Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“චෞර වළල්ලට එරෙහිව රටට නව ජාතික පිබිදීමක් අවශ්‍යයි” -ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක-

-Colombo, January 13, 2024-

මේ මහනුවර දිස්ත්‍රික්කය කාලයක් අපට හොඳ දිස්ත්‍රික්කයක් වුණේ නැහැ. අපේ පක්ෂය ඇතුලෙ සාකච්ඡාවක් තිබුණා මහනුවර දිස්ත්‍රික්කයේ තිබුණු පසුබෑම අපි වෙනස් කරන්නේ කොහොමද කියලා. ඒ අවසථාවේ ලාල් සහෝදරයා කිවුවා එනෙම් මම මහනුවරට යන්නම් කියා. මම හිතනවා ලාල් කාන්ත සහෝදරයාත් අපේ විධායක සභාව නියොජනය කරන සහොදර සහෝදරවරුනුත් එකතු වෙලා ජාතික ජන බලවේගයේ ජයග්‍රාහී දිස්ත්‍රික්කයක් බවට මහනුවර දිස්ත්‍රික්කය පත්කොට තිබෙනවා. අද අපි පවත්වන්නේ මහනුවර ආසනයේ ආසන සමුළුව. මීට පෙර අපි මෙතන මහනුවර දිස්ත්‍රික් රැස්වීම් පැවැත්වුවා. මෑත ඉතිහාසයේ මහනුවර අප විසින් පවත්වන ලද ප්‍රධානම රැස්වීමක් බවට මෙය පත්වී තිබෙනවා. ඉස්සර අපේ රජ්ජුරුවෝ ජනතාවගේ දුක සැප සොයන්න වෙස්වලාගෙන යනවලු. මට මතක් වුණා, අපේ මෑත හිටපු රජවරු සැප සොයාගෙන වෙස්වලාගෙන නැවට නගින හැටි.

අපේ රට දරුණු ඛේදවාචකයකට පත්වී තිබෙනවා. අපි වැඩිවශයෙන්ම සාකච්ඡාවට බඳුන්කරන්නෙ ආර්ථිකයේ කඩා වැටීම ගැන. දීර්ඝ කාලයක් අපේ රට පාලනය කළ පාලකයන්ට රට පිළිබඳ දැක්මක් තිබුණේ නැහැ. රට තිබෙන්නේ කොතැනද? රට තුළ තිබෙන ශක්‍යතාවයන් මොනවාද? ලෝකයේ සිදුවෙමින් තිබෙන වෙනස්කම් මොනවාද? එයට අනුරූප වන පරිදි අපේ චින්තනය, දැක්ම සකස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ දැක්මක් අපේ පාලකයන්ට තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස අද ආර්ථිකයේ පතුලටම වැටුණු රටක් බවට පත්වෙලා තිබෙනවා.

අයවැය ලේඛනය බැලුවාම ආණ්ඩුව අපේක්ෂා ආදායම කරනවා රුපියල් බිලියන 4164ක්. 2023 වසරට වඩා අමතරව රුපියල් බිලියන 1300ක් ප්‍රමාණයක් ආණ්ඩුව සොයාගන්න ඕනෑ. ආණ්ඩුවේ ආදායම වැඩිවෙන්නේ ආර්ථිකය වර්ධනය වුණොත්. ඒකෙන් පංගුවක් ආණ්ඩුවට එනවා. මේ ආණ්ඩුව අලුතින් බිලියන 1300ක් සොයා ගන්න උත්සාහ ගන්නේ ආර්ථිකය ලොකු කරලාද? නැහැ. රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා 2019 වසරෙදි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් ලැබෙන්නේ 2029දී කියලා. නමුත් 2023 තිබූ බදු ප්‍රමාණය 25%කට වඩා වැඩිකර තිබෙනවා. අපේ රටට වැට් බද්ද හඳුන්වාදී වසර 21ක් වෙනවා. මෙතෙක් කාලය තුළ ක්ෂේත්‍ර ගණනාවකට (භාණ්ඩ 138කට) වැට් බද්ද නිදහස් කර තිබුණා. එම ක්ෂේත්‍ර ජන ජීවිතයට ඉතා සමීප, ආර්ථිකයත් සමග ඉතා සමීප ක්ෂේත්‍ර. උදාහරණයක් ලෙස, පාසල් පොත් හා උපකරණවලට වැට් බදු ගැසුවේ නැහැ. දරුවෙකුට උගන්වන එක, පාසල් පොතක්, උපකරණයක් මිලදී ගන්න එක බද්දකට යටත් විය යුතුද? ජනවාරි මාසයේ සිට එම ද්‍රව්‍යවලට වැට් බදු එකතුවෙනවා. බද්දෙන් නිදහස් කර තිබූ, සෞඛ්‍ය උපකරණ, බෙහෙත් නිපදවන්න ගන්නා අමුද්‍රව්‍ය, හාල්, හාල් පිටි, කිරි, යෝගට් ආදී ආහාර, ඩීසල් ආදී මිල වැඩි වීමෙන් ආර්ථිකයට අහිතකර ලෙස බලපාන ද්‍රව්‍යවලට ජනවාරි මාසයේ සිට බදු පැනවෙනවා. මේ වැට් බදු ඇතුළු ආදායම්වලින් බිලියන 4164ක් අපේක්ෂා කරනවා. නමුත් ආණ්ඩුව අරගෙන තිබෙන ණයවල වාරිකය, එසේ අරගෙන තිබෙන ණයවල පොලී වාරිකය මේ සියල්ල එකතු කළ විට රජයේ වියදම රුපියල් බිලියන 11,277යි. භාණ්ඩාගාරයට එන්නේ රුපියල් බිලියන 4164යි. මෙයින් පෙන්නුම් කරන්නේ කඩා වැටුණු, බංකොලොත් වුණු රටක් බව.

