Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් නිසැක ලෙසම ජනතාවට උරුම කර දෙනවා” -ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ කිරිබත්ගොඩ මහ රැලිය – 2024.08.18-)

Kiriathgoda-Public-Rally-Anura-Kumara-Dissanayaka

අපි බලයට පත්වුණාම රට ගොඩනගන්න ඉන්නේ කවුද කියල අපෙන් අහන අයට මේ වේදිකාවෙන්ම අපි උත්තර සපයා තියෙන බව ඔබට පේනවා. මෙතන ඉන්නේ ටිකදෙනෙක් පමණයි. බොහෝ මැතිවරණවල ජයග්‍රහණයේ දිසාව තීරණය කර තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයයි. සැප්තැම්බර් 21දා අනිවාර්යයෙන්ම ගම්පහ දිස්ත්‍රිකයෙන් අපි ජයග්‍රහණය කරනවා. අපේ ජයග්‍රහණයේ දිසානතිය දැන් පැහැදිලියි. මෙතෙනට පැමිණිලා ඉන්න දස දහස් සංඛ්‍යාත ඔබ මේ රැලියට සහභාගි වෙන්නේ ස්වේඡාවෙන්. අනික් පක්ෂවල වගේ නෙවෙයි. මේකම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයක්. කන්න දීලා, බොන්න දීලා, සල්ලි දීලා, රවට්ටලා ගෙන්නපු කිසිකෙනෙක් මෙතන නැහැ. මේව තමයි ඒගොල්ලන්ගෙයි අපෙයි වෙනස.

ඒ ගොල්ලො මෙතෙක් කල් ඡන්දෙ ගත්තේ ඒ ක්‍රමයට. ඡන්දෙ කාලෙ ආපු ගමන් මාස දෙකක් විතර ඒ ගොල්ලො ජනතාවට වැඳගෙන එනවා. ඡන්දෙ ගත්තට පස්සෙ අවුරුදු 05ක් ජනතාව ඒගොල්ලන්ට වැඳගෙන වහල්ලු වගේ ඉන්න ඕනෑ. මේක තමයි දිගටම සිද්ධ වුණේ. දැන් ඔන්න ඒ ගොල්ලො ඔබලාට වැඳගෙන එන කාලෙ. මම දැක්ක සජිත්ගේ නංගී නිහතමානිකම පෙන්නන්න අම්ම කෙනෙකුගේ හැට්ටේ කට්ටක් ගහල වීඩියෝ කරල දාලා තියෙනවා. තව අම්ම කෙනෙක් ගාවට ගිහිල්ල එයාට සාරිය අන්දනවා. මේක කියන්නත් හොඳ නැහැ. මට නම් ඒ පවුල ගැන මොකක්දෝ හිතෙනවා. නැත්නම් මෙහෙම විකාර කරයිද?

මේ කිරිබත්ගොඩ නගරය කාලයක් කප්පම් දේශපාලකයන්ගේ රජ දහන බවට පත්වෙලා තිබුණා. ව්‍යාපාරිකයන් ව්‍යාපාරයක් කරන්න බයයි. පළාතේ මන්ත්‍රීට කප්පම් දෙන්න ඕනෑ. පෙට්ටි කඩයක් දානව නම් ඒකටත් කප්පම් දෙන්න ඕනෑ. ව්‍යාපාරයකට ගොඩනැගිල්ලක් හැදුවොත් ඒකටත් කප්පම් මාස්පතා කප්පන් දෙන්න ඕනෑ. අද මේ රැස්වෙලා ඉන්නේ වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ ඒ කප්පම් දේශපාලනය වෙනස් කරලා රට අලුත් මාවතකට ගෙනයන්න අදිටන් කරගත් ජනතාවක්.

Kiriathgoda-Public-Rally-Crowd

මම එක සහතිකයක් දෙනවා, මේ කිරිබත්ගොඩ නගරයේ ව්‍යාපාරික ප්‍රජාවට. ඔබ පළාතේ මන්ත්‍රීට කප්පම් ගෙවමින්, එයාට බියෙන් ගතකරපු කාලය මේ සැප්තැම්බර් 21 දිනෙන් පසු අපි අනිවාර්යෙන්ම අවසන් කරනවා. ඔබේ ව්‍යාපාර කිරිබත්ගොඩ නගරයෙනුත් එහාට ව්‍යාප්ත වෙන්න ඕනෑ. අන්න ඒ සඳහා පහසුකම් සපයන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගය නිර්මාණය කරන්නේ.

