Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ඡන්දෙට බඩු බෙදන්න ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහැර ආණ්ඩුව හොර පාරක් හදාගෙන” -විශ්‍රාමික ප්‍රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා-

(-ජාතික ජන බලවේගයේ විගණකවරුන්ගේ සහ ගණකාධිකාරිවරුන්ගේ මාධ්‍ය හමුව – 2024.07.23-)

මැතිවරණය ඉලක්ක කර ගනිමින් භාණ්ඩ ගැනීමේ ක්‍රියාවලියක ආණ්ඩුව යෙදී සිටිනවා. ජනාධිපති විවිධ ස්ථානවලට යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන රට ගොඩදැමූ බවත් 2048දී රට සංවර්ධනය කරන බවත් කියමිනුයි. ඒ අතර ලංකාවේ ක්‍රියාත්මක ප්‍රසම්පාදන ක්‍රියාවලියට ජනාධිපතිවරයා විසින් එල්ල කර තිබෙන විනාශකාරී තීරණ කිහිපයක් හෙළිදරව් කිරීමට තිබෙනවා. මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයක් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් අප යොමු කරනවා.

“රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙන් භාණ්ඩ හා සේවා එක් මිල කැඳවීමක් මත රාජ්‍ය ආයතන විසින් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම” යන සිරස්තලය කැබිනට් සංදේශයට යොදා තිබෙනවා. මැයි 14 දිනයෙන් ඉදිරිපත් කරන ලද මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් කියන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවට ඍජුවම රජයේ වාණිජ නීතිගත සංස්ථාවෙන් රුපියල් මිලියන 50 දක්වා ඍජුවම භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙන බවයි. එසේම මේ මිලදී ගැනීම්වලදී පිළිගත් වාණිජ බැංකුවක් සමග එක්වී ඉදිරිපත් කළ යුතු පිළිගත් බැඳුම්කරයක් අනවශ්‍ය බවද දක්වා තිබෙනවා.

සරල වශයෙන් කියනවා නම්, රුපියල් කෝටි 05ක භාණ්ඩ ටෙන්ඩර් කිරීමකින් තොරව එක්වර මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාව තුළ ඉක්මනින් භාණ්ඩ ලබාගෙන බෙදාදීම සඳහා මේ අවස්ථාව සලසා ගෙන ඇති බව මෙයින් පෙනී යනවා. ලිපි ද්‍රව්‍යයේ සිට වටිනා භාණ්ඩ දක්වා සැපයීම වෙනුවෙන් රාජ්‍ය ආයතනවල ලියාපදිංචිවී සිටින සැපයුම්කරුවන් පවා ඉවත දමා මේ මිලදී ගැනීම් සිදුකළ හැකියි. රජයට සැපයුම් කිරීමේදී බැඳුම්කරයක් ඉදිරිපත් කිරීමට පෞද්ගලික අංශයට සිදුවුවත් වාණිජ නීතිගත සංස්ථාවෙන් එවැනි බැඳුම්කරයක් අවශ්‍ය නොවීම නිසා බරපතළ විෂමතාවක් ඇති වෙනවා. රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විවෘත වෙළඳපොළේ තෝරා ගත් ආයතනවලින් අදාළ ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුවී වෙනම කළුකඩ ගනුදෙනුවක් ඇති වෙනවා. භාණ්ඩවල ප්‍රමිතිය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක්. ෆොටෝ කොපි යන්ත්‍ර, ඩිජිටල් ලුප්ලිකේටස්, සාමාන්‍ය පරිගණක සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍ර, මල්ටි මීඩියා ප්‍රොජෙක්ටස්, මුද්‍රණ යන්ත්‍ර, ආගමික සිද්ධස්ථානවලට බෙදීම සඳහා පෙට්‍රල් සහ ඩීසල් ජෙනරේටර් යන්ත්‍ර, ශබ්දවාහිනී යන්ත්‍ර සහ රූපවාහිනී යන්ත්‍ර ආදිය මහා පරිමාණයෙන් මිලදී ගැනීමට සූදානම් වෙනවා.

කිසිදු ප්‍රමිති පරීක්ෂාවකින් තොරව වාණිජ නීතිගත සංස්ථාව මෙම භාණ්ඩ මිලදී ගැනීමට මෙම ඇනවුම් ලබාදීම මුළුමනින්ම ප්‍රසම්පාදන කොමිෂන් සභාව නොතකා හැරීමක්. දැනට ලැබී තිබෙන තොරතුරු අනුව වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයට පමණක් රුපියල් කෝටි 200ක භාණ්ඩ ගැනීමට සූදානම් වෙනවා. මේ මිලදී ගැනීම් ක්ෂණිකව මිලදී ගත යුතු ඒවා ලෙස දක්වා තිබෙනවා. මෙම මිලදී ගැනීම් සඳහා ක්‍රියාකරන ආකාරය පිළිබඳ තොරතුරු රැසක් අප වෙත ලැබී තිබෙනවා.

“සියලු මිලදී ගැනීම් තනි ආයතනයකින් සිදුකිරීම ගැටලු සහගතයි”
-මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී එච්.එම්.බී. පුංචිබණ්ඩා-

ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකිරීම සම්බන්ධයෙන් 2008දී මාර්ගෝපදේශන ඉදිරිපත් කර තිබෙනවා. අවම පිරිවැයෙන් උසස් ගුණත්වයෙන් යුතු භාණ්ඩ නිසි කලට වේලාවට සපයා දීම, නියමිත ප්‍රමිතියට සහ අදාළ පිරිවිතර අනුගමනය කරමින් ලබා ගැනීම, සුදුසුකම් ලත් පාර්ශ්වවලට ප්‍රසම්පාදනයට සහභාගී වීමේ සාධාරණ අවස්ථාවක් ලබාදීම ආදී වශයෙන් මූලික කරුණු දක්වා තිබෙනවා.

