-Colombo, December 31, 2023-
දෙදහස් විසිතුන වසර නිමාකරලා දෙදහස් විසිතරට පය තබන්න තව දවසක් විතර තිබෙන්නේ. හැබැයි 2024 නව අවුරුදු උදාව වේලාසනින්ම මාතරට ඇවිල්ලා. මේ අපේක්ෂා සහගත බලාපොරොත්තු සහගත සතුට පිරුණු මුහුණුවල තිබෙන්නේ 2024 ජයග්‍රාහී වසරක් බවට පත්කර ගැනීමයි. භූ කම්පනයක් හේතුකොට ගෙන ලංකාවට සුනාමි අනතුරක් ඇති බව අද පාන්දර ප්‍රවෘත්තියකින් කියවුනා. පසුව දවල් එම තත්වය පහව ගියා කියලා නැවත ප්‍රවෘත්තියක් පළවුනා. නමුත් මාතරට ගැහැනු සුනාමියක් ඇවිත් කියලා මේ පිටිය දැක්කම පේනවා.
ගෙවී යන අවුරුද්දේ ජනවාරි මාසය ආරම්භ වුණේ මැතිවරණ උණුසුමත් එක්ක. ජනවාරි 05දා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ පාලක කණ්ඩායම අපේක්ෂා නොකළ බලයක්, මැතිවරණ ව්‍යාපාරය තුළ ජාතික ජන බලවේගයට ගොනඟන්න අපි සමත් වුණා. ඡන්දවලට ඇති වන රැලි ඡන්ද කල්දැමීමෙන් නතර කරන්න පාලකයන් කල්පනා කළා. ඒ නිසා මාර්තු 09දා පැවැත්විය යුතුව තිබුණු පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25ට කල් දැම්මා. නැවත දින නියමයක් නොමැතිව කල්දැම්මා. අදටත් ඒ ඡන්දයට දිනයක් නියම කර නැහැ. මැයි, ජූනි මාසවන විට සමහර අය තුළ යම් අපේක්ෂා භංගත්වයක් තිබුණා. නමුත් අපට අත්හැරුණු තැන්, සාර්ථක කර ගත නොහැකිව තිබූ තැන්, සියල්ල සම්පූර්ණ කර ගනිමින්, අපි ඉදිරියට ආවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය පිහිටුවීම නිසා ආණ්ඩුව ඇතුලේ විශාල බියක් සහ කැළඹිල්ලක් ඇති කරමින් එය වර්ධනය වෙනවා. ඒ වගේම වෘත්තියවේදීන්ගේ සංවිධාන, ධීවර සමුළු, කාන්තා සමුළු පවත්වමින් දැවැන්ත ව්‍යාපාරයක් හැටියට ඉදිරියට ඇවිත් 2023 අභිබවා යන මහා බලගතු ව්‍යාපාරයක් හැටියටයි 2024ට අපි පා තබන්නේ.
තවත් අලුත් පියවරකින් 2024ට පා නගන්න අපි තීරණය කළා. චාටුබස්වලින්, බොරුවෙන්, කුඩා කුඩා මෙවලම් බෙදීමෙන් ගැහැනුන්ව රවටා ගන්න විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ සමත් වුණා. ඔහු ගොඩනැගූ දේශපාලන සංස්කෘතිය අපේ ගමේ ගැහැනුන්ව ඉලක්ක කර ගත් සංස්කෘතියක්. දැනුත් විවිධ අවස්ථාවලදී ඔහු එවැනි ප්‍රකාශ කළත්, අද ජාතික ජන බලවේගයේ මැදිහත් වීමෙන් හුදු ඡන්දයක් ලබාගැනීමේ ගැහැනිය වෙනුවට සමාජය පරිවර්තනය කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ගැහැනුන් බවට ඔසවා තබා තිබෙනවා. 2024 ජයග්‍රහණය ගැන අපටත් කුකුසක් තිබුණා නම්, අද එය මුළුමනින්ම ඉවරයි. අන් කවරදාටත් වඩා වැඩියෙන් අවදියෙන් සිටිය යුතු, කල්පනා කළ යුතු, ක්‍රියාකාරී විය යුතු, වෙලාවක් මේක. ඔබට දැන් මොනවාද ඉතිරි වී තිබෙන්නේ. අවුරුදු 13, 14 වයසේ දැරිවියන් පවා උපදේශන සේවාවන් ලබාගත යුතු තත්වයට සමාජය බිඳ වට්ටවා අවසන්. අපේ රටේ සංස්කෘතිය, බැඳීම, මානව සම්බන්ධතා එක්ක අම්මා සහ දරුවන් අතර බැඳීම කොතරම් ප්‍රබලද? දැන් ඔබට ඔබේ දරුවා පිළිබඳව බලාපොරොත්තු තැබිය නොහැකි මේ සමාජය වෙනස් කිරීමට පෙළ ගැසිය යුතුයි. සමහර දරුවන් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය උවදුරේ ගොදුර බවට පත්වීමෙන් මව්වරුන් සහ සොහොයුරියන් විශාලතම කම්පනයකට පත්වී සිටිනවා. ඔබගේ දරුවා එවැනි ඛේදනීය ඉරණමකට ගොදුරු නොවේ යැයි ඔබට කිව හැකිද? සමාජය කඩා වැටීමේ මහා ව්‍යසනයේ ගොදුර අපේ රටේ ගැහැනිය සහ දරුවන්.
