-Colombo, October 23, 2023-
ජාතික ජන බලවේගයේ ආසන සමුළු 90%ක් පමණ රට පුරා පවත්වා අවසන්. ඒ වගේම වැඩකරන ජනතාව වෘත්තීය සමිති සමුළු පවත්වමින් ඒකරාශී කර ගෙන යනවා. ගොවි ජනතාවගේ සමුළු, තරුණ සංගමයේ අලුත් දේශපාලන සාකච්ඡා, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය ඇතුළුව විවිධ වෘත්තිකයන් සංවිධානය කරමින් ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් සංවිධානය කරමින් යනවා. ඒ වගේම දෙසැම්බර් අවසන් වන විට අප රටේ දැවැන්තම කාන්තා එකතුවත් නිර්මාණය කරනවා. මේ විදිහට සංවිධානය කරමින් මේ රටේ බලය හුවමාරු කර ගන්න අපිත් සූදානම් වෙනවා. අනෙක් පාර්ශ්වයේ අය අතේ මෙවලම් ගොඩක් තිබෙනවා. බදු වංචාවලින් ගොඩගසා ගත්, අති විශාල ධනස්කන්ධයක් ඔවුන් අත තිබෙනවා. ජනතාවගෙන් කොල්ලකා ගත් ඒ ධනය ඔවුන්ගේ මැතිවරණ වෙනුවෙන් පොම්ප කරනවා. රනිල් වික්‍රමසිංහ මඩකලපුවට ගිහින් නැවතිලා හිටිය හෝටලයට වියදම් කළේ කවුද කියලා පුළුවන් නම් කියන්න. ආණ්ඩුවේ රැකවරණය සහිතව කුප්‍රකට ජාවාරම්කරුවන් එක්රැස්කර ගෙන තිබෙන ධනය ඡන්ද කාලයේදී එළියට එනවා. ගමේ ජනතාවට සල්ලි දීලා රවට්ටලා ඡන්ද ගන්න සූදුව හැමදාම කරන්න ඒ ගොල්ලන් හිතාගෙන ඉන්නවා. ඔවුන් කුප්‍රකට ජාවාරම්කරුවන්ගේ ධනය මැතිවරණය වෙනුවෙන් එකතු කරන කොට අපි ජනතාව එකතු කරමින් මැතිවරණය වෙත යනවා.
අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහලා ඡන්දය කල්දාන්න මාලිගා කුමන්ත්‍රණ කරමින් සිටිනවා. ජනතාවට මුහුණ නොදී ඔවුන් මාලිගා කුමන්ත්‍රණ කරන කොට අපි ජනතාව එකතු කරමින් බලය ලබා ගන්න පෙළගැහෙනවා. ගම්පොළ ආසන සමුළුව පවත්වන්නේ ඉතාමත් වැදගත් වෙලාවක. ඉදිරි මාස 10 තුළ ලංකාවේ ඉරණම ලියවෙන කාල පරිච්ඡේදයක් වෙනවා. රනිල් ඇවිත් ආර්ථිකය ගොඩගනියි කියලා සමහර විශේෂඥයෝ පත්තරවල ලිව්වා. ටී.වී.වලට ඇවිත් කිවුවා. හැබැයි මොකක්ද සිදුවී තිබෙන්නේ. මේ අර්බුදයේ මූලයේ තිබෙන ණය ගැනීම සහ විකිණීම මත අර්බුදයේ මූලය පදනම් වී තිබෙනවා. දිගු කාලයක් මේ පාරේ ආවා. ණය ගැනීම සහ විකිණීම හැරුණු කොට වෙන ආර්ථික උපායමාර්ගයක් අපේ රටට හඳුන්වා දුන්නේ නැහැ. රජයේ කර්මාන්ත ශාලා සියල්ලක්ම වගේ විකුණුවා. වතු සමාගම් 21ක් විකුණුවා. ටෙලිකොම් එකේ භාගයකට කිට්ටු ප්‍රමාණයක් විකුණුවා. සමහර බැංකු විකුණුවා. දැන් විකුණන්න දෙයක් නැතිව හිරවෙන තැනට පැමිණ තිබෙනවා. රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන්නේ ඉතිරි වී තිබෙන දේවල් වේගයෙන් විකුණන්නයි.
