Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“රට දූෂිත ක්‍රමවේදයෙන් බේරා ගැනීමේ දිශාවට පරිවර්තනය කර ගනිමු” -ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු-

(ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව – 2024.03.12)

අද වන විට රටේ ආර්ථික තත්වය ඇති වුණේ කොහොමද? එයට වගකිව යුත්තේ කවුරුද? එය විසඳාගත යුත්තේ කෙසේද? යන්න පිළිබඳ විධිමත් සාකච්ඡාවක් හදනවා වෙනුවට ඒ සියල්ලට වගකිවයුතු කණ්ඩායම විසින්ම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩයන්න තිබෙන එකම පාර අයි.එම්.එෆ්. බවත්, අයි.එම්.එෆ්. එක සමග ගනුදෙනු කිරීමට සුදුසු කණ්ඩායම එම කණ්ඩායම බවත් එම ගනුදෙනු ඉදිරියට ගෙනයෑම තුළින් මෙම ප්‍රශ්න විසඳිය හැකි බවත් පවසමින් සමාජය තුළ මිථ්‍යාවක් හදාගෙන යනවා. ඒ හමුවේ මහජනතාව මුහුණ දෙන සත්‍ය තත්වය පැහැදිලි කර දිය යුතුව තිබෙනවා.

පසුගිය දශක දෙකේදි ආණ්ඩු කළේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නම්, මෙවන් අර්බුදයකට රටට මුහුණ පෑමට සිදුවන්නේ නැහැ. රට විශාල සංවර්ධන ප්‍රමාණයක් අත්පත් කර ගන්නවා වගේම අයි.එම්.එෆ්. කතාවක් අදාළ වෙන්නේත් නැහැ. එයාලා පෙන්වනවා, ඔවුන්ගේ දූෂිත ක්‍රමය තුළ තිබෙන්නේ එකම විසඳුමක් බව. එම විසඳුම තිබෙන්නේ එයාලා ළඟ පමණක් බව. ඒ මොහොතේ අපි බලය ගත්තා නම් අයි.එම්.එෆ්. එකට නොගොස් ඉතාම පහසුවෙන් විසඳා ගත හැකි ඉඩකඩක් ලෝකය තුළ විවරවෙලා තිබුණා. ණය හිමියන් සමග විධිමත් සාකච්ඡාවකට යන්න තිබුණා. එසේ යාමට හැකියාව තිබුණේ වංචා, දූෂණවල නොයෙදුණු කණ්ඩායමකට පමණයි. මෙහිදී වර්තමානයේ තිබෙන ප්‍රශ්නයට අයි.එම්.එෆ්. එකට යාමට සිදුවී තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ ජාතික ජන බලවේගය කරන්නේ මොකක්ද? ඇත්ත වශයෙන් අපට මේ මොහොතේ එයින් එළියට එන්න හැකියාවක් නැහැ. ගිවිසුම පරිදි අයි.එම්.එෆ්. එක ආණ්ඩුවට ඉදිරිපත් කළේ, මූල්‍ය ස්ථාවරත්වය ඇතිකර ගැනීමට, “සමස්ත ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීමට, ඔබට ලැබෙන ආදායම කළමනාකරණය කර ගන්න. ඔබේ රට දියුණු කර ගැනීමට ඔබේ ප්ලෑන් එකක් අරගෙන එන්න.” කියන එක. ආණ්ඩුව ඒ නිර්ණායක අරගෙන රට ගොඩගන්නා සැලසුම වෙනුවට එමගින් ඇතිවන සියලු බරපැන මහජනතාව වෙත පටවන තත්වයකට පත්කර තිබෙනවා. අයි.එම්.එෆ්. ආදායම කළමනාකරණය කරගන්න කියන කොට කරන්න ඕනෙ ආදායම උපයන මාර්ග වැඩිදියුණු කර ගන්නා එක. ආදායමේ නාස්තිය තිබෙන තැන් වෙනස් කර ගන්න ඕනෑ. ඒ වෙනුවට ආණ්ඩුව කර තිබෙන්නේ ආදායමත් විනාශ කර ගැනීමත් සාමාන්‍ය ජනතාවට බදුබර පැනවීමත් පමණයි. වංචා දූෂණ සිදුවීම නවතා දැමීමත් කර නැහැ.

අපිට මේ ප්‍රශ්නයේදී මහජනතාවගෙන් වරමක් ඉල්ලන්න සිදුවෙනවා. නැවතත් අයි.එම්.එෆ්.එකත් එක්ක සාකච්ඡා කර, විශේෂයෙන්ම ඉහළ මට්ටමේ තිබෙන විචල්‍යයන් පාලනය කරන්නෙත්, ආණ්ඩුවේ පිස්කල් කළමනාකරණය කරන්නේත් කොහොමද කියා සැලසුම් සකස් කිහිපයක් සකස් කොට තිබෙනවා. විශේෂයෙන් ආණ්ඩුවේ ආදායම සකස් කර ගන්නා ආකාරය, විදේශ විනිමය උපයා ගන්නා ආකාරය කොහොමද කියන එක. ඒ වගේම මේ ගත්ත ණය පිළිබඳව විමර්ශනයක් කොට, ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් සමග අනාගතයේදී රටේ ආර්ථිකය දියුණු කරන සංවර්ධන සැලැස්මක් එක්ක ඔවුන් එක්ක නැවත සාකච්ඡාවක් කරන්න අපට පුළුවන්කම තිබෙනවා. නැවත සාකච්ඡාවක් කරන්නේ මිනිසුන්ට ඇති වී තිබෙන ගැටලු අයින් කරලා සාමූහිකව ඉදිරියට ඒම වෙනුවෙනුයි. අපි මීට පෙරත් අයි.එම්.එෆ්. එක හමුවුණා. අපේ ස්ථාවරය පැහැදිලි කළා. ඔවුන් සාකච්ඡා කරන්න එකඟතාවයන් ලබාදුන්නා. මේ සතියේ අගභාගයේදී නැවතත් අපි අයි.එම්.එෆ්. සමග සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා.

