Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“පාරිභෝගික භාණ්ඩ මිල වැඩිවීමට වඩා භයානක ලෙස කර්මාන්ත කඩා වැටීමට ‘වැට්’ ඉහළ දැමීම හේතුවෙනවා…” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ-

-Colombo, December 21, 2023-

අත්තනෝමතික බදු පැනවීම් තුළින් අපේ රටේ ආර්ථිකයටත් ජනතාවටත් ඉදිරියේදී සිදුවන බලපෑම් පිළිබඳව දැනුවත් කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. වැට් බද්ද කියන්නේ පාරිභෝගිකයා මත අවසානයේ බර පැටවෙන බද්දක් නිසා යුක්තිය පැත්තෙන් ගත්තත් සමාජය අයුක්තිය වැඩිවීමට තවදුරටත් බදු වැඩිවීම විශාල හේතුවක් වෙනවා. දුප්පත්ම ජනතාවට ඉතාමත් ඉහළ ප්‍රමාණයකින් මේ බද්ද බලපානවා. ඔවුන්ගේ පරිභෝජනය අනිවාර්යයෙන්ම අඩු වෙනවා. මෙතෙක් වැට් බදුවලට යටත් නොවූ භාණ්ඩ මත බදු පැනවීම, බදු අනුපාතය ඉහළ දැමීම නිසාත් මේ වන විටත් අසීමිත පීඩනයකට පත්වී සිටින ජනතාවගේ ජීවිත මුළුමනින්ම කඩා වැටෙනවා. බොහෝ විට භාණ්ඩ මිල වැඩවීම කෙරෙහි වැට් බදු වැඩිකිරීම බලපාන බව කල්පනා කරද්දී එහි දරුණුම බලපැම සිදුවන්නේ නිෂ්පාදන කර්මාන්ත සහ ව්‍යාපාර බිඳවැටීමට හේතුවීමයි. මගේ විශේෂ අවධානය කර්මාන්තවලට සිදුවන බලපෑම ගැන යොමු කරනවා.

අද වන විටත් 50%කින් පමණ ඉල්ලුම බිඳ වැටීම නිසා ව්‍යාපාර ඉතාමත්ම අපහසුවෙන් පවත්වාගෙන යන්නේ. වැට් නිසා සමස්ත ඉල්ලුම තවදුරටත් බිඳ වැටුණාම කර්මාන්ත සහ ව්‍යාපාර වසා දැමීම දක්වා ආයෝජකයන් තල්ලු විය හැකියි. වක්‍ර බදු වැඩිවීම තුළ ඉතුරුම් අඩුවී ප්‍රාග්ධනය ලෙස යෙදවිය හැකි මුදල් තවදුරටත් සීමා වෙනවා. මෙය අපනයන කර්මාන්තකරුවන්ට සහ දේශීය කර්මාන්තකරුවන්ට සුවිශේසී බලපෑමක් සිදුකරනවා. අපේ රටට ආයෝජකයන් නොපැමිණෙන්නෙත් ප්‍රතිපත්තිමය නොවන බදු පැනවීම නිසයි. ප්‍රමුඛතා කර්මාන්ත පිළිබඳව සැලකිල්ලක් නොදක්වා බදු පැනවීම සහ වෙනස් කිරීම නිසා ආයෝජකයන්ට තීරණ ගැනීම නොහැකි වෙනවා. උදාහරණයක් ලෙස ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීම ගැන කතා කරමින් මෙරට කිරි කර්මාන්තකරුවන් මත අලුතින් බදු පනවා තිබෙනවා. ඒ වගේම අයි.ටී. කර්මාන්තයටත් මේ ආකාරයටම සිදුකරනවා. දැනට සිටින ආයෝජකයන් පළා යන්නත් අලුත් ආයෝජකයන් නොපැමිණෙන්නත් බදු ප්‍රතිපත්තියක් නැතිකම හේතු වෙනවා. අයි.ටී. කර්මාන්තයට 30%ක බද්දක් පනවා එහි නියැලී සිටින පුද්ගලයින් මත ඉතා ඉහළ උපයන විට ගෙවිමේ බද්දක් පැනවූවා. මේ නිසා ඒ කර්මාන්තයට තිබුණු ප්‍රමුඛතාවය අහිමි වී අඩාලවන අතර, නව වැට් බදු සහ මේ කර්මාන්තයට අවශ්‍ය උපාංග මිල ඉහළ යාමෙන් තවදුරටත් බිඳ වැටීම් සිදුවෙනවා. වෙනත් කර්මාන්ත කඩා වැටීමෙන් රැකියා අහිමි වූ අයට ස්වයං රැකියාවක් ලෙස යෙදිය හැකිව තිබූ අයි.ටී. ක්ෂේත්‍රයත් මේ ලෙස බිඳවැටීමට මුල පුරා තිබෙනවා.

