(-Colombo, July 21, 2024-)
වර්තමාන ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාදක කරගනිමින් සමාජය මත දෙගෙඩියාවක් නිර්මාණය කරන්න උත්සාහ කරමින් තිබෙනවා. මේ දෙගිඩියාවේ මූලාරම්භය තමයි ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය අවුරුදු පහද, හයද කියන සාකච්ඡාව. මේ පහද, හයද කියන සාකච්ඡාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිමාකර තිබූ සාකච්ඡාවක්. එය යළි කරළියට අරගෙන ආවේ රනිල් වික්‍රමසිංහ. නිතරම දෙගිඩියාවෙන් ජීවත් වෙන රනිල් වික්‍රමසිංහ එය සමාජගත කිරීමට උත්සාහ ගනිමින් ඉන්නවා. අවුරුදු පහද, හයද කියන සාකච්ඡාව ප්‍රථම වරට නිමා කළේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපු වෙලාවේ. ඒ සාකච්ඡාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කළා. එය යළි මතුකර ගත්තා මෛත්‍රීපාල සිරිසේන. ඔහුගේ ධුර කාලය අවසන් වීමට ආසන්න වෙමින් තිබියෙදී, තමන්ට අවුරුදු හයක් සිටීමට හැකිද, යන මතයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසුවා. ඔහුට ධුර කාලය අවුරුද පහයි යන මතය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කළා. ඊට පසු ලෙනව නමැත්තා 19 වැනි ව්‍යවස්ථාව අභියෝගයට ලක් කළ පළමු අවස්ථාවේදිම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් අවුරුදු පහක් බව තීන්දුව දී රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක්ද ගසා තිබෙනවා. ඊට පස්සේ නීතිඥවරයෙක් ලවා මේ ප්‍රශ්නය නැවතත් ඇසුවා. එයාට ලක්ෂ පහක නඩු ගාස්තුවක් ගසා, අවුරුදු පහක් බව පැහැදිලි කර දී තිබෙනවා. මේ වන විට ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 (2) අනුව සහ අනු වගන්තීන් අනුව අවුරුදු පහක් බවට අපි පැහැදිලි කොට තිබෙනවා.
මෙසේ තිබියදී අධිකරණ අමාත්‍යවරයා තනි කොළයක ගැසට් එකක් දැම්මා. ඔහුම ‘මේක අපි ජනාධිපතිවරණයක් අස්සේ ගේන්නේ නැහැ, ඒක ඉස්සරහට ගෙනියන්න එපා’ කියා එයාගේ ලේකම්වරයාට කිවුව බව පැවසූවා. එසේ ප්‍රකාශ කර තිබියෙදී රනිල් වික්‍රමසිංහගේ ලේකම් තනි කොළයක ගැසට් එක ගැහුවා. දැන් යළි දෙගිඩියාවක් සමාජය මත නිර්මාණය කරමින් යනවා, ජනමත විචාරණයකට යනවාද, ඒකෙන් ජනාධිපතිවරණයට බාධාවක් ඇති වෙනවාද, යන කරුණ. මේ ගැසට් එකේ තිබෙන්නේ වචන දෙකක හරඹයක්. එක වගන්තියක කියනවා “සාවුරුද්දක් ඉක්මවා” කියන වචන දෙක “පස් අවුරුද්දක් දක්වා” කියන වචනවලට හරවන්න කියන එක. මේ වචන දෙකට රුපියල් කෝටි 1000ක් වියදම් කරන්න රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වෙනවා.