රනිල් එයාගේ අනුරාධපුර රැලියේදී පරණ වමේ සටන් පාඨයක් කියල, මේවට උත්තර දීපියෝ කියල අපිට කියනවා. මම එක උත්තරයක් දෙන්නම්. මහ බැංකු වංචාවට සම්බන්ධවෙලා අධිකරණයෙන් රතු වරෙන්තු නිකුත් කර සිංගප්පූරුවට පැනල ගිය අර්ජුන මහේන්ද්‍රන්ව අපි ලංකාවට ගේනවා. අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවේ කටඋත්තරයක් දුන්නා, බැඳුම්කර ගනුදෙනුවේදී රනිල් වික්‍රමසිංහ එහෙම කරන්න කියල තමන්ට උපදෙස් දුන්නා කියලා. මහ බැංකු ගනුදෙනුව පිළිබඳව ජනාධිපති කොමිසමෙත් ඔහු ඒ කටඋත්තරයම දුන්නා. බැඳුම්කර මිලදී ගැනීමේ පටිපාටිය වෙනස් කළේ නීතියකින් නොවේ. රනිල්ගේ කට වචනයකින්. ඒ වගේම බැඳුම්කර ගනුදෙනුව හොර වැඩක් නොවෙයි කියල, පොතක් ලියන්න දැන් සජීත් ළඟ ඉන්න සුජීව සේනසිංහට රු. ලක්ෂ 30ක් දුන්නැයි කියල අර්ජුන ඇලෝසියස් එයාගේ කටඋත්තරයෙන් කියනවා. ඒ නිසා රනිල්වයි, සුජීව සේනසිංහයි දෙන්නවම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අපි උසාවියට ගෙන්වනවා.

ඒ දවස්වල බැඳුම්කර වංචාව ගැන කෝප් කමිටුවේ හෙළිකරපු අපේ හඳුන්නෙත්ති සහෝදරයට ඔය දැන් සජබ වේදිකාවේ ඉන්න සමහරු බරපතළ තර්ජන පවා කළා.

දැන් අහනව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මෙහෙයවන්නේ කවුද කියලා. අපිට අත්දැකීම් නෑලු. ඔව්. අලුත් අය, නැවුම් අය තමයි අපේ ආණ්ඩුව මෙහෙයවන්නේ. නමුත් ඒ ඒ විෂයපථ පිළිබඳව විද්‍යාත්මක දැනුම, අවබෝධය, අත්දැකීම් තියෙන අය. අපෝ ඔය ගොල්ලන්ගේ අත්දැකීම්, පලපුරුද්ද නම් අපට එපා. ඒවා මුළු රටම දන්නව නේ. අපි ළඟ ඉන්නේ අවංකභාවය තියන අය. හොරකම් නොකරන අය. අන්න එහෙම පලපුරුද්ද තිබෙන අය. දැන් ජාතික ජන බලවේගයේ රට මෙහෙයවන කණ්ඩායම දැකල රනිල්ලගේ, සජිත්ලගෙ පැතිවල ඉන්න අය බය වෙලා.

