-Colombo, January 31, 2024-
(මාධ්‍ය හමුව – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ)
මේ වන විට රටේ තැනින් තැන මනුෂ්‍ය ඝාතනයන් සිදුවෙමින් තිබෙනවා. මේ ඝාතන ක්‍රියාවලිය ආරම්භ වුණේ වැලිගම සිද්ධියෙන්. ඊට පසුව නාරම්මලත්, පසුව ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වාමීන් වහන්සේ නමක් හා අද වෙන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණයෙකුටත් වෙඩිතබා තිබෙන බව දැනගන්නට ලැබී තිබෙනවා. දැන් ජනතාව විමසිල්ලෙන් ඉන්නේ අද කොහේද? කවුද? ඝාතනය වී තිබෙන්නේ කියලා. මේ ජීවිත බිලිගැනීම සමාජගත වෙමින් යනවා. ආණ්ඩු විරෝධී ක්‍රියාවන් උත්සන්න වෙමින් තිබෙන අතර, ආණ්ඩුව මර්දන යාන්ත්‍රණයන් තදකරමින් යනවා. ඒවායේ කොටසක්ද මේ සිදුවෙමින් තිබෙන්නේ යන්න අපි බලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවා. ඊයේ දින (30) ස.ජ.බ.යේ විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය ජාතික ජන බලවේගය ලෙසත්, ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙසත් අපි හෙළාදකිනවා. එය ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලද නිගරුකිරීමක් ලෙස අපි දකිනවා.
නාරම්මල සිදුවීමේදී, මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි තැනැත්තා රථයෙන් බැස ඇවිත් ඉදිරියෙන් ගිය ටිපර් රථයේ රියදුරුට තර්ජනය කරනවා. එම මෝටර් රථයේ රියදුරු පැමිණ ටිපර් රථයේ රියදුරුට වෙඩි තබා මරණවා. මෙවැනි වෙඩි තැබීම් කළ හැකිද? අදාළ පුද්ගලයාගේ හැඳුනුම්පත හෝ ආදායම් බලපත්‍රය, ලයිෂන් ඉන්ෂුවරන්ස් බලා අනන්‍යතාවය තහවුරු කරගෙන පමණයි කිසියම් ක්‍රියාවලියකට අවතීර්ණ විය යුත්තේ. මේ සිද්ධිය ඉතාමත් බරපතළයි. වෙඩි තබන ලද උණ්ඩය අහුලාගෙන එම නිලධාරියා සාක්කුවේ දමා ගන්නවා. මේ සම්බන්ධව ඇසින් දුටු සාක්ෂි තිබෙනවා. මේ මොහොතේ අපි නීතිඥ කණ්ඩායමක් නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ නඩුවට පෙනීසිටිමින් ඉන්නවා. පැමිණිල්ල උත්සාහ කරමින් සිටිනවා පසුපස අසුනේ සිට පැමිණ මරණකරුට තර්ජන කළ තැනැත්තාව පැමිණිල්ලේ සාක්ෂිකරුවෙක් බවට පත්කරන්න. අගතියට පත්ව සිටින පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින අපේ නීතිඥ කණ්ඩායම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මෙම නඩුවේ කටයුතු අදාළ පොලීසියටම කරගෙන යන්න ඉඩ දෙන්න එපා කියලා, “එය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ” වැඩක්. අපේ නීතිඥ කණ්ඩායම්, ඉල්ලීම් දෙකක් අධිකරණයට ඉදිරිපත් කරනවා. එකක් මෙහි සම්පූර්ණ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන්න. එහෙම නැතිනම් ඒ පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ මේ කටයුතු සිදුකරන්න.
