Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“නීල හරිත ආර්ථිකයෙන් නිල් වෙන්න විදුලි බිල වැඩිකරලා….” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

-Colombo, November 03, 2023-

නීල හරිත ආර්ථිකය කෙසේ වෙතත් ජනතාවට සහ කර්මාන්තවලට නිල් වෙන්න විදුලි බිල වැඩිකර තිබෙනවා…” ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික – පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

ජනතාවගේ ආදායම වැඩි නොවී, ජීවන වියදම එන්න එන්නම වැඩිවෙමින් තිබෙද්දී ආණ්ඩුව තවත් බර පටවනවා. මුදල් ඇමතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ 2023ට අදාළ අය වැය ඉදිරිපත් කරද්දී “පරිසර හිතකාමී නීල හරිත ආර්ථියක්” මේ අවුරුද්දේ ගොඩනඟන බව කීවා. මේ අවුරුද්දේ ඩිජිටල් ආර්ථිකයක් හදන බවත් කීවා. අන්තිමට තුන් වතාවක් විදුලි බිල වැඩිකර 400%කින් විදුලි සැර වැද්දුවා. මේක ජනතාවට දරා ගන්න බැහැ. අලුතින් බිල වැඩි කළේ රුපියල් බිලියන 30ක් අලුතින් සොයා ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කළ නිසයි. ඒකක 30ට අඩුවෙන් විදුලිය පාවිච්චි කරන පවුල් ලක්ෂ 18ක් පමණ ඉන්නවා. ඒ අයට විතරක් නොවෙයි සියලු ගෘහ විදුලි පරිභෝගිකයන්ට, ව්‍යාපාරවලට, කර්මාන්තවලට මේ වැඩිකිරීමෙන් පහර වදිනවා. අග්නිදිග ආසියාවේ සිංගප්පූරුව සහ පිලිපීනය හැරුණු විට වැඩිම විදුලි බිල තිබෙන්නේ ලංකාවේ. අග්නිදිග ආසියාවේ ව්‍යාපාර මත වැඩිම විදුලි බිල තිබෙන්නේ ලංකාවේ. නීල හරිත ආර්ථිකය කෙසේ වෙතත් ජනතාවට සහ කර්මාන්තවලට නිල් වෙන්න විදුලි බිල වැඩිකර තිබෙනවා. ලබන වසරට අය වැය ඉදිරිපත් කිරීමටත් පෙර ජනවාරි පළමුවැනිදා සිට වැට් බද්ද 18% දක්වා වැඩි කළා. රනිල් වික්‍රමසිංහ එනකොට තිබුණු 8% වැට් බද්ද 15% දක්වා වැඩිකර බදු එකතු කරන පරාසයත් වැඩි කළා. ජනවාරි පළමුවැනිදා සිට 18% දක්වා වැට් බද්ද වැඩිකර අය කරන පරාසය තවදුරටත් වැඩි කරනවා. මේ නිසා භාණ්ඩ හා සේවාවල මිල තව දෙතුන් ගුණයකින් වැඩිවෙනවා. එහෙම තිබියදී ආණ්ඩුව තෙල් මිලත් වැඩි කළා. නමුත් තරඟකාරීව ඉන්ධන බෙදන්න සිනොපෙක්, සහ ඇමෙරිකන් සමාගම් ආවාම තරගය ඇතුළේ තෙල් මිල අඩුවෙන බව කීවා. දැන් තිබෙන්නේ ඉස්සෙල්ලාම මිල වැඩිකරන්නේ කවුද කියන තරගයක්. විදුලි බිල, තෙල් මිල, වැට් බද්ද, නැවත නැවතත් වැඩිකරමින් ජනතාව මත බර පටවනවා. අයවැයෙන් අලුත් බදු හඳුන්වා දෙන්නත් ආණ්ඩුව සූදානම් වෙනවා. පාරම්පරිකව ලැබෙන උරුමය මත වූ දේපොළවලටත් බදු ගහන්න සූදානම් වෙනවා. අවුරුදු 18 සම්පූර්ණ කළ සියලුම පුරවැසියන් මත බදු ගහන්නත් ලැහැස්ති වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී ගෙවුණු අවුරුද්දයි මාස හතරක් තුළ ජනතාව මත තව තවත් පීඩාව පැටවීම හැර වෙන කිසි දෙයක් සිදුකර නැහැ. එක ඩොලරයකින්වත් විදේශ ණය කපාහැරගෙන නැහැ. අයි.එම්.එෆ්. එකේ පදයට නටන්න ගිහින් ජනතාවට ජීවත් වෙන්න බැරි ආර්ථිකයක් ඉතිරි කර තිබෙනවා.

