(ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.03.04)
රාජ්‍ය සම්පත් විකුණමින් අති විශාල ජාතික ව්‍යසනයක් සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව යුහුසුළුව ක්‍රියාකරනවා. පසුගිය අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් පමණක් නොව විදේශ ආයෝජන සම්බන්ධයෙන්ද අප අනුගමනය කළේ යහපත් ප්‍රතිපත්ති නොවේ යනුවෙනි. ඔහු මෙතන අප කියලයි හඳුන්වන්නේ. නිදහස් ශ්‍රී ලංකාවේ අවුරුදු 76ක කාලයෙන් 47ක් අවුරුද්දක් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් අගමැති සහ ජනාධිපති ලෙසත් කටයුතු කර තිබෙනවා. ඔහුගෙන් තොරව තිබෙන්නේ අවුරුදු 30ක්. ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය 77 සිට ප්‍රධාන නායක මණ්ඩලයේද ක්‍රියාකොට තිබෙනවා. එසේ ක්‍රියාකළ ඔහු රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් පමණක් නොව විදේශ ආයෝජන සම්බන්ධයෙන්ද යහපත් ක්‍රියාවන් අනුගමනය නොකළ බව කියනවා. ඔහු සම්බන්ධ වුණු 47 අවුරුද්ද තුළ රාජ්‍ය ව්‍යවසායන් වගේම රටේ සම්පත් විනාශ කර, කිසිම හිරිකිතයකින් තොරව මෙවැනි ප්‍රකාශ සිදුකරනවා. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කල්ලියට අප අවධාරණයෙන් කියන්නේ තමන් විසින් කළ අපරාධ ජනතාව මත පටවන්නේ නැතුව තමන් විසින්ම බාරගන්නා ලෙසයි. මේ පාලකයින්ගෙන් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් අපරාධකරුවන් ලෙස අධිකරණයෙන් පවා ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ටෙලිකොම් ආයතනය, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය, මිල්කෝ සමාගම ඇතුළු ජාතික පශු සම්පත් මණ්ඩලයේ ආයතන වලින් සමහර ඒවා ලාභ ලබමින් තිබියදී පවා වගකීම් විරහිතව කුණු කොල්ලයට විකිණීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටිනවා. රටේ අලුත් දුෂ්ඨ දේශපාලන කලාවක් ක්‍රියාත්මක කරමින් ආර්ථික අපරාධ කරලා, එහි විපාක තක්කඩිකමින් ජනතාව මත පැටවීමටත් කටයුතු කරනවා.
අපේ රට මේ වනවිට විදේශීය පෞද්ගලික මූල්‍ය ආයතනවලට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 30ක් පමණ ණයයි. ණය ගෙවීම අත්හිටුවීම සහ පොළී එකතුවීමත් එක්ක විදේශීය පෞද්ගලික මූල්‍ය ආයතනවලට ඇති ණය ඩොලර් බිලියන 30 දක්වා වාර්ධනය වී තිබෙනවා. අයි.එම්.එෆ්. එකත් එක්ක ගිවිසුම් අත්සන් කරන කොට තිබුණේ ඩොලර් බිලියන 28.5යි. මේ ඩොලර් බිලිය 30න් ඩොලර් බිලියන 12.5ක්ම අවුරුදු 4 1/2ක දී ලබාගත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී. මේ ආර්ථික අපරාධයේ ප්‍රධානම වගඋත්තරකරුවන් ඔවුන්. ඔවුන් දැන් ජනතාවට කියන්නේ ණය ගෙවන්න බැරි නිසා රටේ සම්පත් විකුණන බවයි. මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහගේ, රාජපක්ෂලාගේ වත්තක ඉන්නවා නම් එහෙම කියන්න පුළුවන්. රටේ දේපොළ රනිල් වික්‍රමසිංහගේවත්, රාජපක්ෂ කල්ලියේවත් නොවෙයි. තමන් විසින් කරන ලද අපරාධවල වැරැද්ද ජනතාව මත පැටවීම අපි මුළුමනින්ම හෙළා දකිනවා. හෙළා දැකීම පමණක් නොව මෙයට එරෙහිව වෘත්තිය සමිති මට්ටමෙන් සහ ජනතාව ලෙස නැගී සිටිය යුතුයි.