මෙම ආර්ථික අර්බුද සමාජ ජීවිතවලට බලපෑම් කරනවා. ජීවිත කඩා වට්ටවනවා. මෑතකදි මහ බැංකු වාර්තාවක් ආවා. එහි කියනවා ජනගහනයෙන් 68%ක් එක්කෝ කන වේල් ගණන අඩුකරනවා. එක්කෝ වේල් තුන ටික ටික කනවා. එක්කෝ වේල් තුන රුචි නොවන ආහාර කනවා. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවකින් දරුවන්ගෙන් 54%පාසල් පොත් හා උපකරණ මිලදී ගැනීම නතර කරලා, එක්කෝ අඩුකරලා. ජනගහනයෙන් 7%ක බෙහෙත් ගන්න එක නතර කරලා. ජීවිත මැරෙන්න ඉඩ හැර තිබෙනවා. දරුවන්ගෙන් 19%ක් අමතර පංති යාම නවත්තලා.
මේ පෙන්නුම් කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර කඩා වට්ටලා. ජනතාවගේ ජන ජීවිත පොඩිපට්ටම් කරමින් තිබෙනවා. සියලු රාජ්‍ය ආයතන, පාලන ව්‍යුහයන් විනාශවෙලා ඉවරයි. අවුරුද්දක් තිස්සේ ස්ථිර පොලිස්පතිවරයෙක් නැහැ. පොලිසියේ සිටින ඉහළින්ම සිටින පස් හයදෙනාටම නඩු. අපේ සාමය රකින්න සිටින අයට නඩු. මේ ආයතන කඩා වැටී තිබෙන්නේ. මෑතකදී සිංගප්පූරුවෙ අග්‍රමාත්‍යවරයා කිවුවා, “අපට තිබෙන සම්පත විදෙස් සංචිත හා ශක්තිමත් රාජ්‍ය සේවාව” කියලා. අපේ ආයතන සියල්ලම නිසි පරිදි ක්‍රියාත්මක නොවෙන තරමට රාජ්‍ය ආයතන පද්ධති කඩා වැටී තිබෙනවා.

ලෝකයේ පිළිනොගන්නා රාජ්‍යයක් බවට අපේ රට පත්වී තිබෙනවා. රට බංකොලොත් වෙලා. එවන් අවස්ථාවක ජනාධිපතිවරයා දීර්ඝතම සංචාරයක යෙදෙනවා. මේ රටේ ජනතාව මේ ඔක්තෝබරයේදී ජනාධිපතිවරයාගේ අවසන් සංචාරය බවට පත්කරනවා. ලෝකයේ අපකීර්තිමත් රටක බවට අපේ රට පත්කරලා. කොරියන් තානාපති කාර්යාලයට වීසා ඇප්ලිකේෂන් එක බාරදෙන්න මාස හයක් යනවා. ලෝකය ඉදිරියේ කඩා වැටුණු රටක් වී තිබෙනවා. එපමණක් නොවෙයි දේශපාලනයත් මුළුමනින්ම කඩා වැටී තිබෙනවා. තක්කඩින්, හොරුන්, දූෂිතයන් රට පාලනය කරමින් තිබෙනවා. රටේ සමාජයේ මිනිස්කම කඩා වැටී තිබෙනවා. මහනුවර මාකට් එකේ තමන් දුන් පොලි සල්ලි දුන්නේ නැති නිසා යම් පුද්ගලයෙකුගේ අත්දෙක කපාගෙන ගියා. එයා ඡන්දෙ ඉල්ලුවා. මහනුවර ජනතාව එයාව නගර සභාවේ මන්ත්‍රී කළා. 2020 ඔක්තෝබර් මාසෙ මහ ඡන්දෙ තිබ්බා. ඔක්තෝබර් 01 වැනිදා රත්නපුරේ චොකා මල්ලි, මිනිසෙක් වෙඩිතබා ඝාතනය කළ වරදට එල්ලුම් ගහට නියම කළ බවට මහාධිකරණයෙන් නඩු තීන්දුව ලැබුණා. 05වැනිදා පැවැති ඡන්දයෙන් ඔහු අංක එකට ඡන්ද ලබාගත්තා. මේ සමාජය කොතනකද තිබෙන්නේ? මෙය ප්‍රශ්නයක් නොවෙයිද? මහනුවර උඩතලවින්නේ මිනිස් ඝානතනයට හවුල් වූණාය කියන, මහාධිකරණයේ අවුරුදු ගණනක් නඩු තිබුණු, රිමාන්ඩ් බාරයේ සිටි කෙනා, මන්ත්‍රී වෙනවා, ඇමතිකම් දරනවා, රෑට පිස්තෝල කරකව කරකව සිරකරුවන්ගේ ඔලුවට තියනවා.

ආර්ථිකයේ, දේශපාලනයේ, මිනිසුන්ගේ ජීවිතයේ පමණක් නොවෙයි අර්බුදය තිබෙන්නේ,. මිනිසුන් හිතන පතන විදිහේ ප්‍රශ්නයක් සමාජයේ තිබෙනවා. පසුගිය කාලයේ පාර්ලිමේන්තුවට කප්ගසා පැමිණියේ කවුද? කුරුණෑගලින් ජොන්ස්ටන්, මහනුවරින් මහින්දානන්ද, රත්නපුරෙන් චෙකා මල්ලි, කළුතරින් රෝහිත අබේගුණවර්ධන, ගම්පහෙන් ප්‍රසන්න රණතුංග, අනුරාධපුරෙන් එස්.එම්. චනද්‍රසේන එනවා. මේ අය පැමිණියේ ජනතා ඡන්දයෙන්. මේ අපේ රටේ ජනතාවගේ මිනිස් චින්තනය කඩා වැටීමට ලක්වී තිබෙනවා. අප ඇස් ඉදිරිපිට තිබෙන්නේ විශාලා මහනුවරක් බවට පත්වූ රාජ්‍යයක්. අපට තෝරාගත යුතු මාවත් දෙකක් තිබෙනවා. මේ ගමන් මගේ ඉදිරියට ගිහිල්ලා අපි එක්ව වැනසෙනවාද? නැතිනම් එක්ව නැගිටිනවාද?

අපි මහනුවරට ආවේ අපි එක්ව නැගිටිමු කියන යෝජනාව කිරීමට. ඉන්දියාව කාලයක් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත්ව, විශාල කුල ගෝත්‍ර, විවිධ සංස්කෘතීන් තිබුණු, විවිධ භාෂාවන් කතා කරන, විශාල භූමියක් තිබුණු රටක්. එහි ජාතික නායකයන්ට පුළුවන්කම තිබුණා අධිරාජ්‍යවාදීන්ට එරෙහිව එකට එකතු වෙන්න. නේරු, පාතෙල්, ගාන්ධි, සුබාෂ් චන්ද්‍රබෝස්, එකට එකතු වෙලා ජාතික ව්‍යාපාරයක් ගොඩනැගුවා. ඒ ජාතික ව්‍යාපාරය මුල් අවස්ථාවේදිම, ඉන්දියාව කවර දිශාවකට යා යුතුද කියා සැලැස්මක් ඉදිරිපත් කළා. ඔවුන්ට නිදහස් අරගලයක්, චින්තනයක් හා දැක්මක් තිබුණා. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගියාට පසුව ඒ ලබා ගන්නා ලද ජයග්‍රහණයේ පිම්ම, කෙතරම්ද යත්, අද ඉන්දියාවට හඳට යාමට හැකිවී තිබෙනවා. ලෝකයේ පස්වෙනි ආර්ථිකයට හිමිකම් කියනවා. එතන පාලනයේ ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් සියලු භේද පසෙක තබා ජාතිය එකට පුබුදුවන්නට සමත් වුණා.

