Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“රනිල් වික්‍රමසිංහ මොන තරම් තර්ජන සිදු කළත් අධිකරණය බිය වූයේ නැහැ” -ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල-

(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.08.23-)

Sunil-Watagala-NPP-Press-Conference

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22දා) මුළු රටේම ජනතාවට බලපාන විශේෂ නඩු තීන්දුවක් ලබා දුන්නා. එය ඓතිහාසික නඩු තීන්දුවක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු පංචපුද්ගල මණ්ඩලයක් විසින් ලබා දුන් නඩු තීන්දුව වූයේ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස නියෝග කිරීමයි. ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය, සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා සහ වෛද්‍ය නිහාල් අබේසිංහ යන තිදෙනා පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පවත්වන්නට තිබුණු පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහි නඩුවේ පෙත්සම්කරුවන් වූවා. 2023 මාර්තු 17 වැනිදා පැවරූ මෙම නඩුව වාර අටක් කැඳවූවා. පංචපුද්ගල මණ්ඩලයක් විසින් තර්ක දින 15ක් ගත කිරීමෙන් පසුව පිටු 75කින් ලබා දී තිබෙන තීන්දුවේ හරය වන්නේ, විධායක ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (සී) වගන්තියට අනුව බැඳී සිටින නෛතික වගකීම ඉටු කර නැති බවයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඔහුට ව්‍යවස්ථාපිත බැඳීමක් තිබෙන බව එහි අවධාරණය කරනවා. නඩු තීන්දුවේම විධායක ජනාධිපතිවරයා සඳහන් කළ “ඡන්දය තියන්න සල්ලිත් නෑ. සල්ලි තිබුණත් ඡන්දයකුත් නෑ” කියන ප්‍රකාශය ඇතුළත් කර තියෙනවා. තීන්දුව ලියලා තිබෙන්නේම මේ ප්‍රකාශය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (සී) වගන්තිය පදනම් කරගෙනයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ස්ථාපනය කර තිබෙන ප්‍රමුඛතම නීතිය මූලික අයිතිවාසිකම් රැකීම පිළිබඳවයි. ඒ වෙනුවෙන් වගන්ති 4ක් වෙන් කර තිබෙනවා.

මේ වගන්ති අතුරින් 12(1) වගන්තිය උල්ලංඝනය කර ඇති බව තීන්දුවේ සඳහන්. එහි සරල අර්ථය සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන බවයි. එම සිද්ධාන්තය රනිල් වික්‍රමසිංහ උල්ලංඝනය කර ඇති බව තීන්දු කර තිබෙනවා. ඒ වාගේම 14(1)(අ) වගන්තිය අනුව මිනිසුන්ට තිබෙන භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසත් උල්ලංඝනය කර ඇති බව මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ වගන්තිත් උල්ලංඝනය කර ඇති බව තීන්දු කළා. විධායක ජනාධිපති සහ මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් වැරැදිකරුවන් කර තිබෙනවා. මේ මඟින් ලක්ෂ 171කගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කර තිබෙනවා. විධායකයකුට ඡන්ද තියන්න සල්ලි නෑ කියලා ප්‍රකාශ කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබෙනවා. නඩු තීන්දුවේ තිබෙන වැදගත්කම එයයි. රනිල් වික්‍රමසිංහ අවස්ථා කිහිපයකදීම අධිකරණය සමඟ ගැටී පළාත් පාලන මැතිවරණය නිශ්චිත දිනයේදී නොපැවැත්වීම ඔහුගේ ජයග්‍රහණයක් වශයෙන් සලකා ක්‍රියා කළා. ඔහු පොල් සංවර්ධන මණ්ඩලයේ දී අධිකරණ විනිශ්චයකාරවරුන්ට බලපෑම් කළත්, ගරු විනිසුරුතුමන්ලා බය වුණේ නැහැ. ඊට පස්සේ මහියංගනයේ පවත්වන ලද ඔප්පු බෙදා දීමේ උත්සවයකදී අධිකරණයේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බව කීවා. ඒත්, ශ්‍රේෂ්ඨාධිකරණය බය වුණේ නැහැ. ඒ වාගේම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු නියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා යොදවා ගනිමින්, අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරුන් තිදෙනා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන එන ලෙස ඉල්ලා සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙලාවේ බය වුණෙත් නැහැ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සේවය අත්හිටුවා, වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිට නියෝගයක් දුන්නා. අගමැති සහ කැබිනට් මණ්ඩලය එම නියෝගය පිළිගන්නේ නැති බව කීවා. නමුත්, අදටත් පොලිස්පති හැංගිලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මොන තරම් තර්ජන, ගර්ජන සිදු කළත්, අධිකරණය ඊට අවනත වුණේ නැහැ.

