(ජාතික ජන බලවේගයේ ත්‍රිවිධ හමුදා සාමූහික ‘අදිටන’ මහනුවර දිස්ත්‍රික් සමුළුව 2024.02.24)
අප විවිධ වෘත්තිවල වැඩ කරනවා. පාසල් ගුරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ව්‍යාපාරික මහත්වරු, නීතිඥ මහත්වරු ආදී වශයෙන් කටයුතු කරන අතර, මෙතැන ඉන්නේ මහා යුද්ධයක් තිබියෙදී, ජීවිත පවා නොතකා සුවිශේෂී වෘත්තියක් තෝරා ගත් පිරිසක්. ඒ නිසා ඔබ විශේෂ මිනිස් සමුදායක්. ඔබ ඔබේ වෘත්තීය කාර්යභාරය නිසි ලෙස ඉටු කළත්, අද ඉතිරි වී තිබෙන්නේ සියල්ල කඩාවැටුණු රාජ්‍යයක්. ඒ නිසා අප ඉදිරිපිට තිබෙන්නේ කිරිඇල්ල වෙනුවට කිරිඇල්ලගේ දුව ගෙනෙනවා වාගේ වැඩක් නොවෙයි. රාජපක්‍ෂ වෙනුවට රාජපක්‍ෂ මලයෙක් හෝ පුතෙක් ගේනවා වාගේ වැඩක් නොවෙයි. මේ රට ගොඩනැඟීම සඳහා සත්භාවයෙන් මැදිහත් වන මිනිස් සමූහයකගේ ක්‍රියාකාරිත්වයක් අවශ්‍යව තිබෙනවා. රටක් ලෙස අපට බොහෝ තැන්වල වැරැදී තිබෙනවා. ඉන්දියාවට නිදහස ලබා ගන්නා විට රට ගොඩනැඟීම සඳහා ඒ ජාතික ව්‍යාපාරයට දියුණු දැක්මක් තිබුණා. ආගම් ලෙස ජාතීන් ලෙස භාෂා ලෙස බෙදුණු ජනතාවක් එක ඉන්දියානු කොඩියක් යටතට ගෙන එන විශාල දැක්මක් තිබුණා. ඒ දැක්ම අනුව ගොඩනැඟූ ඉන්දියානු රාජ්‍යය හඳ මත යානයක් ගොඩබස්වන විට අපේ රට තිබෙන්නේ කොතැනද? ඔවුන් විශාල සාහිත්‍යකලා, සංස්කෘතික පිබිදීමක් ගොඩනඟාගෙන තිබෙනවා. චීනය ගත්තත්, එහෙමයි. සෙල්ලම් බඩු නිර්මාණයේ සිට විශාල තාක්‍ෂණික උපකරණ නිපදවමින්, ලෝක වෙළෙඳපොළේ මහා බලයක් අත්පත් කර ගත්තා. ප්‍රංශයට යටත්ව තිබූ, ඇමෙරිකානු ආක්‍රමණයට ගොදුරු වූ වියට්නාමය මෑත කාලයේ ආසියාවේ වේගයෙන්ම දියුණු වන රාජ්‍යය බවට පත් වී තිබෙනවා. නමුත්, අපේ රට තිබෙන්නේ, ලෝකය ඉදිරියේ බංකොළොත්භාවයට පත්කළ ලැජ්ජාසහගත රාජ්‍යයක් ලෙසයි. විසිවැනි සියවසේ තාක්‍ෂණයෙන්, අධ්‍යාපනයෙන් මහා පෙරැළි ගෙනාවත්, අපේ රටට වී තිබෙන්නේ මොකක්ද?
ඉන්දියාව වාගේ ජාතිය එක කොඩියක් යටතට ගෙන එන සුද්දාගෙන් පසු නිදහස ලැබුණා යැයි විශාල හැඟීමක් ජනතාව තුළ තිබෙන්න ඇති. නමුත්, ඉන්දියාව ගෙන යන දිශාව පිළිබඳව නේරුලාටත්, චීනය ගෙන යන දිශාව පිළිබඳව මාඕ සේතුංලාටත්, වියට්නාමය ගෙන යන දිශාව පිළිබඳව හෝ-චිමිංලාටත්, එක්සත් ජනපදය ගෙන යන දිශාව පිළිබඳව ලින්කන්ලාටත් තිබුණු විශාල දැක්ම අපේ පාලකයන්ට තිබුණේ නැහැ. එක්දහස්නවසිය හතළිස්අටේ නිදහස ලැබුණු විගස වතුකරයේ දෙමළ ජනතාවට තිබුණු පුරවැසිභාවය අහෝසි කළා. උතුරේ චෙල්වනායගම් මැදිහත් වී දෙමළ රාජ්‍යය පක්‍ෂය පිහිටුවූයේ මේ පුරවැසි පනත ක්‍රියාත්මක කළ පසුවයි. අපේ නායකයන්ට ජනතාව බෙදීමේ දැක්ම මිස එක කොඩියක් යට ඒකරාශී කිරීමේ දැක්මක් තිබුණේ නැහැ. 1956දී භාෂා ප්‍රශ්නයක් අවුළුවා ගත්තා. 1958 දෙමළ-සිංහල කෝලාහලයක් අවුළුවා ගත්තා. 1965 වෙන කොට ‘ඩඩ්ලිගේ බඩේ මසල වඩේ’ කියලා පෙළපාළි යන්න පටන් ගත්තා. එක්දහස්නවසිය හැත්තෑහය වෙන කොට උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරයක් ගොඩනැඟෙන්න පටන් ගත්තා. 1981දී යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. 1983දී රට පුරා ජාතිවාදී ගැටුම් ආරම්භ කර මහා යුද්ධයක් දක්වා ගෙන ගියා. 