නිල වාර්තාවලට අනුව පවුල්වලින් 20% ගැහැනුන් ගෘහස්ත හිංසනයට ගොදුරුවන බව හෙළිකර තිබෙනවා. සතුට, විනෝදය, ජීවිතය නැති මිරිකුණු ගැහැනුන් සමුදායක් අප ඉදිරිපිට ඉන්නවා. මෙය අපි වෙනස් කළ යුතුයි. ඊයේ නිකුත් වුණු වාර්තාවක් අනුව අවුරුදු 3ත් 16ත් අතර පාසල් යන දරුවන්ගෙන් 55%කගේ වියදම් කපා හැරලා. පොත් සහ පාසල් උපකරණ මිලදී ගන්න බැහැ. තවත් සියයට හතළිස් ගණනක් බාහිර ටියුෂන් පන්ති යාම අත්හැරලා. ජනවාරි පළවැනිදා සිට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා විශාල ප්‍රමාණයකට වැට් බදු ගහන්නේ, මේ පසුබිමේ සිටයි. ආර්ථිකයේ වැදගත් සාධකවලට, ආර්ථිකය ඉදිරියට යාම සඳහා බාධාවන භාණ්ඩ හා සේවාවවලට මෙයට පෙර වැට් බද්ද ගැහුවේ නැහැ. ඒ වගේම ජීවිතයේ අත්‍යවශ්‍යදේවලට ගෑස්, කිරි නිෂ්පාදන, පාසල් උපකරණ, මත පවා ජනවාරි පළවැනිදා සිට වැට් බදු ගහනවා. 2023දී දැනුණු ආර්ථික පීඩාවට වඩා වැඩි පීඩාවක් ජනවාරි පළවැනිදා සිට ඇති වෙනවා. වැඩකිරීමේදී පවුලේ ප්‍රමුඛයා වී සිටි ගැහැනුන් ජීවිතයේදී අන්තිමයා බවට පත්කර සිටින ජීවිතය ඕනෑද? ඒ වගේම මාතරින් කොළඹ යන සහොදරියන් නැවත ගෙදර එන තුරු වතුර උගුරක් නොබී සිටීමට තරම් ප්‍රවේශම් වෙනවා. තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට පහසුකම් සලසා නැති මෙහෙම ජීවිතයක් තවදුරටත් ඕනෑද? මේ රටේ පාලකයන් 75වසරක් අපේ රට හපයක් බවට පත්කළා හා සමානවම කාන්තාවන් හපයක් බවට පතකර තිබෙනවා.
ගැහැනියක් හැටියට ඉපදී ගැහැනියක් හැටියට මිය යන විට තමන්ගේ ජීවිතයේ අත්පත කර ගත යුතු අවම උවමනාවන් වත් ඉටුකර ගත නොහැකි වු ගැහැනියක් හැටියට මිය යාමට සලසා තිබෙන ක්‍රමය අපි වෙනස් කරන්න ඕනෑ. රූපවාහිනී නාලිකාවල උදේ හතහමාරෙන් පස්සේ සාස්තර කියන අය ගෙන්වා ගන්නවා. මිථ්‍ය මතවලින් කාන්තාවන් රවටන්න විවිධ වැඩසටහන් උපයෝගී කර ගන්නවා. සමහර සාස්තරකාරයෝ රූපවාහිනි නාලිකාවලට ගෙවීමක් කර, කාලය ලබා ගන්නවා. ඉන්පසු ප්‍රචාරය කරන වෙළඳ වැඩසටහන් පවා එහෙමයි. හැබැයි ජාතික ජන බලවේගය අද ගැහැනුන්ගේ ශක්තිමත් කර තිබෙන්නේ එවැනි විෂබීජවලට හැරවිය නොහැකි ආකාරයටයි. දේශපාලනය වෙනස් කිරීමෙන් තොරව ඛේදවාචකයන්ගෙන් මිදී ජීවත්වීම ආරම්භ කරන්න බැහැ. ඒවගේම දේශපාලනයෙන් පමණක් මේ වෙනස් සිදුකරන්න බැහැ. මේ කඩා වැටුණු ආර්ථිකය ප්‍රකෘතිමත්භාවයට පත්කරන්න බිඳ වැටුණු සමාජය කාන්තාවන් ලෙස තමනගේ මව, සොහොයුරිය වශයෙන් බලන සමාජයක් ගොඩනැගිය යුතුයි. ගැහිනිය තවදුරටත් කෙළිබඩුවක් වෙනවා වෙනුවට යුක්තිය, සාධාරණත්වය, සමානත්වය පදනම් කර ගත් ආධ්‍යාත්මයට යළි පණ දිය යුතුයි. ඒ සියල්ල කළ හැකි වන්නේ දේශපාලන පරිවර්තනයකින් ආරම්භය ගැනීමෙන් පමණයි. නව පුනරුද ව්‍යාපාරයක් නවජාතික ව්‍යාපාරයක් ඔස්සේ දැවැන්ත සමාජ පරිවර්තනයක් සිදුකළ යුතුයි. ජාතික ජන බලවේගයේ ගැහැනු ව්‍යාපාරය කියන්නේ මේ රට පුනරුදය කරා ගෙනයන ප්‍රධානම බලවේගය වන පංගුකාරියන්ගේ සංවිධානයයි.
