ගෙවිය යුතු බව මණ්ඩලය කියා තිබෙනවා. නමුත් වර්තමාන පොලිය අනුව ගෙවීමට වෙන්නේ රුපියල් බිලියන 45ක් පමණයි.

පාරිභෝගිකයා සූරාකමින් ජාවාරම්කාරී ජඩ අරමුණු වෙනුවෙන් ඇමතිවරයා සහ නිලධාරීන් ක්‍රියාකරන බව අප මහජන උපයෝගීතා කොමිසමට පෙන්වා දුන්නා. 2023 විදුලි බල මණ්ඩලයේ ලාභය බිලියන 48ක් බව ඔවුන් කීවා. විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට අලුතින් ඉදිරිපත් කර තිබෙන දත්ත අනුව වියදම බිලියන 93කින් අඩු කළ හැකි බව කියා තිබෙනවා. ගිණුම්කරණ ප්‍රතිපත්ති අනුව විදුලි බල මණ්ඩලයේ මිල තීරණය කළ යුත්තේ ලාභ ලැබීමේ අරමුණෙන් නොව, වියදම් පියවා ගැනීමේ අරමුණෙන්. ආසියාවේ අනෙක් රටවල්වලට වඩා අපේ රටේ විදුලි බිල 50%කින් වැඩියි. මේ නිසා කර්මාන්ත කඩා වැටිලා තිබෙන්නේ. විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් අපි කරුණු ඉදිරිපත් කරන්නේ රටේ සංවර්ධනයට ඍජුවම විදුලි බිල බලපාන නිසයි. දැන් බිලියන 93කින් වියදම අඩුකර ගත හැකි බව කියන ඇමතිවරයා සහ නිලධාරීන් මුල් අවස්ථාවේ ඒ බව සඟවා තැබුවේ ඇයි? 2023දී විදුලි බල මණ්ඩලයේ ලාභය බිලියන 62ක් බව මේ වන විට හෙළිවී තිබෙනවා. තවත් බිලියන 14කින් ලාභය වැඩිවී තිබෙනවා. පොලිය සඳහා වැඩියෙන් ඇතුළත් කර තිබුණු බිලියන 08කින් ලාභයට එකතු වී රුපියල් බිලියන 70ක අමතර ලාභයට විදුලිය ජනනය සහ බෙදාහැරීමේ වියදම් ලෙස වැඩිපුර එකතු කර තිබූ බිලියන 140ක් තිබෙනවා. මේ අනුව විදුලි බල මණ්ඩලයේ රුපියල් බිලියන 210කට වැඩි අමතර මුදලක් ගිණුම් අතරේ සඟවා තබා ඇති බව පැහැදිලියි. මුළු වියදම බිලියන 680ක් බව පෙර සඳහන් කර තිබුණත් ඒ වියදමින් බිලියන 210ක් අඩු වුණාම 470ක් දක්වා වියදම අඩු වෙනවා. ඒ අනුව විදුලි බිල 37%කින් අඩු කරන්න පුළුවන්.

මහජන උපයෝගීතා කොමිසම කංචන විජේසේකර ඇමතිගේ නොව මේ රටේ ජනතාවගේ කොමිසමක් බව අපි ඒ නිලධාරීන්ට ප්‍රකාශ කළා. ඇමතිගේ මනදොල සම්පූර්ණ කිරීම, ඉහළ නිලධාරීන්ගේ ජාවාරම් ආරක්ෂා කිරීම, කොමිසමේ කාර්යභාරය නොවෙන බව පැහැදිලි කර දුන්නා. මේ මිල අඩුනොකර තවදුරටත් ගේම් ගහන්න ලැහැස්ති වෙන්න එපා කියලා අපි ඇමතිවරයාට අවධාරණය කරනවා. අපි කරන ලද කරුණු දැක්වීමට ඇහුම්කන් දීම පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමට ස්තුතිවන්ත වෙනවා. මෙයට පෙර හැසුරුණු ආකාරයට හැසිරෙන්නේ නැතිව මහජනතාවගේ අදහස් ලබාගෙන, නැවත විදුලි බල මණ්ඩලයෙන් දත්ත ලබාගෙන කටයුතු කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. නැවත මේ රැස්වී විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් ජනතාවගේ පැත්තෙන් සිට තීරණය ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටිනවා. විදුලි බල මණ්ඩලයේ වියදම බිලියන 210කින් අඩු කළ හැකි බව අපි පෙන්වා දුන්නේ අවම වශයෙන් කළ හැකි මට්ටමයි. තවදුරටත් ජනතාව පීඩාවට පත්කරමින් සූරාකන ජාවාරමට උදව් නොකරන ලෙස මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඇමතිවරයා සහ මණ්ඩලයේ ඉහළ නිලධාරීන් අත්තනෝමතික ලෙස සැඟවීමට උත්සාහ කළ වියදම් හෙළි වී තිබෙන බව අවධාරණය කරනවා. පසුගිය 15වැනිදා මහජන උපයෝගීතා කොමිසම ඉදිරියේ ඉතිහාසයේ පළමු වතාවට අපි කරුණු ඉදිරිපත් කළ පසුව ඒ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. නැවත ඇමති කාංචනගේ හස්තයට යටනොවී සත්‍ය ලෙස 37%කින් අඩු කළ හැකි විදුලි බිල සම්බන්ධයෙන් පියවර ගත හැකි අවස්ථාව මඟනොහරින ලෙස අවධාරණය කරනවා.

