Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“රට ගොඩනැගීම සඳහා සඳහා ප්‍රතිපත්ති තිබෙන සෑම කෙනෙකුටම ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විවෘතයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ AKD වෙබ් පිටුව, NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීම – 2024.07.27-)

NPP-Policy-Centre

අද ජාතික ජන බලවේගයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන මොහොතක්. මේ වන විට මැතිවරණ දිනය සඳහා නාම යෝජනා බාරදෙන දිනයත් මැතිවරණ දිනයත් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. දේශපාලන සාකච්ඡා, දේශපාලන උණුසුම තීව්‍ර වන කාලය උදාවී තිබෙනවා. එළඹෙන මැතිවරණය අපේ ප්‍රතිපත්තීන් විශාල සාකච්ඡාවකට බඳුන් වෙන, ප්‍රතිපත්ති කුමක්ද යන්න ජනතාව තුළ විශාල අවධානයක් යොමු වෙන මැතිවරණයක් බවට පත්වෙන එක නොඅනුමානයි. අපේ රටේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී බොහෝ විට සිදුවී තිබෙන දේ තමයි ඒ ප්‍රතිපත්තීන් එක්ක සම්බන්ධ වෙන, ඒ ඒ ක්ෂේත්‍රයන් එක්ක සම්බන්ධ වෙන පිරිස් එක්ක සාකච්ඡා කරනවා වෙනුවට උඩින් සකස් කරන ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම. අපි විවිධ අවස්ථාවල, වසර එකහමාරකට ආසන්න කාලයක් ඒ ඒ ක්ෂේත්‍රවල නියැලෙන කණ්ඩායම්, විද්වතුන්, වෘත්තියවේදීන් සමග ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කර තිබුණා. තවදුරටත් ඒ ප්‍රතිපත්ති පිළිබඳව අවධානය ගත යුතු හා සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණු විශාල ප්‍රමාණයක් තිබෙන බව දන්නවා. ඒ වගේම බොහෝ ක්ෂේත්‍රවල ජනතාව තුළ ජාතික ජන බලවේගය පිළිබඳව තිබෙන උනන්දුව, බලාපොරොත්තුව වර්ධනය වෙලා තිබෙනවා. ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳව තමන්ගේ අදහස් ඉදිරිපත් කර ගැනීම සඳහා, ඔවුන්ට අවස්ථාවක් ලැබිය යුතුයි කියන අදහසක මේ රටේ ගොඩක් අය ඉන්නවා.

සංචාරක කර්මාන්තය බැලුවොත් එහි නියැලෙන කණ්ඩායම්වලට තමන්ගේ අදහස් මේ ප්‍රතිපත්තීන්වලට ඇතුල් කර ගැනීම සඳහා සහ තමන් දකින විදිහ සාකච්ඡා කර ගැනීම සඳහා උනන්දුවක් වුවමනාවක් තිබෙනවා. කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය ගත්තත්, ධීවර ක්ෂේත්‍රය ගත්තත් අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තත් මේ සියලු දෙනාම තුළ මේ සකස් කරන ප්‍රතිපත්ති මාලාවන්ට, තම අදහස් හා අත්දැකීම් එකතු කර ගැනීමේ වුවමනාවක් තිබෙනවා. පසුගිය කාලය පුරාම, විවිධ අවස්ථාවල පෞද්ගලිකව මටත් අපේ ව්‍යාපාරයේ බොහෝ අයටත් විවිධ අය කතා කරලා යෝජනා ගණනාවක් අවිධිමත්ව ඉදිරිපත් කොට තිබෙනවා. අපිට තේරුම් ගියා, ජනතාවට තමන්ට අවබෝධයක් තිබෙන ක්ෂේත්‍රයන් පිළිබඳව යෝජනා, අදහස්, ප්‍රතිපත්තීන් සාකච්ඡාවට බඳුන් කිරීම සඳහා නිශ්චිත මධ්‍යස්ථානයක් අවශ්‍ය බව. අද දිනයේදි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කේන්ද්‍රය විවෘත කරනු ලබන්නේ ඒ අනුවයි. මේ රට ගොඩනැගීම සඳහා වුවමනාවත් තිබෙන මේ රට වෙනස් කිරීම සඳහා ප්‍රතිපත්ති තිබෙන සෑම කෙනාටම මේ මධ්‍යස්ථානය විවෘතයි. ඒ හැමකෙනාටම විවිධාකාරයෙන් තමන්ගේ ප්‍රතිපත්ති සාකච්ඡා කරන්න, මේ අවස්ථාව, මේ ස්ථානය නිරන්තරයෙන් විවෘතයි.