රනිල් වික්‍රමසිංහ අර්බුදය තේරුම් ගත්තේ ඩොලරය ඉහළ පහළ යාමෙන්, අයවැය හිඟය අඩුවැඩි වීමෙන්, වියදමට භාණ්ඩාගාරයේ මුදල් තිබෙනවාද නැද්ද කියන කාරණය අනුවයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩයට අර්බුදය පෙනෙන්නේ ගිණුම්වලින් සහ සංඛ්‍යා දත්තවලින්. අපි සහ ඔබට මේ අර්බුදය පෙනෙන්නේ ජීවිතවලින්. ජීවිතවල තත්වය දත්තවලින් කියාපෑම ගැන ජාතික ජන බලවේගය අවධානය යොමු කරනවා. තමන්ගේ ජීවිත කාලයේ අසීරුම අවස්ථාව ගතකරමින් සිටින ජනතාවට ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් කියනවා අවුරුදු 25කට පසුව 2023 වියදම් මේ වර්ෂය මුලදීම පියවා අවසන් බව. ආර්ථිකය කඩා වට්ටවා, සමාජය පතුළටම බිඳ දමා, අපරාධ වර්ධනය කර, අයුක්තිය තහවුරු කළ අසාධාරණය කෙළ පැමිණි අපරාධකාරයින් පාලනය කරන රටක් නිර්මාණය කර, ඔවුන් ගිණුම්කරන දත්තවලින් ජයග්‍රහණ ගැන උදම් අනනවා. කඩා වැටුණු රට ගොඩගත හැකි වන්නේ නව ජාතික පිබිදීමකින්. අපි සියලු දෙනා ක්‍රියාකළ හොත් පමණයි. එළඹෙන වසරේ දේශපාලන වෙනස සිදු නොකරන්නේ නම්, ගැහැනු ඔබට තව තවත් අවමානයට ලක්වෙන්න පුළුවන්. මේ පීඩනයේ ගොදුරු බවට තව තවත් පත්වෙන්න පුළුවන්. තව තවත් හූල්ලමින් දරුවන් සම්බන්ධයෙන් අපේක්ෂා භංගත්වයට පත්වෙන්න පුළුවන්. අපි ඔබට යෝජනා කරන්නේ හූල්ලමින් සිටින ජීවිතයක් නොවෙයි.ශක්තිසම්පන්නව ඉදිරියට පැමිණ මෙය වෙනස් කිරීමට සංවිධානය වන ලෙයසි.
දශක ගණනාවක් මාතර දිස්ත්‍රික්කය තුළ දේශපාලන ක්‍රියාකාරකම් කර තිබුණත් ඒ හැම එකකටම වඩා වැදගත්ම අවස්ථාවටයි, අද මා මේ සම්බන්ධවී සිටින්නේ. මෙතෙක් සහෝදරියන් තුළ තිබූ නිහඬතාවය, නිද්‍රාශීලිත්වය, මුළුමනින්ම ඉවත් කර, දිස්ත්‍රික් සමුළුවක් ලෙස පවත්වන, දැවැන්තම කාන්තා බලවේගය එකතු කොට තිබෙනවා. අපේ රටේ තිබුණු පිරිමි කේන්ද්‍රගත කොට ගත් දේශපාලනය වෙනුවට ඉතාම ශක්තිමත් ක්‍රියාකාරී මැදිහත්වීමකට ගැහැනුන් ඉදිරියට පැමිණ සිටිනවා. රැවටිලිවලට මුලාවන, ගෙදර මුල්ලකට කර තිබූ කාන්තාව තුළ සැඟවුණු විශාල ශක්තිය මුදාහරිමින් අද පෙරමුණට ඇවිත් සිටිනවා. ලංකාවට විදේශ විනිමය වැඩිපුරම උපයාගෙන විදෙස්ගත ශ්‍රමිකයන් හැටියට විශාල ගැහැනුන් පිරිසක් ක්‍රියාකරනවා. ඊළඟට ආසන්න වශයෙන් ඩොලර් බිලියන පහක වැඩිම විදේශ විනිමය උපයා දෙන ඇඟලුම් කර්මාන්තයේ නියැලී සිටින විශාලතම පිරිස ගැහැනුන්. තුන්වන වැඩිම විදේශ විනිමය ප්‍රමාණය උපයාදෙන තේ කර්මාන්තයේ විශාලතම පංගුව දරන්නෙත් ගැහැනුන්. තව පැත්තකින් පාසල් අධ්‍යාපනයේ 70%ක් පමණ සිටින්නේ ගුරුවරියන්. සෞඛ්‍ය සේවයේ වැඩි පංගුවක් තිබෙන්නේත් ගැහැනුන් අතේ. ඒ නිසාම පවතින ක්‍රමය වෙනස් කිරීමේ වැඩිම දේශපාලන සක්‍යතාවය තිබෙන්නේත් ගැහැනුන් අතේ.
