(-Matara, May 01, 2024-)
ජාතික ජන බලවේගයේ අපි විපක්‍ෂයේ සිට සමරන අවසාන මැයි රැලිය යාපනය, අනුරාධපුරය, කොළඹ සහ මාතර දී ඉතාමත් අභිමානයෙන් සමරනු ලබනවා. ලබන වසරේ මැයි දිනය සමරන්නේ ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් තුළයි. එක්දහස් අටසිය අසූහයේදී ඇමෙරිකාවේ හේමාකට් නගරයේ දී පැය අටක වැඩ දිනයක් ඉල්ලා සුදු කොඩි අරන් අරගල කළ නිරායුධ ජනතාවට එරෙහිව මර්දනයක් දියත් කළ දිනය මුල් කරගෙන ලෝකවාසී ජනතාව මැයි දිනය සමරනවා. පාලකයෝත් මේ දිනය සමරමින්, විවිධ නාඩගම් නටනවා. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්‍ෂ නඩය, සමගි ජන බලවේගයේ ඉතිරි වී සිටින කණ්ඩායම සහ පොහොට්ටුවේ පිරිස සමඟ මැයි දිනය සමරන ආකාරය ඉලක්කම්වලින් ප්‍රකාශ කළත්, ජාතික ජන බලවේගයේ ශක්තිය පෙන්වමින්, මාලිමාවේ අපට තරගයක් තිබෙන්නේ අපිත් එක්කම බව තහවුරු කර තිබෙනවා. රනිල් එක්ක, සජිත් එක්ක හෝ වෙන කිසිවකු එක්ක අපට තරගයක් නැහැ. තරගය පවතින්නේ බලය ලබාගෙන මේ මාතෘභූමිය පොහොසත් කිරීමේ සහ ලස්සන කිරීමේ තරගයක් විතරයි අපට තිබෙන්නේ.
යාපනයට, අනුරාධපුරයට, කොළඹට සහ මාතරට එක් වී සිටින ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව එකහඬින් කියා සිටින්නේ මේ දූෂිත, දුෂ්ට පාලනය අවසන් කළ යුතු බවයි. රනිල් වික්‍රමසිංහට කෘතවේදීත්වය පළ කිරීමේ මැයි රැලියක් එක්සත් ජාතික පක්‍ෂය පවත්වනවාලු. 1980 ජූලි වැඩ වර්ජනයේ දී වර්ජකයන් ලක්‍ෂයක් පමණ පාරට දාන්න රනිල් වික්‍රමසිංහ අත ඉස්සූ නිසාද ඔහුට කෘතවේදීත්වය පළ කරන්නේ? ඒ වගේම මහ බැංකුව කොල්ලකෑම කළ නිසාද? ඊයේ රාත්‍රියේ තෙල් මිල අඩු කළා කියලා අද කයිවාරු ගහන්න ක්‍රියා කරන නිසාද? ඒ වාගේම වතු ජනතාවගේ පඩි වැඩි කරන බවට ගැසට් ගැසූ නිසාද? රනිල් වික්‍රමසිංහ මේ මොන මොනවා කළත්, පලවාහැරිය යුතු පාලකයකු බවට පත්වී අවසන්. ජනතාව රවටමින්, හාල් බෙදුවට, ඉඩම් ඔප්පු බෙදුවට නැවත නොරැවටෙන බව ජනතාව සපථ කර අවසන්. ජාතික ජන බලවේගය වටා ජනතාව ඒකරාශී වී සිටීමෙන් රනිල් වික්‍රමසිංහලා භය වී සිටින තරමයි, ඔය පෙන්වන්නේ. අද එක් කළා වාගේම තව තවත් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ඒකරාශී කරමින්, මේ රටේ ජනතාවාදී පාලනයක් ගොඩනඟන්න එකා මෙන් රොදබඳිමු.
සමහර අය කියනවා, තව සති දෙක තුනකින් සජිත්ගේ ආතල් බලන්න පුළුවන් කියලා. නමුත්, මේක ආතල් ගන්න අවස්ථාවක් නෙවෙයි. වසර හැත්තෑහයක් පුරා රට බංකොළොත් කළ සියලුම පාලකයන් එළැඹෙන ජනාධිපතිවරණයේදී පන්නා දැමීමේ අවස්ථාව අපට ඇවිත් තිබෙනවා. රටත්, ජනතාවත් පුනරුද යුගයකට ගෙන යන අවධියක නායකත්වය දීමේ ජන බලය විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ ලෝකවාසී ජනතාවත් සමඟ ඒකාත්මික වීමෙන් අපිත් සමරනවා. මැයි දිනය සැමරීමේ සදාචාරාත්මක අයිතියක් තිබෙන වැඩ කරන ජනතාව, ගොවි, ධීවර ඇතුළු සියලුම ජනතාවට අර්ථවත් දැක්මක් සහිතව සැමරීමේ අවස්ථාව ලබාදී තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි. රට දිනවන විසඳුම ගෙන එන මැයි රැලියෙන් නව ශක්තියක්, ධෛර්යක් ලබාගෙන රට ගොඩනැඟීමට පෙළගැසෙමු.
