Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“1886 චිකාගෝ කම්කරු සටන අදටත් වලංගුයි…” -ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ සභාපති, සරෝජා පෝල් රාජ්-

(-Anuradhapura, May 01, 2024-)

ජාතික ජන බලවේගයේ අනුරාධුපර මැයි රැලිය

May-Day-Anuradhapura

මැයි දිනය සමරන්න ජනතාව එක තැනකට එකතුකරන්න, කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩක් නැති නිසා අද අපිට දැවැන්ත මැයි රැළි හතරක් පවත්වන්න සිදුවුනා. අපි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව එකතුකරගෙන අද මැයි රැළි පවත්වනවා. අපි ඔබට කියනවා, මේ රටේ ජනතා පාලනයක් අපි ගොඩනඟනවා. වැඩකරන ජනතාවට ජීවත් වෙන්න සුදුසු රටක් ගොඩනගන්න, අලුත් ජවයක් දෙන්න කොන්දේසි විරහිතව අපි එකතු වෙලා ඉන්නවා. අපට තිබෙනවා දැවැන්ත බලාපොරොත්තුවක්. ඒ තමයි වැඩ කරන ජනතාවගේ සැබෑ ඕනෑ එපාකම් තේරුම් ගත හැකි, අයිතිවාසිකම් පිළිබඳව සැබෑ වූ හැඟීමක් තිබෙන, ඔබ ප්‍රදේශය නියෝජනය කරන අනුර දිසානායක සහෝදරයා එළඹෙන ජනාධිපතිවරණයේ පුරෝගාමී නායකත්වය ගන්න බව අපි ඉතාමත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.

අද උදේ වෙනකොට, පෙට්්‍රල් මිල රුපියල් 20/-කින් අඩුවෙලා තිබෙනවා. ඩීසල් රුපියල් 30/-කින් අඩුවෙලා තිබෙනවා. සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50/-කින් අඩුකර තිබෙනවා. අපි මේවට රැවටෙන්නේ නැහැ. ජන බලය මාලිමාවට හැරෙනකොට බය වුණු පාලකයාට සිදුවෙනවා ජනතාව තමන්ගේ දිශාවට හරවාගන්න. තමන්ගෙන් ගිලිහෙන බලය නැවත ආපසු හරවාගන්න. අරක්කු බෝතල්, බත් පැකට්, ජනතාව රවටන ලාබ තුරුම්පු දෙන්න වෙනවා. ඒ සියල්ල හොඳින් හඳුනා ගත් ජනතාව තේරුම් අරගෙන තිබෙනවා මේ පිළුණු වුණු ක්‍රමය වෙනස් කිරීමෙන් මිස මේ ලාභ තුරුම්පුවලින් ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නැහැ කියන එක. ජනතාවාදී, මිනිස්කමේ සුවඳ විහිදෙන, අලුත් පාලනය ක්‍රමයක් අපට ඕන. මිනිසුන්ගේ සැබෑ ගැටලු හඳුනන පාලන ක්‍රමයක් අපට ඕන. වැඩකරන පංතියේ මිනිසුන්ගේ දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, දරුවන්ට නිදහසේ ජීවත්වෙන්න නිදහස් නිවහල් රටක් අවශ්‍යයි. නිදහසේ හුස්ම ගන්න සුදුසු පරිසරයක් ඕන වෙනවා. මේ රටට, භූමියට ආදරය කරන නායකයෙක් ඕන වෙන්නේ ඒ නිසා. ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන, සෞඛ්‍ය ගැන හිතන, නිදහස් ප්‍රවාහන ක්‍රමයක් නිර්මාණය කරන, මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන, ආගම්, ජාති, කුල යන වර්ග භේදයකින් තොරව සියලු දෙනාටම සමාන මිනිසුන් ලෙස ජීවත් විය හැකි සමාජයක් අපට ඕන. එවැනි සමාජ ක්‍රමයක් නිර්මාණය කළ හැකි, අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය විතරයි.

අපි දන්නවා මිනිසුන් හැටියට ඔබ, අපි හම්බ කරන මේ සෑම ශතයක්ම, අරපිරිමැස්මෙන් හසුරුවන්න ගෙදර ගැහැනිය මහත් උත්සාහයක් ගන්නවා. ජීවත් වෙන්න උත්සාහ කරනවා වුණත් ඔවුන් ගෙවල් ඇතුලේ විඳින පීඩනය කෙතරම්ද කියා අපි දන්නවා. පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ, ඇඟලුම් කම්හල්වල, වතු කම්කරුවන් ලෙස, මැදපෙරදිග ගෘහ සේවයේ, ගොවි බිම්වල, ධීවර ගම්වල දුක් විඳින සෑම ගැහැනියකගේම ඉලක්කය වෙලා තිබෙන්නේ තමන් ලබන ජීවන මට්ටමට වඩා උසස් ජීවන මට්ටමක් තම දරුවන්ට ලබාදීම. මේ ගිලිහී යන සිහින දකිමින් ඔවුන් පොරබදන්නේ තමන්ගේ දරුවන්ට හෙටක් නිර්මාණය කරන්න. ඒ කාන්තාවන්ගේ සිහින, තමන්ගේ උතුම්ම සම්පත වුණු දරුවන්ගේ අනාගත සිහින බිල්ලට අරගනිමින්, බොරු පොරොන්දු දෙමින් තමයි දේශපාලකයන් මෙතෙක් රට පාලනය කළේ. “ගැහැනු අපි එක මිටට” යන තේමාව යටතේ ලංකාවේ සිටින සියලුම වැඩකරන පංතියේ කාන්තාවන් අපි එකතු කළා. මේ රට වෙනස් කරන්න ගැහැනු අපි අවබෝධයක් ලබන්න ඕන. තමන්ට අහිමි වුණු උසස් ජීවිත වින්දනය, තමන්ගේ දරුවන්ට උරුමකර දෙන රටක් නිර්මාණය කරන එක වෙනුවෙන් ඔවුන් එකතු කරන්න ඕන.