මේ රට ගොඩගන්නා ප්‍රධානම බලවේගය බවට ගැහැනිය පරිවර්තනය කළ යුතුයි. පැරණි කියමන් පැරණි යථාර්ථයන් සියල්ල පැත්තකින් තබා නව රටක්, නව ලෝකයක්, ගොඩනැගීමේ පුරෝගාමී වැඩකොටස කරන ගැහැනුන් බවට පත්වීමේ ස්ථිර අධිෂ්ඨානය ඇතිකර ගන්න ඕනෑ. ලංකාව පුරා මෙවැනි සමුළු පවත්වා ගැහැනුන් ප්‍රබල ලෙසම බල ගන්වනවා. මේ රට නැවත ජාතික පිබිදීමේ මාවතකට ගෙන එන්න ඕනෑ. ඉන්දියාවේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව දැවැන්ත ජාතික ව්‍යාපාරයක් තිබුණා. නේරු, ගාන්ධි, චන්ද්‍රබෝස්, පාතෙල්, ඇති කළ ජාතික ව්‍යාපාරයේ පිබිදීම නිසා අද ඉන්දියාව සඳ තරණය කරන මට්ටමට පැමිණ සිටිනවා. දෙවන ලෝක යුද්ධයේදී ඇමෙරිකානු පරමාණු බෝම්බ හෙළීමෙන් සමතලා වුණු ජපානය අධිෂ්ඨානයෙන් නැවත නැගී සිටියා. චීනය, වියට්නාමය වගේ රටවල් ගත්තත් නව ලෝකයේ තාක්ෂණික ජයග්‍රහණයන් යොදාගෙන ආර්ථික, බලවතුන් වී සිටිනවා. එක්සත් ජනපදය බි්‍රතාන්‍ය ආධිපත්‍යයට එරෙහිව ගෙන ආ ජාතික පිබිදීම තුළින මූලාරම්භය ගත්තා. අපිට එහෙම ජාතික පිබිදීමක් තිබුණේ නැහැ. තාමත් කතා කරන්න තිබෙන්නේ 1818, 1848 නැගී සිටින් මුතුන් මිතතන් ගැන. 1848 සිට 1948 දක්වා කතා කරන්න මුතුන්මිත්තන් අපිට නැහැ. ඉන්දියාවේ ගාන්ධිලා, නේරුලා, පාතෙල්ලා බිහිවන විට අපිට හැදුණේ ස්ටීවන්ලා, ජූනියස් රිචඩලා, රිජ්වේලා, සොලමන් ඩයස්ලා වගේ අය. ජාතිය අවධිකරන සටනක් අපට තිබුණේ නැහැ. ජාතික හැඟීමකින් රට නැගිට්ටවනවා වෙනුවට සිංහලයාට විරුද්ධව දෙමළාත්, දෙමළාට විරුද්ධව මුස්ලිම් කෙනාත් නැගිට්ටවන දේශපාලන සංස්කෘතියක් බිහිකර මහා ඛේදවාචකවලින් කෙළවර වුණා. මේ රටට නැවත පණ දෙන, කඩා වැටුණු රාජ්‍යය ගොඩනඟන, සුණු විසුණුකර තිබෙන සමාජය ඒකාග්‍රතාවයකට ගේන පොදු ජනයා අතට යුක්තිය සාධාරණය ගලාඑන නව සමාජ ක්‍රමයක් අවධි කරන්න ඕනෑ. ඒ සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික ඒකාග්‍රතාවය ගොඩනඟන්න ඕනෑ. එය ගොඩනැගිය යුත්තේ බලය ලබා ගැනීම සඳහා පමණක් නොවෙයි. බලය ලබාගෙන රට ගොඩනැගීම සඳහායි. එහෙම නැතිව මාතෘ භූමියත් එහි වෙසෙන ජනයාත් මේ ඛේදනීය තත්වයෙන් ගොඩගන්න බැහැ. කඳුළු හෙළමින්, සෝ සුසුම් හෙළමින් තිබෙන මාතෘ භූමියටත් එහි වෙසෙන ජනයාටත් නිදහස් ජීවිතයක් ලබාදෙන නව පුනරුද යුගයක් කරා ගෙනයමු. දේශපාලන බලය අත්පත් කර ගැනීම ආරම්භය පමණයි. ඉන්පසුව වෙහෙස නොබලා වැඩකරන ඕනෑම කැපකිරීමක් කළ හැකි ජාතික ව්‍යාපාරයක් ගොඩනඟමු. ඒ වෙනුවෙන් මාතරින් ඉතාම ධෛර්යවන්ත, යෝධ පියවරක තබා තිබෙනවා. වැනෙන්නේ නැති, ධෛර්ය සමපන්න, රට ගොඩනඟන ගැහැනුන් නිර්මාණය කර තිබෙනවා. අපි සියලු දෙනා නොනැවතී ඉදිරියට යමු.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ සභාපති සරෝජා පෝල්රාජ්
මුහුදු සුනාමි අනතුරු ඇඟවිමකින් වත් නවතන්න බැරි වූ ජාතික ජන බලවේගයේ ජන සුනාමිය තමයි මේ ඉන්නේ. මේ රටේ බලය ඉල්ලපු සහ බලය අල්ලපු දේශපාලන පක්ෂ මේ රටේ කාන්තාවන්ව කතිර ගහන යන්ත්‍ර බවට පත් කළා පමණයි. පුරවැසි හිමිකම්, මානව අයිතිවාසිකම් අහිමිකර මිනිසුන්ව පාගා දමමින් මර්දනය කරමින් තිබෙනවා. ඉතාමත් ඛේදනීය ආර්ථික වටපිටාවක සමාජ හා සංස්කෘතික ජීවිතය අහිමි කළ මෑනිවරු, සහෝදරියෝ, දූවරු, වෘත්තීය ජීවිත ඇතුලේ ජීවිතයේ වටිනාකම් සියල්ල බිලිදෙමින් දැඩි වේදනාවකින් ගතකරන කාලයක් මේක. ඒ නිසා ජාතික ජන බලවේගය හැටියට අපි 52%ක් වූ රටේ කාන්තා බලය, 56%ක් වූ ඡන්ද දායක බලය නියෝජනය කරන කාන්තාවන්ගේ බලය ආර්ථික සූරාකෑමට හා සමාජ සංස්කෘතික ගිල ගැනීමට එරෙහිව තර්ජනාංගුලියක් බවට පත්කරන්න තීරණය කළා. මේ දුර්දාන්ත පාලනයට එරෙහිව, කොල්ලකාරී ආර්ථික ක්‍රමයට සහ දූෂිත දේශපාලන සංස්කෘතියට එරෙහිව කුළුගෙඩි පහර එල්ල කරන්න ගැහැනු අපි එක මිටට මාලිමාවට එකතුවී සිටින බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.
