(-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව – 2024.09.14-)
ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයට ලැබෙන පැමිණිලි ප්‍රාදේශීය සහ කොට්ඨාස සභා මට්ටමින් නිරීක්‍ෂණය කරන්න නිරීක්‍ෂකයන් යොදවා තිබෙනවා. ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා කාලය සමස්තයක් ලෙස සලකා බැලුවාම ශීඝ්‍ර වර්ධනයක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වල පවතිනවා. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 392ක් වාර්තා වන අතර, නීති විරෝධී ප්‍රචාරණ සම්බන්ධයෙන් 186ක්, නීත්‍යනුකූල මැතිවරණයට බාධා කිරීම් 6ක්, ප්‍රචණ්ඩ ක්‍රියා 30ක්, මහජන මතයට අනිසි බලපෑම් කිරීම් 120ක්, රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම් 73ක් සහ රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම් 39ක් වශයෙන් වර්ග වී තිබෙනවා. සමාජ මාධ්‍ය භාවිත කර ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, අනුර කුමාර දිසානායක සහෝදරයා කේන්ද්‍රගත කරමින්, විශාල මඩ ප්‍රචාර දියත් කරමින් තිබෙනවා. ව්‍යාජ සටහන්, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යැයි හැඟෙන පරිදි සකස් කළ ව්‍යාජ තොරතුරු සහ ජාතික ජන බලවේගයේ නායකයන් පළ කළ අදහස් විකෘති කොට සංස්කරණය කරමින්, නිෂ්පාදනය කළ වීඩියෝ පට වාගේම ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා නමින් ව්‍යාජව සැකැසූ වෛද්‍ය වාර්තාවක් ආදිය මුදාහැර තිබෙනවා. එම වෛද්‍ය වාර්තාව සත්‍ය බව පෙන්වීම සඳහා ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂයක් යටතේ ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතාගේ ව්‍යාජ අත්සන සහිතව සෑදූ කූට ලේඛනයක්ද සකස් කර සමාජගත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය පැමිණිලි අංශයට කරුණු යොමු කළා.
මැතිවරණ නීතිය පමණක් නොවෙයි, එයින් එහා ගිය දණ්ඩනීති සංග්‍රහයේ දක්වා තිබෙන කූට ලේඛන සෑදීමේ වරදවල් සිදු කර තිබෙනවා. ව්‍යාජ වෛද්‍ය සටහන මුදාහැරි පසුව ආසිරි රෝහලේ නිල ‘ෆේස්බුක්’ අඩවියෙන් භාෂා තුනෙන්ම නිවේදනයක් නිකුත් කරමින්, අදාළ වෛද්‍ය සටහන ව්‍යාජ එකක් බව පෙන්වා දී තිබුණා. මේ ව්‍යාජ සටහන රූපවාහිනී සංවාදයක දී පෙන්වීමට පවා යොදා ගත්තා. මැතිවරණ කොමිසමට සහ පොලිසියට පැමිණිලි කළත්, ඒවා නැවැත්වීම සඳහා ප්‍රමාණවත් ප්‍රයත්නයක් දරන බව පැහැදිලි වෙන්නේ නැහැ. සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පමණක් නොවෙයි, ඒ වෙනුවෙන් පසුබිම සැකැසීමත් මැතිවරණ කොමිසමේ වගකීමයි. මැතිවරණ නීතිය පසෙක තැබුවත්, සාමාන්‍ය නීතිය යථා පරිදි ක්‍රියාත්මක වන බවට අපි සද්භාවයෙන් විශ්වාසය තබා සිටිනවා. ‘නව මඟ ජාතික ව්‍යාපාරය’ කියන නමින් සංවිධානයක් අටවා ගත් පුද්ගලයකු එහි ලේකම් හැටියට අනිල් ශාන්ත ප්‍රනාන්දු නමින් පෙනීසිටිමින්, මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. ඔහු 21 වැනිදාට පසු ආගමික ප්‍රචණ්ඩත්වයක් එන බවටත්, ජනතා විමුක්ති පෙරමුණ ආයුධ එකතු කරන බවටත් බරපතළ ප්‍රකාශයක් කර තිබෙනවා. නැති භීතියක් සමාජයේ ඇති කිරීමට උත්සාහ කරන මොවුන් මැතිවරණ නීතියටත් එහා ගිය සිවිල් සහ සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්.) උල්ලංඝනය කිරීමක යෙදී සිටිනවා. ජනතාව අතර ආගමික සහජීවනය නැති කරන්න දරනු ලබන උත්සාහයක්.