May-Day-Anuradhapura

අපේ කාන්තාවන්ගෙන් සාතිශය බහුතරයක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගොදුරු බවට පත්වෙලා, දූ දරුවන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා, ඒ නිසාම කාන්තාවන් විශාල ලෙස පීඩා විඳිමින් ඉන්නවා. මේ ක්‍රමය විසින් උරුමකර දී තිබෙන දුර්දාන්ත ජීවන තත්වය වෙනස් කරනවාද නැතිනම් තවදුරටත් ආරක්ෂා කරනවාද? එසේ නැතිනම් අපේ දරුවන් වෙනුවෙන් වෙනත් ජයග්‍රහණයක් සඳහා, අපිට අහිමි කරපු සතුට අපේ දරුවන්ට දිනාදීම සඳහා, හොඳ රටක් ගොඩනඟනවාද? ඔබට අපට පැවරිලා තිබෙනවා ලොකු වගකීමක්. ලංකාවේ ඉතිහාසය අලුතින් ලියන, නව පුනරුද යුගයක එළිය දල්වන උදාර වගකීම ගැහැනු අපි බාරගනිමු. අපේ දරුවන්ට අලුත් රටක් ගොඩනැංවීම සඳහාත් නිදහස් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහාත් අපි පෙරමුණ ගනිමු.
වැඩ කරන ජනතාවගේ දිනය වුණු මේ ඓතිහාසික මැයි දිනයේ එදා 1886 චිකාගෝ නුවර ඇති වූ කම්කරු සටන අදටත් ඉවර නැහැ. පැය අටක වැඩ කාලය, ශ්‍රම සූරාකෑමට එරෙහිවීම, කාන්තාවන්ගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ලබාදෙන, කම්කරුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂයක් හැටියට අදටත් අපට තිබෙනවා, සමාන ශ්‍රමයට සමාන වැටුප් ඕන කියන ඉල්ලීම. දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍යයක්, නිදහසේ ජීවත් විය හැකි රටක් ඕන. විවේකය, කාලය, ශ්‍රමය මුදලින් මනින්න බැහැ. රටක දියුණුව කියන්නේ භෞතික සංවර්ධනය පමණක් නොවෙයි. රටේ ජීවත්වන මිනිසුන් උසස් සාහිත්‍යයක් රස විඳිනවාද? සංස්කෘතික ජීවිතයක් ගත කරනවාද, මනුස්සකමින් පිරුණු සමාජයක් රට තුළ තිබෙනවාද. කියන එකත් වැදගත්.

මෙතෙක් අපට උරුමකර දී තිබෙන්නේ මනුස්සකම අහිමි කළ සමාජයක්. තමන්ගේ දෛනික වැටුප වෙනුවෙන්, ඉල්ලීම් වෙනුවෙන් මහ මග බේරා ගන්න තිබෙන සටන අති විශාලයි. එහෙම කරලා ජනතාවගේ ශ්‍රමය සූරාකාලා, කම්කරුවාගේ කර මතින් මේ පාලකයා සැප වින්ද යුගය, 2024 ජනාධිපතිවරණයෙන් පස්සේ අවසන් වෙනවා. අපි මෙවර, වැඩකරන ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් පාලන ක්‍රමයක් ඇති කරනවා කියන එක ආඩම්බරයෙන් කියනවා. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. අපේ කාර්යය ඉටුකරමු. කාන්තාවන් විදිහට අපේ ඉතිහාසය අලුතින් ලියන්නට පෙරමුණ ගනිමු.

“ජනතාව රටේ ආර්ථිකයට හවුල්වෙන එහි ප්‍රතිලාබ සාධාරණය ලැබෙන
ආර්ථික ක්‍රමයක් අපි ගොඩනගනවා”
-ජාතික ජන බලයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