අපට මතකයි පළාත් පාලන මැතිවරණය සල්ලි නැහැ කියමින්, රනිල් වික්‍රමසිංහ විසින් සම්පූර්ණයෙන්ම හැකිළුවා. අද විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සහ අපනයන ආදායම පදනම් කරගෙන, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුලේ අමාරුවෙන් පවත්වාගෙන යනවා. ජනාධිපතිවරණය කැඳවීමට නියමිතව තිබෙන අවස්ථාවක්. අපි මැතිවරණ කොමිසමට කියනවා කරුණාකර හැකි ඉක්මනින් මේ අවනඩුව බේරා දමන ලෙස. ජනාධිපතිවරණය පවත්වන දිනයයි, නාම යෝජනා බාර ගන්න දිනයයි වහාම ප්‍රකාශයට පත්කර දාන්න. තවදුරටත් කල් නොමරා මේ දිනය ප්‍රකාශ කිරීමෙන් මේ තත්වය යම් දුරකට සමනය වෙනවා. ජනාධිපතිවරණය පැවැත්වීම, රනිල් වික්‍රමසිංහගේ කකුල් මාට්ටුවෙන් නතර වෙන්නේ නැහැ. මේ ගැසට් පත්‍රය සභාගත වෙන්න ඕනෑ. ඊට පස්සේ ජනතාවට පෙත්සම් ඉදිරිපත් කරන්න සති දෙකක කාලයක් ඉඩ දෙන්න ඕනෑ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම විමසලා පාර්ලිමේන්තුවට යවන්න, තව සතියක කාලයක් යනවා. පාර්ලිමේන්තුවේ වාද විවාද නම් කර ගන්න සතියක විතර කාලයක් යවා. ඒ වාද විවාද අවසන් වෙලා ඡන්ද විමසලා, කථානායකවරයා තමන්ගේ අත්සන යොදන්න ඕනෑ. මේක ජනමතයකට යා යුතුයි කියා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළොත් ඒකට ජනාධිපතිවරයා අත්සන් තබන්න ඕනෑ. අත්සන් තබා මාසයක් ඇතුළත ජනමත විචාරණය කැඳවන්න ඕනෑ.
මේ ක්‍රියාවලිය යන අතරවාරයේ ජනාධිපතිවරණ ක්‍රියාවලිය නතර වෙන්නේ නැහැ. මේ රට අමාරුවෙන් ගතකරන අවස්ථාවක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලිහපු ප්‍රශ්නය යළි කරළියට ගන්නේ, තමන්ගේ කැත, මජර දේශපාලනය ඉස්සරහට අරගෙන යන්න. රනිල් වික්‍රමසිංහ තරම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා කළ නායකයෙක් ලක් ඉතිහාසයේ නැහැ. ඇත්තම ගතහොත් රනිල් වික්‍රමසිංහ මේ මැතිවරණයට තරග කරනවාද නැද්ද යන්න තවමත් තීරණය කර නැහැ. ඔහුට තරග කරන්න පක්ෂයක් නැහැ. ඔහු පත්ව ඇති දෙගිඩියාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රටේ දෙගිඩියාවක් බවට පත්කරන්න යනවා. මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ආවොත් අපි තර්ක කරන්න බලාපොරොත්තුව ඉන්නවා. මේ වගන්තියේ තිබෙන්නේ සාවුරුද්දක් ඉක්මවා යන්නේ නම් තමයි ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. කාලය අඩු කරනවා නම්, ඇත්ත වශයෙන්ම එවැන්නක් අවශ්‍යද කියලා තර්ක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසඳපු ප්‍රශ්නයක්. එහෙම නම් මෙය පාර්ලිමේන්තුවේ 2/3න් අපට බේරා ගන්න පුළුවන්ද කියලා බැලිය යුතුයි. පුළුවන් වුණොත් ජනමත විචාරණයකට යන්න අවශ්‍ය නැහැ. පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ 2/3ක් අරගෙන පෙන්වන්න.
අද මේ ආණ්ඩුව, මුළු සමාජයක්ම සැකයකට, දෙගිඩියාවකට පත්කර තිබෙනවා. ජනතාවට කියනවා බයවෙන්න එපා. මේ ප්‍රශ්නය ජාතික ජන බලවේගය හරියටම අවබෝධ කරගෙන තිබෙනවා. මේ උප්පරවැට්ටිවලට අහුවෙන්න එපා. ජනාධිපතිවරණය වළක්වන්න කිසිවෙකුට බැහැ. අපි මැතිවරණ කොමිසමට ආරාධනා කරනවා, තවදුරටත් කල් නොමරා, හැකි විගසින් නාම යෝජනා දිනයයි, මැතිවරණ දිනයයි නම් කරන්න. එතනදි මේ ප්‍රශ්නය බාගයකට වඩා විසඳෙනවා. ජාතික ජන බලවේගයේ බලයට බය වෙලා රනිල් වික්‍රමසිංහ මොන නාඩගම් නැටුවත්, මේ ගමන ආපසු හැරවිය නොහැකියි. මේ ජනතාව දෙගිඩියාවට පත්කරන එක රනිල් වික්‍රමසිංහ විසින් වහාම නතර කළ යුතුයි. ඒකට විසඳුම මැතිවරණ කොමිසම විසින් ලබාදෙයි කියා අපි විශ්වාස කරනවා.
