-Colombo, November 06, 2023-
ගෝඨාභය රාජපක්ෂ පාලනය ලබාගත් මුලදී සීනිවලට අගය කළ රුපියල් 50/- ආනයන බද්ද සත 25ට අඩුකර සිදු කළ දේම දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව සත 25 බද්ද රුපියල් 50/- දක්වා වැඩි කර, තම ගජ මිත්‍රයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා. පිරමිඩ් විල්මා කියන කොම්පැනිය මූලික වුණු ගජ මිත්‍රයන් කිහිප දෙනෙක් වෙත ධනය ගොඩගහ ගන්න අවස්ථාව දෙන්න තරම් පසුබිමක නොවෙයි ජනතාව ඉන්නේ. ගහෙන් වැටුණු මිනිහට ගොනා හතර පස්වරක් ඇන්නා වගේ ආණ්ඩුව ඉන්ධන මිල, විදුලි බිල, වැට් බදු, වැඩිකරමින් විවිධ තර්ක ගේනවා. සීනි බදු පැනවීම සම්බන්ධයෙන් වෙළඳ ඇමති නවීන් ප්‍රනාන්දු වග කියන්න ඕනෑ. මේ බදු හදිසියේ වැඩි කළේ මොන හේතුවක් නිසාද කියලා ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ. වෙළෙඳපොළේ පවතින මිලවල, පාරිභෝගික අධිකාරිය පනවන උපරිම මිල සහ බදු පැනවූවාට පසුව වෙනම වැට් වශයෙන් සීනි සම්බන්ධයෙන් විවිධ මිල ගණන් පවතිනවා. සීනිවලට සත 25 බද්ද ගෙවලා වරායෙන් නිදහස් කරගත් සීනි රුපියල් 50/- බද්ද පැනවීම තුළින් රුපියල් 49.75ක බද්දක් කිලෝ එකකට නොගෙවා විශාල ලාභයක් ලබාගන්න ඉඩ ලබාදී තිබෙනවා.
අපට වාර්තාවෙන විදිහට සීනි මෙට්‍රික් ටොන් 8500ක් පමණ ආනයන කළ සමාගම්වලට මේ බදු නිසා අමතර ලාභයක් හිමිවී තිබෙනවා. 2023 ඔක්තෝබර් 30 වැනිදා සීනි මෙට්‍රික් ටොන් 520ක තොගයක් පිරමීඩ් විල්මා සමාගම ශත 25 බදු ගෙවා නිදහස් කරගෙන තිබෙනවා. කලින් විශාල වාසියක් ගත්තෙත් මේ සමාගම. මේ සීනි තොගය නොවැම්බර් 01දා නිදහස් කරගත් වහාම දෙවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50/-ක බද්ද පනවනවා. අද අපි කඩයට සීනි ගන්න ගියවිට අපට කිලෝ එකක් දෙන්නේ ශත 25 බද්දට නොවෙයි, රුපියල් 50/- බද්ද එකතු කළ සීනි මිලටයි. මේ ක්‍රියාවලිය කූඨ ලෙස සිදුවුණු බව හරිම පැහැදිලියි. මේ සීනි තොගයෙන් විතරක් ආසන්න වශයෙන් රුපියල් මිලියන 25ක අමතර ලාභයක් ලැබෙනවා. මේ වගේ කුමන්ත්‍රණවලින් රජයට අහිමිවන බදු ගැන වඩාත් හොඳින් තේරුම් ගන්න එදා රාජපක්ෂලා සීනි බදු සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය ගැන විගණාකාධිපති වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කරන්නම්. රජයේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර තිබෙන්නේ “සුදු සීනිවලට කැප කළ බදු” කියලයි. රාජපක්ෂලා එදා පිරමිඩ් විල්මා ආයතනයට කැප කළ බදු වගේම රනිල් වික්‍රමසිංහ මෙදා කැපකර තිබෙනවා. මේ වාර්තාවෙන් විගණකාධිපතිවරයා හෙළිකර තිබෙන්නේ රජයට ලබාගත හැකිව තිබූ රුපියල් මිලියන දහසය දහස් හත්සිය හැටතුනක බදු ආදායමක් 2020 ඔක්තෝබර් 17 වන දින