(-මුස්ලිම් සහෝදරත්වයේ රැලිය – බියගම, මල්වාන – 2024.08.08-)
රට පුරා විසිරී සිටින මුස්ලිම් ජනතාව වෙත ජාතික ජන බලවේගයේ පණිවිඩය ගෙනයන්න විශාල කැපවීමක්, වෙහෙසක් දරන පිරිසක් මෙතනට ඒකරාශී වී සිටිනවා. සැප්තැම්බර් 22දාට අපේ රටට අලුත් ජනාධිපතිවරයෙක් පත්වීමට නියමිතයි. ඉන්න කෙනා නම්, කොහොමත් එන්නේ නැති බව පැහැදිලියි. අපි ඔබ සැම හමුවන්නට ආවේ මේ ජනාධිපතිරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න කියලා ඉල්ලන්න. මුස්ලිම් කොන්ග්‍රසයට සම්බන්ධව දේශපාලනය කළ බොහෝ පිරිසක් ගම්වල ඉන්නවා. නමුත් මේ ජනාධිපතිවරණය පවත්වන්නේ මුස්ලිම් කොන්ග්‍රසයේ කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න නොවෙයි. මේ තියෙන්නේ ජනාධිපතිවරණයක් පවත්වා රටට නායකත්වය සපයන්න කෙනෙක් තෝරන මැතිවරණයක්. ඔබගේ නායකයෙක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ කියලා අපේක්ෂා කරනවා නම්, මහා මැතිවරණයේදී ඡන්දය දෙන්න. නමුත් ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා.
ගොඩක් දේශපාලන කතා, පණිවිඩ දැන් අවශ්‍යත් නොවන තරම්. මේ දවස්වල සිදුවෙන සිදුවීම් හොඳට බැලුවත් තෝරා ගන්න ඕනෑ කවුද කියලා තීරණය කරන්න පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ වැඩිම මනාප ගත්තේ නාලක ගොඩහේවා. පොහොට්ටුවේ නාලක ගොඩහේවා දැන් ඉන්නේත් ස.ජ.බ.යේ. ජාතිවාදය ඇවිස්සූ, කෝවිඩ් වසංගතයෙන් මියගිය ඉස්ලාම් භක්තිකයන් ලෝකයේ අනෙක් රටවල මිහිදන් කරද්දී ලංකාවේ විතරක් ආදාහනය කරන්න ඕනෑ කියපු ආණ්ඩුව නියෝජනය කළ නාලක ගොඩහේවා ඉන්නේ සජිත් එක්ක. මුස්ලිම් ජනතාව වේදනාවට පත්කළ ආදාහනය කිරීමේ තීන්දු ගැනීමේදී නාලක ගොඩහේවලා අත ඉස්සුවා. පොහොට්ටුවේ දෙවැනියාව සිටි ප්‍රසන්න රණතුංග, රනිල් එක්ක ඉන්නවා. පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් සජිත් එක්ක ඉන්න අතර සජිත්ගේ සභාපති ෆොන්සේකා ඉන්නේ කොහේද? ස.ජ.බ. සභාපති එළියේ; පොහොට්ටුවේ සභාපති ඇතුලේ. මේ දේශපාලනය නතර කරන්න ඕනෑ නැද්ද? තමන්ට ලැබෙන වරදානවලට, සල්ලිවලට, ඇමති ධුරවලට, එහෙට මෙහෙට පනින දේශපාලනයක් අද අපේ රටේ තිබෙන්නේ. මේ දේශපාලනය අවසන් කළ යුතුයි.
ජාතිවාදයේ විෂ වපුරා පෝෂණය කළ පොහොට්ටුව අද තුනට කැඩිලා. 2009යේ යුද්ධය අවසන් වූ පසු සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් ගොඩනඟයි කියලා ජනතාවගේ අපේක්ෂාවක් තිබුණා. ආණ්ඩු කරපු ඔය කිසිවෙක් ජනතාව සහෝදරත්වයෙන් ඉන්න රටක් හදන්නේ නැහැ. ඒ ගොල්ලන්ට හැමදාම ඕනෑ ගැටුම් තිබෙන, යුද්ධ තිබෙන, එකිනෙකා අතර වෛරය පතුරවන රටක්. චන්ද්‍රිකාට ඡන්දය දුන්නේ දූෂණ, වංචා නතර කළා කියලාද? රට හැදුවා කියලාද? නැහැ. නගර සභා පිට්ටනියේ පිපිරූ බෝම්බය නිසයි. 2005 මහින්ද තෝරා ගත්තේ යුද්ධය නිසයි. 2010දී මහින්දත්, ෆොන්සේකාත් දෙදෙනාම අපේක්ෂකයන් වෙන්නේ යුද්ධය නිසයි. ෆොන්සේකා අපේක්ෂකයෙක් වෙන්නේ යුද්ධය අවසන් කළ හමුදාපතිවරයා හැටියට. නමුත් ඡන්දය දිනන්නේ මහින්ද රාජපක්ෂ. ආර්ථිකය ගොඩනඟනවා, වංචා දූෂණ නතර කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා, ජාතික සමගිය ගොඩනඟනවා කියන සටන් පාඨ ඔහුට නැහැ. 2015 ඉඳලා නැවත ගැටුමක් පටන් ගත්තා. ඒ අවස්ථාවේ වින්දිතයන් බවට පත්කර ගත්තේ මුස්ලිම් ජනතාව. 2010 වන තුරු දෙමළ ජනතාව. ඉන්පසුව ක්‍රමානුකූලව මුස්ලිම් විරෝධයක් ගොඩනඟන්න පටන් ගත්තා. දිගනට, අලුත්ගමට පහරදීම් සිදුකරන්නේ යුද්ධයෙන් පස්සේ.