තව පැත්තකින් ලංකාවේ තේ කර්මාන්තය පොහොර ප්‍රශ්නය නිසා 23%කින් බිඳ වැටී අද වන විට තවදුරටත් ඵලදායීතාවය පහත වැටෙමින් තිබියෙදී දේශීය නිෂ්පාදනය මත වැට් බදු පනවා තිබෙනවා. ඒ වගේම තේ කර්මාන්තය සඳහා යෙදවුම් මත වැට් බදු පනවා තිබෙනවා. මේ නිසා තේ කර්මාන්තකරුවා කබලෙන් ලිපට වැටෙනවා. රබර් කර්මාන්තයට සිදුවී තිබෙන්නෙත් ඩොලර් මිලියන 900ක පමණ තිබූ අපනයන ආදායම අර්බුද ගණනාවක් නිසා, බිඳ වැටෙමින් පවතිනවා. මේ වන විටත් 25%කින් රබර් අපනයන ආදායම අඩුවී තිබෙන පසුබිමක නව ආයෝජකයන් පැමිණෙන්නේ නැහැ. වෙනත් කෘෂි අපනයන ආදායම් ඉහළ යාමක් පොදුවේ පසුගිය වසර හයක පමණ කාලය තුළ තිබුණා. නමුත් යෙදවුම් පිරිවැය ඉහළ යාමෙන් මේ සියලු ක්ෂේත්‍ර බිඳවැටීමට හේතු වෙනවා. ආණ්ඩුව මේ ගෙනයන අනුවණ ක්‍රියාවලිය ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ සහ අමතර කොටස් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයට ද බලපානවා. මේ වන විට එයින් උපයා ගන්නා ඩොලර් මිලියන 200ක පමණ විදේශ විනිමය ප්‍රමාණය අහිමිවී යනවා. ලංකාවේ එකලස් කරන ට්‍රක් රථයක් රුපියල් ලක්ෂ හයකින් පමණ මිල වැඩිවෙනවා. ලංකාවේ ඉලෙක්ට්‍රෝනික් උපකරණ සඳහා තිබෙන ඉල්ලුමද අඩුවීමට නව බදු හේතු වෙනවා. මේ විදිහට ගත්තාම දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය කිරීමට හෝ බිඳවැටීමට හේතු වෙන බදු ක්‍රියාවලියකට ආණ්ඩුව යොමු වී සිටිනවා. දේශීය කර්මාන්ත සහ අපනයනවලට නව බදු වැඩි කිරීම් බලපාන ආකාරය සාරාංශ වශයෙන් මේ ආකාරයෙන් දැක්විය හැකියි.

බලය පවත්වාගැනීම වෙනුවෙන් පමණක් ආණ්ඩුව ගන්නා තීරණ නිසා ජන ජීවිතයත් සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවත් තවත් අර්බුදයට යනවා…”
-ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත

නව වැට් බදු පැනවීමෙන් ආර්ථිකයට සහ සමාජයට ඇතිවන මූලික ගැටලු පිළිබඳව අප පෙන්වා දෙන්නේ බදු පැනවීමේදී රට සහ ජනතාව ඇතුළු සමස්තය ගැන කල්පනා කර, දිගුකාලීනව තීරණය කළ යුතු දෙයක් නිසයි. නමුත් දැන් කරමින් සිටින්නේ ආණ්ඩුවේ බලය පවත්වාගෙන යාම ගැන පමණක් කල්පනා කර, අනුගමනය කරන ක්‍රියාමාර්ග නිසා රටටත් මහජනතාවටත් විශාල අනර්ථකාරී බලපෑම් ඇතිවෙනවා. වැට් බද්ද පනවන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය මත. දැන් රුපියල් සියයකට මිලදී ගන්නා භාණ්ඩයක් මත අලුතින් පනවන 18%ක වැට් බද්ද සම්පූර්ණයෙන් ගෙවන්නේ පාරිභෝගිකයන්. භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදා හැරීම කියන ක්‍රියාවලියේදී තැනින් තැනින් වැට් බදු එකතු වීම් සිදුවෙනවා. ලෝකයේ වක්‍ර බදු ගැන සලකා බැලුවත් විශාල බදු පනවා තිබෙන දියුණුයි කියන රටවල පවා 15% ඉක්මවූ භාණ්ඩ හා සේවා මත බදු අතිශය දුෂ්කරවන බව පිළිගෙන තිබෙනවා. අපේ රටේ මෙවැනි වක්‍ර බදු කිහිපයක්ම වැට් බද්දට අමතරව පාරිභෝගිකයා මත පැටවී තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයාගේ පැත්තෙන් වැට් බද්දට යටත් කෙරෙන සීමාව මුලදීම රුපියල් මිලියන 300ක වාර්ෂික පිරිවැයක් ලෙස හඳුන්වා දී තිබුණා. පසුව එය රුපියල් මිලියන 80 දක්වාද නව යෝජනා අනුව රුපියල් මිලියන 60 දක්වාද පහත දමා තිබෙනවා. මාසයකට රුපියල් ලක්ෂ 50ක පමණ වෙළඳාමක් තිබෙනවා නම්, ඒ ව්‍යාපාර පවා වැට් සීමාවට යටත් වෙනවා.

ඒ වගේම වැට් අයකරන භාණ්ඩ ලැයිස්තුව තවදුරටත් ඉහළ නංවා වැට් බදු අයකරන ව්‍යාපාරික ආදායම් සීමාව තවදුරටත් පහළ ගෙනවිත් තිබෙනවා. දැනටත් අපි ඉන්න හැකිළුණු ආදායම් අඩු, ජීවත්වීමට මිනිස්සු අරගල කරන තත්වයක් තුළ නව වැට් බදු නිසා වියදම් කළ හැකි ආදායම තවදුරටත් පහත වැටෙනවා. මේ නිසා ඉල්ලුම අඩු වෙනවා. දැනටත් යම් නිෂාපාදනය කරන කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන වෙළඳපොලේදී විකුණාගත නොහැකි තත්වයට ඇද වැටෙනවා. මෙය දිගුකාලීන වශයෙන් ආර්ථිකය තවදුරටත් හිරවීමකට හේතු වෙනවා. මේ වන විට ඉල්ලුම අඩුවීම නිසා උද්ධමනය අඩුවීමේ තත්වයක් පැවතුනත් නව වැට් බදු නිසා භාණ්ඩ හා සේවාවල මිල තවදුරටත් ඉහළ ගොස් ඉල්ලුම තවදුරටත් පහත යාමේ තත්වය තුළ පවා උද්ධමනය වැඩිවෙනවා. වැට් බදු පනවන්නේ නිසි තාක්ෂණික ඇගයීමකින් සහ එම බදු අයකර ගැනීමේ නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමෙන් නොවෙයි. වෙළඳපොළ තුළ විකෘතියක් නිර්මාණය වී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට පනවා තිබෙන බදු අයකර ගත නොහැකි වෙනවා. නමුත් මහා පරිමාණ කර්මාන්තකරුවාට අමතර වාසි අත්වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් පළවා හැරීමට හිතාමතාම මෙම ක්‍රියාවලිය අනුගමනය කරනවා දැයි සැකයකුත් මතු වෙනවා.