මුලින්ම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණන්න යනවා. ආර්ථික අර්බුදයක් තිබියෙදී රක්ෂණ සංස්ථාව රුපියල් කෝටි 1000ක ලාභයක් ලැබුවා. ජාතික ආරක්ෂාව වගේම රටේ ආනාගතය සමග ගැටගැසී තිබෙන ටෙලිකොම් ආයතනය විකුණන්නත් සූදානම් වෙනවා. ඒකෙ අවුරුද්දක ලාභය රුපියල් කෝටි 1300යි. හිල්ටන් හෝටලය, ලංකා හොස්පිට්ල් එක, ලිට්රෝ ගෑස් සමාගම, මිල්කෝ ආයතනය, ජාතික පශු සම්පත් ආයතනය, පොස්පේට් නිධිය, ඛනිජ වැලි සම්පත සහ මැණික් ඉඩම් විකුණා දමන්න පෙළගස්වා තිබෙනවා. ඉදිරි මාස හත අට ඇතුළත අපේ සියලු සම්පත් විකුණන්න සූදානම් වෙනවා. විදුලි බල මණ්ඩලයේ විදුලි උත්පාදනය සමනල වැව, මහවැලි පද්ධතිය සහ ලක්ෂපාන වශයෙන් කෑලි තුනකට කඩා විකුණන්න යනවා. මේ විකුණන්නේ බලාගාර ටික. ඒ එක්කම ජලාශවල අයිතියත් විකුණන්න යනවා. ඒ සමගම ජල සම්පත විකුණන්න යනවා.
විශාල බදු බරක් අපේ රටේ වෘත්තිකයන් මත පටවා ඔවුන් රට හැර දමා යන තත්වයකට පත්කර තිබෙනවා. අපේ රටේ ශ්‍රම බලකායෙන් 15%ක් ඉන්නේ වෘත්තිකයන්. බදුබර දරා ගන්න බැරිව ඔවුන් රට දාලා යනවා වගේම මහජනතාව මත විශාල බදු බරක් පටවා තිබෙනවා. අනෙක පැත්තෙන් මාස කිහිපයකට වරක් තෙල් මිල, විදුලිබිල, වැඩි කරමින් යනවා. ජනතාවට දරා ගන්න බැරි ජීවන බරක් පටවමින් ඉතිරි සම්පත් සියල්ල ඡන්දයට කලින් විකුණා දමන්න රනිල් ක්‍රියාකරනවා. ඔවුන් ඊළඟ ඡන්දයකට සැලසුම් හදනවා මිස රටේ අනාගතය වෙනුවෙන් සැලසුම් හදන්නේ නැහැ. ලෝකයේ අද තිබෙන්නේ තාක්ෂණයෙන්, වෙළඳපොළෙන්, සංවර්ධනයෙන්, ගැටගැහිලයි. මේ නිසා ලෝකයේ ඇති වෙන ඕනෑම කුඩා චලනයක් තව රටකට බලපෑම් කිරීම වළක්වන්න බැහැ. කෝවිඩ් වසංගත තත්වය ලෝකයටම බලපෑම් කරමින් කියා සිටියේ පැමිණි ආර්ථික ගමන් මඟ ගැන සලකා බලන්න කියලයි. යුක්රේන් යුද්ධය ඇමෙරිකාව, ප්‍රංශය, බි්‍රතාන්‍යය වගේ රටවල්වලටත් බලපෑම් කර තිබෙනවා. ගාසා තීරය කේන්ද්‍ර කරගෙන ඇති වී තිබෙන ගැටුම නිරාකරණය කර නොගතහොත් අලුත් ලෝකයක් නිර්මාණය වන තත්වයට ගමන් කළ හැකියි. එක්සත් ජනපදය සහ බටහිර රාජ්‍යයන් කිහිපයක් හුදකලා වී අනෙක් රටවල් සියල්ලම ඒවාට එරෙහිව පෙළගැහෙන තත්වයක් ඇති විය හැකියි. මෙ කරුණු ගැන සැලකිල්ලකට ලක් නොකර තවදුරටත් ගමනක් යන්න බැහැ.