මේ තැනින් තැන සිදුවන ඝාතන ක්‍රියාවලියට ආණ්ඩුව හිතාමතාම හරිමින් සිටිනවද කියලා සැකයක් මතුවෙනවා. පුද්ගලයෙකු ඝාතනය කරලා පහුවදා වැඩබලන පොලිස්පති ලක්ෂ දහයක මුදලක් පවුලේ අයට ප්‍රධානය කරනවා. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ වටිනාකම ලක්ෂ දහයකද? ඒ මුදල යන්නෙත් රටේ ජනතාවගේ බදු මුදල්වලින්. මහා භාණ්ඩාගාරයේ මුදල්. මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවකට දමා කටයුතු කිරීම බරපතළ කරුණක්. මේ බරපතළ වරදක් සාමාන්‍ය කරණය කිරීමක්. සමාජයක් විදිහට, සමාජයේ වගකිවයුතු දේශපාලන ව්‍යාපාරයක නීතිඥයන් ලෙස මෙය අපට ඉවසිය නොහැකියි. මෙය නීතියේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අපගමනයක්. 1992 කාලයේත් මෙවැනි තැන තැන මිනිස් ඝාතනය සිදුවෙමින් මහා අපරාධයක් දක්වා ගියපු බව අපි දන්නවා. මේ එන්නේ එවැනි පන්නයේ වැඩකටද? මේ මැතිවරණ වසරක්. රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන විදිහට මැතිවරණ දෙකම තිබෙනවා. මේ මැතිවරණයන් ජයග්‍රහණය කිරීමට අදාළ පසුබිමක් හදාගන්න උත්සාහ කරනවා. සමාජය භයංකර තත්වයකට පත්කරලා ආණ්ඩු විරෝධය කියන එක මට්ටු කරන්න පරාජිත උත්සාහයක් ගනිමින් ඉන්නවා. ජන බලවේගය ලෙස අපි මේ සමාජය දැනුවත් කරමින්, යෝධ සමාජ පවුරක් විදිහට මෙයට මුහුණ දෙනවා. අපි සමාජයට කියනවා ඔබ, ආණ්ඩුවේ බියගුළු ක්‍රියාවලට බියට පත්වෙන්න එපා. මේ දුර්දාන්ත ආණ්ඩුවට එරෙහි ක්‍රියාවලිය ආපස්සට ගන්න එපා.
“මම දේශබන්දුගෙන් අහනවා භාර්යාවකට සැමියෙක්, දරුවන් තිදෙනාට පියෙක් නැති කරලා, තමන් ලබාගන්න පොලිස්පතිකම ලොකුද ?”
-ජාතික ජන බලවේගයේ නීතිඥ අකලංක උක්වත්ත-
මීට සති තුනකට පමණ පෙර පොලිසියේම ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු මරු තුරුලට ගියා. එක පොලිස් කණ්ඩායමට අවශ්‍ය වුණු, සැඟවුණු න්‍යාය පත්‍රයක ක්‍රියාවලියක් ලෙස එම පොලිස් නිලධාරියා මිය ගියා. ඔහු සාජන්වරයෙක් ලෙස සිට මියගියාට පසුව එස්.අයි. බවට පත්කළාට පස්සේ සාධාරණීකරණය වෙනවාද? දේශබන්දුගේ වැඩ බලන පොලිස්පතිකම, පොලිස්පති බවට පත්කරන එක ලොකුද, අර පොලිස් නිලධාරියාගේ භාර්යාවට සැමියෙක් සහ දරුවන්ට පියෙක් අහිමිකරන එකට වඩා. මම දේශබන්දුගෙන් අහනවා, නාරම්මල අහිංසක මනුස්සයාගේ භාර්යාවට සැමියා සහ එයාගේ ලෝකය නැතිකරලා, දරුවන් තිදෙනාට පියෙක්, ලෝකයක් නැති කරලා, තමන් ලබාගන්න බලාපොරොත්තුවෙන පොලිස්පතිකම ලොකුද කියලා. ඒක ලක්ෂ 10කට ලඝු කරන්න පුළුවන්ද? දේශබන්දුට තවදුරටත් මේ ලක්ෂ 10යේ ඒවා දීගෙන දීගෙන යන්න සිදුවේවි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දේශබන්දුට කිව්වා, තමන් ක්‍රෑර වධහිංසාවට ලක්කරපු පුද්ගලයාට ලක්ෂ 05ක් පෞද්ගලික මුදලින් ගෙවන්න කියලා. ඒ අමානුෂික වධය ලක්ෂ 05ට ලඝුවෙන්නෙත් නැහැ. නීතිපතිතුමා හරියට නීතිය ක්‍රියාත්මක කළොත්, ඉදිරියේදී ක්‍රෑර හා අමානුෂික වධ හිංසා සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍රයක් එන්න ඕනෑ.
