-Colombo, November 06, 2023-
ලංකාවේ මහ පොළොව සමග මාතෘ භූමිය සමග තිබෙන බැඳීම අත් නොහැර එහි වෙසෙන ජනතාව මුහුණ දී සිටින ගැඹුරුතම අර්බුදයන් පිළිබඳ සහකම්පනයෙන් සිටින බව ඔබ මෙතනට පැමිණීමෙන් තහවුරුවී තිබෙනවා. ඔබ මෙතනට සහභාගී වීම පිළිබඳව ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඔබ ලංකාවේ දේශපාලන වෙනසක් පිළිබඳව විවිධ අවස්ථාවල පෙනී සිටි පිරිසක්. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සක්‍රීයවම වැඩිම පිරිසක් සහභාගී වූයේ 2019 ජනාධිපතිවරණයේදි සහ ඉන්පසු පැමිණි මහා මැතිවරණයයි. හැබැයි අද ඔබට මොකක්ද සිදුවී තිබෙන්නේ. ඔබගේ අපේක්ෂාවන් අද මුළුමනින්ම විනාශ වී තිබෙනවා. නමුත් ඊට පෙරත් විවිධ අවස්ථාවල ආණ්ඩු පෙරළන්න සහ ආණ්ඩු පිහිටුවන්න ඔබ සහභාගී වූ බව ස්ථිරයි. ඒ සෑම අවස්ථාවක් පිළිබඳවම ආපසු හැරී බලන විට ඔබට සිදුවී තිබෙන්නේ සිත් වේදනාවක් සහ අපේක්ෂාභංගත්වයක් පමණයි. මම ඔබට එක සහතිකයක් දෙනවා. අද අප සමග කතා කරන්න, සවන් දෙන්න විශාල පිරිසක් ඉන්න බව විශ්වාසය තබා තිබෙනවා. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳුවකින් හෝ බිඳ වැටෙන්න ඉඩ නොදෙන බවට අපි සපථ වෙනවා. ඔබ මේ අවස්ථාවට සහභාගි වී රට වෙනුවෙන් යම් කාර්යයක් කළ බවට මතකයේ සිටින දිනයක් වෙන බවටත් සහතිකයි.
මේ විදිහට තවදුරටත් රටට හෝ ජනතාවට ඉදිරියට යන්න බැහැ. ජනතාවගේ මූලිකම අවශ්‍යතාවය වන ආහාර සම්බන්ධයෙන් රටේ තිබෙන්නේ මොන වගේ තත්වයක්ද? ජනගහනයෙන් 68%ක් කවර හෝ ආකාරයෙන් ආහාර අර්බදයකට වැටී ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙනවා. මේ තත්වය වෙනස් කරන්න ඕන නැද්ද? ඒ වගේම අවම සෞඛ්‍ය පහසුකම් පවා ඛේදවාචකයක් බවට පත්කර ඇති තත්වය වෙනස් කරන්න ඕනෑ. ඒ වගේම අපරාධ, මත් ද්‍රව්‍ය, පාතාලය බියකරු ලෙස වර්ධනය කර තිබෙන දේශපාලන වටපිටාවක් තිබෙන්නේ. හම්බන්තොට වම්බොට්ටලා, ජූලම්පිටියේ අමරෙලා, වැනි අපරාධකරුවන්ගේ වර්ධනය ඇති කර තිබෙන දේශපාලනය වෙනස් කළ යුතුයි. නීතියේ විධානයේ ආධිපත්‍යය මුළුමනින්ම බිඳ වට්ටවා අපරාධකරුවන් රට පාලනය කරන තත්වයට විනාශ කර තිබෙන්නේ. මේ තත්වය වෙනස් කරන්න, රටේ වෙනසක් ඇති කරන්න ඔබ සැමගේ සහයෝගය අපට අවශ්‍යයි. නමුත් ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මනුස්සයා කණාමැදිරි එළියටත් බයයි කියන සැකය ඔබට තිබෙන්න පුළුවන්. එය සාධාරණයි. නමුත් ඔබට අවස්ථාවක් අද ලැබී තිබෙනවා; අපි ගැන අපෙන් අහන්න. ඒ නිසා මේ සාකච්ඡාව ගැටලු නිරාකරණය කිරීමට විශේෂයෙන් යොමුවීම වැදගත්.
