Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“ද්වේශසහගත ප්‍රචාර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයන් මාර්ගයෙන් අපි දැඩි පියවර ගන්නවා” -‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර-

(-‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මාධ්‍ය හමුව – 2024.09.15-)

Aruna Jayasekara At NPP Aditana Press Conference

මෙයට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වා ඉතාම පැහැදිලිව ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට, ජාතික ජන බලවේගයට පසුගිය කාලයේ එල්ල කළ අසත්‍ය චෝදනා පිළිබඳව අපි පැහැදිලි කළා. ඡන්දය පැවැත්වෙන කාලයේ ජනතාව නොමඟ යවන්න දරන උත්සාහය අප ප්‍රතික්‍ෂේප කරමින් හෙළාදැක්කා. එසේ තිබිය දීත්, ඊයේ 14 වැනිදා නැවතත් බරපතළ අසත්‍ය චෝදනාවක් මෙම සංවිධානය ඉලක්ක කරගෙනම ‘නව මඟ ජාතික ව්‍යාපාරය’ නමින් පෙනී සිටින සංවිධානයේ විධායක සභිකයෙක් ලෙස හැඳින්වූ ලක්‍ෂ්මන් සහ එහි ලේකම්, අනිල් ශාන්ත ප්‍රනාන්දු කියන අය අපට එරෙහිව බරපතළ චෝදනා එල්ල කළා. ‘විශ්‍රාමික හමුදා කල්ලියක්’ යනුවෙන් අපව හඳුන්වා, ජාතික ජන බලවේගයේ සිටින රටේ ප්‍රචණ්ඩත්වය ඇති කරන්න ගොඩනැඟූ සංවිධානයක් බවත්, අවි ආයුධ එකතු කරන බවත්, ජනතාවට පීඩාකාරී වාතාවරණයක් ඇති කරන්න බුද්ධාගමට අගෞරවයක් වන ආකාරයෙන් හැසිරෙන බවටත් චෝදනා රාශියක් එල්ල කර තිබෙනවා. ඔවුන් අසත්‍ය, ද්වේශසහගත චෝදනා ගණනාවක් මේ ආකාරයට සමාජගත කරන්න උත්සාහ කරනවා. අපි ජාතික ජන බලවේගයත් සමඟ විවෘතව ජනතාව හමුවේ පෙනීසිටිමින් ක්‍රියා කරනවා. අපේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔවුන්ට එවැනි සාක්‍ෂි තිබෙනවා නම්, ඒවා ඉදිරිපත් කර නීතිමය ක්‍රියාමාර්ගවලට යන ලෙස දන්වනවා. අපි 2021 මෙම සංවිධානයට මූලික වශයෙන් ප්‍රවේශ වූයේ අවුරුදු තිස්පහක පමණ කාලයක් පුරා ඉතාමත් ගරුත්වයෙන් සහ අභිමානයෙන්, විනයගරුකව හමුදාවන් තුළ සේවය කිරීමෙන් පසුවයි.

කවදත් අපේ ගරුත්වයක් ඒ හමුදාවන්ට තිබෙනවා. අපි රටේ පුරවැසියන්ව ආරක්‍ෂා කළා. ජාතිය ගොඩනඟන්න උර දුන්නා. ඒ වාගේම ලෝකයම පිළිගත් උසස් වෘත්තීය මට්ටමේ හමුදාවන්ට විනයගරුකව ඇතුළත් වුණු සාමාජිකයන් අපි. ඒ වාගේම විශාල මානුෂීය මෙහෙයුමක් සිදු කළා. ඒ වාගේම ජාතික ජන බලවේගය නිර්මාණය වී තිබෙන්නේ සිවිල් සංවිධාන සහ ජනතා විමුක්ති පෙරමුණ මූලික කර ගත් දේශපාලන පක්‍ෂ, වෘත්තීය සංවිධාන ගණනාවක් ඒකරාශී කරගෙනයි. මෙය විද්වතුන් රාශියකගෙන් ගොඩනැඟුණු මහජන ව්‍යාපාරයක්. හිටපු පාලකයන් මේ රටට කළ විනාශය අපේ දරුවන්ට ඉතිරි නොකර ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලබාගෙන රටට යහපත් හෙට දවසක් නිර්මාණය කරන්නයි අපි එකතු වී සිටින්නේ. මේ ගෙන යන වෛරී සහ ද්වේෂසහගත ප්‍රචාර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයන් මාර්ගයෙන් අපි දැඩි පියවර ගන්නවා. මැතිවරණ කොමිසමට සහ මැතිවරණය භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබෙනවා. එතැනින් ඔබ්බටත් අධිකරණයේ සහාය පතන්න අපි කටයුතු කරනවා.