මේ වගේ මිනිස්සු තැන තැන බල්ලෝ බළල්ලු වගේ මැරී වැටීමත්, එය සිදුවෙන්නේ රජයේ පොලීසිය විසින් නම්, එය රාජ්‍ය ත්‍රස්තවාදයයි. එවැනි මැරී වැටීම් නිසා ඇතිවෙන කම්පනය තමයි අපි සමාජගත කරන්නේ. මේ හේතුවකින් තොරව පුද්ගලයන් මරා දැමීම, ඒ පවුලට පමණක් නොවෙයි සමාජයටම සිදුකරන ලොකු අපරාධයක්. මේ කම්පනය සමාජයට යන්න ඕනෑ. තමන්ට, යමක් සිදුවෙනකම් සහකම්පනය දැනෙන්නේ නැහැ. ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට, ඥාතියෙකුට වුණා නම්, මේකෙ පීඩාව, දැනෙයි. මීට වසරකට ඉස්සෙල්ලා, දේශබන්දුට පාරෙදි හෙල්මට් එකකින් මිනිස්සු ගහනකොට වැරදි තැනකට වැදුණා නම්, යම් පීඩාවකට පත්වුණු නම්, භාර්යාවට, ළමයින්ට ඒ කම්පනය දැනෙනවා. වැඩ බලන පොලිස්පති, මේ දෙස වැඩි බරකින් බලන්න. තමන්ගේ ආදර්ශ පාඨය “ධම්මේ භවේ රක්ඛති, ධර්ම චාරී” ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකියි. ආදර්ශ පාඨයෙන් කියන්නේ එයයි. තමන්ගේ නිල බලයට, ඉදිරියට ගන්න තිබෙන ප්‍රමෝෂන් එකට, තමන්ගේ ආදර්ශ පාඨය තුළ කටයුතු නොකරමින් හැසිරෙන්න එපා.
වැඩබලන පොලිස්පතිවරයා මැයි 09 සිද්ධියේ ප්‍රධාන වගඋත්තරකරුවෙක්. ඔහු පාස්කු ප්‍රහාරය වෙන කාලයේ බස්නාහිර උතුර (මීගමු පළාතේ) සීනියර් ඩී.අයි.ජී. කටුවාපිටියේ මනුෂ්‍ය සංහාරයක් සිදුවුණා. තමන් හරියට රාජකාරි කළා නම්, ෂඡ වෙන්න කලින් ජ්‍යෙෂ්ඨ පොලිස්පතිකමේ ඉන්න තිබුණා. මැයි 09දා හරියට නීතිය ක්‍රියාත්මක කරලා, අභාවප්‍රාප්ත ඇමතිතුමා සහ සහචරයන් ටික එතනට නොයැවීමට කටයුතු කළා නම් මැයි 09 විපත් කිසිවෙකුට සිදුවන්නේ නැහැ. යුක්තියට මුවා වෙලා අයුක්තියක් සිදුවෙනවා නම්, නීතිඥයෝ හැටියටත්, ජාතික ජන බලවේගය හැටියටත් අපි විරුද්ධයි. යුක්තිය නමින් හෝ මේ රටේ මත්ද්‍රව්‍ය, අපරාධ, පාතාලය නවත්වනවා නම්, අපි ඒකට අත්දෙක ඔසවා කැමැත්ත ප්‍රකාශ කරනවා. ඔහු රකින දේශපාලන නායකත්වය කියනවා “අපි ගැහුවොත් ගහනවා” කියලා. පොලිසිය රටක අන්ඩර් වල්ඞ් එකද? රටක දේශපාලන නායකත්වය කියන්නේ පුරවැසියන් ආරක්ෂා කරන පාලන තන්ත්‍රයක්. තනි තනි පුද්ගලයාගේ හිමිකම් ආරක්ෂා කරන්නම ඕනෑ. එහෙම නැති ආණ්ඩුවක