“සිවිල් සංවිධාන හෝ ජනතාව අභාවයට ගිය වගන්තියක් සංශෝධනය කරන්න ඉල්ලා නැහැ”
-නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර-
19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් පසුව මේ රටේ මැතිවරණයකින් පත්වුණු ජනාධිපතිවරයෙකුට ඉන්න පුළුවන් ධුර කාලය අවුරුදු 05යි. ඒ වගේම ධුරය පුරප්පාඩු වීම හේතුකොට ගෙන පත්වෙන අනුප්‍රාප්ත ජනාධිපතිවරයෙකුට ඉන්න පුළුවන් වන කාලය ඉවත්ව ගිය අයගේ කාලය අඩු කළාම ඉතිරි කාලය පමණයි. ඒ අනුව ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අවුරුදු පහකට වඩා ඉන්න පුළුවන් ජනාධිපතිවරයෙක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් මේ බව ගිය සතියෙත් ප්‍රකාශයට පත් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ තිබෙන “ සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නේ නම්” කියන වචන අභාවයට ගිය වචන බවට පත්වෙලා තිබෙන්නේ.
ආණ්ඩුකම ව්‍යවස්ථාවේ අභාවයට ගිය වචනයක් සංශෝධනය කිරීම සඳහා කාලය ගත කිරීම හෝ ජනමත විචාරණයක් පැවැත්වීම කියන එක භයංකර අපරාධයක්. ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙලා ගෑස් මිල, පාසල් උපරණ මිල, ආහාර මිල, විදුලිය, ජලය මේ සෑම දෙයක්ම අති විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා ජනතාව පීඩාවට පත්වුණු වෙලාවක නීත්‍යානුකූල නියමිත මැතිවරණය හැර තවත් ජනමත විචාරණයක් පවත් වන්න ඕනෑ කියලා කිසියම් පුද්ගලයෙක් තීරණය කරනවා නම්, ඔහු ආර්ථික ඝාතකයෙක්. වැරදි ආර්ථික ප්‍රතිපත්ති රැගෙන ඒ අනුව රට බංකොලොත්භාවයට පත්කිරීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දී තිබෙනවා, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකු ආර්ථික ඝාතනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් දී තිබෙනවා. අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු ජනාධිපතිවරණය තියන්න ඕන වෙලාවේ, ඒක ඇතුලේ ජනමත විචාරණයක් තියලා, මේ දිළිඳු රටේ, විශාල මුදලක් වියදම් කරන්න හදනවා නම්, ශ්‍රේෂ්ඨාධිකරණය කලින් දී තිබෙන තීන්දුවලට අනුව, ඒ පිළිබඳ තීරණ ගත්ත තැනැත්තා බරපතළ ආර්ථික ඝාතකයෙක් බවට පත්වෙනවා. එය සිදු නොවිය යුත්තක්.