රාජ්‍ය ආයතන විනාශයට ගමන් කරන්නේ කල් පැන ඇති නිසා නොවෙයි, රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා, බණ්ඩාරනායකලා, ජේ.ආර්.ලා, දේශපාලන හෙංචයියන් මේ ආයතනවලට පත්කිරීම නිසයි මේ විනාශය සිදුවුණේ. ශ්‍රී ලංකා ගුවන් සමාගම පාඩු ලබන්නේ ඒ ආයතනයේ සේවය කරන අයගේ වරදකින් නොවේ. නිමල් සිරිපාල ගුවන් සේවා ඇමති ලෙස සිටියදී ජපන් ණය මත ක්‍රියාත්මක කරන්න ගිය ව්‍යාපෘතියක් සම්පූර්ණයෙන්ම එරටෙන් නතර කළේ ඇමතිගේ වංචා-දූෂණ නිසා බව පැහැදිලියි. නමුත් විකාරරූපී කමිටුවකින් පරීක්ෂණ පවත්වා ඔහුව නිදහස් කළා. ඒ ඇමති පසුගිය දිනෙක ප්‍රකාශ කළේ ගුවන් යානයකට මීයෙක් ඇතුළුවීම නිසා ගුවන් යානා ප්‍රමාදවීමෙන් මේ ආයතනය විකුණා ගැනීමටත් නොහැකි වන බවයි. ශ්‍රී ලංකන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමේදී පමණක් නොවෙයි, එවැනි මිලදී ගැනීම්වලට අත්සන් කළ ගිවිසුම් අවලංගු කිරීමේදී පවා පගාව ගත්තා.
මීළඟට රට ප්‍රවේශ වෙන්නේ ඩිජිටල් ආර්ථිකයට නම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉතාමත්ම වැදගත්. ලංකාවේ අනාගත ආර්ථිකයේ කොන්ද ටෙලිකොම් ආයතනයයි. ඒ ආයතනය විකුණන්න කරන උත්සාහයේදීත් වංචා කිරීමට විරුද්ධව එක ටෙන්ඩර්කරුවෙක් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. ආර්ථික විද්‍යාඥයන් යනුවෙන් නම්කර ගත් ගිරව් කණ්ඩායමක් ලබාදුන් උපදෙස් මත මේ රට බංකොලොත් වුණා. රජයට අයත් පශු සම්පත් මණ්ඩලය වැනි ආයතන විද්‍යාත්මක සැලැස්මක් මත ගොඩනැගූ ඒවා. ප්‍රමිතියෙන් යුතු කිරි ආහාර නිෂ්පාදනය කරන්න මිල්කෝ ආයතනයත් එයට පශු සම්පත් මණ්ඩලයට අයත් වතු 31ක් පමණ තිබෙනවා. නමුත් දැන් මේ ආයතනය විකුණන්න සූදානම් වෙන්නේ ඉන්දියාවේ රජයට සම්බන්ධ අමූල් කියන සමූපකාර සමාගමට. අපේ රටේ රාජ්‍ය අංශයට ව්‍යාපාර කරන්න බැරි බව කියා විකුණන්න දානකොට ඉන්දියාවේ රජයට සම්බන්ධ අයි.ඕ.සී. සමාගම, චීන රජයේ සිනොෆැක් ආයතන වගේ රාජ්‍ය ආයතනවලින් මේ රටේ ආයතන මිලදී ගන්නවා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ මුදලින් රජය පවත්වාගෙන ගිය ආයතන විකිණීමේ ප්‍රධානම අරමුණ මංකොල්ල කෑමයි.