වැඩක් නැහැ. පහළ නිලධාරීන්ට උපදෙස් දෙන්නේ එහෙම දේශපාලන නායත්වයක් නම්, දේශපාලන නායකත්වයේ පිරිහීම ඒකෙන් පෙනෙනවා. තැන් තැන්වල මිනිස්සු මැරී වැටීමෙන් පෙන්නුම් කරන්නේ දේශපාලන නායකත්වයේ, සමාජයේ, ආර්ථිකයේ පිරිහීමයි. අපේ රටේ අවසාන පාලකයෝ පස්දෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා. 10 සිට 14 දක්වා තිබෙන මූලික අයිතිවාසිකම්වලින් එකක් දෙකක් කඩා තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය එය අනුමත කොට තිබෙනවා. එවැනි පුද්ගලයන් රට පාලනය කරන විට ඊට පහළ ආයතන පාලනය කරන නිලධාරීනුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන තත්වයක් උඩ මීට වැඩි දෙයක් අපට බලාපොරොත්තු විය නොහැකියි. දේශබන්දුට කියනවා, මේ දේශය මුඩුබිමක් නොවෙයි, පුරවැසියන්, ජනතාව, මානවයන්ගෙන් පරිපූර්ණ වූ සමාජයක්, බිමක්. තමන් මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් කැඩුවා. මිනිසුන්ට ආදරය ඇති කෙනෙක් නොවෙයි. පොලිස්පතිව ආරක්ෂාකරන දේශපාලනයටත් මම කියනවා, ධර්මයෙහි හැසිරෙන්න. එවිට ධර්මය ඔබව ආරක්ෂා කරාවි.
“නීතියත්, මහජනතාවත් අතරට දේශපාලන අත පෙවීම් ඉවත් වුණු දාට තමයි, මේ රටේ ජනතාවට යුක්තියේ දෙවඟන කෙරෙහි විශ්වාසය තැබිය හැකි වන්නේ.”
-නීතිඥ නිලන්ති කොට්ටහච්චි-
ඕනෑම රාජ්‍යයක්, සමාජයක් දියුණු කියලා මනින්නේ ඒ රාජ්‍යයක ආර්ථික මිනුම් දඬුවෙන් පමණක් නම්, එය සියයට සියයක් නිවැරදි මැනීමක් විය නොහැකියි. සමාජයක, රාජ්‍යයක ප්‍රශ්නවලට ප්‍රශ්න අවස්ථාවේ පිළිතුරු දෙන්නේ නැතිනම්, ඒ ප්‍රශ්න ගැටලු බවට පත්වෙනවා. ඒ ගැටලුවලට ගැටලු අවස්ථාවේදී නිසි පිළිතුරු පාලන අධිකාරිය දෙන්නේ නැතිනම් ඒ ගැටලු අර්බුද බවට පරිවර්තනය වෙනවා. අර්බුදයකදී අර්බුදයට අවශ්‍ය විසඳුම් ඒ පාලන අධිකාරිය දෙන්නේ නැතිනම් ඒ අර්බුදය ව්‍යසනයක් බවට පරිවර්තනය වෙනවා. රටක ජීවත් වෙන මිනිස්සු විදිහට අපි ඉන්නේ ඉතා දරුණු ව්‍යසනයක. මේකට පිළිතුරු සොයන එක සුළුපටු කාර්යයක් නොවෙයි. අපිට ව්‍යසනයක් සාගින්න ලෙසත්, දරිද්‍රතාවය ලෙසත්, දේශපාලන කැළඹීම් ලෙසත්, යුධමය වාතාවරණයන් ලෙසත් දකින්න පුළුවන්.