ජපානය දෙවන ලෝක යුද්ධයේදි නියෝජනය කළේ සතුරු පාර්ශ්වය. 1945 දි හිට්ලර් සියදිවි හානිකර ගන්නවා. ජර්මනිය යටත් වෙනවා. දෙවන ලෝක යුද්ධය අවසන් වෙමින් තිබුණා. ඇමෙරිකාව සොයාගෙන තිබූ පරමාණු බෝම්බය ජපානයට දමා හිරෝෂිමා හා නාගසාකිවල විශාල මිනිස් ඝාතනයක් සිදුකළා. ලොව සිදුවූ දැවැන්තම සමූහ මිනිස ඝාතනය. මහා විනාශයට ලක්වූ රාජ්‍යයක් බවට පත්කළා. ඒ බිඳවැටීම නැවත ජපානය නැගිට්ටෙව්වා. ආසියාවේ තිබෙන තාක්ෂණය සහිත දැවැන්තම රාජ්‍ය බවට පත්කිරීමට, ඒ රටේ නායකයන්ට දැක්මක් තිබුණා.

එක්සත් ජනපදයටත් එවැනි නිදහස් සටනක් තිබුණා. එක්දහස් හත්සිය හැත්තෑ ගණන්වල බි්‍රතාන්‍යයන්ට විරුද්ධව සටනක් තිබුණා. ඒ නිදහස් සටනේ පිබිදීම නිසා අද එක්සත් ජනපදය දැවැන්ත ආර්ථිකයක් හිමි රාජ්‍යයක් බවට පරිවර්තනය වුණා. වියට්නාමයට, චීනයට නිදහස් සටනක් තිබුණා. ලෝකයේ බොහෝ රාජ්‍යයන් ජනතාව ඒකාග්‍රතාවයෙන් ඒකමතිකයකට ගෙනවිත් නව පිබිදීමක් ඇතිකර ගත්තා.

අපි අවුරුදු 450ක බටහිර රාජ්‍යයන්ගේ ඍජු බලපෑමට යටත් වෙලා තිබුණා. අවුරුදු 150ක සුද්දගේ බලපෑමට යටත්වෙලා තිබුණා. අවුරුදු 133ක් සුද්දගේ ඍජු ආධිපත්‍යයට යටත් වෙලා තිබුණා. 1818 දි හා 1848 දි නිදහස් සටන් දෙකක් ඇති වුණා. 1815 සිට 1948 දක්වා සුද්දා අපෙ රට පාලනය කළා. අපට ජාතික ව්‍යාපාරයක් තිබුණේ නැහැ. ජාතික ඒකමතිකයකට ගේන්න පාලකයන් සමත්වුණේ නැහැ. අපේ නායකයන් ඒ ගොල්ලන් මත යැපෙන නායකයන් බවට පත්වුණා. 1949 පුරවැසි පනත ගෙනැවිත් වතුකර ජනතාව පැන්නුවා. එතනදි චෙල්වනායම් වෙනම දෙමළ රාජ්‍ය පක්ෂය හදන්නෙ. ඒ චින්තනය මහා බෙදුම්වාදයක් දක්වා වර්ධනය වෙනවා. 1956දි භාෂා ප්‍රශ්නයක් පටලවා ගන්නවා. 1958දි සිංහල, මුස්ලිම් කෝලාහලයක් ඇති වෙනවා. බි්‍රතාන්‍ය ජාතිකයන් ගියාට පසුවවත් අපට ජාතියක් විදිහට ඒකාග්‍රතාවයකට ගේන්න බැරිවෙනවා. රට ඉදිරියට ගෙනයාම සඳහා දැක්මකට ගේන්න බැරිවුණා. අපේ පාලකයන් ඉතිහාසයේ ශ්‍රී විභූතියේ නෂ්ටාවශේෂ මත යැපෙන්න පටන් ගත්තා. විසිවන සියවසේදි ඉතිහාසය පුනරුච්ඡාරණය කරමින් ජීවත් වුණා. විසිවැනි සියවස ලෝකයේ දැවැන්ත පරිවර්තනයන් සිදුවුණු පරිච්ඡේදයක්.

මිනිස් අවශ්‍යතාවයන් දැවැන්ත ලෙස වෙනස් වෙන්නේ නැහැ. එදත් කෑවා, අදත් කනවා. එදත් දඩයම් කර මස් කෑවා, අද සුපර් මාර්කට් එකෙන් ගෙනත් මස් කනවා. එදා පණිවිඩ පරවියා අත යැව්වා. අද පණිවිඩ ස්මාර්ට් ෆෝන් එකෙන් යවනවා. එදා බර කරත්තයෙන් ගිය ගමන, අද හොඳ වාහනයෙන් යනවා. එදා වගේම අවශ්‍යතා ඉටුකර ගන්නවා. මාදිලිය පමණක් වෙනස්. ලෝකයේ නව වෙළඳපොළවල් නිර්මාණය වෙන්නේ මිනිස්සු තමන්ගේ අවශ්‍යතා ඉටුකර ගන්නා මාදිලිය වෙනස් කිරීමෙන්. ලෝකයේ මිනිස් අවශ්‍යතා මාදිලිය වෙනස් වෙනස් විට එයට අවශ්‍ය වන භාණ්ඩ හා සේවා වෙළඳපොළ වෙනස් කර ගත යුතුයි.

අද කොරියාව රූපලාවණ්‍යයේ, දැවැන්තම සැම්සුන් ස්මාර්ට් ෆෝන් නිෂ්පාදනය, රසඥතාවය සොයන අයට නව ආකාරයේ කේ පොප් සංගීතයේ, චිත්‍රපට කර්මාන්තයේ දැවැන්තයා බවට පත්වී තිබෙනවා. වසරකට කොරියාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 685ක් වී තිබෙනවා.

