Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“මේ ඉදිරිපත් කර තිබෙන ප්‍රතිත්‍රස්ත පනතේ අකුරක් පාසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වගන්තිවලට පටහැනියි” -ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නිතිඥ සුනිල් වටගල-

-Colombo, January 11, 2024-

ඊයේ (10දින) පාර්ලිමේන්තුවේ සභාගත කළ ත්‍රස්ත විරෝධී පනතට සංශෝධන රැසක් ඇතුළත් කළ බව අධිකරණ ඇමතිවරයා කියන්න උත්සාහ කළා. නමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනයේ තිබෙන්නේ 2023 සැප්තැම්බර් 15දින දෙක කොටස අතිරේකය යනුවෙන්. ඇමතිවරයා මේ සභාගත කලේ පරණ තැටියක්. මෙයට කලින් මේ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඉදිරිපත් කර තිබුණා. ‘ඔන්ලයින්’ පනත් කෙටුම්පතත් ඒ එක්කම ඉදිරිපත් කර තිබුණා. ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධ ඉදිරි කටයුතු කරගෙන යාමේ අපේක්ෂාවක් ආණ්ඩුවට නොමැති බව අප ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම හමුවේ නීතිපතිවරයා දැනුම් දුන්නා. රටේ සමස්ත ජනතාවගේ දැවැන්ත විරෝධයක් ත්‍රස්ත විරෝධී පනතට එල්ලවීම හමුවේ ආණ්ඩුව වෙනුවෙන් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ බව දැනුම් දුන්නා.

මේ පනතම අප්‍රේල් මාසයේ ගැසට් කර, නැවත වෙනස් කර, සැප්තැම්බර් මාසයේ ගෙනාවා. එය දැන් තුන්වෙනි වරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අකුරක්වත් වෙනස් නොකර සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කළ කෙටුම්පතම නැවත ගෙනැත් තිබෙනවා. ඒ නිසා ජනතාව නොමග යැවීමට කටයුතු නොකරන ලෙස අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට පටහැනියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන සහ හතරවෙනි වගන්තිවලින් තහවුරුකර තිබෙන ජනතාවගේ පරමාධිපත්‍යය බලයට පටහැනියි. මේ පනතේ අන්තර්ගතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයටත් ජනතාවගේ පරමාධිපත්‍යය බලය නියෝජනය කරන වගන්ති දෙකටත් අකුරක් පාසාම පටහැනියි. ඒ වගේම ඉදිරිපත්කර තිබෙන වගන්ති ඇතුලේ ත්‍රස්තවාදයට අර්ථනිරූපණ දී නැහැ. නමුත් ත්‍රස්තවාදී වරද පිළිබඳව උදාහරණ රැසක් දී තිබෙනවා. ත්‍රස්තවාදී වරද යන්නට පළල් පැහැදිලි කිරීම් ටිකක් දී තිබෙනවා. උදාහරණයක් හැටියට ත්‍රස්තවාදය දිරිගැන්වීමට අදාළවත්, 11 වැනි වගන්තියේ ඊට අදාළ ප්‍රකාශ නිකුත් කිරීම ගැනත් 12 වැනි වගන්තියේ ත්‍රස්තවාදය සඳහා ගැනත් අනෙකුත් වගන්තිවල තොරතුරු සැපයීම සහ පැහැර හැරීම ආදී වශයෙන් උදාහරණ රැසක්දී තිබෙනවා. නමුත් මේ සඳහන් කර තිබෙන සෑම වගන්තියක්ම ආවරණය වන ආකාරයට අපරාධ නීතියේ විධිවිධාන සලසා තිබෙන බව අපි වගකීමෙන් තිබෙනවා. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ සම්බන්ධ අණපනත්වලත් අදාළ වගන්ති ආවරණය වෙනවා.