2009දී ඒ යුද්ධය අවසන් කළා. නමුත්, 2015 වෙන කොට වඳ කොත්තු, වඳ ඇඳුම්වලින් පටන්ගෙන 2019දී පාස්කු ප්‍රහාරය එල්ල කෙරුණා. නමුත්, ඒ කාලය අතරතුරත් විවිධ ශක්තිමත් කණ්ඩායම් අපේ රට ගෙන යා යුතු දිශාව පිළිබඳව සාහිත්‍යය, කලාව, සංස්කෘතිය ගෙන යා යුතු දිශාව පිළිබඳව ගැඹුරු සංවාද කරමින් සිටියා. ලංකාවේ ඉදිරි ගමන රඳාපවතින රට විද්‍යුත් කිරීම පිළිබඳව 1919දී විමලසුරේන්ද්‍ර මහතා දැක්මක් සහිතව කරුණු ඉදිරිපත් කළා. 1918දී මාධ්‍යවේදියකු ලෙනින්ගෙන් අහනවා, සමාජවාදය සම්පූර්ණ කරන්නේ කවදාද කියලා. ලෙනින් උත්තර දුන්නේ, සෝවියට් දේශය විද්‍යුත්කරණය කර සම්පූර්ණ කරන දිනයේදී කියලයි. විමලසුරේන්ද්‍ර මහත්තයා 1919දී ලක්‍ෂපාන බලාගාරය ගැන ඉදිරිපත් කරන පත්‍රිකාවේ සඳහන් කර තිබෙන්නේ, ඒ අතිරික්ත විදුලිය විදුලි දුම්රිය දුවවන්න යොදාගත යුතු බවයි. අපේ අනාගතය ගත යුතු දිශානතිය ගැන එතුමාට අදහසක් තිබුණා. විමලසුරේන්ද්‍ර මහත්තයලාට, මාර්ටින් වික්‍රමසිංහ මහත්තයලාට, සරච්චන්ද්‍ර මහත්තයලාට, සේනක බිබිලේ මහත්තයලාට අපේ රට ගෙන යා යුතු දිශාව පිළිබඳව දැක්මක් තිබුණා. ඖෂධ සංස්ථාවේ සභාපති වූ සේනක බිබිලේ මහත්මාගේ දැක්ම අනුව ඕස්ටේ්‍රලියාව වාගේ රටවල් තමන්ගේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සකස් කර ගත්තා. නමුත්, අපේ රටේ දී සේනක බිබිලේ මහත්තයාව ඖෂධ සංස්ථාවෙන් එළියට දැම්මා. එළියේ නිර්මාණය වී තිබූ නව චින්තන දහරාව පැත්තකට දැමූ පාලකයන් අතීතකාමීත්වය දොඩවමින් සිටියා.
අපේ මුළු සමාජයත්, චින්තනයත් අතීතකාමීත්වයේ උගුලක හිර කළා. පාලකයන් රටේ සංවර්ධන නිර්ණායක අතීතය මත මනින්න පටන් ගත්තා. නමුත්, ලෝකය මහා පිමි පනිමින් ඉදිරියට ගියා. 2005දී රනිල් වික්‍රමසිංහ කීවේ, අපේ රට නැවත පරාක්‍රමබාහු යුගයකට ගෙන යන බවයි. ලෝකය සියවස් ගණනාවක් ඉදිරියට යන විට අපේ රටේ නායකයන් අතීත ශ්‍රී විභූතිය පුනරුච්චාරණය කරමින් හිටියා.
කොරියාව කොස්මෙටික් කර්මාන්තයෙන්, විනෝදාස්වාදය සැපයීමෙන් ලෝකයට විවෘත වී තිබෙනවා. බීට්ල්ස් සංගීත කණ්ඩායමේ සමහර සින්දු මිලියන එක්දහස්අටසියයක් නරඹා තිබෙනවා. රටේ ඉන්නේ මිලියන පණහක ජනගහනයක්. ඉස්සර අපේ පැල්කවි, කරත්ත කවි සීමාවෙන් ඉදිරියට ගොස් මහා වාණිජ සීමාවන් අත්පත් කර ගන්න සමත් වුණේ නැහැ. ඒ ගොල්ලෝ ලෝකයට සංගීතය හදන කොට අපි අතීතකාමීත්වයේ හිර කර 20වැනි සියවස මිස් කළ පාලකයන් රටම හිර කළා. ඒ නිසයි අපට නව පුනරුද යුගයක් අවශ්‍ය වන්නේ. ඒ නිසා කිරිඇල්ල වෙනුවට දුව, ප්‍රේමදාස වෙනුවට පුතා, රාජපක්‍ෂ වෙනුවට රාජපක්‍ෂ පුතෙක් හෝ මලයෙක් ගෙනැවිත් මේක වෙනස් කරන්න බැහැ. ඒ ගොල්ලෝ නඟින්නේ බරබාගයට. අප මේ රටත්, මේ රටේ ජනතාවත් විදුලි කෝච්චියට නංවන නව යුගයක් නිර්මාණය කරනවා. ජපානයේ ආර්ථිකය ඉලක්ක කර ගත් සංවර්ධනයේදී මිනිස් සබඳතා බිඳවට්ටා තිබෙනවා. විවාහ වීමේ ප්‍රතිශතය අඩු වෙමින්, සිය දිවි නසා ගැනීමේ ප්‍රතිශතය වැඩි වෙමින් තිබෙනවා. ආර්ථිකය පිමි පැන ගියත්, සමාජ සබඳතා බිඳවට්ටා වැඩක් නැහැ. අපට අවශ්‍ය වන්නේ පැරැණි වියගසෙන්, අසාර්ථක ආර්ථික ගමන්මඟෙන් මිදී නව දිශාවකට සමාජය පිවර්තනය කර ගැනීමටයි.