අධිකරණය අවනත නොවුණේ, ජනතාවගේ පැත්තේ ඉඳලා. ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය විසින් රකිනවා. නමුත්, රනිල් වික්‍රමසිංහගේ මේ ක්‍රියාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්තිවලින් ආරක්‍ෂා කර තිබෙන ජනතාවගේ පරමාධිපත්‍ය අයිතියට ඔහුගේ ක්‍රියාකාරීත්වයෙන් බලපෑම් කර ඇති බව විග්‍රහ කර තිබෙනවා. ඒ වාගේම ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ඔහු විසින් උල්ලංඝනය කර ඇති බවත් සඳහන් කර තිබෙනවා. නඩු තීන්දුවේ 38 වැනි පිටුවේ ජනාධිපතිවරයා විසින් මුදල් ඇමැතිවරයා ලෙස කර තිබෙන අකටයුත්ත පිළිබඳව ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මෙය ඔහුගේ නීති විරෝධී හැසිරීමක් බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. සරල අර්ථයෙන් කියනවා නම්, 2023 මාර්තු මස 9 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා ඔහු නීති විරෝධීව ක්‍රියා කර ඇති බව තහවුරු කර තිබෙනවා. මේ රටේ ජනතාව ලක්‍ෂ 171කගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට ජනාධිපතිවරයා දරන ලද උත්සාහය පිළිබඳව සමස්ත ජනතාවගේම අවධානය යොමු කළ යුතු බව ඉතාමත් ඕනෑකමින් සඳහන් කරන්න කැමැතියි.

Harini-Amarasooriya-NPP-Press-Conference

“ජනාධිපති ධුරය දරන්න රනිල් වික්‍රමසිංහ නුසුදුසු බව නැවත වරක් තහවුරු වුණා”
-ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය-

තීරණාත්මක සහ ඓතිහාසික නඩු තීන්දුව පිළිබඳව ප්‍රධාන කාරණා තුනක් මතු කරන්න මම කැමැතියි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීම පිළිබඳව මෙම නඩු තීන්දුවෙන් ශක්තිමත් සහතිකයක් දී තිබෙනවා. එය ඉදිරි අනාගතයටත්, දේශපාලනයටත් අතිශයින්ම වැදගත්. අධිකරණය විසින් සනාථ කරන අන්දමට ජනාධිපතිවරයාගේ හැසිරීම මඟින් ව්‍යවස්ථාපිත යුතුකමක් වන ජනතාවගේ නිදහස් හා සාධාරණ මැතිවරණයකට තිබෙන අයිතිය ජනාධිපතිගේ මැදිහත් වීමෙන් කඩ කර ඇති බව පෙන්නුම් කර තිබෙනවා. දේශපාලන හේතු මත ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවෙන් පනවා ඇති වගකීම් අත්හැර දමා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ප්‍රකාශ කර තිබීම නිසා මෙය අතිශයින් වැදගත් නඩු තීන්දුවක්. පවතින දේශපාලන සංස්කෘතිය තුළ ක්‍රියා කරන රජයේ නිලධාරීන් අතිශයින්ම පරිස්සම් විය යුතු බව මේ නඩු තීන්දුවෙන් තහවුරු වෙනවා. ජනාධිපතිගේ හැසිරීම වුවත්, ජනාධිපතිගේ වුවත් ව්‍යවස්ථාවට පටහැණි නියෝග පිළිනොපැදිය යුතු බව අවධාරණය කර තිබෙනවා. ජනාධිපතිගේ නියෝග අනුව මැතිවරණ කොමිසම ක්‍රියා කර ඇති ආකාරය වැරැදි බව තීන්දුවෙන් සනාථ කර තිබෙනවා. ඒ නිසා නිලධාරීන්ටත් ඉතාමත් තද පණිවුඩයක් ගරු අධිකරණය විසින් ලබා දී තිබෙනවා.

ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරන්න ආර්ථික අර්බුදය ඉස්මතු කිරීම කිසිසේත්ම අනුමත නොකරන බව මෙම තීන්දුවෙන් පැහැදිලි කර තිබෙනවා. කෙතරම් අසීරු තත්වයක් තුළ වුවත්, ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න ආණ්ඩුවක් බැඳී සිටින බව තහවුරු කර තිබෙනවා. ඒ වාගේම ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ජනතාව නොවන බවත්, ආර්ථික අර්බුදය නිර්මාණය වූයේ කළමනාකරණ දුර්වලතා නිසා බවත් එම තීන්දුවෙන් තහවුරු කර තිබෙනවා. ජනතාවගේ ඡන්ද අයිතිය සීමා කරන්න ආණ්ඩුවකට හෝ ජනාධිපතිට හෝ නොහැකි බව පැහැදිලිව දක්වා තිබෙනවා. අවසාන වශයෙන් අපට කියන්න තිබෙන්නේ ජනාධිපති ධුරය දරන්න රනිල් වික්‍රමසිංහ නුසුදුසු බව නැවත වරක් තහවුරු කර ඇති බවයි. වචනවලින්, සංකල්පවලින් ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායය ගැන වාගේම ව්‍යවස්ථාව ගැන ඔහු කතා කරන්නේ අපටත් කරුණු උගන්වන්න වාගෙයි. ඔහු පාර්ලිමේන්තුවේ දී කතා කරන්නේ අපි කවුරුත් මොකුත් නොදන්නා ගාණටයි. ඔහු තරම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නැති බවයි බොරුවට පෙන්වන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ව්‍යවස්ථාවේ සඳහන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ගරු අධිකරණය විසින් තහවුරු කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට තව මාසයයි තියෙන්නේ. ඔහුගේ ජනාධිපති සිහින දැනටමත් ඉවර වෙලා. මේ නඩු තීන්දුව තුළින් තවදුරටත් තහවුරු වෙන්නේ මේ රටටත්, ජනතාවටත් නායකත්වය දෙන්න නුසුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ බවයි.

ජනාධිපතිවරණයක් අතළඟ නොතිබුණා නම්, රනිල් වික්‍රමසිංහට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්න මේ තීන්දුව ප්‍රබල හේතුවක් වෙනවා. සාධාරණ කාලයක් තුළ මැතිවරණය පැවැත්විය යුතු බවට මේ තීන්දුවෙන් ලබා දී තිබෙන නිගමනය ක්‍රියාත්මක කරන්න අපේ ජනාධිපති, අනුර කුමාර දිසානායක සහෝදරයා යටතේ ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. දිවුරුම් දුන් වහාම පළමුවෙන් මහා මැතිවරණයත්, පළාත් පාලන මැතිවරණයත් වාගේම අවුරුදු ගණනාවක් අක්‍රිය කර තිබෙන පළාත් සභා මැතිවරණයත් පැවැත්වීමට ක්‍රියා කරන බවට සහතික වෙනවා.

Sunil-Handunneththi-NPP-Press-Conference

“ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කර දීමට ලැබීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයක්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති-

මෙම අධිකරණ ක්‍රියාවලියේ දී ඉතාමත්ම හොඳින් ජාතික ජන බලවේගයේ පෙත්සම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නයිජර් හෙජ්, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ශාන්ත ජයවර්ධන ඇතුළු කණ්ඩායමට මුලින්ම ස්තුතිය පිරිනමනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටේ ආර්ථික ඝාතකයන් පස් දෙනෙක් සම්බන්ධයෙන් මෙයට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නා. බැසිල් රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිස ඒ වෙනුවෙන් වැරැදිකරුවන් බව තීන්දුව කළ ශ්‍රේෂ්ඨාධිකරණය දැන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් ලබා දී තිබෙනවා. මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකරුවන් ක්‍රියා කර ඇති බව ඉතාමත් විධිමත් ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ සමාජය ඉදිරියේ හෙළි කර තිබෙනවා. ඒ අවස්ථා දෙකේම වැරැදිකරුවන් ලබන ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී සිටිනවා.

ඡන්ද නැති බව කී රනිල් වික්‍රමසිංහගේ ඡන්දය නැති කිරීම ජනතාවට භාරයි. රනිල් වික්‍රමසිංහ සහ රාජපක්‍ෂ හවුල් පාලනය වෙන් වෙන්ව සහ තවත් වරෙක එක් වීමෙන් ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගත්තා. ජනතාවගේ බදු කොල්ලය, බැඳුම්කර වංචාව වාගේම රජයේ සම්පත් විකුණා දැමීම වැනි කටයුතුවලට එරෙහිව අපි අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් තිබෙනවා. ඊයේ (22) ලබා දුන් තීන්දුව මේ රටේ ජනතාව දිනා ගත් අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම තහවුරු කර දීමට ලැබීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයක්. අපි අපේ වගකීම ඉටු කර තිබෙනවා. ප්‍රජාතන්ත්‍ර විරෝධී, ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කළ අය එළඹෙන ඡන්දයේ දී පරාජය කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

NPP-Press-Conference

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය – ආර්ථික අහේනියෙන් ජනතාවගේ ජීවිත රකින්න ඉදිරියටත් ඕනෑම තීරණයක් ගන්නා බව ජනාධිපති ප්‍රකාශ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ?

