Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“දැන් අපේ රටට අවශ්‍ය ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ ගම්පහ, තිහාරිය ජන හමුව – 2024.08.12-)

ADK-At-Muslim-Brotherhood-Meeting-Thihariya

අපේ රටේ වෙනසක් සිදුකළ යුතු බවට සාකච්ඡාවක් කාලයක පටන් පවතිනවා. ඒ වගේම වෙනස පිළිබඳව විශාල කඩිමුඩියකුත් තිබුණා. 2019 විශාල ජන වරමකින් බලයට පත්කර ගත් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 05ම බලයේ ඉන්න නොදී මේ රටේ ජනතාව විසින් පළවා හැරියේ වෙනසක් අවශ්‍ය නිසා. මහා පරිමාණ වංචා දූෂණවලින් පිරී තිබෙන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව හඬ නඟා කියා සිටියා. දේශපාලකයා මහජනයාගේ දේපළ වංචා කිරීම, නීතියට උඩින් සිටීම, ජාතික සම්පත් විකුණාගෙන කෑම ආදී වශයෙන් ඔබ සැමගේ ජීවිතවලට වගේම රටේ අනාගතයටත් බලපාන කරුණු සම්බන්ධයෙන් වෙනසක් අවශ්‍ය බවට විශාල උද්ඝෝෂණයක් තිබුණා. ඒ උද්ඝෝෂණයේ තරුණ, වැඩිහිටි, කිසිදු බේදයක් නැතිව එක් වී ඒවා ඉල්ලා සිටියා. ඒ පිරිස අතර මුස්ලිම්, දෙමළ, සිංහල සහෝදරවරු කිසිදු භේදයකින් තොරව විශාලතම නැගිටීමක් සිදු කළා. ගෝල්ෆේස් පිටියට මැරයන් පැනලා පහර දෙනකොට සියලුම ජනතාවට වේදනාවක් දැනුණා; කෝපයක් දැනුණා. ඒ අරගලයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ පලා ගියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩිවුණා. නමුත් අරගලයෙන් ඉල්ලා සිටි හොරකම නතර වුණාද? මෑතම උදාහරණයක් ලෙස වීසා නිකුත් කිරීමේ වී.එස්.එෆ්. ගනුදෙනුව තුළත් විශාල හොරකමක් සිදුවී තිබෙනවා. තෙල් ආනයනයේදී, ගල් අඟුරු ආනයනයේදී මහා පරිමාණ වංචා, දූෂණ සිදුවෙනවා. මහජන ධනය විනාශ කිරීමේ වෙනසක් සිදුවී නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනුවෙන් මේ අවුරුද්දට වෙන්කරපු මුදල් ඉක්මනින්ම වියදම් කළත් විදේශ ගමන් සඳහා පමණක් ලක්ෂ 2000ක වෙන්කර ගත්තා.

