Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“කල් ඉකුත් වූ පාස්පෝට් අලුත් නොකිරීමෙන් මැතිවරණ සමයේ ලංකාවට පැමිණීමට නොහැකි තත්වයක් ඇති කර තිබෙනවා” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.09-)

Vijitha Herath Speaking At NPP Press Conference

මේ ආණ්ඩුව අද පුරවැසියන්ට පාස්පෝට් එකක්වත් ලබා දෙන්න බැරි තත්වයකට පත් වෙලා සිටිනවා. එක පැත්තකින් පාස්පෝට් පෝලිම දික් වෙවී තිබෙන අතරේ අනෙක් පැත්තෙන් ලංකාවට එන විදේශිකයන් පවා රස්තියාදු කරමින්, වීසා පෝලිම දික්ගැසී තිබෙනවා. පසුගිය කාලයේ සාමාන්‍ය පාස්පෝට් නිකුත් කිරීම වෙනුවට ‘ඊ-පාස්පෝට්’ සේවය ආණ්ඩුවෙන් හඳුන්වා දීම පිටුපස කොමිස් ගැසීමේ ජාවාරම නිසා සියල්ල අඩපණ කරලා. රනිල් වික්‍රමසිංහගේ හිතවතකු වන ජිත් වර්ණකුලසූරියට අයත් ‘ජස්ට් ඉන් ටයිම්’ සමාගමට මේ සම්බන්ධයෙන් ටෙන්ඩරය ලබා දී තිබුණා. ගිවිස ගත් පරිදි පසුගිය ජුනි මාසයේ සිට ඊ-පාස්පෝට් සේවාව ලබා දෙන්න සමාගම අපොහොසත් වීමෙන් පෝලිමක් ඇති වුණා. රට එපා වී හැර යාමට 3,000ක විතර පිරිසක් දවසකට පාස්පෝට් ගන්න එනවා. නමුත්, ටෙන්ඩර් මගඩියත් එක්ක ‘ඔන්ලයින්’ ක්‍රමයට පාස්පෝට් දෙන්න ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව දවසකට නිකුත් කරන්නේ පාස්පෝට් 250-300 අතර ප්‍රමාණයක් පමණයි. එහෙම තියෙද්දී, ඊ-පාස්පෝට් ලබා දීමේ ටෙන්ඩරය ලබා ගත් සමාගමටම සාමාන්‍ය ක්‍රමයට පාස්පෝට් නිකුත් කිරීමේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් පසුගිය සතියේ දී කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර තිබුණා. මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් කමිටුවක් පත් කර එහි නිර්දේශ මත බව කියමින්, පැරැණි ආකාරයෙන්ම පාස්පෝට් ලබා දෙන්න කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙනවා. එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙන්නේ පිටු 48ක පාස්පෝට් එකක් ලබා දෙන්නයි. නමුත්, මුල දී තිබුණේ පිටු 64ක පාස්පෝට් එකක්.

මුල දී පාස්පෝට් ලබා දුන් සමාගමෙන් ලක්‍ෂ හතහමාරක් කඩිනමින් ලබා දීමට තීන්දු කර ඇති බව සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා ප්‍රකාශ කළා. නමුත්, කලින් ලබා දුන් සමාගමට ටෙන්ඩරය පිරිනැමුවා නම්, ප්‍රමාදයක් සිදු වන්නේ නැහැ. නමුත්, පිටු 64කට තිබූ පාස්පෝට් එක පිටු 48කට අඩු කිරීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලෝකයේ රටවල් 192කට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෑ. ඒ අනුව එම රටවල අනුමැතිය ලබා ගන්න තවත් මාස දෙකක් පමණ ගත වෙනවා. කැබිනට් පත්‍රිකාව අනුව පිටු 48ක පාස්පෝට් එක වෙනුවෙන් ඩොලර් 7.98ක මුදලක් වැය වන බව සඳහන් වෙනවා. රුපියල්වලින් ගත්තොත්, එක් පිටුවකට රුපියල් 31ක් වැය වෙනවා. නමුත්, පෙර තිබුණු මිල ගණන් අනුව වැය වෙන්නේ රුපියල් 5.99යි. දහස් ගණනක් පෝලිම්වල රස්තියාදු වෙන්නේ මේ මගඩිය නිසයි. අද මේ සිදු කරන්නේ රටේ ඉන්න බැරි කර තිබෙන අතර, රටින් පිට වී යන්නත් ඉඩ නොදී හිර කර තිබීමයි. මේ තත්වය වහා වෙනස් කර මෙතෙක් කල් සාමාන්‍ය පාස්පෝට් ලබා දුන් ආකාරයට ඒ ක්‍රමවේදයෙන් ලබා දෙන ලෙස අපි අවධාරණය කරනවා. ඒ අනුව රටවල් 192ක අනුමැතිය අලුතින් ලබා ගන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඇමැතිවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ හිතවත්කම්වලට ගසාකන්න ඉඩ දීමෙන් ලංකාවට එන්න ඉන්න ලාංකිකයන්ට ඉඩ ලැබෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම මේ මැතිවරණ සමයේ පාස්පෝට් කල් ඉකුත් වූ අයට ඒවා අලුත් කර ගැනීමට නොහැකි වීම නිසා ලංකාවට පැමිණීමට නොහැකි වීමේ තත්වයක් ඇති කර තිබෙනවා. ආගමන – විගමන දෙපාර්තමේන්තුවේ පරණ වෙබ් අඩවිය විවෘත කර අවශ්‍ය පහසුකම් සලසා නොදී සිටිනවා. මේ තත්වය වහාම අවසන් කරන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.