ලාංකීය දේශපාලන ඉතිහාසයේ අපේ පරම්පරාවේ වමේ ප්‍රගතිශීලී ජනතාවගේ තීරණත්මක මැයි දිනය, 2024 මැයි මාසයේ පළවැනිදා (අද) අනුරාධපුර සල්ගාදු පිටියේ සමරනවා. ලබන අවුරුද්දේ 2025 මැයි මාසෙ පළමුවැනිදා කියන්නේ වැඩ කරන ජනතාවගේ ජයග්‍රහණය සමරණ වසර බවට පත්වෙනවා. අපි නිදහස ලබා අවුරුදු 76ක් වෙනවා. ගෙවුණු කාලය දෙස ආපසු හැරී බැලුවොත්, අපේ රටේ භෞතික සම්පත්වලට, අපේ මානව සම්පතට ගැලපෙන, අපේ පිහිටීමට උරුම වුණු, රට සංවර්ධනය කරන ආර්ථික මාදිලියක් ක්‍රියාවට නඟන්න අපේ රටේ පාලකයන් අසමත් වුණා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ලංකාව කෘෂිකාර්මික, කාර්මික නිෂ්පාදනය කඩාගෙන වැටුණා. හොරකම, වංචාව, දූෂණය, නාස්තිය, පගාව, සමාජයේ අස්සක් මුල්ලක් නෑර කිඳා බැස්සා. මේ පාලකයන්ගේ වැරදි ප්‍රතිපත්ති නිසා ලංකාවේ පළමුවැනි වතාවට රටක් විදිහට බංකොලොත් තත්වයට වැටුණා. ඒකේ ප්‍රතිඵලය තමයි අපි කවුරුත් බුක්ති විඳිමින් ඉන්නේ. ආර්ථිකය, දේශපාලනය, සංස්කෘතික සදාචාරයන් කඩා වැට්ටුවා. ලෝකය ඉදිරියේ හිඟන ජාතියක් බවට නම් කෙරුණා. මහ දවාලයේ මිනී මරාගන්න, කුඩු ජාවාරම් ඉහළ ගිය, අපරාධවලින් සමන්විත වුණු, මිනිස්කම නැතිවුණු සමාජයක් බවට පත්වුණු රටක් ලෙස ලෝකය ඉදිරියේ හඳුන්වාදෙන්න පටන් ගත්තා. මේක තමයි වසර 76ක ශේෂ පත්‍රය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි කවුරුත් බුක්ති විඳින්නේ මෙතෙක් රට පාලනය කළ පාලකයන්ගේ වැරදි ප්‍රතිඵලයයි. හැම කෙනෙකුටම අද බලකෙරී තිබෙනවා මේ බිඳ වට්ටපු මේ දිවයින, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟලා, දියුණු සමාජ, ආර්ථික, සංස්කෘතියක් ගොඩනඟලා රට කෙලින් හිටවන්න කියන ඉල්ලීම, අද මාලිමාව වෙත යොමු වෙලා තිබෙනවා.

අපි මේ සාර්ථකත්වය ලබාගත්තේ කොහොමද? මේ රටේ සියලු වැඩ කරන ජනතාවගේ ශක්තියෙන්, ධෛර්යයෙන් හා විශ්වාසයෙන්. මේ රටේ සුවහසක් ජනතාවගේ හදවතේ නැඟුණු විශ්වාසනීය දේශපාලන ව්‍යාපාරය. ලංකාව තුළ පමණක් නොවෙයි විදේශගතව ජීවත්වෙන ලක්ෂ 35ක් වන ශ්‍රී ලාංකීය ජනතාවගේ බලාපොරොත්තුවත් මාලිමාව පිළිබඳව තිබෙන බලාපොරොත්තුව.
අපට අද බාරදූර වගකීමක් අපේ උරමතට පැවරෙණවා. වසර 76ක් තිස්සේ කාබාසිනියා කළ මේ රට ගොඩනැගීමේ වගකීම තව පෝය පහකින් මාලිමාවේ අපි මත පැටවෙනවා. ඒ අභියෝගය බාරගන්න අපි සූදානම්. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය ඔක්තෝබර් 17දින අවසන් වනවිට, ජාතික ජන බලවේගයේ නායකයා අනුර දිසානායක සහෝදරයා මේ රටේ නායකත්ව වගකීම භාර ගන්නවා, නියතයි. අද අනෙක් සියලු දේශපාලන පක්ෂ කෑලි කෑලිවලට කැඩිලා. අද රාජපක්ෂ පවුලේ පොහොට්ටුවේ හාදයෝ එහාට, මෙහාට පනිනවා. විජේදාස අද මෛත්‍රීගේ පැත්තට ගිහිල්ලා. අනුරාධපුරේ නොච්චියාගම පොහොට්ටුවේ සංවිධායක පැන්නා. දැන් ස.ජ.බෙ. කලාවැව සංවිධායක වෙලා. ජී. එල්. පීරිස්, ගොඩහේවා, පැන්නා. වීරවංශ අද පැනල අනාථ වෙලා. පොහොට්ටුවේ හාදයෝ පරාද වෙනකොට ගෙම්බො වගේ එහෙට මෙහෙට පනිනවා.