“ඓතිහාසික පරිවර්තනයක තීරණාත්මක දිනයක් ලෙසට අද දවස ඉතිහාසයට එකතු වෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය-
ලක්‍ෂ ගණනක් ජනතාව ඉදිරියේ මැයි රැලියක අමතන මගේ ප්‍රථම අවස්ථාවයි මේක. මට මේ මැයි රැලිය කිසි දිනක අමතක වෙන්නේ නැහැ. ඔබටත් එසේම බව මට නිසැකයි. හේතු ගණනාවක් නිසා ඓතිහාසික, සුවිශේෂී රැලියක් බවට මෙය පත් වෙනවා. පසුගිය කාලයේ මැයි රැලි පවත්වා, අරගල ගණනාවක් සිදු කර, පුරවැසි අරගලයකට පසුව අත්දැකීම් එකතු කරගෙන අනාගතය දෙස ඉතාමත් අධිෂ්ඨානයෙන්, අරමුණු සහගතවයි අප මෙතැනට එක්වී සිටින්නේ. මේ රටට, සමාජයට පරිවර්තනීය මොහොතක් හැදෙන රට ගොඩනැඟීමත්, වෙනස් කිරීමත් වෙනුවෙන් අපි හැම දෙනාම එකතුවී සිටිනවා. සාමුහික හැඟීමෙන්, හෘදයසාක්‍ෂිය හොඳටම අවදි වී තියුණු වුණු ජන බලයක් මෙතැන එකතු වී සිටින්නේ. මේ දවස ඉතිහාසයේ අලුතින් ලියන පෙරළිකාරී අරගලකරුවන් පිරිසක් එකතුවී සිටිනවා. වෛද්‍යවරුන්, හෙදියන්, නීතිඥයන්, ඉංජිනේරුවන්, ගොවීන්, ධීවරයන්, කම්කරුවන් සහ වැටුප් ලබන මෙන්ම නොලබන අප සියලුම දෙනා මේ රටේ පුළුල්ම ජන බලය වෙනුවෙන් එකතුවී සිටිනවා. ජීවිතයේ පළමුවරට මැයි රැලියකට එකතු වුණු අය රට වෙනස් කිරීමේ ජන බලය වෙනුවෙන් මැදිහත්වෙලා තිබෙනවා.
ඒ වගේම අවුරුදු ගණනාවක් සටන් කළ, අරගල කළ, ගුටිබැට ප්‍රහාරයන්ට ලක් වූ අප්‍රමාණ පරාජයන් අත්විඳි, ඇති තරම් බැණුම් ඇසූ, සමාජයේ විහිළුවලට ලක් වුණු එහෙත්, තම දේශපාලන අරමුණ අත්නොහැර අධිෂ්ඨානශීලීව සියලු පරාජයන් දරාගෙන ජයග්‍රාහී මොහොත දක්වා සිටි පිරිසක් මෙතැන ඉන්නවා. ඔවුන්ගේ ශක්තියත්, අලුතින් එක් වන අයගේ ශක්තියත් නිසයි අද ජයග්‍රහණය පේන තෙක් මානයට ඇවිත් තිබෙන්නේ. මේ රටේ ආර්ථිකයට පණපොවන ගැහැනු අපි අතුරින් ඉතිහාසයේ පළමු වතාවට මැයි රැලියකට සහභාගී වන අයත් මෙතැන ඉන්නවා. වතුකරයේ, ඇඟලුම් කර්මාන්තයේ වාගේම විදේශගතව වැඩ කරන ගැහැනුන් මේ රටේ ආර්ථික කොඳුනාරටිය ශක්තිමත් කරමින්, මේ මැයි රැලියට සහභාගී වෙනවා. ඒ වාගේම වැටුප් නොලබා ගෘහණියන් ලෙස වැඩ කරන අයත්, වෙනත් විවිධ ක්‍ෂේත්‍රවල වැඩ කරන අයත් වැනි විවිධ ක්‍ෂේත්‍රවල ගැහැනුන් අපි එක් වී සිටින්නේ අපේ දේශපාලනික කාර්යභාරය ඉටු කරන්නයි. මේ රටේ කොඳුනාරටිය ගැහැනු අපි බව හොඳින් මතක තබා ගන්න ඕනෑ. ලෝකයටම ආදර්ශයක් දෙමින්, මේ රට වෙනස් කරන බලවේගයේ සම කොටස්කරුවන් ලෙස අපි එකමිටට එකතු වෙලා ඉන්නවා.