සමහර අය අපෙන් අහනවා, කැබිනට් මණ්ඩලයට පත් කරන්නේ කවුරුන්ද කියලා. පැරැණි යුගය තිබුණේ, පත් කරන ඇමැතිට සියල්ල ගැටගසමින් ගෙන යන්නයි. නමුත්, අපට අවශ්‍ය වන්නේ ඇමැතිවරයෙක් ව්‍යවස්ථාවට අනුව පත් කළත්, සාමුහිකව පර්යේෂණ සිදු කරන කෘෂිකර්මයට අදාළ සියලු ක්‍ෂේත්‍ර පිළිබඳව මණ්ඩලයකින් සමන්විත සාමුහික තීරණ ගැනීමේ ඒකක පිහිටුවීමටයි. ආරක්‍ෂාවත් ඒ වගෙයි. අප ජාතික ආරක්‍ෂාව පිළිබඳ එක්ස්පර්ට්ලා නොවෙයි. හැබැයි, ඒ සම්බන්ධයෙන් විශේෂඥයන් මේ වේදිකාවේ ඉන්නවා. ඔවුන් තමයි, ඒ පිළිබඳව තීරණ ගන්නේ. අනෙක් අතින් ජාතික ආරක්‍ෂාව කියන්නේ බයිනෙත්තුවක් අතින් ගත් සොල්දාදුවෙක් හන්දියක සිටුවා තැබීම නොවෙයි. ඒ වටා තිබෙන සමස්තය පුරවැසියගේ ජීවිතවලින් පිළිබිඹු කිරීමයි. ඒ නිසා පැරැණි ක්‍රමය මතකයේ තබාගෙන අපෙන් ප්‍රශ්න අහනවා වෙනුවට නව පරිවර්තනයක් පිළිබඳව චිත්‍රයක් සිතේ මවාගෙන ප්‍රශ්න අහන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා. අප යෝජනා කරන්නේ නූතන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ මධ්‍යස්ථානයක්. අප යෝජනා කරන්නේ හුදු ආර්ථික ගමනක් පමණක් නොවෙයි. මිනිස් චින්තනයේ නව පරිවර්තනයක් ද පිළිබඳවයි.
පවතින රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අප යෝජනා කරන්නේ චින්තනමය වශයෙන් පරිවර්තනය වූ රාජ්‍ය සේවයක් පිළිබඳවයි. පැරැණි තැන සිටි නායකයන් මොන තරම් බල්ටි ගැහුවාද? ඒ අසාර්ථක තැන වෙනුවට අප යෝජනා කරන්නේ නව පිබිදීමක්! ඒ අලුත් තැන කියන්නේ දේශපාලකයා ජනතාවට බයේ සැඟවී සිටින තැනක් නොවෙයි, දේශපාලකයා සහ ජනතාව අතර සමීප සම්බන්ධතාවක් තිබෙන තැනක්. මෙතෙක් සිටි පාලකයන් සිතා සිටියේ, ඒ අය මහා බ්‍රහ්මයාගේ නළලෙන් මැවූ බවත්, පුරවැසියන් යටිපතුලෙන් මැවූ බවත් කියලයි. අප යෝජනා කරන්නේ, පුරවැසියාගේ වේදනාව තමන්ගේ වේදනාවක් ලෙස දැනෙන නව දේශපාලනයක්. සාමුහිකත්වය, මානුෂික බැඳීම්, ආධ්‍යාත්මික බැඳීම්, අනෙකා කෙරෙහි සහකම්පනයකින් යුත් මිනිස් සමාජයක නව ආර්ථික මාවතක් අප යෝජනා කරනවා. අපේ දියණියන්ට, කාන්තාවන්ට රැකවරණයක් සහිත සමාජයක්. අපේ අමරකීර්ති සොහොයුරා කීවා, නිල ඇඳුමට බයයි කියලා. නමුත්, අපේ දියණියන්ට, සොහොයුරියන්ට බය හිතෙන්නේ නිල ඇඳුමට විතරද? නෑ. සමාජයටත් බයයි. මිත්‍රශීලී පොලිසියක් සහ ත්‍රිවිධ හමුදාවක් වාගේම සහකම්පනයක් සහිත සමාජයකුත් අවශ්‍යයි. සෞඛ්‍ය ඇමැති බෙහෙත්වලින් හොරකම් කරන, අගමැතිවරයා මහ බැංකුවට ගහන රටක් අපට ඕනෑද? මේ නස්පැත්තිය වෙනුවට නව පුනරුද යුගයක් අපට අවශ්‍යයි.