මෙම ජාත්‍යන්තර සම්මුතිය අනුව මේ රටේ පනවා තිබෙන නීති කෙතරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක කළා ද යන්න පසුගිය වසරවල හොඳින්ම නිරූපණය වුණා. සමාජයේ නීතියට අනුව හැසිරෙන්න දන්නේ නැත්නම්, ඒ පුද්ගලයන්ව නීතියෙන් බැඳලා දාන්න ඕනෑ. තමන්ගේ ඔළුවේ තිබෙන විකාර සමාජගත කර අනෙක් අයගේ මනස විකෘති කරන ආකාරයේ ක්‍රියාමාර්ග ගන්නවා නම්, එය බරපතළ තත්වයක්. සාමකාමී, ස්වාධීන මැතිවරණයක් සඳහා පරිසරය ගොඩනැඟී තිබෙන අවස්ථාවක මෙවැනි පුද්ගලයන් ගෙන යන බියකරු ප්‍රචාර සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වඩාත් සැලකිලිමත් විය යුතුයි.
පසුගිය 07 වැනිදා ජාතික ජන බලවේගයේ නීතිඥ සමුළුවට රට පුරාම විසිරී සිටින නීතිඥවරුන් පැමිණි අවස්ථාවේ වතුර බෝතලයක් විතරයි දුන්නේ. නමුත්, එදිනම සවස සමඟි ජන බලවේගයේ නීතිඥ හමුවක් පැවැත්වීමෙන් පසුව රාත්‍රී භෝජන සංග්‍රහය මධුවිතත් ඇතුළුව පවත්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට අපි එය පැවැත්වීමට පෙර පැමිණිලි කළත්, කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැහැ. උදය වරුවේ 2,800කට වැඩි පිරිසක් සහභාගී වී අපේ නීතිඥ සමුළුව පැවැත්වුවත්, සවස ඔවුන් එම පරිශ්‍රයේම පැවැත්වූ සමුළුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ක්‍රියා කර තිබෙනවා. ස්වාධීන මැතිවරණ කොමිසමට පැවරී තිබෙන බලතල අනුව ජනාධිපති අපේක්‍ෂකවරුන් සියලු දෙනාට සාධාරණ ලෙස ක්‍රියාත්මක කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මැතිවරණ නීතිය වාගේම දණ්ඩනීති සංග්‍රහයත් උල්ලංඝනය කිරීම පිළිබඳව එම ආයතන දැඩිව ක්‍රියාත්මක වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
“මැතිවරණ කොමිෂන් සභාව තමන්ගේ බලතල අනුව ක්‍ෂණික ක්‍රියාමාර්ග ගත යුතුයි”
-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂක මධ්‍යස්ථානයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මාර්ක් ගුණවර්ධන-
අද සිට ජනාධිපතිවරණයට තිබෙන්නේ තව හරියටම දින හතක් පමණයි. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබෙනවා. එම වගකීම ප්‍රායෝගිකව ඉටු කිරීමේදී පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය සේවා උපකාරී වෙනවා. මේ ආකාරයෙන් පවත්වනු ලබන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අනුර කුමාර දිසානායක සහෝදරයාගේ විජයග්‍රහණය රටේ සියලුම ප්‍රදේශවලින් තහවුරු වී තිබෙනවා. අපි මෙතෙක් ඉදිරිපත් කර තිබෙන පැමිිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් කිසිම සාධාරණත්වයක් ඉටු වුණේ නැහැ. 2024 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේ සාදයක් පැවැත්වූවා. මේකත් මහජන මතය වෙනස් කිරීමට සංග්‍රහ කිරීමක් හැටියට පවතිනවා. ඒ වාගේම සෞඛ්‍ය ඇමැතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන් හට ‘වෝටර්ස් ඒජ්’ හෝටලයේ රැස්වීමක් පවත්වන්න ඇරැයුම් කර තිබුණා. එය පවත්වා තිබුණා. කිසිම චකිතයක්, බියක් නැතිව ජනාධිපතිවරයාගේ නිල ‘ෆේස්බුක් ගිණුමේ’ මෙය සජීවීව විසුරුවා හැර තිබුණා. ඔවුන් නීති කඩමින්, අප වෙතට ඇඟිල්ල දිගු කරනවා.