වැට් බදු වැඩිකළ ආකාරය අනුව බදු වංචා සහ දූෂණවලටත් විශාල ඉඩකඩක් නිර්මාණය වෙලා තිබෙනවා. 2002-2004 කාලයේ මහා බදු වංචාවේ අත්දැකීම් රටට තිබෙනවා. නඩුවක් පවා විභාග වුණා. අවුරුදු 20කට පස්සේ ඒ වරදකරුවන්ට දැන් සති කිහිපයකට පෙර දඬුවම් නියම කළා. වෙළඳපොළේ ඇති වෙන ගැටලුවලට අමතරව මේ වගේ බදු වංචා සහ දූෂණ කෙරෙහිත් විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට මේ බදු පැනවීමෙන් සිදුවෙන බලපෑම කෙටියෙන් පැහැදිලි කරන්නම්. අධ්‍යාපන සේවා සැපයීම සඳහා වැට් බදු අය නොකරන බවට නිදහස් ලැයිස්තුවේ සඳහන් වෙනවා. නමුත් අධ්‍යාපන ක්‍රියාවලිය තුළ සපුරා ගත යුතු පොත්පත් ලිපිද්‍රව්‍ය ඇතුළු බඩු භාණ්ඩ වගේම පුස්තකාල සේවා වැනි සේවාත් අවශ්‍යයි. මේ භාණ්ඩ හා සේවා මත 18%ක වැට් බදු අලුතින් අය කෙරෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවල සිදුකරන පර්යේෂණ කටයුතු රටක සංවර්ධනය වෙනුවෙන් අවශ්‍යයි. නමුත් ඒ මතත් 18%ක වැට් බද්ද පැනවෙනවා. මේ නිසා අධ්‍යාපනයේ ඉහළ ගුණත්වයක් නිර්මාණය කර ගැනීමට තිබෙන සේවා සහ උපකරණ මත අලුතින් බදු පැනවෙනවා. අද ජංගම දුරකථනය සංනිවේදන උපකරණයට වඩා අධ්‍යාපන සේවා උපකරණයක් හැටියට පාවිච්චි කරනවා. පාසැල් දරුවන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට බදු වැඩිවීම නිසා ඔවුන්ට බඩගින්නේ ඉන්න සිදුවෙලා. දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිරි පැකට් එකට පවා අලුතින් බදු පැනවෙනවා. මේ ආකාරයට මහජනතාව මත සියලු අංශවලින් නව පීඩනයක් ඇති කරන බදු කෙරෙහි ජනතාව මොන ආකාරයෙන් ප්‍රතිචාර දක්වයිද දන්නේ නැහැ. කෙක්කෙන් හරි කොක්කෙන් හරි මේ බදු අයකරගෙන මූල්‍ය අරමුදලේ ඊළඟ ණය වාරිකය ලබා ගැනීම ආණ්ඩුවේ මූලික අරමුණයි. නමුත් අයවැය ඇස්තමේන්තුවල තිබෙන බදු අයකර ගත නොහැකි බව දත්තවලින් තහවුරු වී තිබෙනවා. සියලු ව්‍යසනයන්ට වගකිව යුතු කණ්ඩායම බලයේ ඉඳිමින් තව තවත් සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කර රටේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ දැමීමේ ක්‍රියාමාර්ග අපි සියලු දෙනා මැදිහත් වී අවසන් කළ යුතු වෙනවා.

18%ක වැට් බද්ද වෙළඳපොල විකෘතියක් හදනවා. ආණ්ඩුවේ අර්බුදය සම්පූර්ණයෙන් ජනතාව පිටින් යවනවා…”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති

නත්තලත් ඇවිත් නව අවුරුද්දක් ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ ජනතාව කබලෙනුත් ලිපට වැටිලා ගිනි ඇවිලෙමින් තිබියෙදීයි. උත්සව සමයේ භාණ්ඩ මිල ඉහළ යාමේ සාමාන්‍ය තත්වය ඉක්මවා බඩු මිල ඉහළ යමින් තිබෙනවා. ඊට හේතුව ආණ්ඩුවේ අර්බුදය ජනතාව මත පටවා තිබීමයි. 2024 අවුරුද්දේ ආණ්ඩුවේ ආදායමෙන් භාණ්ඩ හා සේවා මත පනවා තිබෙන බදුවලින් රුපියල් බිලියන 2215ක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙනවා. 2023ට වඩා බිලියන 859ක වැඩිවීමක්. වැට් බදු වැඩිවීම 105%ක්. 2023දී බලාපොරොත්තු වූ බිලියන 680ක වැට් බද්ද 2024දී බිලියන 1400ක් වෙනවා. මෙතෙක් නිදහස් කර තිබුණු වැට් බදු නිදහස් භාණ්ඩ ලැයිස්තුව තවදුරටත් පටුකර ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරනවා. නමුත් මේ බදු අයකර ගන්නා ආකාරය බදු ගෙවන ජනතාව, ව්‍යාපාර හෝ බදු අයකර ගන්නා දෙපාර්තමේන්තුව වත් දන්නේ නැහැ. සමහර ව්‍යාපාරිකයන් දැනටමත් වැට් බදු අයකර ගන්න පටන්ගෙන තිබෙන නිසා භාණ්ඩ මිල වැඩිවෙලා.