May-Day-Anuradhapura

අද ප්‍රතිගාමී බලවේග අපට බනිනවා. අපහාස කරනවා. ඔය අවලාදවලට, උපහාසවලට මේ ගමන ආපස්සට හරවන්න බැහැ. සතුරා අපට පහර දෙන්න අපි ශක්තිමත් වෙනවා. රට තුළ විශ්වාසය තවත් තහවුරු වෙනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54ක් විතර හිටියා. අද ඒ අය ඉන්නවාද? ඉසාඞ්, හරීන්, මනුෂ, චම්පික, පැන්නා. වෙල්ගමත් පනියි. සරත් ෆොන්සේකා ස.ජ.බ. විරුද්ධව නඩු කියනවා. නසීර් මොහොමඞ්, ඩයනා, අරවින්ද කුමාර පැන්නා. ගෝඨාභය එක්ක හිටි ගොඩහේවා අද ස.ජ.බ. වේදිකාවේ. රනිල්ගෙ යූ.එන්.පී. එකෙයි ස.ජ.බ. යූ.එන්.පී. එකෙයි තිබෙන වෙනස මොකක්ද? ප්‍රතිපත්තිවල වෙනසක් තිබෙනවාද? රනිල් විකුණන්න ඕන කියන කොට ඉරාන් කියන්නේ ඒක විතරක් මදි අනෙක් එකත් විකුණන්න ඕන කියලා. රනිල් අයි.එම්.එෆ්. එකේ පදේට නටනකොට හර්ෂ ඒක අනුමත කරනවා. යූ.එන්.පි.යේ රනිල් පිලයි, යූ.එන්.පි.යෙ සජිත් පිලයි, පක්ෂ දෙකක් කිව්වාට දෙකම එකයි. එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට කිසිම ගානක් නැතිව මාරු වෙනවා. හැරිසන් සජිත් පිලේ හිටියා. පසුවදා රනිල් පිලට පැන්නා. හරින් සජිත් පිලේ ඉඳලා පැන්න රනිල් පිලට. දෙකම යූ.එන්.පී. ප්‍රතිපත්තිවලින් දෙකම එකයි. මේ නිසා පාක්ෂියකයන්ටත් මේ දෙකම එපා වෙලා. යූ.එන්.පී. සජිත්ගෙ පිලේ ගම්මට්ටමේ අයයි, යූ.එන්.පී. රනිල්ගෙ පිලේ ගම්මට්ටමේ අයයි නායකයන් පිළිබඳව කළකිරිලා, දෙකම එපා වෙලා මාලිමාව වටා එකතු වෙමින් ඉන්නවා.
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තිබෙන්නේ මොකක්ද? අනුරාධපුරේ දුමින්ද දිසානායක, මෛත්‍රීපාලට බනිනවා. චන්ද්‍රිකා නෝනත් ඇවිල්ලා. පක්ෂ හතරට පහට කැඩිලා. නායකත්වය පිළිබඳ විශ්වාසයක් නැහැ. පක්ෂෙ ප්‍රතිපත්ති පිළිබඳව, වැඩපිළිවෙල පිළිබඳ සාමාජිකයන්ට විශ්වාසයක් නැහැ. ඒ තත්වය යටතේ වැඩකරන ජනතාවගේ විශ්වාසය මාලිමාව කෙරෙහි වැඩිවෙමින්, මාලිමාව වටා ඒකරාශී වෙමින් ජයග්‍රහණය කරා දවසින් දවස ලංවෙමින් තිබෙනවා. මේ රටේ දුක් විඳින ජනතාවගේ නායකයා, අනුර දිසානායක ඉතිහාසයේ පළමුවෙනි වතාවට ජනතාවගේ අයිතිවාසිකම් ජයග්‍රහණය කිරීමේ නායකයා බවට පත්වෙනවා. ඔක්තෝබර් 18 වැනිදාට ජනාධිපති සහෝදරයෙක් එනවා. ඒ මානව හිතවාදියා ඔබේ මේ අනුරාධපුරයේ උපන් පුරවැසියා. ජයග්‍රහණයෙන් පහුවදාම අපි මේ දූෂිත කැබිනට් මණ්ඩලය විසුරුවනවා. මේ රට හැදීමේ අභියෝගය මාලිමාවත් එක්ක පටන් ගන්නවා. කෙටි කාලයකට ඇමති වගකීම් ජනාධිපති අතට පවරා ගන්නවා. මේ දූෂිත පාර්ලිමේන්තුවත් ඉතාම කෙටි කාලයකින් විසුරුවා හරිනවා. ඔබට අවස්ථාවක් එනවා, අදූෂිත, මේ රටට ආදරය කරන, සෑම දිස්ත්‍රික්කයක් පුරා විසිරී සිටින මාලිමාවේ නියෝජිතවරයන්, නියෝජිතවරියන්ගෙන් තෝරා පත්කර ගන්න. අපි අලුත් ආණ්ඩුව පිහිටුවනවා. ඒ හා සමානවම රට හදන වැඩෙත් පටන් ගන්නවා.

