(-NPP තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව-2024.08.13 DoIT 5.0-)
විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින්, අයි.ටී. ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා අපි සැලකිය යුතු කාලයක් වෙහෙසුනා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම සඳහා විවිධාකාරයෙන් උදව් කළ සියලු දෙනාටම පළමු කොටම ස්තුතිවන්ත වෙනවා. අපෙන් සමාජය අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද කරන්නේ කියන එක. අපි ක්ෂේත්‍ර ගණනාවක කුමක්ද කරන්නේ කියන කාරණය අපි ඉදිරිපත් කර තිබෙනවා. සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශන එළඹෙන 26 වැනිදා එළිදක්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ අපෙන් අහන ප්‍රශ්නයක් තමයි කරන්නේ කවුද කියලා. කරන අය තමයි මේ ඉන්නේ. කළ යුත්තේ කුමක්ද කියන එකත්, කරන්නේ කවුද කියන එකත් ගැන අපි සහතිකයක් ජනතාවට දීලා තියෙනවා.
මේ කාලයේ ස්මාර්ට් ඇග්‍රිකල්චර්, ස්මාර්ට් ක්ලාස්රූම් ගැන කතා වෙනවා. හැබැයි රටේ තිබෙන්නේ ඩර්ටි කොලිටික්ස්. මම හිතනවා ඩිජිටල්කරණයට යාමට පෙර දේශපාලන පිටිය සුද්ද කළ යුතුයි. මීට සතියකට පෙර එක් අයෙක් කෙරෙහි බරපතළ විවේචන එල්ල කරන කෙනා ඊළඟ සතියේ නැවත එයා වර්ණනා කරන තත්වයට පත්වී තිබෙනවා. මාධ්‍යවල බ්රේකින් නිව්ස්වලින් එන්නේ එහෙන් මෙහාට, මෙහෙන් එහාට පනින තොරතුරු. අපි ඔබට සහතිකයක් දෙනවා මේ සියල්ල කරන්න කලින් මේ දේශපාලන පොර පිටිය පිරිසිදු කළ යුතුයි. මේ එහෙට මෙහෙට පැනීම සිදුවන්නේ ප්‍රතිපත්තිමය කරුණු මතද? නැහැ. සමහර අය ඊළඟ පාර්ලිමේන්තුවට තමන්ගේ දොරටුව විවෘත කර ගැනීමට පනිනවා. සමහර මාරුවීම් පිටුපස මූල්‍යමය ගනුදෙනු, රජයේ ඉඩම් ලබාදීම්, බාර් ලයිසන්, පෙට්්‍රල් ෂෙඞ් ලබාදීම් තිබෙනවා. අපේ රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු මාරුකරනවා. හැබැයි ආණ්ඩුව මාරුකරල ඉවර වෙනකොට ඒගොල්ලන් මාරු වෙනවා. මේ නිසා 1994 සිට 2024 දක්වා එක දිගට අමාත්‍ය ධුර දරපු ගණනාවක් අදත් අමාත්‍ය ධුර දරනවා. අපේ රටේ ව්‍යසනයට මේ පොලිටිකල් කල්චර් එක, කැත දේශපාලන සංස්කෘතිය විශාල බලපෑමක් ඇතිකර තිබෙනවා.