සිට 2021 පෙබරවාරි 28 දක්වා අහිමි කරගෙන ඇති බවයි. මේ ක්‍රියාවලිය නිසා රුපියල් කෝටි එක්දහස් හයසිය හැත්තෑවක බදු ආදායම අහිමි වීමට අමතරව තවත් ආදායම් අහිමිවීම ගැන ලැයිස්තුවක් විගණකාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙනවා. සතොසට සීනි අලෙවියෙන් මිලියන 102ක්, ආනයන දඩ ගාස්තු අඩු කිරීමෙන් මිලියන 433ක්, බලපත්‍ර නොගෙන ආනයන කිරීමෙන් මිලියන 283ක් ආනයන පාලක බලපත්‍ර ගාස්තු අහිමිවීමෙන් මිලියන 203ක් රේගු ගාස්තු මිලියන 267ක් වශයෙන් අමතර ආදායම් අහිමි වී තිබෙනවා. මේ ආදායම් ගජ මිතුරු සමාගම් අතරේ ලාභ වශයෙන් බෙදී යන්න සීනි මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑ හත්දහස් හත්සිය පහළොවක් ආනයනය කර තිබුණා. මේ තොගයෙන් 45%ක් ගෙනත් තිබෙන්නේ පිරමීඩ් විල්මා සමාගමෙන්. විල්මා සමාගමට විතරක් කෝටි 622ක අමතර ලාභයක් ලබාදී තිබෙනවා. තවත් සමාගම් නවයක් අතරේ ඉතිරි කෝටි දහස බෙදී ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි අධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
පාරිභෝගික අධිකාරියෙන් සුදු සීනි උපරිම සිල්ලර මිල කිලෝ එකක් රුපියල් 275/-ක් බවත් දුඹුරු සීනි කිලෝ එකක් රුපියල් 330/-ක් බවත් සඳහන් ගැසට් එකක් ගැහුවා. මේ ගැසට් අනුව සීනි විකුණුවත් අමතර විශාල ලාභයක් වංචාව නීත්‍යානුකූල කිරීමෙන් සමාගම්වලට ලබාදී තිබෙනවා. වෙළඳපොලේ දැන් රුපියල් 360/-ටත් සීනි විකුණනවා. ආණ්ඩුව කියන උපරිම මිලක් තේ බොන, කහට බොන මිනිසුන්ට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සීනි පාවිච්චි කර නිෂ්පාදනය කරන සියලුම කෑම වර්ගවල මිල වැඩිවෙනවා. හදිසියේ මේ බදු පනවන්න හේතු වුණේ ඔක්තෝබර් මාසයේ මහා සීනි තොගයක් ගෙනත් ලංකාවේ ජනතාව කූඹි කාලා මැරෙන තත්වයට පත්වුණාද? එහෙම නැත්නම් මේ බදු වැඩිකරන්න හේතු වුණු කාරණය වෙළෙඳ ඇමතිවරයා රටට කියන්න ඕනෑ. ඊළඟට එන්න තිබෙන ඡන්දවලදී පිරමිඩ් විල්මා එක රනිල් වික්‍රමසිංහට සල්ලි විසිකරන්නද මේ හදන්නේ? වෙළෙඳපොළට එන්නත් කලින් සීනි මෙට්‍රික් ටොන් 520කින් රුපියල් මිලියන 25ක ලාභයක් එක සමාගමකට ලබාදුන් සූදුවක් මේ තිබෙන්නේ. මේ සූදුව නවත්වන්න ඕනෑ. මීට පෙර ඒ ජාවාරම්කරුවන්ම රජයට අහිමිකර තිබෙන බදු මුදල් ප්‍රමාණය විගණකාධිපතිවරයා හෙළිකර තිබියදීත් නැවත ඔවුන්ටම සීනි බදු වැඩිකිරීමෙන් වාසි ගන්න ඉඩ හදාදී තිබෙන බව ජනතාවට අවධාරණය කරනවා. හැම දෙයින්ම මග හැර යන ආණ්ඩුවේ වෙළෙඳ ඇමතිවරයාව ප්‍රශ්න කරන්න කියලා අපි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. බද්ද පනවන බව දැනගෙන තොරතුරු එළියට ගියේ කොහොමද කියලත් ප්‍රශ්න කරන්න. මේ බද්ද පනවා තිබෙන්නේ ජනතාවට හෝ රජයට වාසි ගන්න නොවෙයි.