මේ සියල්ල හමුවේත් ශක්තිමත්ව මුහුණ දෙන රටවල් කිහිපයේ පදනම තිබෙන්නේ ඔවුන්ගේ ජාතික නිෂ්පාදිතය ඉහළ නංවා තිබීමයි. දකුණු කොරියාවේ වසරක අපනයන ආදායම ඩොලර් බිලියන 680යි. අපේ ඩොලර් බිලියන 12යි. නව වෙළඳපොළවල් අත්පත් කර ගන්න ඔවුන්ට සැලසුම් තිබුණා. රූපලාවන්‍ය උපකරණ වගේම සැම්සුන් ෆෝන්වලින් ප්‍රමුඛතම ලෝක නිෂ්පාදකයා කොරියාවයි. මිනිසුන්ගේ රුචිකත්වයන් සහ සතුට සොයා යාමේ මාර්ග විවිධත්වයට පත්වී තිබෙනවා. මිනිසුන් එකතැන නතර වෙනවා නම්, ලෝකය නතර වී ගොඩක් කල්. කොරියාව වගේම චීනයට, ඉන්දියාවට, වියට්නාමයට අනාගත සැලසුම් තිබුණු නිසා, කෝවිඩ්වලින් පසුවත් යුක්රේන් යුද්ධයක් තිබියෙදීත් ඔරොත්තු දෙමින් වර්ධනය වීමේ හැකියාවක් ඔවුන් අත්පත් කරගෙන තිබෙනවා. නමුත් ප්‍රංශය, ජර්මනිය වගේ රටවල් එවැනි වර්ධනයක් අත්පත් කර ගත්තේ නැහැ.
නමුත් අපේ රටේ ඉන්නේ තවමත් ඡන්දයකදී කුල පදනම මත අපේක්ෂකයන් තෝරන ගතානුගතික නායකයන්. එහෙමත් නැතිනම් ඉන්දීය කෝවිල්වලට ගිහින් බාරහාර වන නායකයන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පස්සේ විදේශ ගමන්වලට ශ්‍රී ලංකන් ගුවන් සේවය පාවිච්චි කළේ නැහැ. හේතුව ෆස්ට් ක්ලාස් නැතිවීමයි. අගමැතිවරයාට ලක්ෂ තුන්දහස් නවසියයක කාර් එකක් ගත්තා. ඔය වාහනවල උපරිම යන්නේ කිලෝ මිටර් 25ක් විතර. ඉතිරි දුර යන්නේ හෙළිකොප්ටර්වලින්. මන්තර කරපු වළලු දාගෙන, ආරක්ෂාව පිරිවරා ගත් තඩි ජීප්වලින් ඔවුන් යන්නේ තමිල්නාඩු චිත්‍රපටවල වගෙයි. මන්නය විතරයි අඩු. ඔවුන්ට පුළුවන්ද, නූතනත්වය වෙත රට ගෙනයන්න.
චිත්‍රපට කලාවේ, සංගීතයේ, සාහිත්‍යයේ පරිවර්තන කොපමණ ලෝකය පුරා සිදුවී තිබෙනවාද? නමුත් දෙකෝටි විසි ලක්ෂයක් ඉන්න අපේ රටේ සාහිත්‍ය පොතක පිටපත් දහසක් විකුණා ගන්න බැහැ. කවියක් රස විඳින්නේ නැති, චිත්‍රපටක් රස විඳින්න නැති, ගීතයක් රස විඳින්න නැති, අලුත් දේ උකහා ගන්න අසමත් වුණු රටක් නිර්මාණය කර තිබෙනවා. මේ පැරණි බැමි ගලවා දමා නව ලෝකයකට රට පරිවර්තනය කරන යුගය අපි ආරම්භ කරන්න ඕනෑ. පේරාදෙණිය උද්‍යානයේ ආදායමෙන් රුපියල් කෝටි දාහක් වැයකර දී.මු. ජයරත්න අම්බුළුවාව හැදුවා. ඊට පස්සේ ඔහු යටතේ තිබුණු අමාත්‍යාංශවලින් සල්ලි වියදම කළා. අන්තිමට පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවා ඒක ඔවුන්ගේ පවුලට ලියා ගන්න. මේ රටේ කඳු, උද්‍යාන තමන්ගෙ පවුලට ලියාගන්න නායකයන්ට මොන වගේ ලෙඩක් තියෙන්න ඕනෑද? මේ වගේ නායකයෝ තමන්ගේ පවුලත් තමන් වටේ ඉන්න චෞර වළල්ලත් හදාගත්තා විතරයි. පසුගිය අවුරුදු 20 තුළ ලෝකය මහා ජයග්‍රහණ අත්පත් කරගෙන තිබෙනවා. අපේ පාලකයෝ ඒ කාලය තුළ අපේ රට පස්සට ගෙනගියා. මේ මජර, කැත, සාම්ප්‍රදායික, ගතානුගතික, දේශපාලනය වෙනස් කර, නූතන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා.