“ජනතාව හම්බ කරන්නේ ලයිට් බිල් ගෙවීමට පමණක් නොවන බව ආණ්ඩුව දැන ගත යුතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස-

මහජන උපයෝගීතා කොමිසම පිහිටුවා තිබෙන්නේ මේ රටේ පුරවැසියන් සහ පාරිභෝගිකයන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්නයි. 2002 මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත සම්මත කරගෙන කොමිසම පිහිටුවා තිබෙන්නේ විදුලි ගාස්තු සංශෝධනයකදී මහජනතාවගෙන් අදහස්වලට ඇහුම්කන් දෙන්නයි. විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය විසින් මේ කොමිසමට ඉදිරිපත් කර තිබූ 3.34%ක විදුලි බිල අඩු කිරීම ඒ ආකාරයෙන්ම පිළිගන්න කොමිසමට නොහැකි වී තිබෙන්නේ ජාතික ජන බලවේගයේ අපිත් තවත් පාර්ශ්වයනුත් ඉදිරිපත් කළ කරුණු අනුවයි. විදුලි බල පනතේ 30වෙනි වගන්තියේ තිබෙන්නේ විදුලි ජනනයේදී, බෙදාහැරීමේදී සාධාරණ වියදම් අයකර ගැනීමට මිස සියලු වියදම් අයකර ගැනීමට නොවේ.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියදර්ශන ධර්මවර්ධන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළිකළ තොරතුරු මම ඔබට ඉදිරිපත් කරන්නම්. කර්මාන්ත අංශයේ මධ්‍ය පරිමාණ ආයතන 1100ක් කුඩා පරිමාණ ආයතන 6900ක් සහ ක්ෂුද්‍ර පරිමාණ ආයතන 254,000ක් වැසී ගොස් තිබෙනවා. දේශීය වගේම විදේශීය වෙළඳපොළට භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ලක්ෂ ගණනක් වැසී ගොස් තිබෙනවා. තව පැත්තකින් පරාටේ නීතිය අනුව ඉහළම රෝහල් පවා බැංකුවලට සින්න වී තිබෙනවා. අනෙක් පැත්තෙන් සාමාන්‍ය පාරිභෝගිකයන් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට විදුලි බිල ගෙවා ගත නොහැකිව විදුලිය විසන්ධි කර තිබෙනවා.

මෙවැනි තත්වයකදී විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරියට සහ මහජන උපයෝගීතා කොමිසමට සාධාරණ වියදම් පිළිබඳව යළි සලකා බැලීමේ වගකීමක් තිබෙනවා. විදුලිය සපයන්නා සාධාරණව ක්‍රියා නොකරන්නේ නම්, කොමිසමේ කාර්යභාරය ජනතාවට සාධාරණය ක්‍රියාත්මක කරවීමයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 18%කින් විදුලි බිල වැඩිකිරීමට මහජන උපයෝගීතා කොමිසම ලබාදුන් සංඛ්‍යා ලේඛන දෝෂ සහිතයි. ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 51ක් බව ඔවුන් කීවා. මාස එක හමාරක් තුළ බිලියන 18 දක්වා පාඩුව අඩුකර ගත් බව ඔවුන් කීවා. විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරන ලද තොරතුරු එලෙසින්ම පිළිගැනීම කිසිසේත්ම සාධාරණ නැහැ. මෙවරත් සිදුකර තිබෙන්නේ අපේක්ෂිත ලාභය බිලියන 23ක් බව මුලින් කීවත් වෘත්තීය සමිති දැනුම්දුන් පසුව බිලියන 94ක් දක්වා වෙනස් කර තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේ විදුලි බිල වැඩිකිරීමේදී මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට කොන්දේසි 13ක් ඉදිරිපත් කළා. 2023 දෙසැම්බර් සිට 2024 මාර්තු දක්වා කාලය තුළ මේ කොන්දේසි ඉටුකළ යුතු බව දක්වා තිබෙනවා. නමුත් විදුලි බිල වැඩිකිරීමට අදාළව ඉදිරිපත් කළ ඒ කොන්දේසි එකක් වත් මේ වන විට ඉටුකර නැහැ. ඇමතිවරයාගේ ප්‍රතිරූපය පුම්බන්න සහ ආණ්ඩුවේ අවශ්‍යතා අනුව මණ්ඩලය ක්‍රියාකරන බව හොඳින් පැහැදිලි වී තිබෙනවා. අපිට වාර්තා වෙන ආකාරයට අවම වශයෙන් 37%කින් විදුලි බිල අඩු කිරීමේ හැකියාව මේ වන විට තිබෙනවා. ජනතාව, කර්මාන්තකරුවන් හරි හම්බකරන්නේ ලයිට් බිල් ගෙවන්න විතරක් නොවන බව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව දැනගන්න ඕනෑ. විදුලි බිල අඩුකිරීමෙන් ආර්ථිකයට විශාල ප්‍රතිලාභ අත්වෙනවා. අපි බලකර කියා සිටින්නේ අඩු කළ හැකි උපරිම මට්ටමින් විදුලි බිල අඩුකරන ලෙසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය:- ඔබලාගේ පාලනයක් යටතේ ඔය කියන ආකාරයෙන්ම විදුලි බිල අඩුකර සහන ලබා දෙනවාද?