1918දී විමලසුරේන්ද්‍ර මහතා ලක්ෂපාන බලාගාරය යෝජනා කරනවා. එතුමාගේ යොජනාවේ තිබුණේ ලක්ෂපාන බලාගාරයේ අතිරික්ත විදුලියෙන් විදුලි කෝච්චි දුවන්න. ඒ මහා සංවාද යටපත් වෙලා පැරණි, දැක්මක් නැති දේශපාලන අධිකාරිය බලය අත්පත් කර ගන්නවා. එදත් අදත් අපේ රටේ ආර්ථිකය තේ, රබර්, පොල් මත යැපුණා. අපේ නායකයන්ගේ දැක්ම තේ, රබර්, පොල් තරමටම පැරණියි. ඒ නිසාම අපේ පාලකයෝ විසිවැනි ශතවර්ෂය අත්හැරියා. ඒ වගේම කුලවාදය, ජාතිවාදය තවමත් අවුස්සනවා. ලෝකය පිමි පනිමින් ඉස්සරහට යනවා. නව චින්තනයකට, නව දැක්මකට ශ්‍රී ලංකාව කැඳවාගෙන යා යුතුයි. පැරණි, අසාර්ථක, ගෝත්‍රිකවාදී, මේ නායක පෙළැන්තියෙන් අපේ රට මුදා ගන්න ඕනෑ. අපේ රට නව යුග පරිවර්තනයක් ඇති කළ යුතුයි. මේ චෞර වළල්ලට එරෙහිව නව ජාතික පිබිදීමක් අපට අවශ්‍යයි.

යාපනයේ පුරවැසියන්ට අපි ආමන්ත්‍රණය කරන්නේ මේ ජාතික පිබිදීමට එන්න. අපි පක්ෂවලට, කුලවලට, ජාතිවලට බෙදී සිටීමෙන් පලක් නැහැ. දරුවාට කන්න නැතිනම්, ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම්, දොස්තර මහත්තයා දාලා යනවා නම්, කර්මාන්ත පද්ධතිය කඩා වැටෙනවා නම්, බදු පිට බදු ගහනවා නම්, පක්ෂවලට, කුලවලට, ජාතිවලට බෙදිලා මොකටද? ජාතික ජන බලවේගය හරහා මේ රටේ නව ජාතික පිබිදීමක් ඇති කළ යුතුයි. මහා අගාධයකට වැටී තිබෙන රට, ගොඩගැනීමට වෙර වීරිය සහිත ජාතික පිබිදීමක් අපි ඇති කරමු.

එක බලය ලබා ගැනීම. ඒ සඳහා අවස්ථාවක් තමයි නුදුරේ එන ජනාධිපතිවරණය. එය ජයග්‍රහණය කිරීම තමයි අත්‍යවශ්‍ය ආරම්භය. ආරම්භයේදී අපි සහතික කරන්නම්, පුරවැසියාට ආහාර, දරුවන්ට අධ්‍යාපනය, පුරවැසියන්ට සෞඛ්‍යයත් අපි ආරම්භය ලෙස තහවුරු කරනවා. අනතුරුව දිගු දේශපාලන, ආර්ථික පර්වර්තනයකට මේ රට පරිවර්තනය කරන්න ඕනෑ. අපේ තිබෙන ශක්‍යතාවයන් මොනවාද?, ලෝකයේ ඇතිවී තිබෙන වෙනස්කම් මොනවාද? ඊට අනුරූපවන පරිදි නව චින්තනයක්, නව දැක්මක් නිර්මාණය කළ යුතුයි. විමලසුරේන්ද්‍රලා වැනි මහා පර්යේෂකයන්, මහා විද්‍යාඥයන් අපේ රටේ ඉන්නවා. නව මෙවලම් නිර්මාණය කර තිබෙනවා. මේ පාලකයන්ට ඒවා වැඩක් නැහැ. මේ විද්‍යාඥයන්, පර්යේෂකයන් විශාල පෙරමුණකට කැඳවන්න අපි මූලික සැලසුම් හදා තිබෙනවා. චින්තනය අවදි කරන්න ලියනගේ අමරකීර්ති වැනි සාහිත්‍යවේදීන්, රොඩ්නි වර්ණකුලසූරිය ඇතුළු කලාකරුවන් මේ නව පිබිදීමට අවශ්‍ය ලියන්න, කියන්න, ගයන්න පටන් ගන්න වුවමනාව තිබෙනවා. අපේ පර්යේෂකයන් නව දිසාවට අවශ්‍ය පර්යේෂණ කරන්න ඕනෑ. බහුදින යාත්‍රා මුහුදට යවන්න අවශ්‍ය සැලසුම හදන්න ඕනෑ. කර්මාන්ත 1183ක් කඩා වැටුණු සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නැවත පණ දෙන්න ඕනෑ. අපේ තරුණ පරම්පරාව ලෝකයේ නව දැනුම උකහා ගන්න ඕනෑ.

දැනට තිබෙන අපේ ප්‍රාථමික අධ්‍යාපනයේ පරිවර්තනයක් සිදුවිය යුතුයි. අපේ ප්‍රාථමික උපාධිය දක්වා තිබෙන අධ්‍යාපනය ඊළඟ උපාධිය දක්වා වර්ධනයක් ඇති කළ යුතුයි. එතන තමයි පර්යේෂණ තිබෙන්නේ. ලෝකය ඉස්සරහට ගමන් කරමින් තිබෙන්නේ පර්යේෂණ මත. ඇමරිකන් එක්සත් ජනපදය 2023 වසරේ තමන්ගේ පර්යේෂණ සඳහා (ආර්.එන්.ඩී.) ඩොලර් බිලියන 523ක් වෙන්කොට තිබෙනවා. අපේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය නොසලකා හැරපු අමාත්‍යාංශයක් බවට පත්වෙලා. අපි පර්යේෂණ සඳහා වෙන්කරන්නේ 0.001වැනි මුදලක්. අධ්‍යාපනයේ, කෘෂිකර්මාන්තයේ, සාහිත්‍ය කලාවේ, විද්‍යාවේ තාක්ෂණයේ නව පියවරක් ඇතුළු මේ සියල්ල කැටිකර ගන්නා ලද නව යුගයේ පුනරුදයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කළ යුතුයි. අප මත පැවරී තිබෙන්නේ දේශපාලන මෙහෙවරක් නොවෙයි නව යුග මෙහෙවරක්. නව පුනරුදයේ ආරම්භය තෙතමනයක් ඇති, අධ්‍යාත්මයක් තිබෙන සහකම්පනයක් තිබෙන සමාජයක් බවට පරිවර්තනය කිරීම. මේ පරාධීන, විනාශකාරී යුගය වෙනුවට නව පුනරුදයේ යුගයක් සඳහා ආරම්භය ලබාගන්න මේ රටේ සියලු ජනතාවට අපි ආරාධනා කරනවා. යුග වෙනසකට අවශ්‍ය වන පියවර අපි තබමු. ජාතියක ඒකමිතිකභාවය, ජාතික පිබිදීම, දැවැන්ත ජාතික ව්‍යාපාරය, නව පුනරුදයේ යුගය ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු වෙමු.