“පීඩනය දරාගත නොහැකිව ප්‍රතික්‍රියා දක්වන විට “බුන්වත් ආඥාදායකත්වය” කරා යන්න උත්සාහ කරනවාද කියන බලවත් සැකයක් අපට මතුවෙනවා.” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු-
මේ මොහොතේ රටත් ජනතාවත් කෙතරම් ගැඹුරු ප්‍රශ්න ගණනාවක් එක්ක පොර බදමින් ඉන්නවාදැයි සියලු දෙනාම දන්නවා. ප්‍රශ්නවලින් ජනතාව මුදා ගන්නා බව කියා බලය ගත් ආණ්ඩුව අද සාමාන්‍ය ජනතාවට තව තවත් විශාල පීඩනයක් එල්ල කරමින් තිබෙන්නේ. විශේෂයෙන්ම 2024 වර්ෂයට අදාළ අයවැය එන්නත් කලින් මේ බදු පැනවීම් කරනවා. එකතු කළ අගය මත බදු (වැට්) 18% දක්වා වැඩිකර තිබෙන්නේ සීනි බදුවලට අමතරවයි. වක්‍ර බදු වැඩිකිරීමෙන් සිදුවෙන්නේ සාමාන්‍ය ජනතාව අත තිබෙන මුදල්වලින් ලබාගත හැකි භාණ්ඩ ප්‍රමාණය වේගයෙන් පහත වැටීමයි. ඉන්ධන, විදුලි ගාස්තු, ගෑස්, මිල වැඩිකරමින් යන පසුබිමක වැට් බද්දත් නැවත වටයකින් වැඩිකරනවා. මේ අතර දුම්කොළ සහ දුම්වැටි මගින් අයකර ගත හැකිව තිබූ බිලියන 113ක බදු අයකර නොගෙන පෝර්ට් සිටි වැනි විශේෂ තැන්වලින් වගේම තෝරා ගත් අදානි වැනි විදේශ ජාවාරම්කරුවන්ට බදු සහන ලබාදෙන්නත් සැලසුම්කර තිබෙනවා. මෙවැනි තත්වයක් අයවැයකට කලින් ක්‍රියාත්මක කරන්නේ ඇයි? අයි.එම්.එෆ්. එකෙන් ඊළඟ ණය වාරිකය ලබාගන්න අවශ්‍ය කොන්දේසි ඉටුකිරීමයි මේ සිදුකරන්නේ. ඔවුන්ගේ කොන්දේසි අතර, ප්‍රමුඛ වී තිබෙන්නේ ආණ්ඩුවේ බදු ආදායම් වැඩිකර ගන්න ක්‍රියාමාර්ග ගැනීමයි. ඒ වගේම රජය සතු සම්පත් විකිණීමට බල කිරීමයි. අයි.එම්.එෆ්. නියෝග අනුව ඉලක්ක බදු ආදායමෙන් 15%ක් සැප්තැම්බර් අවසන් වන විට අයකර ගෙන නැහැ. මේ අවුරුද්දේදී ඒ බදු අයකර ගන්න මහජනයා මත පැටවීමයි මේ සිදුකරන්නේ.
මූල්‍ය අරමුදලෙන්ම ඉදිරිපත් කර තිබෙන ලෝකයේ රටවල්වල බදු අයකර ගැනීම පිළිබඳ විස්තරයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීම අවශ්‍යයි. ලෝකයේ රටවල්වල ඒ ඒ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 25%කට වැඩි ප්‍රමාණයක් ඒ ඒ ආණ්ඩු විසින් බදු ලෙස අයකර ගෙන තිබෙනවා. මහජනතාවට අවශ්‍ය පොදු පහසුකම් ලබාදිය හැක්කේ මෙවැනි බදු ප්‍රමාණයක් අයකර ගැනීමෙන්. ආසියානු කලාපය සමස්තයක් ලෙස ගත්තත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් විතර බදු අය කළත් ලංකාවේ ඒ ප්‍රමාණය 10%ටත් වඩා අඩුයි. නමුත් ආසියාකරයේ වැඩිම වක්‍ර බදු ප්‍රතිශතය පවතින්නේ ලංකාවේ. ඒ වගේම ආදායම් බදු අයකරන ප්‍රමාණයත් 36% දක්වා ඉහළ දමා තිබෙනවා. වක්‍ර බදු සහ ආදායම් බදු ඉහළම ප්‍රතිශතයක් අයකර, දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කටත් අඩු ප්‍රමාණයක් රජයේ බදු ලෙස අයකර ගෙන තිබෙන්නේ සියලු පීඩනය පොදු මහජනතාව වෙත හෙළීමෙන්. නමුත් ඔවුන්ගේ ගජ මිතුරු ජාවාරම්කරුවන්ට බදු දැළෙන් පළා යන්න ඉඩදී තිබෙනවා. මෙහි අවසන් ප්‍රතිඵලය මහජනතාව තව තවත් පීඩනයට පත්වීමයි. එක පැත්තකින් මහජනතාවගේ ජීවිතය අඩපණ වීම සිදුවෙන අතර, අනෙක් පැත්තෙන් රටේ සංවර්ධන ක්‍රියාවලිය අඩපණ වෙන්නත් මේ බදු බලපා තිබෙනවා. සමස්ත ඉල්ලුම අඩු වූ විට ආර්ථික වර්ධන ක්‍රියාවලියකට අනුබල සැපයෙන්නේ නැහැ. ආණ්ඩුව කතාකරන දේවල් සහ ක්‍රියාකරන ආකාරයේ පරස්පරතාවයක් පවතිනවා. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඉතා අමාරුවෙන් ගෙන යන නිෂ්පාදනවලටත් වෙළෙඳපොලේ ඉල්ලුමත් නැති වෙනවා. අවසානයේ සියලු දෙයින්ම වාසි අත්වෙන්නේ චෞර කණ්ඩායමකට විතරයි. ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදිහට මේ මොහොතේ අපට කළ හැකිව තිබෙන්නේ අදාළ කරුණු මහජනතාවට පැහැදිලි කර දීම විතරයි. ආණ්ඩුවේ දූෂිත සහ වැරදි ක්‍රියාමාර්ගවලට විරුද්ධ වීම විතරයි මේ වෙලාවේ කළ හැකි වෙන්නේ. ඊට අමතරව විශේෂයෙන්ම කළ යුතු වන්නේ අදූෂිත පාලනයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය ජනතාවට පැහැදිලි කර දීමයි. ජනතාවට තවදුරටත් පීඩනය දරාගත නොහැකිව ප්‍රතික්‍රියා දක්වන විට “බුන්වත් ආඥාදායකත්වය” කරා යන්න උත්සාහ කරනවාද කියන බලවත් සැකයක් අපට මතුවෙනවා. දැනටමත් මේ ලෙස බදු පනවමින් ඉදිරි අයවැයේදිත් තවත් පීඩනයන් එල්ලකර බුන්වත් ආඥාදායකත්වයකට පාර කපාගෙන ජනතාව මර්දනය කරන්න උත්සාහ කරනවාද? 2024 වර්ෂයට ඉදිරිපත් කර තිබෙන වැය ශීර්ෂ අනුව වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර තිබෙන්නේ මහජනතාවගේ පොදු පහසුකම්වලට අදාළ වියදම්වලට නොවෙයි. ඒ වියදම් කපමින් ජනාධිපතිවරයා සහ ඔවුන් වටේ ඉන්න කණ්ඩායම්වලටත් ආරක්ෂක අංශවලටත් කරන වියදම් වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. දැනට පනවා තිබෙන බදුබර පමණක් නොවෙයි, අයවැය මගින් ඉදිරියේදී තවත් විශාල වශයෙන් වක්‍ර බදු අයකර ගැනීමේ අනතුරක් තිබෙන බවට අපි අවධාරනය කරනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් වී සංවිධානය වීමේ අවශ්‍යතාවය අවධාරණය කරනවා.
මාධ්‍යවේදීන නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්….
ප්‍රශ්නය:- ක්‍රීඩාවෙන් අපේ රටට සල්ලි සොයන්න බැරිද?
පිළිතුර:- පුළුවන්. යුරෝවලින්, ඩොලර්වලින්, මුදල් උපයන්න පුළුවන්. ක්‍රීඩා කණ්ඩායම්වලට විතරක් නොවෙයි, දැන්වීම්වලිනුත් මුදල් උපයන්න පුළුවන්. නමුත් අද විශේෂයෙන්ම කතා කරන්නේ ක්‍රිකට් ගැන. ක්‍රිකට් පාලක මණ්ඩලය නොකළේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ කටයුතු සිදු නොකිරීම පමණයි. ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ පෞද්ගලික ගිණුම්වලට සල්ලි ගිය බව හෙළිවී තිබෙනවා. ඒ නිසයි කිහිපදෙනෙකුගේ පෞද්ගලික බූදලයක් බවට ක්‍රිකට් පාලක මණ්ඩලය පත්කර ගෙන තිබෙන්නේ. මණ්ඩලය ඇතුලේ විශාල තරගයක් තිබෙන්නේ රටට එන ආදායම බෙදාහදා ගන්නයි.
ප්‍රශ්නය :- අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් අතුරු පාලක මණ්ඩලයක් පත්කර තිබෙනවා. පවතින ගැටලුවලට විසඳුම් දෙන්න ඒ මණ්ඩලයට හැකිවේවිද?
පිළිතුර:- මට ඒ ගැන හරියට දැන්ම පිළිතුරක් දෙන්න බැහැ. හේතුව ඒ මණ්ඩලය පත්කර, තවම දවසයි ගතවී තිබෙන්නේ. හැබැයි මෙහෙම කියන්න පුළුවන්. කවුරු පත්වුණත් වෙන ගැහිලි නැතිව ක්‍රිකට් ගහනවා නම්, අපේ රටේ ක්‍රිකට් හදන්න පුළුවන්. මේ ක්‍රීඩාව ජනතාවගේ ඇඟේ තිබෙනවා. බඩු මිලෙන්, බදු බරෙන් මේ තරම් පීඩාවට පත්වී සිටින ජනතාව ක්‍රිකට් ගැන කලකිරීමට පත්වී සිටින්නේ ඒ නිසයි. ක්‍රිකට් පරාද වීමෙන් වේදනාවට පත්වී සිටින්නේ ඊට ආදරයක් තිබෙන නිසයි.