පසුගිය 13 වැනිදා නිරෝෂන් පාදුක්ක විසින් සම්බන්ධීකරණය කරමින්, ‘සිනමන් ලේක්’ හෝටලයේ භෝජන සංග්‍රහයක් පවත්වා තිබුණා. එහි කෑම පිඟානක වටිනාකම රුපියල් 5500කට වැඩියි. ඒ වාගේම පිළියන්දල ජනාධිපතිවරයාගේ රැස්වීමක් පැවැත්වීමට මීගමුව ඩිපෝවෙන් ලංගම රියැදුරන්, කොන්දොස්තරවරුන් සහ අනෙකුත් පිරිස් යොදා ගනිමින්, නීති විරෝධී ප්‍රවාහන කටයුතු සිදු කර තිබුණා. යමක් සිදු වූ පසුව එම ස්ථානවලට යාමෙන් ඵලක් නැහැ. නමුත්, ඉදිරි කාලය තුළ දී හෝ මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් කොමිෂන් සභාවට පැවරී තිබෙන බලතල අනුව ක්‍ෂණිකව ක්‍රියාමාර්ග ගනීවි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ මඟින් සැබෑ අර්ථයෙන් ම නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවස්ථාව සලසා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
“ප්‍රචණ්ඩ ක්‍රියා මුදාහැර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය දශමයකින්වත් අඩු කරන්න බැහැ”
-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්‍ෂක කමිටුවේ සාමාජික, විශ්‍රාමික පොලිස් අධිකාරී එච්.යූ. පියනන්ද-
තව දින හයකින් මේ රටේ ජනාධිපති කරගත යුත්තේ කවුරුන්දැයි සාතිශය බහුතරයක් ජනතාව තෝරාගෙන අවසන්. එය විඳදරාගත නොහැකිව අනෙකුත් ප්‍රධාන අපේක්‍ෂකයන් විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට උඩගෙඩි දෙමින් සිටිනවා. නමුත්, ජාතික ජන බලවේගයේ නායකයා ඉතා අවධාරණයෙන් පහළම සාමාජිකයන් දක්වා උපදෙස් දී තිබෙන්නේ කිසියම්ම ආකාරයක හෝ හිංසනයක් වචනයකින් පවා නොකරන ලෙසයි. එසේ තිබියෙදී, ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයට සහ පම්බල මැතිවරණ කාර්යාලයට කළුතෙල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඊට අමතරව ඊයේ (13) මොනරාගල පවත්වන ලද අපේ රැලියට පැමිණ ආපසු යමින් සිටි ජනතාව රැගත් බස් රථයකට බුත්තල, මහබොඩයාය ප්‍රදේශයේ සමඟි ජන බලවේගය කාර්යාලය ඉදිරිපිටදී ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ වන විට ජාතික ජන බලවේගය වටා ජනතාව එක්වෙමින් සිටීම පිළිබඳව දරාගත නොහැකිව මෙසේ පහර දීම් සිදු කර තිබෙනවා. අපට ඒ ගැන වාර්තා වූ සැණින්ම බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී, මේ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව පරීක්‍ෂණ පවත්වන ලෙස දැනුම් දුන්නා. අප බලාපොරාත්තු වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක්. ඔවුන් අපේ සාමුහිකයේ තිදෙනකුට පහර දී තිබෙන අතර, ඒ අතර කාන්තාවක්ද සිටිනවා. ඇයට මැහුම් හයක් දාන්න සිදු වී තිබෙනවා. අපට වාර්තා වී තිබෙන විදියට සී.බී.අයි. 