දශක ගණනාවක් බලය තිබුණේ කුඩා කණ්ඩායමක් අතේ. රජ කාලයේත් එහෙමයි. හොඳ රජ කෙනෙක් යටතේ කළ සංවර්ධන කටයුතුවල නටබුන් අදටත් අපට දකින්නට ලැබෙනවා. යටත්විජිත යුගයේ කුඩා කණ්ඩායමක් මේ රටේ සම්පත් කොල්ලකෑවා. ඒ කොල්ලකෑමට හවුල් වූ දේශීය කුඩා කණ්ඩායම අතට එක්දහස්නවසිය හතළිස්අටේ බලය ලබා දීමක් සිදු වුණා. එදා තිබුණු ලෝක තත්ත්වය අනුව නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය අපට ලැබුණත්, මේ රටේ පොදු ජනතාව බලයේ කොටස්කරුවන් බවට පත්කර ගත්තේ නැහැ. එක්දහස්නවසිය හැත්තෑහතෙන් පසු දූෂණය, ප්‍රචණ්ඩත්වය, ජාතිවාදය යොදා ගනිමින්, ඕනෑම ජඩ කුමන්ත්‍රණයක් කර බලය පවත්වාගෙන යාම සාමාන්‍ය දෙයක් බවට පත්කර ගත්තා. මෙය වෙනස් කළ නොහැකි බව බොහෝ දෙනෙක් කල්පනා කරන තත්වයට මේ දූෂිත වළල්ල ශක්තිමත් කර තිබුණා. මේ පාලකයන් පලවාහරින්න ශක්තිමත්ම බලවේගය ගොඩනැඟීමේ කොටස්කරුවන් ලක්‍ෂ ගණනින් මේ මැයි රැලියේදී අපි දකිනවා. මේ ජන බලයෙන් අපි ආණ්ඩුවක් පිහිටුවාගෙන ඉතිහාසය වෙනස් කරන පරිවර්තනයේ කොටස්කරුවන් වී සිටිනවා. එහි නායකත්වය දරන්නේ අප සියලු දෙනාමයි. ඒ ඓතිහාසික පරිවර්තනයේ තීරණාත්මක දිනයක් හැටියට අද දිනය ඉතිහාසයට එකතු වෙනවා. බලය ලබාගෙන මනුෂ්‍යත්වයට තිබෙන අසීමිත ආදරයෙන් යුතුව රට ගොඩනැඟීමේ කාර්යභාරය අපට තිබෙනවා. මේ පරිවර්තනය වෙනුවෙන් අපේ ජීවිත වුවත් කැප කරන්න සියලු දෙනාම සූදානම් බව අපි දන්නවා.
ආණ්ඩුවක් මාරු කරනවා වෙනුවට බැරෑරුම් පරිවර්තනයක් කරන්න පෙළගැසී ඇති බව අප සියලු දෙනාම දන්නවා. ඒ වෙනුවෙන් අලුතින් ඉගෙන ගන්න, අධ්‍යයනය කරන්න, මතුපිටින් නොව ගැඹුරින් කල්පනා කරන්න සියලු දෙනාම පෙළැඹී සිටිනවා. ඒ වෙනුවෙන් විනයක් සහිත සංවිධානාත්මක වටාපිටාවක් ගොඩනඟාගෙන තිබෙනවා. මෙතැන තිබෙන ආදරය, සතුට, ආස්වාදය, මේ පන්නරය වෙන කොහේවත් නැහැ. එය කිසිවකුට කොපි කරන්න හෝ පරාජය කරන්න බැරි බව අපි ඔවුන්ට මතක් කර දෙනවා. සාධාරණ, යුක්තිගරුක, පොහොසත්, ආදරයෙන් පිරුණු රටක් වෙනුවෙන් ඉදිරි මාස කිහිපය පුරා අධිෂ්ඨානයෙන් ජයග්‍රහණය කරා පියනැඟීමට සියලු දෙනාට ශක්තිය, ධෛර්යය ලැබේවා.