මාතර ග්‍රාම සේවා වසම් 650ටම කාන්තා සමිතියක් මාස දෙකක් වැනි කාලසීමාවක් තුළ පිහිටුවා හැකියාවෙන් පිරුණු කාන්තාවන්, අලුත් සංවිධායිකාවන්, ධෛර්යමත් ගැහැනුන් ගම්දනව්වලදී අපට හමුවුණා. නිවෙස්වල මුළු ගැන්වී සිටි අපේ කාන්තා විභවය සමාජ ශ්‍රමය බවට පත්කරන්න හැකිවීම අපේ විශාලතම ජයග්‍රහණය බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ රට ගොඩනැගීමේ සමාජ, ආර්ථික, සංස්කෘතික වැඩපිළිවෙළට නිසි දැක්මක් සහ නායකත්වයක් ඔස්සේ පෙරමුණ ගන්න සියලුම කාන්තාවන් සූදානම් බව මේ මාතර සමුළුවේදී තහවුරුකර තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, අයිතීන් උදෙසා කාන්තා සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ
“අරගල නොකරන්නන් තමන් බැඳි යදම් නොදකී” කියලා රෝසා ලක්සම්බර්ග් සහෝදරිය මෙසේ තිබෙනවා. සාම්ප්‍රදායික දේශපාලනය තුළ මෙපමණ කල් ගැහැනු අපට අරගල කරන්න ඉගැන්නුවේ නිවෙස් ඇතුලේ සහ කුස්සිය ඇතුලේ. අපේ පුංචි පැටව් තුරුල් කරගෙන නොකා නොබී අපි ඒ අරගලය කුස්සියේ සහ තමන්ගේ ගේ ඇතුලේ කළා. ජාතික ජන බලවේගයේ සහෝදරියන් ගෙයක් ගානේ ගිහින් කුස්සිය ඇතුලේ අරගලය පාරට ගෙනත් දේශපාලන අර්ථයක් දීලා ගැහැනියට නිදහස් ලෝකයක් ගොඩනගන්න සූදානම කියන පණිවිඩය ඉතා ඉහළින් ලබාදී තිබෙනවා.
ප්‍රභූ දේශපාලනයේ සිටි අය එදා කීවේ ගැහැනුන්ට ඡන්ද අයිතිය දෙන්න එපා කියලා. නමුත් 1931 සිට ඡන්ද අයිතිය අපි පාවිච්චි කළත් අපේ දරුවන්ට නිසි ලෝකයක් ගොඩනඟන්න අපිට බැරිවුණා. නිදහස, ආදරය, මනුස්සකම තිබෙන ලෝකයක් ගොඩනගන්න අපට බැරිවුණා. නමුත් අද වෙනකොට ඡන්ද අයිතියට දේශපාලන වටිනාකමක් දී කුස්සියට සිරකර සිටි නිර්මාණශීලී, ධෛර්යවන්ත, දේශපාලන ගැහැනිය එළියට ඇවිත් මුළු රටම අවදිකරන පණිවිඩය අද මාතරින ගත්තා. එයට මේ රටේ සාම්ප්‍රදායික දේශපාලනඥයෝ බයවී සිටිනවා. ඔවුන් බයවිය යුතුයි තමයි. ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී එකට අත්වැල් බැඳගෙන සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ එකට තබා පරාද කොට අපේ ලෝකය දිනාගන්න අපි සූදානම්. එය කළ හැකි වන්නේ නිෂ්පාදනයට මුල්තැන දෙන ජාතික ආර්ථිකයක් ගොඩනැගීමෙන් පමණයි. අවශ්‍ය වෙනස දේශපාලනිකව අවබෝධ කරගෙන එයට නායකත්වය දෙන්න කිසිම සුනාමියකට ගහගෙන යන්න බැරි යෝධ පවුරක් ගොඩනඟා ඒ පවුරෙන් අපි මේ රට වෙනස් කරමු.
සමාජවාදී තරුණ සංගමයේ මාතර දිස්ත්‍රික් කමිටු සාමාජිකා මල්ෂා අමාෂා
තරුණ තරුණියන් කියන්නේ ඉතාමත් උද්යෝගයෙන් ජීවිතය ගත කරන්න කැමති පිරිසක්. ඔවුන් ලස්සට අඳින්න, ඇවිදින්න යන්න, ආසා වුණත්, අවම ආශාවන් පවා හීනයක් වෙලා තිබෙන්නේ. උගත් නුගත්, වයස් භේදයකින් තොරව, සියලු දෙනාම ඉන්නේ අර්බුදයක. සිහින අත්හැරදමා අද දවසේ පමණක් ජීවත් වෙනවා කියන ඉතාමත ඛේදජනක සිතුවිල්ලක ඉන්නේ. මීට හේතුව හැටියට දකින්නේ වසර 75ක් පුරා අපේ වැඩිහිටි පරම්පරාව පාලකයින් හා ආණ්ඩු පත්කරගෙන තිබුණත්, තරුණ පරම්පරාව වෙනුවෙන් ඉදිරි ගමනක් නිර්මාණය කළේ නැහැ. වෙන රටවල තරුණයන් හඳට යන්න සිහින දකිද්දී, අපේ රටේ තරුණයන් ගෙයක් හදා ගන්න හෝ වාහනයක් ගන්න හීන දැක්කා. ඒ හීන පවා අත්හැර දමන්න දැන් සිදුවෙලා. වැඩිහිටියන් වෙත තරුණයන්ගෙන් එල්ලවී තිබෙන චෝදනා බොරු බවට පත්කරන්න අපේ මව්වරු සහ පියවරු රොද බැඳගෙන ඉන්නවා. ඒ ඔබ සියලු දෙනාට ඉතා ආදරයෙන් ස්තුති කරනවා. තරුණයන් ලෙස අපි සියලු දෙනා ඔබත් සමග එක්වී මේ රට වෙනස් කරන බව ප්‍රකාශ කරනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති
මාතරදී අද සාර්ථක කාන්තා සමුළුවක් පවත්වන්නේ මාස හතරක පමණ කාලයක් පුරා ඇදහැලුණු වර්ෂාවෙන් ගම්බිම් යටවී සමහර නිවාස පවා අලාභහානිවලට පත්ව තිබුණු පසුබිමක. මේ සහෝදරියන් ගෙයක් ගෙයක් ගානේ ගිහින් ගැහැනු එක මිටට එකතු කළේ විශේෂ තත්වයක් යටතේ. ලංකාවේ කාන්තාවන් එක මිටට එකතු කරන පළවෙනි සමුළුව මාතර පවත්වමින් සුවිශාල ජයග්‍රහණයක් එක්ක සියලුම දෙනාට මගේ ප්‍රණාමය පුදකරනවා. ආණ්ඩුව වැට් ගහනකොට, ලයිට් බිල වැඩිකරන කොට, ජල බිල වැඩිකරන කොට, කුසගින්නේ බර වැඩිකරන කොට ඒ සියල්ල ගෘහය තුළදී දරාගන්න සිදුවී තිබෙන්නේ ආදරණීය අම්මලාට, ආදරණීය කාන්තාවන්ට. පසුගිය කාලය පුරාම රනිල් වික්‍රමසිංහ පොහොට්ටු මහ පාලනයෙන් අපේ ගෘහ පාලනය අවුල් කළා. අයහපත් දේශගුණතත්වයන්ටත් මුහුණ දෙමින් ආණ්ඩුවේ සියලු පීඩාවන් දරාගෙන මේ සංවිධාන කටයුත්තට ඔබ සියලුදෙනාම ධෛර්යයෙන් කර ගැහුවා.
ගැහැනු එක මිටට කීවාම, මිටක් එක්ක සම්බන්ධ කතාවක් අපේ ජන වහරේ තිබෙනවා. ගැහැනුන්ගේ නුවණ හැඳිමිටේ තරමට කියලා කියන ජන වහරට සීමා කළ ලංකාවේ සංස්කෘතිය ලෝකයේ ගැහැනුන්ට අදාළ වෙන්නේ නැහැ. ලෝකයට විශාල දේශපාලන නායකත්වයක් දුන්, ලෝකයේ බොහෝ දේවල් අභිබවා ගිය කාන්තාවන් ඉන්නවා. ගැහැනු හැඳිමිටට කියන සාම්ප්‍රදායික මතය වෙනස් කර, ගැහැනු එක මිටට කියන සංකල්පය වටා එක්වී දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික පරිවර්තනයක් වෙනුවෙන් අද ඔබ සියලු දෙනා පෙළ ගැසී සිටිනවා.
අභ්‍යවකාශය තරණය කළ, පළමු කාන්තාව වැලෙන්ටිනා තෙරෙස්කෝවා. කාන්තාවන්ට තිබෙන දරාගැනීමේ ශක්තිය පිරිමින්ට නැහැ කියලා ජීව විද්‍යාත්මකය ඔප්පු වී තිබෙනවා. ඒ දරාගැනීමේ ශක්තිය දේශපාලනයෙන ඉවත් කර, කුස්සයට සීමා කරන්න හැඳිමිටේ කතාව ගෙනත් තිබෙනවා. නමුත් මැතිවරණ කාලයේදී ඡන්ද ටික ගන්න ගැහැනුන් එකතු කර, විවිධ සමිති ගොඩනඟනවා. සුභසාධක සමිතිය, ණය දෙන සමිතිය, සමෘද්ධි සමිතිය, දහම් පාසල් සමිතිය, ගුරුදෙගුරු සමිතිය වගේ හැම එකකටම යන්නේ කාන්තාවන්. නමුත් දේශපාලන සමිතියට ගියේ පිරිමි. කාන්තාවන් ගෙන්වා ගත්තේ ඡන්ද කාලයට කොසු, ඉදල් පවා බෙදනා ඡන්ද ටික ලබාගන්න. නොයෙක් දේවල් බෙදලා කාන්තාවන්ගේ ඡන්ද ටික උදුරා ගත්ත දේශපාලන සංස්කෘතියට නැවත ඉඩ නොදෙන සැබෑ කාන්තා බලය තමයි මේ තිබෙන්නේ. අද ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වැඩිම පංගුවක් තිබෙන්නේ කාන්තාවන්ගේ දායකත්වය. ඈත දෙනියායේ තේ දළු කඩන කාන්තාවන්ගේ සිට දික්වැල්ලේ උම්බලකඩ හදන කාන්තාවන් දක්වා වගේම, සංචාරක කර්මාන්තයේ රෑ එළිවෙන තුරු දහදුක් විඳින කාන්තාවන් දක්වා ආර්ථික බර දරන්නේ කාන්තාවන්. විදේශගත වී අති දුෂ්කරම රැකියාවල යෙදෙමින් විදේශ විනිමය උපයන්නෙත් කාන්තාවන්. ඒ කාන්තාවන්ට නිදහසේ ඉන්න අවස්ථාවක් නැහැ. පවුලේ ජීවන බර වැඩිවෙන්න වැඩිවෙන්න