Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ඉහළින් එන දේශපාලන නියෝග පැකිළීමකින් තොරව ක්‍රියාත්මක කිරීම නිසා ඔවුන් නීතිය හමුවේ වැරදිකරුවන් වෙනවා.” -ජාතික ජන බලවේගයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ-

-Colombo, December 19, 2023-

අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබෙන බරපතළ අර්බුදකාරී තත්වය පිළිබඳව නැවත සාකච්ඡා කරන්න සිදුවී තිබෙනවා. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසය තුළ අතිශයින්ම බරපතළ කරුණු රැසක් නිර්මාණය වී සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල විශාල ප්‍රමාණයක් රට හැරයමින් සිටිනවා. ඖෂධවල ප්‍රමිතිය බාලවීම, ඖෂධ හිඟය, ඖෂධ මිල ඉහළයාම ඇතුළු කරුණු රැසක් බලපා තිබෙනවා. සෞඛ්‍ය සේවයේ ඇතිවී තිබෙන මේ ගැටලුවලට මුහුණදීමේ හැකියාවක් ජනතාවට නැහැ. ප්‍රමිතියෙන් තොර ඖෂධ සෞඛ්‍ය සේවයට ලබාදීම ඉතාමත් බරපතළම කරුණක්. මේ අතරින් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් විශේෂයෙන් රටේ අවධානය යොමුවී තිබෙන අතර, මෙම ඖෂධ 22500ක් ඉවත් කර තිබෙනවා. ඉන්දියාවේ නිෂ්පාදිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා මෙරට තුළ නිෂ්පාදනය කර ඇති බව දැන් තහවුරුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

මේ නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ ඇමතිවරයා ඇතුළු ඉහළ දේශපාලන අධිකාරියේ නියෝග බව අපි කවුරුත් දන්නවා. ඔවුන්ගේ නියෝග ඉටුකිරීම නොව, අදාළ නීති රෙගුලාසි සහ හෘදයසාක්ෂියට එකඟව පමණක් නිලධාරීන් ක්‍රියාකළ යුතු වෙනවා. නමුත් ඉහළින් එන දේශපාලනය නියෝග පැකිළීමකින් තොරව ක්‍රියාත්මක කිරීම නිසා ඔවුන් නීතිය හමුවේ වැරදිකරුවන් වෙනවා. මේ සම්බන්ධයෙන් සවිස්තරව මහජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී අපි කටයුතු කරනවා.

ප්‍රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්න හෝ ක්‍රියාකර නැහැ.”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

විශේෂයෙන්ම ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සම්බන්ධයෙන් පැන නැගී තිබෙන තත්වය සම්බන්ධයෙන් අද සාකච්ඡාවට ගන්නවා. අපේ රටේ කෙනෙකුට පොල්ගෙඩියක්, මාළු ටිකක්, ඇඳුමක්, ආදී භාණ්ඩයක් ගන්න ගියාම ඒ පිළිබඳව කරුණු සොයලා බලලා ලබාගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් අසනීපයකට ලබාගන්නා බෙහෙත් පෙත්ත, ඖෂධීය ආලේපයක් හෝ එන්නතක් පිළිබඳව එවැනි මූලික අදහසක් ලබාගන්න, තීන්දු කරන්න ජනතාවට බැහැ. පුරවැසියාට ලබාදෙන ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබඳව සම්පූර්ණ වගකීම රජය සතුයි. ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් විශාල ප්‍රමාණයක් යොදවමින් ඖධවල ප්‍රමිතිය පිළිබඳව තහවුරු කිරීමේ ආයතන ගණනාවක් පිහිටවූ නිශ්චිත යාන්ත්‍රණයක් අපේ රටේ තිබෙනවා. අපේ රටේ බහුතරයක් ජනතාව තාමත් ප්‍රතිකාර ලබාගන්නේ රජයේ රෝහල්වලින් බාහිරව හෝ නේවාසිකව. මෙයට අදාළ ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාගෙන ඖෂධ නියාමන අධිකාරියෙන් අධීක්ෂණයට ලක්කර සැපයීම් අංශයෙන් රෝහල්වලට බෙදාහරිනවා. ඖෂධ සංස්ථාව නොවෙයි ගන්නේ, අදාළ ඖෂධය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර තිබෙනවාද යන්න සොයා බලලයි.