මෙහි සැබෑ වගඋත්තරකරුවන් හංගලා ආණ්ඩුව ඉදිරියට යන්න උත්සාහ කළත් එය අමාරුවී තිබෙනවා. අයි.එම්.එෆ්.එක නැවත ආණ්ඩුකරණය පිළිබඳ කරුණු සොයා බලන්නත් විශ්ලේෂණය කරන්නත් කටයුතු කළා. එහිදී ආණ්ඩුකරණයේ තිබෙන දුර්වලතාවයන්, වංචාවට පාර කපන හැටි, වංචාවට සම්බන්ධ වෙන හැටි විස්තරාත්මකව ඉදිරිපත් කර තිබෙනවා. 2023 වාර්තාව ඉදිරිපත් වුණත් එහි ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට ගොස් නැහැ. නීතිය සම්මතර කරගැනීම් වගේ දේ කළත් වැඩක් නැහැ, නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්. අනෙක් ආණ්ඩු වගේම එ.ජා.ප. ආණ්ඩුවත් වංචා, දූෂණවල යෙදුණා. ඒ වගේම මහ බැංකු බැඳුම්කර වංචාවේ මතුපිටින් ගත් විට ලියවිලිවලින් බැලූවිට හැමවිටම නීතිය ඇතුලේමයි වංචා කර තිබෙන්නේ. ඒ වෙන විට භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර නිකුත් කරන ක්‍රමවේදය වෙනස් කළා. ඩිරෙක් ක්‍රම වෙනුවට ඔප්ෂන් මෙතඩ් එක මාරු කළා. මතුපිටින් බලන විට ඔප්ෂන් මෙතඩ් එක හොඳයි. ඒ අය ඇතුළත තොරතුරු පාවිච්චි කරලා මේ වැඩේ ලස්සනට කළා. අදටත් ඒ පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙනවා. ආණ්ඩුකරණය පිළිබඳ කරුණු විමර්ශනයේ රිපෝට් ගණනාවක් ඇවිත් තිබෙනවා. මේ ආණ්ඩු එයට මැදිහත් වෙන්නේ නැහැ. අදටත් ටේ‍රෂරි සහ බැඳුම්කර බිල්පත් නිකුත් කිරීමේදී මුදල් වෙළඳපොළේ ඉන්න කණ්ඩායම් විසින් බලය හොබවන කිහිප දෙනෙක් විසින් සූක්ෂමව පොලී අනුපාතය සහ තොරතුරු එහාට මෙහාට කරලා මහජනතාවගේම සල්ලි මහජනතාවටම ණයට දීලා මැදිහත්කරුවෝ විදිහට එකතුවෙලා බිලියන ගණන්වලින් ධනය උපයන අසාධාරණ ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ස්පෙෂල් කොමෝඩිටි ටැක්ස් ‘විශේෂ වෙළඳ භාණ්ඩ බදු’ මෙය හොඳ බදු ක්‍රමයක ලක්ෂණයක් නොවෙයි. හැම තිස්සේම මේවා පාවිච්චි කළේ, නිෂ්පාදකයාව ආරක්ෂා කරන්නවත් පාරිභෝගිකයා ආරක්ෂා කරන්නවත් නොවෙයි; ඔවුන් ළඟින් ඉන්න දෙතුන්දෙනෙකුට වාසි ගන්න. අවස්ථා දෙකකදී එහෙම කළා. සීනි බදු වංචාව අවස්ථා දෙකකදී කළා.

2015 ආණ්ඩුව කාලයේ අර්බුදයක් ඇති වෙනකොට විදේශ විනිමය සොයන්න අපනයනය වැඩිකරන්න ඕනෑ. අපනයන වැඩි කරන්න, නිෂ්පාදනය වැඩිකොට විවිධාංගීකරණයකට යන්න ඕනෑ. ඒ වෙනුවට මේ ආණ්ඩු යම් උපක්‍රම පාවිච්චි කරනවා. එහි ප්‍රධාන එකක් තමයි ප්‍රතිඅපනයනය කියන වංචාව හංගන එක. කරුංකා, ගම්මිරිස්, තේ, ප්‍රතිඅපනයනය කිරීම ඒ යටතේ සිදුකළා. ලෝකයේ අංක එකේ තේ අපනයනය කළ ලංකාව ප්‍රතිඅපනයනය යටතේ අංක 05ට වැටුණා. ඒ ආණ්ඩු මේ වංචාව දිගටම කළා. අද මුළු රටක්ම අර්බුදයක ඉන්නේ. හැබැයි ආණ්ඩුව නැවතත් ඒ තැනටම යන්න උත්සාහ කරනවා. 2024 පෙබරවාරි 19 වැනිදා අංක: 2372/04 අති විශේෂ ගැසට් එක කැබිනට් අනුමැතිය හරහා ඉදිරිපත් කොට තිබෙනවා. අපනයන ආදායම වැඩිකර ගැනීම සඳහා වැලිව් ඇඩඩ් භාණ්ඩ නිෂ්පාදනය සඳහා යම් යම් භාණඩ ආනයනය කිරීමට ඉඩ හරිනවා. ලෙහෙසියෙන්ම හොරා කෑ හැකි ඉඟුරු, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු වගේ භාණ්ඩ ටිකක් ආනයනය කරන්න ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