අරගලයෙන් පසුව, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්ව ගියාට පසුව මේ රටේ සිවිල් සංවිධාන, නීතිඥ සංගම්, ආගමික සංවිධාන සියල්ලෝම එකතු වෙලා ඉල්ලුවේ වහාම මේ රටේ මහා මැතිවරණයක් පවත්වා ජනතාව කැමති ආණ්ඩුවක් පත්කර ගන්න ඉඩ දෙන්න කියලා. ඒ ජනතා ඉල්ලීම් පැත්තකට දමා, විකෘති ආණ්ඩුවක් අටවා ගත්තේ මේ ප්‍රක්ෂේපිත ආණ්ඩුවයි. විකෘති ආණ්ඩුවක් අටවා ගෙන, කැබිනට් මණ්ඩලයකුත් පත්කර ගත්තා. ඒ විකෘති ලෙස පත්වුණු කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිවරයා තීරණය කරනවා, මේ වෙලාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. මේ රටේ සිවිල් සංවිධාන හෝ ජනතාව අභාවයට ගිය වගන්තියක් සංශෝධනය කරන්න ඉල්ලීමක් කර නැහැ. පාර්ලිමේන්තුව තුළ ඉන්න ජාතික ජන බලවේගයේ මන්ති්‍රීවරු තිදෙනාත්, වෙනත් සුළු පක්ෂවල මන්ත්‍රීවරුත් හැරුණු විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 150කට වඩා මැතිවරණයට බයක් තිබෙනවා. මේක අරගලයෙන් ප්‍රතික්ෂේප වුණු බහුතරයකින් යුත් පාර්ලිමේන්තුවක්. එළියේ මොනවා කිවුවත් ඇතුලේ ඒකාබද්ධ වෙලා මේ ජනාධිපතිවරණය තියන එක අවහිර කරන්න උත්සාහ දැරුවාට රටේ උත්තරීතර නීතිය පාගා දමන්න කිසිවෙකුට අයිතියක් ලැබෙන්නේ නැහැ.
උත්තරීතර නීතිය අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න ඕනෑ. ඔක්තෝබර් 16ට කලින් ජනාධිපතිවරණය පවත්වා ඉවර කරන්න ඕනෑ. එය කාටවත් වෙනස් කරන්න බැහැ. ඉදිරි ජනාධිපතිවරයේදී තරග කරන්නේ කොහොමද කියා ෂුවර් එකක් නැති වුණාට, මේ කැබිනට් මණ්ඩලයත්, ජනාධිපතිවරයාත් තරග කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා. ජනාධිපතිවරයාත් තරගකරුවෙක්. තරග කරන්න ඉන්න ජනාධිපතිවරයාත්, කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අත්තනෝමතික ලෙස යෝජනාවක් ගෙනත් ඒ යෝජනා මත ජනතාවගේ ඡන්ද බලය අවහිර කරන්න හෝ ජනාධිපතිවරණයට තිබෙන මුදල් ටික වෙනත් පැත්තකට හරවා ජනමත විචාරණයකට කරකවන්න උත්සාහ ගන්නවා නම්, තරගකරුවෙක් අනෙක් තරගකරුවාට එරෙහිව ගනු ලබන ම්ලේච්ඡ, සදාචාර විරෝධී ක්‍රියාවක්. මෙය සමාජයම හෙළා දැකිය යුතුයි. මේ උත්සාහ කරන්න කල් ඇදීමක්.
ජනාධිපතිවරණය අනිවාර්යයෙන් තියෙනවා. ජාතික ජන බලවේගය අනිවාර්යයෙන් තරග කරනවා. අනෙක් කට්ටිය එකතු වෙලා එක් කෙනෙක් හෝ දෙන්නෙක් හෝ කිහිපදෙනෙක් එන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවේ විස්තර කර තිබෙන පරමාධිපත්‍ය බලය ජනතාවගේ අනුල්ලංඝනිය අයිතියත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වගන්තියේ බලතල 05ක් දක්වා තිබෙනවා, ජනතාව විසින් පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරයාට පවරා නොදීපු බලතල දෙක තමයි මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය. එය පාර්ලිමේන්තුවට පවරා දුන් බලයක් නොවෙයි. ඡන්ද බලය ජනතාව සතු අනුලංඝනීය බලයක්. ඒ සඳහා පාර්ලිමේන්තුවට නීති පැනවීම හෝ නීති පැනවීමට උත්සාහ කිරීම මගින් අවහිර කිරීමක් කරන්න කිසිසේත් අයිතියක් නැහැ. එසේ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති උල්ලංඝනය කිරීමක් වෙනවා. කිසියම් ජනාධිපතිවරයෙක් අබලතාවයකින් හෝ දුබලතාවයකින් පෙළෙනවා නම් එය දෝෂාභියෝගයකටත් කරුණක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභාවිත වන වගන්තියක් තිබෙනවා, ජනමත විචාරණයක් අභිමුව තවත් ජනමත විචාරණයකට තුඩු විය හැකි ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට උත්සාහ දරන්නේ නම් එය ඉතා කූඨ සටකපටකමක්, එහෙම නැතිනම් මානසික රෝගයක්. කුමක් වුවත් මෙය ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි බරපතළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්. මේ උල්ලංඝනය කිරීමට කැබිනට් මණ්ඩලයත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයාත් වගකියන්න ඕනෑ. ජනාධිපතිවරණයට විකල්පයක් හැටියට ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ. එහෙම වෙන්න ඉඩදිය යුතුත් නැහැ.