NPP-Policy-Centre

අප ප්‍රතිපත්ති සමුදායක් ගොඩනැගිය යුතු වන්නේ ඒ ජනතාව තුළින්ම මතුවෙන අදහස් හා වුවමනාවන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු විය යුතු නිසා. ඒකට ඉතාමත් හොඳ ස්ථානයක් අපි විවෘත කොට තිබෙනවා. අපට මෙතැන් සිට පොදු ජනතාවත් සමග ඒ ප්‍රතිපත්ති සාකච්ඡා කරන්න පුළුවන් වේවි. එපමණක් නොවෙයි ප්‍රතිපත්ති එළිදැක්වූවාට පසුව වුවත්, මේ ප්‍රතිපත්තීන් පිළිබඳ විවිධ සාකච්ඡා මණ්ඩප සූදානම් කරන්න පුළුවන්. ඒකට ඉතාමත් හොඳ පරිශ්‍රයක් බවට මේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කේන්ද්‍රය පත්කර ගන්න පුළුවන් බවට විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. අපි කවුරුත් දන්නවා මේ මැතිවරණ ව්‍යාපාරය ලංකාවේ ඉතාමත් තීරණාත්මක මැතිවරණයක් බවට පත්වේවි. මෙතෙක් ලංකාවේ දේශපාලන බලය හුවමාරුවේදී තීරණාත්මක බල හුවමාරුවක් සිදුවුණේ නැහැ. තමන්ගේ වම් අතින් දකුණු අතට බලය හුවමාරු වෙනවා වගේ එකම කණ්ඩායමක් අතට එකම දේශපාලන අදහසක් යටතට මේ බලය මාරුවුණේ. ඒ නිසා ඒ මැතිවරණ ව්‍යාපාරය ඒ තරම් තීව්‍ර මැතිවරණ ව්‍යාපාර බවට පත්වුණේ නැහැ. ඒ නිසාම ඒ මැතිවරණ ව්‍යාපාර ගැටුම්කාරී මැතිවරණ ව්‍යාපාර බවට පත්වුණේ නැහැ.

මෙවර මැතිවරණ ව්‍යාපාරය තුළ මෙතක් වාර්තා වන සෑම තොරතුරු හරහාම ජාතික ජන බලවේගය ඉදිරියෙන්ම ඉන්නවා. මෙය ලංකා ඉතිහාසයේ තීව්‍රතම බල හුවමාරුව සිදුවන මැතිවරණය බවට පත්වේවි. ඒ බල හුවමාරුවේදී අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෙසත් පවතින නීති රාමුවලට යටත්වත් සාමකාමීවත් මේ මැතිවරණය පවත්වා ගැනීම සඳහා අපේ පැත්තෙන් තිබෙන කැපවීම, අපේ මැදිහත්වීම පෙන්වන්න අපි උපරිමයෙන් සූදානම්. අපට අවශ්‍ය වෙන්නේ ජනතාවගේ මතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ප්‍රකාශයට පත්වීමයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමන්ගේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්න පුරවැසියාට අයිතියක් තිබෙනවා. අපි අපේක්ෂා කරන්නේ ගැටුම්කාරී නොවෙන සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක්. ඒ නිසා ගැටුම්කාරී නොවෙන සාමකාමී, මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපි කැපවීමෙන් වැඩකටයුතු කරන්න සූදානම්.