ජනවාරි පළමුවෙනිදාට දවස් නවයක් තිබියදී බදු අයකර ගන්නා ක්‍රමය ගැන නිරවුල් වැඩපිළිවෙළක් තාමත් ඉදිරිපත් කර නැහැ. උදාහරණයක් ලෙස ඉන්ධනවලට අලුතින් වැට් බදු අය කළත් වරායෙන් ගොඩබාන මිලට අය කරනවාද, රේගු ගාස්තු ඇතුළු අනෙකුත් බදු අය කළ පසුව ඒ මත වැට් බද්ද අයකරනවාද, යන්න කවුරුත් දන්නේ නැහැ. උදාහරණයක් හැටියට රුපියල් 1000/-ක් වන භාණ්ඩයකට 18%ක වැට් බදු අය කරනවා නම්, මිල රුපියල් 1180/-ක් වෙනවා. නමුත් රුපියල් 1000/- මිලට 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද අයකිරීමෙන් පසුව වැට් බද්ද අයකරනවා නම්, ඒ භාණ්ඩයේ මිල රුපියල් 1209/-ක් වෙනවා. මන්ද රුපියල් 1025/-ක් මත වැට් බද්ද අය කිරීම සිදුවෙනවා. මේ නිසා ඇත්තටම වැට් බද්ද 18% වුණත් ක්‍රියාත්මක වීමේදී 18.45%ක් බවට පත්වෙනවා.

පනවන බද්ද ගැන විග්‍රහ කර නැති නිසා බදු ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළ බදු ඉහළ යාමක් සිදුවෙනවා. ආණ්ඩුව උපයා ගැනීමට ඉලක්ක කර තිබෙන ආදායම් රුපියල් කෝටි එක් ලක්ෂ හතළිස් දහස දක්වා කෙසේ හෝ අයකර ගැනීමට ක්‍රියා කරාවි. නමුත් ජනතාවට මොකද වෙන්නේ? ඔවුන්ගේ ආදායම් වැඩිවී නැහැ. හමුදා පොලීසි ඇතුළු මාසික පඩි ගන්නා රජයේ සේවකයන් නන්නත්තාර වී ඉන්නේ. ලූණු කෑවාද? දැන් සැපද? කියලා ඇහුව මහින්ද රාජපක්ෂලා පාර්ලිමේන්තුවේදී අත උස්සා අයවැය සහ බදු සංශෝධන අනුමත කළා. දැන් එළියට ඇවිත් වැට් බද්දට විරුද්ධ බව ප්‍රකාශ කරනවා. ජනතාවට කියන කතාවලට වඩා පාර්ලිමේන්තුව ඇතුලේ බලය රැකගන්න ඔවුන් එකට එක්වී ක්‍රියාකරනවා. වැල් පොලිය වගේ 18%ක වැට් බද්ද වැල් බද්දක් වෙලා තිබෙනවා. මෙය ඉතා බරපතළ පීඩාකාරී දෙයක්. තමන්ට දැන් පැනවෙන බද්ද මොකක්ද කියලා වත් ජනතාව දන්නේ නැහැ. බදු ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ බරපතළ විකෘති සහගත තත්වයෙන්. 2002 සම්මත කළ වැට් බදු පනතින් නිදහස්කර තිබූ භාණ්ඩ ලැයිස්තුව තුළින් නව බදු පනවන ලැයිස්තුවක් හදාගෙන තිබෙනවා. නව බදු පනවන ලැයිස්තුව ජනතාවට පැහැදිලි වෙන සරල ආකාරයට කියන්නේ නැහැ. “වෘද්ධ සේවාවන් සහ ළමා සත්කාර සේවාවන්” වැට් බද්දෙන් නිදහස් බව සඳහන් වෙනවා. ඔවුන් අර්ථ නිරූපණය කරන සීමාවට පිටින් තිබෙන මෙයට අදාළ සියල්ලටම බදු ගහනවා. අධ්‍යාපනයේ එක කොටසක් නිදහස් කරන බව කීවත් ඊට අදාළ අනෙක් බොහෝ දේවල්වලට වැට් බදු ගහනවා. මේ නිසා ව්‍යාපාරිකයෝ සහ ඊටත් වඩා ජනතාව අර්බුදයට යනවා.
බදු ගෙවිය යුත්තේ මොනවාටද යන්න දැන ගැනීමේ ශුද්ධ වූ අයිතියක් මේ රටේ ජනතාවට තිබෙනවා. රජයක් පවත්වාගෙන යන්න බදු අවශ්‍ය වුණත් මෙතන වැල් බද්දක් පනවා තිබෙනවා. විදුලි බිලටත් මේ ආකාරයෙන්මයි. විදුලි බිලට ඒකක ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව එකතු කිරීමෙන් වැට් බද්ද අයකරනවාද යන්න පැහැදිලි නැහැ. ඉන්ධනවලටත් ඒ වගේමයි. ශල්‍ය උපකරණවලටත් ඒ වගේමයි. හිතාමතාම බදු විකෘති කර, වෙළඳපොළ, කර්මාන්ත සහ ජනතාව ව්‍යාකූල කිරීමට ආණ්ඩුව ගෙනයන මෙහෙයුමක් මේක.