පිළිතුර – තමන්ට හිතෙන හිතෙන වේලාවට හිතෙන හිතෙන දේවල් රනිල් වික්‍රමසිංහ කියනවා. වැදගත් වෙන්නේ ඒවා නොවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිතව ලබා දී තිබෙන තීන්දුවයි. නඩ ු ගාස්තු රුපියල් 1,50,000 බැගින් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා. හරි නම්, අපට ඒ ගාස්තු ගෙවන්න ඕනෑ රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික මුදලින්. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න සල්ලි නෑ කියලා මුද්‍රණාලයාධිපතිතුමියට බලපෑම් කළා. ඒ වාගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධනත් සෘජුව වගකියන්න ඕනෑ. සල්ලි නැති බව මුදල් ඇමැති කියනවා නම්, අවශ්‍යතා අනුව ප්‍රමුඛත්වය ලබා දී සල්ලි වෙන් කර දීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ වගකීමක්. නමුත්, රනිල් වික්‍රමසිංහ දැනුත් වහසි බස් දොඩවනවා නම්, එයාට කියන්න තියෙන්නේ එයාට කලින් සිටිය ගෝඨාභය රාජපක්‍ෂ ඔහුගේ කටින් පිට වන වචන චක්‍රලේඛ ලෙස සලකා ක්‍රියා කරන ලෙස නියෝග කළ ජනාධිපතිට සිදුවූ දෙයයි. මේ රටේ ජනතාව ඔහු පලවාහැරියා. රනිල් වික්‍රමසිංහට කොහොම වුණත්, ඇපයවත් බේරා ගන්න බැරි වන බව ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලි වේවි.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහගේ වත්කම් අනුර දිසානායකගේ වත්කම්වලට වඩා අඩු බව දක්වා තිබෙනවා. මේ මැතිවරණ කාලයේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර – අනුර සහෝදරයාගේ වත්කම් – බැරකම්වලට වඩා රනිල් වික්‍රමසිංහගේ වත්කම් – බැරකම් අඩු බව ඔබවත් පිළිගන්නවා ද? ඒකත් හංගලා ගහලා තියෙන්නේ. අපට තිබෙන දේ අපි හරියට ඉදිරිපත් කර තිබෙනවා. නොදැනුම්වත්ව හරි අපේ පුංචි දෙයක් වැරැදුණොත්, ඒ ගොල්ලෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය අපි දන්නවා. ඒ ගැන හිතලා නොවෙයි, අපි අවංකව දේශපාලනය කරන ව්‍යාපාරයක්. ලේඛනයක එක් දෙයක් දාලා ඇත්ත හංගන්න අපට බැහැ. රනිල් වික්‍රමසිංහගේ වත්කම් අනුර දිසානායකට වඩා අඩුයි කියනවා නම්, මේ රටේ ජනතාව ඒ බව පිළිගන්නවා ද කියලයි අපට අහන්න තියෙන්නේ. නව ජනාධිපති හැටියට රනිල් වික්‍රමසිංහගේ වත්කම් – බැරකම් නිවැරැදි ද කියන එකයි මුලින්ම කරන්න සිදු වී තිබෙන්නේ.

ප්‍රශ්නය – මේ නඩු තීන්දුව අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබීම බරපතළ ප්‍රශ්නයක් නේ ද?

පිළිතුර – ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගත්ත කෙනෙක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙද්දී, සදාචාරාත්මකව නම්, ඔහුට ඡන්දයට ඉදිරිපත් වන්නත් බැහැ. හරි නම්, ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි වෙන්න ඕනෑ. නමුත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඉන්නවා. ඒ නිසා ඔහුගේ ප්‍රජා අයිතිය තීරණය කිරීමේ බලය තිබෙන්නේ දැන් මහජනතාව අතේ. මහජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කළ කෙනෙක් ඡන්දය ඉල්ලන කොට ඔහුගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් තීරණය කරන්න වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්. ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගන්න මැදිහත් වූ ජනාධිපතිවරයකුට ජනතාවගෙන් ඡන්දය ඉල්ලීමේ අයිතියක් නැහැ. මේ තීන්දුව අනුව හරි නම් ඔහු අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස් වෙන්න ඕනෑ. නමුත්, රනිල් වික්‍රමසිංහ කියන්නේ එහෙම කෙනෙක් නොවෙයි.