ඔක්තෝබර් 16ට කලින් පවත්වන ජනාධිපතිවරණයට රටම සූදානම් වෙන්න. ඔබගෙ බඩු මිල වැඩිවුණු හැටි කල්පනා කරන්න. දරුවාගේ පාසල් උපකරණ මිල ඉහළ ගිය හැටි කල්පනා කරන්න. ආර්ථික ඝාතකයන් මේ රට විනාශ කළ හැටි කල්පනා කරන්න. අපරාධකරුවන්, මංකොල්ලකරුවන් පාර්ලිමේන්තුව තුළ ඉන්න එක ගැන කල්පනා කරන්න. හැම ආණ්ඩුවකම ඇමතිකම් දරමින්, හැමදේටම අත ඔසවමින් මේ තත්වයට කළ අය ගැන කල්පනා කරන්න. ඔබ මුහුණ දෙන බරපතළ ප්‍රශ්න ගැන කල්පනා කරන එක ගැන, ඒ ගැන හිතන එක වෙනස් කිරීමට දරන ම්ලේච්ඡ උත්සාහයක්. මේ උත්සාහ හෙළා දැකිය යුතුයි.
“කැබිනට් මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් කියවා තේරුම් ගැනීමට නොහැකි වී තිබෙනවා”
-නීතීඥ හේමක සේනානායක-
මේ ප්‍රශ්නය ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සම්පූර්ණයෙන්ම විසඳා අවසන් කරන ලද ප්‍රශ්නයක්. එක තවදුරටත් ප්‍රශ්නයක් නොවෙයි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තමයි රටේ නීතිය අර්ථ නිරූපණය කරන අවසාන ස්ථානය. ජනාධිපතිවරයා හිතනවා මේ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනැත් ඡන්දය කල්දමා ගැනීමේ හැකියාවක් එකෙන්වත් ලැබෙයිද කියලා. ඔහු මේ රටේ ජනතාවට යම්කිසි අවිනිශ්චිතභාවයක් ගෙන එනවා. ජනතාවටත් හිතෙනවා, “රනිල් වික්‍රමසිංහ ඡන්දෙ තියයිද,” කියලා. මේකට හේතුව වෙලා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ පිළිබඳ තිබෙන කළු ඉතිහාසයයි. පළාත් සභා මැතිවරණය නැතිවෙලා තිබෙන්නේ 2015-2019 රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරපු ආණ්ඩුවේ කරපු වික්‍රමයක් හේතුකොට ගෙනයි. පළාත් පාලන ආයතනවල ඡන්දය නැතිවෙලා තිබෙන්නේ සල්ලි නැතැයි කියා ලෝක බොරුවක් ගහලා, ඡන්දය නොතබා තිබීමේ වැඩපිළිවෙළ නිසයි. මේ නිසා රටේ ජනතාවට සාධාරණ බියක් මතුවෙලා තිබෙනවා, මේ අවස්ථාවෙත් මේ වංගුව ගහන්නේ ඒක නිසාද කියලා. මේ රටේ ජනතාව අවුරුදු පහද හයද කියන ප්‍රශ්නයක් හදාගත යුතු නැහැ. එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසඳන ලද ප්‍රශ්නයක්.