Kiriathgoda-Public-Rally-Crowd

අපත් සමග ඉන්නේ ඒ ඒ විෂයන් පිළිබඳ හසල දැනුමක් තියෙන, අත්දැකීම් තියෙන, ඒ ඒ විෂයන් පිළිබඳ ඒවායේ ලෝක මට්ටමේ නව ප්‍රවණතා පිළිබඳ, නව දැනුම් පද්ධති පිළිබඳ පර්යේෂණ කරන, අලුත් දැනුම අපේ රටට ගේන උසස්ම ගණයේ විද්වතුන්. කප්පන් ගන්න එක, හොරකම් කරන එක අන්න ඒ දැනුම, අත්දැකීම් තියෙන අය ඒගොල්ලන්ගේ පැත්තේ ඉන්නවා. අපි ළඟ ඉන්නේ බුද්ධිමත්ම කණ්ඩායමක්. අපි අර සජිත් වගේ ඒ ගොල්ලන්ට වගකීම් පවරන්නේ එකිනෙකාට හොරෙන් කණට කරල තනි තනියෙන් රහස් කියලා නොමෙයි. එකම ඇමතිකම එකිනෙකාට හොරෙන් හතර පස් දෙනෙකුට දෙනව කියල කණට කරලා පොරොන්දු වෙලා නොවෙයි.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කියන්නේ මහජනයාගේ දේපළ සාංඝීක දේපළ වගේ ආරක්ෂා කරන ආණ්ඩුවක්. අපි බලය ගත් වහාම ජනතාව වෙනුවෙන් ඉටුකරන කටයුතු කිහිපයක් තියෙනවා. ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර, තෙල්, විදුලිය, ගෑස්, ඖෂධ ඉතාම සාධාරණ මිලකට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. දරුවන්ගේ පාසැල් උපකරණවල බදු මුළුමනින්ම අහෝසි කරනවා. දිළිඳු පවුල් සඳහා අවමය රු. 10,000ට යටත්ව දීමනාවක් මාසිකව ලබා දෙනවා. එය රු. 10,000 සිට 20,000 දක්වා පරාසයක ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

පාතලය ශුද්ධ කර ඔබට ඔබේ දරුවාට රටේ ව්‍යාපාරිකයන් ඇතුළු සියලුම පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් නිදහස් රටක් අපි බලය ගෙන කෙටි කලකින්ම නිර්මාණය කරනවා. අපරාධ හෙළිදරව් කරගැනීමේ, මැඩලීමේ, තුරන් කිරීමේ, අත්දැකීම් බහුල විශේෂඥ කණ්ඩායමක්ද දැන් අප සතුයි.

සියලුම ක්ෂේත්‍රවලින් නව මාවතක, දියණු මාවතක රට ගෙනයාමට සියලු සැලසුම් මේ වනවිටත් අප සකස් කර හමාරයි. පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් අනිවාර්යෙන්ම අපි ඔබට උරුමකර දෙනවා. ඒ සඳහා රට ජාතික ජන බලවේගයට බාරදීමට මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජනතාව දැනටමත් තීරණය කර හමාරයි. දැන් ඔබ ඇස් ඉදිරිපිටම දිස්වන්නේ මාලිමාවේ නියත ජයග්‍රහණයයි.

Kiriathgoda-Public-Rally-Nadee-Kammallaweera

“තව සති කිහිපයකින් මේ රට නිදහස් රටක් වෙන බව දැනෙන එක සතුටක්”
-ප්‍රවීණ රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර-

මම අවුරුදු ගණනාවක් විදේශගතවෙලා ඉන්න කොට විටින් විට ලංකාවට ආවා. මට එහිදී මගේ රට ගැන, මගේ ජනතාව ගැන ඇති වුණේ විශාල කණගාටුවක්, වේදනාවක්. මගේ රටේ මිනිසුන්ගේ කඩා වැටුණු ජීවිත දිහා දකින කොට තමයි මට ඒ වේදනාව දැනුණෙ. මේ රට මෙපමණ කල් මේ දේශපාලුවන්ට කාබාසිනියා කරන්න ඉඩදීලා රටේ ජනතාව බලන් හිටියෙ ඇයි කියල මට මා තුළම කම්පනයක් ඇති කළා. නමුත් මෙවර මම දැනට සතියකට පමණ පෙර ලංකාවට ආ විට මගේ හදවතට දැනුණේ පුදුම සුවයක්. තව සති කිහිපයකින් මේ රට නිදහස් රටක් වෙන්න යන බව, නව මාවතකට පිවිසෙන්න යන බව, දැනුන නිසා තමයි මට ඒ සතුට, සුවය දැනුණෙ.