මන්ත්‍රීවරු බාර් ලයිසන් බෙදාගෙන එක ලයිසන් එකක් කෝටි තුනකට විකුණනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරු විතරක් නොවෙයි, සජිත් ප්‍රේමදාසගේ මන්ත්‍රීවරුන්ටත් රනිල් වික්‍රමසිංහ බාර් ලයිසන් දුන්නා. පෙට්්‍රල් ෂෙඩ් බෙදා දුන්නා. ඒ ලයිසන් විකුණා ගන්නවා. විමධ්‍යගත අරමුදල් කියලා ස.ජ.බෙ. මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 120ක් බෙදා දුන්නා. මහින්දගේ ආණ්ඩුවේ නම්, බෙදා ගත්තේ මහින්දගේ කට්ටිය පමණයි. නමුත් රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ අයටත් බෙදනවා. එයා රට යනකොට, සමගි ජන බලවේගයේ අජිත් මාන්නප්පෙරුම එක්ක ගෙන ගියා. පොළොන්නරුවේ කිංස් නෙල්සනුත් අරන් ගියා. අනුරාධපුරයේ ඉෂාක් රහුමානුත් අරගෙන ගියා. වෙනදා එක පැත්තකින් නාස්ති කළේ. දැන් දෙගොල්ලෝම එකතු වී වියදම් කරනවා. ආර්ථිකයේ වැදගත් මර්මස්ථාන සියල්ලම විකුණමින් යනවා. ජනතාව පාරට බැහැලා වේදනාව ප්‍රකාශ කරලා, කොපමණ දේවල් කළත් වෙනසක් වෙලා නැහැ. නමුත් වෙනසේ වුවමනාව අවසන් වී නැහැ. අපිට ඕනකම තිබුණාටම, ඒ වෙලාවේදීම වෙනසක් කර ගන්න බැහැ. මේ සැප්තැම්බර් 21දා ජනතාවට එකතු වෙලා වෙනස කරගන්න අවස්ථාව ඇවිත් තිබෙනවා. මේ අවස්ථාව අත්හැරියොත් පළමු සියලු විනාශයෙන් ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. මේ කැත දේශපාලනය ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යනවා.

Muslim-Brotherhood-Meeting-Thihariya-Crowd

මේ දවස්වල නිතරම බ්‍රේකින් නිවුස්වල යන්නේ කැත දේශපාලනයේ හොරකම් වහගන්න, තනතුරු ආරක්ෂා කර ගන්න, කැත දේශපාලනය හංඟා ගන්න එහෙට මෙහෙට පනින නිවුස්. පොහොට්ටුවේ සභාපතිකම ජී.එල්. පීරිස්ට දුන්නේ නිකම් නොවෙයිනේ. දැන් පොහොට්ටුවේ සභාපති ස.ජ.බ.ය ඇතුලේ. ස.ජ.බ. සභාපති ෆොන්සේකා මහතා එළියේ. නිමල් සිරිපාල වගේ කෙනෙක් 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති, 2005 මහින්දගේ ආණ්ඩුවේ ඇමති, 2015 මෛත්‍රීගේ ආණ්ඩුවේ ඇමති, 2019 ගෝඨාභයගේ ආණ්ඩුවේ ඇමති, දැන් රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. ඔබලා ආණ්ඩු මාරු කරනවා, ඒ ගොල්ලෝ පැත්ත මාරු කරනවා. මහියංගනයේ ලක්ෂ්මන් සෙනෙවිරත්න කාලයක් රනිල් ළඟ. ඊළඟට මහින්ද ළඟ, ඊළඟට මෛත්‍රී ළඟ, ඊළඟට සජිත් ළඟ. ජනතාව ආණ්ඩු මාරු කළත් ඒ ගොල්ලෝ හැමදාම ආණ්ඩුවේ. පවිත්‍රා වන්නිආරච්චි පසුගිය ඡන්දයේදී රනිල්ව පට්ට ගැහුවා. මේ ඡන්දයේදී රනිල්ට පණ වගේ ආදරෙයි. මෙහෙම විගඩම්කාරී දේශපාලනයක් අපට ඕනෑද? මහජනයාගේ ධනය සජිත් ප්‍රේමදාස නාස්ති කළ විදිහ ඩලස් අලහප්පෙරුම කියනවා. ගම්මාන දෙකක් හදලා විවෘත කිරීමේ පුවරුවට වියදම් කරන මුදලින් නිවාසයක් හදන්න පුළුවන් බව ඔහු කීවා. පත්තරවල දැන්වීම්වලට ලක්ෂ 30ක් වැය කරන බවත්, ඒ මුදලින් ගෙවල් හයක් හදන්න පුළුවන් බව කීවා. මහ බැංකු වංචාවට නොදෙවෙනි වංචාවක් නිවාස අරමුදලේ, සංස්කෘතික අරමුදලේ සිදු කළාලු. එහෙම කියපු ඩලස් අලහප්පෙරුම දැන් කියනවා ‘සජිත් තමයි මෑන්’ කියලා.