වැඩිපුරම බඩගින්නේ ඉන්නේ අම්මා. ඒ නිසා මේ තිබෙන අසාධාරණ ආර්ථික, දේශපාලන, සංස්කාතිය වෙනස් කරන්න කාන්තාවන්ට දැවැන්ත කාර්යභාරයක් පැවරී තිබෙනවා. ජාතිවාදී බෙදීම්වලින්, මිථ්‍යා මතවලින් අන්ධ කළ මේ සමාජය නැවත ප්‍රකෘති තත්වයට ගැනීමේ දැවැන්ත කාර්යභාරයක් කාන්තාවන්ට තිබෙනවා. එය කළ හැකි වන්නේ දැවැන්ත සංවිධානයකට විතරයි. දැවැන්ත විනයකට විතරයි. අයිතිවාසිකම් නැති කාන්තාවන්ට මාතර ඔබ හැමදෙනා දැවැන්ත පුරෝගාමි ශක්තියක් වී තිබෙනවා විනයක් සහිතව තනිවම මේ වැනි කාන්තා සංවිධානයක පිහිටුවීම ලෝකයටම අලුත් ආදර්ශයක්.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට පමණක් දෙවැනි වෙන රාජ්‍ය ලේකම සිටින්නේ කාන්තාවක්. කමලා හැරිස්, හිලරි ක්ලින්ට, කොන්ඩලීසා රයිස්, මැන්ඩලයින් පෝල්රයිස්, වගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණ ගන්න ප්‍රධානියා හැමතිස්සේම කාන්තාවක්. යුරෝපා සංගමයේ ජර්මනිය ඉටු කළ සුවිශේෂ කාර්යබාරයට උර දැරුවේ ඇන්ජලා මර්කර්. නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරන්න මාග්‍රට් තැචර් දැවැන්ත කාර්යභාරයක් කළා. ඒ වගේ නරක පැත්තට නායක්තවය දුන්නා වගේම මාරි කියුරි, රෝසා ලක්ෂම්බර්ග්, ලංකාවේ කුමාරි ජයවර්ධන, ඉන්දියාවේ මන්දනා සිවා, වැනි දැවැන්ත ක්‍රියාධරයින් සිහිපත් වෙනවා. අපේ දේශපාලන ව්‍යාපාරයේ ජීවිත කැපකළ ප්‍රේමවතී මනම්පේරී සහෝදරිය වැනි කාන්තාවන් ඉන්නවා. ඒ අයගේ හුස්ම, ජීවනාලිය, ශ්‍රී ලංකාව වෙනස් කිරීම වෙනුවෙන් අපි එකතු කර ගන්න ඕනෑ. 2024 අවුරුද්ද අන්ධකාරයේ අවුරුද්දද, අපේක්ෂාවේ අවුරුද්ද ද යන්න තීරණය කරන මොහොත අභියස අපි ඉන්නේ. අපිත් 2024 අවුරුද්ද බාර ගන්න ඕනෑ දැවැන්තයින් හැටියටයි. ඒ සඳහා මාතරින් ආරම්භ කළ කාන්තා සංවිධානයට ශක්තිය සහ ධෛර්යය ලැබේවා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය
අද අපි එකතුවී සිටින 2023 දෙසැම්බර් 30 දිනය අමතක කරන්න එපා. අද අපි ලකුණු කරන මේ දිනය ලාංකික ඉතිහාසයේ පමණක් නොවෙයි, ගෝලීයව පවා ස්ත්‍රී දේශපාලනයේ හැරවුම් දිනයක් වෙන බව මම තදින් විශ්වාස කරනවා. මේ දිනය ඔබේ හදවතේ තියාගන්න. 2024දී අපේ රට පරිවර්තනය කරන පෙරළිකාර යුගයේ පළමු වෙඩි මුරය මාතර දිස්ත්‍රික්කයේ කාන්තා සමුළුවෙන් අපි ආරම්භ කර තිබෙනවා. අපි මේ ගමන ජයග්‍රහණයෙන් තොරව නතර කරන්නේ නැහැ. අපේ ඉතිහාසයේ සෑම තීරණාත්මක මොහොතකදීම ගැහැනුන් එළියට බැහැලා තිබෙනවා. මෑත ඉතිහාසයේ වුණත් නිර්භීත, එඩිතර ශක්තිමත් ගැහැණුන් එළියට බැස්ස නිසයි සමාජ පෙරළිවල ආරම්භය ඇතිවී තිබෙන්නේ. අසූ ගණන්වල භීෂණයට එරෙහිව මනෝරානී සරවණමුත්තු වැනි අම්මාවරුන්, කුමාරි ජයවර්ධන, සුනිලා අබේසේකර, උතුරේ රාජනී තිරානගම වැනි ශ්‍රේෂ්ඨ නායිකාවන් හමුවෙනවා. අපිට මතක තිබෙන ප්‍රසිද්ධ ඒ නම්වලට අමතරව මේ රටේ ගැහැනුන් දහස් ගණනක් තම ජීවිත පුදකර තිබෙනවා. ගැහැනුන් මේ රට ගොඩනගන්න තමන්ගේ ශ්‍රමය දී තිබෙනවා. නමුත් ඔවුන් ගැන ඉතිහාසය ලිීවේ අපි නොවෙයි. 2024 ඇති කරන පෙරළිය තුළින් අපේ ඉතිහාසය අපි ලියන්න ඕනෑ. ඉතිහාසය ලිවීමේ බලය අපි අතට ගත යුතුයි. අපි මේ ආරම්භ කර තිබෙන්නේ එම තීරණාත්මක ගමනයි.