සරලභාවය අපේ දේශපාලන සංස්කෘතිය වෙන්න ඕනෑ. ඇහුම්කන් දීම, නීතියට ගරු කිරීම, අපේ සංස්කෘතියක් වෙන්න ඕනෑ. මහජනයාගේ සෑම සතයක්ම පෙරළා නැවත මහජන සේවය වෙනුවෙන් යොදවන දේශපාලන සංස්කෘතියක් ඕනෑ. මේ පාලකයන්ගේ ඇඳුම් පැළඳුම්, පාට නූතන වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ සිතුම් පැතුම් ශත වර්ෂයකටත් වඩා පැරණියි. පාර්ලිමේන්තුව ඇතුලේ ගහගන්නේ ඒ නිසයි. ඔවුන් මොන මනසකින් ක්‍රියා කරනවා දැයි සිතා ගන්න වත් බැහැ. ඒ පාලකයන් මේ රටට කරපු දේවල්වලින් කළ විනාශයට වඩා ඒ මොහොතේ කළ යුතුව දේවල් නොකිරීමෙන් වැඩි විනාශයක් කර තිබෙනවා. ලෝකයත් සමග ඉදිරියට යන ක්‍රියාමාර්ග නොගැනීම ඒ විනාශයයි.
ජාතික ජන බලවේගය ලෝකයත් සමග පෙරට යන පාලනයක් ගෙන එනවා. ඔවුන් බය වී තිබෙන්නේ ඒකටයි. ඡන්ද නොතියා වෙට්ටු දාන්නේ ඒ නිසයි. රට තුළ ජීවත් වෙන සෑම ජන කොට්ඨාසයකගේම අයිතිවාසිකම් පිළිගෙන ආරක්ෂා කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සමගිය වර්ධනය කරන පාලනයක් අපි පිහිටුවනවා. අපි හදන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා නියෝජනය කරන ඒ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන පාලනයක්. ජාතික ජන බලවේගයෙන් ගොඩනඟන්නේ ජාතික සමගිය ආරක්ෂා කරන පාලනයක්. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම සංවිධානය වී ශක්තිමත්ව පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා. ගම්පොළ ආසනය තුළ ජාතික ජන බලවේගයේ කොඩිය ඉහළින්ම එසවීමට සියලු දෙනාම පෙරට එන ලෙස ආරාධනා කරනවා.
“ව්‍යවස්ථා කුමන්ත්‍රණ කරමින් කොච්චර දුර යන්න පුළුවන්ද කියලා බලමුකෝ”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත-
ඊයේ වෙනකොට විදුලි බිල වැඩිකළ බව අපි කවුරුත් දන්නවා. ඊට විරුද්ධව රටේ විවිධ ප්‍රදේශවල පන්දම් උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. මේ ආසන්න දිනවල අපිත් ඊට සහභාගි වෙනවා. රනිල්ලා, රාජපක්ෂලා, මහින්දානන්දලා, එකතු වී ජනතාවගේ ඡන්ද අයිතිය ලබා නොදී විවිධ වෙට්ටු දමමින් යන ගමනක් ආරම්භ කර තිබෙනවා. නමුත් අපි මැතිවරණ මාවතට අමතරව බලය ගන්න, බලය මාරු කරන්න තිබෙන විකල්ප ක්‍රම ගැනත් හිතන්න වෙලා තිබෙනවා. නමුත් අපි වඩාත්ම කැමති මැතිවරණයකින් බලය ලබාගන්න. ඒ නිසාම රනිල්ලා වෙට්ටු දැමීම නිසා අපි තෙවැනි මාවතකුත් ආරම්භ කර ඇති බව ගම්පොළ ආසන සමුළුවේ ඉඳලා කියන්න සතුටුයි. ඡන්ද නොතියා යනවා නම්, පාලකයන් වෙනත් ක්‍රමයකින් පළවා හරින්න වැඩ පිළිවෙළකුත් ආරම්භ කර තිබෙනවා. ඉන් එකක් අපි සතු දැවැන්ත වෘත්තිය සමිති බලය. ඒ වගේම විශාල ගොවි ජනතාවක්, ධීවර ජනතාවක් කාන්තා, තරුණ, ශිෂ්‍ය, වගේම කලා සංවිධාන ඇතුළු විවිධ බලවේග ඒකරාශී කරමින් යනවා.