අවාසනාවකට අපේ කැබිනට් මණ්ඩලයට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් කියවා තේරුම් ගැනීමට නොහැකි වී තිබෙනවා. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කරනවා, ජනාධිපතිවරණය අවසන් වනතුරු මෙවැන්නක් ගෙන එන්නේ නැහැ කියලා. එහෙම කියලා පැය 24ක් යන්නට කලින් රනිල් වික්‍රමසිංහ ඔහුගේ ලේකම්වරයා හරහා මේ ගැසට් පත්‍රය ඉදිරිපත් කරනවා. මෙතනදි බරපතළ ප්‍රශ්න දෙකක් ඇති වෙනවා. ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ, කැබිනට් මණ්ඩලයේ තිබෙන සාමූහිකත්වය, හරියට එළ හරකයි මීහරකයි එකතුවෙලා කුඹුරක් මඬින්නට යනවා වගේ වැඩක්. එක්කෙනෙක් එක පැත්තකට අදිනවා, තව කෙනක් තව පැත්තකට අදිනවා. රටේ ජනතාව තේරුම් ගත යුතුයි මෙවැනි අවිනිශ්චිත, යමක් තේරුම් ගැනීමට බැරි, යමක් කරගන්නට බැරි කැබිනට් මණ්ඩලයක් එක්ක මේ රට ඉදිරියට යන්නට බැරි බව. මෙය බරපතළ ඛේදවාචකයක්. මේ අය මේ සෙල්ලම් කරන්නේ රටක් එක්ක, රටේ මිනිසුන් එක්ක. අපි ඉතිහාසය විමසා බැලුවාම මහර අතුරු අතුරු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය හැසිරුණේ කොහොමද කියන එක අපි දන්නවා.
පළාත් සභා ආණ්ඩුකාරවරයා යටතේ පවත්වාගෙන ගියත්, පළාත් පාලන ආයතන කොමසාරිස්වරු යටතේ පවත්වාගෙන ගියත්, 2024 නොවැම්බර් මාසෙ 17වැනිදා රෑ 12.00ට රනිල් වික්‍රමසිංහගේ විධායක ජනාධිපති ධුරය අවසන්. 18 දා උදේ මේ රටේ ජනාධිපතිවරයෙක් නැහැ. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් නැහැ. ලේකම්වරු නැහැ. ආණ්ඩුවක් දුවන්න බැහැ. ත්‍රිවිධ හමුදාවකට අණ දෙන්න පුද්ගලයෙක් නැහැ. මේ තත්වයක් යටතේ රට දුවන්න බැහැ. මේක රනිල් වික්‍රමසිංහ පිරිස දන්නවා. ඒ දැන දැනත් රටේ ජනතාවට විචිකිච්ඡාවක් ඇති කරනවා, රනිල් වංගුවක් ගහයිද කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ගේම්කාරයෙක් නෙමෙයි.
මේ ඡන්දය තියන්නම වෙනවා. ගාල්ලේ අධිකරණය විවෘත කරන වෙලාවෙදි ජනාධිපතිවරයා කියනවා, “මම ජාතියෙන් සමාව ඉල්ලා සිටිනවා, ඔහු ඒ පිළිබඳව පළපුරුද්දක් නැති එක්කෙනෙක්, මම සාමාන්‍යයෙන් මේවා දෙන්නේ චොක්සි ඇමතිවරයාට. ඔහු නැති නිසා ජයම්පතිට දුන්නේ. නමුත් මේ වගේ තත්වයක් ඇති වුණා” කියලා. ජයම්පති වික්‍රමරත්න මහතාව තෝරා ගත්තේ කවුද? අපිද? ඔහු පවසන අන්දමට ඔහු පත්කළේ නුසුදුස්සෙක් නම්, වගකීම ඔහු ගත යුතුයි. මේ සෙල්ලම් කරන්නේ රටක් සමග. රටේ ජනතාව සමග. මොවුන්ට තවදුරටට සෙල්ලම් කරන්න දෙන්න බැහැ. තවදුරටත් මේවා රැවටෙන්න අවශ්‍ය නැහැ. මම ආයාචනා කරනවා, රටේ ජනතාවට ජනාධිපතිවරණයට සූදානම් වෙන්න කියලා.