අංක එක වගකීම වෙන්නේ, මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක. සජිත් කියනවා හොරු අල්ලනවා කියලා. එතන රාජිත, කිරිඇල්ල ඉන්නවා. හොරුන් අල්ලන්න, දඬුවම් දෙන්න සජිත්ට පුළුවන්ද? රනිල්ට පුළුවන්ද? බැංකු හොරෙකුට පුළුවන්ද තවත් හොරෙකුට දඬුවම් දෙන්න. රාජපක්ෂලාට කොහෙත්ම බෑ. හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ කිසිදු සොරකම් නොකළ, දේශපාලනය අවභාවිතා නොකරපු මිනිසුන් ඉන්න මාලිමාවේ රජයකට පමණයි. අපි ඒ වැඬේ පටන් ගන්නවා. මේ රටේ නීතිය විනය හදන්න ඕන. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, මැලේසියාවේ මහතීර් මොහොමඞ්ලා පටන් ගත්තේ එතනැන්. වියට්නාමයේ සෞඛ්‍ය ඇමති වැරැද්දක් කළා. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත්තා. අවුරුදු 17කට සිරගෙට යැව්වා. අපේ රටේ නීතියත්, යුක්තියත් නැහැ. ආර්ථික බංකොලොත්කමයි, සමාජයේ තිබෙන පිරිහීමත් එක්ක මුළුමනින්ම විශ්වාසය පළුදු වෙලා තියෙන්නේ.

May-Day-Anuradhapura

අපේ දරුවන්ට ජීවත් වෙන්න රටක් තියෙයිද? දෙමව්පියෝ කල්පනා කරන්නේ ඒක. පොඩි එකා ඉස්කෝලෙට ගිහිල්ලා ගෙදර එනකම් පපුවේ බිත්තර තැම්බෙනවා. එහෙම තමයි අම්මලා ඉන්නේ. රටේම ඇත්ත තත්වය මේකයි. මුළු රටේම වැඩකරන ජනතාවත්, ව්‍යාපාරිකයත්, ගොවියත්, ධීවරයත්, හැමෝම ඉන්නේ අපේක්ෂා භංගත්වයෙන් හා බයෙන්. දොස්තරවරු, මහාචාර්යවරු රට දාලා යන්නේ බදු ගහන හින්දාම විතරක් නෙවෙයි. බදු ගහන එකත් දරාගන්න බැහැ. ඊටත් වඩා තමන්ගේ පවුල, තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක්, බලාපොරොත්තුවක් නැහැ. ඒක තමයි අනෝමීය තත්වය. මේ අනෝමීය තත්වයෙන් මුළු සමාජයම වෙලාගෙන තිබෙන්නේ. මාලිමාවේ ආණ්ඩුව ආව ගමන් අපි මේ තත්වය වෙනස් කරනවා. ජපානය වගේ රටවල් අධ්‍යාපනයෙන් තමයි රටේ නීතිය, විනය හදන්න පටන් ගන්නේ. පොඩි ළමයින්ට ඉස්සෙල්ලාම උගන්වන්නේ අකුරු නොවෙයි. පංති කාමරය, වැසිකිළිය පිරිසිදුව තබා ගන්නේ කොහොමද, අනෙකාට ආචාර කරන්නේ කොහොමද, කියන එක. හැදියාව, විනයගරුක බව තමයි දරුවාට අධ්‍යාපනයෙන් දෙන්නේ. පෝලිම්වල හසුරුවන්න අය නැහැ. මිනිසුන් පෝලිමේ තමන්ගේ වාරය එනතෙක් ඉන්නවා. පාරේ වාහනවල යන රියදුරන් හැමකෙනෙක්ම ඒ විනය රකිනවා. දරුවන්ට දෙන අධ්‍යාපනය තුළින් ජපන් සමාජය එතනට ගෙනත් තිබෙන්නේ. ලාංකීය සමාජයත් අපි එතනට ගෙනියන්න ඕන. ඒ සිහිනය ඔබට, අපට තිබෙනවා. බලහත්කාරයෙන් නොවෙයි, දැනුවත් කිරීමෙන්, අවබෝධයෙන් අපේ සමාජය විනයගරුක සමාජයක් බවට පත්කරන්න ඕන.