පිළිතුර:- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපේ ආර්ථික ප්‍රතිපත්තියේ ගාමක බලවේගය බවට පත්කර ගන්නවා. අනෙක් පැත්තෙන් භාණ්ඩ හා සේවාවල මිල හැකි ප්‍රමාණයකින් අඩුකර ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි කරනවා. මේ සමස්ත ආර්ථික ක්‍රියාවලිය තුළ ජනතාවට සහන ලබාදිය හැකි ක්ෂේත්‍රවලින් සහන ලබාදීම රජයේ වගකීමක්. මේ දක්වා ගිය ආර්ථික ගමනේ අපට තවදුරටත් යන්න බැහැ. රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ඒ වැරදි පාරේම තවදුරටත් වේගයෙන් ගමන් කරන්නයි උත්සාහ කරන්නේ. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කර්මාන්තකරුවන්ටත්, මහජනතාවටත් ආර්ථිකයේ කොටස්කරුවන් ලෙස ක්‍රියා කිරීමේ සියලුම ඉඩකඩ ලබාදෙනවා. විදුලි බල මණ්ඩලයම ඉදිරිපත් කළ ගිණුම්වල තිබෙන වංචනික සහ වැරදි ක්‍රියාකාරකම්වල දත්ත තමයි අපි කොමිසම හමුවේ ඉදිරිපත් කළේ. 37%කට ආසන්න ප්‍රමාණයකින් විදුලි බිල අඩුකර මණ්ඩලයට පාඩු නොවෙන ලෙස පවත්වාගෙන යා හැකි බව අපි පැහැදිලි කර දුන්නේ ඒ අනුවයි. පුනරින්වල සූර්ය බල විදුලි උත්පාදනයෙන් ඒකකයක් මිලදී ගන්න සූදානම් වෙන්නේ රුපියල් 52 බැගින්. නමුත් ගල් අඟුරුවලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට වැය වන්නේ රුපියල් 22යි. මේ මණ්ඩලය තුළ ගෙනයන ක්‍රියාමාර්ගවලින් සහන ලබාදෙන්න ආණ්ඩුව සූදානම් නැති බව එයින්ම පැහැදිලි වෙනවා.

ප්‍රශ්නය:- දැන් ඉන්න නිලධාරීන්මයි ඔබලාගේ ආණ්ඩුවක් ආවත් ඉන්නේ. එක් වරක් ඇමතිවරයාටත් වැරදි තොරතුරු දී තිබුණා. ඒ සම්බන්ධ ගැටලුව විසඳා ගන්නේ කොහොමද?

පිළිතුර:- විදුලි බල ඇමතිට ලබාදුන් තොරතුරුවල ධාරිතා පිරිවැය වැඩිවීම පිළිබඳව ප්‍රශ්න කළ යුතු වන්නේ නැද්ද? බෙදා හැරීමේ වියදම් වැඩිවුණු ආකාරය ගැන ප්‍රශ්න කළ යුතු නැතිද? ණය පොලී අනුපාතික අඩුවී තිබියදීත් පොලී ගෙවීම වෙනුවෙන් විශාල මුදලක් වියදම් වන ආකාරය ප්‍රශ්න කරන්න ඕනෑ නැද්ද? දූෂිත නිලධාරීන් ඇමතිවරයා සමග එක්වී හොරකමේ ගියාම ඔබ කිවූ ප්‍රශ්නය මතුවෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ එසේ නොවන බව සියලු දෙනාම දන්නවා.