අයි.එම්.එෆ්. එක ඉදිරිපත් කළ ආණ්ඩුකරණය පිළිබඳ විමර්ශන වාර්තාවල විශේෂ ක්ෂේත්‍ර ගණනාවක අනතුරු ඇඟවීම් කර තිබෙනවා. “ඔබලාගේ රටේ පාලනය ඉතාමත් ගැටලු සහිතයි. විශේෂයෙන් රාජ්‍ය ක්‍රියාකාරකම් ගැටලු සහිතයි. එවා මග හරවා නොගතහොත් මිනිසුන්ට තව තවත් ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවෙනවා. ඒ වගේම ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ඇතුලේ ආදායම් කළමනාකරණය පිළිබඳ දුර්වල තැන් තිබෙනවා. විශේෂයෙන් මිලදී ගැනීම්වලදී.” එහි සඳහන් වෙනවා. ප්‍රොකියුමන් මැනේජ්මන්ට් එක ඉතාම දූෂිතයි. අන්සොලිසිටඩ් ටෙන්ඩර්වලට යනකොට තරගකාරිත්වයක් කැඳවන්නේ නැහැ. ඇමතිවරයාට හෝ එම කණ්ඩායම්වලට විශාල වශයෙන් කොමිස්වලට යාමේ හැකියාව ලැබෙනවා. මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටිය පාරදෘෂ්‍ය නැහැ. තරගකාරී නැහැ. ඔබ දන්නවා බලශක්ති ක්ෂේත්‍රය ඉතාම වැදගත්. එය සේවයක් පමණක් නොවෙයි, ආර්ථිකයත් සමග ගැටගැසී තිබෙනවා. අනාගතයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ ආණ්ඩුව ඒ බලශක්ති නිසි පරිදි හසුරුවලා, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වැඩිදියුණු කරලා, රටේ බලශක්තිය අඩු මිලට මහජනතාවට ලබාදී, වෙළඳපොළ ප්‍රසාරණය කොට රට දියුණු කරනවා වෙනුවට එයිනුත් වංචා-දූෂණ සිදුකරන්න කටයුතු කරනවා.

මෑතකදී සාකච්ඡා කරපු ඒවා, ඕස්ටේ්‍රයාවට දීපු, ඉන්දියාවට දෙන්න යන ඒවායේ පවර් පර්චසින්වල ගිවිසුම් ගත්තාම, ඒවායේ මිලගණන් ඉතාම ඉහළයි. පුනර්ජනනීය බලශක්ති ඒජන්සියෙන් ලබාගත් වාර්තාවකට අනුව 2021 වෙනකම් ඒ ඒ බලශක්තිවල නිෂ්පාදන පිරිවැය ඉදිරිපත් කොට තිබෙනවා. 2010 සිට 2021 දක්වා පුනර්ජනනීය බලශක්ති අවුරුදු 10ක් ඇතුළත සූර්ය බලශක්තිය 88%කිනුත් සුලං බල ශක්තිය 68%කිනුත් ඉතා වේගයෙන් නිෂ්පාදන පිරිවැය පහළට ඇවිත් තිබෙනවා. ඒ වගේම එහි ධාරිතාව වැඩිවෙනවා. අපි අවධානය යොමු කළ යුත්තේ එවැනි ප්‍රභවයන්ට. මේ වාර්තාවට අනුව අපට යන පිරිවැය කිලෝ වොට් එකකට රුපියල් 10ත් 15ත් අතර මිලක්. හැබැයි අපි අවුරුදු දහයක වගේ අනාගතයකට පවර් පර්චසින් එකක් ගහන්න යනවා රුපියල් 50කට විතර ගන්න. රටට, ජනතාවට මොන වගේ බලපෑමක් වුවත් මේ පාලකයෝ තමන්ගේ මඩිතර කරගැනීමට හදනවා. මේ කණ්ඩායම් අපි ඉදිරියේ මවන චිත්‍රය, හුදෙක්ම අපි මුහුණ දී තිබෙන ප්‍රශ්නය ආර්ථික, සමාජ, දේශපාලන අර්බුදයෙන් රට ගොඩගැනීමට කරන වැඩක් නොවෙනවා පමණක් නොවෙයි, එය මෙවලමක් ලෙස පාවිච්චි කරලා, ඔවුන් හොරකම් කිරීමටත්, තමන්ගේ සුඛවිහරණය වැඩිකර ගැනීමටත් හදනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට බලය අත්‍යවශ්‍යයි. ඒ නිසයි, තවදුරටත් බලයේ රැඳී සිටීමට විවිධ උපක්‍රම පාවිච්චි කරමින් ඉන්නේ. අපි වෘත්තිකයන්ට යෝජනා කරනවා, මේ තොරතුරු විශ්ලේෂණාත්මකව බලන්න, මේ අනතුර අවබෝධ කර ගන්න. මේ රට දූෂිත ක්‍රමවේදයෙන් බේරා ගැනීමේ දිශාවට පරිවර්තනය කර ගැනීමට කටයුතු කරමු.