1950දී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 316යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 25යි. අද ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. දකුණු කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685යි. 1980දී වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් මිලියන 400යි. අපේ අපනයන ආදායම ඩොලර් මිලියන 1500යි. අද අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. වියට්නාමයේ අපනයන ආදායම ඩොලර් බිලියන 420යි. ලෝකයේ විශාල ලෙස තාක්ෂණයේ පරිවර්තනයන් සිදුවුණේ විසිවන සියවසේ. විසිවන සියවසේ පරිවර්තනයන් සිදු නොවෙන්න අපේ මානව සංහතියට ආහාර සපයන්න පුළුවන් තත්වයක් නිර්මාණය වන්නේ නැහැ. දාහත, දහ අට, දහනවය සියවස්වල බිහිවූ ගණිතඥයන්, විද්‍යාඥයන්, දාර්ශනිකයන් විසින් පරිකල්පනය කළ ලෝකය භෞතිකව 20වැනි සියවසේ බිහිවුණා. වෛද්‍ය විද්‍යාවේ මහා පරිවර්තනයන් සිදුවුණා. ඒ නිසාම මිනිසුන්ගේ ආයු කාලය වැඩිවුණා. තාක්ෂණයේ හා විද්‍යාවේ දියුණුව විසින් ලෝකය ඇතුලේ මහා වෙළඳපොළක් නිර්මාණය වුණා. මේ වෙළඳපොළට අවශ්‍ය වන පරිදි, වියට්නාමය, දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව තමන්ගේ ආර්ථික උපාය මාර්ග සකස්කර ගන්න සමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ අයි.ටී. ක්ෂේත්‍රයෙන් පමණක් අපනයන ආදායම ඩොලර් බිලියන 194යි. අපේ අයි.ටී. ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2යි. ලෝකයේ ඇති වුණු විද්‍යා හා තාක්ෂණ දියුණුවට අනුරූපවන පරිදි අපේ ආර්ථිකය පෙළ ගස්වා ගන්න අපි අසමත් වුණා.
ආණ්ඩුව 2016දී තීරණය කරනවා අයි.ටී. ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 05ක් බවට පත්කරන්න. 2020දිත් කියනවා ඩොලර් බිලියන 03ක ආදායමක් අයි.ටී. ක්ෂේත්‍රයේ අපනයන ආදායම ළඟාකර ගන්නා බව. හැබැයි ගිය වසරේ අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2යි. මේ ක්ෂේත්‍රය පිළිබඳ සකස් කරන ලද ප්‍රතිපත්ති, ඉලක්ක සම්පූර්ණ කිරීම සඳහා මෙහෙයවීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට. මේ ක්ෂේත්‍රයට එන ව්‍යවසායකයා රටක් හැටියට සකස් කරන ඉලක්කය සම්පූර්ණ කර ගැනීමේ පංගුකාරයෙක් පමණයි. ඉලක්ක සම්පූර්ණ කිරීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට.
අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. අපේ ඉලක්කය වන්නේ, 2030දි ඩොලර් බිලියන 05ක අපනයන ආදායමකට යන්න. ඉතාමත් හොඳ විභවතාවක් අපට තිබෙනවා. ඉන්දියාවේ අයි.ටී. ක්ෂේත්‍රයේ නිපුණතාවය තිබෙන කෙනෙක් සාමාන්‍යයෙන් වාර්ෂිකව උපයනවා ඩොලර් 36000ක්. සිංගප්පූරුවේ සාමාන්‍ය අගය ඩොලර් ලක්ෂ දෙකයි. ලංකාවේ සාමාන්‍ය අගය ඩොලර් 14200යි. මේ ගැප් එක අපිට පනින්න පුළුවන්. අපි ක්ෂේත්‍ර ගණනාවකට අයි.සී.ටී. යොදාගැනීම ගැන කල්පනා කොට තිබෙනවා. අපේ ආර්ථිකයේ පංගුව වැඩිකර ගැනීම සඳහා, අපේ රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කර ගැනීම සඳහා, රාජ්‍යයේ ගනුදෙනුවල විනිවිදභාවය ඇතිකර ගැනීම සඳහා මේ ක්ෂේත්‍රය උපයෝගී කර ගන්නේ කොහොමද? තොරතුරු සහ දැනුම පුරවැසියන් වෙත ගලාගෙන යාම සඳහා, පුරවැසියා බල ගැන්වීම සඳහා මෙම ක්ෂේත්‍රය උපයෝගී කර ගන්නේ කොහොමද? කියන එක අපි සැලසුම් සකස්කොට තිබෙනවා.