“අදූෂිත නායකත්වය බලයට ගේන්න ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකය දෙවෙනි මෙහෙයුමේ යෙදී සිටිනවා”
-අදිටන සාමූහිකයේ විශ්‍රාමික බි්‍රගේඩියර් සෙනරත් කොහොන-

ඔබට ප්‍රශ්නයක් පැන නගිනවා ඇති ආසන සමුළු මේ වේදිකාවට විශ්‍රාමික ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් විශ්‍රාමික බි්‍රගේඩියර්වරයෙක් මේ වේදිකාවට පැමිණියේ ඇයි කියලා. අපට තිබෙනවා මේ රටේ යුතුකමක් වගේම අත්නොහැරිය යුතු වගකීමක්. මීට දශක කිහිපයකට පෙර රට වෙලාගත් යුද්ධයකින් මේ රටේ ආර්ථිකයත් ඉදිරි දියුණුවත් වැට්ටුවා. එදා අපට යුතුකමක්, වගකීමක් තිබුණා ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදාගෙන ඔබටත්, ඔබේ දරුවාට යහපත් රටක් උදාකර දෙන්න. ඒ වගකිීම දරන කොට යුද, ගුවන්, නාවුක ත්‍රිත්වය ගොඩබිමෙන්, ගුවනින් සහ දියඹෙන් මේ භූමිය රැකගැනීමට තමන්ගේ තාරුණ්‍යය, ජීවිතය, කාලය, ශ්‍රමය කැපකළා. ඔබ සැකයෙන් හා බියෙන් ජීවත්වෙමින් තිබූ රට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශාල කැපකිරීම් කර, 2009 වසරේදී යුද්ධය අවසන් කොට නිවහල් ජාතියක් ලෙස ජීවත්වීමට නිවහල් දේශයක් ඔබට උරුම කර දුන්නා.

එහෙම කළ අපට, ඔබ බලාපොරොත්තු වුණු සිහිනය සැබෑ නොවෙන විට, අද මේ වේදිකාවට නැගලා මේ මාතෘ භූමිය තුළ අපේ දෙවන සංග්‍රාමය දියත් කිරීමට යුතුකමක්, වගකීමක් නැද්ද? එදා යුද වැදුණු, අතපය අහිමි කර ගත් ත්‍රිවිධ හමුදාවේ 99%ක් වූ පිරිස මේ රට නැවත ගොඩගන්නේ කොහොමද කියා තැනක් සොයමින් ආවා. විවිධ පක්ෂවල අරමුණු වුණේ තමන් හා තමන්ගෙ පවුල ගොඩදමා ගන්නට, මිය යනතෙක් බලයේ සිටින්නට. මේ සොයා යන ගමනේදි අපට හමුවුණා, අවංකත්වයෙන්, දැනුමෙන් සන්නද්ධ අනුර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය. විශ්‍රාමිකයන්ගේ පළමුවැනි රැසවීම තිබුණේ මේ මහනුවර. එදා 35 දෙනෙක් පමණයි සහභාගි වුණේ. අපි ගිය වසරේ පෙබරවාරි 11දා මහරගම යොවුන් නිකේතනයේදී ත්‍රිවිධ හමුදාවේ නායකත්වයෙන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහකය ගොඩනගා ගත්තා. 35දෙනෙකුගෙන් ආරම්භ කළ ගමන මහරගමට යනකොට බස් රථ තුනක යාමට නොහැකි පිරිසක් එකතු වුණා. ඉදිරි පෙබරවාරි 24 දින ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සමූහයේ විශාල පිරිසක් කැඳවමින් අදිටන මහනුවර දිස්ත්‍රික් සමුළුව උත්කර්ෂවත් ලෙස පවත්වන්නට අපි සූදානම් වෙනවා.

මෙවැනි දේවල් අපට කරන්න හැකිවුණේ යුද්ධයේදි අප කළ කැපකිරීම් මතිනුයි. වසර තුනක නොනවතින සටනක් අපි කළා. යුද්ධය අවසන් කිරීමේ අරමුණක් අපට තිබුණා. හිටපු පාලකයන් විවිධ අභියෝග දුන්නා. අවසන මහ සටනේදිත් අපව රැවැට්ටුවා කිවුවොත් එය නිවැරදියි. දවසකට කෝටියකට වැඩිය යුද්දෙට වියදම් වෙනවා. මේක අවසන් කරපල්ලා. “මේ යන වියදම ඉතිරිකර දීපල්ලා. අපි මේ රට සංවර්ධනය කරලා උඹේ දරුවට හෙටක් හදලා දෙන්නම්” කියන පොරොන්දුවෙන් එදා අපව රැවැට්ටුවා. ඒකට රැවටුණු අපි යුද්ධය අවසන කරලා ගමට ඇවිල්ලා විශ්‍රාමිකයන් හැටියට හැරිලා බලනකොට අපට ඉතිරි වෙලා තිබෙන්නේ, දරුවන්ට හෙටක් නැති, ගොවියට, ගොවියාගෙ නිෂ්පාදනයට වෙළඳපොළක් නැති, රටේ සම්පත් විකුණන, කර්මාන්ත කඩාවැටුණු, ආර්ථියක බිංදුවට වට්ටලා ඍණ අගයට ගෙනිච්ච රටක්. මේ රට ආපසු හැරවිය යුතු නැද්ද? මේ අභියෝගයට ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් හැටියට එකතු වෙලා සාකච්ඡා කරලා, අදූෂිත දේශපාලන නායකත්වයක් හා කණ්ඩායමක්, රට සංවර්ධනය කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක්, එම සැලසුම් මහපොළොවේ යථාර්ථයක් කරන බුද්ධිමතුන් සහිත ජාතික ජන බලවේගයත් සමග එකතු වෙලා මේ රට ඉදිරියේදී ගොඩදමනවා කියන අරමුණින් අපි එකතු වෙලා ඉන්නේ.