“තව පෝය දෙකකින් ජනරජය තුළ රනිල්ගේ දේශපාලන භූමිකාව අවසන්”
-නීතිඥ අකලංක උක්වත්ත-
83 ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් 22 වැනි සංශෝධනය ගෙන ඒම හා ජනාධිපතිවරණය සඳහා ආණ්ඩුවේ තිබෙන නොකමැත්ත ප්‍රකාශ කිරීමට මුල් අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ නායකයා පිල්ලි දෙකක් දැම්මා. වැඩේ හරි ගියේ නැති නිසා ගුරුන්නාන්සේම එළියට එන්න ඕනෙ කියලා, රනිල් වික්‍රමසිංහ එළියට ඇවිත් තිබෙනවා. මේ වෙලාවේ ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ, 83 ආ එකේ හය, පහ කරන්න ලැහැස්ති වෙනවා. 17වැනිදා සිට බලය ලැබෙන මැතිවරණ කොමිෂන් සභාව, අපට මේ මාසෙ අන්තිම වෙනකම් දෙන්න කියනවා. අපිට පෙනුණා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ජ්‍යෝතිෂ්‍යඥයකුගේ කාර්යභාරය කළා වගේ. රනිල් වික්‍රමසිංහ පරිපූරක ඇස්තමේන්තුවෙන් කෝටි 875ක් වෙන්කර ගත්තා. ඒක වියදම් කරගන්න ඕනෑ. ජනතාවට අල්ලස් දීලා ඡන්දෙ ගන්න ඕන නිසාද දන්නේ නැහැ රාහු කාලය බල බල ඉන්නේ. අපිත් බලන් ඉන්නවා ප්‍රකාශ කළ දවසේ ඉඳලා, ඔය දෙන දේවල් දුන්නොත් සිල් රෙදිවලට වෙච්ච දේ තමයි වෙන්නේ.
දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට වයසයි. මේ ප්‍රශ්න දරා ගන්න බැහැ. 19වැනි සංශෝධනයේ, 30(2) සම්බන්ධයෙන් ගැසට් එක ගෙනාවෙත් රනිල් වික්‍රමසිංහ මහතාමයි. රනිල් 2015 යහපාලන ආණ්ඩුවේ අගමැති. ගැසට් එකේ මෙහෙම කියනවා. “අගමැතිතුමා, ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ, හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා විසින් 2015 මාර්තු 24දා ඉදිරිපත් කරන ලදී” කියලා. ගැසට් එක ගහන්නෙ මාර්තු 16. ඉදිරිපත් කරන්නේ 24දිනයි. 19 සංශෝධනයෙන් 30(2) ගේනකොට 83 මගහැරුණා නම්, ගැසට් එක ගෙනිච්ච අයට තිබුණා, ඒක හදා ගන්න. නීතිය ගේන්නේ, අත්සන් කරන්නේ එයා. රනිල්ට 2015 ඒවත් මතක නැහැ.
මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගෙනාවා. ඒකේ 14 පිටුව “ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක්. අනු මාතෘකාව, දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අලුතින් කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකය සහිත ආණ්ඩු ව්‍යුහයක් හඳුන්වා දෙමි. … එමෙන්ම රටේ ස්ථාවරභාවය, ආරක්ෂාව හා ස්වෛරීත්වය සඳහා ඇති ඉඩකඩ වැඩි දියුණු කරන සංශෝධන මිස ඊට හානිකර වන්නාවූ කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට මම සහතික වෙමි. – මෛත්‍රීපාල සිරිසේන” 2015 ජනවරම ගත්තේ මේකට. මේ ගැසට් එක ගේනකොට රනිල් වික්‍රමසිංහට මතක නැති වුණාට ඒක තමයි 83 අයින් කර ගත්තේ. දැන් කියන්නේ ජයම්පතිට අමතක වෙලා කියලා. නීති හදන කොට නීතිඥයන් බලනවා ජනතාව දුන් ජනවරම මොකක්ද කියා. ඊට පෙර දුන් ප්‍රතිපත්තිය අපි සාක්ෂාත් කරන්න ඕනැ නේද. ඒකට අනුවයි නීතිය හදන්නේ. රනිල් වික්‍රමසිංහ සම්පූර්ණයෙන් කියන්නෙ බොරුවක්. රනිල් වික්‍රමසිංහට මම කියන්නේ දැන් වයසයි. ඔයා යන්න.