අයි.ටී. ක්ෂේත්‍රයේ ඉහළ තලයේ මහත්මයෙක් මා සමග සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළා, “සම සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහා මේ අයිටී ක්ෂේත්‍රය උපයෝගී කර ගැනීමට පුළුවන්” කියලා. අපි කිව්වා නම් මේක වෙනස් විදියට ගන්නවා. මේ කියන්නේ මොකක්ද? අපේ රටේ ග්‍රාමීය ජනතාවට තොරතුරු, දැනුම ගලාගෙන යාමේ වේගයේ අඩුවක් තිබෙනවා. දැනුම, තොරතුරු කේන්ද්‍රගතවෙලා තිබෙනවා නගරබදව. සෑම කෙනෙකුටම දැනුම සහ තොරතුරු ලබා ගැනීමේ සාධාරණ ලෙස ප්‍රවිෂ්ට වීමේ සම අයිතියක් නැහැ. ඒ සම අයිතිය ඇති කරන්න පුළුවන් සාමාන්‍ය ජනතාවට තොරතුරුවලට ප්‍රවිෂ්ටවීමේ සම අවස්ථාව නිර්මාණය කිරීමෙන්. ඒ ප්‍රමාණයට නගරබද, ග්‍රාමීයබද, දුප්පත් පොහොසත් බේදයකින් තොරව තමන්ට දැනුම සහ තොරතුරු ලබාගැනීමට ප්‍රවිශ්ටවීමේ හැකියාව ලැබීම තුළින් සම සමාජයක් ඇති කළ හැකි බව ඔහුගේ අර්ථකථනයයි. රජයේ ආයතනයකින් කාර්යක් ඉටුකර ගැනීමේදී ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එක උපයෝගී කර ගන්නේ නම්, දුප්පත්, පොහොසත් භේදයකින් තොරව සම මට්ටමේ සැලකීලි සහිතව කාර්යන් ඉටුකර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය මිලදී ගැනීම් සඳහා කොන්ත්‍රාත් ලබාදීමේදී, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකකට ගෙනාවොත් දේශපාලන හැඳුනුම්කම්, දන්නා හඳුනනකමට, අල්ලසට සලකන අවස්ථා නැතිවී යනවා. හැම කෙනාටම සම තරඟකරුවන් ලෙස ප්‍රවිෂ්ටවීමේ අවස්ථාව උදාවෙනවා. මේ ක්ෂේත්‍රය අපේ රටේ සම සමාජයක්, ඒ ඒ අවස්ථාවන් සාධාරණ ලෙස ප්‍රවිෂ්ටවීමේ අවස්ථාවක් නිර්මාණය කළ හැකියි. ජාතික ජන බලවේගය ඒ පිළිබඳ වැඩිම අවධානය යොමු කරනවා.
අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි කිව්වා, අපේ රටෙන් එළියට ඩොලර් බිලියන 52ක් අරගෙන ගිහින් තිබෙනවා කියලා. මේ වෙලාවේ අපේ විදේශීය ණය සමස්තය ඩොලර් බිලියන 36යි. හැබැයි පාර්ක් කර තිබෙනවා ඩොලර් බිලියන 52ක්. රේගුවේ තිබෙන තත්වයත්, අපනයනය කරන ප්‍රමාණය පිළිබඳ දත්තත් අපේ බැංකු පද්ධතිය හරහා එනවාද කියා මනින්න ලින්ක් එකක් නැහැ. මෑතකදී සුරාබදු හිමිකරුවන් කිහිප දෙනෙක් බදු ගෙවා නැති බවට රාවයක් යනවා. ඒ ඒ ස්කාගාරවලින් මත්පැන් මිලදී ගත්ත අය බද්ද ගෙවලා ඒවා පාවිච්චි කර තිබෙන්නේ. හැබැයි ස්කාගාර හිමියන් ආණ්ඩුවට බදු ගෙවා නැහැ. ව්‍යාපාරයක් වැට් බද්දට රෙජිස්ටර් වෙන්න නිශ්චිත අගයක් තිබෙනවා. වැට් බද්දට යටත් වෙන්නේ නිශ්චිත අගයකින් එහා පිරිවැටුමක් තිබෙන අය. වැට් බද්දට යටත් වෙළඳ ආයතනයත් වැට් බද්දට යටත් නොවෙන වෙළඳ ආයතනයත් අපට හඳුනාගත හැකි වෙන්න ඕනෑ. වෙළඳපොළකින් භාණ්ඩයක් මිලදී ගැනීමේදී අපට දැනෙනවාද වැට් බද්දට යටත් කඩයක්ය කියලා. වැට් බද්දට යටත් නිසා ගාන ටිකක් වැඩියි. වැට් බද්දට යටත් නොවන නිසා ගාන ටිකක් අඩුයි. ඒක අපට දැනෙන්න ඕනෑ. වැට් බද්දට රෙජිස්ටර් වෙලා නැතිනම් ගාන ටිකක් අඩු වෙන්න ඕනෑ. ඒ බදු ප්‍රතිපත්තිය හැදුවාට ඒක ක්‍රියාත්මක කිරීම සඳහා වන යාන්ත්‍රණයක් අපට නැහැ. 