මම අහල තියෙන කියමනක් තියෙනවා, කිසියම් තත්වයක් නරක තත්වයකට හැරෙනකොට එම නරක තත්වය උපරිමයටම, විනාශයේ මුවවිටටම ළඟාවෙනව කියලා. අන්න එතනින් තමයි ඒක වෙනස් කිරීමේ හැරවුම් ලක්ෂය පටන් ගන්නෙ කියලා. මම හිතන්නේ අපේ රටේ අපි දැන් සමාජයක් විදියට ඉන්නෙ එවැනි තැනක. අපිට රටක් විදියට මීට වඩා වැටෙන්න තැනක් නැහැ. ගිලෙන්න අන්ධකාරයක් නැහැ. ලෝකයා ඉදිරියේ මීට වඩා අවමානයක් අසරණ බවක් ලබන්න දෙයක් නැහැ. පසුගිය දශක හතරක වගේ කාලය දෙස බලන විට මගේ හිතට එන්නේ අහිමි වීම, විනාශය, කඩාවැටීම මිනිස්කම නැතිව යාම, සූරාකෑම, ලේ හැලීම් වැනි දේවල්.

අපේ රටේ අවුරුදු 30ක යුද්ධයක් දක්වා මේ රට අරගෙන යන්න කළු ජූලිය නිර්මාණය කරපු පාලකයො තමයි ඊට පෙරමුණ ගත්තේ. එදා එ.ජා.ප. ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් තමයි අපේ රටේ වත්මන් ජනාධිපති. යාපනයෙ පුස්තකාලය ගිනි තැබීමට වගකිව යුතු එක් පුද්ගලයෙකු වන්නේද ඔහුයි. 1988 – 1989 කාලයේ අපේ රටේ තරුණ ජීවිත දස දහස් ගණනක් අපිට අහිමි කළා. උතුරෙත් දකුණෙත් ලක්ෂ ගණනක තරුණ ජීවිත මේ පාලකයො රටට අහිමි කළා. යුද්ධයෙන් නැතිවුණේ දේපොළ හා ජීවිත පමණක් නොවෙයි. අපේ රටේ මිනිසුන්ගේ හෘදය සාක්ෂියත් නැතිව ගියා. ජාතින් අතර සහෝදරත්වය මනුෂ්‍යත්වය අපිට අහිමි කළා. කීපවතාවක් මේ රටේ ම්ලේච්ඡ පාලකයො තම දුෂ්ට අරමුණු වෙනුවෙන් ජාතිවාදය අවුස්සලා මිනිස් ජීවිත විනාශ කරල තිබෙනවද? අවසානයේ රට නිල වශයෙන්ම බංකොලොත්භාවයට පත්කළා.

සියල්ල විකුණාගෙන කන රටක් අපිට මේ පාලකයො උරුම කළා. මගේ ජීවිත කාලයට සමානව මේව තමයි අපි අත්දැකලා තිබෙන්නෙ. එක රටකට, එක මනුෂ්‍ය සමාජයකට දිගින් දිගටම මේ තරම් විනාශයන් සිදුවෙන එක ගැන ඔබට පුදුම හිතෙන්නෙ නැද්ද? මගේ මුළු ජීවිත කාලය පුරාම මේ රට පාලනය කරල තිබෙන්නෙ මේ රට විනාශ කළ පාලකයො. මෙතරම් විනාශයක් කළ මේ පාලකයො නැවත නැවතත් ඔබලාගේ ඡන්දය ඉල්ලන්න එනකොට, මට හිතෙනව මනුෂ්‍ය සමාජයක් විධියට අපේ සමාජය පරිණාමය වෙලා නැද්ද කියල. ඇයි මේ තරම්ම අපේ රටේ මිනිස්සු ඔවුන්ට ඉඩදීලා මෙච්චර කල් බලන් හිටියේ? දැන් මට හිතෙනවා, ළඟදීම අපිට ඒකට උත්තරයක් ලැබෙන්න යනව කියලා; දැන් අපේ රටේ මිනිස්සු මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් නිර්මාණය කරගන්න පුල පුලා බලා ඉන්නවා කියලා. ඒ නිසා තමයි ජාතික ජන බලවේගය වටා මෙතරම්ම ජනතාව රොද බැඳගන්නෙ.