ගිය අවුරුද්දේ මැයි මාසයේ නව වැනිදා මහින්දට අගමැතිකම දාලා යන්න සිදුවුණා. කැමැත්තෙන් ගියා නොවෙයි පැන්නුවා. ඒකත් එක විදිහක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකම දාලා පැනලා ගියා. ඒවා සිදුවුණේ ඡන්දයකින් නොවෙයි. ඒ අරගලය ඒ වෙලාවේ පාර්ලිමේන්තුව පැත්තට ගෙන ගියා නම්, ඒකත් විසුරුවා හරින්න සිදුවෙනවාම තමයි. ඒ මාවත ගැනත් රනිල්ලාට රාජපක්ෂලාට අපි මතක් කර දෙනවා. වෘත්තිය සමිති ව්‍යාපාරයට අමතරව නගරවල වෙළඳ සංගම්, නීතිඥ සංගම්, වගේ සංවිධානත් තිබෙනවා. ඔවුන්ව සංවිධානය කිරීමේ මාවතෙත් අපි විශාල දුරක් ගිහින් තිබෙනවා. “උඹලාගේ පාලනය යටතේ තවදුරටත් වැඩ කරන්න අපි ලැහැස්ති නැහැ, උඹලා වැඩි කළ විදුලි බිල් ගෙවන්න අපි ලැහැස්ති නැහැ, උඹලා වැඩි කළ බදු ගෙවන්න අපි ලැහැස්ති නැහැ, උඹලා පලයල්ලා.” කියන තැනට බලකරමින් අපි වැඩ නතර කරනවා. ඊට පස්සෙ අපේ පාලනයක් යටතේ ඩබල් එකේ වැඩකරනවා. ව්‍යවස්ථා කුමන්ත්‍රණ කර කර කොච්චර දුරට යන්න පුළුවන්ද කියලා බලමුකෝ. අපිත් සමුළු පවත්වමින් ජනතාව සංවිධානය කරමින්, පාලකයෝ ගෙදර යවන්න වැඩකරමින් යනවා. අපි ඡන්දයට ලැහැස්ති වෙමු. ඡන්දය තියන්නේ නැතිනම් පාරට බැහැලා මොවුන් පළවා හරින තුරු අරගල කරන්න සූදානම් වෙමු කියලා හැමදෙනාටම ආරාධනා කරනවා.
“අපි වෙහෙසිය යුත්තේ නොනගත කාලය අවසන් කරන්නයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රවීණ කලාකරු ජගත් මනුවර්ණ–
අද නැකැත් දවසක්. නමුත් අපි ඉන්නේ රටම නොනගතයකට ගිල්වූ පාලනයක් යටතේ. එහෙම රටක සුබ නැකතික් දේවල් ආරම්භ කරනවාටත් වඩා අපි වෙහෙසෙන්න ඕනෑ නොනගත කාලය අවසන් කරන්න. නා කපන වැස්ස ඇද හැලෙන කාලගුණ තත්වය නොතකා මෙතනට ඔබ ඇවිත් ඉන්නේ ඒ නොනගතය අවසන් කරන්න බව අපි දන්නවා. මේ රටේ අනාගතය හැමෝටම යහපත් කර දෙන්න, මෙතෙක් කල් පාලකයින් කළ බොරුව තේරුම් ගත් නිසයි මාලිමාව වටා ජනතාව ඒකරාශී වෙන්නේ. මේ පළාතේ බහුතරයක් දෙනා දෛනික ඉපයීම් මත යැපෙන වගේම දෙශපාලනඥයන්ගෙන් යම් සහනයක් අපේක්ෂාවෙන් ඉන්න අයයි. ඒ නිසා තමන්ගේ දේශපාලන මතය නොබියව කියන්න තවමත් පිරිසක් බයයි. මෙතනට එකතු වී ඉන්නේ එහෙම බය නැති පිරිසක්.