ඔබටත් අපටත් ප්‍රශ්න ගොඩත් තිබෙනවා. එයට ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න තිබෙන මාර්ගය වන්නේ, අදූෂිත දේශපාලනයක් මේ රටේ ස්ථාපිත කර, මේ රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගෙන, මේ රට දියුණු කරන මාර්ගයට මාරුකරන කර්තව්‍යය. ඊළඟ මැතිවරණයට තව මාස හතයි තිබෙන්නේ. මේ ජනාධිපතිවරණයේදි, අදූෂිත නායකත්වය බලයට ගේන්න ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකය ලංකාව පුරා, නගරයෙන් නගරයට, ගමින් ගමට, ගෙයින් ගෙට යමින් සියලු ජනයා දැනුවත් කරමින් අපේ දෙවෙනි මෙහෙයුම ඉටුකරමින් ඉන්නවා. අපි විනයක් තිබෙන පක්ෂයක්. ඒ බව අද ඉතා හොඳින් පෙන්නුවා. දහවල් දෙකේ සිට තුන වෙනකම් ඔබ මෙතන බලාසිටියා. මෙතන විභාගයක් පැවැත්වෙනවා. අපට විනයගරුක පක්ෂයක් හැටියට අපට පැයක කාලයක් කැපකරන්න සිදුවුණා. විනය නැති නායකත්වයකින්, පාර්ලිමේන්තුවකින් මේ රට හදන්න බැහැ. දෙවන සංග්‍රාමය දියත් කරන්නට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පැමිණ ඔබව දැනුවත් කරාවි. ඒ හඬට සවන් දෙන්න. ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් සහ රජයක් මේ මහපොළොව මත ස්ථාපනය කරලා මිසක් පසු නොබලන බව සහතික කරනවා. මේ රට යහපත් මගට ගන්නට, දූ දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබාදීමට, ධීවරයාට, ගොවියාට පහසුකම් සපයන, නිෂ්පාදකයාට වෙළඳපොළ දිරිගන්වන, ජාත්‍යන්තර වෙළඳපොළක් මේ රටේ සථාපනය කරන, කර්මාන්ත නගාසිටුවන රජයක් බිහිකර ගැනීමට ඔබ සියලු දෙනාට ශක්තිය, ධෛර්යය ලැබේවා.

“සුද්දාවත්, කාලිංඝ මාඝවත් නොකළ හානියක්, රාජපක්ෂලාත්, රනිල් වික්‍රමසිංහලාත් මේ රටට සිදුකර තිබෙනවා”
-මහනුවර දිස්ත්‍රික් විධායක සභික, දේශපාලන විද්‍යා ආචාර්ය ආනන්ද විජේරත්න-

වසර 30ක් මම පාසල්වල උගන්වා තිබෙනවා. මහනුවර නගර සභාවේ අවුරුදු 12ක් නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ඒ අවුරුදු 12 ජීවිතයේ අප්‍රසන්නම කාලයක්. 1948 අපි නිදහස ලබලා අවුරුදු 75ක් දුක වින්ද අපි, අවුරුදු 80ක් දුක්වින්දා කියන වචනය කියන්න ඉඩ තියන්න එපා. මේක අපි වෙනස් කරන්න ඕනෑ. 1949 ලංකාවට පැමිණි සිංගප්පූරුව ගොඩනඟපු ලී ක්වාන් යූ කිව්වේ “අපි ලංකාව වගේ වෙන්න ඕනේ” කියලා. ඒ අවදියේ ලංකාව ගෙවුම් ශේෂයේ අතිරික්තයක් තිබුණු රටක්. සුද්දාවත් නොකළ හානියක්, කාලිංග මාඝවත් නොකළ හානියක් මේ රාජපක්ෂලා, වික්‍රමසිංහලා මේ මාතෘ භූමියට සිදුකර තිබෙනවා.
එවැනි විනාශකාරී බලමුළුවල යම් කාලයක් හෝ ඉන්න සිදුවීම ගැන මට වේදනාවක් තිබෙනවා. මෙතන සිටින බහුතරයක් අපිත් සමග දේශපාලනය කළ අය බව මම දැක්කා. මේ වෙනස සිදුකිරීම ගැන ඒ අයට මම හදවතේ ගැඹුරින්ම ස්තුතිවන්ත වෙනවා. අපි පොහොට්ටුවේ අටදෙනෙක් පත්කළේ ලෝකයේ මහා භාණ්ඩාගාරයක සොරකම් කළ එකම නායකයා රනිල්ව ගෙදර යවන්න. ඒ ගොල්ලෝ 134ක් එකතු වෙලා රනිල්ව ජනාධිපති කළා. පොහොට්ටුවයි, සමගි ජන බලවේගයයි, අලියයි ඔක්කෝම එකයි. මේ සියලු දෙනාම අවශ්‍ය වෙලාවෙදි එකට එකතු වෙනවා. මේ කන්ද උඩරට සපථ කර කියනවා ඊළඟ ජනාධිපතිවරණයේදි උඹලා තුන්ගොල්ලෝම එකට තබා පරද්දනවා. රනිල් වික්‍රමසිංහ කියනවා ඡන්දය දෙනවා කියා. එයා ඡන්දයේ අයිතිකාරයා නොවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන්නම ඕනෑ. පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය නොතිබ්බාට ජනාධිපතිවරණය නොතබා බැහැ. ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය හෝ කුමක් තිබ්බත් අපි ඔයාලව පරද්දනවා. සියලු අංශවලින් කළ සමීක්ෂණවලින් හෙළිවී තිබෙනවා 55%කට වඩා ජනමතයක් අපට හිමිවී තිබෙන බව. ඒකයි එයාලා බයවෙලා තිබෙන්නේ. අපි අනිවාර්යයෙන් දිනනවා.

මා ඕ සේතුං කියා තිබෙනවා, “ආඥාදායකයෙකුට සියලුම රෝසමල් විනාශ කළ හැක. එහෙත් වසන්තය එළඹීම වැළක්විය නොහැක” කියලා. අපි අනුර සහෝදරයා මුල්කරගෙන මේ රටට වසන්තය ගේනවාමයි. ගුරු ගීතයේ විංගීස් අයිත්මාතව් කියනවා “ශීත කාලය පැමිණේවි. තද සීත කුණාටු හමාවි. හිමකැට සහිත නපුරු සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි” වසන්තය කියන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්, මාතෘ භූමියට ඒ වසන්තය ගේන බවට සපථකරනවා.