මෙපමණ කාලයක් බලය ගන්න බැරිවුණ අපට, මෙවර බලය ගැනීමේ හැකියාව ලැබී තිබෙන්නේ කොහොමද? දේශපාලනය ස්වභාවිකව දශක ගණන් ඔහේ ගලාගෙන ගියත් ඒ වෙනුවට දේශපාලන පරිවර්තනයක් ඇති කිරීමට අවශ්‍ය මූලිකම පසුබිම සකස් වී තිබෙනවා. රනිල්ට විරුද්ධව මහින්ද රාජපක්ෂගේ පිල තෝරා ගත් අයට අද මොකද වී තිබෙන්නේ. පාලක පන්තියට සියලු ප්‍රතිවිරෝධතා පසෙක තබා එකතු වෙන්න තරමට අර්බුදය උඩට ගිහින් තිබෙන්නේ. ඒ වගේම දෙවනුව ජනතාවට තවදුරටත් සුපුරුදු පරිදි ජීවත් වෙන්න බැරි පතුලෙන් මතුවෙන අර්බුදයත් ඉතාම ඉහළට ගිහින් තිබෙනවා. මේ ආකාරයට පාලකයන්ට සුපුරුදු පරිදි පාලනය පවත්වාගෙන යාමට නොහැකි වීම සහ ජනතාවට තවදුරටත් සුපුරුදු පරිදි කටයුතු කිරීමට නොහැකි වීම සමාජ පරිවර්තනයකට අවශ්‍ය ප්‍රබලම සාධක මෙහෙයවීම දක්වා පැමිණ තිබෙනවා. දැන් බලය අත්පත් කර ගන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය තිබෙන්නේ අපි ළඟ. එහෙම නම් අපි තුළ තිබෙන සමත්කම් සහ අසමත්කම් මොනවාද? ඔවුන් මේ තත්වයට මුහුණ දෙන්න විශාල ධනයක්, රාජ්‍ය බලයත්, මාධ්‍ය බලයත් තිබෙනවා. කොපමණද කියනවා නම්, මට ග්‍රැෆයිට් කියන වචනය පැටලීම ඬේලි මිරර් පත්තරයේ මුල් පිටුවේ ප්‍රවෘත්තියක් බවට පත්වෙනවා. මේ මාධ්‍ය බලයට සමාජ මනස විකෘති කරන්න පුළුවන්. පසුගිය ජනාධිපතිවරණය සමයේදී ගෙනගිය ප්‍රචාරයන් ඉහළම තලයට ගෙන ආවේ සාෆි වෛද්‍යවරයා වඳ සැත්කම් කිරීම පිළිඳව සහ කැලණි ගඟෙන් නයෙක් මතුවීමයි. ලංකාවේ ශබ්ද කෝෂයට ගර්භාෂ යුද්ධයක් කියන තත්වය දක්වා ප්‍රබන්ධයන් ප්‍රචාරය කළා. අන්තිමට ජාතිය අනතුරට පත්වී ඇති බවත්, එයින් බේරා ගන්න, පාස්කු ප්‍රහාරය රටම අරාජික වී තිබීමෙන් බේරා ගන්න ‘නාග’ ලෝකයෙන් නාගයා ගෙන ආවා. ඒ වගේම ඔවුන් සතුව විශාල කළු සල්ලි බලයකුත් තිබෙනවා. මේ සියල්ල හමුවේ අප සතුව තිබෙන එකම බලය මහජනයාගේ බලයයි. මේ පරිවර්තනය සඳහා තිබෙන ශක්තිමත්ම පවුර අපේ මහජන බලයයි.
මේ ජනතාව ගොවි, ධීවර, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු විවිධ ආකාරයෙන් සිටින අතර, මැතිවරණවලදී විශාලතම බලපෑම කරන පිරිස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව බව හඳුනාගෙන තිබෙනවා. නමුත් දැන් මේ සියල්ලේම නියෝජනය කරන මහජන මතයට ඉඩ නොදී පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය හකුළා තිබෙනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරි පැහැදිලිව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනාධිපතිවරයෙකු විසින් දැරිය යුතු බව පැහැදිලිව දක්වා තිබෙනවා. පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයටත් පළාත් සභා ආණ්ඩුකාර පාලනයටත් යටත් කළ හැකි වුවත්, ලබන අවුරුද්දේ ඔක්තෝබර් 17ට පෙර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. යම් හෙයකින් ඡන්දය නොපවත්වා ඉන්න ඔහු තීරණය කරනවා නම්, ලබන අවුරුද්දේ ඔක්තෝබර් 17ටත් කලින් එයාට යන්න සිදුවෙනවා. සමහර අය අහනවා මෙච්චර පීඩාවක් වෙද්දීත් ජනතාව පාරට බහින්නේ නැත්තේ ඇයි කියලා. ජනතාව බලාගෙන ඉන්නේ ඔක්තෝබර්වල ජනාධිපතිවරණය පවත්වන තුරු. එය නොපවත්වන බවට සංඥාවක් ආවොත් ජනතාව පාරට බහිනවා.
