(මලෛයිගම් 200 – මාතර දෙනියාය කඳුකර ජනතා සභාව)
දෙනියායේ වතුකර ජනතාවක් ඉන්න බව සමාජයටත් ලෝකයටත් කියන අවස්ථාවක් මේක. තේ කර්මාන්තයේ ශ්‍රමය වගුරන කඳුකරයේ ජනතාව ලංකාවට අධිරාජ්‍යවාදීන් විසින් ගෙනත් අවුරුදු 200ක් වෙනවා. හැටන්, තලවාකැලේ, ආගරපතන, වැනි උඩරට වතුකරයේ ප්‍රදේශවලට අවුරුදු 200කට පසුවත් ඔවුන් සීමාවී තිබෙනවා. නමුත් දෙනියාය ප්‍රදේශයේ වතු කිහිපයක කම්කරු ජනතාව පහත රට තේ කර්මාන්තයේ වැඩිම පංගුවකට දායකත්වය සපයමින් ඔවුන් කටයුතු කරනවා. ඔවුන් හෙලන ශ්‍රමයට ඉදිරි ජනතාවාදී රජයකදී, ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ කඳුකර ජනතාවට හිමිවිය යුතු අයිතිවාසිකම් සහ ඔවුන් වෙනුවෙන් කළ යුතු යුතුකම් පිළිබඳව මහජන සංදේශයක්, ප්‍රඥ්ප්තියක් ක්‍රියාත්මක කරනවා. එය යෝජනා කිරීමට කඳුකරයේ දමිළ ජනතා ප්‍රජාවත් රට පුරා විසිරී සිටින වතුවගාවට සම්බන්ධ කෑගල්ල, කළුතර, ගාල්ල වැනි ප්‍රදේශවල සිටින ජනතාවත් ඒකාබද්ධ කර ගන්නවා.
කඳුකරයේ ජනතාව වගේම මේ සියලු දෙනා අන්ත අසරණ ජීවිතයක් ගත කරන්නේ. ඉඩම්වල අයිතිය, දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය සම්බන්ධයෙන් අපමණ පීඩනයකට සහ අසාධාරණයකට මේ අම්මලා, තාත්තලා ගොදුරුවී සිටිනවා. කොටපොල ප්‍රාදේශීය සභාවකට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වූ කන්නන් සහෝදරයාට තමන් සිටින ප්‍රදේශයේ වතු යාය තුළ රැස්වීමක් පැවැත්වීමේ අයිතියක් සටන් කිරීමෙන් ලබාගන්න සිදුවුණා. අසාධාරණයට ලක්වුණු වතු ජනතාව සියලුම දෙනා වෙනුවෙන් කන්නන් සහෝදරයා ඒ අරගලය කළා. මුළු ජීවිත කාලය තුළම ශ්‍රමය වැගිරූවත් මූලික අයිතිවාසිකම් පවා ලබා නොදෙන පාලකයන් ඉන්නේ. මේ අම්මා, තාත්තාගේ දරුවන් කිසිකෙනෙක් වතු තුළ රඳවන්න කැමති නැහැ. ඒ වෙනුවට විදේශගත කරන්න උත්සාහ කරන්නේ. වතු පාසල්වලට පත්වීම් ලැබී පැමිණෙන ගුරුවරුන් ඉක්මනින්ම ස්ථාන මාරුවීම් ලබාගෙන යන්න උත්සාහ කරනවා. මඩකලපුව වැනි ප්‍රදේශවලින් පත්කර එවවන ගුරුවරුන්ට මේ ප්‍රදේශවල පදිංචි වෙන්න ඉඩම් ලබාදෙන්න කියලා වැඩපිළිවෙළක් හදන ලෙස අපි අවස්ථා ගණනාවකදී පාලකයන්ට යෝජනා කළා. කඳුකර සභාව නිර්මාණය වෙන්නේ වෘත්තීය සමිතිවලට එහා ගිය නිදහස් ජීවිතයක් සම්බන්ධයෙන් ජයග්‍රහණ ලබාදෙන්නයි. මීට අවුරුදු 200කට කලින් සුද්දා යටතේ සිටි ජනතාවක් ලෙස තවදුරටත් ඔබ ජීවත් විය යුතු නැහැ. මනුෂ්‍යයෙක් හැටියට ජීවත් වෙන්න නිවාසයක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ජීවිතයක් අනිත් අයට වගේම ඔබටත් අයිතියි.
