Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජාතික ජන බලවේගයේ අලුත් අවුරුදු පණිවිඩය… “නව වසර ඉතිහාසය අලුතින් ලියන වසරක් කරමු!”

-Colombo, January 01, 2024-

දැනට ලෝකයේ සම්මත දින දර්ශනයට අනුව 2023 වසර අවසන්වී නව වසරකට අපි පා තබා සිටිමු. සෑම නව වසරක උදාවේදීම අපේ ජනතාව සුබ අලුත් අවුරුද්දක් සඳහා එකිනෙකාට සුබ පතන ලදී. එහෙත් සම්ප්‍රදායට කරනු ලබන හුදු සුබ පැතුම්වලින් කිසිදු අවුරුද්දක ජීවිතය සුබ නොවූ බව අපි අත්දැකීමෙන් දනිමු. එබැවින් අලුතින් ලැබූ 2024 වසරේදී සුබ පැතුම්වලට සීමා නොවී සැබෑ ලෙසම මෙම වසරත් මෙම වසරින් ඇරඹෙන අනාගතයත් සුබ කර ගැනීමට අප අදිටන් කර ගත යුතුය. නව වසරේ අපගේ පැතුම විය යුත්තේ එයය.

2024 නව වසර එළඹෙන්නේ අර්බුද දුෂ්කරතා හා අභියෝග රැසක් රැගෙනය. එහෙත් ඒ අතරම මෙකී සියලු අර්බුද හා දුෂ්කරතා ජයගත හැකි අවස්ථාවක්ද මේ නව වසර තුළ අප ඉදිරියේ තිබේ. පසුගිය වසරට වඩා මේ නව වසරේ විශේෂය වන්නේ එයය.
නව වසරේ අභියෝග විශාලය. පසුගිය 2022 වසර තුළ පුපුරා ගිය ආර්ථික අර්බුදය තව දුරටත් වර්ධනය වෙමින් තිබෙන අතර රනිල් – රාජපක්ෂ පාලනය අර්බුදයේ සමස්ත බර ජනතාව මත පටවනු ලැබ තිබේ. 2024 නව වසර එළඹෙන්නේ අයිඑම්එෆ් එකඟතාවලට අනුව වැඩිකරන ලද වැට් බදු බරද සමගය. වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩිවෙන අතර මෙතෙක් වැට් බද්ද පනවා නොතිබූ භාණ්ඩ වර්ග 97කට අලුතින්ම බදු පැනවේ. ඒ භාණ්ඩ අතර ඩීසල්, පෙට්‍රල්, විදුලි බිල, පාසල් උපකරණ, කෘෂි උපකරණ, පොහොර හා ආදාහන කටයුතුද වේ. රනිල් -රාජපක්ෂ බදු ගැහිල්ලේ තරම කෙතරම්ද යත් ජීවත්ව සිටිනතාක් කල් පමණක් නොව මියගිය පසුද බදු ගෙවීමට ජනතාවට සිදුවේ.

අලුතින් පැනවෙන බදු බරත් සමග ප්‍රවාහන ගාස්තු ඉහළ යාම, නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් එකතු වූ විට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල දරාගැනීමට නොහැකි තරමින් ඉහළ යාම නොවැළක්විය හැකිය. එවිට ජනතාවට තව දුරටත් ජීවත්වීමට නොහැකි තත්වයක් ඇතිවනු ඇත. මේ සමග දැනටමත් බිඳවැටෙමින්, වැසීයමින් පවතින දේශීය කර්මාන්ත ව්‍යාපාර හා කෘෂිකර්මාන්තය පවා අවසන් හුස්ම හෙළන තත්වයට පත්වනු ඇත.

දැනට වසර 40කට වැඩි කාලයක් තිස්සේ මෙරට පවත්වාගෙන යන බංකොලොත් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට අනුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුවත් ජනතාව මත පැටවෙන අධික බදු බරට අමතරව රටේ ඉතිරි සම්පත් ටිකද විකුණා දමනු ඇත. ජලයට බදු අයකරන පනත් දැන් සූදානම්ය. විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් පමණක් නොව කිරි හරක් ටික පවා විකිණීමට රනිල් රාජපක්ෂ පාලනය සූදානම්ය. මෙරට රජයට අයත් කිරි ගොවිපල 32ක් ඊට අයත් ඉඩම් අක්කර 28,000ක් සමග අමුල් සමාගමට බදු දීමට දැන් සියල්ල සූදානම්ය.

ආර්ථිකයේ දිගින් දිගට සිදුවන මෙම විශාල කඩා වැටීමත්, භාණ්ඩ හා සේවාවල මිල ඉහළයාමත් විසින් ජනතාවට තව දුරටත් පැරණි ක්‍රමයෙන් ජීවත්වීමට බැරි තත්වයක් උදාවන බවද පැහැදිලිය. එවිට සමාජ සංස්ථාව තව දුරටත් කඩා වැටී අපරාධ, හොරකම්, වංචා ආදියද ඉහළ ගොස් ජනතාවට තම අනාගතය පිළිබඳ නැවත සිතීමට බලකරන තත්වයක් නිර්මාණය වනු ඇත.
ඒ අතරතුර ආණ්ඩුව ජනතාව මර්දනය කිරීමට නව මර්දන පනත්ද සූදානම් කරමින් සිටී.