“මේ වේදිකාවට එකතු වෙන්නේ රටට ආදරය කරන, රට හදන මිනිස්සු විතරයි”
-ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රිමාල් ෆ්‍රනෑන්ඩු-

අපි මාස හතකින් අනුර කුමාර දිසානායකව ජනාධිපති කර ගන්නවා. එතුමාට අපි අවුරුදු පහක් දෙනවා. අවුරුදු 75ක් විනාශ කළ රටක් අවුරුදු පහකින් හදන්න අමාරුයි. ඒ අවුරුදු පහ බලලා අපිට තවත් අවුරුදු පහක් දෙන්න පුළුවන්. ඒ වගේම මේ කතාවත් පොඩ්ඩක් බලලා හරියට යන්නෙ නැත්නම් පිටුපසින් ඇවිත් මේක හරියන්නේ නැහැ කියලා නවත්තලා දාන්න.

මේ වේදිකාවේ ඉන්න ලියනගේ අමරකීර්ති, හරිනි අමරසූරිය අපි 2012 – 2014 විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සිටි පතාක යෝධයෝ. අද අනුර සහෝදරයාට හැකිවෙලා තිබෙනවා පතාක යෝධියෙක්ව වේදිකාවට ගන්න. ජාතික ජන බලවේගයේ බෝනස් මන්ත්‍රී ධුරය හරිනි අමරසූරියට ලැබෙනවා. ඇයට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ බොහෝ දෙනෙක් ආදරය කළා. ඇය කිවුවා යන්ඩ ඕන තැන, එකතු වෙන්න ඕන තැන මෙතන, ඔබතුමත් මේකට එකතු වෙන්න කියලා. ජාතික ජන බලවේගයට එකතු වෙන අය දේශපාලනය කළ අය නොවෙයි. ඒගොල්ලෝ එකතු වෙන්නේ දේශපාලනය කරන්නත් නොවෙයි, එකතු වෙන්නේ ඒ ඒ තත්වයන් එක්ක. මගේ වෘත්තිය නිපුණතාවයත් එක්ක මට රට වෙනුවෙන් යමක් කරන්න තිබෙනවා නම්, ඔබතුමන්ලාගෙ රජයක් යටතේ එකතුවෙලා වැඩකරන බව ප්‍රකාශ කරනවා. ඒකට මට මුදල් අවශ්‍ය නැහැ.

මේ වේදිකාවේ ඉන්න අයගේ තනතුරු ඔබ අහන්න ඇති. මේ අය එකතු වෙලා තිබෙන්නේ මේ රට හදන්න. මේ ජාතික ජන බලවේගයේ වේදිකාවට ඔබ කාටත් එකතු වෙන්න පුළුවන්. මේ වේදිකාවට එකතු වෙන්නේ මේ රටට ආදරය කරන, මේ රට හදන මිනිස්සු විතරයි. මෑතක සියත රූපවාහිනියේදි සාකච්ඡාවේදි ප්‍රශ්නයක් අහනවා. “ඔබ ගාව රට හදන්න පුළුවන් මිනිස්සු ඉන්නවාද?” කියලා. අපට පේන්න නැහැ. රටේ මිනිස්සුන්ට පුරුදු වෙලා තිබෙන්නේ නිතරම දැකපු නම් ටිකක් බලලා. ඔබට පේන්නේ නැහැ. ඔබ කවුරුත් දන්නේ නැහැ ඒ කවුද කියලා. ඒ අය දේශපාලකයෝ නොවෙයි. දේශපාලකයෝ හදපු රටක් නැහැ. පසුගිය වසර 75 පහ තුළ දේශපාලකයෝ රට හැදුවා නම් මේ රට මේ තත්වයෙන් තියෙන්න බැහැ. ජාතික ජන බලවේගය සමග එකතු වෙලා තිබෙන්නේ දේශපාලනය කරන අය නොවෙයි. ඒ ඒ ක්ෂේත්‍රයන්ගේ විශේෂඥයින් කියලා පිළිතුරු ලැබෙනවා.

ඔබට මතක ඇති දේශපාලකයෙක් බඩු මල්ලක් ගෙනැත බඩු මිල කීයද අහපු. ඒව කතා කරන අය මේ වේදිකාවේ නැහැ. කෘෂිකර්මාන්තයේ විශේෂඥයන්ගෙන් පිරුණු කමිටුවක් මේ වෙනකොටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා, කොහොමද ආහාර මිල පාලනය කරන්නේ? පසුගිය කාලයේ පාලකයෝ බඩු මිල පාලනය කළේ ගැසට් ගසමින්. බිත්තර, ලූනු මේ මිල කියලා. ඕකට පාලකයෙක් අවශ්‍ය නැහැ. රටක පාලකයා කළ යුත්තේ රටේ ආහාර මිල ඉහළ යනවා නම්, විශේෂඥයන්, ගොවීන්, ඒ පිළිබඳ දැනුමක් තිබෙන පුද්ගලයින් ගෙනත් අහන්ඩ අද ආහාර මිල ඉහළයි, මේක අඩු කරන්නේ කොහොමද? කියලා. ඒහෙම අහන්නේ නැහැ පාලකයෝ. බිත්තර මිල වැඩිවුණු ගමන් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වනවා. බිත්තර, ලූනු, අඩු මිලට වෙන රටකින් ගෙන්වලා දෙන්න පුළුවන් නම්, මේ රටේ ඒව නිෂ්පාදනය කරන්න බැරිද? අපි කතා කළ යුත්තේ එතනට.

අද අනුර සහෝදරයාගේ නායකත්වයෙන් ගොඩනැගුණු ජාතික ජන බලවේගය මගින් කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, කලාව මේ සෑම ක්ෂේත්‍රයක්ම අලලා විශේෂඥයන් සහිත කමිටු හදා තිබෙනවා. ඒ කමිටු දිවා රෑ වෙහෙස වෙමින් රටේ පාලනය බාරගෙන රට හදන්නේ කොහොමද කියන එකට සැලසුම් හදනවා.