“අපි ක්‍රියාත්මක කරන්නේ මහ ජනතාවගේ ආණ්ඩුවක් සමග මහජනතාවගේ වැඩපිළිවෙළක්”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති-

ජනාධිපතිවරයා මැදිහත්වෙලා හදපු එයි.එම්.එෆ්. එකත් සමග සාකච්ඡාවට අපි සහභාගි නොවුණේ ඇයි කියන ස්ථාවරය පැහැදිලි කිරීමටත්, රටේ මතුවී තිබෙන ආර්ථික තත්වයන් ගැන කතාකරන්නත් අපි මේ මාධ්‍ය හමුව පවත්වනවා. එයි.එම්.එෆ්. එකත් එක්ක අපේ පාලකයෝ එකතුවෙලා කාමරවල හදපු ගිවිසුම් ක්‍රියාත්මක කරන්න කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ගත් ඒවා නොවෙයි. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා හැටියට කටයුතු කරන වෙලාවේදී, නිව්යෝර්ක්වලදී එයි.එම්.එෆ්. එකත් සමග කළ සාකච්ඡාවල ලේඛන, අත්සන් කරපු ගිවිසුම් ලේඛන ඉදිරිපත් කරන්න කියලා, රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරද්දී පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පසුව අර බැසිල් රාජපක්ෂ හොර රහසේ අත්සන් කරපු ගිවිසුම අද ක්‍රියාත්මක කරනවා. රනිල් වික්‍රමසිංහත් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒවා වෙබ්සයිට්වල පළ කළාට පස්සේ අපි ඒවා අරගෙන පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කරන්න පටන් ගත්තේ. මේ රට අර්බුදයට පත් කළෙත්, ඒ අර්බුදයට පත්කරන්න ගිවිසුම් අත්සන් කළෙත්, රනිල් වික්‍රමසිංහලා විපක්ෂයේ අපිත් සමග සාකච්ඡා කොට එකඟතාවයන්ට ඇවිත් නොවෙයි.

අද ඒවායේ ප්‍රතිඵල විඳවා ගන්න බැරි වුණාට පස්සේ තව තවත් අර්බුදයට ගිහින් අපට සාකච්ඡාවලට කතා කරන එකේ තේරුමක් නැහැ. මේ සාකච්චාවට අපට එන්න කියන්නේ, සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා, රනිල් වික්‍රමසිංහගෙන් පාර්ලිමේන්තුවේදී කරන ලද ඉල්ලීමකට අනුවයි. මේ අර්බුදයෙන් ගොඩයන්න අපිව හවුල්කර ගන්නවා කියන මතයක් සමාජගත කරන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා. අපවත් පටලවාගන්න උත්සාහ ගන්නවා. අයි.එම්.එෆ්. එකට අප සමගත්, අපට අයි.එම්.එෆ්. සමගත් සාකච්ඡාවකට යන්න අවශ්‍යයි නම් ඒ සඳහා ක්‍රමයක් තිබෙනවා. මීට ප්‍රථමත් අයි.එම්.එෆ්. එක සමග අපේ ආර්ථික කවුන්සිලය සාකච්ඡා කළා. නැවත 14 දිනත් සාකච්ඡාවක් කරන්න යෝජනා කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති තැනින් තැන අහුලාගෙන රනිල් වික්‍රමසිංහ කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කුලියාපිටිය රැස්වීමේදී මතු කරන්නේ 2019 දී ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරපු ‘දේශයේ අපේක්ෂාව’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන යෝජනා ප්‍රායෝගික නෑ කියන එක. වික්‍රමසිංහලා, රාජපක්ෂලා හවුලේ වට්ටපු රට ගොඩගන්න අපේ යෝජනා ප්‍රායෝගික නැහැ කියලා කියන්නේ රට ණය කරපු, රටේ උපදින දරුවෙක් ලක්ෂ 12කට වැඩිය ණයකාරයෙක් කරපු, දෙකෝටි විසිලක්ෂයක් ජනතාවට ඉන්න රටක් නැති කරපු, බෙහෙත් පෙත්තක් බොන්න විදිහක් නැති කරපු, අධ්‍යාපනය නැති කරපු, විශ්‍රාමිකයාට විශ්‍රාමික ජීවිතයක් නැති කරපු රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා. රනිල් වික්‍රමසිංහ කියනවා “රනිල් වික්‍රමසිංහලා මේ රට වට්ටපු තරමට මේ රට ගොඩගන්න ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මදි” කියා. අපි මේ ප්‍රතිපත්ති සකස් කරන්නේ 2018 මහ බැංකු වාර්තා දත්තවලට අදාළව. ඒ දත්තවලට අනුව 2025දී ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙළක් යටතේ අපි රට නගා සිටුවන හැටි කියා තිබෙනවා. මහ බැංකු මංකොල්ලකන විදිහට, අර්ථසාධකේ මංකොල්ලකන හැටියට 2022 රට බංකොලොත් කරන හැටි, බංකොලොත් කරන සැලැස්ම දන්නේ රනිල් වික්‍රමසිංහලා තමයි.

ජනතාව රවට්ටන්න රනිල් වික්‍රමසිංහලාට, සජිත් පේමදාසලාට අදටත් කරන්න තිබෙන්නේ තුට්ටු දෙකේ වැඩ. හාල් කිලෝ දහයක් විස්සක් බෙදාදෙන එක. මිනිස්සු හිඟමනට පත්කරලා, නැවතත් ඒ ඇස්බැන්දුමක් හදන්න උත්සාහ ගන්නවා. අපේ මේ ආර්ථික ප්‍රතිපත්ති විද්වත් මණ්ඩල සමග, මහජනතාව සමග සාකච්ඡා කර, හදන ප්‍රතිපත්ති. මේවා අතිශය ප්‍රායෝගික ක්‍රියාමාර්ග. කිසිදු අසාර්ථක ඉලක්කයක් අපි අරගෙන නැහැ. අපි මේ රටේ ක්‍රියාත්මක කරන්නේ මහ ජනතාවගේ ආණ්ඩුවත් සමග මහජනතාවගේ වැඩපිළිවෙළක්. අපි සෑම ආර්ථික ඉලක්කයකට වග කියනවා. සමහර මාධ්‍යවල බලශක්ති ගැන කතා කර අපව විහිළුවට ලක්කර තිබෙනවා, අපේ කාන්තාවන් දර උදුන්වලින් උයන්න පිහන්න ලැහැස්ති කරන්න සිදුවෙනවා කියනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 82 පිටුවේ බලශක්ති පිළිබඳ ක්‍රියාමාර්ග 23ක් සඳහන් කොට තිබෙනවා. ඉන් එකක් තමයි, ජෛව මූල බලශක්ති ප්‍රභවයන් (දර, පොල් කටු අඟුරු) භාවිතය පිළිබඳ පර්යේෂණ දිරි ගැන්වීම සමග එම ප්‍රභව භාවිතාව පිළිබඳ උපකරණ නවීකරණය කර ප්‍රචලිත කිරීම. අනිකුත් බලශක්ති ප්‍රභවයන් පැත්තකට දමා ලිපට බහිනවා කියන එක නොවෙයි. අපි 2019 ඉදිරිපත් කළේ බලශක්ති අර්බුදයට ඉදිරි වසර තුන ඇතුළත ක්‍රියාවට නැගිය හැකි ක්‍රියාමාර්ග 23ක්.