විශේෂයෙන්ම 19වැනි වගන්තියේ අර්ථනිරූපණය තුළින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය ඕනෑම පොලිස් නිලධාරියෙකුට, ඕනෑම ත්‍රිවිධ හමුදා නිලධාරියෙකුට සහ වෙරළාරක්ෂක නිලධාරීන්ටත් දී තිබෙනවා. මේ තුළින් විදුලි බල මණ්ඩලයේ සේවකයන් පසුගිය දා ගෙනගිය උද්ඝෝෂණය වැනි වැඩබිම් තුළ පවා ගෙනයන සාධාරණ උද්ඝෝෂණවලටත් ඉඩනොදෙන්නයි මේ පනත ගෙනත් තිබෙන්නේ. ආණ්ඩුවට එරෙහිව හඬ නගන අය අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට අදාළ ප්‍රතිපාදන මේ තුළ තිබෙනවා. රටේ ජනාධිපතිටත් ආරක්ෂක ලේකම්වරයාටත් ඒ බලය දී තිබෙනවා. රඳවා තබා ගැනීමට නියෝග කරන ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමත විය යුතු බව කිසිම තැනක සඳහන් කර නැහැ.

පුනරුත්ථාපන අධිකාරී පනත, සමාජ මාධ්‍ය මර්දනය කිරීමේ පනත, විකාශන අධිකාරී පනත, වැනි පනත් ගෙන එන්නට කටයුතු කරන ආණ්ඩුව මේ පනත හරහා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කරන, සාධාරණ ජනතා විරෝධයන්ට මර්දනය දියත් කිරීම වෙනුවෙන් මේ පනත ගෙනත් තිබෙනවා. රනිල් රාජපක්ෂ ජුන්ටාව මේ මැතිවරණ වර්ෂයේදී තව දවසක් හරි වැඩිපුර බලයේ ඉන්න මේ පනත් හදාගෙන එනවා. ජාතික ජන බලවේගය විදිහට මේ ගමනට අපි යන්න දෙන්නේ නැහැ. මේ පනත් සම්මත කර ගත්තොත් රෝගීන්ගේ ජීවිත අනතුරට හෙළපු කෙහෙලිය රඹුක්වැල්ල අහිංසක බව කියන්නයි මේ සැරසෙන්නේ. මේ ඊනියා පනතට එරෙහිව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගණනාවක් ඉදිරිපත් කරනවා. මේ දුර්දාන්ත පනත පරාජය කරන්න රටේ සෑම තැනම අපි ක්‍රියාකාරී වෙනවා.

“අනීතික නීති නමැති යකඩ සපත්තුව පාවිච්චි කරලා, මිනිසුන්ගේ හුස්ම හිරකරන්න පුළුවන් නම් මේ ආණ්ඩුව ඒකත් කරන්න බලනවා.”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ චමිලා කුලසේකර

මාතර කාන්තාවන්ගේ බලය, ගාල්ලේ කාන්තාවන්ගේ බලය සහ ගම්පහ නයිවල පැවැති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය සංවිධානයේ බලය ආණ්ඩුව දැක්කා. ආණ්ඩුව කැලඹී තිබෙන්නේ ඒ නිසයි. ඉදිරියේදී ගම්පහ ඇතුළු තවත් දිස්ත්‍රික්කවල කාන්තාවන්ගේ බලය ආණ්ඩුවට දැකගන්න පුළුවන්. ජාතික ජන බලවේගය සමග මහජනතාව ඒකරාශීවන අන්දම දකින ආණ්ඩුවට තිබෙන එකම විකල්පය ඊනියා ත්‍රස්තවාදය වැළැක්වීමේ වැනි පනත් සම්මතකර ගැනීම බව ඔවුන් කල්පනා කරනවා. මිනිසුන් විදිහට අපට දැන් ඉතිරිව තිබෙන්නේ නිදහසේ හුස්ම ගන්න විතරයි. අනීතික නීති නමැති යකඩ සපත්තුව පාවිච්චි කරලා, මිනිසුන්ගේ හුස්ම හිරකරන්න පුළුවන් නම් මේ ආණ්ඩුව ඒකත් කරන්න බලනවා.
ත්‍රස්තවාදය වැළැක්වීම යැයි කියන පනතක් ගෙන එන්න නම්, ත්‍රස්තවාදයක් තියෙන්න ඕනෑ. මේ ඊනියා ආණ්ඩුවට ත්‍රස්තවාදය හැටියට පේන්නේ ජාතික ජන බලවේගයත් එක්ක නැගී සිටින ජනතාවයි. මේ පනත් කෙටුම්පතේ 62වැනි වගන්තිය අනුව නඩු විභාගය අවසන් වන තෙක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ අනුමැතිය සහිතව රඳවා තබාගත හැකියි. අවශ්‍ය නම් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීමේ බලයට අධිකරණයේ බලයත් එකතු කිරීමට උත්සාහ කර තිබෙනවා. මෙවැනි ඊනියා අණපනත් සම්බන්ධයෙන් අපි සුළුවෙන් තැකිය යුතු නැහැ. අධිකරණයේ බලයත් ලබාගන්නයි මේ අණපනත් මගින් උත්සාහ කරන්නේ. මේ පනත යටතේ රඳවා තබාගත යුතු අය තීරණය කිරීමේ බලය 81, 82 වගන්ති යටතේ ජනාධිපතිටත් ලබාදෙන්න සූදානම් වෙනවා.

