(-‘රට අනුරට’ ජාතික ජන බලවේගයේ කින්නියා විජයග්‍රාහී රැලිය – 2024.08.28-)
කාලය ගොඩක් ගෙවී ගිහින් තිබෙන නිසා දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු නොවුණත්, අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න ඕනෑ. සැප්තැම්බර් මාසයේ 21 වැනිදාට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න පුළුවන්. අපට ඕනෑකම තිබෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාගේ විශ්වාසය දිනා ගත් ආණ්ඩුවක් හදන්න. සිංහල ජනතාව බහුතරයකගේ කැමැත්තෙන් විතරක් ආණ්ඩුවක් හදලා වැඩක් නැහැ. ඔබ සැමගේත් සහයෝගය අවශ්‍යයි. පසුගිය කාලයේ අපේ රටේ තිබුණේ ජාතිවාදී දේශපාලනය. දකුණේ මුළුමනින්ම සිංහල ජාතිවාදය ජයග්‍රහණය කරනවා. ඊට ප්‍රතිපක්‍ෂව නැගෙනහිර මුස්ලිම් ජාතිවාදය උත්සන්න වෙනවා. ඒ වාගේම උතුරේ ජාතිවාදයකුත් පෝෂණය වෙනවා. ජනතාව අතර ජාතිවාදයක් නොතිබුණත්, එක් ජාතිවාදයක් විසින් අනෙක් ජාතිවාදය පෝෂණය කරන දේශපාලනයක් ගෙන යන්න පාලකයන් උත්සාහ කළා. 2019 ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කරන්න ප්‍රධාන සාධකය වෙන්නේ ජාතිවාදය. 2015 පැරැදුණු රාජපක්‍ෂලා නැවත නැගීසිටියේ වංචාව, දූෂණය, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතික සමඟිය වැනි කරුණු සාකච්ඡා කරමින් නෙමෙයි. ඔවුන් රාජ්‍ය අනුග්‍රහයෙන් මුස්ලිම් ජනයාට එරෙහිව දේශපාලන ව්‍යාපෘතියක් පටන් ගත්තා. වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා පිළිබඳ ප්‍රචාරයන්ගෙන් පස්සේ පාස්කු ප්‍රහාරය එල්ල කළා. 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල කළ දිනයේම ගෝඨාභය ජයග්‍රහණය කරන බව සහතික කෙරුණා. ඒ ජාතිවාදය නිසයි.
කොවිඩ් වසංගතයෙන් මිනිසුන් මිය ගියාම ලෝකයේ අනෙකුත් රටවල ආදාහනය සහ භූමදානය දෙකම කරන කොට ලංකාවේ ආණ්ඩුව විතරක් ආදාහනය පමණක් කිරීමේ තීන්දුවක් ගත්තා. ජාතිවාදීව හදන ආණ්ඩු වැඩ කරන්නෙත් ජාතිවාදීවයි. ඔබ සැමගේ ආගම අනුව ඔබගේ ඥාතියකු මිය ගිය විට අවසන් කටයුතු කිරීම ජීවත් වන අයගේ වගකීමක්. නමුත්, ආගමට පටහැණිව ආදාහනය කරන්න ඔබලාට සිදු වුණා. සමහර තැන්වල කොවිඩ් වසංගතයෙන් මිය ගිය ඉස්ලාම් භක්තිකයන් ආදාහනය කරන්න වෙයි කියලා හැංගුවා. ජාතිවාදය විසින් හදන ආණ්ඩු ජාතිවාදීව මේ ලෙස ක්‍රියා කිරීමෙන් තවදුරටත් වේදනාවල් ගෙන දෙනවා. ඒ නිසා ජාතිවාදයට යටත් නොවන ජාතිවාදය න්‍යාය පත්‍රය බවට පත් කර නොගත් ආණ්ඩුවක් හදන්න ඕනෑ. පොහොට්ටුව කියන්නේ ජාතිවාදයේ එකතුවක්. දැන් ඒ පොහොට්ටුව පුංචි කෑල්ල මහින්ද එක්ක. තව කොටසක් රනිල් එක්ක. ඉතිරි කොටස සජිත් ප්‍රේමදාස එක්ක බෙදිලා ඉන්නේ 2019දී මුස්ලිම් විරෝධී කටයුතු කළ අයයි. මුස්ලිම් විරෝධී ආණ්ඩුව තුළ සිටි අය දැන් රනිල්, සජිත්, නාමල් වශයෙන් තුනට බෙදිලා ඉන්නවා. සජිත් ප්‍රේමදාස නැගෙනහිරට එන කොට චම්පික රණවක හංගලා එන්නේ හකීම් එක්ක. නමුත්, දකුණට යන්නේ චම්පිකත් එක්ක. මාතරට හකීම් එක්ක හෝ රිෂාඩ් එක්ක යන්නේ නැහැ. එහෙ යන්නේ චම්පික, තිලංග සුමතිපාල, නාලක ගොඩහේවා වාගේ අයත් එක්ක. එතැන දෙබිඩිකමක් නැද්ද? මහරගම ජාතිවාදී වේදිකාවේ චම්පිකලා, තිලංගලා එකට නැඟ හිටියා. ඒ දෙන්නාම අද සජිත්ගේ වේදිකාවේ. ඉතිහාසයේ විවිධ අවස්ථාවල ජාතිවාදී දේශපාලනය කර තියාගෙන ගිය කට්ටිය තුනට බෙදිලා.
ඉතිහාසයේ කිසිම අවස්ථාවකවත් ජාතිවාදය තමන්ගේ දේශපාලනයට පාවිච්චි නොකළ එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. ඔබ ඇත්තටම ජාතිවාදයට විරුද්ධ නම්, තෝරා ගන්න තිබෙන්නේ ජාතික ජන බලවේගය විතරයි. ජාතිවාදයට විරුද්ධයි කියලා චම්පික, සජිත් එක්ක නැත්නම්, රනිල්ට කතිරය ගහන්න දෙබිඩි පිළිවෙතක් එපා. ජාතිවාදයට එරෙහි ජාතික සමගිය පිළිබඳ ආණ්ඩුවක් ඕනෑ නම්, ඔබ කතිරය ගහන්න ඕනෑ ජාතික ජන බලවේගයට විතරයි.
දකුණේ සිංහල බහුතර ජනතාවක් මාලිමාවත් එක්ක. දකුණ, සබරගමුව, බස්නාහිර, උතුරු මැද, මධ්‍යම, වයඹ වාගේ සෑම පළාතකම බහුතර ජනතාව අප වටා එක් වී සිටිනවා. ඒ අය අපෙන් අහන්නේ “සහෝදරයා, නැඟෙනහිර කොහොම වෙයිද” කියලා. රටම එක විදියට එන කොට නැඟෙනහිර විතරක් වෙන පාරක යනවාද? ඔබලාට අපි ආරාධනා කරන්නේ මේ සැරේ ජාතික ජන බලවේගය තෝරා ගන්න කියලයි. නියමිතව තිබෙන්නේ ජනාධිපතිවරණය. ඒ වෙලාවේදී ජාතික ජන බලවේගයට ඡන්දය දී, මහා මැතිවරණය ආවාම ඔබ කැමැති, ඔබගේ පළාතට ඕනෑ මන්ත්‍රී කෙනෙක් පත් කර ගන්න. හැබැයි, ඒ තෝරා ගන්න කොටත්, හරියට තෝරා ගන්න. 2019දී මුස්ලිම් කොන්ග්‍රසයට කතිරය ගහලා තවුෆික් පාර්ලිමේන්තුවට යැව්වා, හාරිස් පාර්ලිමේන්තුවට යැව්වා, ෆයිසර් කාසිම් පාර්ලිමේන්තුවට යැව්වා. ගෝඨාභය පරාජය කරන්න කියලා ඡන්දය ඉල්ලපු අය. පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය ගෙන ආවේ ගෝඨාභයගේ බලය වැඩි කරන්න. ගෝඨාභයට විරුද්ධව ඔබලා ඡන්දය දුන්නත්, ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගිහින් ගෝඨාභයගේ බලය වැඩි කරන්න ඡන්දය දුන්නා. ජනාධිපතිවරණයේ දී අපට ඡන්දය දී පරණ දේවල් හොයලා බලලා පාර්ලිමේන්තු මැතිවරණයකදී ඔබලා කැමැති නායකයකුට