ඒ වාගේම මැතිවරණ සමයේ ජනතාව රටවන්න විවිධ දේශපාලන පොරොන්දු දුන් අතර, නාගරික මහල් නිවාසවල ඉන්න ජනතාවට ඔප්පු ලබා දෙන බව ප්‍රකාශ කළා. නමුත්, ලබා දී තිබෙන ඔප්පුවල පවා නීත්‍යනුකූලව සඳහන් විය යුතු ඔප්පු අංකයක් කිසිදු තැනක සඳහන් කර නැහැ. නාගරික සංවර්ධන අධිකාරියෙන් මේ ඔප්පු ලබා දී තිබෙනවා. ඒ වාගේම ඔප්පුවේ සාක්‍ෂිකරුවන් දෙදෙනකු අත්සන් කළ යුතුයි. නමුත්, මේ ඔප්පු ලෙස සාක්‍ෂිකරුවන් නොමැති මෙන්ම සහතික කිරීමකුත් සිදු කර නැති කොළ කෑල්ලක් ලබා දී තිබෙනවා. ඔප්පුවක් නීත්‍යනුකූල වීමට නම්, ඔප්පු අංකය අනිවාර්යයෙන් ම සඳහන් විය යුතුයි. ජනතාවගේ මුදල් නාස්ති කර උත්සව පවත්වා ඒ බරත් ජනතාව මත පටවා ගෙන යන ප්‍රෝඩාව නැවැත්විය යුතුයි. විශේෂයෙන් ම නාගරික ප්‍රදේශවල ජනතාවට පසුගිය කාලයේ ලබා දුන් කොළ කෑල්ල ඔප්පුවක් බව ප්‍රකාශ කරමින්, ඡන්දය පැහැර ගැනීමට දරන ප්‍රයත්නයට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි රැවටීම්වලින් නොනැවැතී, රනිල් වික්‍රමසිංහ වේදිකාවල කපටි කතා කියන්න පුරුදු වි සිටිනවා. අනෙක් වේදිකාවේ මෝඩ කතා කියන අතරේ රනිල් වික්‍රමසිංහ කපටි කතා කියනවා. මාතර, මොරවක රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ කීවේ, අනුර දිසානායකගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එකරැයින් කියවූ බවයි. එකරැයින් කියැවූ ඒවා යැයි ඔහු පට්ටපල් බොරු රැසක් ඒ වේදිකාවේ දී කීවා. ජාතික ජන බලවේගයෙන් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බව ඔහු කීවා. මෙවැනි සඳහනක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුමන පිටුවේ, කුමන වගන්තියක තිබේ දැයි පෙන්වන ලෙස ඔහුට අභියෝග කරනවා. ළඟ ඉන්න කේවට්ටයෝ කියන දේවල් අහලා වේදිකාවල මෙවැනි බේගල් දිගහරින්න එපා. එක රැයක් නොවෙයි, මාසයක් හෝ අවදියෙන් සිට නැවත කියවන ලෙස අභියෝග කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 151 වැනි පිටුවේ ‘ජාත්‍යන්තර හා දේශීය වෙළෙඳපොළ පුළුල් කිරීම් සහ කාර්යක්‍ෂමතාව’ නම් සිරස්තලය යටතේ අපි අවධාරණය කර තිබෙන්නේ ‘පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම හා නව නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ප්‍රවේශ වීම’ කියලයි.