අද ඒගොල්ලන්ට ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති දිරවා ගන්න බැරිතරමට බලපෑමක් කර තිබෙනවා. ඒවායේ විවේචනයට දෙයක් නැති තැන වචන ඇහිඳිනවා. එයාලට ප්‍රතිපත්තියක් නැහැ. ඔබ මේ ප්‍රතිපත්ති කියවන්න. සාකච්ඡා කරන්න. 2024 වසරේ සිට මේ රට හදන අලුත් සැලසුම් ක්‍රියාත්මක කරන්න ලැහැස්තියි. අප ඒ පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා. ජාතික විද්වත් සංවිධානය සහ ගම් මට්ටමේ අපේ සංවිධාන එකතු වෙලා රටට ජාතික ප්‍රතිපත්ති මාලාවක් වගේම ගමට, දිස්ත්‍රික්කවලටත් සැලසුම් සකස් කරමින් ඉන්නවා. අපි ඉදිරියේදී මේ රට ගොඩනඟන සැබෑ විසඳුම් ක්‍රියාත්මක කළ හැකි අතිශය ප්‍රායෝගික ප්‍රතිපත්ති මාලාවන් ජනතාවත් එක්ක සාකච්ඡා කරනවා.

“යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ ”රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා මේ මාස දෙක තුන තුළ සූදානම් වෙනවා මේ රටේ සම්පත් ටික විකුණලා දාන්න. ඔවුන් දන්නවා ඔවුන්ට නැවත බලය ලබාගන්න බැහැ කියලා. ශ්‍රී ලංකන් ගුවන් සේවය කන්ඩෙම් කර, විකුණන්න නිමල් සිරිපාල කැසකවමින් ඉන්නවා. ලෝකයේ වටිනාම ගුවන් ගමනාන්තයක් තිබෙන, ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන ලෝකය තුළ නිමල් සිරිපාල ඇමතිවරයා මාධ්‍යවලට ඇවිත් අවිශ්වාසයක් ඇති කරනවා. මේ උත්සාහ ගන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය කුණු කොල්ලයට විකුණා දැමීමටයි. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය කන්ද භාණ්ඩාගාරයට භාර ගන්න කියා ඉල්ලනවා. ඒ ගොල්ලන්ගේ දූෂිත ගුවන් බස් ගනුදෙනු, රාජපක්ෂවරුන්ගේ ඥාතීන් දමාගෙන බලු පැටව් ගේන්න නාස්තිකාරී ගුවන් යානා යවපුවා තිබෙනවා. එයාර් බස් ගනුදෙනුවෙන් කපිල චන්ද්‍රසේනලා පගාව ගත්ත බව එංගලන්තයේ අධිකරණයෙන් අනාවරණය වූ බව අපි දන්නවා. ඒවා මේ රටේ ජනතාවගේ ණය හෝ දඩ නොවෙයි. ඒ බර භාණ්ඩාගාරයට බාර දීලා, නිමල් සිරිපාලට කොමිෂන් ගන්න විකුණන්න ලැහැස්ති කරනවා. ඒ සමගම විදුලි බල මණ්ඩලය අලෙවි කිරීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. වෘත්තිය සමිති අක්‍රිය කර, අයිතිවාසිකම් පාගා දමා, ලාභ ලබන විදුලි බල මණ්ඩලය විකිණීමට සූදානම් වෙනවා. කංචන විජේසේකර දන්නවා මේ රටේ ජනතාව එයාව තෝරා නොගන්නා බව. ඒ නිසා විදුලි බල මණ්ඩලය විකුණලා ගාණක් සොයා ගන්න උත්සාහ ගන්නවා.

ටෙලිකොම් එක, ගෑස් එක විකුණන්න සූදානම් වෙනවා. මන්නාරම් ද්‍රෝණියේ සුළං බලාගාර ව්‍යාපෘතිය අදානිලාට දෙන්න සාකච්ඡා කරමින් තිබෙනවා. මන්නාරම ගැන විශේෂයෙන් කතා කළ යුතුව තිබෙනවා. එය අධි සංවේදී ප්‍රදේශයක් හැටියට ජාත්‍යන්තරව හඳුනාගත් සංචාරක කුරුල්ලන් යන තැනක්. මිලියන 15ක පමණ සංචාරක කුරුල්ලන් අවුරුද්දකට ලංකාව හරහා ගමන් කරනවා. මේක කියන්නේ “ග්ලෝබල් බයොලොජිකල් සෙන්ටර්” එක සමීක්ෂණයක් අනුව කරන ලද ප්‍රකාශයක්. ලංකාවේ පරිසරවේදීන් සහ පරිසර විද්‍යාඥයන් සමීක්ෂණය කර තිබෙනවා. එවැනි තැනක සුළං බලාගාර හදන්න යනවා. අක්කර 10,000ක් පමණ මිනිසුන් පදිංචි ඉඩම් අත්පත් කර ගැනීමේ සැලසුම් හදා තිබෙනවා. අවුරුදු 25කට ඩොලර් ශත 97ක ස්ථාවර මිලකට සුළං බලය මිලදී ගන්න සැලසුම් හදා තිබෙනවා. මෙය දැන් ඩොලර් ශත 22කට ගත හැකි දෙයක්. අපට 2044 වෙනකම් මිලදී ගැනීමට සිදුවෙනවා.