විනිවිදභාවයකින් යුතුව අපේ රටට විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට අපි එකඟයි. ආයෝජන කැඳවා ගැනීමත් පවතින රාජ්‍ය ආයතන විකුණා දැමීමත් කියන්නේ දෙකක්. 1977 සිට 2017 දක්වා වසර 40ක් පුරා ශ්‍රී ලංකාව අනුගමනය කළේ දේශීය ව්‍යාපාර හෝ කර්මාන්ත ගොඩනැගීමේ ප්‍රතිපත්තියක් නොවේ. අවුරුදු 40ටම ලංකාවට ආව ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 40යි. පහළම මට්ටමේ ඉඳලා පගාව දීමට අවශ්‍ය නිසා විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ. ලංකාවේ ජනතාව විසින් ගොඩනඟා පවත්වාගෙන ගිය ආයතන ගන්න පැමිණෙනවා මිස නව කර්මාන්ත සහ සේවා ආරම්භ කරන්න විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ. අඩුම තරමේ රුකියා ටිකක් දෙන්න පුළුවන් ආයෝජන ලංකාවට එන්නේ නැහැ. ටෙලිකොම් ආයතනය, වරාය, ඛනිජ තෙල්, විදුලි බල මණ්ඩලය වගේ ආයතන මෙරට මහජන මුදලින් ගොඩනගාගෙන පවත්වාගෙන ගිය ආයතනයි. අඩුම ගානේ පාසල් දරුවන්ට පැන්සල් ටිකක් පෑන් ටිකක් හදන්න ආයොජකයන් එන්නේ නැහැ.
ජනතාවගෙන් කොන්වුණු දූෂිත පාලකයන්ගෙන් විකුණන දේපළ ගන්න ලෝකයේ ඉන්න දූෂිත ව්‍යාපාරිකයෝ එනවා. අපේ පාලනයක් යටතේ රට ගොඩනඟන්න පශු සම්පත් ක්ෂේත්‍රය ඇතුළු ජාතික සම්පත් අත්‍යවශ්‍යයි. ලංකාවේ අනාගතය අහුරා දමන විකිණීම වෙනුවට ඇත්ත ආයෝජයන් කැඳවන ලෙස අපි රනිල් වික්‍රමසිංහට අභියෝග කරනවා. සම්පත් විකුණා අසාර්ථක වීමක් සම්බන්ධයෙන් හොඳම උදාහරණය මහා බ්‍රිතාන්‍යයි. රටේ ජල සම්පත විකුණා දැමීමෙන් පසු ජනතාවට අවශ්‍ය ජලය සපයා ගන්න නොහැකිව බ්‍රිතාන්‍ය පාලකයන් සිටිනවා. ඒ රටේම දුම්රිය විකුණා දැමීමෙන් පසුව ගුවන් ගමනකට වඩා වියදමක් කෝච්චියෙන් යන්න දරන්න සිදුවී තිබෙනවා. දැන් නැවත පවරාගන්නත් බැරිව ඉන්නවා. හතළිස් අවුරුද්දක් තිස්සේ රට ඉන්දියන් සාගරයේ ගිල්වා දමා තිබෙනවා. ඉතිරිවී තිබෙන ජාතික සම්පත් ටික රැකගැනීමට මහානායක ස්වාමීන් වහන්සේලාත් වෘත්තීය සමිතිත් ගෙනයන ක්‍රියාමාර්ගවලට ජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු:
ප්‍රශ්නය: මහ බැංකුවේ නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවක් හමුවට කැඳවා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
පිළිතුර: මහ බැංකුව හෝ වෙනත් ඕනෑම ආයතනයක සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩිකිරීමට අපි විරුද්ධ නැහැ. නමුත් ලංකාවේ මහ බැංකුව තමයි රටේ උද්ධමනය පිළිබඳ නිර්ණායක සකස් කරන්නේ. වැටුප් වැඩිකර ගත්තේ උද්ධමනය නිසා බව ඔවුන් කියනවා. මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන අර්ජුන් මහේන්ද්‍රන්, කබ්රාල්, කුමාරස්වාමි, ලක්ෂ්මන් දැන් ඉන්න නන්දලාල් වගේ සියලු දෙනාම මහ බැංකු වංචාවට පමණක් නොවෙයි, ආර්ථිකය ගිලා බැහීමටත් වග කියන්න ඕනෑ. ඔවුන් ඇතුළු තවත් කණ්ඩායමක් ගෙන ගිය ක්‍රියාමාර්ග නිසා, උද්ධමනය ඇති වුණාම තමන්ගේම වැටුප් වැඩිකර ගන්නේ ලංකාවේ උද්ධමනයට වඩා ඇමෙරිකාවේ හෝ වෙන රටක උද්ධමනයට සරිලන ආකාරයකින් බව අපිට පේනවා. මෙතන සදාචාරමය ප්‍රශ්නයකුත් තිබෙනවා. උද්ධමනය පමණක් නොවෙයි රටේ කර්මාන්ත පද්ධතියත් විනාශ කරන්න තීන්දු තීරණ ගත් අය මහ බැංකුවේ නිලධාරීන් වැටුප් වැඩිකර ගැනීමේ සදාචාර විරෝධී බුද්ධිමය වංචාවකුත් සිදුකර තිබෙනවා. ලෝකයේ සිටින කුප්‍රකට මූල්‍ය ජාවාරම්කරුවන්ට අපේ ආර්ථිකය හැසිරවීමේ හැකියාව තිබෙනවා. මේ වැටුප් වැඩිකර ගැනීම එවැනිම ක්‍රියාමාර්ගයක් බව පැහැදිලියි.