මේ වගේ අසංවේදී පාලනයක් තුළ ඉදිරි අයවැයේදිත් ජනතාව මත පීඩාව පැටවීම පමණක් සිදුකරන බව ඉතාම පැහැදිලියි. රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි කර ආදායම් උත්පාදනය කෙරෙන කිසිදු පියවරක් පේන තෙක් මානයක නැහැ. මේ ආර්ථික මොඩලය අසාර්ථකයි කියන එක රනිල් – රාජපක්ෂ පාලනයෙන් තවදුරටත් තහවුරු කර තිබෙනවා. ඔවුන්ට ප්‍රශ්න විසඳන්න බැරි බව ඉතා පැහැදිලිව ඔප්පුකර තිබෙනවා. ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනතාව පෙළ ගැසෙමින් සිටිනවා. තවදුරටත් සංවිධානාත්මකව පෙළ ගැසෙන ලෙස ආරාධනා කරනවා.

ආණ්ඩුවේ ක්‍රියාමාර්ග, සරලව ගතහොත් මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධී ක්‍රියාමාර්ග ලෙස හඳුන්වන්න පුළුවන්…” ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික – මහාචාර්ය අනිල් ජයන්ත

පවතින අර්බුද විසඳීමේ මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බව ප්‍රකාශ කරමින් මහජනතාවට ඕනෑම පීඩනයක් ඇති කිරීමේ ක්‍රියාමාර්ගවල ආණ්ඩුව නිරත වී සිටිනවා. පාලකයන්ට වැදගත් වී තිබෙන්නේ බලහත්කාරයෙන් ලබාගත් බලය ගිලිහී යාමට නොදී, තවදුරටත් රැකගැනීමයි. වංචා දූෂණවලින් පිරුණු ප්‍රජාතන්ත්‍රී විරෝධී, ක්‍රියාමාර්ග සරලව ගතහොත් මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධී ක්‍රියාමාර්ග ලෙස හඳුන්වන්න පුළුවන්. අයවැයේ ප්‍රාථමික ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%කට ගෙන එන ලෙස මූල්‍ය අරමුදල නියෝග කර තිබෙනවා. ඒ තුළ තව තවත් බදු ඉහළ දැමීමත් පොදු ජනතාව වෙනුවෙන් දැරිය යුතු වියදම් කපා හැරීමත් සිදුකරමින් සිටිනවා. වැට් බද්ද 18% දක්වා වැඩිකිරීමේදී තවත් විශාල පීඩනයක් මහජනතාවට එනවා. නමුත් වංචා, දූෂණ නතර කරන්න ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නැහැ. ජනතාව මත ඍජු සහ වක්‍ර වශයෙන් විශාල බදුබරක් පටවලත් ආණ්ඩුවේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ට වඩා අඩු නම්, බදු වංචා සහ අකාර්යක්ෂමතා ගැන ඉතා පැහැදිලිව පෙනෙනවා.