1077 දරන අල්ටෝ කාර් රථයෙන් පැමිණි පිරිසක් මත්පැන් බෙදාහැර පහර දීමට පොළඹවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සාගර කියන සැකකරුවා අත්අඩංගුවට ගෙන සිටිනවා. ඔහු ප්‍රකාශයක් ලබා දෙමින්, මත්පැන් ලබා දී බස්රථවලට පහර දෙන්න උපදෙස් දුන් බව පිළිගෙන තිබෙනවා. දේශපාලන පක්‍ෂයක පුද්ගලයකු හෝ කණ්ඩායමක් යම් කිසි ප්‍රචණ්ඩත්වයක් මුදාහැරියහොත්, පොලිසිය නිසි පරිදි ක්‍රියා කරාවි යන විශ්වාසය අපට තිබෙනවා. බුත්තල පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් සියලු දෙනා කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපි අවධාරණය කරනවා. මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා මුදාහැර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය දශමයකින්වත් අඩු කරන්න බැහැ. බුත්තල පහර දීමට සම්බන්ධ අයියයි, මල්ලියි ප්‍රධාන සැකකරුවන් ලෙස පොලිසියට භාර වී සිටිනවා. මේ රටේ සාමකාමී පුරවැසියන් මෙවැනි ක්‍රියා සඳහා කිසිදු ඉඩකඩක් ලබා දෙයි කියා අප විශ්වාස කරන්නේ නැහැ.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කළත්, ක්‍රියාමාර්ග ගෙන නැති බව පසුගිය මාධ්‍ය හමුවේ දීත් ඔබලා ප්‍රකාශ කළා. එහෙම නම්, මාධ්‍ය හමුවේ සඳහන් කරන එක විතරද කළ හැක්කේ ?
අපි මේ වෙලාවේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්‍ෂයක් පමණයි. අපට කරන්න තිබෙන්නේ ස්වාධීනයි කියලා අප විශ්වාස කරන මැතිවරණ කොමිසමට වාගේම පොලිසියට පැමිණිලි කිරීම පමණයි කරන්න තියෙන්නේ. ඒ අනුව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, ජනතාව ඒ සම්බන්ධයෙන් තේරුම්ගෙන මැතිවරණයේ දී විරෝධය පළ කරන්න ඕනෑ. අපට නීතිය අතට ගන්න බැහැ. මෙපමණ කල් නීතියේ ආධිපත්‍යය සාමාන්‍ය ජනතාවට ක්‍රියාත්මක නොවුණා වාගේම මැතිවරණය ආසන්නයේ දීත් ක්‍රියාත්මක නොවන බවයි තේරුම් ගන්න තියෙන්නේ.
බලය ගත්තොත්, මේ සම්බන්ධයෙන් මොක ද කරන්නේ ?
ගත්තොත් නොවෙයි. ගන්නවා. ඊට පස්සේ මේ එකිනෙක පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය මගින් පරීක්‍ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කරනවා. මැතිවරණ නීතිය පමණක් නොවෙයි, දණ්ඩනීති සංග්‍රහය පවා උල්ලංඝනය කරමින් ක්‍රියා කර ඇති ආකාරය අප මෙහි දී පෙන්වා දුන්නා. ඒ වාගේම සිවිල් හා පුරවැසි අයිතීන් සම්බන්ධයෙන් අන්තර්ජාතික නීතිය පවා උල්ලංඝනය කර ඇති ආකාරය අප පෙන්වා දුන්නා. ඒ අනුව මෙපමණ කල් ක්‍රියාත්මක නොවූ නීතියේ ආධිපත්‍යය 22 වැනිදායින් පසුව ක්‍රියාත්මක වේවි. මේ පාලකයෝ හැමදාමත් නීතිය පහළින් තබාගෙන ඔවුන් ඉහළින් හිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වාගේම සමඟි ජන බලවේගයත් එහෙමයි.