උදාහරණයක් හැටියට වෙළඳ හා පාරිභෝගික ඇමති නලින් ප්‍රනාන්දු දෙසැම්බර් 14වැනිදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් කීරි සම්බා මෙට්්‍රක් ටොන් පනස්දහසක් ආනයනය කිරීමට සැරසෙනවා. පෞද්ගලික අංශයේ තෝරා ගත් ආනයනකරුවන් හට මේ සහල් ආනයනය කරන්න කැබිනට් මණ්ඩල අනුමැතිය ගෙන තිබෙනවා. නමුත් කැබිනට් සංදේශයේ ඇතුළත් කර තිබෙන “එසේම සහල් සඳහා ඉන්දියාවේද අපනයන බද්දක් අයකරන බැවින් සහ සහල් සඳහා දැනටමත් පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් පනවනු ලැබුව හොත් උපරිම සිල්ලර මිලට ආනයනික සහල් නිකුත් කළ නොහැකි බවට නිරීක්ෂණය විය” යනුවෙන් සඳහන් කර තිබෙනවා. උපරිම මිල පනවා තිබුණාට වැඩක් නැති බව ඇමතිවරයාම පිළිගන්නවා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද නිසා උපරිම මිලට වඩා සහල් මිල වැඩිවෙන බව තහවුරු කර තිබෙනවා. මේ නිසා දැනට පනවා තිබෙන ආනයනික සහල් මත රුපියල් 65ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් එක දක්වා අඩුකරන ලෙස වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. රුපියල් 65ක මේ බද්දෙන් ජනතාව පීඩාවට පත්වී සිටින බව ආණ්ඩුව පිළිගන්නා බව එක පැත්තකින් තහවුරු වෙනවා. අනෙක් පැත්තෙන් ඒ බද්ද රුපියල දක්වා අඩුකළාම සහල් මිල රුපියල් 65කින් අඩු වෙනවාද? ඒ සහතිකය දෙන්නේ කොහොමද?
අත්දැකීමෙන් පැහැදිලි වී තිබෙන්නේ පනවා තිබුණු බද්දක් ඉවත් කිරීම නිසා අදාළ ව්‍යාපාරිකයන්ට අමතර ලාභයක් ලබාගැනීමේ අවස්ථාව ලබාදී තිබෙන බව පමණයි. අදාළ කැබිනට් පත්‍රිකාවෙන්ම මේ සහල් ආනයනය කිරීමේ ව්‍යාපාරිකයන් පවා නම්කර තිබෙනවා. අපේ රටේ සුදු ළුෑණු, සීනි බදු වංචාවලදී සිදුවුණේ ඇමතිවරුන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට අමතර ලාභයක් ලබාදීමයි. උත්සව සමයේ කීරි සම්බා ගෙන්වීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නම්, ගෙන්වීම ගැටළුවක් නොවෙයි. නමුත් ආනයන බලපත්‍ර ලබාදීමට විනිවිද පෙනෙන ක්‍රමවේදයක් නැහැ. එවැනි විකෘති තත්වයක් තුළ වැට් බද්ද පනවා තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය හැටියට අපි ආණ්ඩුවට බල කරන්නේ ජනතාව බිල්ලට නොදී වැට් බදු අයකරගන්නා ක්‍රමවේදය වහාම රටට හෙළිකරන ලෙසයි. අලුතින් වැට් බදු අයකරන ලැයිස්තුව රටට හෙළිකළ යුතුයි. වැට් බදු අර්ථනිරූපණය කරගැනීම නිරවුල් විය යුතුයි. එසේ නොකළ හොත් මහජනතාව සමග එකතුවී අදාළ ක්‍රියාමාර්ග නිරවුල් කර ගැනීම වෙනුවෙන් පාරට බැසීම හැර අපිට වෙන විකල්පයක් නැහැ. එයට පෙර අදාළ පැහැදිලි කිරීම් කිරීමේ වගකීම ආණ්ඩුවට තිබෙනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ මහතා වැට් බදු අඩුකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා ලිපියක් නිකුත් කර තිබෙනවා නේද?