මූල්‍ය අරමුදලේ ණය ලැබුණම ආර්ථිකය දියුණු කළ හැකි බව මුලදී කීවා. නමුත් මුලින්ම වංචා-දූෂණ නතර කළ යුතු බව ජාතික ජන බලවේගය හඬ නඟන විට උසුළු විසුළු කළ බව ඔබට මතක ඇති. නමුත් අද වනවිට වංචා-දූෂණ සම්බන්ධයෙන් මහජනතාව සැලකිය යුතු අවබෝධයක සිටිනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුව සාමාන්‍ය ජනතාවට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ හැකියාව (ක්‍රය ශක්තිය) අඩුකරනවා. ආර්ථිකය ඉදිරියේදී දියුණු කරන්න යම් හෝ උත්සාහයක් ගත්තත් ඒ නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාවට හැකිවෙන්නේ නැහැ. මේ නිසා භයානක තත්වයක් ඇතිවිය හැකියි. අසාධාරණයට එරෙහිව සමාජයේ ප්‍රතිචාර දක්වමින්, ආණ්ඩුවෙන් මනුෂ්‍යත්වයට එරෙහිව ගෙන එන ක්‍රියාමාර්ග පරාජය කරන්නත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් පාලන බල ව්‍යුහයේ වෙනසක් ඇති කළ යුතු බව අපි අවධාරණය කරනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය:- මිනිරන් සම්බන්ධයෙන් වෙනම සාකච්ඡාවක් ඇති වී තිබෙනවා. ඇත්තටම මොකක්ද වුණේ? මිනිරන්වලින් රටක් දියුණු කරන්න පුළුවන්ද?

පිළිතුර:- (ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ – ඇන්ටන් ජයකොඩි පිළිතුරු දෙමින්) ප්‍රශ්නයට පිළිතුර නිවැරදිව පැහැදිලි කර ගැනීම අවශ්‍යයි. අපේ රටේ 1600 දී විතර මිනිරන් හඳුනාගෙන තිබුණත් වාණිජ මට්ටමින් හෑරීම පටන් ගන්නේ 1800න් පසුවයි. ලෝක යුද්ධවලදී උණ්ඩ නිෂ්පාදනය කරන්න මිනිරන් අවශ්‍ය වූ නිසා අපේ රටේ මිනිරන්වලට විශාල ඉල්ලුමක් නිර්මාණය වුණා. තාක්ෂණික දුර්වලතාවයන් නිසා අත්හැර දැමූ කුඩා මිනිරන් පතල් 3000කට වැඩිය අපේ රටේ තිබෙනවා. ලෝක යුද්ධවලින් පසුව වගේම න්‍යෂ්ටික අවි තැනීමත් සමග මිනිරන්වල අවශ්‍යතාවය අඩුවෙන්ම පටන් ගත්තා. නමුත් 2007 දී භෞතික විද්‍යාව පිළිබඳ එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනෙක් වන Andrige Geim සහ Konstantin Novoselov කළ පරීක්ෂණවල වාර්තා නිකුත් කිරීමත් සමග නැවත මිනිරන් පිළිබඳ ඉහළ සාකච්ඡාවක් ඇති වුණා. “මොනෝලේයර් ග්‍රැෆයිට්”වල ඉලෙක්ට්‍රෝන හැසිරීම ඔවුන් සොයා ගත්තා. මෙය කෙතරම් වැදගත් සොයා ගැනීමක් දැයි කියනවා නම්, 2010 දී ඔවුන්ට භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනමා තිබෙනවා.