2003 වසරේ ප්‍රසිද්ධ වැට් බදු වංචාවක් සිදුවුණා. එතන එකතු කළ වැට් බද්ද ගෙවා නැහැ. එකතු කරන වැට් බදුවලින් 40%ක් පමණ භාණ්ඩාගාරයට නොලැබෙන බවට තමයි තොරතුරු ලැබෙන්නේ. ඒක අනුමාන දත්තයක්. එහෙම දත්තයක්වත් සොයා ගන්න හැකියාවක් නැහැ. පුරවැසියාට විශාල බරක් දැනෙන වැට් බද්දක් තිබෙනවා, පුරවැසියන් ඒ බද්ද ගෙවා තිබෙනවා. ඒ ආපු බද්ද එකතුකර ගැනීම සඳහා යාන්ත්‍රණයක් අපට නැහැ. මේ ආදායම් වර්ධනය කර ගැනීමේ ක්ෂේත්‍රයේ අලුත් අදියරක් අවශ්‍යයි. එකතු වෙන සෑම අදියරකින් තමයි මේ බද්ද ගහන්නේ. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. එම සංකීර්ණ ක්‍රියාවලියේ බද්ද එකතුකර ගැනීම සඳහා දියුණු තාක්ෂණයක් අපට අවශ්‍යයි. අපට ඒ ක්ෂේත්්‍රයටත් මේ ෆ්ලැට්ෆෝම් එක අවශ්‍යවෙලා තිබෙනවා. එහෙම නැත්නම් මේ බදුවලින් කිසිදු වැඩක් නැහැ.
අපේ රැකියා ක්ෂේත්‍රය ගත්තොත් අයි.ටී. ක්ෂේත්‍රයට එන්නේ වසරකට 12000ත් 15000ත් අතර ප්‍රමාණයක්. අපේ ඉලක්කයක් තිබෙනවා වසරකට 30000ක් අයි.ටී. ක්ෂේත්‍රයට කැඳවන්න. ලෝකයේ දැනට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 26ක් ඉන්නවා. ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් ඉන්නේ 85000යි. දැන් පුරෝකථනය කර තිබෙනවා 2030 වන විට ලෝකයට මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 45ක් අවශ්‍යයි කියලා අලුතින් මිලියන 19ක් අවශ්‍යයි. ඒ ලෝකයේ ඇතිවෙන නව දියුණුව ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීමේ ටාර්ගට් එකකට යන්න සැලසුමක් හදන්න ඕනෑ. අපි ඩොලර් බිලියන 05ක ආර්ථිකයට යන්න නම්, ඉංජිනේරුවන් 85000 ප්‍රමාණවත් නැහැ. අපට අභියෝගයක් තිබෙනවා බිලියන 05ක ආර්ථිකය අත්පත් කර ගැනීමට දියුණුවන ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගන්නත් වසරකට ඉංජිනේරුවන් 30,000ක් වත් නිර්මාණය කරන්න. එහෙම යන්න නම් රාජ්‍ය අධ්‍යාපන පද්ධතියේ පංගුවක් වැඩිකර ගන්න ඕනෑ. ඒ වගේම අර්ධ රාජ්‍ය ආයතනවල පංගුව වැඩිකර ගන්න ඕනෑ. නියාමනයට ලක් කරන ලද පෞද්ගලික අධ්‍යාපනයේ පංගුවක් ඇතිකර ගත යුතුව තිබෙනවා. කාර්යක්ෂම මැදිහත්වීමක් කළොත් නිපුණතාවයක් සහිත අලුත් ශ්‍රම සම්පතක් නිර්මාණය කර ගත හැකි වෙනවා. දැනට රැකියා විරහිත උපාධිධාරීන් 35,000ක් විතර ඉන්නවා. උපාධියක් හිමි අය කියන්නේ යම් මුවහත් කරන ලද ශ්‍රම සම්පතක්. එතනින් පංගුවක් අරගෙන කෙටිකාලීන පාඨමාලාවන් හරහා මේ ක්ෂේත්‍රයට යොමුකර අලුත් සම්පතක් නිර්මාණය කර ගැනීමට අවධානය යොමු කරනවා. මේ ක්ෂේත්‍රයේ ශ්‍රම සම්පත වර්ධනය කර ගැනීම සඳහා සැලැස්මක් තිබෙනවා.