“මාලිමාව සිටින්නේ කුමන්ත්‍රණවලින් වට්ටන්න පුළුවන් තැනක නොවෙයි”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-
තව මාස කිහිපයකින් මේ රටේ ජනතාවාදී පාලනයක් පිහිටුවන්න සූදානම් කියන පණිවුඩය රැගෙන දිස්ත්‍රික්ක කිහිපයකින් මාතරට පැමිණි ඔබ සියලු දෙනාට පළමුවෙන්ම අපගේ ආචාරය පිරිනමනවා. මාතර, කොළඹ, අනුරාධපුර මැයි රැලිවලට සහභාගී වුණු ජනතාවගෙන් ස්ථිර කර තිබෙන්නේ මීළඟ ආණ්ඩුව ජාතික ජන බලවේගයෙන් පිහිටුවන බවයි. ගැහැනු අපි එකමිටට දිස්ත්‍රික් සමුළු මාලාව වාගේම තරුණ සමුළු පවත්වන අවස්ථාවලත් ඇතැම් අය ප්‍රකාශ කළේ එකම පිරිසක් තැනින් තැනට ගෙන යන බවයි. බංකොළොත්කමට එවැනි ප්‍රකාශ කළ අයගෙන් අපි දැන් අහනවා, රටේ තුන්කොන විසිරී සිටින්නෙත්, එකම පිරිසක්ද කියලා. මේ තමයි, ජාතික ජන බලවේගයේ ශක්තිය, ජාතික ජන බලවේගයේ විශ්වාසය. අපි කවුරුත් එකතු වෙලා අවුරුදු කිහිපයකින් ගොඩනැඟූ මහා මිනිස් සමූහය තමයි, මේ. අපි කොතරම් ශක්තිමත්ද කියලා සතුරන්ට පෙනීගොස් තිබෙනවා. මාතර වෙරළ තීරයේ ලක්‍ෂයකට වැඩි ජනතාවක් වාගේම අනුරාධපුරයේ සල්ගාදු පිටියත් පිරී ඉතිරී ගිහින්. කොළඹ ඒ සියල්ල ඉක්මවා ගිය පිරිසක් ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා. 1886 අවුරුද්දේ එදා සිටි පාලකයන් මර්දනය දියත් කිරීමෙන් ජාත්‍යන්තර කම්කරු දිනය නිර්මාණය වුණා. අයිතිවාසිකම් ඉල්ලා පාරට බහින ජනතාව මර්දනය කළ මේ රටේ පාලකයන් අද මැයි දිනය සමරනවා. රනිල් වික්‍රමසිංහගේ මාමා 1987 මැයි දිනය තහනම් කර නාරාහේන්පිට අභයාරාමයට වෙඩි තබා දෙදෙනෙක් ඝාතනය කළා. ඔවුනුත් අද මැයි දිනය සමරනවා.
එක්සත් ජාතික පක්‍ෂය, පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය කියන පක්‍ෂ ඔක්කොම යල්පැනගොස් ජනතාවගෙන් වියෝ වෙලා ඉතිහාසයේ කුණුබක්කියට වැටෙමින් තිබෙන බවත්, ඉතිහාසය අලුතින් ලියන අධිෂ්ඨානය සහිත සියලු ප්‍රගතිශීලී ජනතාව ජාතික ජන බලවේගය සමඟ අත්වැල් බැඳ ගනිමින් සිටින බවත් ඔප්පු කරමින් තිබෙනවා. මෙතැනට රැස් වී සිටින කිසිවකුටත් පොරොන්දු දීලා, අරක්කු දීලා, සල්ලි දීලා ගෙනැත් නැහැ. හැමෝම කොට්ඨාස සභා මට්ටමින්, ආධාර පත්‍රවලින් සල්ලි එකතු කර කෑම පැකට් එකක් අරගෙන දුෂ්කරතා මැද්දේ මෙතැනට ආව ලක්‍ෂ ගණනක් දෙනා ඉන්නේ. ඔවුන්ගේ ගමන වෙනස් කරන්න කිසිවකුටත් බැහැ. ගම් මට්ටමේ සංවිධාන ජාල ලෙස අධිෂ්ඨානශීලී ජනතාවක් අරමුණුසහගතවයි මෙතැනට පැමිණ සිටින්නේ. මෙතරම් විශාල පිරිසක් සහභාගී කරගෙනත් විනයක් සහිතව රට වෙනස් කිරීමේ බලවේගය ලෙස අවබෝධයෙන් කටයුතු කරමින් සිටිනවා. රට ගොඩනැඟීමේ විනයක් සහිත ස්වේච්ඡාවෙන් වැඩ කරන බලවේගය මාලිමාව පමණක් බව ඔබ, අප හැම දෙනාම ඔප්පු කොට තිබෙනවා. මෙතැන ඉන්නේ ගල් පර්වත වුවත්, අස්වැද්දිය හැකියි කියලා ක්‍රියාවෙන්ම ඔප්පු කළ අධිෂ්ඨානශීලී ජනතාවක්. තවමත් අප වෙත එකතු නොවූ ජනතාවත් ඒකරාශී කරගෙන ඉතිහාසයේ පළමුවරට ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවන බව ශපථ කරන ජනතාවක් මෙතැනට ඒකරාශී වෙලා ඉන්නවා.