Kiriathgoda-Public-Rally-Vijitha Herath

“ඇමතිලා පැටව් ගහන එක ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ අවසන්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්-

ආර්ථිකය හදපු ඔස්තාර් කියන රනිල් වික්‍රමසිංහට, බිත්තරයේ මිලවත් අඩුකරගන්න බැරිවෙලා. ඒ විතරක් නෙවෙයි ලංකාවෙ කිකිළියො දාපු බිත්තරෙත් රනිල් ආවට පස්සෙ නතර වුණා. දැන් ඒ බිත්තර ගේන්නෙත් ඉන්දියාවෙන්. ඔන්න මහා ආර්ථික ඔස්තාර්ලගෙ කෙරුවාව. රුපියල් 80ට තිබුණ ලාම්පු තෙල් ලීටරය අද රුපියල් 202කයි. රුපියල් 108ට තිබිච්ච ඩීසල් ලීටරේ අද රුපියල් 317යි. බස් ගාස්තු වැඩි කළා. ත්‍රීවීලර් ගාස්තු වැඩි කළා. දුම්රිය ගාස්තු වැඩි කළා. ජීවත්වෙන්න බැරි තත්වයකට අපේ රටේ ජනතාව ඇදල දැම්මා. මේ තමයි අවුරුදු 76ක පම්පෝරියේ ශේෂ පත්‍රය. ආර්ථිකය හැදුව නම් රටේ ණය බර වැඩිවෙන්න ඕනිද? ඩොලර් බිලියන 82ට තිබුණු ණය කන්ද බිලියන 100ට වැඩිවෙලා. මුළු රටම බංකොලොත් කරලා. අද රනිල්ල තවමත් තළු මර මර කියනවා, ඒගොල්ලා ආර්ථිකය හැදුවලු. දැන් නැවත බලය දෙන්නලු. මේ කැළණියෙ, කිරිබත්ගොඩ, ගම්පහ දිස්ත්‍රික්කයෙ වගේම මුළු රටේම ජනතාව ආයෙත් ඒ පම්පෝරිවලට රැවටෙන්නෙ නැහැ. ඒ කාලෙ ඉවරයි.

ඊළඟට දැන් අර කුණුවෙච්ච මැති ඇමතිවරු ලාභෙට කුණු මාළු කෑලි ගාණට විකිණෙන්න පටන් අරන්. ගම්පහ නාලක ගොඩහේවා එදා ජාතිවාදය අවුස්සලා දිස්ත්‍රික්කයේ මනාපවලින් පළවෙනියා වුණා. අද කිසිම හිරිකිතක් නැතිව සජිත්ගෙ දෙපා ළඟ වැටිලා දෙපතුල ලෙවකනවා. මේක ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කරපු ලොකුම අගෞරවය නොවෙයිද? කප්පම් ප්‍රසන්නලා, මේ කැළණියේ මිරිස්කුඩු ප්‍රසන්නලා එදා කිවුවෙ මොනවද? රනිල් කියන්නෙ මහා බැංකුව කඩපු හොරා, වහාම අත්අඩංගුවට අරන් හිරේ දාන්න ඕන කියලා. මේ කිරිබත්ගොඩම රැස්වීමක් තියල කිවුවා නේද? රනිල්වයි, අර්ජුන මහේන්ද්‍රන්වයි ගෝල්පේස් පිට්ටනියට ගෙනිහින් උල තියනව කිවුවා. ඉතින් ජනතාව පෝලිමේ ගිහිල්ල ගිහිල්ල නාලක ගොඩහේවලට, කප්පම් ප්‍රසන්නලට, මිරිස්කුඩු ප්‍රසන්නලට තොග පිටින් කතිරෙ ගැහැව්වා. දැන් මේ හැත්ත බුරුත්තගෙන් එක පළුවක් රනිල්ගෙ ඔඩොක්කුවේ. තව පළුවක් සජිත්ගෙ ඔඩොක්කුවෙ. කොහොම ගියත් පළුදෙක දෙපැත්තෙ. දැන් තලතා අතුකෝරල කියනවලු, මට දැන් කොයි පැත්තවත් ගන්න විධියක් නැහැ. එක පැත්තක අපේ නායකයා. අනෙක් පැත්තෙ අපේ උප නායකයා කියලා.