එහෙත් තනි ආයතනයකට සියලු මිලදී ගැනීම් ලබාදීමෙන් අවම පිරිවැයෙන් උසස් ගුණත්වයෙන් යුතු භාණ්ඩ ලබාදීමේ හැකියාව වාණිජ විවිධ නීතිගත සංස්ථාවට තිබෙනවාදැයි සැක මතුවනවා. එමෙන්ම නියමිත ප්‍රමිතිය, ඇතුළු කොන්දේසි අතර විශේෂයෙන්ම විනිවිදභාවයකින් යුතුව ක්‍රියාකිරීමේ හැකියාව පිළිබඳ ගැටලු සහගතයි. යන්ත්‍ර සූත්‍ර වැනි භාණ්ඩ ලබාගැනීමෙන් පසුව සේවා සැපයීම් පිළිබඳව මෙන්ම අලුත්වැඩියා කිරීම් සහ අමතර කොටස් ලබාගැනීම් පිළිබඳවද ගැටලු මූලිකව පවතිනවා.

“ජන්ද මංකොල්ලකෑම්වලට සහ ජාවාරම්වලට අවස්ථාව සලසාදීම වහා නතර කළ යුතු වෙනවා”
-විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති රම්‍යා ලාලනී-

හොරාට කලින් කෙහෙල් කැන වැට පැනපු වැඩේ සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම භාණ්ඩ බෙදීමේ ක්‍රියාවලියට කැබිනට් සංදේශ ඉදිරිපත් කරමින් භාරදී තිබෙන වාණිජ නීතිගත සංස්ථාව ගැන විගණකාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන වාර්තාවල සඳහන් කරුණු අවධානයට ගැනීම වැදගත්. කොන්ත්‍රාත්කරුවන් සමග ගිවිසුම්වලට එළඹී නැතිවීම, බැඳුම්කර සුරක්ෂණයක් ලබා නොගැනීම, ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබීම, වැනි ඌණතා රැසක් හෙළිකර තිබෙනවා. බිත්තර ආනයනය කිරීමේ අනුමැතිය මේ ආයතනයට ලබාදී තිබීමෙන් 2023 මාර්තු සිට මැයි දක්වා බිත්තර මිලියන 16.5ක් ආනයනය කර තිබෙනවා. තාවකාලික ගබඩා ලෙස එක් සමාගමක ඉඩ ප්‍රයෝජනයට ගෙන තිබෙන අතර, එම සමාගමෙන් එය තවත් සමාගමකට බාරදීමෙන් ගබඩා කුලිය ලෙස රුපියල් මිලියන 07ක් ගෙවා තිබෙනවා. 2023 විගණන වාර්තාව අනුව තවදුරටත් හෙළි වන්නේ, වී ගබඩා කිරීම වෙනුවෙන් 2015දී විශාල ඇසුරුම් තොගයක් ආනයනය කර, විනාශ වීමට ඉඩහැර තිබෙන බවයි. මේ ඇසුරුම් මිලියන 107.37ක් වැයකර පිලිපීනයෙන් ආනයනය කර තිබෙනවා. ඒවායින් මිලියන 48ක් වටිනා ඇසුරුම් වසර 08ක් තිස්සේ විනාශවීමට ඉඩහැර තිබෙනවා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව දැඩි අකාර්යක්ෂමතාවයෙන් දැඩි මූල්‍ය හානියක් සිදුවී තිබෙන බව මෙයින් පැහැදිලියි. 2020 කොරෝනා සමයේ ජංගම අලෙවිසල් පවත්වාගෙන යාමෙන් මිලියන 10ක අලාභයක් ඇතුළු විවිධ අලාභ රැසක් සිදුකර තිබෙනවා.

රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් නියාමන වගකීම පැවරී තිබෙන්නේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවටයි. ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන මේ අමාත්‍ය මණ්ඩලය සංදේශය අදාළ කරුණු සම්බන්ධයෙන් අපි ඊයේ (22) පැමිණිලි කළා. මේ ක්‍රියාවලිය බල රහිත කරන ලෙස ඉල්ලීමක් කළා. ජනාධිපතිවරණය ඔන්න මෙන්න තිබියදී භාණ්ඩ බෙදීම වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙන, ක්‍රියාවලිය තුළින් ඇමතිවරුන්ට සම්බන්ධ සමාගම්වලට මේ සැපයීමේ අවස්ථා ලබාදුන් සිද්ධි ගණනාවක් අතීතයේ පවතිනවා. මහජනතාවට ලබාදිය යුතු සේවා සම්බන්ධයෙන් අපේ කිසිදු විරෝධතාවක් නැහැ. නමුත් භාණ්ඩ බෙදීම් සිදුකර ජන්ද මංකොල්ලකෑම් සිදුකිරීම් සහ ජාවාරම්වලට අවස්ථාව සලසාදීම වහාම නතර කළ යුතු වෙනවා. ඡන්දදායකයන් ලෙසත් මෙයට විරුද්ධවීමේ අයිතියක් අපට තිබෙනවා. අදාළ නියාමන ආයතනවලට බලපෑම් කිරීම සඳහා මේ කරුණු අපි හෙළිදරව් කරනවා.

NPP-Audit-Press-Conference