අද අපට උරුමවී තිබෙන්නේ අධිරාජ්‍යවාදී බලවතුන්, පාලකයන් ලෝකය පුරාම ජනතාව පීඩාවට පත් කළ අපට ජීවත් වීමට සුදුසු පරිසරයක් නැති තත්ත්වයක්. එක් පැත්තක සල්ලි කඳු ගොඩගහන අතර, අනෙක් පැත්තේ දුප්පත්කම ගොඩගහනවා. දුප්පත්කම, නැතිබැරිකම, බඩගින්න, අධ්‍යාපනයෙන් පිටමං කිරීම, සෞඛ්‍ය පහසුකම් නැතිකම වාගේම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කළ ලෝකයක අපි අද ඉන්නේ. අධිරාජ්‍යවාදීන් අද ආයුධ නිෂ්පාදනය කර යුද්ධත් ඇති කරනවා. අනෙක් පැත්තෙන් ඖෂධ නිෂ්පාදනය කරමින්, ඒ ඖෂධ විකුණන්න රෝගීනුත් ඇති කරනවා. ඒ වාගේම මාස ගණනක් පුරා පලස්තීනයේ ජනතාව ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල කරනවා. මේ වාගේ ඛේදවාචකයක් ලෝකය පුරාම පවතින්නේ. ලෝකයේ මේ දුෂ්ටත්වය අවසන් කිරීමේ අරගලයට මාලිමාවේ අප සියල්ලන්ම දෑත් ඔසොවා සහයෝගය පළ කරන බව ප්‍රකාශ කරනවා. පලස්තීනයේ ජනතාවට අපි මේ මැයි දිනයේ දීත් සහයෝගය පළ කරනවා.
අවුරුදු හැත්තෑහයක් පුරා ජනතාවගේ ඡන්දයෙන් පත් වුණු පාලකයන් පෙරළා ජනතාවට ලබාදී තිබෙන්නේ බංකොළොත් රටක්. ඒ බංකොළොත් රට තුළ මේ දවස්වල පුංචි පුංචි ඡන්ද ක්‍රීඩා පටන්ගෙන තිබෙනවා. ජනතාව අපායේ ජීවත් කරවමින්, ඡන්ද කාලයේ දී ඒ අපායට පොඩි ඉන්ටවල් එකක් දීම මේ දක්වා පාලකයන් සිදු කළා. ඡන්ද කාලයට මොනවා හරි බෙදලා, දිළිඳුකම වපුරලා ඡන්දය ගන්න රනිල් වික්‍රමසිංහලා හාල් කිලෝ විස්සක් බෙදනවා. මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරන්න ඕනෑ. ඒ වාගේම වංචාව, දූෂණය, නාස්තිය වළක්වා හොරුන්ට දඬුවම් දෙන්නත් ඕනෑ. හොරාකෑ හැම සතයක්ම ආපසු අය කර ගන්නත් ඕනෑ. ඒ වෙනුවෙන් තිබෙන එකම බලවේගය ජාතික ජන බලවේගය පමණක් බව අපි ජනතාවට සහතික කරනවා. මහජන නියෝජිතයා කියලා මේ දක්වා පත්කළ මන්ත්‍රීවරු, ඇමැතිවරු මහජන මුදල් නාස්ති කරමින්, ආරක්‍ෂකයන් පිරිවරාගෙන යන පාරක් හැදුවත්, තවත් මහජන මුදල් වැය කරමින්, ඇමැති අතින් පීත්ත පටි කැපීමේ සංස්කෘතිය අපි සහමුලින්ම වෙනස් කරනවා. මේ වෙන කොට පොලිසියෙන් දෙකෙන් පංගුවක් යොදවා තිබෙන්නේ හොරු අල්ලන්න නොවෙයි, හොරු රකින්නයි. රටේ අපරාධ මඬින්න පොලිසියේ මහත්වරුත්, වාහනත් හිඟයි. නමුත්, අපි සහතික කරලා කියනවා, පොලිසියේ වාහනත්, පොලිසියේ මහත්වරුත් නිදහස් කර ජනතාවගේ සේවය වෙනුවෙන් යොදවන බව. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ බරපතළ කාර්යභාරයක් අපට පැවරී තිබෙනවා.
විදේශ විනිමය ඉපයිය හැකි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. එය ආණ්ඩුවකට තනිවම කළ නොහැකියි. පෞද්ගලික අංශයත්, ජනතාවත් සම්බන්ධ කරගෙන නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟා එහි ප්‍රතිලාභ සාධාරණ ලෙස ජනතාවට බෙදාහැරිය යුතුයි. අපේ අරමුණ ව්‍යාපාර පවරා ගැනීම නොව පවතින ව්‍යාපාර ශක්තිමත් කර ජාතික ආර්ථිකය ගොඩගැනීමයි. අපට ආර්ථිකයක් අවශ්‍ය වන්නේ ජනතාවට සතුටින් ජීවත් විය හැකි ජීවන තත්ත්වයක් ගොඩනඟා ගැනීමට. මේ සමාජ ඛේදවාචකය වෙනස් කරන ගැඹුරු පරිවර්තනයකට අවශ්‍ය ජාතික පුනරුදයකට මුළු රටම පෙළගස්වන්න ඕනෑ. මැයි දිනයට ජනතාව මේ ආවා වාගේ රට ගොඩනැඟීමටත් පෙළගස්වන්න ඕනෑ. මේ වෙනුවෙන් ජනතාව පෙළගස්වමින් අපි යන කොට මේ දක්වා බලයේ හිටපු කට්ටිය කලබල වෙලා විවිධ කුමන්ත්‍රණ දියත් කරනවා. මෙතෙක් හොරාකෑ මහජන දේපළ මාලිමාවේ පාලනයක් යටතේ නැවත පවරා ගැනීම වාගේම ඒ හොරුන්ට දඬුවම් කිරීමත් අනිවාර්යයෙන්ම සිදු කරනවා. සමගි ජන බලවේගය මේ දවස්වල වේදිකා ගාණේ කියමින් යන්නේ මාලිමාව පරදා ඒ ගොල්ලෝ බලය ලබා ගන්නා බවයි. ආණ්ඩුව පරාද කරන බව කියන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, ජාතික ජන බලවේගයට විරුද්ධව අලුතින් බොරු, අවලාද නඟන්නත් පටන්ගෙන තිබෙනවා. බොරුවට අභියෝග කරන්නත් පටන්ගෙන තිබෙනවා.