ඡන්දය දෙන්න. අනෙක් පක්‍ෂවල අයට ප්‍රතිපත්ති නැහැ, කරුණු නැහැ. ඒක නිසා මඩ, අවලාද නඟනවා. සිංහල ප්‍රදේශවලට අපි ගිහින් ආවාම පෙරහැර නතර කරන බව සජබයේ කට්ටිය කියනවා. සමහර හාමුදුරුවන් වහන්සේලාත් කියන්නේ අපි ආවාම දානය නතර කරනවා කියලා. සිංහල ජනතාවට ඒ විදියට කියලා මුස්ලිම් ප්‍රදේශවලට ආවාම කියන්නේ අපේ ආණ්ඩුවක් යටතේ ඔබලා පස් වතාවක් වඳින එක නතර කරනවාලු. ව්‍යාපාර කරන්න දෙන්නේ නැහැලු. රැවුල වවන්න දෙන්නේ නැහැ කියනවා.
මේ වාගේ අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු පතුරුවනවා. හකීම් ඔය වාගේම කතාවක් කියලා තිබුණා. මම කීවාලු, “මුස්ලිම් අම්මලාගේ ගර්භාෂයේ ත්‍රස්තවාදය ඇති වුණා” කියලා. මම කියන්නේ හැමදාමත් ජාතිවාදය කියන ගර්භාෂයේ ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා. සිංහල ජාතිවාදය කියන ගර්භාෂය ඇතුළේ ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා. මුස්ලිම් ජාතිවාදය කියන ගර්භාෂය ඇතුළේ මුස්ලිම් ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා. දෙමළ ජාතිවාදය කියන ගර්භාෂය ඇතුළේ දෙමළ ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා. මේ විදියට කරුණු කියන කොට හකීම් කියනවා, මුස්ලිම් අම්මාගේ ගර්භාෂය ඇතුළේ ත්‍රස්තවාදය ඇති වුණු බව මම කීවාලු. මම සිංහලෙන් කියපු දේ හකීම්ට තේරුණේ නැද්ද දන්නේ නැහැ. ඒ නිසා මම කීවා, මා කළ ප්‍රකාශය නිවැරැදිව කියන්න. එහෙම නොකීවොත්, නඩු දානවා කියලා. නිවැරැදි නොකළ නිසා නඩු දැම්මා. අපේ රටේ දේශපාලන වේදිකාවේ තවදුරටත් ජාතිවාදී සටන් පාඨ කියන්න ඉඩ දෙන්න ඕනෑ නැහැ. ජාතික ජන බලවේගයේ වේදිකාවකවත්, වෙන කොතැනකවත් ජාතිවාදී ප්‍රකාශයක් කරන්න අපේ ආණ්ඩුවකින් ඉඩ දෙන්නේ නැහැ. ඒ ආකාරයෙන් ජාතික සමඟිය ගොඩනඟන ආණ්ඩුවක් අපි බිහි කරනවා.
ඒ වාගේම හොරකම් නතර කර මේ රට ගොඩනඟන්න ඕනෑ. හොරකම නතර කළොත්, දිගු කාලයක් පවතින්න පාරවල් හදන්න පුළුවන්. පසුගිය කාලයේ සෞඛ්‍ය ඇමැති, කෙහෙළිය රඹුක්වැල්ල ඉන්ජෙක්ෂන් කියලා ගෙනාව වතුර අපේ රටේ රෝගීන්ට ගැහැව්වා. මේ වාගේ හොරකම, දූෂණය, නාස්තිය නතර කරන ආණ්ඩුවක් හදන්න ඕනෑ. එහෙම ආණ්ඩුවක් සජිත්ට හදන්න පුළුවන් ද? හොරකම් නතර කරන්න ඕනෑ කියලා සජිත්ට කතිරය ගහලා වැඩක් නැහැ. රනිල්ට කතිරය ගහලාත් වැඩක් තියෙනවා ද? මෙච්චර හොරකම් කරලා තියෙද්දිත්, ඡන්දය දෙනවා නම්, ඒ ගොල්ලෝ හිතන්නේ හොරකම් කළාට කමක් නැහැ කියලා. ඒ නිසා ඔබ හොරකමට විරුද්ධ නම්, ඡන්දය දෙන්න ඕනෑ ජාතික ජන බලවේගයට.