හතු පිපෙනවා වාගේ සංවිධාන පිහිටුවාගෙන ජාතීන් අතර අසමඟිය ඇති කරන්න, මහජනයා අතර විරසකය ඇති කරන්න, ජනතාව නොමඟ යවන්න කාගේ හෝ පුද්ගලයකුගේ නැතිනම්, පක්‍ෂයක අවශ්‍යතාව මත මොවුන් මේ ව්‍යාජ මත ප්‍රචාරය කරනවා. ඔවුන්ගේ පැවැත්ම ඒක. තව දින කිහිපයකින් මුළු රටම එකතු වී සියලුම ජාතීන් එකට එකතු වී කරන ජයග්‍රහණය පෙනෙන තාක් මානයේ අපි ඉන්නේ. ඔවුන් සිදු කළ ජාතික අපරාධවලින් බේරීමට නොහැකි බව දන්නා ඔවුන් වියරු වැටී සිටිනවා. මේ රටට පණ ගෙන දුන් අපි ප්‍රචණ්ඩත්වයක් ඇති කරන්න, ජනතාව පීඩාවට පත් කරන්න දශමයකින්වත් දායක වන්නේ නැහැ. අපව හැදූ, වැඩූ ශ්‍රේෂ්ඨ හමුදාවන්ට අපේ අනන්‍යතාව සහ ගෞරවය හැමදාමත් තිබෙනවා. මේ වැනි වෛරී ප්‍රකාශ සිදු කර අපව කලබල කරන්න හෝ කුපිත කරන්න බැහැ. මෙයට වඩා දරුණු තත්වයක් යටතේ කටයුතු අපි සිදු කළා. මේවා අපට ඔරොත්තු දෙනවා. ‘අදිටන’ ත්‍රිවිධ හමුදා සාමුහිකයේ සාමාජිකයකුගේ නිවසකට, ඉඩමකට සම්බන්ධ කර අවි ආයුධ හමු වුණු බවට ප්‍රචාරය කළොත්, ඔබලා කිසිවකුත් පුදුම වන්න එපා. එවැනි සැලසුම් තිබෙනවා. ජනතාවට ජීවත් වන්න මත්ද්‍රව්‍යවලින් තොර පාතාලයෙන් තොර ආරක්‍ෂිත, නිදහස් රටක් ඕනෑ. රට වැටුණු වෙලාවේ ජාතික ජන බලවේගය වාගේ මහජන ව්‍යාපාරයක් එක්ක එකතු වී කටයුතු කිරීමට ලැබීම ගැන නිහතමානී සතුටක් තිබෙනවා. පසුගිය කාලයේ මේ රට පාලනය කළ අය සමඟ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් එකතු වන විට ඔවුන්ව ‘රණවිරුවන්’ ලෙස හැඳින්වූවා. අපි ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන කොට ‘කල්ලි’ යනුවෙන් හඳුන්වනවා. රණවිරුවෝ දඩයම් කර ගත්තේ ඔය කියන දේශපාලන පක්‍ෂ. අපි කෙළින් වැඩ කරන අයවලුන්. ඒ නිසා අපි ජනතාවට කෙළින්ම කියනවා, ඔය බොරු අවලාදවලට හසුවන්න එපා කියලා. ඒ වාගේම කිසිම දෙයකට කලබල වෙන්නත් එපා. 21 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමට ගොස් ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක, අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවන්න. ඒ වාගේම 21 වැනිදාට පසු කිසිම ප්‍රචණ්ඩත්වයක්, කිසිම කලබලයක් ඇති නොවන ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්න.