සමාජයක සිදුවෙන අපරාධත් ව්‍යසනයක් ලෙස දකින්න පුළුවන්. රටක ජීවත් වෙන ජනතාවට නිදහසේ ජීවත්වීමට නොහැකි නම්, අපි නිරුපද්‍රිතයි කියල සිතිය හැකි පරිසරයක නොවෙයි ඉන්නේ. ඒ නිසා පක්ෂයක් විදිහට සහ මේ රටේ ජීවත් වන කිසිදු භේදයකින් තොර, වෙනස් ලෙස සැලකීමකින් තොර, පිරිමින්ට සේම ගැහැනුන්ටත්, දරුවන්ටත් සියලු දෙනාටම සුරක්ෂිත වටපිටාව අහිමිවෙලා තිබෙන සීමාවක තමයි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. මහජන ආරක්ෂක අමාත්‍යවරයාත්, වැඩ බලන පොලිස්පතිවරයාත්, යුක්තියේ නාමයෙන් ක්‍රියාත්මක කරගෙන යන මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස 17%ක් අපරාධ සංඛ්‍යාත්මකව අඩුවී තිබෙන බවට තොරතුරු තිබෙනවා. එය විය හැකියි. නමුත් යුක්තිය ඉටුවූවාට වැඩක් නැහැ යුක්තිය ඉටුවූ ආකාරය සාමාන්‍ය මහජනතාවට පෙනෙන්නට තිබිය යුතුයි. ස්වංපෝෂිතව, මිනිසුන්ට ජීවත් විය හැකි, නිදහසේ හුස්මක් ගත හැකි, සමෘද්ධිමත් රටක් කියලා මැන බලන්නට පුළුවන් කමක් නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලය මර්දනය කරන්න ගතහැකි සෑම උත්සාහයක්ම ගන්නවා කියන පදනමක සිට, මේ රටේ අපරාධ මඩින්න යුක්තියේ නාමයෙන් දියත් කරගෙන යන මෙහෙයුම නවත්වන්න කියන පටු දේශපාලන මතවාදයක පක්ෂයක් විදිහට අපි නැහැ. නමුත් මෙම මෙහෙයුම දියත් කරන ආකාරය පිළිබඳ ගැටලුවක් අපට තිබෙනවා. මේ රටේ ජීවත් වන මිනිසුන්ට ඉතා සාධාරණව ජීවත් විය හැකි ක්‍රමය මොකක්ද කියන එක බලලා, මිනිසුන්ට අපරාධවලින් තොර රටක ජීවත්වීමට තිබෙන අයිතිවාසිකම තහවුරු කරන එක තමයි සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ විශ්වාසය මේ වනවිට බිඳවැටී අවසානයි.