හොරකම් නතර කර විතරක් ප්‍රමාණවත් නැහැ. හොරකම් කළ අයට දඬුවම් දෙන්නත් ඕනෑ. 1994දී චන්ද්‍රිකා කීවා, හොරු අල්ලලා, ගෝල්ෆේස් පිටියට ගෙනැවිත්, හම ගහනවා කියලා. විජේපාල මෙන්ඩිස් ආණ්ඩුවේ පොල්වතු හොරට ලියා ගත්තා කියලා දඬුවම් කරන බව කීවත්, අවුරුදු දෙක තුනක් යන කොට එයාට ඇමැතිකමකුත් දුන්නා. 2015දී මෛත්‍රීපාල සිරිසේන කීවේ, එයාර්පෝට් වහනවා කියලා. අවුරුදු තුනක් යන කොට මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්‍ෂට නීති විරෝධීව අගමැතිකම දුන්නා. 2019 ගෝඨාභයගේ වේදිකාවේදී කීවේ, මහ බැංකුව කැඩුව රනිල් වික්‍රමසිංහව හිරේ දානවා කියලා. ඒ වෙනුවෙන් ඔබ කතිරය ගැහුවත්, අවුරුදු දෙක තුනක් යන කොට ජනාධිපතිකම දුන්නා. ඒ නිසා හොරුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් හදන්න ඕනෑ. ඒ වෙනුවෙන් සජිත්ට, රනිල්ට කතිරය ගහලා වැඩක් නැහැ. ඔබගේ දහමට අනුව ඔබට හොරකම නතර කරන්න බැරි නම්, එය කරන්න පුළුවන් කෙනාට සහයෝගය දෙන්න ඕනෑ කියනවා. පාර්ලිමේන්තුවේ සිටි මුස්ලිම් ඇමැති කෙනෙක් මට ඒ බව කීවේ. එයා ඇමැති මණ්ඩලයේ ඉන්න කොට සමහර කැබිනට් පත්‍රිකා මට දුන්නා. “සහෝදරයා, මට හොරකම් නතර කරන්න බැහැ. ඒ නිසා නතර කරන කෙනකුට උදවු දෙන්න කියලා, අපේ ආගමේ උගන්වනවා. ඒ නිසා මේ පත්‍රිකා මම ඔබට දෙනවා” කියලා කිවුවා. ඔබට හොරකම් නතර කරන්න බැරිව හොරකම් කරන කෙනාට ඡන්දය දුන්නොත්, ඒක හරාම්. එහෙම නම්, හොරකම් නතර කරන්න ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්න ඕනෑ. ඒක තමයි, හලාල්. ඔබගේ ආගම අනුව බැලුවත්, මෙවර කතිරය ගහන්න ඕනෑ ජාතික ජන බලවේගයට. හොරකම් නතර කරනවා පමණක් නොවෙයි, හොරකම් කළ අයට දඬුවම් කරනවා පමණක් නොවෙයි, හොරකම් කළ දේපොළත් පවරා ගන්නවා.