බොහෝ දෙනෙක් අහනවා ඔයගොල්ලන්ගේ ආණ්ඩුවකදී විනිවිදභාවය මනින්නේ කොහොමද කියා. සමාජයක් විශ්වාස කළ යුත්තේ පුද්ගලයන් මතද? සමාජයක් විශ්වාස කළ යුත්තේ සිස්ටම් එකක් මතද? ආරම්භයේදී සමාජයක් විශ්වාස කරන්න ඕනෑ පුද්ගලයන් මත. පුද්ගලයන්ට කාර්යභාරයක් තිබෙනවා. එය ප්‍රතික්ෂේප කළ නොහැකියි. සමාජයක් දිගුකාලීනව විශ්වාස කරන්න ඕනෑ සිස්ටම් එකක්. මේක හොඳ මිනිසුන්ගෙන් ආරම්භ කරන්න ඕනෑ. දැනට ඇතිවී තිබෙන වංචා, දූෂණ, නාස්තිය පිළිබඳ ප්‍රශ්නයේදී තීරණය කළ යුත්තේ හිත හොඳකම මතද? ඒක සමාජයකට හොඳ නැහැ. විනිවිදභාවය රැකෙන සිස්ටම් එකක් එන්න ඕනෑ. මෙහිදී විශාල පංගුවක් තිබෙනවා අයි.ටී. ක්ෂේත්‍රයට. පාරදෘශ්‍යභාවය ඇති කිරීම සඳහා කොහොමද අපි සිස්ටම් එකක් නිර්මාණය කරන්නේ කියන අභියෝගය අපට තිබෙනවා. මේ ක්ෂේත්‍රය වර්ධනය වීම විසින් ආණ්ඩුවට ප්‍රවේසම් වෙන්න සිදු වෙනවා. මේ ක්ෂේත්‍රයේ වර්ධනයන් විසින් සමාජයක් අවදි කරවනවා. එය කොතරම්ද කියනවා නම් ජනාධිපතිවරයෙක් පළවා හැරීමට තරම් අවදිකිරීමක් කරවා තිබෙනවා. ජනතාවට තොරතුරු ගලාගෙන යනවා. ජනතාවට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. තොරතුරු අනෙකා වෙත සම්ප්‍රේෂණය කිරීමට හැකියාව ලැබෙනවා.