අද වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු හිඟයි, ආචාර්යවරු 176ක් සිටිය යුතු විශ්වවිද්‍යාලයේ ඉන්නේ 111ක් පමණයි. ඉංජිනේරු පීඨයෙන් අවුරුද්දකට සිවිල් ඉංජිනේරුවරු 150ක් බිහිකරනවා. අද ගොඩනැගීම් වෙන්නේ නැහැ. සිමෙන්ති මිල ඉහළ ගිහින්. අපට ඉන්න ඕනෙ මේ ගැන සොයා බලන පාලකයෙක්. ගැසට් එකක් ගහලා සිමෙන්ති කොට්ටය රු:1000ට දෙන්න කීවට එහෙම දෙන්න බැහැ. කමිටුවක් පත්කරලා ඒ අයගේ මත විමසා දිය හැකි මිල තීරණය වෙන්න ඕනෑ. මේ අවස්ථාව රට හැර යා යුතු අවස්ථාවක් නොවෙයි, රටට පැමිණිය යුතු අවස්ථාවක්. ඔබ හැමෝම එකතු විය යුතු අවස්ථාවක්. එකතුවිය යුතු තැන තමයි ජාතික ජන බලවේගයේ වේදිකාව.
මේ වසරේ විශ්වවිද්‍යාල සිසුවෙකුගේ අවුරුදු පැතුමක් මට ලැබුණා. “මේ අමාරු අවස්ථාවේ අපිව අත්නොහැර සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුනි, මේ ඔබට අපේ ආචාරයයි” කියලා. මම මේ අවස්ථාවේ අපව අත්නොහැර යන වෛද්‍යවරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, සියලු දෙනාට ආචාර කරනවා. ආරාධනා කරනවා, මේ එකතු වෙන්න හොඳම අවස්ථාව. ජාතික ජන බලවේගය සමග එකතුවෙලා සමෘද්ධිමත්, අපි ආසා කරන රටක් හදමු.

“2024 වසර කියන්නේ ඉතිහාසය ලිවීම අපේ අතට ගන්න අවුරුද්දයි”
-ජාතික ජන බලවේගයේ විධිායක කමිටු සාමාජික ආචාර්ය හරිනි අමරසූරිය-

අපේ අන්තිම රාජධානිය අවසන් වුණේ මේ ඓතිහාසික මහනුවරින්. 1815 බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වෙන කොට අපේ රටේ පාලන ක්‍රමය වෙනස් වුණා. අපි ශ්‍රී වික්‍රමසිංහ රජු ගැන ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්තේ ඔහු නපුරු, දුර්වල රජ කෙනෙක් විදිහට. මීට වසර දෙකතුනකට කලින් දැන් ජීවත්වෙන ලෝක ප්‍රසිද්ධ මානව විද්‍යාඥයෙක් ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන ලියන ලද පොතක් කියෙව්වා. ඩූම් (Doom) කියන ඒ පොතේ සිංහල පරිවර්තනය “නෙරපූ රජ”. ඒකෙන් මට විශේෂ දෙයක් ඉගෙන ගන්න ලැබුණා. ඉතිහාසය ලියනකොට එය ලියන්නේ කවුද කියන එක වැදගත්. ඉතිහාස මූලාශ්‍ර එන්නේ කොහෙන්ද කියන එකත් වැදගත්. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන වෙන ඉතිහාසයක් තිබෙනවා. ඒ අනුව මහනුවර රාජධානිය කියන්නේ දියුණු සංස්කෘතියක් තිබුණු රාජධානියක්. විවිධ භාෂා කථා කරන, විශාල විවිධත්වයක් තිබුණු, ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණු රාජධානියක්. නමුත් අපි මේ සම්ප්‍රදායික රාජධානිය ගැන ඉගෙන ගන්නේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ නිලධාරීන් වූ ජෝන් ඩොයිලි වගේ අය ලියපු සටහන්වලින්. අපිට එක පැත්තක් අහන්න ලැබෙනවා. නමුත් ගණනාත් ඔබේසේකර නම් වූ සුප්‍රකට මානව විද්‍යාඥයා ලියන ලද පොත කියෙව්වාම තමයි ඉතිහාසය කියවන විට අපි කොතරම් පරෙස්සම් විය යුතුද කියන එක වැටහුණේ. ඉතිහාසය බොහෝ විට ලියන්නේ බලය තිබෙන අය. බලය තිබෙන අය ඉතිහාසය ලියනකොට ප්‍රභූවරුන් ගැන ලියනකොට පුරවැසියන්ගේ කතා, ලියවෙන්නෙ නැහැ. විශේෂයෙන් ගැහැනු අපේ කතා කොහොත්ම ලියැවෙන්නේ නැහැ. ඉතිහාසයේ ගැහැනු කතා ඉතාමත් අඩුයි. ඉන්නේ වීරවරයන් පමණයි. වීරවරියන් නැහැ. දැන් එය වෙනස් වෙමින් යනවා.

ජාතික ජන බලවේගය වටා එකතුවෙලා මේ ඇතිකිරීමට යන බරපතළ සමාජ පරිවර්තනය තුළ ඒ ඉතිහාසය ලිවීමේ අයිතිය, ප්‍රභූ පෙළැන්තියේ සිට අපේ අතට ගන්නවා. පුරවැසියා අතට ගන්නවා. ඒ සඳහා තාක්ෂණයත් අපට උදව්කරමින් තිබෙනවා. ඉතිහාසය ලියන්නෙ විශේෂඥයෝ විතරක් නොවෙයි. සාමාන්‍ය ජනතාවට තමන්ගේ කතාව ලියන්න තාක්ෂණය උපකාරී වෙලා තිබෙනවා. සමාජ මාධ්‍ය ඒ සඳහා බලවත් මෙවලමක් වී තිබෙනවා. ඒ නිසාම තමයි පාලකයෝ සමාජ මාධ්‍යයට බයවෙලා තියෙන්නේ. පුරවැසියාගේ කතාව එළියට එයි, ප්‍රභූ පෙළැන්තිය, පුරවැසියාව පාලනය කරන්න උත්සාහ කරන කතාවත් එළියට එයි කියන බය ඔවුන්ට තිබෙනවා.
2024 වසර කියන්නේ අපේ වසර. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය තහවුරු වෙන, අපේ ඉතිහාසය අපේ අතට ගන්න අවුරුද්ද. අපේ කතාව ලියන අවුරුද්ද. මෙතෙක් එක පැළැන්තියක් පාලනය කරපු අපේ රටේ ඉතිහාසය නිම කොට අපේ කතාව අපි ලියන්න පටන් ගන්නවා. මේ අවුරුද්දේ ප්‍රධානම වන්නේ එයයි. එහි ආරම්භය අපි අරගත යුතුයි. ඔබේ කතාවට තැනක් දෙන, ඔබේ අත්දැකීමට තැනක් දෙන, වටිනාකමක් දෙන ඒ බරපතළ පරිවර්තන යුගයක් වෙනුවෙන්, යුගයක් අවසන් කොට නව යුගයක් ආරම්භ කරන 2024 වසර මේ රටට තීරණාත්මක වසරක්. ඒ පරිවර්තනීය යුගය ආරම්භ කිරීමට තමයි ඔබ මේ එකතු වී සිටින්නේ.