පිළිතුර:- ලිපිවලින් වැට් බදු අඩුවෙන්නේ නැහැනේ. පාර්ලිමේන්තුවේදී අත උස්සා පනත් සම්මත කර දීලා, ජනතාව ඉදිරියේ දවල් මිගෙල් රෑ දනියෙල් නාට්‍ය රඟපාන්නේ ඒගොල්ලෝ. ලිපි නිකුත් කරනවා හැර, ඒගොල්ලන්ට ජනතාව ඉදිරියට යන්න බැහැ. මේ සියලු පනත් රනිල් වික්‍රමසිංහ තනියෙන් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම තමයි මේ පනත්වලට පාර්ලිමේන්තුවේදී අත ඉස්සුවේ. මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටිනවාද? ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවාද? කියන එක පැහැදිලිව ජනතාවට කියන්න ඕනෑ.

ප්‍රශ්නය:- රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති දෙකක් තිබෙන බවත්, නිවේදනයෙන් කියා තිබෙනවා.

පිළිතුර:- එහෙම නම්, රනිල් වික්‍රමසිංහව තියාගෙන ඉන්නේ මොකටද? ප්‍රතිපත්තියේ වෙනසක් තිබෙනවා නම් අනුමත කරන්න පාර්ලිමේන්තුවේදී ඡන්දය දීලා එළියට ඇවිත් වෙන කතා කියලා වැඩක් නැහැ. ජනතාව දැන ගන්න ඕනෑ මහින්ද රාජපක්ෂ පෙනී සිටින්නේ මොන ප්‍රතිපත්තිය වෙනුවෙන් ද කියලා. ක්‍රියාමාර්ගවලින් තහවුරුවී තිබෙන්නේ මහින්ද රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා එකම කණ්ඩායමක් බව.

ප්‍රශ්නය:- ජනතාව ගැන හිතන ආණ්ඩුවක් ඕන කියලා මහින්ද රාජපක්ෂ කියනවා…

පිළිතුර:- ජනතාවාදී ආණ්ඩුවක් අවශ්‍ය බව ජනතාව දැන් තීරණය කරලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා එලවලා ජනතාව ගැන හිතන ජනතාවාදී ආණ්ඩුවක් හදන්න ජනතාව දැන් පෙළගැහිලා ඉන්නේ. ඒ ගැන අපිට විශ්වාසයක් තිබෙනවා. ඒ ආණ්ඩුව හදන්න බාධාවක් වෙලා තියෙන්නේ රනිල් රාජපක්ෂලා ඡන්දයක් නොදී ඡන්දේ මගහරින නිසා.