ඉස්සර තිබුණේ ෆිල්ටර් කරන ලද නිවුස්. පත්තරයක් ප්‍රින්ට් කරන්න ප්‍රථම අයිතිකරුවාගේ අධීක්ෂණයෙන් පසුව තමයි ප්‍රින්ට් කරන්නේ. රූපවාහිනියක අයිතිකරු නිව්ස්වලට මැදිහත් වෙනවා. ඒ කියන්නේ පෙරන ලද නිව්ස් ජනතාවට ලැබෙන්නේ. හැබැයි දැන් ජනතාව අතරට නිදහසේ ප්‍රවෘත්ති ගලාගෙන එනවා. මේක තව තවත් වර්ධනය කළ යුතුයි. ඒ වර්ධනය නිසාම වෙන්නේ සෑම පාලකයෙකුටම තමන්ගේ ක්‍රියාකාරකම් ගැන නැවත නැවත සිතා බැලීමට සිදුවෙනවා. අද සාම්ප්‍රදායික මධ්‍ය ජාලය ඉක්මවා යමින් අධිකාරියක් සහිත තොරතුරු ගලා යාම මේ ක්ෂේත්‍රය වර්ධනය වීම නිසා නිදහස් භාවයක් නිර්මාණය වී තිබෙනවා. මේ නිසා අපේ රාජ්‍ය පාලනයේදී ඉතාමත් වැදගත්. අපේ රටේ ආර්ථික පැත්තෙන්, නව රැකියා උත්පාදනය පැත්තෙන්, ඩොලර් උපයා ගැනීමෙන්, සමාජයේ සමානතා නිර්මාණය කිරීමෙන්, සමාජයට තොරතුරු ගලාගෙන යාාමෙන්, රජයක් මොනිටර් කිරීම පැත්තෙන් මේ සෑම පැත්තකින් බැලූ විට මෙම ක්ෂේත්‍රය ඉතාමත්ම වැදගත් වෙනවා. අපි මේ ඉදිරිපත් කළ ප්‍රකාශනය මේ සියලු අරමුණු ගැබ්කරන ලද ප්‍රකාශනයක්. මෙතෙක් අපේ ප්‍රකාශන කුණුකූඩෙට ගියත්, මේක කුණු කූඩෙට යන ඉතිහාසයක් නොවෙයි. මේක අනිවාර්යෙන්ම ප්‍රාණවත්භාවය ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනයක්.
“පනින්න පෙර සිතා බලන්න”
-ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යලායේ ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඨයේ
ආචාර්ය රජිත් විතානාරාච්චි-
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඨයේ කෘත්‍රිම බුද්ධිය හා පරිගණක විද්‍යාව පිළිබඳව මෙන්ම වාස්තු ගොඩනැගිලි හා සැලසුම්කරණ පීඨයේ උගන්වනවා. ඒ වගේම ප්‍රවාහන, සෞඛ්‍ය හා නාගරික පද්ධතිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂකයෙක් විදිහටත් කටයුතු කරනවා. මගේ ඉගැන්වීම සහ පර්යේෂණ කටයුතු යන දෙකම එකතු කරලා “පනින්න පෙර සිතා බලන්න” යන ආදර්ශ පාඨය මූලික කරගෙන අදහස් කිහිපයක් දක්වන්න කැමතියි. විවිධ අයට විවිධ දේශපාලන මත වගේම වෙනත් මත පවතිනවා. ප්‍රතිපත්ති සම්පාදනයට ගියාම මේ මත දරන අයගෙන් විවිධ ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසාමයි නූතන ලෝකයේ ප්‍රතිපත්ති සැකසීමේදී තොරතුරු තාක්ෂණය ඉතාම වැදගත්ත වෙන්නේ.
අපට තොරතුරු ලැබී තිබියදී, ඒ තොරතුරු පැත්තක තබා ප්‍රතිපත්ති හදන්නේ ඇයි? නවිණ තාක්ෂණය යොදාගෙන ඩිජිටල් ලෝකයේ මොඞ්ල් එකක් (අනුරුවක්) අපේ අදහස පිළිබඳව ගොඩනගා ගන්න පුළුවන්. ඒ අනුව පනින්න පෙර සිතා බලන්න යන්න යොදා ගනිමින් අපේ අදහස ප්‍රායෝගිකව කරගෙන යන්න නිශ්චිතවම නිරාකරණය කර ගන්න පුළුවන්. පරිසරයට හොඳ නිසා කාබනික පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ගිහින් තව ගොඩක් දේවල් නැතිකර ගත්තා. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කලින් අපිට ඒ සම්බන්ධයෙන් මොඞ්ල් එකක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම ප්‍රවාහන, සෞඛ්‍යය සහ නාගරික පද්ධතියට විශේෂ අවධානයක් යොමුකර තිබෙන්නේ ඒ නිසයි. කෝවිඞ් වසංගතය පැමිණි අවස්ථාවේ මම ඕස්ටේ්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කටයුතු කරන අතර, රජය විසින් වසංගතයට මුහුණ දීම පිළිබඳව මොඞ්ල් එකක් හදා දෙන්න කීවා. ලොක්ඩවුන් කිරීම, එන්නත් කිරීම, රෝහල්වලට මානව සම්පත් සහ අනෙකුත් සේවා ලබාදීම වැනි කටයුතු මූලිකව සිදුකළා. එහෙම නොවුණා නම්, දුන්න දුණුගමුවේ ඊතල කිතලගමුවේ වගේ දෙයක් වෙනවා. වේදිකාවල ඩිජිටල් පරිහරණය ගැන විවිධ කතා කීමත් දත්ත මත පදනම් වූ මූලික ආකෘත්‍රියක් තිබෙන්න ඕනෑ.