ප්‍රශ්නය :- කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබලාගේ ස්ථාවරය මොකක් ද?

පිළිතුර :- කතානායකවරයාට විශ්වාසභංගය ගේන්නේ නිකම් නොවෙයි. පැහැදිලිවම ව්‍යවස්ථානුකූල කාරණයකට. ඔන්ලයින් සේෆ්ටි බිල් එකට නීතිපතිවරයා විසින්ම ඉදිරිපත් කරන ලද සංශෝධන පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසන අවස්ථාවේ ඇතුළත් නොකිරීම නිසයි. මේක ඉතාමත්ම වැරැදි පූර්වාදර්ශයක්. ඉදිරිපත් කරන පනතක් ගැන විවාදයක් පවත්වා අදාළ සංශෝධන වගන්තියෙන් වගන්තිය ඒ මොහොතේ දී පරීක්‍ෂා කර බලන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන්නේ නැහැ. කතානායකවරයා තමන්ගේ කාර්ය මණ්ඩලයත් එක්ක එකතු වී ඒ වගන්ති ඇතුළත් කර ඇති බව විශ්වාස කරනවා. නමුත්, මෙතැන දී සිද්ධ වුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදායය, අධිකරණයේ උත්තරීතරභාවය සහ විශ්වාසය කඩ වන ආකාරයට කතානායකවරයා හැසිරී තිබීමයි. ඒ නිසා ජාතික ජන බලවේගය කතානායකට එරෙහිව ක්‍රියා කරනවා.

ප්‍රශ්නය :- නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ඔබලාගේ මතය මොකක් ද?

පිළිතුර :- පොලිස්පතිවරයා පත් කිරීම අතිශය ගැටලුසහගතයි. කරුණු කිහිපයක් මත ප්‍රශ්නසහගතයි. 2023.12.14 වැනිදා S.C.S.R./2011 කියන නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක තීන්දුවක් විසින් පත් කරන ලද මේ පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳ තීන්දුවක් ලබා දී තිබෙනවා. පුද්ගලයන්ට වධහිංසා කිරීම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රඥප්ති කඩ කරන ලද, රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබෙනවා. ඊට අමතරව මේ වන විටත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව පොලිස්පතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් තිබෙනවා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව පාර්ශ්ව කිහිපයක් ඔහුට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පවරා තිබෙනවා.

ඒ වාගේම පොලිස්පතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගැනීම පිළිබඳව තවත් ප්‍රශ්නයක් තිබෙනවා. පොලිස්පති පත් කිරීමට ජනාධිපතිට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියක් සහිතවයි. මෙවැනි පත් කිරීම්වලදී ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබාගත යුත්තේ කවරාකාරයෙන් ද කියලා 41E 7 කියන ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. සෑම තීරණයක් සම්බන්ධයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ ඒකමතික අනුමැතිය ලබා ගැනීමට ප්‍රමුඛතාව දී තිබෙනවා. නමුත් එවැනි ඒකමතියක් මෙතැන නැහැ. ඊළඟට ඒකමතියක් නොමැති අවස්ථාවලදී ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පස් දෙනකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් අනුමත කළ යුතුයි. කතානායකවරයාත් එක්ක ව්‍යවස්ථාදායක සභාවේ නව දෙනෙක් ඉන්නවා. යම් ආකාරයකට 4/4 ලෙස බෙදුණු තීන්දුවක් ආවොත්, පමණයි කතානායකවරයාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබෙන්නේ. 41E 5 වගන්තියෙන් ඒ බව දක්වා තිබෙනවා. අපට දැනගන්නට ලැබෙන තොරතුරුවල හැටියට පක්‍ෂව ඉඳලා තිබෙන්නේ හතර දෙනායි. දෙදෙනෙක් විරුද්ධ වෙලා දෙදෙනෙක් ඡන්දය පාවිච්චි කර නැහැ. ඒ අනුව මේ පොලිස්පතිවරයා පත් කර තිබෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ බලතල උල්ලංඝනය කරමිනුයි. මේ ආදී සියලු කරුණු සලකා බැලීමේදී මේ පොලිස්පතිවරයා පත් කර තිබෙන්නේ ගැටලු ගණනාවක් ඉතිරි කරලා. දේශීයව සහ ජාත්‍යන්තරව අපේ රටේ ව්‍යවස්ථාව සහ නීතිය පිළිබඳ ගැටලු ගණනාවක් ඉතිරි කරලායි පත් කර තිබෙන්නේ.