දැන් පනින එවුන් ඔක්කොම කියන්නෙ ඒ පනින්නෙ රට වෙනුවෙන් කියල. ඒ නිසා දැන් රට කියන වචනයට සමාන තව අලුත් වචනයක් ඇවිල්ලා. ඒ කියන්නෙ රට සමානයි බඩ. චම්පික පනින්නෙත් රට වෙනුවෙන්. ප්‍රසන්න පනින්නෙත් රට වෙනුවෙන්. දයාසිරි පනින්නෙත් රට වෙනුවෙන්. නමුත් ඇත්ත මොකක්ද? ඔය ඔක්කොම පනින්නෙ බඩ වෙනුවෙන්. චම්පිකලා පිමි 18ම පැනලා දැන් බලනව සජිත්ගෙ ඇඟේ එල්ලිල හරි පාර්ලිමේන්තුවට යන්න පුළුවන්ද කියලා. මිනිහ තනියෙන් පක්ෂයක් හදාගෙන රජවෙන්න ගිහිල්ල අන්තිමට නාගත්තා. ඊළඟට රනිල් ළඟට ගියා. අපිට ආරංචියක් තියෙනව කොළඹින් අපේක්ෂකත්වය ඉල්ලුව කියලා. රනිල් කිව්වලු බැහැ, කොළඹට මගෙ යාළුවා සාගල ඉන්නවා. ඕන නම් ගම්පහෙන් දෙන්නම් කියලා. මිනිහ දන්නව ගම්පහට ගියොත් අනාථ වෙනවා. අනේ අන්තිමට සජිත්ගෙ පිළිසරණ පතා ගියා. ජාතිවාදය අවුස්සල, ආගම්වාදය අවුස්සලා, රට වනසපු ගොඩක් අය දැන් ඉන්නෙ සජිත්ගෙ පිලේ. සමහර නම් කියන්නත් හිරිකිතයි. සමහර අයට එහෙම පනින්න පටන් ගන්නෙ කවදාද, කොතනින්ද කියල ඒ අයටම මතක නැහැ. එච්චර වාර ගණනක් එහාට මෙහාට පැනලා. දැන් සජිත් ළඟට පැනපු කට්ටිය අපිට බැනල සජිත්ගෙන් ලකුණු ගන්න හදනවා.

මේ අය අපේ රටේ දේශපාලන සංස්කෘතිය විනාශ කළා. මේ පනින පැනිල්ල ලබන මස 21න් පසු අපි නතර කරන එක නතර කරනවා. පැන්නොත් මන්ත්‍රීකම නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපි ඒ වගන්තිය ගේනවා. සැප්තැම්බර් 21න් පස්සෙ ජනාධිපතිගෙ සිට මැති ඇමතිවරුන් දක්වා හිමිවන්නෙ සාමාන්‍ය පුරවැසියාට තිබෙන අයිතියම පමණයි. අර හොරු, දූෂිතයො, අපරාධකාරයො ඉන්න සන්ධානවලට බලය දීල, ඒක කවදාවත් ඉටුවෙන්නෙ නැහැ. දැන් සජිත්, සුජීව සේනසිංහව වම් පැත්තෙ තියාගෙන කියනවා පනින උන්ට ඇමතිකම් දෙන්නෙ නෑලු. හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දෙනවලු. අපි ළඟ ඉන්නෙ පිරිසිදුම අයලු. මතකද ඔබලාට මහ බැංකු කොල්ලය. එහෙම එකක් වුණේ නැහැ කියල ‘පර්පචුවල් ටේ‍රෂරීස්’ එකෙන් රුපියල් ලක්ෂ 30ක් අරගෙන රනිල්ව රකින්න පොත් ලියපු සුජීව සේනසිංහව අතේ මාට්ටු වුණා. එතකොට රිසාද්ට, චම්පිකට, හකීම්ට ඇමතිකම් දෙන්නෙ නැද්ද? මේව නිකං ජනතාව බබ්බු කියල හිතල කියන කථා. ඔය පැනපු අය සතුටු කරන්න ඇමතිකම් දෙන්න ගියොත් ආපහු එන්නෙ සිය ගණනක ඇමති මණ්ඩලයක්. අපි සජිත්ට අභියෝග කරනවා ඔය පැනපු අය ගන්නකොට ගහපු අවබෝධතා ගිවිසුම් හැකි නම් මේ රටේ ජනතාවට පෙන්වන්න කියලා. මේ කට්ටිය කලින් හිටියේත් සජිත් ළඟම තමයි. අලුතෙන් එන්න දෙයක් නැහැ. නැවත නම් මේ රටේ ජනතාව රනිල්ලට හෝ සජිත්ලට චාන්ස් දෙන්නෙ නැහැ.