Nishshanka Wijesinghe At NPP Aditana Press Conference

“අපි දේශපාලනය කරන්නේ කිසි කෙනකුට හැංගිහොරා නොව විවෘතවයි”
-යුදහමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් නිශ්ශංක විජේසිංහ-

මම යුද්ධය අවසන් අදියරේ දී මාණ්ඩලික ප්‍රධානී හැටියට කටයුතු කළා. 2009 වර්ෂය අවසානයේ දී විශ්‍රාම ගියා. ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කරන රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා ක්‍රියා කර විශ්‍රාම ගිය අපට අභූත චෝදනා එල්ල කරන්නේ කිසිම දැනඋගත්කමක් නැති පිරිසක්. ජාතික ජන බලවේගය පරදිනවා යැයි ආරම්භයේදීම සඳහන් කර ටික වේලාවක් යන කොට ඔහු කියන්නේ ජයග්‍රහණයෙන් පසුව කලබල ඇති කරන බවයි. පෙර සඳහන් කළ සංවිධානයේ ප්‍රකාශකයා ඔහු කියන දේ සම්බන්ධයෙන්වත් අවබෝධයක් නැති අයෙක්. ඒ වාගේම ඔහු සඳහන් කරන්නේ ඔහුට හිතෙන, ඔහුට දැනෙන දේවල් බව ඔහුම ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශවලින්ම පැහැදිලි වෙන්නේ, ඔහු මනෝචිකිත්සකයකු ළඟට ගෙන යා යුතු බවයි. අපි අපේ කාලයේ විනයගරුකව කටයුතු කළා වාගේම සේවයක් අද සිටින ත්‍රිවිධ හමුදාවත් එලෙස විනයානුකූලවම කටයුතු කරනවා. ඔවුන්ගේ ව්‍යාජ ප්‍රකාශයෙන් අද සක්‍රියව සේවයෙහි යෙදී සිටින ත්‍රිවිධ හමුදාවටත් ව්‍යංගයෙන් චෝදනා එල්ල කෙරෙනවා. ඒ බවවත් ඔවුන්ට හැඟීමක් නැහැ. අපි මේ දේශපාලනය කරන්නේ මේ රටේ පුරවැසියන් හැටියට අපට තිබෙන මූලික අයිතිවාසිකමක් මත විවෘතවමයි. කිසි කෙනකුට හැංගිහොරා අපි කටයුතු කරන්නේ නැහැ. එසේ තිබිය දී, ආගමට විරුද්ධව කටයුතු කිරීම, අවිආයුධ එකතු කිරීම වැනි චෝදනා ඉතාමත්ම බරපතළයි. අපගේ සාමාජිකයන් සියලුම දෙනා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවත් විනයගරුකව නොකැළැල් පැවැත්මක් සහිතවයි ජාතික ජන බලවේගය සමඟ එක් වී සිටින්නේ.

Senaka Hanwella At NPP Aditana Press Conference

“‘අදිටන’ අපි තරම් මේ දේශපාලනයේ මජරකම, දූෂිත බව වෙන කිසිවකුත් දැක නැහැ”
-ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු සේනක හංවැල්ල-

අපි ජාතික ජන බලවේගයට ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය ලෙස සම්බන්ධ වී සිටින්නේ පැහැදිලි අවබෝධයකින් යුක්තව. යුද හමුදාවේ වසර තිස්පහක් පමණ සේවය කර ජ්‍යෙෂ්ඨ නිලයන් දැරූ නිකැළැල් පුද්ගලයන් ලෙස අපි එකතු වී සිටිනවා. ඒ වාගේම අපි ජාතික ජන බලවේගයට එකතු වුණේ මේ රටේ මජර දේශපාලනය පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුක්තව. අපි තරම් මේ දේශපාලනයේ මජරකම, දූෂිත බව වෙන කිසිවකුත් දැක නැහැ. හැත්තෑහය වසරක් තිස්සේ පවතින මේ ක්‍රමය අවසන් කර ජනතාවාදී පාලනයක් පිහිටුවාගෙන නව පුනරුද යුගයක් කරා රට ගෙන යාමට දේශපාලන ක්‍ෂේත්‍රයේ කටයුතු කළ ජාතික ජන බලවේගය සමඟ එකතු වූවා. ‘අදිටන’ කියන්නේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා කල්ලියක් නොවෙයි. අපි පෙට්ටි කඩයක් නොවෙයි. අපි පාතාල කල්ලියක් නොවෙයි. ‘අදිටන’ බොහොම වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කරන සංවිධානයක්. ජාතික මෙහෙයුම් කමිටුව සාමාජිකයන් 12 දෙනකුගෙන් පිහිටුවාගෙන ජාතික ජන බලවේගයේ නායකත්වයත් සමඟ එක්ව කටයුතු කරනවා. ඒ වාගේම වවුනියාව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කත් ඇතුළුව රටේ දිස්ත්‍රික්ක 20ක අපේ දිස්ත්‍රික් කමිටු ක්‍රියාත්මක වෙනවා. හැම දිස්ත්‍රික්කයකම ප්‍රධාන සම්බන්ධීකාරකවරයෙක් ඉන්නවා. මෙතැන ඉන්න විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරයා. ඔහුත් එක්ක මැතිවරණ කොට්ඨාස මට්ටමින් පත් කළ සංවිධායක සහ සහකාර සංවිධායකවරයකු සිටිනවා. ඒ නිසා අපි කල්ලි නොවන බව මම අවධාරණය කරනවා.