වෙනත් හරබර කරුණු පැත්තකින් තියන්න. එහෙට මෙහෙට පනින හැමදාමත් මේ රට විනාශ කළ මේ දේශපාලන සංස්කෘතිය නතර කරන්න ඕනෑ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගත් පොහොට්ටුවේ නාලක ගොඩහේවා සජිත් ළඟ. දෙවැනි තැනට මනාප ගත් ප්‍රසන්න රණතුංග රනිල් ළඟ. තව පැත්තකින් ප්‍රසන්න රණවීර නාමල් ළඟ. මේ වගේ කැත දේශපාලනයකින් අපේ රට හදයිද? අපේ රටට අලුත් දේශපාලනයක් ඕනෑ. ඔය ගොඩක් අය දැන් ඉන්න තැන්වලට පනින් කලින් ජාතික ජන බලවේගයේ දොරටත් තට්ටු කළා. අපි සිරිතට විරිතට දොර ඇරලා, ආයුබෝවන් කීවා. පැටිකිරිය නරකයි. හැබැයි අපි ගේ ඇතුළට ගත්තේ නැහැ. අපේ රටට අවශ්‍ය වෙන්නේ ගෙම්බෝ පනිනවා වගේ පනින්නේ නැති ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක්. අපේ රට නැති කළේ මේ කැත දේශපාලනයෙන්. සමහර අය පනින්නේ සල්ලි අරගෙන, සමහර අය ඉන්නේ සල්ලි අරගෙන. 2018 දින 52 කේ කුමන්ත්‍රණය වෙලාවේ සමහර මන්ත්‍රීවරු තියා ගන්න මංගල සමරවීර බාර් ලයිසන් දුන්නා. තවත් අය තියා ගන්න ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් දුන්නා.

Crowd-At-Muslim-Brotherhood-Meeting-Thihariya

කබීර් හෂීම් මන්ත්‍රීවරයා රනිල්ගේ පැත්තට යනවා කියලා විශාල සාකච්ඡාවක් ගියා. රනිල් වික්‍රමසිංහ කබීර් හෂීම්ගේ නමට හන්තානයෙන් අක්කර 12කට වැඩි ඉඩමක් දුන්නා. නමුත් දැන් රනිල්ගේ පිලට එන්නේ නැහැ වගේ. ඒ නිසා දුන්නු ඉඩම කැන්සල් කරන්න උත්සාහ කරනවා. මම නැවත නැවත කියන්නේ මේ කැත දේශපාලනය වෙනුවට, සැලුන් දොරවල් තිබෙන අම්බලන් වගේ පක්ෂ වෙනුවට ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ඕනෑ. අපේ පක්ෂයේ ඉඳලා කට්ටියක් ගියා, කවදාවත් අපේ පක්ෂයේ දොරටු ඒ ගොල්ලන්ට විවෘත වෙන්නේ නැහැ. සැලුන් දොරවල් වගේ පක්ෂ තියෙන්න බැහැ. අපේ රටේ තියෙන එකම ප්‍රතිපත්තිගරුක පක්ෂය ජාතික ජන බලවේගය පමණයි. ප්‍රතිපත්ති දිනවන, ප්‍රතිපත්තිගරුක, ආණ්ඩුවක් ඕනෑ නම්, ඒ සඳහා තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි. ජනතාව අපේක්ෂා කරන වෙනස අපේ ආණ්ඩුවකින් අපි සිදු කරනවා. මේ දවස්වල වංචා, දූෂණ ගැන යටිගිරියෙන් කෑ ගහන සජිත් ප්‍රේමදාසගේ එක පැත්තක ඉන්නේ ලක්ෂමන් කිරිඇල්ල. අර්ජුන ඇලෝසියස්ගෙන් ලක්ෂ 30ක් අරගෙන බැඳුම්කර වංචාවක් වුණේ නැති බව කියන සුජීව සේනසිංහ තව පැත්තකින්. මහ බැංකු හොරකමෙන් බෙදා ගත්තා විතරක් නොවෙයි, පොත් ලියන්නත් සල්ලි ගත්තා. හොරකම් නතර කරනවා කියන සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදල, නිවාස සංවර්ධන අරමුදල, සහ සමෘද්ධි අරමුදල කියන අරමුදල් කාබාසිනියා කළා. හොරකම් නතර කරන්න වෙනසක් ඕනැ නම්, එය ගේන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි. මහජනයාගේ දේපළ හොරකම් කළ අයට, දඬුවම් දෙන ඒ දේපළ නැවත පවරා ගන්න පාලනයක් ඕනෑ නම්, එය කරන්නේ ජාතික ජන බලවේගය පමණයි.