රනිල්, ඔයා මොනවා ද කියෙව්වේ ? ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බව කීවේ දැක්කේ නැතිවද? නැති නම්, හිතාමතාම මඟහැර ගිහින්ද? රටේ වගකිව යුතු ජනාධිපතිවරයකු හැටියට දැනුවත්ව බොරු කියන්න එපා. ඔබ නිකම්ම නිකම් අපේක්‍ෂකයකු නොවෙයි, ඔබ දැනට මේ රටේ ජනාධිපති ධුරය දරන අපේක්‍ෂකයා. ජනතාව මුළා කරන්න එපා. ජාත්‍යන්තර ප්‍රජාව මුළා කරන්න එපා. පවතින වෙළෙඳ ගිවිසුම් කාලීන තත්වයට අනුව යාවත්කාලීන කරනවා පමණක් නොවෙයි, නව වෙළෙඳ ගිවිසුම් අත්සන් කරන බවත් සඳහන් කර තිබෙනවා. ඉංග්‍රීසි පරිවර්තනයේ 84 වැනි පිටුවේ ඒ බව ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. දවසෙන් තේරෙන්නේ නැත්නම්, සතියක් නිඳිවරලා හරි රනිල්, ඔයා මේක නැවත කියවන්න. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ කියනවා, අනුර දිසානායක සහෝදරයාට සමාව ගන්න කියලා. රනිල්, දැන් ඔයා සමාව ගන්න ඕනෑ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කපටි විදියට වෙනස් කර බොරු කීම සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් සමාව ගන්න ඕනෑ. රටෙන් විතරක් නොවෙයි, ජාත්‍යන්තර ප්‍රජාවගෙනුත් සමාව ගත යුතුයි. මොකද, ඔහු මේ රටේ ජනාධිපතිවරයා හැටියටයි කටයුතු කරමින් සිටින්නේ.

අනුර සහෝදරයා උතුරට ගිහින් ජනතාවගෙන් ඉතා පැහැදිලිව ඉල්ලීමක් කළේ මුළු රටම එකතු වී රට හදන ප්‍රතිපත්තිය ජයග්‍රහණය කරවන්න එකතු වෙන්න කියලයි. දකුණේ ජනතාව ජයග්‍රහණයට පෙළගැසී සිටින මොහොතේ උතුරේ ජනතාව ලෙස ඒ අවස්ථාව මඟහරින්න එපා කියලයි, ඔහු අවධාරණය කළේ. දකුණේ ජනතාවගේ සහාය විතරක් මදි. උතුර, නැඟෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජාතිකත්වයන්ගේ සහයෝගය රට ගොඩනැඟීම සඳහා අත්‍යවශ්‍ය බවත්, සමඟියෙන් පිරුණු රටක් ගොඩනැඟීමට සමඟියෙන් පිරුණු ආණ්ඩුවක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළා. නමුත්, රනිල් හිතාමතාම එය විකෘති කර ජාතිවාදී ප්‍රකාශයක් සිදු කළා. 1981 සංවර්ධන සභා මැතිවරණය අවස්ථාවේ සිරිල් මැතිව්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ගාමිණී දිසානායකලා මැරයන් මෙහෙයවා කුරුණෑගල සිට යැවූ මැරයන් ඡන්ද පෙට්ටි කොල්ලකා විනාශයන් සිදු කළ, දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලයට ගිනි තැබූ ඉතිහාසයක් තිබෙනවා. කුරුණෑගල සිට කෝච්චියෙන් ගිහින් හින්දු විද්‍යාලයේ නවාතැන් ගෙන රාත්‍රී දහයට ඇමැතිවරුන් උපදෙස් දුන් ආකාරය සම්බන්ධයෙන් සජීවී සාක්‍ෂි තවමත් තිබෙනවා. එදා යාපනය පුස්තකාලය ගිනි තබා ඡන්ද කොල්ලයක් දියත් කළ නිසයි යුද්ධයකට පාර කැපුණේ, රට ගිනි තබන ජාතිවාදී යුද්ධයට පාර කැපුවේ 1981 සිදු කළ මේ විනාශයෙන් විසිනුයි. එවැනි විනාශ සිදු කළ රනිල් වික්‍රමසිංහ ඇතුළු පාලකයන් අද අනුර සහෝදරයාගේ කතාව විකෘති කරමින්, වෙනත් ප්‍රකාශ සිදු කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැනුවත්ව විකෘති කිරීම සහ නැවත ජාතිවාදය අවුස්සන ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සමාව ගත යුතුයි. සදාචාර සම්පන්න දේශපාලන භාවිතාවක් තිබෙනවා නම්, ඔහු එය රටට පෙන්විය යුතුයි.