ඊළඟට අපි මේ බිඳවට්ටපු ආර්ථිකය නඟා සිටුවන්න ඕනෑ. අපට සීනි ටික, කන්තලේ, යකඩ හා වානේ ඔරුවල, කඩදාසි වාලච්චේනෙ, ඇඹිලිපිටියේ, කිරිපිටි ලක්ස්ප්‍රේ, වාහන අමුද්‍රව්‍ය ටයර්, උළු ටික අපි හැදුවා. මේ සේරම බිඳවට්ටලා තිබෙන්නේ. අපේ රට ගොඩනගන ඒ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕන. පටන් ගන්න ඕන, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනයෙන්. ඉඳිකට්ට, අල්පෙනෙත්ත, සෙල්ලම් බඩු, රේසිං කාර් එක, රයිස් කුකර් එක, ගෑස් කුකර් එක, එළවළු කපන පිහිය සියල්ල අපි ගේන්නේ චීනෙන්. ඒව අපට විකුණලා අපේ ඩොලර් ටික චීනෙ ගන්නවා. ඊට පස්සේ අපට ගිනි පොළියට ණයට දෙනවා. අපිට ණය ගෙවා ගන්න බැරිවුණාම මේව චීනට විකුණනවා. මේක අපේ රටේ පාලකයන්ගේ වරදක්. එහෙම නම් අපි නිෂ්පාදනය නගා සිටුවන ආර්ථියක් ගොඩනඟන්න ඕන. ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන ආර්ථික සැලැස්මක් අපට තිබෙනවා. එක සැලසුම් සහගත ආර්ථිකය. දෙවෙනි වට, නිෂ්පාදනය මත පදනම් වුණු, ජන සහභාගිත්වය සහිත ආර්ථිකය. හතර නිපදවන නිෂ්පාදනයේ ප්‍රතිලාභ සාධාරණව ජනතාව අතර බෙදීයාමේ ආර්ථිකය. එවිට තමයි අපි අතර බේද නැතිවෙන්නේ. ආදායම් බෙදී යාමේ විෂමතාවය තුනී වෙනවා නම්, නීතියත් ඒ හා සමානව ක්‍රියාත්මක වෙනවා. අද බලපුළුවන්කාරයට එක නීතියක්, නැතිබැරි අහිංසකයාට තව නීතියක්. සල්ලි මත බලය මත නීතිය ක්‍රියාත්මක වීමේ වෙනස්කම් තිබෙනවා. ආදායම් බෙදීයාමේ විෂමතාවය තුනී වෙන කොට, පුරවැසියාට ගරුත්වයක් සහිතව ජීවත් විය හැකි වටපිටාවක ගොඩනැගෙනවා. එවැනි සමාජයේ හැමෝටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. ඒක කරන්නේ සාධාරණ සරල බදු ප්‍රතිපත්තියක් හරහා. ඒකතමයි මාලිමාවේ බදු ප්‍රතිපත්තිය. මහා පරිමාණ මෙන්ඩිස් සමාගම, ආණ්ඩුවට වැඩියෙන්ම බදු නොගෙවපු සමාගම. නොගෙවූ සුරාබදු මුදල රුපියල් කෝටි 676යි. ඒකෙන් කෝටි 341ක්ම ගෙවා නැත්තේ මෙන්ඩිස් සමාගම. මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම, පර්පචුවල් ටේ‍රසරීස්. මෙන්ඩස් සමාගම තමයි ඊට අනුබද්ධ අනෙක් සමාගම. ආණ්ඩුවට බදු නොගෙවා පොලු තබා, වංචා කර තිබෙන කුඩා පිරිසක් ඉන්නවා.

මාලිමාවේ ආණ්ඩුවක් ඇතුලේ ඕනෑතරම් නිෂ්පාදනය කරන්න පුළුවන්. සාධාරණ ක්‍රමවේදයට නිෂ්පාදනය කරන්න පුළුවන්. හරියට තිතට බදු ගෙවන්න. අපේ ආර්ථිකයේ හදවත තමයි, කස්ටම් එක, සුරාබදු එක, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ආදායම් ගේන මර්මස්ථාන තුනෙන් අද කෝටි ගණන් වංචා සිදුවෙනවා. මාලිමාවේ පාලනයක් ආව ගමන් ඒ ආයතන තුන පැහැදිලි, නිරවුල්, විනිවිද පේන තත්වයට ගේනවා. තමුන්නාන්සේලාගේ පරිප්පු ටිකට සීනි ටිකට ගහන වක්‍ර බද්ද, මේ වැට් එකෙන් 18%ට වැඩිකර තිබෙන බද්ද අඩු කරන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව මත ගහන වක්‍ර බද්ද අඩු කරලා, ඍජු බද්ද ක්‍රමානුකූලව වැඩි කරලා බදු ප්‍රතිපත්තිය සාධාරණ සරල ක්‍රමයට ගෙනාවම ආදායම බෙදී යාමේ විෂයතාවය තුනී වෙනවා. නිෂ්පාදනයත් එක්ක බැඳුණු මේ සියලු ප්‍රතිපත්ති එකට ක්‍රියාත්මක කිරීම හරහා තමයි රට අපේ ඉලක්කය කරා ගමන් කරන්නේ. එහෙම රටක් අපි හදමු. ඒ සුන්දර සිහිනය අපි සැබෑ කර ගනිමු.

ඒ සිහිනය ඇතුළේ මේ සියලු ජනතාවට නිෂ්පාදනයේ හවුල්කරුවන් විය හැකියි. ඒ කියන්නේ හැමෝටම ජීවත් වෙන්න රැකියාවක් ලැබෙනවා. ඒ රැකියාව තමන්ගේ, පවුලේ ආර්ථිකය ශක්තිමත් කරනවා. එවිට තමන්ටම ඉඩමක්, නිවසක්, තමන්ගේ දරුවා ළඟම හොඳ ඉස්කෝලෙකට, ඉස්පිරිතාලෙන් බෙහෙත් ටික ගන්න, හොඳ පොදු ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක වෙන කොට අපේ මූලික අවශ්‍යතාවයන් ඉටුවෙනවා. පානීය ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස මූලික අයිතිවාසිකමක් විදිහට පිළිගෙන සියලු පුරවැසියන්ට ඒ අයිතිවාසිකම ලබාදෙන රජයක් ලබන වසර වන විට මේ රටේ දෙපයින් සිටවනවා. ඒ ජයග්‍රහණය අපි ලබන අවරුද්දේ මැයි 01 වැනිදා සමරණවා. වැඩකරන ජනතාව වෙනුවෙන් ජයග්‍රහණය දක්වා මේ සටන අපි ගෙනියනවා. අපි සියලුම ශ්‍රී ලාංකිකයන්ට, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට අපි ආරාධනා කරනවා, ඔබ හම්බකරපු සල්ලි ටිකත් අරගෙන ලංකාවට එන්න. ඔබේ යාළුවන්, ඥාතීන් එක්ක ජීවත් වෙන්න එන්න. ඒ ප්‍රාග්ධනයත් එක්ක අපි මේ රට වේගයෙන් ඉස්සරහට ගෙනයමු.