අපි දන්න තොරතුරු සහ දත්ත අනුව යම් මොඞ්ල් එකක් සකස්කර ගත්තත් එය හඳුන්වාදීමේදී ඒ.අයි. තාක්ෂණය ඉතාම හොඳින් යොදාගත හැකියි. සංකීර්ණ ප්‍රශ්න විසඳන්න මානව සම්පත් යොදාගත හැකි වුවත්, ඒ.අයි. තාක්ෂණය පාවිච්චිකර, එය ඉතා හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට මගී ප්‍රවාහන බස් සේවය වෙනුවෙන් තොරතුරු දත්ත යොදා ගන්න පුළුවන්. මේ විදිහට ටික කලක් එකතු වුණු දත්ත යොදා ගනිමින් බස් ගමන් මාර්ගයේ කාලසටහන වගේම ගමන් සටහනත් නිවැරදිව හදාගන්න පුළුවන්. ලංකාවේ විශ්වවිද්‍යාල වගේම පෞද්ගලික අංශයේ ඉන්න දක්ෂ අය යොදාගෙන ඩිජිටල් ආශ්‍රයෙන් මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපේ රට ඉස්සරහට අරන් යන්න ජනාධිපතිවරණයෙන් පස්සේ මේ ක්‍රියාමාර්ගය අනුගමනය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් e (ඊ) රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන්න ඕනෑ. අධ්‍යාපනයට, සෞඛ්‍යයට, නාගරීකරණයට, ඉතාමත්ම පහසුවෙන් ඊළඟ පියවර තබන්න ඩිජිටල් යටිතල පහසුකම් ඉතාමත්ම වැදගත් වෙනවා. මූලික ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අපි විසින් සකස්කර දුන්නාම එය ක්‍රියාත්මක කරගෙන යාම ලංකාවේ සිටින අය සිදුකරාවි.
ඕස්ට්‍රේලියාවේ ඩිජිටල් සිස්ටම් එක ගොඩක් හොඳින් ක්‍රියාත්මක වෙනවා. පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ සිට සියලු දේවල් ක්‍රියාත්මක කළ හැකියි. ඒ වගේම මෙතනට දත්ත පද්ධතියක් සම්බන්ධ කර තිබෙනවා. උදාහරණයක් විදිහට සෞඛ්‍යය ගැන තීරණයක් ගන්න නම්, ජනගහනය, නාගරීකරණය වැනි සම්පූර්ණ දත්ත ඒකාබද්ධව තිබෙන්න ඕනෑ. ලංකාවේ ඩිජිටල් භාවිතාවය ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවය ගොඩනඟන්න ලංකාවේ විශ්වවිද්‍යාලවල පර්යේෂණ සිදුකර තිබෙනවා. ක්‍රියාත්මක කරන්න අත්හදා බැලීම් පවා සිදුකර තිබෙනවා. නමුත් පවතින වංචා සහ දූෂණ නිසා මේ පද්ධති ඉදිරියට ගෙනියන්න බාධා සිදුවී තිබෙනවා. මේ තත්වය මගහරවා ඩිජිටල් කරණය යථාර්ථයක් බවට පත්කරන්න අවශ්‍ය තරුණ මානව සම්පත ඉතා හොඳින් රට තුළ පවතිනවා. මේ සියල්ල කළමනාකරණය කරගෙන ඉදිරියට යාමේ හැකියාව ඉදිරි රජයයෙන් ලැබෙන බවට විශ්වාසයි.