අපට වගකීමක් තිබෙනවා අනික් අයට ධෛර්යය සපයන්න. ඒ වෙනුවෙන් බොහෝ දේවල් කරන්න සිදුවෙනවා. මේ පාලකයන් කළ විනාශයන් පැහැදිලි කරන්නත් ජාතික ජන බලවේගය රට ගොඩනඟන හැටි පැහැදිලි කරන්නත් කැප වෙන්න ඕනෑ. අවුරුදු 75ක් මේ රට පාලනය කළ කිසිම පක්ෂයකට ඊළඟ මැතිවරණයකින් බලයට එන්න බැරි බව සියලුම සමීක්ෂණ වාර්තාවලින් පැහැදිලිව හෙළිවී තිබෙනවා. ජාතික ජන බලවේගය ඉදිරියෙන්ම සිටින බව සියලුම සමීක්ෂණ වාර්තාවලින් තහවුරු වී තිබෙනවා. ඒ නිසා ඔවුන් සියලු දෙනා ඡන්ද සිතියම් අකුලන්න විවිධ උපක්‍රම තෝරනවා. නමුත් ජාතික ජන බලවේගය වටා ඉන්න අය ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පාරට බැහැලා තේරෙන භාෂාවෙන් කියා දෙන්න වෙනවා. ගම්පොළ නගරයේ අපිරිසිදු කාණු පද්ධතිය ඇතුළු සියල්ල අදත් ඒ විදිහට තිබෙන්නේ ගම්පොළින් අගමැතිවරයෙකුත් පත්කළ පසුබිමකයි. ඒ අයගේ පරම්පාරාව ඇවිත් මේ තත්වය වෙනස් කරයි කියා හිතනවාද? බූදලයෙන් දේශපාලනය කළ කාලය අවසන් කරන්න කල්පනා කරන ලක්ෂ ගණන් ජනතාව අද මාලිමාව වටා එකතු වී සිටිනවා. මාලිමාවේ පාලනයක් තවදුරටත් සිහිනයක් නොවන බව මුළු රටේම ජනතාව පිළිගන්නවා.
“පීඩාවට පත් කාන්තාවන් දේශපාලන පරිවර්තනයක් සඳහා පෙළගැසිය යුතුයි”
-අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ගම්පහ සංවිධායක මණ්ඩල සභික, ගුරු විද්‍යාල කථිකාචාර්ය චූලා කුමුදිනී-
නිර්පාක්ෂික නාමයෙන් එකතු වුණු ජනතාව අරගල කර, හිටපු ජනාධිපති සහ අගමැතිවරයා පළවා හැරියා. නමුත් ඉන් පසුව බලයට පත්වුණු පාලකයන් යටතේ ජනතාව අන්ත අසරණ වෙලා. කාන්තාවක් හැටියට මේ දක්වා මමත් හිතුවේ රටේ අනෙකුත් කාන්තාවන් සිතන පතන ආකාරයටමයි. විශේෂයෙන්ම දේශපාලනය අපට අයිති නැහැ කියලා හිතුවා. අපි සොයා ගත්තොත් අපට කාල හිටිය හැකි බව හිතුවා. නමුත් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය සහ ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව සමග කටයුතු කරන්න ලැබීමෙන් පසුව ඊනියා ප්‍රභූ දේශපාලකයන්ට රැවටීමේ තරම තේරුම් ගත්තා. අපේ අයිතීන් වෙනුවෙන් හඬක් නඟන්න අවශ්‍ය බව තේරුම් ගත්තා. අපිටත් සංවේදී හිතක් තිබෙනවා. කාන්තාවන් අතිශයින් පීඩාවට පත්ව සිටින මේ කාලයේ සැබෑම දේශපාලන පරිවර්තනයක් සඳහා පෙළගැසිය යුතු බව අපි හැමෝම තේරුම් ගත යුතු වෙනවා. අඳුරේ අතපත ගෑම නවත්වා එකාවන්ව ඉදිරියට ඇවිත් සංවිධානාත්මකව ජයග්‍රහණය කරා යා යුතුයි.