මේක හදන්න පුළුවන් රටක්. ඓතිහාසික පරාක්‍රම සමූද්‍රය, කලා වැව, යෝධ ඇළ ගොඩනැගුනේ අපේ මුතුන් මිත්තන්ගේ දැනුමෙන් හා ශක්තියෙන්. රුවන්වැලි සෑයේ කුමන පැත්තකින් බැලුවත් අංශක 90ට තිබෙනවා. ඒව හැදුවේ අපේ මුතුන් මිත්තෝ. අපට ශ්‍රේෂ්ඨ වාරි ශිෂ්ටාචාරයක් තිබුණා. ඒ නිසා තමයි එදා මුතුන් මිත්තන් සහලින් ස්වයංපෝෂිත රටක් හැදුවේ. අද අපට මේ රට හදන්න බැරිද. මේ දූපත වටා තිබෙන සාගරය ලංකාව වගේ අට ගුණයක් විශාලයි. මේ රට හදන්න සමත් හැකියාව, ධෛර්යය, විශ්වාසය තිබෙන මිනිස්සුන් ඉන්නවා. ලෝකය පුරා තිබෙන හොඳම විශ්වවිද්‍යාලවල, නාසා ආයතනයේ, ජපානයේ පරිගණක ආයතනවල, පර්යේෂණ ආයතනවල දැනුම ලබාදෙන්නේ ශ්‍රී ලාංකිකයෝ. මේ වේදිකාවෙත් ඉන්නේ ඒ වගේ දැනුම හැකියාව තිබෙන පුරවැසියන්. ආචාර්යවරු, මහාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු අද මාලිමාව වටා පෙළ ගැහිලා ඉන්නේ. දැනුම හැකියාව තිබෙන අය ඉන්නේ අපිත් එක්ක. ඒ නිසා මේ රට හදන්න පුළුවන්. ඒ හදන්න ඕන දේශපාලන නායකත්වය, කැපකිරීම කරන්න මාලිමාවේ අපි සූදානම්. ඒ වෙනුවෙන් කැප වෙන්න, ඇප වෙන්න දහස් ගණන් සාමාජිකාවන්, සාමාජිකයන් අපිත් එක්ක ඉන්නවා. අපි සමස්ත ජනතාවගෙන් ඉල්ලනවා අපි ඒ භාරදූර කාර්යය පටන් ගනිමු. මෙතෙක් කල් ගෙනා දූෂිත ක්‍රමය පරද්දලා, දේශමාමක, ප්‍රගතිශීලී නායකයන් අතට මේ රට බාරදෙමු. ඒ වෙනුවෙන් අපි ඇප වෙමු. කැප වෙමු. ඒ වෙනුවෙන් සංවිධානය වෙමු. ශිෂ්ට සම්පන්න නායකයන්ගේ පරිච්ඡේදයක් අපි පටන් ගනිමු. ලෝකයේ ශක්තිමත්ම ආර්ථික හැකියාව තිබෙන රට බවට මේ රට පත්කරමු. දෙමළ, සිංහල මුස්ලිම්, බර්ගර් බේදයක් නැහැ. අපි එක මවකගේ දරුවෝ. අපි එකට එකතුවෙලා මේ රට හදමු. 2024 මේ ඓතිහාසික නගරයේ සිට සපථකර කියනවා ලබන අවුරුද්දේ ආරම්භ කරන්නේ මේ රටේ සුවහසක් ජනතාවගේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික වශයෙන් ජයග්‍රහණය කරා යන වසර. මේ විදිහට වසර පහක් පමණ ගෙවෙන කොට රට සංවර්ධනය කරා යනවා, ඇති නැති පරතරය තුනී වෙලා යනවා. නීතිගරුක, යුක්තිගරුක සමාජය බිහි වෙනවා. අපි හැමෝටම ඉන්න හිතෙන රට බවට පත්වෙනවා. ඒ වෙනුවෙන් ඇප වෙන්න. කැප වෙන්න. යන්න ඔබේ ගමට. තවමත් වෙනස් වෙලා නැති කෙනාව දැනුවත් කරන්න. හෙට උදෑසනම පටන් ගන්න. ඒ වෙනුවෙන් ඔබේ ශක්තිය, ධෛර්ය පාවිච්චි කරන්න. ඒ සඳහා ඔබ ශක්තිමත්ව ඉදිරියට එන්න. අපි හඬ නඟා කියමු.