සුද්දා ගියාම එදා සිටි අපේ වැඩිහිටියන්ට මොන තරම් සතුටක් ඇති වෙන්න ඇතිද? මේ පාලක තන්ත්‍රය පෙරළා දැමුවාම ඒ හැඟීමම ජනතාවට විශාල පිබිදීමක් සහ බලාපොරොත්තුවක් ඇති කරවනවා. සුද්දා අවුරුදු 133යි. මේ පාලකයන් අවුරුදු 76යි. සුද්දාගේ පීඩනය අපට දැනුණේ නැහැ. මේ පාලකයන්ගේ පීඩනය අප අත්වින්දා. ඔක්තෝබර් මාසය වෙන කොට ඔවුන්ගෙන් නිදහස් වීමේ සතුටක් අප භූක්ති විඳිනවා. මේ පාලකයන් පලවාහැර පාලන තන්ත්‍රය පෙරළා දැමීමෙන්ම ජනතාව විශාල පිබිදීමකින් රට ගොඩනැඟීමට ඉදිරියට ඒවි. අපට අපෙ මහපොළොවෙන් ඉපැදුණු විද්‍යාඥයන්ගෙන්, පර්යේෂකයන්ගෙන් වැඩගත නොහැකි වුණාට ලෝකයට වැදගත් අපේ අය විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් නැවත පැමිණෙන්න සූදානමින් සිටිනවා. පිළිකා රෝගයට නව ඖෂධයක් සොයා ගැනීම පිළිබඳ පර්යේෂණ පවත්වන ආචාර්ය ගෝමික, ඇමෙරිකාවේ හුස්ටන් ප්‍රදේශයේ සිටින අපේ පක්‍ෂයේ සංවිධායකයායි. ඔහු එක්සත් ජනපදයේ පර්යේෂණ සඳහා තිබෙන ප්‍රධානම මණ්ඩලයේ සාමාජිකයෙක්. ඔවුන් ලෑස්තියි, පොරබදමින්, මේ රට ගොඩනඟන්න පැමිණෙන්න. දේශපාලකයන් හැටියට අපට තිබෙන මූලිකම වගකීම ඒ සියලු දෙනාගේ විශ්වාසයට අබමල් රෙණක තරම්වත් හානියක් සිදු නොවන ආකාරයට ක්‍රියා කිරීමයි. මැතිවරණයේදී අපව විශ්වාස නොකරන කණ්ඩායම්ද ඉන්පසුව අපව විශ්වාස කරන පරිවර්තනයක් අප සිදු කරනවා. මෙතැනට රැස් වි සිටින ඔබ අධිෂ්ඨානශීලීව ක්‍රියා කරමින්, අභියෝග ජය ගත්තා වාගේ මහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවීමේ කොඩිය අතට ගන්න. යුද්ධය අවසන් කරන්න අවුරුදු තිහකට වැඩි කාලයක් ගත වුණා. මේ යුද්ධය අවසන් කරන්න තව මාස හයයි තිබෙන්නේ. ඒ කාලය තුළ ජයග්‍රහණය ලැබීමේ ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව පෙරමුණටම පැමිණ කටයුතු කරන ලෙස ආරාධනා කරනවා.
“මනුෂ්‍ය ගෞරවය සහිත සමාජය බිහි කරන ගමන ආරම්භ කළ හැකියි”
-ජාතික විද්වත් සංවිධානයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති-
සාහිත්‍යකරුවෝ කියන්නේ මතුපිටට පෙනෙන දෙයින් පිටුපස තිබෙන දේවල් ගැන කල්පනා කරන අය. මම කල්පනා කළේ යුද්ධය පැවැති කාලයේ මේ ඇවිත් සිටින මහත්වරුන්ගේ බිරින්දෑවරුන්, දරුවන් සහ මාපියන්ගේ හිත්වල මොන තරම් ගින්දරක් තියෙන්න ඇතිද කියලා. එවැනි ගිනි ඇවිළෙන හදවත් තුළ මනුෂ්‍ය ශක්‍යතා පිබිදෙන්නේ නැහැ. ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතාගේ කතාව අහගෙන ඉන්න කොට මේ හදවත් තුළ ලංකාව පිළිබඳව කොතරම් සුන්දර සිතුවිලි තිබුණේද යන්න පැහැදිලියි. මහනුවර නගරයේ නිශ්චල වස්තු පවා මේ වේදිකාවේ කරන කතාවල හඬ දෙවරක් මතු කරමින්, ජාතික ජන බලවේගයේ ජය ප්‍රාර්ථනා කරන බවයි මට හිතෙන්නේ.
ත්‍රිවිධ හමුදාවල සහ පොලිසියේ නිල ඇඳුම්වලට මම මාර භයයි. මම ඉපැදුණ් එක්දහස්නවසිය හැටඅටේ. හැත්තෑඑකේ අරගලය මට මතක නැහැ. ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිල ඇඳුම්වලට මම මාර භය ඇයි කියන එක පැහැදිලි කරන්නම්. මම ඉගෙන ගත්තේ ග්‍රාමීය, දුප්පත් පාසලක. මාත් එක්ක ඒ පාසලේ පළමුවැනි පන්තියට ගිය බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ. ඒ අයගේ ජීවිත නැති වුණේ, යුද්ධයේදී. විශේෂයෙන් හමුදා සොල්දාදුවන් විදියට. උසස් පෙළ සඳහා මම ගිය තරමක් ප්‍රකට මධ්‍ය විද්‍යාලයෙන් ඒ අවුරුද්දේ විශ්වවිද්‍යාලයට හතර දෙනෙක් තේරීපත් වුණා. එක් අයෙක් වෛද්‍ය පීඨයට. එක් අයෙක් කළමනාකරණ පීඨයට, දෙන්නෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට. ශාස්ත්‍ර පීඨයට ගිය දෙන්නාගෙන් එක්කෙනෙක් පළමුවැනි වසරෙන් පස්සේ හමුදාවට බැඳී බි්‍රගේඩියර් කෙනකු හැටියට මෑත දී විශ්‍රාම ගියා. ඔහු මෑත දී කතා කරලා මට කීවා, “මමත් දැන් උඹලට වැඩ කරන්නේ… අපේ ජයසේකර සර්ත් ඉන්නවා. හොඳ මිනිහෙක්” කියලා ඒ බි්‍රගේඩියර්වරයා කීවා. ග්‍රාමීය වැඩ කරන පංතියේ හැදුණු වැඩුණු මම ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිල ඇඳුමට බය ඇයි ? ඇයි එහෙම වෙන්නේ?
