-2023 නොවැ. 18 දින පැවති ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය සහ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ඒකාබද්ධ මාධ්‍ය හමුව-
ජාතික ජන බලවේගය පසුගිය කාලය පුරාම සැලකිය යුතු ජනතා ජයග්‍රහණයක් ලබමින් ඉදිරියට එමින් සිටිනවා. මේ ජරාජීර්ණ දේශපාලනයෙන් මිදී මේ දුර්දාන්ත පාලනය ක්‍රමය වෙනස් කිරීමේ විරෝධතා රැලියක් පසුගිය 18දා විරෝධතා පා ගමනකින් පසුව පැවැත්වූවා. ජන වරමක් නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ගමන අඩපණ කරන්න අදේශපාලනික ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. සමහර වෙලාවට ඒවා හරිම තුච්ඡ ක්‍රියාමාර්ග. ජාතික ජන බලවේගය කියන දේශපාලන ව්‍යාපාරය පෝෂණය කරන්න එක්වී සිටින අනෙකුත් සංවිධාන අතරින් විශාල කාර්යභාරයක් “ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය” ඉටුකරමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය කියන්නේ රට පුරාම ව්‍යාප්ත වුණු ව්‍යාපාරයක්. අපි ඒකාබද්ධ මාධ්‍ය හමුවක් මේ අවස්ථාවේ පවත්වන්නේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට එරෙහිව ආණ්ඩුව ගෙන යන නිහීන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරන්න.
ආණ්ඩුව තම තමන්ට පක්ෂපාතී කොටස් උපයෝගී කර ගනිමින් යම් යම් බලපෑම් සිදුකරමින් සිටිනවා. මෙවැනි බලපෑම් කරන මහත්වරුන්ට අපි එක දෙයක් කියන්න කැමතියි. ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට එල්ල කරන බලපෑම් පිළිබඳ ගැටලුව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ගියා. නමුත් අපේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකත්වයට කඳවුරුවලට ඇතුල්වීම, වාර්ෂික සුහද හමුවලට සහභාගී වීම වැළැක්වීම, වෛද්‍ය පහසුකම් ලබාගැනීමට බාධා කිරීම වැනි ක්‍රියාමාර්ග වාචිකව ගනිමින් සිටිනවා. මාධ්‍ය හමුවට සහභාගී වන සම්පත් තුයියකොන්තා මහත්මාට ගුවන් හමුදාව තුළ වාචික බ්ලැක් ලිස්ට්කර තිබුණා. මේ සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට SEFR 132/2023 කියන නඩුව ගොනුකළා. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ගම්පහ දිස්ත්‍රික්කයේ රැස්වීමක සම්පත් තුයියකොන්තා මහත්මා කළ කතාවක් පදනම් කරගෙන බ්ලැක් ලිස්ට් කර තිබුණා. මේ සම්පූර්ණ කතාව අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විනිශ්චයකාර මණ්ඩලයට ඇහෙන්න සැලැස්වූවා. ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා, සරත් වීරසේකර, කමල් ගුණරත්න වගේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කරන්න තිබෙන අයිතිය සම්පත් තුයියකොන්තා මහත්මාට නැත්තේ ඇයි කියන ප්‍රශ්නය අපි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළා. ගුවන් හමුදාව වෙනුවෙන් පෙනීසිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරියට තම පාර්ශ්වය වරදක් කර ඇති බව පිළිගන්න සිදුවුණා. ඊළඟ නඩු දිනය 2024 ජනවාරි 10වැනි දින වන විට අදාළ තහනම් කිරීම් ඉවත් කර, ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට ලිඛිතව දැනුම් දෙන්න නියමිතයි. සම්පත් තුයියකොන්තා මහත්මාට ලිඛිතව දැනුම් දෙන්න නියමිතයි.