මේ රටේ පාර්ලිමේන්තුවවත්, අධිකරණයවත්, මේ රටේ ජනතාවවත් මේවා මේ ආකාරයෙන් විකුණන්න රනිල්ට බලය දීලා නැහැ. ඔහු ජන වරමක් නැති ජනාධිපතිවරයෙක්. ජනාධිපතිවරණයකට මාස පහක්, හයක් තිබියෙදී මේ ආකාරයට වෙන්දේසි සූදු කරනවා නම්, අනාගත පරම්පරා ගණනකට වගකියන්න තිබෙන බලශක්තිය, ගුවන් සේවය සහ අනෙකුත් ආයතන විකිණීමේ තීරණ ගන්න හදනවා නම්, මේ රටේ ජනතාවට ඒවාට විරුද්ධ වෙන්න ඕනෑ. ඒවගේම මේ මිලදී ගන්න හදන්නේ ජනවරමක් නැති ආණ්ඩුවකින්. ඊළඟට එන්නේ ජනවරමක් තිබෙන ආණ්ඩුවක්. ජනවරමක් තිබෙන ආණ්ඩුවලට සම්පූර්ණ ජනතාව බලය පවරනවා, ඔබ මිලදී ගත්ත දේවල් පිළිබඳව තීරණ ගන්න. ඒ නිසා ඒගැනත් සැලකිලිමත් වෙන්න කියා මිලදී ගැනීම්වලට ලංසු තබන අයට ඉල්ලීමක් අපි කරනවා. මේ රනිල් වික්‍රමසිංහ-රාජපක්ෂ හවුල් පාලනයට තවදුරටත් ජනවරමක් නැහැ අපේ සම්පත් විකුණන්න. මේ ජනවරමක් උරගා බලන්න සූදානම් වෙන මොහොතේ, මේ කොයි ක්‍රමයකින් හෝ විකිණීමට, මිලදී ගැනීමට සූදානම් වෙනවා නම්, ඒකේ ගනුදෙනුව බේරා ගන්න වෙන්නේ ඊළඟ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට. ඒ නිසා මේ ගනුදෙනුවලට ඔබ ලැහැස්ති වෙන්න එපා. මේ අපේ රටේ සම්පත් විකුණන්න සූදානම් වෙන ගනුදෙනු වහාම නතර කළ යුතුයි. ආණ්ඩුවට විකිණීමට ජනවරමක් නැහැ. පෞද්ගලික අංශය ශක්තිමත් කරනවාය කියන එකයි, රාජ්‍ය සම්පත් විකුණනවා කියන එකයි එකක් නොවෙයි; ක්‍රියාවලීන් දෙකක්.

“ආර්ථික අර්බුදය ඇති කළ අය සුවසේ සිටියෙදී, අහිංසක ජනතාව එහි ගොදුරු බවට පත්කර තිබෙනවා”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකා, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර-

2010 – 2014 කාලසීමාවේ අපේ දේශීය විදේශීය ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තාම තිබුණේ 76.13%ක අගයකයි. 2022 වන විට මේ දේශීය විදේශීය ණය ප්‍රතිශතයක් ලෙස 113.8%ක් දක්වා වර්ධනය වුණා. ප්‍රශ්නය වෙන්නේ මේ ගොල්ලෝ දිගින් දිගටම ණය ගත් එක. 2007 – 2014 කාලය ඇතුළත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (අයිඑස්බී) මගින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 5000ක පමණ ණය අරගෙන තිබෙනවා. 2015 – 2019 කාලය ඇතුළත යහපාලන ආණ්ඩුව ඩොලර් මිලියන පහළොස් දහසක් පමණ අයිඑස්බී මගින් ණය අරගෙන තිබෙනවා. රටේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් යැයි කියමින් මේ ණය අරගෙන ඒවා අවභාවිත කරමින් ණය කන්දක් ගොඩගසා තිබෙන එක තමයි අද රටට ප්‍රශ්නයක් වී තිබෙන්නේ. ආණ්ඩුව මේ ණය බර අද ජනතාවට බාරදී තිබෙනවා. ණය ගැනීමේ වගකිවයුත්තන් කවුද, ආර්ථිකය කඩා වැට්ටවීමට වගකිවයුත්තන් කවුද කියා බැලුවොත්, රාජ්‍ය මූල්‍යය සම්බන්ධයෙන් දුර්වල ප්‍රතිපත්ති ගෙන තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව, වැරදි පිස්කල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ රට පාලනය කළ හැම දේශපාලනඥයෙකුම වගකියන්න ඕනෑ. මේ අය ආර්ථික අර්බුදය ඇති කරලා, ඔවුන් සුවසේ සිටියෙදී, එහි ගොදුරු බවට මේ රටේ අහිංසක ජනතාව පත්කර තිබෙනවා. ඔවුන් පළමුවෙනි වතාවට ජනතාවගේ ධනය ඍජුව සොරකම් කර තිබෙනවා. දෙවැනි වතාවට ඔවුන් බදු හරහා මහජනතාවගේ ධනය සොරකම් කරනවා. මේක තමයි තිබෙන විශාලම ගැටලුව.