මේ අභියෝගවලට දින වෙන් කරමින්, අපි උත්තර දුන්නා. නමුත්, ඒ දිනවලට එන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට දිනයක් කියන්න කීවාම, ඒකටත් එන්නේ නැහැ. ඔය වාගේ පොඩි පොඩි දේවල්වලට උත්තර දිදී ඉන්නවාට වඩා මේ මැයි දිනයේ දී ඔබට ලොකු පණිවුඩයක් දෙන්න අපට තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ, පොහොට්ටුවේ ඉහළම නායකයන් සමඟ සමහර බුද්ධි අංශවල කට්ටියත් එකතු වෙලා මාලිමාවේ ජයග්‍රහණය වළක්වන්න සැලැසුම් සකස් කරන බව අපට වාර්තා වෙලා තිබෙනවා. බඩු බෙදලා, අල්ලස් දීලා, ඡන්ද කල් දාලා මාලිමාවේ ජයග්‍රහණ වළක්වන්න බැරි නිසා මාලිමාව දෙකට කඩන්න බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. ජේ.වී.පී. – එන්.පී.පී. කියලා දෙකට බෙදන බොරු ප්‍රවෘත්ති ලබන සතියේ විතර ප්‍රචාරය කරන්න පටන් ගන්නවා. කොයි කවුරු බෙදුණත්, මාලිමාවේ අපි බෙදන්න බැරි බව සහතික කර කියා සිටිනවා. එකපැත්තකින් ප්‍රචාරය කරන්න සැලැසුම් කර තිබෙනවා, ගම්වල සිටින ජේ.වී.පී. සහ එන්.පී.පී. වශයෙන් දෙකට බෙදන්න විවිධ ප්‍රචාර යවන්න සැලසුම් කර තිබෙනවා. ඒ වාගේම අනෙක් පැත්තට මාලිමාවේ පාලනයක් යටතේ ජේ.වී.පී. අය බලය ගන්නා බවට ජේ.වී.පී. නොවන අයව බය කරන ප්‍රචාර යවන්න සැලසුම් කර තිබෙනවා. අපි ඔය කුමන්ත්‍රණකරුවන්ට අවධාරණයෙන් කියන්නේ කුමන්ත්‍රණවලින් වට්ටන්න පුළුවන් තැනක නොවෙයි, අපි ඉන්නේ කියලා. මාලිමාව ගොඩනඟා තිබෙන්නේ බිම් මට්ටමෙන්, කොට්ඨාස මට්ටමෙන්. බිම් මට්ටමේ ඉඳලයි, මාලිමාව ගොඩනඟන්නේ. විරුද්ධවාදීන්ට අපි කියන්නේ, මාලිමාවේ බෙදීමක් ගැන හීන දකිනවා නම්, ඒක දවල් හීනයක් විතරයි, මේ රට ගොඩනැඟීමේ අධිෂ්ඨානයෙන්, ධෛර්යයෙන් ඉදිරියට යන එකම බලවේගය මාලිමාව විතරක් බවයි.