මුස්ලිම් ජනතාවට විරුද්ධව විවිධ ජාතිවාදී සංවිධාන ගොඩනැගෙන්නේ යුද්ධය කාලයේ නොවෙයි, යුද්ධයෙන් පස්සේ. උතුරේ යුද්ධය අවසන් වූ පසු ඒ අයට නැවත ගැටුමක් අවශ්‍ය වුණා. මහරගම විශාල විරෝධයක් දියත් කළා. ඒ වේදිකාවේ හිටියේ තිලංග සුමතිපාල. අද ඒ තිලංග සුමතිපාල සජිත් ප්‍රේමදාස එක්ක කරට අතදාගෙන ඉන්නවා. කොහොමද එහෙම වෙන්නේ. වඳ කොත්තු, වඳ ඇඳුම්, තිබෙනවා කියලා මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචාරයන් ගෙන ගියා. ඇඳුම් ඇන්දාම වඳ වෙනවා කියලා පොහොට්ටුවෙන් සොයා ගත්තා. අම්පාර පැත්තේදි කොත්තු කෑවාම වඳවෙනවා කියලා පොහොට්ටුවෙන් සොයා ගත්තා. ඊට පස්සේ සිදුවුණු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකයට තුඩු දෙන විශාල කරුණු ප්‍රමාණයක් තිබෙන බව කවුරුත් දන්නවා. මේ පන්නයේ කැත දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමට එළඹෙන 21වැනිදා ජනාධිපතිවරණයේදී හැමෝම එකට එකතුවෙමු කියලා ඉතාම ඕනෑකමින් ආරාධනා කරනවා.
“අනුර දිනවීම අපේ තෝරා ගැනීමක් නොව අපට පැවරී තිබෙන වගකීමක්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුල්ෆ්ෆර්-
සැප්තැම්බර් 21දා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී අපට පැවරී තිබෙන්නේ තේරීමක් නොවෙයි, වගකීමක්. තෝරා ගන්න නම්, හොඳ විකල්ප තිබෙන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව අනික් පක්ෂ දෙකේ ඉන්නේ කවුද කියන එක ඔබේ හෘදය සාක්ෂිය දන්නවා. ඒ නිසා තෝරා ගැනීමකින් තොරව අපට තිබෙන වගකීම තමයි, සැප්තැම්බර් 21දා ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දිනවීම අපට පැවරී තිබෙන වගකීමයි. ඒ වෙනුවෙන් අපි සියලුම දෙනා පෙළ ගැසෙමු. වැඩ කරමු.
“ආගම් අනුව, ජාතිකත්වය අනුව ජනතාව බෙදා වෙන්කිරීමට නැවත ඉඩක් නැහැ”
-ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික ආචාර්ය අශෝක රන්වල-
මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව හැටියට ඔබ ඉතාමත් ඉහළ බලාපොරොත්තු පොදි බැඳගෙන නව ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට සැප්තැම්බර් 21දා සූදානමින් සිටිනවා. මෙයට පෙර ඔබ ආණ්ඩු පිහිටුවීමට ඡන්දය ලබාදෙද්දී විශාල දෙගිඩියාවක් චකිතයක් තිබුණා. දිගින් දිගටම රැවටීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ අඳුරු ඉතිහාසය වෙනස් කර, යහපත් අනාගතයකට පිය මනින්න මාස කිහිපයක සිට ඔබ ජාතික ජන බලවේගය සමග අපේක්ෂා සහගත ගමනක් යන්න අත්වැල් බැඳගෙන සිටිනවා.
මල්වාන මේ රැලිය පැවැත්වීමට ඔබ සියලු දෙනා සාමුහිකව එකතු වී නීතිමය කටයුතු සියල්ල සම්පූර්ණ කරගෙන තිබුණා. පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස නිසි පරිදි බලපත්‍ර ලබාදී තිබුණත් හදිසියේම එය අහෝසි කර, කුමන්ත්‍රණකාරී ලෙස එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසයි. නමුත් ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න ඔබ සියලුම දෙනා අත්වැල් බැඳගෙන ඉදිරියට ආවා. මධ්‍යම රාත්‍රියේ පවා වෙහෙස මහන්සි වී කාදර් හජ්ජියාර් මහතාගේ භූමිය අපට ලබාදුන්නා. අපි එයට ගෞරව කරනවා. ස්තුති කරනවා. කුමන්ත්‍රණකාරී දේශපාලනය පරාජය කරන්න කාදර් හජ්ජියාර් මහතා අභීතව ඉදිරිපත් වුණා. අද මේ ස්ථානයේ දැවැන්ත ජන ගඟක් සහභගී වන රැලිය පවත්වන්නේ ඒ නිසයි.
ජාතික සමගිය ගොඩනඟන හැටි මේ රැලියෙන්ම පැහැදිලි වෙනවා. සිංහල ජනතාවත් මල්වානේ මේ රැලිය බලන්න ඇවිත් සිටිනවා. ගංවතුර ගැලීම වැනි ස්වභාවික විපත්වලදී ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් ජාතික ජන බලවේගය හැටියටත් අපි ඉදිරිපත් වී කටයුතු කළ සියලුම අවස්ථාවල ඔබ සැම අප සමග අත්වැල් බැඳගත්තා. ආගම් අනුව, ජාතිකත්වය අනුව බෙදා වෙන්කිරීමට නැවත ඉඩක් නැති බව තහවුරු කර, පුනරුද යුගයේ යුගයට ඉදිරි දින කිහිපය තුළ අපි හැමදෙනාම ධෛර්යයෙන් අත්වැල් බැඳගෙන පියනඟමු. ආදරය පිරුණු රටක් අපි ගොඩනඟමු.