මෙහිදී ජන ජීවිතය කොයිතරම් දුරට අඩාල වී තිබෙනවාද? අයිඑම්එෆ් කොන්දේසියක් අනුව ක්‍රියාත්මක වෙන 2023 අංක 16 දරන මහ බැංකු පනත නිසා, මෙතෙක් මහ බැංකුවේ තිබූ ආර්ථික ස්ථායීකරණ අරමුණ ඉවත් වී යනවා. අද වෙන විට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අති විශාල ප්‍රමාණයක් කඩා වැටී තිබෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය මගින් ලක්ෂ 28කට වැඩි ප්‍රමාණයක් මේ වන විට අසරණ වී තිබෙනවා. මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අතර හිරවී තිබෙන්නේ ලක්ෂ 24ක් වන කාන්තාවන්. මහ බැංකුව මගින් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට 8% පොලියට සෞභාග්‍යා ණය ලැබුණට මේ පනතත් සමග සෞභ්‍යාග්‍යා ණය නතර වී තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පත් වී තිබෙන අපහසුතාවය ආවරණය කර ගන්න ණය යෝජනා ක්‍රමයක් මේ වන විට නැහැ. ප්‍රාදේශීය කාර්යාලය මගින් ලබාදුන් ණය සහන අහිමි වෙනකොට මහ බැංකුව වරින් වර තමන්ගේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහත දැම්මාට සැබෑවටම පහළ දැමීම, අනෙක් බැංකුවල ණය දීම් මත පිළිබිඹු වන්නේ නැති බව අපට පැහැදිලිවම පේනවා.

වැඩි පොලියකට ණයක් අරගෙන අපේ ව්‍යවසායකයන්ට තවදුරටත් ඔවුන්ගේ කටයුතු කරගෙන යාමට අපහසුයි. ඒ වගේම ක්ෂුද්‍ර මූල්‍ය ණය අරගෙන ඒ මත හිරවීම නිසා කුඩා ව්‍යාපාර කරන කාන්තාවන් මේ වන විට අසරණ වී තිබෙනවා. ඔවුන්ට 1%ක් වගේ දවස් පොලියට ණය ගන්න සිදුවෙලා තිබෙනවා. එය අවුරුද්දට 365%ක පොලියක්. මේ විදිහට දිගින් දිගටම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කඩා වැටෙන කොට, ඒ නිසා රැකියා අති විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. එය සාමාන්‍ය පවුල්වල ආදායම්වලට තර්ජනයක් ඇතිවී තිබෙනවා. ඒ නිසා දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවෙනවා. දැනට ජනගහනයෙන් භාගයක් පමණ දුප්පත්කමේ රේඛාවෙන් පහළට වැටී තිබෙනවා.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2019 පවර්ටි ලයින් එක ලෙස පෙන්වා දී තිබෙන්නේ පුද්ගලයෙකුට ජීවත්වීමට අවශ්‍ය අවම ආදායම රුපියල් 6966ක් ලෙසයි. 2023 දෙසැම්බර් වෙනකොට ජීවත් වීමට අවශ්‍ය අවම මුදල රුපියල් 16,524ක් දක්වා වැඩිවෙනවා. අතිශය විශාල උද්ධමනයකට මුහුණදීමත් එක්ක තමයි දරිද්‍රතා රේඛාව ඉහළට යන්නේ. ජීවත් වීමට පුද්ගලයෙකුට අවශ්‍ය අවම මුදල 16,524ක් දක්වා වැඩිවුණාට කිසිම කෙනෙකුගේ වැටුප් මේ දක්වා වර්ධනය වෙලා නැහැ. ඒක තමයි ජනතාවට විඳින්න සිදුවී තිබෙන විශාල ප්‍රශ්නය. මෙසේ මිනිස් ජීවිත කඩා වැටෙන කොට රැකියා අහිමි වෙනකොට ලෝක ආහාර වැඩසටහනේ කියනවා 31%ක් දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බව. හේතුව වන්නේ ජීවත්වීමට අවශ්‍ය ප්‍රමාණවත් ආදායමක් කුමන ආකාරයකින් හෝ ඔවුනට ලැබෙන්නේ නැහැ. මිනිසුන්ගේ ආදායම අඩුවෙලා යනකොට, සේවා නියුක්ති අවස්ථා නැතිවෙලා යන කොට පවුල තුළ විශාලම පීඩනය ඇති වෙන්නේ කාන්තාවටයි. මේ තත්වයෙන් කාන්තාවන් ගලවා ගැනීමට රජයට කිසිදු වැඩපිළිවෙළක් ඇත්තේ නැහැ. බහුවිධ දරිද්‍රතා දර්ශකයට අධ්‍යාපනය, සනීපාරක්ෂාව, පානීය ජලය, සෞඛ්‍ය පහසුකම් ආදී සෑම දෙයක්ම අන්තර්ගත වෙනවා. ජනතාවගෙන් 78.3%ක් සිටින්නේ ග්‍රාමීය ප්‍රදේශවල. මේ 78.3%ක් වන ජනගහනයෙන් 80.9%ක්ම දරිද්‍රතාවයට පත්වී සිටින බව බහුවිධ දරිද්‍රතා දර්ශකයෙන් පෙන්වා දී තිබෙනවා. පසුගිය කාලසීමාව තුළ, මේ රටේ ජනතාවගෙන් වැඩිම පිරිසක් දරිද්‍රතාවයට පත්වී තිබෙනවා. ඒත් එක්කම යුනිසෙෆ් වෙබ් සයිට් එක පෙන්වනවා සෑම දරුවන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් කුසගින්නේ ඉන්න බව. ළමුන්ගෙන් මිලියන 2.3ක් අවශ්‍ය ආහාර නැතිව අතිශය ඛේදජනක තත්වයන්ට මුහුණ දී තිබෙනවා.