බලය ලබා ගත්තාට පසුව රට පරිවර්තනය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් තිබෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සියලුම බලවේග අපි ළඟ ඉන්නවා. ඒ හැර මා හෝ මගේ පක්ෂයේ කිසිවෙකුත් ඉන්ද්‍රජාලිකයන් නොවෙයි. ආසියාවේ ලොකුම මොළයක් නොවෙයි. මිනිස් ඉතිහාසයේ දැවැන්ත ජයග්‍රහණ හැම එකක්ම අත්පත් කර ගෙන තිබෙන්නේ සාමූහික ප්‍රයත්නවලින්. මිනිසා අත්පත් කර ගත් දැනුමේ එකතුවක් හැටියට ශිෂ්ටාචාරය සාමූහික ප්‍රයන්තවලින් නිර්මාණය වී තිබෙනවා. අපේ පාලනයක් කියන්නේ ඒ සාමූහික ප්‍රයත්නයක්. ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතුයි. එයින් පත්වෙන ඇමතිවරුන්ට යම් අත්දැකීමක් දැනුමක් තිබෙනවා. නමුත් අපි කිසිවෙකුත් සියල්ල දන්නේ නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමයම සකස්කොට තිබෙන්නේ කඩා වෙන්කොට උගන්වන්න. එක් එක් ක්ෂේත්‍රවල පෙන්වන නිපුනතාවයන්ගේ සාමූහිකත්වය තුළින් අමාත්‍යාංශය මෙහෙයවන්න ඕනෑ. ඒ වෙනුවෙන් විශේෂඥ අවබෝධයන් තිබෙන සියලු ක්ෂේත්‍ර ආවරණය කර ගත හැකි විශේෂඥ මණ්ඩලයක් පත්කරනවා. නව පර්යේෂණ සඳහා ඇමෙරිකාවේ වසරකට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 500ක් යොදනවා. ලංකාවේ මුළු ආර්ථිකයම වසරකට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 80යි. එයින් කියැවෙන්නේ නව දැනුම නිෂ්පාදනයට අවශ්‍ය අතිරික්ත ධනය බටහිර රටවල තිබෙන බවයි. ඔවුන් නිර්මාණය කරන විශේෂඥයන්ගෙන් ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටිනවා. අපි ඔක්කෝම එකතු වෙලා අපේ රට ගොඩගනිමු.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික ඥානය එකට එකතු කර ගැනීම සඳහා අවශ්‍ය සංවිධාන යාන්ත්‍රණය සහ මෙහෙයවීම ලබාදෙන පාලනයක්. ආර්ථික, සමාජ, දේශපාලන වෙනස්කම් ඇති කරන්න නම්, දූෂණය, හොරකම, වංචාව, නාස්තිය අනිවාර්යයෙන්ම නතර කර, ඒ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබාදෙමින් පොදු ජනතාවගේ දේපොළ සහතික වශයෙන්ම පවරා ගන්නවා. ඉස්පිරිතාලයේ රෝගී අපේ අම්මා තාත්තා වෙනුවෙන් බෙහෙත් අරගෙන දෙන්න යෙදවිය යුතු ධනය කෝටි ප්‍රකෝටි ගණන් ඔවුන් පොදි බැඳගෙන තිබෙනවා. පලිගැනීමක් නොවෙයි, කිසිවෙකුගෙන් පුද්ගලික පලිගැනීමේ චේතනාවක් හෝ තරහක් අපට නැහැ. නමුත් සමාජ යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක් අපේ රටේ තිබෙනවා. අපි එය ඉටුකරනවා. අපේ දරුවන්ගෙන් 20%කට ආසන්න ප්‍රමාණයක් අධි මන්දපෝෂණයෙන්, ගැබිනි මව්වරුන්ගෙන් 17%කට ආසන්න ප්‍රමාණයක් රක්ත හීනතාවයෙන් පෙළෙන්නේ මහජනයාගේ ධනය පොදි බැඳගත් චෞර