අපි බෙදෙන බව කීවත්, ඇත්තටම බෙදෙන්නේ කවුරුන්ද? මීට අවුරුදු හතරකට කලින් ලක්‍ෂ හැටනවයක් ඡන්දය ගත්ත පොහොට්ටුවට අද මොකක්ද වෙලා තියෙන්නේ? ඩලස්ලා ගැලවිලා ගිහින්. ලන්සලා ඇතුළු කණ්ඩායමක් ගැලවී ගිහින්. වියත් මඟ ගැලවිලා ගිහින්. මේ කිසිවකුත් අපි ගන්නේ නැති නිසා අප ළඟට එන්නේ නැහැ. රට විනාශ කරන්න දායක වුණු කිසි කෙනකු මාලිමාවට වද්දා ගන්නේ නැහැ කියන සහතිකය අපි දෙනවා. පොහොට්ටුවේ තව පිරිසක් සජිත් එක්ක, තව පිරිසක් රනිල් එක්ක. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නඩු ගොඩයි. නායකයන් නැහැ. ලේකම්ලා සභාපතිලා එක පිරිසක් පත් කරන කොට තව පිරිසක් තහනම් නියෝග ගන්නවා. දේශපාලන වශයෙන් නන්නත්තාර වෙලා. සමගි ජන බලවේගය කියන නම ගත්තේ අපි ජාතික ජන බලවේගය ගොඩනැඟූ නිසයි. අපි කාන්තා සමුළු පවත්වන කොට ඒ ගොල්ලොත් ඒ කොපියම ගහනවා. එතැන සමගි – ජන – බලවේගය කියන තුනම නැහැ. එතැන සමගිය ඇත්තේම නැහැ. ජන බලවේගයක් ඇත්තේම නැහැ. රනිල් විමධ්‍යගත අරමුදල්වලින් සජිත්ගේ පක්‍ෂයේ හය, හත් දෙනකුට විතරක් කෝටි හතළිහක් ලබාදීලා. තවත් සමහර අයට බාර් පර්මිට් දීලා. අලුත් රටක් හදන්න යන බව කියන සමගි ජන බලවේගයේ නායකයන් දැනටමත් රනිල්ගෙන් බාර් පර්මිට් අරගෙන. නුවර පැත්තේ ඉන්න එක්කෙනා බාර් පර්මිට් දෙකම රුපියල් කෝටි දෙකකට විකුණලා. ඒ අතර විජයමුණි සොයිසා ස්වාධීන වෙලා ඉන්නවාලු. සමගි ජන බලවේගයේ කෑලි කැඩෙමින්, බිඳෙමින් යනවා මිස අලුතින් කවුරුත් එකතු වෙන්නේ නැහැ.
සජිත් ප්‍රේමදාස විවාද ගැන කතා කරන්නේ පාසල් දරුවන් එක්ක. ඒ දරුවන්ට කතා කරන්නේ මිත්‍රවරුනි කියලා. අලුතින්ම පටන්ගෙන තිබෙන්නේ ජපන් භාෂාවෙන් කතා කරලා පෙන්වන්න. සජිත් ප්‍රේමදාස වටේ ඉන්න කට්ටියත් මේ කතා නිසා අසරණ වෙමින් යන්නේ. රට විනාශ කළ අය දිනපතා විනාශ වෙමින් යන බව සනාථවී තිබෙනවා. ඉතිහාසයේ කිසි දවසක වාමවාදී, ප්‍රගතිශීලී බලවේගවලට මේ වාගේ අවස්ථාවක් උදාවී නැහැ. ඒ නිසා ඉතිහාසයේ පළමුවැනි වතාවට ඇත්ත අර්ථයෙන්ම ජනතාවාදී පාලනයක් පිහිටුවන්න කවුරුත් රොදබඳින්න ඕනෑ. ඔවුන් නඟන අවලාදවලට වඩා ගොඩක් උඩින් දැන් අපි ඉන්නේ. අසූඅට-අසූනවය ගැන හැමදාම මැතිරුවත්, කොතරම් අවලාද, මඩ එල්ල කළත්, දේශපාලන විවාදවලට ඇවිත් සත්තු වාගේ හැසිරුණත් ඒ හැම දේකින්ම ජනතාව ඔවුන්ගෙන් ඈත් වෙමින් යනවා. හෘදයසාක්‍ෂියක් තිබෙන හැම කෙනෙක්ම ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙමින්, පොදු ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවා, ඉතිහාසය අලුතින් ලියන්න විශාල කාර්යභාරයක් අපට තිබෙනවා. මැයි මාසයේ පහළොස් වැනිදා සිට කොට්ඨාස සභා මට්ටමින් මෙහෙයුමක් පටන් ගන්න තිබෙනවා. තාමත් අප වටා නොවුණු ජනතාව ළඟට ගිහින් කරුණු පැහැදිලි කර සතුරාගේ බොරු ප්‍රචාර පරාද කරන්න ඕනෑ. විශේෂයෙන්ම මාලිමාවේ ආණ්ඩුවක් යටතේ අනෙක් පක්‍ෂවල අයගෙන් පළිගන්නවා කියලා යවන ප්‍රචාර පරාද කරන්න ඕනෑ. දේශපාලන පළිගැනීම් සංස්කෘතිය අපේ පාලනයක් යටතේ සදහටම නිමා කරන බව අවධාරණය කරනවා.