‘නව මඟ’ කියන සංවිධානයේ පුද්ගලයෙක් සම්බන්ධ වීඩියෝ පටයක් වාගේම 20,000කට ආසන්න පිරිසක් සහභාගී වූ අපේ ජාතික සමුළුවට සම්බන්ධ වූ අයකු දැක් වූ අදහස් විකෘති කළ වීඩියෝවක් සමාජගත කරන්න උත්සාහ කර තිබෙනවා. එදා සමුළුව ඇමතූ කථිකයන් ‘අදිටන’ සාමුහිකයේ අරමුණු ඉතා පැහැදිලිව සඳහන් කළා. ඒ සමුළුවට සහභාගී වූ හැමෝම යුතුකමක් ඉෂ්ට කරන්න කැපවීමේ අධිෂ්ඨානයෙන් පැමිණි අයයි. ලංකාවේ දේශපාලන වේදිකාවට ‘ස්මාර්ට් පොලිටික්ස්’ හඳුන්වා දුන්නේ අපි. පසුගිය කාලය තුළ අපගේ සාමාජිකයන් රට පුරාම කතා සිය දහස් ගණනක් කර තිබෙනවා. නමුත්, අපි ත්‍රිවිධ හමුදාවට හෝ මේ රටේ ජනතාවට අපහාස වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් කර නැහැ. නමුත්, අපට විරුද්ධව සිටින දේශපාලන වේදිකාවල විශ්‍රාමික හමුදා අය මොන වාගේ ද කතා කරන්නෙ කියලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. අපි කවරදාවකවත් ප්‍රචණ්ඩය වපුරන, වෛරී ප්‍රකාශ කිසිවක් සිදු කර නැහැ. මම මෙයට පෙර මාධ්‍ය හමුවේ දී සඳහන් කළ ආකාරයට ‘අදිටන’ ටී ෂර්ට් එක 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසුව කිසිසේත්ම පාවිච්චි කරන්නේ නැහැ. නමුත්, එදිනෙන් පසුව යම් කෙනකු ඒ ටී ෂර්ට් එක භාවිත කළොත්, අපේ කෙනෙක් නොවන බව පැහැදිලිව ප්‍රකාශ කරනවා.

Sampath Kotuwegoda At NPP Aditana Press Conference

“අපට අභූත චෝදනා නැගීමෙන් ප්‍රදර්ශනය වන්නේ ඔවුන්ගේ පරාජයේ වියරුවයි”
-ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ-

‘නව මඟ ජාතික ව්‍යාපාරය’ යනුවෙන් නම් කර ගත් ඊනියා සංවිධානයක් ජාතික ජන බලවේගයට අභූත චෝදනා නඟමින්, ඔවුන්ගේ පරාජයේ වියරුව ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය හැටියට අපි අවධාරණය කරන්නේ ජාතික ආරක්‍ෂාව අපේ ලේවල තිබෙන බවයි. සක්‍රිය සේවයේ යෙදී සිටියෙදී වගේම අද ‘අදිටන’ට සම්බන්ධ වී ඒ තුළින් ජාතික ජන බලවේගය වටා එක් වී සිටින්නේත් රට සහ ජනතාව ආරක්‍ෂා කර ගන්නයි. මේ රටට හෝ ජනතාවට හෝ විරුද්ධ කිසිදු හැඟීමක් අප කිසිවකුට නැති බව ජනතාවට අවධාරණය කරනවා. අවි ආයුධ එකතු කරන බවට එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අපට කියන්නට තිබෙන්නේ මුලින්ම අපි විශ්‍රාමික හමුදා සාමාජිකයන් එකතු කළ බවයි. ඊ ළඟට අපි ජනතාව එකතු කළා. මුළු රටම එකමිටට මාලිමාවට ගෙන ආවේ ඒ විදියට. පරාජිත කණ්ඩායම් වියරුවෙන් නඟන චෝදනා සම්බන්ධයෙන් කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් යුතුව ඇසිය යුතු බව අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

NPP Aditana Press Conference