NPP-Policy-Centre

නමුත් දැනටමත් අනෙක් පාර්ශ්වවලින් පෙන්නුම් කර තිබෙන්නේ කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදය හෝ පවතින නීතීන් හෝ පවතින තත්වයන් ආරක්ෂා කරගෙන මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙනවා වෙනුවට දූෂණ, ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කිරීමට ඔවුන්ට අවශ්‍යව තිබෙන බව පැහැදිලියි. විශේෂයෙන්ම 19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ කොමිසම වෙත ශක්තිමත් බලයක් ලබාදී තිබෙනවා. දැන් ඒ බලය ක්‍රියාත්මක කිරීමේ මුළු වගකීම මැතිවරණ කොමිසමට පැවරෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්වීමේ ප්‍රධානතම වගකීම මැතිවරණ කොමිසමට තිබෙනවා.

ඒ වගේම දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප මේ ඇතිවෙන ප්‍රචණ්ඩකාරී තත්වයන්, නීති විරෝධී වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන් පිළිබඳව මැතිවරණ කොමිසමත් එක්ක සාකච්ඡා කළ යුතුව තිබෙනවා. මේ රටේ පොදු ජනතාවට ඒවා හෙළිදරව් කළ යුතුව තිබෙනවා. රටේ ඕනෑම තැනක සිදුවෙන මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ ක්‍රියාදාමයන් හෝ කවර වර්ගයේ සිදුවීමක් වාර්තා කිරීම සඳහා අද මධ්‍යස්ථානයක් අපි විවෘත කළා. අපේ රටේ අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරු හැටියට කටයුතු කළ නිලධාරී මහත්වරුන් හා පොලිස් දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කිරීමේ අත්දැකීම් සහිත නිලධාරී මහත්වරුන්, පසුගිය මැතිවරණ ගණනාවක මැතිවරණ කොමිසමට හා දෙපාර්තමේන්තුවට, පොලීසිය පැත්තෙන් සහයෝගය ලබාදුන් ගාමිණී නවරත්න මහත්මයා ඇතුළු විශාල කණ්ඩායමක් මේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානීන් ලෙස කටයුතු කරනවා.

සෑම පුරවැසියෙකුටම අපේ රටේ මැතිවරණය සාමකාමීව කරගෙන යාම සඳහා වන සියලු බාධාවන් වාර්තා කරන්නත්, ඒ මගින් මැතිවරණ කොමිසමට එය ඉදිරිපත් කිරීමටත්, ඒ වගේම පොදු ජනයා දැනුවත් කරන්නත්, මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වාගෙන යෑම සඳහාත් ජාතික ජන බලවේගය ලෙස අද අපි විවෘත කරන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විශාල පිටුවහලක් වේවි. ඒ වගේම ඉතාමත් වැදගත්ම දේ තමයි අපේ පණිවිඩය පුරවැසියන් වෙත ගලා යාම. ඒ නිසා සාමාන්‍ය කාල පරිච්ඡේදයකදීත් මැතිවරණ කාල පරිච්ඡේදයකදීත් මාධ්‍යයන්ට විශාල වගකීමක් පැවරෙනවා. අපේ රටේ මෑත ඉතිහාසය ගත්තත් මාධ්‍යයන් කිසිසේත්ම සාධාරණව කටයුතු කරන බවක් අපට පෙන්නුම් කර නැහැ. ඔවුන් තමන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයන්ට අනුරූපී වන පරිදි මාධ්‍ය හැසිරවීම් කරනවා අපි දැක තිබෙනවා. ඒ නිසා අපේ රටේ පුරවැසියන් වෙත ඇත්ත මතය ගෙනයාමේ තවත් විකල්ප පාරවල් අපි විවෘත කර ගනිමින් තිබෙනවා. පවතින මාධ්‍ය හරහා අපට ලබාගත හැකි සහායත්, තිබෙන පොදු මාධ්‍ය මගින් යා හැකි දුර පිළිබඳවත් අපට අවබෝධයක් තිබෙනවා. හැබැයි අපි පිළිබඳවත් අපේ දේශපාලනය පිළිබඳවත් අපේ ක්‍රියාකාරකම් පිළිබඳවත් පොදු ජනතාවට වේගයෙන් අදහස් ගලා යාමේ නව විකල්ප මාවත් අප විසින් විවෘත කළ යුතුව තිබෙනවා. මේ මැතිවරණ ව්‍යාපාරයෙදී අපිව ඉලක්ක කර ගත්ත, විශාල අසත්‍ය තොරතුරු අවලාදමය තොරතුරු විශාල ප්‍රමාණයක් වැපිරිය හැකි කාලයක් බවට පත්වේවි. ඒ නිසා අපට ඉතාමත් ශක්තිමත් විකල්ප මාධ්‍ය ජාලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි හිතනවා අපි විවෘත කරන වෙබ් අඩවිය අපේ රටේ පුරවැසියන්ට, ජාතික ජන බලවේගය හා මහජනයා අතර ඉතාමත් ශක්තිමත් සබඳතාවයක් පවත්වා ගැනීම සඳහා ඉවහල් වේවි. ඒ නිසා ඉතා වේගයෙන් තොරතුරු පොදු ජනයා වෙත ගලාගෙන යාම සඳහා මෙම වෙබ් අඩවිය උපයෝගී කර ගන්න හැකිවේවි.