පුනරුදයක් පිළිබඳව කතා කරන අපි මේ බය එන්නේ කොහෙන් ද කියලා හිතන්න අවශ්‍යයි. අපි හැදුණේ, වැඩුණේ ත්‍රිවිධ හමුදාව අපේ ආරක්‍ෂාව සඳහා ඉන්න පිරිසක් නොවෙයි කියලා හිතාගෙන. අපි වරදක් නොකර පවා ඒ නිල ඇඳුම ඉදිරියේ අපි වරදකාරයෝ හැටියට හිතෙන මානසිකත්වයකින් හැදුණේ, වැඩුණේ. මේ පුරවැසි බිය එන්නේ පුරවැසියන් තුළ ඇති කර තිබෙන ඓතිහාසික භීතියකින්. නිදහසෙන් පස්සේ රට භාර ගත් ඊනියා ප්‍රභූවරු පාලකයන් විදියට කල්පනා කළේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා තිබිය යුතු බවත්, සාමාන්‍ය පුරවැසියන් වැරැදිකාරයන් නොවුණත්, බය විය යුතු පිරිසක් ලෙසයි. මානව ශක්‍යතා විකසිත කරන සමාජයක් බිහි කිරීමේ දී ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ අභිමානය නැවත ගොඩනැඟිය යුතුයි. ඒ කුමක් සඳහා ද? ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය තිබිය යුත්තේ, පුරවැසියන්ගේ ආරක්‍ෂාව සඳහායි, මේ රාජ්‍යය තුළ අප සියලු දෙනාගේ ජීවිත සුරක්‍ෂිතයි, ඒ ජීවිත පොහොණි කළ යුතුයි කියන විශ්වාසය සඳහායි. පුනරුද කතිකාවේ පුරවැසියා පිළිබඳ ආරක්‍ෂාව මූලිකයි. එවැනි පුරවැසියන්ගේ ආරක්‍ෂාව සලසන හමුදාවේ සහ පොලිසියේ අභිමානය රැකෙනවා. නීතියේ ආධිපත්‍යය කියන්නේ මේකට. කාටවත් අතපෙවිය නොහැකි විනිවිද පෙනෙන තැනක නීතිය තිබෙනවා. එය නීතියේ පාලනයයි. තව පිරිසක් ඉන්නවා, නීතියෙන් පාලනය කරන. ඊනියා ප්‍රභූවරයෙක් නීතිය තමන්ගේ අතට අරගෙන. දැන් රනිල් කරනවා වාගේ පාලනය කිරීම නීතියෙන් පාලනය කිරීමයි. නමුත්, පුරවැසි ශක්‍යතා පිබිදෙන්නේ නීතියේ පාලනය සහිත සමාජ තුළයි. ජාතික ජන බලවේගයේ අපි ගොඩනඟන්නේ එවැනි සමාජයක්. ආරක්‍ෂාව පිළිබඳව අලුත් විදියට හිතන පිරිසක් ඉන්න කොට අනිවාර්යයෙන්ම එය කළ හැකියි.
ආරක්‍ෂාව ගැන ලියැවුණු පොත් කිහිපයක්ම මගේ පෞද්ගලික පුස්තකාලයේ තිබෙනවා. රොබට් ලීන් ලියූ ‘ආරක්‍ෂාව පිළිබඳ හැඳින්වීමක්’ කියන පොතෙන් එක කරුණක් ඔබ සමඟ බෙදා ගන්න කැමැතියි. ආරක්‍ෂාව කියන්නේ එක පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමකට අපේක්‍ෂා කරන ගමනාන්තය කරා යන්නට උපකාර කරන, අනාවැකි කිව හැකි ස්ථාවර පරිසරයක් ඇති කිරීමයි. එවැනි ආරක්‍ෂිත පරිසරයක ඉදිරිය ගැන අනාවැකි කිව හැකියි. ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියලා සැකයක් තිබෙන්න බැහැ. ඒ වාගේම තවත් කොටසක් තිබෙනවා. ඒ අපේක්‍ෂාවල ගමනාන්තය කරා යාමේදී අන් අයට බාධා නොකිරීමත් අවශ්‍යයි. ඒ අපේක්‍ෂා ලුහුබඳින අය බාධා කිරීම්වලට හෝ හිංසාවලට ලක් වෙන්නත් බැහැ. එවැනි ආරක්‍ෂිත සමාජයක් තුළ මනුෂ්‍ය ශක්‍යතා විකසිත වෙනවා.
අප වාගේ ග්‍රාමීය පාසල්වල ඉගෙන ගත් කොල්ලන්ට ලැබෙන්නේ සොල්දාදු තනතුර විතරක් නම්, කෙල්ලන්ට ලැබෙන්නේ නිදහස් වෙළෙඳ කලාපයේ කම්කරු තනතුර විතර නම්, ඒකත් නිදහස් සමාජයක් නොවෙයි. දුප්පත් පවුලක ඉපදුණු කොල්ලකුට ත්‍රිවිධ හමුදාවල ඉහළටම යන්න අවශ්‍ය ජීවිත පුබුදුවාලන අධ්‍යාපනයක් අවශ්‍යයි. ආරක්‍ෂාව සහ පුනරුදය පිළිබඳ රටක් නිර්මාණය කර ගැනීම සඳහා අපි පැනිය යුතු පිමි දෙකක් මේ අවුරුද්දේ එනවා. යටත්විජිතවාදීන්ගෙන් පසු පාලනය අයිති කර ගත් පවුල් කිහිපයක් අවුරුදු හැත්තෑහයකට පස්සේ තවදුරටත් හිතන්නේ රට පාලනය කිරීමේ ජානමය අයිතිය තිබෙන්නේ තමන්ට විතරයි කියලා. නමුත්, ජාතික ජන බලවේගය ඉදිරියට ඇවිත්, මේ රට භාර ගන්න සුජාත දූ-පුතුන් සූදානම් බව තහවුරු කර තිබෙනවා. ජීවිතය පුබුදුවාලන, ආරක්‍ෂාව සහිත මනුෂ්‍ය ගෞරවය සහිත සමාජය බිහි කරන ගමන ආරම්භ කළ හැකිව තිබෙනවා. මම ඉපැදුණු එක්දහස්නවසිය හැටඅටේ මාස කිහිපයකට පසු තඹුත්තේගම ඉපදී මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වුණු කොල්ලෙක්, අනුර කුමාර දිසානායක සහෝදරයා, ඒ පුනරුද යුගයට නායකත්වය දෙන්න ඉදිරියට ඇවිත් ඉන්නවා. ඔහු නායකත්වය දෙන පළමුවැනි පියවර, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින්, අභිමානයේ ගමනට, පුනරුදයේ ගමනට එක් වෙමු කියලා ආරාධනා කරනවා.