දැනටමත් සිදුවෙමින් තිබෙන පරිදි මෙම අර්බුද හා අභියෝග විසින් ජනතාවට ජීවිතයේ විශාල අත්දැකීම් උගන්වනු ඇත. වසර 75ක් තිස්සේ පවත්වාගෙන ආ තට්ටුමාරු දේශපාලන ගමන තවදුරටත් රැගෙන යන්නේද යන්න පිළිබඳ ගැඹුරින්ම සිතා බැලීමට සමස්ත පුරවැසියාට මේ තත්වය බලකරනු ඇත. එසේම 1978 සිට පවත්වාගෙන යන මේ නව ලිබරල්වාදී කොල්ලකාරී ආර්ථික ක්‍රමයත් ඒ මත නිර්මාණය කර ඇති දූෂිත මජර දේශපාලන සංස්කෘතියත් තවදුරටත් ඉවසා සිටිනවාද නැද්ද යන්න තීරණය කිරීමටද ජනතාවට මෙම තත්වය බල කරනු ඇත.

රටක් සතු සියලුම සම්පත් විදේශ රටවලට, සමාගම්වලට විකුණා දමමින්, බදු දෙමින් තව තවත් ණය ගනිමින් රටක් හා ජනතාවක් ප්‍රපාතයට විනාශයට ඇදගෙන යන වර්තමාන පාලන ක්‍රමය තවදුරටත් ඉවසා සිටින්නේද යන්න තීරණය කිරීමටද ජනතාවට සිදුවනු ඇත.

ඉතින් මේ සියලු විනාශයන්ගෙන්, අර්බුදයන්ගෙන් රට මුදාගෙන අභියෝග ජයගනිමින් අලුත් ආර්ථික දේශපාලන ගමනක් ආරම්භ කිරීමේ අවස්ථාවද මේ නව වසරේම ජනතාවට උදාවී ඇත. ඒ ව්‍යවස්ථාවට අනුව පැමිණීමට නියමිත අනිවාර්යයක් වූ ජනාධිපතිවරණයයි. එම ජනාධිපතිවරණය අපේ රට අලුත් මඟකට, ජයග්‍රාහී මඟකට යොමු කිරීමේ මඟහැර යා නොහැකි අවස්ථාව වනු ඇත.

රටක ඉතිහාසය ගොඩනගන්නේ ජනතාව විසින් බව සැබෑය. එහෙත් අපේ රටේ ඉතිහාසයේ ගමන් මඟ තීරණය කළේ දූෂිත පරපුටු ප්‍රභූ පාලක පිරිසක් විසිනි. එබැවින් එම වැරැදි ඉතිහාසය ජනතාව විසින්ම නිවැරදි කළ යුතුය. මෙම නව වසර ලංකාවේ ඉතිහාසය අලුතින් ලියන වසරක් පමණක් නොව ලාංකේය ජාතිය සැබෑ ලෙසම ගොඩනගන නව නිදහස් අරගලයක ජය ගෙනෙන වසරක් බවටද පත්කර ගත යුතුය. ඒ, පසුගිය ඉතිහාසය පුරා මෙරට පාලනය කළ දූෂිත පවුල් පාලනයන් විසින් මෙරට ආර්ථික වශයෙන් බංකොලොත් කර ඇති නිසාත්, දේශපාලන වශයෙන් පරාධීන කර ඇති නිසාත්, ජාතික වශයෙන් අසමත් කර ඇති නිසාත්ය. අප අපේ සැබෑ නිදහස, සවෛරිභාවය, ස්වාධීනත්වය යළි දිනාගත යුතුය. ලාංකේය ජාතිය ගොඩනැගිය යුතුය. ලංකාවේ අභිමානය ආරක්ෂා කර ලංකාව ලෝකයා හමුවේ දෙපයින් නගා සිටුවිය යුතුය; එය කළ හැකිය.

ඒ අනුව 2024 නව වසර සැබැවින්ම ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගත් ජනතාවක් විසින් අඳුරු අතීතය වෙනස් කර පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය අලුතින් ලියන, ඉතිහාසය අලුතින් ගොඩනගන, වසරක් බවට පත්කර ගත යුතුයයි අපි උදක්ම විශ්වාස කරමු. ඒ සඳහා ජනතාව අධිෂ්ඨානයෙන් පෙළගැසෙමින් එන පෙර මග ලකුණුද අපි දැන් දකිමින් සිටිමු.

එබැවින් පරාධීන, බංකොලොත් රටක අඳුරු වේදනාබර අතීතය මකාදමා රටේ ඉතිහාසය අලුතින් ලිවීමට, ආර්ථික ස්වාධීනත්වය, සමාජ සාධාරණත්වය, මානව ගරුත්වය සහිත නව සමාජයක් ගොඩනගා ගන්නට ධෛර්යෙන් පෙරට එන ලෙස සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ හා සියලුම ආගම් අදහන සියලු දෙනාගෙන්, නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන් ආදී ප්‍රගතිශීලී සියලු බලවේගවලින් ඉල්ලා සිටින අප ඒ සඳහා ඔවුන් සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවායි ඉත සිතින් පතන්නෙමු.

අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.01.01