Vijitha Herath At NPP Press Coference

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්;

වීසා ජාවාරම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා දරන ස්ථාවරය මොකක් ද?

අපි මේ කරුණු ඉදිරිපත් කළේ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයා වෙනුවෙන්. එදා වී.එෆ්.එස්. වීසා ජාවාරම රටට හෙළි කළේ පළාත් පාලන මැතිවරණයට ගම්පහ නගර සභාවෙන් අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි සහෝදරයකුගේ පුතෙක්. ඔහු නීතිඥවරයකු ලෙසත්, ඔහුට පෞද්ගලිකව සිදු වූ අසාධාරණය නිසාත් මේ සිද්ධිය රටට හෙළි කළා. මේ තරුණයා කළ වීර ක්‍රියාව නිසා අපේ රට සහ ලෝකයේ සිටින ලාංකිකයන් මේ වංචාව පිළිබඳව මුලින්ම දැනගත්තා. හදිසි ව්‍යාපාර කටයුතු වෙනුවෙන් පවා පැමිණීමට නොහැකි මට්ටමට හිර වී සිටිනවා. අපි දේශපාලන ව්‍යාපාරයක් විදියටත් මුල ඉඳලාම මේ ජාවාරම රටට හෙළි කරමින්, එය නවත්වන ලෙස බලපෑම් ආණ්ඩුවට සිදු කළා. දැන් කරන්නෙත් ඒක තමයි.

මොරවක දී ජනාධිපතිවරයා කළ අභියෝගය භාර ගන්නවා ද?

අපි මේ කරන්නේ ඒ අභියෝගය භාරගෙන උත්තර සැපයීමයි. අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ඇතුළත් කර තිබෙන කරුණු පිළිබඳව පැහැදිලි කළා. අනුර සහෝරයාට යම් අසනීප තත්ත්වයක් නිසා මොරවක රැස්වීමට යන්න බැරි වුණත්, ඊයේ අනුර සහෝදරයා රනිල් වික්‍රමසිංහට පිළිතුරු ලබා දුන්නා. දැන් රනිල් සමාව ගන්න ඕනෑ.

අපේක්‍ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ විවෘත සංවාදයකට එක් නොවූයේ ඇයි ?

ඒ සංවාදයට ලෑස්ති කරන්න ඉස්සර අපි අපේ රැස්වීම් සූදානම් කර තිබුණා. එදා උදේ අපේ නීතිඥ සමුළුව, ක්‍රීඩා සමුළුව, මොරවක රැස්වීම, ඌරුබොක්ක රැස්වීම, දෙයියන්දර රැස්වීම සූදානම් කර තිබුණා. අපේ න්‍යාය පත්‍රයට පිටින් විවිධ මාධ්‍ය ආයතන සහ සංවිධාන කරන සැලැසුම් අනුව අපේ කටයුතු වෙනස් කර ගන්න අපහසුයි. ඒ අනුවයි සහභාගී වෙන්න නොහැකි වුණේ.

ජනාධිපතිවරයා රැස්වීම්වල දී ‘මා මිත්‍ර අනුර කුමාර දිසානායක’ කියලා ආමන්ත්‍රණය කිරීමෙන් හෙළි වන්නේ ඩීල් එකක් ද?

ඩීල් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාසලා අතර බව කාටත් පැහැදිලියි. හොඳම උදාහරණය අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයා හඬා වැලපෙමින්, පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය. ඒ වාගේම ඒ දෙපැත්තේම දෙවැනි පෙළ කට්ටිය තැන් තැන්වල විවිධ සාකච්ඡා කරමින් යනවා. රනිල් වික්‍රමසිංහ, සජිත්ට අනුරව පරද්දන්න බැරි බව කියන අතර, රනිල්ට පුළුවන් ද? සජිත්ටත් බෑ. රනිල්ටත් බෑ. ඒ දෙන්නාම එක් වුණත් බැහැ. ඒ විතරක් නොවෙයි, දැන් අනුරටත් බෑ අනුර පරද්දන්න. රටේ ජනතාව අනුරව දිනවලා ඉවරයි.