“නිල ඇඳුමේ අභිමානය ආරක්‍ෂා වන පරිදි සේවයේ යොදවන්න සැලසුම් කර අවසන්”
-විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න-
මෙතැනට රැස් වී සිටින්නේ විශ්‍රාම ජීවිතයක් ගත කරන අය. ඒ සඳහා ඔහුට හෝ ඇයට විශ්‍රාම වැටුපක් ලැබෙනවාට අමතරව බොහෝ දෙනෙක් යම් ව්‍යාපාර පවත්වාගෙන යනවා. ඒ තුළින් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙනවා. සමහර විශ්‍රාමිකයන් ස්වේච්ඡා කටයුතුවල යෙදී සිටින අතර, තව සමහර අය රටතොට සංචාරය කරමින්, අලුතින් නිර්මාණ බිහි කරනවා. මෙවැනි තත්වයක් විශ්‍රාමිකයන්ට තිබෙන්නේ දියුණු රටවල. ඒ රටවල් පාලනය කරන්නේ ජනතා හිතවාදී, ජනතා සේවකයන් මිස ප්‍රභූන් නොවෙයි. නමුත්, අපේ රටේ මේ දක්වා සිටියේ අපේ ඡන්දයෙන් පත් වුණු ප්‍රභූවරුන්. ඔවුන්ගේ බල්ලන්ට කෑම දෙන්නෙත් ජනතාවගේ සල්ලිවලින්. ඔවුන්ගේ දේශපාලන සංස්කෘතිය හොරකමෙන්, වංචාවෙන්, දූෂණයෙන් සල්ලි හම්බ කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ රට බංකොලොත් කර විශ්‍රාමයක් ලබා සිටින ඔබටත්, මටත් ජීවත් වෙන්නත් බැරි අවස්ථාවක් සලසා තිබෙනවා. අපට දේශපාලන අල්ලසක් දීලා, අප ස්වාධීනව කල්පනා කිරීම නතර කර මේ දක්වා ඔවුන් බලය ලබා ගත්තා. දැන් ඒ තත්වය නතර කළ යුතුයි. රට නැවත ගොඩනැඟීම කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.
යුද්ධය පවතින කාලයේ දේශපාලකයන් කීවේ, යුද්ධය නිසා රට ගොඩනැගීමට නොහැකි වී තිබෙන බවයි. එවැනි අවස්ථාවක අප විශාල කැප කිරීම් කර මේ රට බේරාගෙන, දියුණු කරන්න පාලකයන්ට භාර දුන්නා. ඔවුන් කළේ යුද්ධය සහභාගි වූ හමුදා අවභාවිත කිරීමයි. යුද යාන්ත්‍රණයේම එක කොටසක් භාවිත කරමින්, විරුද්ධවාදීන් මර්දනය කළා. තව පැත්තකින් හමුදාවේම අය භාවිත කරමින්, තමන්ගේ ප්‍රතිරූප පුම්බා ගත්තා. ‘රණවිරු රියල් ස්ටාර්’, සමහර ක්‍රීඩා තරග යොදා ගත්තේ එක පවුලකගේ ප්‍රතිරූප පුම්බා ගන්න. හමුදාවල සාමාජිකයන් නොකළ යුතු කාර්යයන්ටත් යොදා ගත්තා. බල්ලො නාවන්න, බිරින්දෑවරුන් සමඟ ෂොපින් යන්න, රෙදි හෝදවා ගන්න තරම් අවභාවිත කළා. නමුත්, ජාතික ජන බලවේගය යටතේ මේ වන විට ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන්. මේ රටේ පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කෙරෙන ලෙසත්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ යුනිෆෝම් එකේ අභිමානය, ගෞරවය ආරක්‍ෂා වන පරිදි රාජකාරී කිරීමටත්, ත්‍රිවිධ හමුදා නවීකරණය කරන්නත් සැලැසුම් කර තිබෙනවා. විශ්‍රාමිකයන්ගේ හැකියා අනුව ජාතික නිෂ්පාදනයට දායක වෙන්නත්, විදේශවල සාමසාධක හමුදා ලෙස නිසි පරිදි යොදවන්නත් සැලසුම් කර අවසන්.