මේ මහ පොළොව දහදියෙන් තෙත් කර, තේ දල්ලට වටිනාකමක් ඔබලා ලබාදෙන්නේ නැතිනම් ලංකාවට විදේශ විනිමය ලැබෙන්නේ නැහැ. පහත රට තේ කර්මාන්තයට දෙනියායෙන් වැඩිම දායකත්වයක් සපයන්නේ විසි දහසක් පමණ වූ පිරිස නියෝජනය කරන ඔබ සියලු දෙනායි. ඔබේ දහදිය ඩොලර්වලට හැරි විදේශ විනිමය හැටියට රටට ලබාදෙනවා. ඔබ වැඩකිරීම නතර කළොත් ඒ ආදායම රටට ලැබෙන්නේ නැහැ. නමුත් ඒ ආදායමෙන් සාධාරණ පංගුවක් ඔබට ලැබෙන්නේ නැහැ. මහ බැංකුවේ ලොක්කෝ ලක්ෂ හතකින් ඔවුන්ගේ පඩිය වැඩිකර ගන්නවා. උද්ධමනය ගණන් බලන නිසා. සල්ලි අච්චු ගහන නිසා, ඔවුන්ගේ පඩිය 70%කින් වැඩිකර ගත් බව කියනවා. මුදල් රාජ්‍ය ඇමති කියන්නේ ඔවුන්ගේ පඩි වැඩි නොකළොත් රට හැර අත්හැර යා හැකි බවයි. නමුත් තේ පැළ සිටුවා රැකබලාගෙන තේ දළු නෙළා ෆැක්ටේරියට ගෙනැවිත් දළු අඹරා තේ නිෂ්පාදනය කර, ඩොලර් උපයන ඔබ සියලු දෙනාට තවමත් නිසි ආකාරයෙන් රුපියල් දහසේ වැටුප දෙන්නේ නැහැ. රුපියල් 700/- සිට 1000/- දක්වා පඩි වැඩිකර ගන්න කොපමණ කාලයක් සටන් කළාද? මහ බැංකුවේ අය ලක්ෂ 7කින් පඩි වැඩිකර ගන්නවා. පාර්ලිමේන්තුවේ කතා කරන අයට ලයිට් බිල් වැඩිකර ගන්න ඉන්ධන වියදම් වැඩිකර ගන්න හැකිවී තිබෙනවා. රටට ඩොලර් උපයන ඔබ සියලු දෙනා වැඩිවෙන බඩුමිල දරාගෙන විශාල පීඩාවකින් ඉන්නවා. මහ බැංකු අධිපති හාල් කිලෝ එක, පරිප්පු ටික, සීනි ටික ගන්න මිලටම රුපියල් දහසක දෛනික පඩි ලබන ඔබ සියලු දෙනාටත් ගන්න සිදුවෙනවා. මහ බැංකු අධිපති නිකම්ම පඩි වැඩිකර ගත්තත් ඔබ සියලු දෙනාට සටන් කරළවත් රුපියල් 1000/-ක් දවසකට ගන්න බැහැ. ඒක සාධාරණයි ද?
මේ පාසල්වල ආහාර නැතිව කලන්තයෙන් වැටෙන ළමයින්ට විදුහල්පතිතුමා සහ ගුරුවරුන් තමන්ගේ වියදමින් යම් ආහාර ප්‍රමාණයක් ලබාදෙනවා. රටට විදේශ විනිමය ගේන මනුස්සයාගේ දරුවාට එක වේලක් කෑවොත් ඊළඟ වේල කන්න නැතිවුණත් සල්ලි අච්චු ගහන මහ බැංකුවේ අයට වෙනම විදිහට සැලකිලි ලබාදෙනවා. මේ අසාධාරණ, දූෂිත ක්‍රමය වෙනස් කරන්න, මේ පාදඩ පාලන ක්‍රමය වෙනස් කර, ජනතාවට සාධාරණ ක්‍රමයක් ඇති කරන්න වෘත්තිය සමිති භේදයකින් තොරව ඔබ සියලු දෙනා එකතු වී සිටිනවා. පක්ෂ පාට භේදයකින් තොරව එක මිටට, මේ රටේ සියලුම ජනතාව අපි එකතු කරනවා. උඩරට වතුකරයේ ජනතාව, පහත රට වතුකරයේ ජනතාව ආදී වශයෙන් බෙදෙමින් ඔවුන්ට ඡන්දය ගන්න විතරක් මේ දුක්විඳින ජනතාව යොදවා ගත්තා. දුප්පත්කම වර්ධනය කරමින් සුද්දාගේ නීතිය වතුවල තවමත් පවත්වාගෙන යනවා. තමන්ගේ ඡන්දයෙන් තෝරාගත් මහජන නියෝජිතයාටවත් මේ ක්‍රමය යටතේ සාධාරණය ඉෂ්ට වෙලා නැහැ. මේ තත්වය වෙනස් කිරීමට දෙනියායේ කඳුකර ජනතා සභාව පිහිටුවනු ලැබුවා. ඔබේ පරම්පරාවට ජයග්‍රහණය, යුක්තිය ඉෂ්ටකර ගන්නත් අවුරුදු 200ක් පුරා ඉටුනොවුණු සාධාරණත්වය ඉටුකර ගන්නත් අනාගත පරම්පරාවේ ජයග්‍රහණ තහවුරුකර ගන්නත් හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.