මහ බැංකුවේ හිටපු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දැන් දේශපාලනය කරන්න පටන්ගෙන තිබෙනවා ඔහු මහ බැංකු අධිපති ධුරය දැරූ කාලය තුළදී මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ගත් ක්‍රියාමාර්ග මොනවා දැයි අපි ප්‍රශ්න කරනවා. රනිල් වික්‍රමසිංහගේ ණය කළමනාකරණ කමිටුවේ උපදේශකයෙක් ලෙස සිටින ඔහු දේශපාලන බිල්ලෝ මවන්න පටන්ගෙන තිබෙන බවත් අපි දකිනවා. ඔහු අධිපති ධුරය දැරූ කාලයේම ඉහළම පොලියට විදේශ පෞද්ගලික මූල්‍ය සමාගම්වලින් වැඩිම ණය ප්‍රමාණයකත් අරගෙන තිබෙනවා. නන්දලාල් වීරසිංහ ඔහු යටතේ නියෝජ්‍ය අධිපතිවරයෙක් ලෙස කටයුතු කළ බවත් මතක් කර දෙනවා. මේ බංකොලොත්භාවයට වගකිවයුතු විවිධ තරාතිරම්වල මෙවැනි පුද්ගලයන්ම අතිවිශාල වශයෙන් වැටුප් වැඩිකර ගැනීම පිළිබඳව කණගාටු වෙනවා.
ප්‍රශ්නය: විකුණු රාජ්‍ය ආයතන පිළිබඳව ඔබලාගේ පාලනයක් යටතේ අනුගමනය කරන ක්‍රියාමාර්ගය මොකක්ද?
පිළිතුර: අපේ පාලනයක් යටතේ රාජ්‍ය ආයතන කිසිසේත්ම පුද්ගලීකරණය කරන්නේ නැහැ. අවශ්‍ය පරිදි කළමනාකරණය ප්‍රතිව්‍යුහගත කරනවා. ඒ කියන්නේ දේශීය හෝ විදේශීය අංශයට විකිණීම නෙවෙයි. ඉතාමත් පැරණි පාලනයන් තිබෙන ආයතන රටට සහ ජනතාවට වගකියන ආකාරයෙන් ගොඩනඟනවා. ඊට පස්සේ දැන් විකුණන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් දුර්වල ගිවිසුම් මත වංචනිකව විකුණන ආයතන පිළිබඳව විමර්ශන සිදුකර නැවත සමාලෝචනයක් කරනවා. ඒ වගේම ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට ඍජුවම සම්බන්ධ ආයතන කෙරෙහි විශේෂ මැදිහත්වීමක් කරනවා. එකවරම පවරාගැනීම දුෂ්කර වේවි. පුළුල් විමර්ශනයකින් පසුව හඳුනාගන්නා ආයතනය ඉන් යම් ප්‍රමාණයක් හෝ මෙරට ආර්ථිකය ගොඩනගමින් ඊට අනුරූපී වන ලෙස නැවත පවරා ගන්න උත්සාහ කරනවා. දැනට ඉතිරිවී තිබෙන ආයතන රැකගැනීම වෙනුවෙන් ප්‍රමුඛතම අවධානය යොමු කරමින් ක්‍රියාකරනවා.