ඒ නිසා මිනිරන්වල මිල ලෝකයේ විශාල වශයෙන් ඉහළ යන්න පටන් ගත්තා. වාහනවල විද්‍යුත් ආරෝපන බැටරි නිෂ්පාදනය කරන්න යොදා ගත්තේ, අර පර්යේෂණයේ ප්‍රතිඵලයක් වශයෙන්. ලෝක වෙළඳපොළේ මේ ආකාරයේ නව ඉල්ලුමක් ඇති වුණු අතර, අපේ මිනිරන් සම්බන්ධයෙන් අපනයනය කරන්න ආණ්ඩු මොනවාද කළේ? රජයට අයත්ව තිබුණු රාජ්‍ය පතල් හා ඛනිජ සංවර්ධන සංස්ථාව 1991 වන විට බාරව සිටියේ රනිල් වික්‍රමසිංහ ඇමතිවරයායි. මේ සංස්ථාව කර්මාන්ත ඇමතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහත් ජනාධිපති රණසිංහ ප්‍රේමදාසත් එකතු වී වසා දැම්මා. ඒ නිසා බෝගල සහ කහටගහ මිනිරන් පතල් දෙකත් එප්පාවල පොස්පේට් නිධියත් අභාවයට යන්න පටන් ගත්තා. මිනිරන් පතල් දෙක විකුණා දමන්නත් ඔහු ක්‍රියා කළා. කහටගහ පතල රාජ්‍ය බැංකු ණයක් මත ලබාගත්තේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයෙක්. ඔවුන්ට මිනිරන් කර්මාන්තය පිළිබඳව කිසිදු අවබෝධයක් තිබුණේ නැහැ. පතලයෙන් ගොඩදමා තිබූ මිනිරන් විකුණා පතලයේ කටයුතුවලට ගෙනා උපකරණවල යකඩත් විකුණා විශාල මුදලක් සොයා ගත්තා. ඒ නිසා පතල අභාවයට ගියා. චන්ද්‍රිකා ආණ්ඩුව කාලයේ බෝගල පතලත් විකුණුවා. මිනිරන්වලින් ලබා ගන්නා ‘ග්‍රැෆීන්’ සිමෙන්ති නිෂ්පාදනයටත් ටයර් නිෂ්පාදනයටත් යොදවා ගන්නවා. නමුත් දැන් විශේෂ ඉල්ලුමක් තිබෙන්නේ ඉලෙක්ටි්‍රක් වාහන බැටරිවලට. ඉදිරි කෙටි කාලයක් තුළ විදුලි වාහන ඉල්ලුම 700%කින් පමණද, මිනිරන්වල ඉල්ලුම වාර්ෂිකව ඩොලර් බිලියන 27 – 28ක් පමණ වී යැයි පුරෝකථනය කර තිබෙනවා. 2035 වන විට එම වෙළඳපොළ ඩොලර් බිලියන 35 ඉක්මවනවා.

ලෝකයේ ඒ මිනිරන් ඉල්ලුමෙන් කොටසක් සැපයීම අපේ ආර්ථිකයේ මූලික කාර්යභාරයක් විය යුතුයි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවල මේ සම්බන්ධයෙන් පැහැදිලිව දක්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් අඩංගු ග්‍රන්ථයක් ජාතික විද්වත් සංසදය කියන අපේ සංවිධානයෙන් 2012 දී නිකුත් කරනු ලැබුවා. “අපෙන් කොල්ලකන ඛනිජ සම්පත්” කියන පොතේ මේ පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වෙනවා. මේ ඛනිජ සම්පත් යොදාගෙන රටේ ආර්ථිකයට වඩා ඵලදායි ලෙස යොදා ගැනීම පිළිබඳව මූලික දැක්මකින් අපි ඉටුකර තිබෙනවා. ඔබ නැගූ ප්‍රශ්නය අදාළව අනුර කුමාර සහෝදරයා ඇමෙරිකාවේදී පැවැත්වූ ජන හමුවකදී වචනයක් පටැලවීම අල්ලාගෙන දඟලනවා වෙනුවට සිදුවිය යුත්තේ අපේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සම්බන්ධයෙන් පුළුල් සංවාදයක් ඇති කිරීමය. නමුත් දැන් සිදුවන්නේ වචනයක් අල්ලා ගෙන පුළුල් ලෙස මාධ්‍ය සාච්ඡා පවත්වමින් ජනතාව නොමග යැවීමයි. නමුත් ලෝකයේ ‘ග්‍රැෆයිට්’ සම්බන්ධයෙන් වෙළඳපොළ කොටසක් අත්පත් කර ගැනීම පිළිබඳ සංවාදයක් ගොඩනඟනවා නම්, එය රටට ඵලදායක බව අප හිතනවා.