“ජාතික ජන බලවේගය හැර කිසිවෙක් සමග පෙළගැසී තේරුමක් නැති බව ජනතාව දන්නවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මව්ලවි මුනීර් මුලෆ්ෆර්-
නිදහසෙන් පස්සේ විවිධ අවස්ථාවලදී විවිධ පොරොන්දු ලබාදී අවුරුදු පහෙන් පහට බලයට පැමිණි පිරිස් ගැන අපි දන්නවා. මැතිවරණ වේදිකාවල ඔවුන් කියූ කරුණු විශ්වාස කර ඡන්දය දුන් අපි අවුරුදු 75කට පස්සේ සිදුවුණු විනාශය අත් විඳිනවා. නමුත් ජාතික ජන බලවේගය හැර වෙන කිසිකෙනෙක් සමග පෙළගැසී තේරුමක් නැති බව ජනතාව තේරුම් ගෙන තිබෙනවා. චන්ද්‍රිකා ජනාධිපතිවරිය යටතේ ඇමති ධුර දරා පසුව අගමැති වුණු ගම්පොළ ප්‍රදේශයේ දී.මු. ජයරත්න ගැනත් හොරණ රත්නසිරි වික්‍රමනායක ගැනත් අපි දන්නවා. ඔවුන් අද ජීවතුන් අතර නැතත් ඒ දෙදෙනාගේම පුත්තු දෙදෙනෙක් අද රනිල් වික්‍රමසිංහ යටතේ ඇමතිවරුන් වෙලා ඉන්නවා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය කියලා මරා ගත්තත් ඒ අගමැතිවරුන්ගේ පුතුන් දෙදෙනා අද ඉන්නේ රනිල් වික්‍රමසිංහ යටතේ.
ඒ පාලකයන් සහ දේශපාලනඥයන් තමන්ට වහල්කම් කරන අයට රජයේ ආයතනවල තනතුරු දෙන්න ක්‍රියා කළා. ඒ ආයතනවල මහජන මුදල් ඕනතරම් කොල්ල කා ගන්න ඉඩදී සිටියා. ඒ මුදල්වලින් කොටසක් ඒ දේශපාලකයන්ගේ මැතිවරණ වෙනුවෙන් නැවත ලබාගත්තා. ඒ පාලකයන් යටතේ පීඩාවට පත්වුණු ජනතාව කිසිදු භේදයකින් තොරව පාරට ඇවිත් කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව හඬගා කීවා. අරගල කළා. එවැනි තත්වයක පත්වුණු රනිල් වික්‍රමසිංහ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරාවි යැයි සමහර දෙනෙක් කල්පනා කළා. නමුත් ඔහු ජනාධිපති වූ තැන් සිට පැරණි, කැත, ත්‍රාඩ දේශපාල සංස්කෘතිය ඉදිරියට ගෙන එමින් තිබෙනවා. මැතිවරණය කුමන්ත්‍රණකාරීව නොපැවැත්වීමට කොමිසමෙන් ඉල්ලා අස්වූ නෝනාට උතුරේ ආණ්ඩුකාර ධුරය ලබා දුනනා. ඔවුන් දිගටම දේශපාලනය කළේ මේ කැත සංස්කෘතිය රැක ගන්න මිස පොදු ජනතාවට යහපතක් කරන්න නොවෙයි. රට කොතරම් පරිහානියකට ගෙනගොස් තිබෙනවාද කියනවා නම්, මේ සුන්දර රට මාලදිවයින හමුවේ පරාජය කරන තත්වයකට ඇද දමා තිබෙනවා. මේ පාලකයන්ගේ මංකොල්ලකාරී ක්‍රියාකලාපය නිසා අපේ රටේ මිනිසුන් අද ලෝකය ඉදිරියේ යාචකයන් බවට පත්කර සිටිනවා. තමන්ගේම ගෙදරක සිටියත් කුලී ගෙයක ඉන්නවා වගේ හැඟීමක් බොහෝ දෙනෙකුට ඇතිවී තිබෙනවා. කොයි වෙලේ, විදුලිය, ජලය කපා දායිද කියන ප්‍රශ්නයෙන් මිරිකී සිටිනවා. නමුත් අපි සියලු දෙනා බලා පොරොත්තු කඩ නොකර ගත යුතුයි. සියලු ජාතීන්ට, ආගමිකයන්ට “ශ්‍රී ලාංකිකයි”, කියන අභිමානයෙන් කටයුතු කළ හැකි ජාතික ජන බලවේගයේ පාලනයක් පිහිටුවා ගමු කියන ආරාධනය සැමදෙනාටම කරනවා.