ඔබ තවදුරටත් නීතිය කෙරෙහි විශ්වාසය තබාගෙන සිටිනවා නම්, අපි පක්ෂයක් විදිහට යම් පොරොන්දුවක් දෙන්න කැමතියි. නීතියේ ආධිපත්‍යය කියන එක, නීතිය ඉදිරියේ පුරවැසියන් සමානයි කියන එක, නීතිය සියලුම පුරවැසියන්ට සමානව සලකනවා කියන එක මිනිසුන්ගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කරනවා කියන එක සිදුවෙන්නේ විධිමත් අධිකරණ පද්ධතියකින් පමණයි. මිනිසුන්ට දඬුවම් පැමිණවීම සිදුකරන්නේත් විධිමත් අධිකරණ ක්‍රියාවලියකින් පමණයි. මේ කරුණු හතරෙන් නීතියේ ආධිපත්‍යය කියන එක වචනයකට පමණක් සීමා නොවුණු, ප්‍රායෝගිකව මහ පොළොවේ පැළ කරන්නට පුළුවන්නම්, ඒ ක්‍රියාදාමය තමයි අපට අවශ්‍ය. ඒ ක්‍රියාදාමය වර්තමානයේ සිදුවන්නේ නැතිනම් එය ‘යුක්තියේ මෙහෙයුම’ කියන නමට පමණක් සීමා වී ක්‍රියාත්මක වෙනවා නම්, අපි යම් විශ්වාසයක් මහජනතාවට දෙන්න කැමතියි. යම් ක්‍රම වෙනසක් හරහා ජනතාවගේ බලය විධිමත් ආකාරයෙන් මැතිවරණයකින් ලබාගැනීමෙන් පසු මහ පොළොවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න හැකි දැවැන්ත වැඩ බිම අපි සකස් කරමින් යනවා. නීතිය සහ මහජනයාට කිසිම බාධාවකින් තොරව සම්මුඛ වෙන්න පුළුවන් යාන්ත්‍රණයක් අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් හරහා බලාපොරොත්තු වෙන්නේ. නීතියත්, මහජනතාවත් අතර තිබෙන දේශපාලන අත පෙවීම් ඉවත් වුණුදාට තමයි ඇත්තටම මේ රටේ මහජනතාවට යුක්තියේ දෙවඟන කෙරෙහි විශ්වාසය තැබිය හැකි වන්නේ. ඒ නිසා යුක්තියේ නාමයෙන් කරන සෑම මෙහෙයුමකදීම අවසන් ප්‍රතිඵලය විදිහට පාලකයන්, නිලධාරීන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ මතවාදය වෙනස් කරමින්, මුලාවට පත්කරමින් දේශපාලන වාසි ලබාගැනීම නම් එය අසාර්ථකයි. මොකද මහජනතාව මීට වඩා දැනුම්වත්ව බුද්ධිමත්ව බලනවා. අපරාධවලින් තොර රටක් අපට අවශ්‍යයි. ප්‍රමාණාත්මක වෙනස්කම් තමයි ගුණාත්මක පරිවර්තනයක් ඇති කරන්නේ. නමුත් ඒ හරහා තවදුරටත් සිදුවන්නේ මහජනතාව පීඩාවට පත්වීමක් නම් සහ අපරාධ කිරීම් සාධාරණීකරණය වීමක් නම් අපි කිසිසේත්ම එයට එකඟතාවය ප්‍රකාශ කරන්නේ නැහැ.
“නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න පුළුවන් ජනතා කැමැත්තෙන් පත්වෙන මාලිමාවේ ආණ්ඩුවකින් පමණයි”
-නීතිඥ හර්ෂණ නානායක්කාර-
අපට මතකයි 1992 කාලයේ ඝාතන සංස්කෘතියක් තිබුණා. නාඳුනන තුවක්කුකරුවන් ආවා. අපරාධ සාමාන්‍යකරණයවීමේ ප්‍රවණතාවයක් තිබුණා. ඒ වගේම ඡන්දවලදී ප්‍රචණ්ඩත්වය නිසා පුද්ගලයන්ගේ ජීවිත නැතිවෙනවා අපි දුටුවා. නමුත් 2000න් පසුව එම සංස්කෘතිය යම් ප්‍රමාණයකට සමනය වුණා. මෑතකදී අපි දකිමින් තිබෙන්නේ දවසේ පුවත්පතක ඝාතන, මිනීමැරුම් කොපමණ සිදුවී තිබෙනවාද? රජයෙන්, පොලීසියෙන්, අත්වැරදීම්වලින් මෙහි තිබෙන භයානක තත්වය තමයි මිනිසුන්ගේ ඔලුවේ අපරාධය සාමාන්‍ය කරණයවීම හරහා මෙය ප්‍රශ්න කරන එක නවත්වනවා. එවිට මෙය සීඝ්‍රයෙන් තවත් වැඩිවෙනවා.