රජය ඡන්දය ඉලක්ක කොට, රුපියල් 7500ක් සහ 15,000 අස්වැසුම මගින් දෙමින් ජනතාව රවටනවා. මිනිසුන්ට අවශ්‍ය ආහාර දෙන්න රජයට වුවමනාව තිබුණා නම්, මීට ප්‍රථම එය දෙන්න තිබුණා. නමුත් දැන් සංඛ්‍යාව වැඩිකරමින් තව පිරිසකට අස්වැසුම දෙන්න කටයුතු කරනවා. මේ රුපියල් 7500ක් සහ 15,000ක් දෙන්නේ හතර දෙනෙකු සිටින පවුලකටයි. එක් පුද්ගලයෙකුට රු.16,524ක් අවශ්‍යයි. එසේ නම් පවුලකට මේ මුදල සතියක් හෝ ජීවත්වීමට කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ සහනාධාර බෙදීම වෙනුවට ආර්ථිකය ප්‍රසාරණය කරලා මිනිසුන්ට ජීවත් වීමට උපායමාර්ග සලසා දෙන්න ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. භාණ්ඩ මිල දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන මොහොතේ හාල් කිලෝ 10ක් දී මිනිස්සු රවට්ටන සංස්කෘතියක් තිබෙන්නේ. ජනතාව තේරුම් ගන්න ඕනෙ මේ තාවකාලික සහන එළියට එන්නේ ඡන්දය බලාපොරොත්තුවෙන් පමණක් බව. සැබෑවටම සහන දෙන්න අවශ්‍ය නම් රටේ නිෂ්පාදනය වැඩිකරලා, ආර්ථිකය ප්‍රසාරණය කරලා මිනිසුන්ට අවශ්‍ය සහන ලබා දෙන්න හැකියාව තිබෙනවා.

මේ රටේ 1950 -1959 අවධියේ බාහිර ණය, අපනයනවල ප්‍රතිශතයට අනුව 11.3%යි. හැබැයි 2022 වෙනකොට එය 307%ක් දක්වා වර්ධනය වී තිබෙනවා. අපනයන සැබෑ ලෙසම වර්ධනය වුණා නම්, අපේ අපනයන ණය ප්‍රතිශතය අඩුවෙන්න තිබුණා. සැබෑ ලෙස දරිද්‍රතාවය තුරන් කිරීමට අවශ්‍ය වී තිබුණා නම්, ජීවන තත්වය උසස් කිරීමේ වුවමනාව තිබුණා නම්, ආදායම් උපයන ක්‍රම රට තුළ නිර්මාණය කරන්න තිබුණා. ඒ නිසා තමයි අපි මේ රටට නිෂ්පාදන ආර්ථියක් අවශ්‍යයි කියා යෝජනා කරන්නේ. රජයේ ප්‍රධාන ආදායම් මාර්ග දළ දේශීය නිෂ්පාදනයෙන් 50%කට වඩා ලැබෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලින්. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටෙන කොට, ආදායම් උපයන මාර්ග ඇති වෙන්නේ නැහැ. ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නැහැ. ජනතාවට ආදායම් කළමනාකරණය කිරීමට, ඉතිරි කිරීම සඳහා අවශ්‍ය දැනුම ඒ සඳහා මිනිසුන් යොමු කිරීමක් ඇති වෙන්නේ නැහැ. දරිද්‍රතාවයෙන් තුරන් කර ගැනීමට නම් සමජ බලගැන්වීමකට ගෙනියන්න ඕනෑ. සමාජය විසින් බලගන්වන්න නම්, මිනිසුන්ට කුසලතා ලැබෙන විදිහේ වැඩසටහන් තිබෙන්න ඕනෑ. එවැනි වැඩපිළිවෙළක් අපට පේන්න නැහැ. අපට දකින්න ලැබෙන්නේ සමාජ ආරක්ෂණ වැඩසටහනයි. මේ අස්වැසුම වගේ ඒවයින් පුංචි පුංචි සහන දුන්නාට, හාල් මලු බෙදුවාට කොයිම වෙලාවකවත් මේ ඇතිවෙලා තිබෙන දුගී බවේ දුෂ්ට චක්‍රයෙන් මුදා ගන්න හැකිවෙන්නේ නැහැ කියන එක පැහැදිලියි. ක්‍රියාත්මක වුණා නම් ඒ ඡන්දය ඉලක්ක කරගෙන ඡන්දයකදී පමණයි.

තිරසාර සංවර්ධනයක් මේ රටේ ඇති කරලා මිනිසුන්ගේ ජීවිත සැබෑ වශයෙන්ම උසස් තත්වයකට පත්කරන්න අවශ්‍ය නම් ජාතික ජන බලවේගය යෝජනා කරන විදිහේ දැවැන්ත ආර්ථික වර්ධනයකට ගෙන යා හැකි සමාජ පරිවර්තනයක්, නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්න ඕනෑ. මිනිසුන් නිෂ්පාදන කාර්යයට දායක වෙලා නිෂ්පාදනයේ ප්‍රතිඵල හැමෝටම භුක්ති විඳින්නට හැකි ආර්ථියක් ඇති කරන්න ඕනෑ. මෙතෙක් කිසිම පාලනයක් මේ රටේ මිනිසුන්ට සැබෑ ලෙසම උදව් කිරීමට, මිනිසුන්ගේ ප්‍රශ්න තේරුම් අරගෙන ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ නැහැ. අපි මිනිසුන්ට කියනවා මේ රැවටීම්වලට අහුවෙන්න එපා. සැබෑ තත්වය තේරුම් අරගෙන, සැබෑවටම ඔබේ ජීවිතය යහපත් කළ හැකි දේශපාලන ක්‍රමවේදයකට මේ රට පරිවර්තනය කරන්න එකතු වෙන්න.