විජිත හේරත් සහෝදරයා අදහස් දක්වමින්, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා මේ වන විටත් ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් අමතමින් විශාල කාර්යභාරයක් සිදුකරමින් සිටිනවා. ඒ ජන හමුවලට ශ්‍රී ලාංකිකයන් අති විශාල ලෙස සහභාගී වීම දරාගත නොහැකි පිරිස්, වෛරයෙන් ඇස් අන්ධ කරගෙන මාධ්‍ය හමු පවත්වමින් විවේචනය කරන්න පටන්ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, අනුර සහෝදරයාගේ ඇමෙරිකානු ගමන පිළිබඳව වෙනමම, මාධ්‍ය සාකච්ඡා පවත්වමින් යනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයන්, සමගි ජන බලවේගයේ මහා ලේකම්, මේ සාකච්ඡාවල ප්‍රමුඛත්වය ගෙන තිබෙනවා. මේ විදිහට මාධ්‍ය සාකච්ඡා පවත්වන්න සිදුවීමෙන්ම ඔවුන්ගේ බංකොලොත් බව පැහැදිලි වී තිබෙනවා. ජාතික කොඩිය සහ ඇමෙරිකානු කොඩිය ඒ රැස්වීම්වලට යොදා ගැනීම ගැනත්, වෛරයෙන් ඇස් අන්ධ වුණු අය කතාකර තිබුණා. නමුත් මේ රටේ ජනතාවගේ ඇස් අන්ධ වී නැහැ. ඔවුන් ශ්‍රී ලංකාවේ ජාතික කොඩියත් ඇමෙරිකාවේ කොඩියත් දෙකම දැක්කා. සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායකට පෙනී තිබෙන්නේ ඇමෙරිකන් කොඩිය විතරයි.

මේවාට කලබල වී වැඩක් නැහැ. අපි අපේ විදේශ ප්‍රතිපත්තිය, ලංකාවට ආයෝජකයන් ගෙන්වා ගැනීම පිළිබඳව ඉතා පැහැදිලිව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කර තිබෙනවා. ලෝකයේ දියුණු වුණු තාක්ෂණයත් එක්ක විශේෂයෙන් නැනෝ තාක්ෂණයත් එක්ක විදේශ විනිමය උපයා ගැනීම සම්බන්ධයෙන් අපිත් එක්ක වැඩකරන විද්‍යාඥයන් හොඳින් කරුණු අවබෝධ කරගෙන සිටිනවා. විදේශ ණය ගෙවීම පිළිබඳව අනුර සහෝදරයාගෙන් ඇසූ ප්‍රශ්නයට ලබාදුන් පිළිතුරෙන් තර්කානුකූල කොටසක් ලෙස ‘ග්‍රැෆයිට්’ ගැන සඳහන් කළා. එවැනි උදාහරණ තව කිහිපයක්ම තිබෙනවා. මේ ගැන පර්යේෂණ සිදුකළේ ජාතික ජන බලවේගය නොවෙයි. ලංකාවේ පේටන්ට් අයිතිය ‘සිංටෙක්ස්’ ආයතනය ලබාගෙන දැන් අවුරුදු 12ක් 13ක් විතර වෙනවා. ලෝක වෙළඳපොළෙන් වැඩි ඩොලර් ආදායමක් උපයාගන්න අපේ සම්පත් යොදවා ගන්නා ආකාරයයි; අනුර සහෝදරයා පැහැදිලි කළේ. වෛරයෙන් ඇස් අන්ධ වුණු තිස්ස අත්තනායකලාට, ආශුලාට, මොකුත් දන්නැති සමන් රත්නප්‍රියලාට අපි කියන්නේ බඹරු ආවත්, දෙබරු ආවත් සිනා සිසී අපි අපේ ගමන යනවා කියලයි. මෙතෙක් රට පාලනය කළ කිසිම ආණ්ඩුවක් අපේ මිනිරන් කර්මාන්තය නවීන වෙළඳපොළට ගලපා විදේශ විනිමය සොයා ගන්න සමත් වුණේ නැහැ.