ශිරන්ති රාජපක්ෂගේ ජොබ් එක මොන්ටිසෝරි ටීචර්, එයා ටොරින්ටර්වල ලක්ෂ 350ක් දීලා ගෙයක් ගත්තා. රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව කාලේ ඒ ගැන පරීක්ෂණයක් ගියා. රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයත් එක්ක එකතු වී ශිරන්ති රාජපක්ෂ ජනාධිපති ආර්යාවගෙන් කටඋත්තරයක් ගන්න එක රටට අපකීර්තියක් කියලා තීරණය කළා. සජිත් ප්‍රේමදාසගේ නංගි රුපියල් ලක්ෂ 20ක හොර සල්ලි එක්ක අසුවුණා. මහින්ද රාජපක්ෂ කියලා තිබුණා හිටපු ජනාධිපතිගේ දුව නිසා, ඒ ගැන පරීක්ෂණ කරන එක රටට අපකීර්තියක් කියලා. ජොන්ස්ටන් ප්‍රනාන්දු අයථා මුදල් ඉපයීම සම්බන්ධයෙන් කෑගල්ල රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියා. ඔහුට කෑම අරගෙන ගියේ කබීර් හෂීම්. තමන්ගේ ආණ්ඩුව කාලයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සිරගත කර සිටියදී ඇමති කෑම අරගෙන ගියා. ඒ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කීවා. ඔවුන් කවදාවත් දූෂිතයන්ට දඬුවම් දෙන්නේ නැහැ. එකිනෙකා ආරක්ෂා කර ගන්නවා. මේ දූෂිතයන්ට දඬුවම්දී මහජන දේපළ නැවත පවරා ගන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් පමණයි.

People-At-Muslim-Brotherhood-Meeting-Thihariya

යුද්ධය අවසන් කර, වසර කිහිපයක් යනකොට පොදු ජනතාව අතර, ආර්ථික ප්‍රශ්නය, ජීවන වියදම, ප්‍රජාතන්ත්‍රවාදය, වගේ ජනතාවගේ ඇත්ත සටන් පාඨය උඩට ඇවිත් තිබුණා. මේ නිසා 2013 වෙනකොට මුස්ලිම් ජනයා එක්ක ගැටුමකට නොයෙක් බල සේනා හදන්න පටන් ගත්තා. දිගනට ගැහුවා, අලුත්ගමට ගැහුවා, දඹුල්ලේ පල්ලියකට පහර දුන්නා, මාවනැල්ලේ බුදු පිළිමයකට ගැහුවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන සටන් පාඨය ජනතාවට අමතක වුණා, ආර්ථිකය කඩා වැටීම පිළිබඳ සටන් පාඨය, යහපාලනය පිළිබඳ සටන් පාඨය අමතක වෙලා, වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා ගැන පත්තරවල පිටු ගණන් පළවෙන්න පටන් ගත්තා. ඊළඟට පාස්කු ප්‍රහාරය සිදු කළා. 2019 අප්‍රේල් මාසෙ 21 පාස්කු ප්‍රහාරය එල්ල කර, අප්‍රේල් 25 ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ජනාධිපතිවරණයට එන බව කීවා. වංචා දූෂණ, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය ගැන සාකච්ඡා යට ගිහින් ජාතික ආරක්ෂාව, ජාතිය බේරා ගැනිම, ආගම බේරා ගැනීම වගේ සටන් පාඨ උඩට ගෙනාවා. ඇත්ත ප්‍රශ්න විසඳන්න ඔවුන්ට බැහැ. ඔවුන් කළේ ප්‍රශ්න ඇති කිරීමයි. ප්‍රහාරයෙන් දවස් කිහිපයකට පසු මම කීවේ දඩයම උස්සාගෙන යන කෙනාගෙන් තුවක්කුව බැඳපු කෙනාව සොයාගත හැකි බවයි. මේ ගොල්ලන්ට හැමදාම ඕනෑ ගැටුමක්, අනෙකා කෙරෙහි සැකයක්. ඒගොල්ලෝ එකට ඉඳන්, අපි ගහගන්න ඕනෑ. ඒ ගොල්ලෝ කැබිනට් මණ්ඩලයේ එකට ඉන්න, එකට හොරකම් කරන අතරේ අපට කියනවා ගහගන්න කියලා.