ඒ වගේම මිනිසුන් සිටිය යුතු තැන තීරණය කිරීමේ බලයත් ජනාධිපතිට ලබාගන්න සූදානම් වෙනවා. “කුමන ආකාරයකින් හෝ පදිංචි ස්ථානයෙන් බැහැරව එහා මෙහා යාමත් සීමා කරන්න ජනාධිපතිවරයාට පුළුවන්” ඒ වගේම විදේශගතවීම සීමා කරන්නත්, අත්අඩංගුවට ගන්නත් එහා මෙහා යාම සීමා කරන්නත්, පදිංචි ස්ථානය සහ සේවය කරන ස්ථානයෙන් පිටතට ගමන් කිරීම සීමා කරන්නත් නිශ්චිත කරන පුද්ගලයන් සමග සන්නිවේදන සම්බන්ධතා පැවැත්වීමත් සීමා කරන්න බලය ජනාධිපතිට ලබාගන්න සූදානම් වෙනවා. මේ රටේ මිනිසුන් යන එන තැන්, කන බොන තැන් සීමා කිරීම හැර වෙන වැඩක් විධායක ජනාධිපතිවරයාට නැද්ද?

මේ ඊනියා අණපනත්වල ඒකායන අභිමතය ප්‍රජාතන්ත්‍රවාදීව නැගී සිටින ජනතාවගේ හඬ යටපත් කිරීමයි. වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය අතුගා දැමීමත් ඒකායන පරමාර්ථයක්. මෙවැනි අනීතිය අණපනත්වලට එරෙහිව හඬ නගන්න ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැමවිටම සූදානමින් ඉන්න බව අවධාරණය කරනවා. රටක ජීවත්වන මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ හකුළනවා නම්, රජයක ඇදවැටීම තිබෙන්නේ එතනමයි. නමුත් ඔවුන් මේ පනතින් කියන්නේ සංවර්ධනය මන්දගාමී වීම වැළැක්වීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගන්නා බවයි. ජාතික සංවර්ධනය මන්දගාමී කළ ආර්ථික ඝාතකයන් කවුදැයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා. අපි යුක්තිසහගතව, ප්‍රජාතන්ත්‍රවාදීව මේ අනීතික අණපනත් පරාජය කරන්න ඉදිරියට එන බව අවධාරණය කරනවා.

“අනතුර කල්තියා දැකලා ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමයි අපගේ වගකීම වෙන්නේ…”
-ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර-

මේ ත්‍රස්ත පනත පිළිබඳව අවස්ථා ගණනාවකදී අපි ජනතාව දැනුවත් කළා. නිීතියේ විධානයේ ආධිපත්‍යය ගැන අපි කතාකරන කොට සමහරු අහනවා “ඕවා අපට කන්නද?” කියලා. හැබැයි ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ විධානයේ ආධිපත්‍යය මතක් වෙන්නේ ඔවුන් අමාරුවේ වැටුණු වෙලාවටයි. ජනතාවට වෙන්න තිබෙන අනතුරු කල්තියා දැකලා ඊට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමයි, අපගේ දේශපාලනික සහ සමාජීය වගකීම වෙන්නේ.