මේ වසර ඡන්ද වසරක්. “ඡන්ද කාලේ ඔහොම දේවල් වෙනවා” කියලා ජනතාව නිහඬව සිටීවි. එනිසා මෙම ඝාතන අපරාධ සමාන්‍ය දේවල් වීමට ඉඩ නොහැරිය යුතුයි. මේවා ආණ්ඩුවේ දේශපාලන සංස්කෘතිය විසින් ඇති කරන්නාවූ තත්වයන්. රටක වරදක් කළොත් අත්අඩංගුවට පත් වෙන්න ඕනෑ. ඔවුන්ට නඩු අසා දඬුවම් කරන්න ඕනෑ. අධිකරණ ක්‍රමවේදයෙන් පරිභාහිරව මිනිසුන් මැරෙන එක “හොඳයි, ඌ පාතාලයා, කුඩුකරයා” කියා නිහඬ වෙන්න එපා. මක්නිසාද? ඕගොල්ලන්ට ඇහෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ කවරු හෝ ඇමතිවරයෙක් කියන දෙයක්. උසාවියක නඩු අහලා වැරදිකාරයා වෙලා නොවෙයි. ඔහු වැරදිකරුවෙක් ලෙස හඳුන්වන්නේ කොහොමද? ඒ නිසා සාමාන්‍ය ජනතාවටත් විශාල වගකීමක් තිබෙනවා, සාමාන්‍යකරණය වීම වළක්වන්න, මැදිහත් වෙන්න. සෑම පුද්ගලයෙක්ම එකම නීතියට යටත් විය යුතුමයි. ඒ අනුව තමයි පොලිස් අමාත්‍යවරයාත්, දේශබන්දු තෙන්නකෝන් කරන ලද ප්‍රකාශයන් සහ ක්‍රියාකලාපයන් පිළිබඳ අපේ දැඩි විවේචනයක් තිබෙන්නේ.
මේ තත්වය නිර්මාණය කළේ මේ රටේ දේශපාලන සංස්කෘතියම තමයි. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා “මගේ කට වචනය තමයි සර්කියුලර් එක” කියලා. රනිල් වික්‍රමසිංහ ගිහින් “මේ පොස්ට් ඔෆීස් එක දෙනවාද? නැද්ද?” කියා තර්ජනය කරනවා. පොලිස් අමාත්‍යවරයා “ගැහුවොත් ගහන්න ඕනෑ” කියනවා. ඔවුන්ට රාජ්‍ය ආරක්ෂාව තිබෙනවා. කිසිවෙක් අත්අඩංගුවට ගන්න නිසි බලය තිබෙනවා. නමුත් මේ ආකාරයට කියන එකෙන් පහළට ගලන පණිවිඩය තමයි, “ඕගොල්ලෝ මොන වරද කළත්, මොන මානව හිමිකම් කැඩුවත් අපි රජයක් වශයෙන් බලාගන්නවා” කියන එක. අන්න එතකොට තමයි, නාරම්මල සිදුවුණු වගේ සිදුවීම් වෙන්නේ. මේක විවේචනය කළේ අපි විතරක් නොවෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය, මේක විවේචනය කර තිබුණා. ඒ වගේම පොලිස් කොමිසම විසින් දේශබන්දු පොලිස්පතිවරයාට කියා තිබෙනවා, ‘රටේ මිනිසුන්ගේ මානව හිමිකම් රැකෙන ආකාරයට’ කටයුතු කරන්න කියලා. අපි මේ එකකටවත් විරුද්ධ නැහැ. අපි කියන්නෙත් ජනතාවගේ අයිතීන් ආරාක්ෂා වෙන ආකාරයට නීතිය ස්ථාවර කරන්න කියලා. ඒ හැකියාව ජාතික ජන බලවේගයට තිබෙනවා. මොකද අපි බලයට එන්නේ මහජන කැමැත්තෙන්. මහජන කැමැත්ත නැතිව බලෙන් ඉන්න ආණ්ඩුවලට තමයි මෙවැනි මර්දනකාරී ක්‍රියාමාර්ගවලට එළඹෙන්න සිදුවෙන්නේ. ඒ නිසා අපේ සමාජය සුවපත් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අප සතුව තිබෙනවා.