රනිල් වික්‍රමසිංහට මේ සඳහා ජන බලයක් නැහැ. 2019 පාර්ලිමේන්තුවට ගෙනාවාට පස්සෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද අහනවා. ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා වගන්ති හයක් සඳහා ජනමත විචරණයක් අවශ්‍යයි කියලා. රනිල් වික්‍රමසිංහ, හැන්සාඩ් (2015 අප්‍රේල්) එකේ කියනවා “අපිට ජනතාව, ජනමත විචාරණයකින් තොරව කරන්න කිවුවේ අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණයත් අපට කිවුවා, ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති මොනවාද, කියලා. ඒ වගන්ති අතහැරලා අපි 19වැනි සංශෝධනය ජනමත විචාරණයට තුඩුදෙන කාරණා අයින් කරමින් සම්මත කර ගැනීම සඳහා ඉදිරිපත් කරනවා” කිව්වා. හැන්සාඩ් එකේ ජෝසප් මයිකල් පෙරේරා, මංගල සමරවීර දෙන්නම කියනවා ජනාධිපතිවරණයකට විචාරණයකට තුඩු දෙන කාරණා අයින් කර දාන්න ඕනැය කියා.
රනිල් වික්‍රමසිංහ මේ ළඟදි මාතලේ ගිහින් කියනවා, “මට තීන්දු දෙකක් දුන්නා. මම ඒවා පිළිගන්නේ නැහැ. අධිකරණයට නොවෙයි අධිකරණ බලය තිබෙන්නේ. පාර්ලිමේන්තුවට” කියලා. 4(ඇ) යන ව්‍යවස්ථාවේ කියන අධිකරණ බලය අධිකරණයට තමයි තියෙන්නේ. 3 වැනි ව්‍යවස්ථාවේ කියනවා, ජනතාව සතු අත් නොහළ හැකි පරමාධිපත්‍ය බලය කාණ්ඩ තුනයි. එකක් ඡන්ද බලය, මූලික අයිතිවාසිකම් හා පාලන බලය. මේ ආයතන ව්‍යුහයන් තුන පත්කිරීම් ඍජුව ව්‍යවස්ථාදායකය සහ විධායකය ජනතාව විසින් පත්කරනවා. හැබැයි අධිකරණය එසේ කරන්න බැහැ. අධිකරණයේ පත්කිරීම වෙන්නේ ව්‍යවස්ථාදායකය මගිනුයි. ඒ ව්‍යවස්ථාදායකය මගින් අධිකරණය පත්කරපු සැණකින්ම ඒ පත්කිරීම සඳහා පාර්ලිමේන්තුව සතුවූ කාර්යය ඇරෙන්න එතනින් එහා අධිකරණ බලය අධිකරණය සතු වෙනවා. පාර්ලිමේන්තුවට සීමිත අධිකරණ බලයක් තිබෙන්නේ, දෝෂාභියෝග වැනි අවස්ථාවල විනිශ්චයකාරවරුන් සම්බන්ධ කාර්යයේදි විෂමාචාරය වැනි එකක් අධිකරණ බලයට යටත්ව තිබෙනවා. ලංකාවේ අගවිනිසුරුතුමා කථානායකට කියා තිබෙනවා, “අධිකරණ බලය ඉතා පැහැදිලියි. පාර්ලිමේන්තුවට අධිකරණ බලයක් නැහැ. අධිකරණ බලය තිබෙන්නේ ජනතාවගේ අධිකරණයට. රනිල් වික්‍රමසිංහට කියනවා, තව පෝය දෙකක් වතුර රත් වෙනකම් දඟලන්න. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ ඔබගේ දේශපාලන භූමිකාව අවසන්.