ඇමතිල පැටව් ගහන එක සැප්තැම්බර් 21න් පසු බලයට එන ජාතික ජන බලවේගයේ පාලනය යටතේ අපි නතර කරනවා. අපේ ආණ්ඩුවේ ඉන්නේ ඇමති මණ්ඩලය 25යි. නියෝජ්‍ය ඇමතිල 25ක් විතරයි. ඒ සංස්කෘතිය අපි රටට හඳුන්වල දෙනවා. මේ පාලකයන් හොරකම් කරපු වත්කම් නැවත පවරගන්න අපේ පාලනයක් යටතේ අපි “රාජ්‍ය වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය” වහාම පිහිටුවනවා. හැම දිස්ත්‍රික්කයකම දූෂණ විමර්ශන ඒකකයක් පිහිටුවලා දූෂණය, නාස්තිය, මුළුමනින්ම නතර කරන යාන්ත්‍රණයක් රට පුරා ක්‍රියාත්මක කරනවා. ඒකට ඕන වුවමනාව විතරයි. දූෂණ, වංචා නඩු මාස 06ක් ඇතුළත විභාග කරලා ඉක්මනින්ම ඒවාට අදාළ නීතිමය පියවර අනිවාර්යෙන්ම ගන්නා බවට සහතික වෙනවා. නීතිය ක්‍රියාවට නගන නිලධාරීන්ට ස්වාධීනව තම කාර්ය කරගෙන යාමේ වාතාවරණය අපේ පාලනයක් යටතේ අනිවාර්යෙන්ම සලසා දෙනවා. ඒ සඳහා අදාළ නිලධාරීන්ට පහළම පොලිස් නිලධාරියාගේ සිට උසස්ම නිලය දක්වා ඉහළම වැටුප්, දේශපාලන අතපෙවීම්වලින් තොරව සුදුසුකම් මත උසස්වීම්, නිලයට අවශ්‍ය අනිකුත් වරප්‍රසාද ආදී සියල්ල කිසිදු බාධාවකින් තොරව අත්විඳිය හැකි පාලනයක් අපි නිර්මාණය කරනවා. එවිට කාටවත් පගාගන්න හොරකම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ආර්ථිකය ගොඩනැගීමේදී කුඩා පරිමාණ ව්‍යවසායකයාගේ සිට මහා පරිමාණ ව්‍යවසායකයා දක්වා දේශපාලන සහ අවශේෂ බාධාවලින් තොරව නීත්‍යානුකූල ලෙස තම ව්‍යාපාර කරගෙන යාමේ පහසුම සහ හොඳම වාතාවරණයක් අපි රට තුළ ස්ථාපිත කරනවා. ලංකාවේ නිපදවිය හැකි දේවල් අපි මේ රටේම හදමු. ඒවාට අවශ්‍ය නිෂ්පාදකයෝ මේ රටේ ඉන්නවා. ඒනිසා අපි මුළු රටම එකතු වෙලා නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනගමු. අපි එක සහතිකයක් දෙනවා. ඔබේ ව්‍යාපාර ශක්තිමත් කරගන්නා තුරු, අපි ඔබට ආධාර කරන්න අලුත් සහන බැංකුවක් රට තුළ ස්ථාපිත කරනවා. රටේ ආර්ථිකය ගොඩනගන කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන සැලසුම් අපි දැනටමත් සකස්කර හමාරයි. අපි එකතුවෙමු. රට ගොඩනගමු. අලුත් රටක් නිර්මාණය කරමු.