ලංකාවේ සාමාන්‍ය අපරාධ නීතිය යටතේ දඬුවම් කළ හැකි වැරදි රාශියක් ත්‍රස්තවාදය වැළැක්වීම නමින් එන මේ පනතට ඇතුළත් කර තිබෙනවා. එයට මූලික හේතුව අධිකරණයේ විශාල බලතල ප්‍රමාණයක් එයින් ඈත් කර, විධායක ජනාධිපති ළඟට ගැනීම හෝ ඔහු සතුකර ගැනීමට සූදානම් වීමයි. අන්තර්ජාතිකව ගත හොත් මූලික චේතනා දෙකක් සම්පූර්ණ කිරීමෙන් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ඉදිරිපත් කළ යුත්තේ. මරණයට හේතුවන බරපතළ හානි හෝ ප්‍රාණ ඇපයට ගැනීම එක චේතනාවක්. අනෙක රජය හෝ මහජනතාව තැති ගැන්වීම, බිය ගැන්වීම අන්තර්ජාතික ආයතනවලට යමක් කිරීමට හෝ නොකිරීමට බලකිරීම වැනි ක්‍රියා දෙවැන්නයි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් කියන්නේ මෙ චේතනාදෙක සම්පූර්ණ කිරීමටයි.

නමුත් මෙහි ඇතුළත් කර තිබෙන පුළුල් නිර්වචනවලින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ ජන මතයක් නැති ආණ්ඩුවට එරෙහිව සිවිල් ජනතාව විරෝධතා පැවැත්වීම මර්දනය කිරීමට සහ බය කිරීමට උත්සාහ කරනවා. වෘත්තීය සමිති ක්‍රියාකාරම් සහ මාධ්‍ය හමුවක් පැවැත්වීමක් පෝස්ට් එකක් දැමීම, අත්පත්‍රිකාවක් බෙදීම ආදියත් ත්‍රස්තවාදී ප්‍රකාශන ලෙස නම්කර නියෝග ලබාදෙන්නත් පුළුවන්. ‘මාර්ගස්ථ ආරක්ෂණ පනත’ සහ ‘ප්‍රතිත්‍රස්ත පනත’ යන දෙකම එකට සම්මතකර ගැනීමේ අරමුණ වෙන්නේ කිවිසුමක් ගියත් රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම්කරන්න පුළුවන්. යුද්ධය අවසන් වී ත්‍රස්තවාදයක් නැති කාලයේ මේ පනත ගෙන එන්නේ කුමක් නිසාදැයි කල්පනා කළ යුතුයි.

ජාතික ජන බලවේගයේ දේශපාලනයට බාධා කිරීමේ අරමුණෙන් මෙවැනි පනත් ගෙන එනවා. අධිකරණයේ වැරදිකරුවෙකු ලෙස නම් කළ දේශබන්දු වැනි පුද්ගලයන් වැඩබලන පොලිස්පති ලෙස නම්කිරීම වැනි කරුණු සමග මේ පනත සලකා බැලිය යුතුයි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ අනීතික ක්‍රියාමාර්ගවලට එකඟ වන යම් නිලධාරීන් සුළු පිරිසක් සිටිනවා නම්, ඔවුන් හට අපිට කියන්න සිදුවෙන්නේ, ඔබලා ත්‍රස්තවාදීන් බවයි. ත්‍රස්තවාදී වෙන්න රජයට ලයිසන් එකක් දෙන්න හදන පනතක් ලෙසයි අපි මේ පනත දකිනනේ මෙය පරාජය කරන්න පාර්ලිමේන්තුවේත්, අධිකරණයේත්, මහපාරේත් අපි සටන් කරනවා. එය වටා එකතු වෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.