අපි ඡන්දය ඉල්ලන්නේ ඒකට. ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නෙත් නැහැ. රටේ ආර්ථිකය හදන්න ඕනෑ. මම හෝ අපේ ඉහළ මණ්ඩලවල කිසි කෙනෙක් ව්‍යාපාර කරන්න එන්නේ නැහැ. එයාලා බාර් ලයිෂන් දෙන්නෙත් මන්ත්‍රීවරුන්ට. රනිල් වික්‍රමසිංහ පසුගිය දා එයාගේ කට්ටියටත්, සජිත්ගේ කට්ටියටත් බාර් ලයිෂන් බෙදලා දුන්නා. ඒ වාගේම පෙට්‍රල් ෂෙඩ් බෙදා දුන්නා. රත්නපුරේ මැණික් පතල් කපන්නේ දේශපාලකයන්. වැලි පර්මිට් ගන්නෙත් දේශපාලකයන්. නැගෙනහිර වෙරළ තීරයේ හෝටල් ඉදි කරන්නේත්, ගල් වළවල් පවත්වාගෙන යන්නේත් දේශපාලකයන්. අපි ඒවා කරන්න එන්නේ නැහැ. මේ රටේ ව්‍යාපාර කරන්න ඕනෑ ඔයගොල්ලෝ. ඒවා දියුණු කර ගන්න සහයෝගය දීමයි, අපේ ආණ්ඩුවකින් කරන්නේ. ඔයගොල්ලන්ට සංචාරක හෝටලයක් හදන්න ඕනෑ නම්, ඉඩම ආණ්ඩුවෙන් දෙනවා. අපට ඇල්වතුර වීදුරුවක්වත් එපා. හැබැයි, නියමිත කාලයට හෝටලය ඉදි කළේ නැත් නම්, එය පවරාගෙන කරන්න පුළුවන් කෙනකුට දෙනවා. එහෙම ක්‍රමයක් හොඳ නැද්ද? මේ රටේ විතරක් බිස්නස් කරලා මඳි. ලෝකයේ වෙළෙඳපොළටත් අපේ ව්‍යාපාර ගෙන යන්න ඕනෑ. ඒ විදියට කර්මාන්ත, ව්‍යාපාර දියුණු කරලා ආණ්ඩුවට බදු අය කරනවා. ඒ විදියට අය කරන බදු මුදල් යෙදවූයේ කොහොමද කියලා ෆෝන් එකට එස්.එම්.එස්. පණිවුඩයක් එවන තරමට අවුරුදු කිහිපයක් තුළ සිස්ටම් එකක් ගොඩනඟනවා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ආරක්‍ෂාවට, පාරවල් හදන්න වාගේ විවිධ අංශවලට ඔබේ බදු සල්ලි යොදවපු ආකාරය විස්තර සහිතව ඉදිරිපත් කරනවා. ජාතික සමගිය හදන, හොරකම නතර කරන, විනිවිදභාවයෙන් කටයුතු කරන ආණ්ඩුවක් ගොඩනැඟීමේ ආරම්භක දිනය ලබන 21 වැනිදා.
ඔබලා 21 වැනිදා තෝරා ගන්නේ අලුත් ආණ්ඩුවක්ද? පරණ පාරේම යන ආණ්ඩුවක්ද? අපට කළ හැක්කේ කරුණු පැහැදිලි කර දීමයි. නමුත්, ගමේ ඡන්ද පෙට්ටියේ ඡන්ද මාලිමාවෙන් පුරවන එක කරන්න ඕනෑ ඔබලාමයි. පරණ මුස්ලිම් පක්‍ෂ කලබල වෙලා ඉන්නේ. තරුණ විශාල මුස්ලිම් ප්‍රජාවක් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම නිසා ඔවුන් කලබල වෙලා ඉන්නවා. මේ වේදිකාව පිරී තිබෙන්නේ ඒ අලුත් තරුණයන්ගෙන්. ඔවුන් ගමට ගොස් වැඩිහිටියන්ට කතා කරනවා. ෆේස්බුක් එකේ ලියනවා, ත්‍රීවීල් එක පදිනකොට කතා කරනවා, කඩේට ආවාම කතා කරනවා. ඒ නිසා මේ අවස්ථාව අත්හරින්න එපා. රට දුප්පත් කළ හොරුන් එළවන්න පුළුවන් වෙලාව මේකයි. රට පොහොසත් කරන ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙලාව මේකයි. අන්න ඒ වෙනුවෙන් සියලු දෙනාට කතා කරන්න. 21 වැනිදාට කින්නියා ප්‍රදේශයේ ඡන්ද පෙට්ටි මාලිමාවේ ඡන්දවලින් පුරවමු.