අපිත් ජනතාවට කියන්නේ කවදාවත් ජනතාව භේද වෙලා ගහගන්න එපා කියලයි. ඒ ගොල්ලෝ කියනවා නම් ගහගන්න කියලා, අපි හැමදෙනාම එකතු වී කියන්න ඕනෑ, ගෝල්ෆේස් එකට ගිහිල්ලා ඒගොල්ලො ඉස්සෙල්ලා ගහගෙන අපට පෙන්වන්න කියලයි. අපි ජාතිවාදය නැති ආණ්ඩුවක් හදමු. සමගි වෙලා ආණ්ඩුවක් හදමු. එළඹෙන ජනාධිපතිවරණය ඒ වෙනුවෙන් අපේ ඉතිහාසයේ පවත්වන ඉතාමත් වැදගත් මැතිවරණයක්. මේ මැතිවරණයේදී වැදගත් වෙනස්කම් රැසක් අපට කර ගන්න පුළුවන්. එදා පාරට බැහැලා, ගෝඨාභය එළවලා, ආණ්ඩු ගණනාවක් පිහිටුවලා, වසර 76ක් පුරා නායකයෝ ගණනාවක් පත්කර ගෙන කරගන්න බැරි වුණු දේ සැප්තැම්බර් 21දා අලුත් ආණ්ඩුවක් පිහිටුවාගෙන අපට කර ගන්න පුළුවන්. පරම්පරා ගණනාවක් අපි රැවටුණා, පරම්පරා ගණනාවක් අපි අසාර්ථක වුණා. ඒ නිසා මේ රටට කළ අපරාධ, පාස්කු ප්‍රහාර හොඳින් මතක තබාගෙන අපි තීරණයක් ගනිමු. ඉදිරි කෙටි කාලය තුළ රට වටා ඉන්න ඥාති මිත්‍රාදීන්ට කතාබහ කරමින් මුස්ලිම් ජනතාව තුළ ජාතික ජන බලවේගය ගොඩනැගීමේ පණිවිඩය ගෙනියන්න. අපි මෙහෙම ඇවිත් කතා කර ගියත් දිනපතා එකිනෙකා මුණ ගැසෙන්නේ ඔබ සැමයි. මේ මැතිවරණයේදී මුස්ලිම් ජනතාවගේ විශාල සහයෝගයක් අපට ඕනෑ. එහෙම නැතිව ආණ්ඩුවක් හදලා වැඩක් නැහැ. ඉදිරි දින කිහිපයේදී මේ රට වෙනස් කිරීම වෙනුවෙන් කැපවීමෙන් වැඩකරන්න කියා ඉල්ලා සිටිනවා.