“අදිටන සාමුහිකය ජාතික ජන බලවේගය සමඟ ස්ථීර ලෙසම ජයග්‍රහණය කරා යනවා”
-විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා-
ජාතික ජන බලවේගයට ජයග්‍රාහී ගමනක් යන්න තල්ලුවක් දීමේ එකම අරමුණින් අප සියලු දෙනාම මේ අවස්ථාවට සහභාගි වී ඉන්නවා. ජාතික ජන බලවේගය දිනෙන් දින ලබා ගන්නා සාර්ථකත්වය හමුවේ අවලාද, මඩ ප්‍රහාර එල්ල කරමින් තිබෙන බව අප කවුරුත් දන්නවා. හොඳම උදාහරණය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසට ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන්න ලැබුණු ආරාධනය. ඒ සංචාරය නිසා රටේ දේශපාලන වටාපිටාව ඉතාමත්ම උණුසුම් වුණා. අපේ නායකතුමා ඊට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයට, ඕස්ටේ්‍රලියාවට ගිය අවස්ථාවල ඒ වාගේ උණුසුමක් දැක්කේ නැහැ. නමුත්, ඉන්දියාවේ සංචාරයේ යෙදෙන විට ලොකු කැළඹීමක් ඇති වුණේ එය රාජ්‍ය මට්ටමේ සංචාරයක් වූ නිසයි. එය ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකභාවයෙන් යුක්ත සංචාරයක් වූ නිසයි. කලාපයේ ප්‍රධාන බලවතා වන ඉන්දියාව මේ ආරධනය කළ නිසා සත්‍යයෙන් තොර කරුණු ජනගත කරන්න විරුද්ධවාදීන් උත්සාහ කළා. විරුද්ධ පක්‍ෂයේ නායකත්වයක්වත් නොදරන පිරිසකට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉතිහාසයේ කවදාවත් මෙවැනි ආරාධනයක් ලැබී නැහැ.
ඉන්දියාවේ ඉහළ පෙළේ නිලධාරීන් හමු වී රාජ්‍යතාන්ත්‍රිකභාවය මනාව සටහන් කරගෙන පැමිණි බවයි, අප සියලු දෙනා දැක්කේ. ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරිය මේ දූත පිරිස හමු වීම නිසා වෙනත් ව්‍යාජ කරුණු ප්‍රචාරය කර තිබුණා. මමත් පකිස්ථානයේ මහ කොමසාරිස් කාර්යාලයේ වැඩ කර තිබෙන නිසා අත්දැකීමෙන් දන්න දෙයක් තිබෙනවා. රටක විදේශ ඇමැතිවරයා හෝ ඇමැතිවරිය හමු වී සාකච්ඡා කිරීමට යම් රටක නියෝජිතයන් පැමිණෙන අවස්ථාවක ඒ ආගන්තුක රටේ තානාපතිවරයාත් එම අවස්ථාවට සහභාගි වීම අනිවාර්යයයි. අපේ දූත පිරිස නවෝත්පාදන කේන්ද්‍රස්ථානවල සංචාරය කරමින්, අවබෝධයක් ලබා ගත්තා. ඉන්දියාවත් මෙය සැලකුවේ ඉතාම වැදගත් උපායමාර්ගික ක්‍රියාවක් හැටියට. මෙයට පෙර එහි ගිය නායකයන් ආගමික ස්ථාන වැඳපුදා ගත්තා විතරයි. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ජාතික ජන බලවේගයට මේ ආරාධනාව ලැබුණේ අපේ මාතෘභූමියේ ඉදිරි දේශපාලන නායකත්වය ලබා ගන්නා පිරිස ගැන කියවීමක් සහිතවයි. කලාපයේ දේශපාලන බලවතා මෙවැනි සංඥාවක් නිකුත් කරන කොට මඩ ප්‍රහාර, අවලාද, අභූත චෝදනා එල්ල වීම අරුමයක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ ඉන්දියානු විරෝධයක් ගැන මවාපාන්න හදනවා. එක්දහස්නවසිය අසූහතේ ඉන්දියානු හමුදාව අපේ ගුවන් සීමාව ආක්‍රමණය කළා. මම ගුවන් හමුදාවේ නියමුවෙක් හැටියට එය විවේචනය කළා. අපේ ප්‍රශ්නය විසඳන්න ඉන්දියානු හමුදාව ගොඩබැස්සාම මම ඒකත් විවේචනය කළා. ඒ විවේචනය ඉන්දියානු රජයට එල්ල වෙන්නේ අපේ රාජ්‍යතාන්ත්‍රිකත්වයේ තිබුණු දුර්වලකම නිසයි. මෙරට පාලකයන් අපේ රටට අහිතකර තීරණ ගත් නිසයි. ඒ විවේචනය අදත්, හෙටත් අපි එල්ල කරනවා. ඉන්දියාවට විතරක් නොවෙයි. ඕනෑම රටක් සම්බන්ධයෙන් ඒක අදාළයි. මට කෙටියෙන්ම කියන්න තිබෙන්නේ, රාජ්‍යතාන්ත්‍රිකභාවය කියන්නේ හැම දේකටම එකඟ වී එහෙයි කියන එක නොවෙයි; සාමාකාමීව අපේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරගෙන අනවශ්‍ය දේට එකඟ නොවීමටත් කටයුතු කිරීමයි. අදිටන සාමුහිකය ජාතික ජන බලවේගය සමඟ ගමන් කර ස්ථීර ලෙසම ජයග්‍රහණය කරා යනවා.