ප්‍රශ්න ගත ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ඒකක 22500 රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් පසුගිය ජූලි සිට සැප්තැම්බර් අතරතුර මිලදී ගෙන රජයේ රෝහල්වලට ලබාදී තිබෙනවා. ඒ ඖෂධය ලබාදුන් රෝගීන්ගෙන් සංකූලතා වාර්තා වූ බව රෝහල් කිහිපයකින් අමාත්‍යාංශයට දන්වා තිබුණා. විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහල, මහනුවර සහ මාතලේ රෝහල්වලින් එම වාර්තා ලබාදී තිබුණා. ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂාවලදී එය තත්වයෙන් බාල බව සොයාගෙන තිබුණා. පරීක්ෂණාගාර කිහිපයකම කළ පරීක්ෂාවලින් මේ ඖෂධය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් හෙළිවී තිබෙනවා. මේ ඖෂධය තුළ අවම වශයෙන් හෝ ඉමියුනොග්ලොබියුලීන් නැති බව, මේ තුළ බැක්ටීරියා ඇතුළු අහිතකර ද්‍රව්‍ය තිබෙන බව වගේම තවත් කරුණු කිහිපයක් හෙළිවී තිබුණා. ඒවා මිලදී ගැනීමේදී විශාල දූෂණ ප්‍රමාණයක් සිදුකර තිබෙනවා. එම ඖෂධය ඉන්දියාවේ නිෂ්පාදනය කළේ යැයි කියන සමාගමක් හෝ නැති බව සොයාගෙන තිබෙනවා. ගුජරාට් සමාගම බව කියන ලේබලයක් ලංකාවේ එක්තරා සමාගමක් විසින් නිෂ්පාදනය කළ දේවල්වලට යොදාගෙන ඇති බව හෙළිවී තිබෙනවා. ගුජරාටයේ සමාගම ප්‍රකාශ කරනවා ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය නිෂ්පාදනය නොකරන බවත් අපනයනය නොකරන බවත්. මෙම ඖෂධය නිෂ්පාදනය කළ ස්ථානයක් සොයා ගැනීමටත් නැහැ.

රුපියල් මිලියන 1000කට ආසන්න ගනුදෙනුවක් සිදුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිලධාරීන් කටඋත්තර ලබාදී තිබෙන්නේ අමාත්‍යවරයාගේ උපදෙස් මත කරන ලද ක්‍රියාවක් බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව මෙවැනි ආකාරයේ ඖෂධ මිලදී ගැනීමක් සිදුකළ නොහැකියි. ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ මිලදී ගැනීම් සිදුවුණා. වසංගත තත්වයකදී හෝ මරණ සංඛ්‍යාව වැඩිවන අවස්ථාවන්වලදී ඉක්මනින් ඖෂධ ගෙන්වා ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් නීත්‍යානුකූලව වෙන්වුනු අවස්ථාවක් තමයි මේ හදිසි මිලදී ගැනීම. ඒ අවස්ථාව තමයි මේ පාලකයෝ අවභාවිතා කර තිබෙන්නේ. එවැනි මිලදී ගැනීම් පවා තමන්ට රිසි පරිදි මිලදී ගැනීම් කළ නොහැකි ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යොදාගෙන තිබුණා. ලියාපදිංචි නොවූ ඖෂධ හදිසියේ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ කමිටුවකින් අනුමැතිය ගත යුතුයි.