ඉන් නොනැවතී මේ සාමූහිකයට යම් යම් බලපෑම් සිදුකරමින් සිටිනවා. අපි ඔවුන්ට මතක් කර දෙන්න ඕනෑ, මේ රටේ ආර්ථික ඝාතනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරයේ ලේකම්, මහ බැංකුවේ අධිපති ඇතුළු නිලධාරීන් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කර තිබෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයට අදාළ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සිට පහළට වැරදිකරුවන් කර, වන්දි ගෙවීමටත් නියම කර තිබෙනවා. මේ වගේ පසුබිමක සම්පත් තුයියකොන්තා මහත්මාගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව වගඋත්තරකරුවන් පිළිගෙන තිබියදීත් තවදුරටත් බලපෑම් සිදුකරමින් පවතිනවා. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්වයි දේශපාලනය කරන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 14 (1) යටතේ ලබාදි තිබෙන අයිතිය පදනම් කරගෙන ජාතික ජන බලවේගයේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය දේශපාලනය කරගෙන යනවා. ඒ අයිතියට නෛතිකය අභියෝග කරන්න කිසිවෙකුටත් බැහැ.
රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඇඟිල්ල දිගුකර පටන් ගත් ආකාරය අපට මතකයි. ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. නඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට බලපෑම් කරන්න අධිකරණයට බැරි බව රනිල් වික්‍රමසිංහ කීවා. ඊට පස්සේ කථානායකත් ඒ බව කීවා. කුළුණු තුනෙන් එකකට තර්ජනය කළ ඔවුන් ගෙන යන මේ ගමන ලබන අවුරුද්දේ අගෝස්තුවලින් කෙලවර වෙනවා. එයට බයවුණු මේ නිහීන ආණ්ඩුව තමන්ගේ පොලීසිය පාවිච්චි කර, නැගී එන විරෝධය මර්දනය කරන්න බලනවා. විශ්‍රාමික සාමූහිකයේ පවුල්වල අයට බලපෑම් කිරීමේ අදහසින් විවිධ බාධා සිදුකරනවා. ආණ්ඩුවේ මේ නිහීන ක්‍රියාමාර්ගවලට ජාතික ජන බලවේගය බය වෙන්නේ නැති බව අපි අවධාරණය කරනවා. මේ සාමූහිකයට සිදුකරන සියලු කෙනෙහිලිකම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය පෙනී සිටිනවා. ලංකාවේ කුමන ප්‍රදේශයක සිට මේ සාමූහිකයට කෙනෙහිලිකම් කළත් අපි ඒ ඕනෑම ස්ථානයක සිට පෙනී සිටිනවා. ඒ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආණ්ඩුවේ බියගුළු, නිහීන තුච්ඡ, වැඩවලින් මර්දනය කළ නොහැකි බවත් ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙසත් අවධාරණය කරනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළත් නීතියේ රාමුව තුළත් සියලු කටයුතු කරන අතර, ඊට පිටින් කිසියම් කෙනෙක් සිදුකරන බලපෑම්වලට යටත් නොවන බවත් අවධාරණය කරනවා.
“මොන බලපෑම් ආවත් අපේ රට වෙනුවෙන් ඉදිරියටත් ක්‍රියාකරනවා”
-විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධාන සම්බන්ධීකාරක විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර-
ජාතික ජන බලවේගයේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය විශාල වෘක්ෂයක් බවට දැන් ගොඩනඟාගෙන තිබෙනවා. ‘අදිටන’ නමින් මේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය අපි පිහිටුවා ගත්තේ මේ වසරේ පෙබරවාරි 11දා මහරගම තරුණ සේවා සභා ශාලාවේදී. රටට සිදුකර තිබෙන වින්නැහිය හමුවේ විශ්‍රාමිකයන් හැටියට අහක බලාගෙන ඉන්න අපට බැහැ. රට වට්ටවා තිබෙන තත්වයෙන් ගොඩගැනීමට මේ රටේ දූ දරුවන් වෙනුවෙන් හොඳ හෙටක්, හොඳ රටක් නිර්මාණය කිරීමට අපි මේ සාමූහිකය පිහිටුවා ගත්තා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ සිටින සියලුම සාමාජිකයින් යුද, ගුවන්, නාවික, ත්‍රිවිධ හමුදා ගරුත්වය ආරක්ෂා කරමින් ක්‍රියාකරනවා. වෘත්තීය මට්ටමින් ඉහළම දායකත්වයක් ජාතික ජන බලවේගයට ලබාදෙන්නයි අපි මේ සාමූහිකය පිහිටුවා ගත්තේ. නීත්‍යානුකූලව අපි කටයුතු කරගෙන යන අතර, මේ සාමූහිකයේ සාමාජිකයින්ට විවිධ වාචික බාධාවල් පමුණුවා තිබෙනවා. ඒ මොන බලපෑම් ආවත් අපේ අදිටන සාමූහිකයේ සියලු සාමාජිකයින් තව තවත් ඉදිරියට ඇවිත් කටයුතු කරන බව ස්ථිරවම කියනවා. ජාතික ජන බලවේගයට තිබෙන අදූෂිත, ස්වෙච්ඡාවෙන් කැපවෙන හැකියාව හඳුනාගෙනයි රට ගොඩනැගීම වෙනුවෙන් අපි මේ පක්ෂයට සම්බන්ධ වී ක්‍රියාකරන්නේ. අපට මොන බලපෑම් ආවත් අපේ රට වෙනුවෙන් ඉදිරියටත් ක්‍රියාකරන බව ස්ථිරවම ප්‍රකාශ කරනවා.
“‘අදිටන’ සාමාජිකයන් ජීවිතයෙන් හෝ හෘදය සාක්ෂියෙන් විශ්‍රාම ගියේ නැහැ”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර-
ජාතික ජන බලවේගයේ පාලනයක් එන අවුරුද්දේ බිහිවීම මහ පොළොවේ යථාර්ථයක් වී තිබෙනවා. ඒ වෙනුවෙන් ඡන්දය කල්දැමූ ආණ්ඩුව ජාතික ජන බලවේගයේ කටයුතුවලට සියලුම අංශවලින් බාධා පමුණුවන්න විවිධ උත්සාහයන් දරනවා. ඒ කිසිවකට අපිව පරදවන්න බැහැ. වෘත්තිකයන් සංවිධානය කරමින්, ජනතාව සංවිධානය කරමින්, කොට්ඨාස සභා පිහිටුවමින් විශාල බලවේගයක් ලෙස ඉදිරියට යනවා. මේ අතරින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය සෑම ගම් දනව්වක් පුරාම වේගයෙන් ව්‍යාප්ත වෙමින් අවුරුදු එකහමාරක් ඇතුළත විශාල සාමාජිකයින් පිරිසක් එකතු කර ගනිමින් ශක්තිමත් වී සිටිනවා. ‘අදිටන’ සංවිධානයට ආණ්ඩුව මෙතරම් බය ඇයි කියන එක අපට පැහැදිලියි. ඔවුන් විශ්‍රාම ගොස් සිටින්නේ රැකියාවෙන් විතරක් බව ආණ්ඩුව මතක තබාගන්න ඕනෑ. ජීවිතයෙන් හෝ හෘද සාක්ෂියෙන් ඔවුන් විශ්‍රාම ගියේ නැහැ. දේශපාලනිකව ඔවුන් විශ්‍රාම ගිහින් නැහැ. මේ සමාජය සංවිධානය කර, සුවපත් කරන්න විශාල කාර්යභාරයක් කිරීම වෙනුවෙන් අද ඔවුන් ඉදිරිපත් වී සිටිනවා. රට වෙනුවෙන් රාජකාරි කාලයේදී කැපවීමෙන් කටයුතු කළ පිරිසක් මේ විදිහට ජාතික ජන බලවේගය වටා එකතු වී සිටිනවා. ඔවුන්ට එරෙහිව අනීතිකව ගෙන එන කුමන බාධාවකට හෝ අපි කිසිවෙකුත් බය වෙන්නේ නැහැ. ආණ්ඩුවේ අවශ්‍යතාවයට අනුව ඇතැම් නිලධාරීන් වාචිකව ලබාදෙන නියෝග නොපිළිනොපදින ලෙස සියලු දෙනාටම මම මතක් කරනවා. මේ විදිහට බලපෑම් කරන නිලධාරීන්ටත් විශේෂ දෙයක් කියන්න මම කැමතියි. ඔබගේ ජ්‍යෙෂ්ඨත්වය, ඔබගේ නිලය, ඔබගේ නියෝග කඳවුරු තුළ බලවත් වුවත් අධිකරණය ඉදිරියේ අපි කවුරුත් එක හා සමාන පුරවැසියන් පමණයි. සමාන අයිතිවාසිකම් තිබෙන්නේ. ඔබලා පෙනී සිටිය යුත්තේ දේශපාලන බලයෙන් එන යන ආණ්ඩු වෙනුවෙන් නොවෙයි, රජය සහ ජනතාව වෙනුවෙන්.