“අප දිවිහිමියෙන් බේරා දුන් රට අද බේරා ගත යුත්තේ කාගෙන්දැයි ඔබ දන්නවා”
-අදිටන ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර-
මේ අවුරුද්ද අවසන් වන විට ජාතික ජන බලවේගයේ පාලනයක් පිහිටුවනවා. අනුර කුමාර දිසානායක අපේ නායකත්වය වටා ගොඩනැඟී තිබෙන මහා පක්‍ෂයේ ප්‍රතිපත්ති මතයි, ඉදිරි ක්‍රියාමාර්ග දියත් කරන්නේ. ඒ වෙනුවෙන් ජාතික ආරක්‍ෂක ප්‍රතිපත්තිය වටා ක්‍රියාමාර්ග ගණනාවක් සැලැසුම් කර පුරවැසියාගේ ආරක්‍ෂාව ප්‍රමුඛතම කටයුත්ත ලෙස ගෙන තිබෙනවා. බලශක්තිය ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛතම අංගයක් ලෙස රැකගැනීමේ සුවිශේෂී අවධානය යොමු කර තිබෙනවා. ඒ වාගේම ආහාර සුරක්‍ෂිතතාවත් ඒ හා සමානවම ගෙන කටයුතු කරනවා. පුරවැසියාගේ ආරක්‍ෂාව, බලශක්ති සුරක්‍ෂිතතාව සහ ආහාර සුරක්‍ෂිතතාව යන ත්‍රිකෝණය මූලික කර ගත් අනෙකුත් කටයුතු ක්‍රියාමාර්ග ලෙස දියත් කරනවා. උදාහරණයක් ලෙස බස්වල පොල් පැටවූවා වාගේ යන මඟී ප්‍රවාහනයක් සහ දුම්රිය මඟී ප්‍රවාහනයක් අප කිසිවකුත් බලාපොරොත්තු වනවාද? පුරවැසියාගේ ආරක්‍ෂාව මේ තැන්වල දී පවා තහවුරු විය යුතුයි. ජාතික ජන බලවේගයෙන් මහජන පාලනයක් පිහිටුවන්නේ ඒ ක්‍රියමාර්ග දියත් කරන්නයි. වගකීම, වගවීම සහ අප සියලු දෙනා එක් වී මේ රට ගොඩනැඟීමයි සිදු කරන්නේ. මේ රටේ උත්තරීතරම වස්තුව පුරවැසියන්. අනෙක් සියල්ල භෞතික වස්තු.
සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, 16%ක්වූ වනගහනය මේ හැම දෙයක්ම ආරක්‍ෂා කෙරෙන ක්‍රියාමාර්ග ජාතික ආරක්‍ෂාව යන්නට ඇතුළත්. මේ සියල්ල මෙහෙයවන්නේ නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරිමෙන්. පුරවැසියාට ගරුත්වයක් සහිතව ජීවත් වන්න ඉඩ සැලසෙන්නේ එහෙම සමාජයකයි. ගෞරවනීය, සුරක්‍ෂිත, ගරුකටයුතු රාජ්‍ය සේවයක් ඒකාන්ත වශයෙන්ම අපි ගොඩනඟනවා. දේශපාලඥයන් විසින් මුදලට යටකළ පහත් කොට සලකන රාජ්‍ය සේවය අද ඇදදමා තිබෙන පහත් තැනින් ඉහළට ඔසොවා තබන්න රාජ්‍ය සේවය දූෂණයෙන් මුදා ගන්නවා. අපට මිලිටරි සයන්ස් උගන්වනවා වගේ දේශපාලනයත් විද්‍යාවක්. අප හැම කෙනෙක්ම දේශපාලන විද්‍යාව අප තුළ ඇති කර ගත යුතුයි. අපේ කතිරයෙන් බලය ගත් පිරිස් මේ දක්වා අපට දේශපාලනය එපා කරවූවා. නමුත්, හොඳ පුරවැසියෙක් බිහි කරන්න දේශපාලනය මුල්වූ හොඳ පෞරුෂයක්, විනයක් තිබෙන පරිසරයට ආදරය කරන හොඳ පුරවැසියන් නිර්මාණය කිරීමට හොඳ මිනිසුන් සිටින එකම තැන ජාතික ජන බලවේගය පමණයි. ඉතාම හොඳ බුද්ධිමත්, විනයගරුක එකම තැන ජාතික ජන බලවේගය පමණයි.
පුරවැසියාට සේවය සඳහා පුරවැසියාව මෙහෙයවන එකම බලවේගය වටා අප සියලු දෙනාම එකතුවී සිටින්නේ ලෝකය ඉස්සරහ ලැජ්ජාවට පත් කර තිබෙන රට ගොඩනඟන්නයි. මේ රට හදා ගන්න මෙතුමන්ලාට තනියෙන් බැහැ. අප හැමෝම පෙරට එන්න ඕනෑ. දේශපාලනය කියලා මේ දක්වා හඳුන්වා තිබුණේ නරක මිනිස්සු ටිකක් තෝරලා, බිස්නස්කාරයෝ ටිකක් අරගෙන සමාජය කොටස්වලට කඩලා ඔවුන්ගේ මඩිය තර කර ගැනීමයි. නමුත්, දැන් අපි හරි තීරණය අරගෙන කටයුතු නොකළොත්, දේශපාලනය විසින් අපව විනාශ කරන බව ස්ථිරයි. අප දිවිහිමියෙන් බේරලා දුන් රට අද බේරා ගත යුත්තේ කාගෙන්දැයි ඔබ සැම දන්නවා. ජයග්‍රහණයෙන් පසුව අපට කරන්න විශාල වැඩකොටසක් තිබෙනවා. මාලිමාව තිබෙන්නේ අප සියලු දෙනා අතේ. අනාගතය ගොඩනඟන්න ත්‍රීවීලර් මහත්වරුන්ගෙන් පවා විශාල මෙහෙවරක් ගැනීමට තිබෙනවා. ඇඹිලිපිටිය, කොළොන්නෙන් ඔවුන්ව සංවිධානය කිරීමත් ජාතික ජන බලවේගයෙන් පටන් ගත්තා. මෙතැනට ඇවිත් සිටින කවුරුත් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් පැමිණ නැහැ; හදවතින්ම ආවේ. අපි සියලුම දෙනා එක් වී රට ගොඩනඟමු.