කුසට සාගිනි හදට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරවූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අත පය හකුල්ලා
නැගිට පල්ලා නැගිට පල්ලා උඹලගේ කාලය වරෙල්ලා

“මනුෂ්‍ය ජීවිතය කියන්නේ ශ්‍රමය වගුරා, මුදල් ඉපයීම පමණක් නොවෙයි. දියුණු සංස්කෘතික ජීවිතයක් භුක්ති විඳීමත් අපට අයිතියි.”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මහාචාර්ය ලියනගේ අමරකීර්ති-

May-Day-Anuradhapura

මේ වාගේ පෙළපාළිවල වාර ගණනාවක් ගිහින් තිබෙන මට දහදියෙන් පෙඟුණු අත්දැකීම් තිබෙනවා. මේ රැලියේ දී ඔබත් සමඟ බෙදා ගැනීමට කරුණු කිහිපයක් හදවතේ සටහන් කර ගන්න උත්සාහ කළා. මේ මැයි රැලිය අවසන් කර අපි ආපසු යන්නේ ඊ ළඟ මැයි රැලිය අපේ පාලනයක් යටතේ පවත්වන බවට හදවතේ සටහන් කරගෙනයි. ඒ වාගේම මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ උඩපේරාදෙණිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සහෝදරවරුන් මේ ගමන සූදානම් කිරීම පිළිබඳ අත්දැකීමක් ඔබත් එක්ක බෙදා ගන්න කැමැතියි. ආධාර පත්‍රයක් රැගෙන ගෙයින් ගෙට ගොස් ජනතාව එකතු කරන අතර, ආධාරයකුත් ලබාගෙන අනුරාධපුරයට පැමිණෙන ගමනේ දී වේල් තුනක ආහාර සපයා ගැනීම ගැනත් කතා කළා. ඒ ආහාර වේල් තුළ පවා සහෝදරත්වයේ පිවිතුරු හැඟීම් සහ මානවීයත්වය, සමානාත්මතාව සටහන් වී තිබුණා. පසුගිය වසර කිහිපය තුළ ජාතික ජන බලවේගය ගොඩනැඟීමේ දී මෙන්න මේ පිවිතුරු හදවත්, මිහිරි ජීවිතයක් පිළිබඳ රහස් එකිනෙකා අතර බෙදා ගැනීම මූලික වී තිබෙනවා. ඒ අතර ලැබුණු තවත් අත්දැකීමක් වන්නේ පොහොට්ටුවේ රැස්වීමට යන අය වෙනුවෙන් රුපියල් පන්දහසකුත්, මත්පැන් කාලකුත් ලබා දීම පිළිබඳ කරුණු ඒකරාශී වී තිබුණා. නමුත්, ඔවුන්ගේ ඡන්දය අපට ලබා දෙන බව අපේ සහෝදරවරුන්ට සපථ කර තිබුණා.

ආර්ථික අර්බුදය හමුවේ අවුරුදු නවයක පමණ පොඩි දරුවන්ට පවා ශ්‍රමය විකිණීමට සිදු වීම පිළිබඳ අත්දැකීමක් අපට බෙදා ගන්න තිබෙනවා. කුරුණෑගල ජීවත් වන එක් අවුරුදු නවයක පුතෙක් ඥාති ගෙදරක වළං සෝදමින්, තමන්ගේ කුසගින්න නිවා ගැනීමට රහසින් දංකුඩ කන මට්ටමට මේ රට පාලනය කළ පාලකයන් රට ඇදදමා තිබෙනවා. මේ තත්වය වෙනස් කරන්න ජාතික ජන බලවේගය වටා ජනතාව රොදබඳිමින් සිටිනවා. දුප්පත්කම වාගේම දෙමළ ජනතාවට වේදනා ගෙන දෙන ප්‍රධාන කාරණයක් වන්නේ දෙමළ භාෂාවෙන් රාජ්‍ය ආයතනවලින් වැඩ කරගත නොහැකි වීමයි. අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට දෙමළ භාෂාවෙන් රෙජිස්ටර් ලියුමක් යැවීමේ හැකියාවක් නොලැබීමේ වේදනාවක් අපත් සමඟ බෙදා ගත්තා. ඒ ඊනියා ප්‍රභූ පාලකයන් නැවත වරක් මේ රටේ ජනතාව බෙදන්න ක්‍රියා කරමින් සිටිනවා. ඒ වාගේම වැඩ කරන ජනතාව බෙදා වෙන් කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. මනුෂ්‍ය ජීවිතය කියන්නේ ශ්‍රමය වගුරා, මුදල් උපයා ගැනීම පමණක් නොවෙයි. දියුණු සංස්කෘතික ජීවිතයක් භුක්ති විඳීමත් අපට අයිතියි. මේ දක්වා අපට නොලැබුණු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ අර්ථය සොයන පුනරුද ගමනක් වෙනුවෙන් අපි මුලපුරා තිබෙනවා. අපේ ජීවිතයේ සැබෑ අර්ථය සොයන පුනරුද ගමනට තවත් ශක්තිය එක් කරමින්, දිනෙන් දින වැඩෙන අධිෂ්ඨානයෙන් මී ළඟ මැයි දිනය අපේ පාලනයක් යටතේ පැවැත්වීමේ ඓතිහාසික කටයුත්තට හැම දෙනාම එකාවන්ව එකතු වෙමු.