ලබන ඔක්තෝබර් මාසයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා කවුරුත් බලයේ නැහැ. ඊළඟට පත්වෙන ආණ්ඩුව නීතියේ විධානයේ ආධිපත්‍යය, නිවැරදිව ක්‍රියාත්මක කරනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඒ කටයුතු නිවැරදිව සිදුවන බව ඔය ඉහළ නිලධාරීන්ට කාරුණිකව සිහිපත් කර දෙනවා. අනීතික නියෝග පිළිපදිමින්, දේශපාලනඥයන්ට කඩේ ගිහින් මුළු වෘත්තිය ජීවිතයම අඳුරුකර ගන්න එපා කියලා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. නීත්‍යානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනයේ යෙදීම සම්බන්ධයෙන් එල්ල කරන තර්ජන හෝ බොරු රැවටීම්වලට ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් කිසිවෙකුත් හසුනොවන ලෙසත් ඉල්ලා සිටිනවා. ජාතික ජන බලවේගයෙන් ඉවත් වුවහොත් වරප්‍රසාද ලබාදෙන බවට ලිපි එවීමටත්, සමහර අය ක්‍රියාකරන බව හෙළි වී තිබෙනවා. අනීතිකව ක්‍රියාත්මක වෙන ඒ ඉහළ නිලධාරීන්ටයි මම මේ කාරුණික සිහිකැඳවීම කරන්නේ.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු:-
ප්‍රශ්නය:- ඡන්දය පවත්වයි කියලා විශ්වාසයක් තිබෙනවාද?
පිළිතුර:- ඔය අවිනිශ්චිතතාවය හදන්නේම, අපේ ක්‍රියාකාරිකයන් බිය ගන්වන්නයි. පළාත් පාලන ආයතන කල්දැමූ බව ඇත්ත. ඊට විරුද්ධව පෙත්සමක් විභාග වෙමින් පවතිනවා. පළාත් පාලන ආයතන කොමසාරිස්වරයෙකු යටතේත්, පළාත් සභා ආණ්ඩුකාරවරයෙකු යටතේත් පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් ජනාධිපතිට විධායක නියෝග ලබාදීම සඳහා ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන බලය කල්දමන්න කිසිවෙකුටත් බැහැ. කළගෙඩි, ලාම්පු සෙල්ලම ආවේත් පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන්. ජනාධිපතිවරණය කල්දමන්න රනිල් වික්‍රමසිංහට බැහැ.
ප්‍රශ්නය:- විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට බලපෑම් එල්ල කරන්නේ ජාතික ජන බලවේගය හැර අනෙකුත් පක්ෂවලට සම්බන්ධ කර ගැනීමේ චේතනාවෙන්ද?
පිළිතුර:- විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ජාතික ජන බලවේගයේ මතවාදයට ඇවිත් ඉවරයි. අද මේ සිදුකරන්නේ අවුරුදු 75ක් යන තුරු පවුල් පහකින් පාලනය කළ දූෂිත, ප්‍රභූ දේශපාලන සංස්කෘතිය අවසන් කර, මහජන පාලනයක් පිහිටුවා ගැනීමට අකුල් හෙළීමයි. ඉදිරි මැතිවරණයකදී තිබෙන්නේ ජාතික ජන බලවේගය සහ එයට එරෙහි පිල වශයෙන් පිල් දෙකයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ඒ මැතිවරණයේදී අනුගමනය කළ හැකි නිහීන ක්‍රියාමාර්ග පිළිබඳ අපට අවබෝධයක් තිබෙනවා. ඒ සියල්ල පරාජය කරන්න අපි සූදානම්.