අපි මේ ගත කරන්නේ තවත් එක් දේශපාලන මොහොතක් නොවෙයි. සමාජ පෙරළියක් කරන්න යන මොහොතක්. මෙතෙක් කල් ඡන්දදායකයින් හැටියට පාවිච්චි කළ ගැහැනුන් මේ සමාජය වෙනුවෙන් විශාල දායකත්වයක් දරා තිබෙනවා. ශ්‍රී ලාංකික ගැහැනිය මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩිම පංගුව දරා තිබෙනවා. අපේ රටට ඩොලර් උපයන ප්‍රධානම මාර්ගවල වැඩිම පංගුව දරන්නේ කාන්තාවන්. ගැහැනුන් අමාරුවෙන් හම්බකළ ඩොලර් පාලකයන් නාස්තිකාරී ලෙස විනාශ කළා. ආර්ථිකයට අමතරව ගෘහය තුළ ඇය ඉටුකරන කාර්යභාරයෙන් තමයි මානව සම්පත රැකෙන්නේ. අම්මාගේ කාර්යභාරය කියන්නේ ඒ මානව සම්පතට ලබාදෙන ගොඩනැගීම සහ රැකබලා ගැනීමයි. ඒ ගැහැනියට මේ රටේ පාලකයන් දී තිබෙන ගෞරවය මොකක්ද? ගෙදර ඉන්නත් බැරි අනාරක්ෂිත තත්වයට පත්කර තිබෙන්නේ. මැතිවරණ කාලයේදී පොරොන්දු දී රවටා ගත හැකි පිරිසක් ලෙසයි, ගැහැනුන්ව හඳුනාගෙන තිබෙන්නේ. මේ සමාජයට ලබාදී තිබෙන දායකත්වය සහ කැපවීම වෙනුවෙන් ගෞරවයවත් මේ පාලකයින් ලබාදී නැහැ. ජාතික ජන බලවේගය මේ ගමන පටන් ගත්තේ ඒ තත්වය වෙනස් කරන්නයි. අපට ඔබේ ඡන්දය පමණක් නොවෙයි, ඔබේ නායකත්වය, සමාජ පෙරළියේ කොටස්කාරියක් බවට පත්වීම, සමාජ පෙරළියේ අයිතිකාරියන් බවට පත්වීම, ඔබට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කර ගැනීම, සහ තීන්දු තීරණ ගැනීමේදී දායකවීමේ අවස්ථාව ලබාදීම යන සියල්ල තුළින් රටේ නායකත්වයත් අපට අවශ්‍යයි.
මේ වන විට අපට මැතිවරණ නොවෙයි අභියෝගය, අපි මැතිවරණ දිනලා ඉවරයි. අපට තිබෙන අභියෝගය මැතිවරණ දිනලා අපි හදන පාලනය තුළ මොනවගේ පරිවර්තනයක් ද කරන්නේ? කියන අභියෝගයට මුහුණ දෙන්නයි, අපි ඔබ සියලු දෙනා එකතු කරන්නේ. ඒ පාලනයේ ශක්තිමත් කොටස්කරුවන් ඔබයි. මෙපමණ කල් වැඩ තුළ හිරකර අපේ සමාජමය කාර්යය අසුරාදමා තිබුණා. නමුත් ජාතික ජන බලවේගයේ සියලු දෙනා ක්‍රියාකරන්නේ ඒ වෙනුවෙන්.
අවුරුදු තුනකට ඉස්සර ජාතික ජන බලවේගයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදුන්නේ පෞද්ගලිකවම මට නොවෙයි. අපේ රටේ ගැහැනුන්නටයි. මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දෙන්න සුදුසු පිරිමි ඕනෑ තරම් මේ ව්‍යාපාරය තුළ ඉන්නවා. නමුත් මම වැනි කිසිම දේශපාලන අත්දැකීමක් නැති කෙනෙකු තේරුවේ මේ රටේ ගැහැනුන්ට දුන්න තැන සහ පිළිගැනීම ගැන කියන්නයි. අමාරුම අවස්ථාවකයි මේ දේ කළේ. 3%ට වට්ටවා කිසිම පිළිගැනීමක් නොතිබුණු දේශපාලන මොහොතක අපිට ලැබුණු අවස්ථාව තුළින් මේ දේශපාලන වේදිකාව මොකක්දැයි මනාව පැහැදිලි වෙනවා. මට ඒ ශක්තිය ලැබුණේ මගේ පිටුපසින් සිටි සමන්මලී සහෝදරිය ඇතුළු සහෝදරියන් නිසයි. කිසිම දේශපාලන අත්දැකීමක් නැති මට මන්ත්‍රී ධුරය බාරගෙන ඔබව නියෝජනය කරන්න හැකියාව ලැබුණේ නම් ගම් කිව නොහැකි අසීමිත සහෝදරියන් නිසයි. ආණ්ඩුව පැනලා ගිය පළාත් පාලන මැතිවරණයට නායිකාවන් හැටියට පත්කර ගන්න විශාල කාන්තාවන් පිරිසක් මේ ව්‍යාපාරය තුළ සිටියා. එහි ප්‍රතිඵල තමයි අද මෙතනදී පෙන්න තිබෙන්නේ. සෑම දිස්ත්‍රික්කයක් තුළම මේ ආකාරයෙන් ගැහැනු බලය ගොඩනඟන්න අපිට පුළුවන්. ගැහැනු අපට ආදරය කරන්න පුළුවන්. මෙතන ආදරයෙන් පිරිලා. ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කැපකරන්න ගැහැනුන්ට පුළුවන්. අපේ පවුලට, ළඟම අයට මෙපමණ කල් සීමාකර තිබුණු ඒ ආදරය මුළු මහත් සමාජය වෙනුවෙන්ම කැපකළ යුතු ඓතිහාසික මොහොතක් මේක. ස්ත්‍රී දේශපාලනය තුළින්, මේ සමාජයට අවශ්‍ය ආදරය, සුවපත් කිරීම, රැකබලා ගැනීම සහ වෙනස් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් අපි සියලු දෙනා කැපවෙමු. මේ ආරම්භ කළ ගමන ජයග්‍රහණයෙන් තොරව නතර කරන්නේ නැහැ කියන අධිෂ්ඨානය ඇති කර ගනිමු.