අපේ සතුරන් ජාතික ජන බලවේගයේ නියෝජිතයන් බව කියමින්, ජනතාව බියවද්දන ප්‍රචාර යවනවා. බඩු බෙදලා ඡන්ද ගන්න බැරි බව දැනගත්තාම මේ වාගේ ප්‍රචාර කරමින්, ජනතාව බියගන්වන බොරු අවලාද අවබෝධයෙන් යුතුව පරාජය කරන්න ජනතාවට කියලා දෙන්න ඕනෑ. තමන්ට පෞද්ගලිකව කිසිවක් බලාපොරොත්තු නොවී ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ඒකරාශී කළ හැකි බව මාතර වෙරළ තීරයට පැමිණි ජනතාවගෙන් ඔප්පු කර තිබෙනවා. පවුල් පිටින් රොදබැඳගෙන අලුත් රට ගොඩනඟන්න සූදානම් බව ඔබ තහවුරු කර තිබෙනවා. අනාගතය වෙනුවෙන් වර්තමානය අප අතට ගන්න ඕනෑ. අපේ අම්මා, තාත්තාට ගොඩනඟන්න බැරි වුණු දේ අපට පැවරී තිබෙනවා. අපි එය අපේ දරුවන්ට භාරදිය යුතු නැහැ. ණය බරින් මිදුණු රටක ජීවත් වෙන්න අපි කවුරුත් කැමැතියි. හිඟා කන ආර්ථිකය වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් අප ගොඩනඟන්න ඕනෑ. සම්පත්වලින් පොහොසත් අපේ රටේ ජනතාව අනුන්ට අත නොපා ජීවත් විය හැකි තත්ත්වයට ආත්මගරුත්වය සහිත පිරිසක් ජීවත් වන ලස්සන රටක් අපි ගොඩනඟන්න ඕනෑ. මත්ද්‍රව්‍යවලින් මිදුණු, දරුවන්ට, කාන්තාවන්ට ආරක්‍ෂාව තිබෙන එකිනෙකා රැකබලා ගන්නා සමාජයක් අපි නිර්මාණය කරනවා. තනි තනි මිනිසුන් වෙනුවට සාමුහිකත්වයෙන් බැඳුණු මිනිසුන්ට මිනිසුන් ලෙස ජීවත් විය හැකි සමාජයක් අපි ගොඩනඟනවා.
මේ අවුරුද්දේ මැතිවරණ දෙකක් පැවැත්වෙන්න නියමිතයි. ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් මාලිමාවේ ජයග්‍රහණය වළක්වන්න කිසිම ජගතෙක් නැහැ. මාලිමාවේ නායක අනුර සහෝදරයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඉතිහාසයේ පළමුවැනි වතාවට අපට “සහෝදරයා” කියන්න පුළුවන් කෙනෙක් පත්කර ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා. “සර්”, “අතිගරු”, “උතුමාණෝ” කියන්නේ නැතිව “සහෝදරයා”, “අයියා”, “මල්ලී”, “මාමේ” කියන්න පුළුවන් නායකයෙක් ජනාධිපති බවට පත් කරගෙන පාර්ලිමේන්තුවේ මේ හොරු රැළ පලවාහැර මහජනතාවගේ නියෝජිතයන් පත් කරගෙන රට ගොඩනඟන වැඬේට සුදුසු පාර්ලිමේන්තුවක් පත් කර ගන්නවා. අපි හොඳ මිනිසුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න ලෑස්තියි. රට ගොඩනැඟිය හැකි ශක්තිමත් ආණ්ඩුවක් හදන්න අපි ලෑස්තියි. රට ගොඩනඟමින්, අපි කාටත් සතුටින් ජීවත් විය හැකි රට ගොඩනැඟීමේ ගැඹුරු පණිවුඩය මේ මැයි දිනයේ දී අපි ලබා දෙනවා. එහි කොටසක් ඇත ඔබටත්. ජයග්‍රහණ වෙනුවෙන් වෙහෙස වෙන්න ඕනෑ. සටන් වදින්න ඕනෑ. අපට එකතු කළ හැකි සියලු බලවේග එකතු කරන්න ඕනෑ. වැට්ටූ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන්, වෘත්තීයවේදීන්, කාන්තාවන්, ශිෂ්‍යයන් හැම දෙනාම එකමිටට එකතු කර කිසි දිනක පරාජය කළ නොහැකි ආපසු හැරවිය නොහැකි දැවැන්ත බලයක් ගමින් ගම අපි ගොඩනඟමු.
රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ කවියකින් අපි සමුගන්නවා.
“ඉතින් යහළුවනි, මල් පිපුණොත් ගසක
සැකක් නැතිය ඵලයක් හට ගනු නිසැක
සිතින් අත නෑර මල්වල මුදු මෙලෙක
වරෙව් පරාගණයට රොදබැඳ හනික”
රට පුරාම ඵල දරන මල් ලක්‍ෂ ගණනින් පිපී තිබෙනවා. මේ මල් ඵල බවට පත් කිරීමේ පරාගණය අප සිදු කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් හැම දෙනාම රොද බඳිමු. අලුත් රටක්, අලුත් හෙටක්, අලුත් සමාජයක් අපේ ජීවිත කාලයේ අපේ දෑස් ඉදිරිපිට ගොඩනඟා, අපි කවුරුත් සතුටින් ජීවත් වන ආඩම්බරකාර පුරවැසියන් බවට පත්වීමේ ජයග්‍රහණය වෙනුවෙන් රොද බඳින්න. ඒ වෙනුවෙන් හැම දෙනාම අත්වැල් බැඳගන්න.