වළල්ල නිසයි. ඒ ධනය සමාජ ගත කළ යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඒ කටයුත්ත කරනවා. ඒ වගේම අපේ රට ගොඩනැගීම සඳහා අද පවතින විනාශකාරී, කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. ඒ වගේම ආකල්පමය වෙනසක්, නවීන තාක්ෂණය යොදා ගන්නා රාජ්‍ය සේවයක් නිර්මාණය කරනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ජාතික සමගිය නිර්මාණය කළ යුතුයි. භාෂාවන් දෙකක් කතා කරන සිංහල, දෙමළ, මුස්ලිම් ජන කණ්ඩායම් තුනක් ඉන්නවා. ප්‍රධාන ආගම් හතරක් තිබෙනවා. බෞද්ධ ධර්මය, හින්දු ධර්මය, කිතුනු ධර්මය සහ ඉස්ලාම් ධර්මය අනුව ප්‍රධාන සංස්කෘතීන් තුනක් තිබෙනවා. සිංහල බෞද්ධ, දෙමළ හින්දු සහ මුස්ලිම් ඉස්ලාම් සංස්කෘතියක් ප්‍රධාන වශයෙන්ම තිබෙනවා. වෙසක්, පොසොන්, නත්තල්, මහ සිකුරාදා, පාස්කු, තෛපොංගල්, රාමසාන් කියන ආගමික සංස්කෘතික උත්සව තිබෙනවා. ලංකාවේ ජනතාව සියලු දෙනා එකතු වෙලා සමරන සංස්කෘතික උළෙලක් වත් නැහැ. අපි බෙදලා තිබෙන්නේ.
අවුරුදු තිහේ යුද්ධයේදී මහ පොළොව තෙමෙන තරම් ලේ ගංඟා පිරෙන තරම් කඳුළු ගැලුවා. නැවත එවැනි තත්වයක් ඇති නොවෙන්න සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය ඇති කරන්න ඕනෑ. අපේ පරම්පරාව යුද්ධ කර ගත්තත් අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ කර ගන්නේ නැති රටක් ඕනෑ. මේ පාලකයෝ හිටියොත් අපේ දරුවන්ගේ පරම්පරාවටත් යුද්ධ කර ගන්න සිදුවෙනවා. ඒ ගොල්ලන්ට යුද්ධ නැතිව පාළුයි, පාඩුයි. යුද්ධය තිබුණා නම්, තෙල් නැතිවීම, ගෑස් නැතිවීම, ණය ගෙවා ගන්න බැරි වීම, බෙහෙත් නැති වීම, යුද්ධය නිසා බව කියනවා. ඔවුන්ට යුද්ධය නැතිව පාළුයි වගේම පාඩුයි කියන්නේ ඒ නිසයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය තිබෙන රටක් වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන රටක් බවට පත්කරනවා. ධනය තිබෙන කෙනාට, බලය තිබෙන කෙනාට එක නීතියකුත්, ධනය සහ බලය නැති කෙනාට එක නීතියකුත් වශයෙන් තිබෙන තත්වය අවසන් කර, නීතිය කෙරෙහි විශ්වාසය තිබෙන රටක් ගොඩනඟනවා. ශිෂ්ට සම්පන්න රටක් බිහිකිරීමේදී නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරනවා. අපේ රටේ අත්තිවාරම පුපුරවා හැර තිබෙන්නේ. අපි ඒ අත්තිවාරම නැවත ශක්තිමත්ව දමා ඒ මත ආර්ථිකය, ගොඩනඟනවා. ඒ තුළ අනෙකා ගැන සහකම්පනයක් සහිත තෙතමනයක් සහිත මිනිස් සමාජයක් ගොඩනඟනවා.
අද සිහින මිය ගිය, අපේක්ෂා කඩා වැටුණු රටක් වී තිබෙන අපගේ ශ්‍රී ලංකාව සිහින දකින අපේක්ෂාවන්ගෙන් පිරුණු රටක් ගොඩනැගීම වෙනුවෙන් සියලු දෙනාම එක්වී ක්‍රියාකරමු කියා ආරාධනා කරනවා.