පසුගිය ආර්ථික අපහසුතා ඇති වූ අවස්ථාවේ ඉන්දියාව විසින් අපට ආහාර සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ණය පහසුකම (Indian credit line) ලබාදුන්නා. එම ණය පහසුකමට මුවාවෙලා Way of Registration පැත්තකට දාලා ඉන්දියානු සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු වුණා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායකගේ අත්සනින් පමණක් ඉන්දියන් ණය පහසුකමෙන් ඉන්දියානු ඖෂධ මිලදී ගැනීමට අවස්ථාවක් හදා දුන්නා. එසේ ගෙනෙන ලද ඖෂධවල බරපතළ ප්‍රශ්න තිබෙනවා. ඒ නිසාම තමයි, ඇස් අන්ධවීම්, බෙහෙත් නිසා මියයෑම් සිදුවුණේ එවැනි ඖෂධ හේතුවෙන්. මේ ක්‍රියාවලිය ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව ඩොලර් බිලියන තුනකට ආසන්න ගනුදෙනුවක් කිසිසේත් සිදුකළ නොහැකියි.

සැපයීම් අංශයේ සිටින සමහර නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අවස්ථාවේ විෂය භාරව සිටි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔහුට විරුද්ධව විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන්, වෛද්‍යවරු, ඔහු සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා. ඔහුට විරුද්ධව කටඋත්තර ලබාදී තිබියදී සහ දූෂිත ගනුදෙනුවලට ඇඟිල්ල දිගුවී තිබියදී කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා පෙනෙන්නේ නැහැ. ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. එයින් ඔහු බේරුණත්, ඔහුට එරෙහිව තිබෙන චෝදනා ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. නමුත් සිදුවුණේ ඔහු එම ඇමති ධුරයෙන් ඉවත් කොට භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශය ඇතුළු ඛනිජ සම්පත්වලට බලපත්‍ර ලබාදෙන ආයතනය සහිත පරිසර ඇමති ධුරය ලබාදීමයි.

මෙය ඉමියුනොග්ලොබියුලීන් එළියට ආ ප්‍රශ්නයක් වුණාට මීට ප්‍රථමත් සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරු යටතේ දූෂණ වංචා සිදුවී තිබෙනවා. ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය විසින් 2018, 2021 පෙබරවාරි අතර සිදුකළ ෆොරෙන්සික් ඔඩිට් එකේ වාර්තාවෙන් හෙළිවුණා ගෙනවන ලද සමහර ඖෂධ පිළිබඳ තොරතුරු. ඉන්දියානු සමාගම් කියා සිටියා සමහර ඖෂධ ඔවුන් නිෂ්පාදනය නොකළ බවත්, එවන් ඖෂධයක් ලංකාවට නොඑවූ බවත්. වසර ගණනාවක සිට මේ හොරකම, වංචාව සිදුකර තිබෙනවා. ඒවා සොයන්න අවස්ථාවක් උදාවෙලා තිබෙනවා.

අපට පෙනෙනවා ආණ්ඩුව තමන්ගේ දේශපාලන සගයන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බව. ඒ වගේම අපි ආණ්ඩුවට බලකර සිටිනවා මේ චෝදනාවට ලක්වි සිටින, මේ සම්බන්ධයෙන් උපදෙස් දුන්නාය කියන දේශපාලන හස්තයන්, දේශපාලන බල අධිකාරීන්, තවදුරටත් ආරක්ෂා නොකර නීතිය හමුවට ගෙන ආ යුතුයි.

ජනතාවට අපි කියා සිටිනවා, කොමිස් එකට මුවාවෙලා, නිෂ්පාදනය කළ තැනක්වත් සඳහන් නොවෙන, ඉතා බාල ගණයේ ඖෂධ තමන්ගේ ජීවිතවලට එන්නත් කරන්න, ජීවිතයට දැඩිසේ හානිවන දේ මේ ආණ්ඩුකරමින් සිටියදී තවදුරටත් නිහඬව නොසිට, වගකිව යුත්තන් නීතිය හමුවට ගෙනඑන ලෙසට, දැවැන්ත මතයක් සමාජය හමුවේ ගොඩනඟන්න කියන ඉල්ලීම කරනවා.