ප්‍රශ්නය:- ඇමෙරිකන් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවේචනාත්මකව කරුණු දැක්වූවා. ඒ ඇමෙරිකන් කොඩිය පිටුපස තබාගෙන දේශපාලනය කරන්න පුළුවන් ද?

පිළිතුර:- ලෝකයේ සියලු රාජ්‍යයන් එක්ක විදේශ සම්බන්ධතා පැවැත්වීම අපේ විදේශ ප්‍රතිපත්තියයි. සමාජවාදී කඳවුරේ රටවල්, බටහිර රටවල් වගේම අසල්වැසි ඉන්දියාව එක්ක අපි රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගනුදෙනු කරනවා. අපේ තිබෙන එකම ප්‍රතිපත්තිය සකස් කිරීමේ පදනම කරගෙන තිබෙන්නේ ‘පනහට පනහ’ යන්නයි. ඒ පදනමේ සිට සියලුම රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඒ රටවලින් ආයෝජන ගෙන්වන්න කටයුතු කරනවා. අපි එදා ඉඳලාම කියන්නේ අවශ්‍ය ප්‍රාග්ධනය, තාක්ෂණය, අපිට නැත්නම් ඒ දෙක ගෙන්වා ගෙන අපේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නා බවයි. හැබැයි වංචා, දූෂණ, කොමිස් නැහැ. ඕනෑම රටක් එක්ක ඍජු විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් කටයුතු කරනවා.

ප්‍රශ්නය:- විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ වෛද්‍යවරුන් උද්ඝෝෂණ ව්‍යාපාර පටන්ගෙන තිබෙනවා. ඔබලාගේ මෙහෙයවීමෙන් ඒවා සිදුවෙනවාද?

පිළිතුර:- අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියත්, රෝහල් පද්ධතියත් දැනුවත්ව කඩා දාන්න ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා. විශ්වවිද්‍යාල ආචර්ය, මහාචාර්යවරුන්ට වගේම අනෙකුත් වෘත්තීයවේදීන්ට අසාධාරණ ලෙස බදු ගසා තිබෙනවා. ඒ තුළින් විශ්වවිද්‍යාල පද්ධතියත් රෝහල් පද්ධතියත් කඩා වට්ටවා තිබෙනවා. එයට එරෙහිවයි රට පුරා සංකේත වැඩ වර්ජන සහ විරෝධතා පැන නැගී තිබෙන්නේ. බදු ප්‍රතිපත්තිය වෙනස් කර, මේ ආයතන ආරක්ෂා කර ගන්න ආණ්ඩුව සමත් වෙන්න ඕනෑ. එසේ නොකළහොත් අපේ නිදහස් අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් මුළුමනින්ම කඩා වැටෙනවා. දැනටමත් විශාල කඩා වැට්ටීමක් සිදුකර තිබෙනවා. ඒ නිසා මේ ගෙන යන සාධාරණ අරගලවලට අපි සහාය පළ කරනවා. ඒ අරගල තුළ අපි සක්‍රීයව ඉන්නවා. වෛද්‍යවරුන් සහ ආචාර්යවරුන් විදේශ ගත වෙන්නේ මේ රටේ තිබෙන දේපොළත් විකුණා මදි අඩුවට ණයත් අරගෙනයි. පවුල් පිටින් යන ඔවුන් ආපසු එන්නේ නැහැ. රට ගොඩනඟන්න මේ ක්ෂේත්‍රවල වෘත්තිකයන් ඉතාම වැදගත්. ඔවුන් රට අත්හැර යාමෙන් සිදුවන්නේ තවදුරටත් රට කඩා වැට්ටවීමක්.