Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

කඳුකර දමිළ ජනතාව තවදුරටත් මේ පීඩනය දැරිය යුතු නැහැ

ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2023.10.04
‘මවුබිමට ජවයක්, ගෞරවණීය පුරවැසියෙක් – මලෛයිගම් 200’

අපේ රටට කඳුකර දමිළ ජනතාව ඇවිත් අවුරුදු 200ක් පිරෙනවා. ඉන්දියාවේ සිට ලංකාවට ඔවුන් ගෙන ඒම 1820දී ආරම්භ වුණා. වැඩකරන ප්‍රජාවක් ලෙස මුල්වරට ගෙන එනු ලැබුවේ ආවේ 1823දීයි. මේ වෙනකොට ගෙවුණු වසර 200 තුළ ලංකාවේ පුරවැසියන් හැටියට කඳුකර දමිළ ප්‍රජාව වැඩිම පීඩාවකට ලක්වී සිටිනවා. මෙම ප්‍රජාවගෙන් 67%ක් තවමත් ජීවත් වන්නේ පුංචි ලැයිම් කාමරවලයි. ඔවුන්ගේ දරු මුනුබුරන්ගේ තත්වයද ඒකයි. තමන්ගේ කියා ඉඩමක්, දරුවන්ට නිසි අධ්‍යාපනයක් නැතිවා වගේම ලංකාවේ වැඩිම සෞඛ්‍ය ප්‍රශ්නවලින් බැටකන ජනතාවක් ලෙස අදටත් ඔවුන් සිටිනවා. මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවලට විසිරී සිටියත් දරිද්‍රතාවයෙන් වැඩිම පීඩා විඳින්නේ මේ ජනතාවයි.

පාලකයන් විවිධ අවස්ථාවලදී මේ ජනතාවගේ ඡන්ද අයිතියත් පුරවැසි අයිතියත් උදුරා ගත්තා. 1948දී ඡන්ද අයිතිය උදුරා ගැනීමත් සමග අවුරුදු 35ක් පුරා ඡන්ද අයිතියක් නැතිව ඔවුන් මේ රටේ හිටියා. ඔවුන් ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට මේ ආණ්ඩු සලකන්නේ නැහැ. රටක් නැති, ඉඩමක් නැති, ගෙයක් දොරක් නැති, නිසි අධ්‍යාපනයක් නැති, නිසි සෞඛ්‍ය පහසුකමක් නැති පිටස්තරයන් හැටියටයි ඔවුන් තවමත් ජීවත් වන්නේ. නමුත් කඳුකර දමිළ ජනතාව කියන්නෙත් ශ්‍රී ලාංකික පුරවැසියන්. ශ්‍රී ලාංකිකයන් හැටියට ලැබිය යුතු මූලික අයිතිවාසිකම් සියල්ල ඔවුන්ටත් ලැබිය යුතුයි. නමුත් මේ වන විට වසර 200ක් ගතවී තිබුණත් ඒ මූලික පිළිගැනීමවත් ඔවුන්ට ලබාදී නැහැ. ජාතික ජන බලවේගය මේ ජන ප්‍රජාව ශ්‍රී ලාංකික පුරවැසියන් විදිහටම සලකනවා. එපමණක් නොවෙයි, “මව්බිමට ජවයක්, ගෞරවණීය පුරවැසියෙක්” බිහිකිරීමේ අරමුණෙන් ජාතික ජන බලවේගය මේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙනවා. ඔවුන් සම්බන්ධයෙන් වසර 200ක් සැමරීම නොවෙයි අපේ අරමුණ. ජාතික ජන බලවේගයේ අපි ප්‍රතිපත්තියක් විදිහට, වැඩපිළිවෙළක් විදිහට, කඳුකර දමිළ ජනතාව ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙසම සලකලා අනෙකුත් ලාංකික පුරවැසියන් වෙත ලැබෙන සියලු අයිතිවාසිකම් මේ අයටත් හිමිකර දීමේ සටන අපි ඉදිරියට ගෙන යනවා.

ඒ අර්ථයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින කඳුකර දමිළ ජනතාව දැනුවත් කරමින් ඔවුන්ව සංවිධානය කරමින් ඉන්න අතර, ඔක්තෝබර් 01 සිට 15 දක්වා කාලය තුළ “මලෛයිගම් 200” යනුවෙන් ඒ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂයෙන් ක්‍රියාකරන කාලයක් ලෙස නම්කර, වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම ඔක්තෝබර් 15දා හැටන් නගරයේදී ඓතිහාසික හැටන් ප්‍රකාශය එළිදක්වන්න සූදානම් කරගෙන යනවා. ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා ඇතුළු විවිධ නායකත්වයන්ගෙන් යුක්තව කඳුකර දමිළ ජනතාවගේ සහභාගිත්වයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමේ සටන ශක්තිමත් කර, තවදුරටත් ඉදිරියට ගෙනයනවා. මෙම ජනතාව තවදුරටත් මේ පීඩනය නොදැරිය යුතුයි කියන අධිෂ්ඨානයෙන් මේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් තවදුරටත් කැපවෙන අතර, අනෙක් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මැදිහත් වීමත් අපි බලාපොරොත්තු වෙනවා. මේ සටනට මැදිහත් වී ජයග්‍රහණය දක්වා අත්වැල් බැඳගෙන යන්න සියලු දෙනාගේ මැදිහත්වීම අපි අපේක්ෂා කරනවා. වසර 200ක් පිරෙන කඳුකර ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න හැමදෙනාටම එක්වෙන ලෙස ආරාධනා කරනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය විජය කුමාර්, ආචාර්ය පෙරුමාල් සිවප්‍රකාශම්, සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ්, සමස්ත ලංකා වතුකම්කරු සම්මේනයේ ලේකම් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන අයද අදහස් දැක්වූහ.

Vitha Herath Press_10/04
Press_Maleiyagam_10/04