NPP-Policy-Centre

මේ වෙබ් අඩවියේ විශේෂයෙන් AI Bot කෙනෙක් නිර්මාණය කොට තිබෙනවා. ඒ මගින් ඕනෑම ප්‍රශ්නයක් අපෙන් විමසිය හැකියි. ක්ෂණිකව AI තාක්ෂණය මගින් එයට පිළිතුරු ලබාදිය හැකියි. ඒ වගේම ඊමේල් හරහාත් යම් ගැටලුවක් තිබෙනවා නම් ඉදිරිපත් කළ හැකියි. ඒකට පිළිතුරු ලබාදිය හැකියි. මහජනතාව සහ ජාතික ජන බලවේගය අතර ඉතාමත් ශක්තිමත් සබඳතාවයක් ගොඩනඟා ගැනීම සඳහා මෙම වෙබ් අඩවි නිර්මාණය කොට තිබෙනවා. ඔබට අපෙන් විමසන්න තිබෙන ප්‍රශ්නයක් වෙබ් අඩවිය හරහා විමසිය හැකියි. ඔබෙන් අපට ලබාදිය හැකි තොරතුරක් වෙබ් අඩවිය හරහා ලබාදිය හැකියි.

මේ මැතිවරණ ව්‍යාපාරයේ ඉතාමත් වැදගත් අවස්ථා තුනක් තමයි මේ ඉදිරිපත් කරනු ලබන්නේ. සාමකාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන්, ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීම, ඒ වගේම පොදු ජනතාවත් සමග ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සාකච්ඡා කිරීම, අපේ ප්‍රතිපත්තීන් පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් කර ගැනීම සඳහා මධ්‍යස්ථානයක් බවට ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති කේන්ද්‍රය බවට පත්කර ගැනීම. අද අපි විවෘත කරන වෙබ් අඩවීන් හරහා අපේ මතය, අපි කරන්නේ කුමක්ද, අප පිළිබඳව තිබෙන ගැටලුවලට පිළිතුරු ලබාගැනීමේ හැකියාවක් ලැබේවි. මෙය මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භයත් සමග සිදුකරන ලබන විශේෂ අවස්ථාවක්. නව තාක්ෂණයත් සමග ගනුදෙනු කරනු ලබන, ලෝකයේ ඇති වී තිබෙන නව වෙනස්කම් තේරුම් ගත් ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ උනන්දුවක් දක්වන තරුණ පරම්පරාවේ විශාල පිරිසක් මෙම කටයුත්තට දායකත්වය සපයමින් තිබෙනවා. ඔවුන් සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා.