Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“මූල්‍ය විනය ගැන කතා කියන රනිල් ජනතා මුදල් කෝ ටි 875ක් ජනාධිපතිවරණ ප්‍රචාරණයට වෙන් කරගත්තා මේ දූෂිත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුද?” -ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක-

(-පුනරුදයට රටම එකට – ජාතික ජන බලවේගයේ කළුතර මහ රැලිය – 2024.06.29-)

Kaluthara-Public-Rally

ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් දෙගිඩියාවක් සැකයක් සාංකාවක් රට තුළ නිර්මාණය කළා. මීට පෙර ජනාධිපති ඡන්දෙට කල් තිබියදී ඊට කලින් ජනාධිපතිවරණය පැවැත්වූවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මහජනයාගේ ආණ්ඩුවක් සඳහා පොදු ජනතාව එකට එකතු වෙලා තිබෙනවා ඒ පිළිබඳව පාලක පංතිය කලබලවෙලා තිබෙනවා. ජනාධිපතිවරණ ඡන්දය නොතියා ඉන්න ගත් පියවරයන්, සාකච්ඡා දැන් අවසන් වෙලා තිබෙනවා. ජූලි මාසේ 17දා වන විට මැතිවරණ කොමිසමට බලය එනවා ජනාධිපති ඡන්දය ප්‍රකාශයට පත්කරන්න, නාම යෝජනා කැඳවන්න, ඡන්ද දිනය තීන්දු කරන්න. ඡන්දය වැළැක්වීම සඳහා ගත් පියවරයන් සියල්ල අසාර්ථක වෙලා තිබෙන්නේ.
දැන් ඒගොල්ලන්ගේ ඊළඟ පියවර වෙලා තිබෙන්නේ ඡන්දයට මුහුණ දීලා, ජයග්‍රහණය කිරීමට කුමන්ත්‍රණ දියත් කිරීම. ජනතාව සංවිධානය කරමින්, සංවිධානය කරමින්, ජනතාවට ආමන්ත්‍රණය කරමින් ඡන්ද ව්‍යාපාරයක් දියත් කරන්න රනිල් වික්‍රමසිංහ අද අපොහොසත් වෙලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමක් අද උත්සාහ දරමින් ඉන්නේ මාලිගය ඇතුලේ කුමන්ත්‍රණ දියත් කරමින් ඉන්නවා. අපි හොරණ මහජන ක්‍රීඩාංගණයේ ජනතාව අමතමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මාලිගාව ඇතුලේ හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මයන්ත, කාවින්ද එක්ක කතා කරමින් ඉන්නවා. තැන තැන ඉන්න කණ්ඩායම් එක තැනකට ගෙනත් මැතිවරණය මුහුණ දීම සඳහා සැලසුම් හදමින් ඉන්නවා. උඩ කරන මාලිගා කුමන්ත්‍රණවලින් ජනතාවගේ නැගිටීම ආපසු හරවන්න බැරි බව තමයි මේ හොරණ ජනතාව ඒකරාශී වීමෙන් පෙන්නුම් කරන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ කඳවුර, සජිත් ප්‍රේමදාස කඳවුර, ජාතික ජන බලවේගය නියෝජනය කරන කඳවුර ලෙස කණ්ඩායම් තුනක් ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා පෙළ ගැසී සිටිනවා.

සජිත් පේමදාසට ජනාධිපතිවරණයට තරග වදින්න එයාට තිබෙන එකම සුදුසුකම එයාම කියන ආකාරයෙන්, පේමදාසගේ පුතාවීම පමණයි. සජිත් පේමදාස ජනාධිපති පේමදාසගේ පුතෙක් නොවුණා නම්, මොනවගේ වේවිද? එයා හොරණ නගර සභාවේ මන්ත්‍රීකමකටවත් සුදුසු කෙනෙක් නොවෙයි. දැන් සජිත් ගැන කතා කරවා, එයාගෙම පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා. සජිත් කිව්වා එයාලගේ ආණ්ඩුවේ හොරකම් අල්ලන්න වැඬේ බාර දෙන්නේ සරත් ෆොන්සේකාට කියලා. අද ආණ්ඩුව හදන්න කලින්ම ෆොන්සේකා හොරෙක් අල්ලලා තියෙනවා. කැසිනෝ සල්ලි එන හැටි ගැන කිව්වා. ඒ නිසා සජිත්ගේ කඳවුර ගැන තවදුරටත් කතා කිරීමෙන් පලක් නැහැ.

Kaluthara-Public-Rally

එහෙත් රනිල්ගේ කඳවුර ගැන කතා කළ යුතුයි. ජනතාවගේ නැගිටීම මුළුමනින්ම පාවාදීලා, ජනතා අපේක්ෂාවන් මුළුමනින්ම විනාශයට පත්කරලා, පැරණි විනාශකාරී ගමනේම මේ රට ඇදගෙන යන්න කැස කවන්නේ රනිල් වික්‍රමසිංහ කඳවුරයි. පසුගියදා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනත් තමන්ට අයවැයෙන් වෙන්කරපු මුදල්වලට අමතරව කෝටි 875ක් වෙන්කර ගන්නවා. කාලය තව මාස දෙකයි. (ගහල යන්න තිබෙන බල්බ් එකක්.) මේ මහජනතාවගේ ධනය මුළුමනින්ම තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට යොදවන්න රනිල් වික්‍රමසිංහ සැලසුම්කර තිබෙනවා. දකුණේ ආණ්ඩුකාරවරයා අලුත් පත්වීම් ගණනාවක් දීලා තිබෙනවා. හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන්ට ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ තනතුරක්. ගොඩක් සභාපතිවරු පළාත් පාලන ඡන්දේ අපේක්ෂකයන් ඡන්දෙදි ඒ අය ආණ්ඩුවේ මුදල් වියදම් කරන්නේ කොහොමද? ව්‍යාපෘතිවලට යොදවන්නේ කොහොමද? ඒ ව්‍යාපෘතිය හදන්නේ කොහොමද? ඒවට මැදිහත් වෙන්නේ කොහොමද? කොන්ත්‍රාත් දෙන්නේ කාටද? තමන්ට ගානක් ගන්නේ කොහොමද? ඒකට දැන් ලක්ෂ්මන් යාපා හිටපු සභාපතිවරු පත්කර තිබෙනවා. මහජනයාගේ ධනය තමන්ගේ හෙන්චයියන් හරහා මැතිවරණ ව්‍යාපාරයට යෙදවීම සඳහා රනිල් කටයුතු කරමින් තිබෙනවා.

මහජනයාගේ ධනය උපයෝගී කරගෙන රනිල්ට පක්ෂ කණ්ඩායම්වලට විශේෂ මුදල් ප්‍රතිපාදන වෙන්කරමින් ඒ අය තමන්ගේ පැත්තට බිලීබාගන්න උත්සාහ කරනවා. විමධ්‍යගත අරමුදල්වලින් කෝටි 120ක් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 19 දෙනෙකුට දුන්නා. රිෂාඞ් බදුර්දීන්, චම්පික රණවක, හර්ෂ ද සිල්වා, මාන්නප්පෙරුම, මයන්ත දිසානායක, කාවින්ද ජයවර්ධන, අලවතුවල මේ ආදී කණ්ඩායමට දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහජනයාගේ ධනය නාස්තිකරමින් ඉන්නවා. රනිල්ට ගමේ එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියක් නැහැ. ආසන සංවිධායකයෙක් නැහැ. ඒ හින්දා රනිල් ආණ්ඩු පක්ෂයේ ඉන්න අයටත්, ආණ්ඩු පක්ෂයේ නැති, තමන් තෝරාගත් මන්ත්‍රීවරුන්ටත් බාර් ලයිසන් දීලා, පෙට්ට්‍රල් ෂෙඞ්වල ලයිසන් දීලා මන්ත්‍රීවරුන්ගේ සහාය ගන්න උත්සාහ කරනවා. සජිත් ප්‍රේමදාස මෑත කිව්වා “මෑත කාලයේ බාර් ලයිසන් දීපු සියලුම බාර්වල ලයිසන් කැන්සල් කරනවා” කියලා. මම සජිත් පේමදාසගෙස් එකක් අහනවා “ඔයාට කියන්න පුළුවන්ද ඔයාගේ පක්ෂයේ කිසිවෙක් බාර් ලයිසන් ගත්තේ නැහැ” කියලා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට, රටේ මූල්‍ය ආයතනවලට මුදල් විනය ගැන කතා කරනවා. මුදල් විනය ගැන කතා කරන රනිල් වික්‍රමසිංහ මහජනතාවට බදු ගහලා, දුෂ්කර තත්වයන් යටතේ මහජනයා ඒවා දරාගෙන එකතු කරගත් ධනය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයක් වෙනුවෙන් යොදවන්න සැලසුම්කර තිබෙනවා. මේ මොහොතේ රනිල් කරන දේ බැලුවත් රනිල් වික්‍රමසිංහ පරාජය කළ යුතුමයි.

ජනතාවගේ ප්‍රාර්ථනය ‘වෙනසක්’ අවශ්‍යයි කියලා. උතුරේ දෙමළ ජනතාවත්, නැගෙනහිර මුස්ලිම් ජනතාවත්, දකුණේ සිංහල ජනතාවත් වෙනසක් අවශ්‍ය බව කියනවා. ගොවි ජනතාව, ධීවර ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, ත්‍රී විලර් රියදුරන් හමුවුණාම කියන්නේ “මේ විදිහට තවදුරටත් යන්න බැහැ. වෙනසක් ඕනෑ” කියලා. ‘වෙනසක්’ බහුතර ජනතාවගේ අපේක්ෂාව. මොනවගේ වෙනසක්ද ඕනේ? රනිල් වික්‍රමසිංහට මේ වෙනස කළ හැකිද? පොහොට්ටු පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහල සහාය දෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ. හැබැයි පොහොට්ටුවේ කිහිපදෙනෙක් ප්‍රකාශ කර තිබෙනවා, රනිල්ට සහාය දෙන බව. ඒ අය කවුද? පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාව, එයාර් පෝර්ට් එකේදි නිලධාරී මහතෙකුට පහර දුන්නු, අපචාර ක්‍රියාවලට සම්බන්ධ වුණු ගම්පහ ප්‍රසන්න රණවීර, කප්පම් ගැනීම හේතුවෙන් මහාධිකරණයෙන් අවුරුදු හතරකට ඇඟ බැඳ තිබෙන ගම්පහ ප්‍රසන්න රණතුංග, බන්ධනාගාරයට මහ රෑ ගොස්, සිරකරුවන් මිදුලට අරගෙන, පිස්තෝල ඔලුවට තියලා, දණ ගස්සලා, තර්ජනය කරපු, මහනුවර ලොහාන් රත්වත්තේ ඇමති, ඔබ දන්න, මීගම්වේ නිමල් ලංසා, නැගෙනහිර කරුණා, නැගෙනහිර පිල්ලෙයාන්, අලුත් වෙනසක් වෙනුවෙන් සහාය රනිල් වික්‍රමසිංහට. මේ කණ්ඩායම කවුද? රට වෙනස් කිරීම වෙනුවෙන් දායකත්වයක් රනිල් වික්‍රමසිංහ සහ ඔහු වටා එක්වෙන ත්‍රාඩ කණ්ඩායමට ලබාදෙන්න පුළුවන්ද? දැනටමත් ඉන්න වජිර අබේවර්ධන, වගේ අය පැරණි අසාර්ථක ගමන තවදුරටත් ඉදිරියට ගෙන යන්නයි මේ ත්‍රාඩ කණ්ඩායම සූදානම් වෙන්නේ. ඔය ත්‍රාඩ කණ්ඩයම වෙත බලය ලබා නොදිය යුතුයි යන අධිෂ්ඨානයට ජනතාව එන්න ඕනෑ. එහෙම නම් සජිත්ගේ කණ්ඩායමට දෙන්න ඕනද? පව්. ඒ ගැන වැඩිය කියන්න ඕන නෑ.

Kaluthara-Public-Rally

ජේ.ආර්. ජයවර්ධන රට පාලනය කළ පසු බෑනා බලය ඉල්ලනවා. ප්‍රේමදාස රට පාලනය කළා. දැන් ඔහුගේ පුතා බලය ඉල්ලනවා. මහින්ද රාජපක්ෂ රට පාලනය කළා. දැන් ලැහැස්ති වෙනවා පුතා බලය ඉල්ලන්න. අපේ රටේ දේශපාලන බලයේ සුක්කානම කැරකුණේ පවුල් කිහිපයක් අතේ. පැරණි, විනාශකාරී, දූෂිත ප්‍රභූ පෙළැන්තිය අතටම යළි බලය ඉල්ලන්න එනවා. ඔවුන් කිසිවෙකුටත් මේ රටට කිසිදු වෙනසක් කරන්න බැහැ. එය කළ හැක්කේ හොරණ මහජන ක්‍රීඩාංගණයට මේ අවස්ථාවේ රැස්වෙන ඔබ වැනි රට පුරා විසිරී සිටින ජනතාවටයි. අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස සේවය කළ ඒ.පී.ඒ. ගුණසේකර මහතා මේ වේදිකාවේදී කීවේ කවදාවත් දේශපාලන වේදිකාවට නගින්න නොසිතූ බවයි. රවී සෙනෙවිරත්න මැතිතුමා, සම්පත් තුයියකොන්තා මැතිතුමා, මහාචාර්ය ලියනගේ අමරකීර්ති සොයුරා වගේ බොහෝ දෙනෙකු අද ඒ කතාවම කියන්නේ අපි හැමදෙනාටම මේ රට වෙනස් කිරීමේ වේදිකාවට ගොඩවෙන්න බල කර ඇති නිසයි. මේ කිසිවෙකුත් පැරණි අසාර්ථක දේශපාලන ගමනට මුක්කු ගැසූ ඔවුහු ඒ ගමන කර පින්නාගෙන ගිය අය නොවෙයි. අලුත් පිරිසක් එක්කරගෙන මේ රට ගොඩනැගීමේ මහා ජන බලවේගය ගොඩනගා තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණයි.

මල්වතු මහා නාහිමි හමුවූ අවස්ථාවකදී උන්වහන්සේ කියූ කතාවක් මට මතක් වෙනවා. 1970 සහ 1980 දශකවල උන්වහන්සේලා ඉන්දියාවට වැඩම කළ අවස්ථාවලදී කුඩයක් ඉහළාගෙන ගිය හොත් ඉන්දියානුවන් ඇවිත් කුඩය අතගා බලා පැහැර ගන්න උත්සාහ කරනවාලු. ඒ වගේම ඉන්දියාවට කලිසම් රෙදි ගෙනගිය හොත් එයාර් පෝර්ට් එකෙන් එළියට යනකොටම විකුණා අවසන් කළ හැකි වූ බව ව්‍යාපාරික මහත්මයෙක් කිව්වා. එසේ වූ ඉන්දියාව මේ කලාපයට අවශ්‍ය ඖෂධ, මෝටර් රථ, ආහාර නිෂ්පාදනය කරනවා වගේම තාක්ෂණයත් නිෂ්පාදනය කරනවා. හඳට යනවා. අපේ පාලකයෝ රටේ තිබුණු කර්මාන්ත පද්ධතියත් මුළුමනින්ම විනාශ කර දමා ඉතිරි වී තිබෙන ආයතනත් විකුණන්න උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ගමන ඒක.

අපේ රටේ තිබෙන සම්පත් ඉතා හොඳින් උපයෝජනය කර ගනිමින් නව ගමනකට අලුත් වෙනසකට ගෙනයාමේ පරිවර්තනයක් අපි සිදු කරනවා. ඒ වෙනුවෙන් ලොව පුරා සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයන් එක්වී අපේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති මාලාවේ මූලික කෙටුම්පත ඉදිරිපත් කළා. තමන්ගේ දරුවා කොයි මොහොතේ මත් උවදුරට ගොදුරුවේ දැයි බයෙන් සිටින සමාජය මුළු මනින්ම වෙනස් කර විද්‍යාව හා තාක්ෂණයේ නව ප්‍රබෝධයක් ඒ දරුවන්ට අත්කර දිය යුතුයි. මෙතෙක් අප කෙරෙහි විශ්වාසය නොතැබූ ජනතාවගෙන් 90%ක් පමණ දැන් අප වටා එකතුවී සිටීම රට ගොඩනැගීමේ ජයග්‍රහණයේ පළමු පියවරයි. ජනතාව වෙනස් වී රට ගොඩනැගීම සිදුකළ හැකියි. තමන් තුළ සිදුකර ගත් වෙනස රටේ ජයග්‍රහණයක් දක්වා යොදවන්න නම්, ජනාධිපතිවරණයේදී මාලිමා ජයග්‍රහණය කරවන්න ඕනෑ. මේ වන විට තමන් වෙනස් වී එසේ වෙනස් වූ කරුණු අනෙක් අය සමග සාකච්ඡා කරමින් යන විශාල පිරිසක් රට තුළ ඉන්නවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නිරන්තරයෙන්ම සමාජය සමග සංවාදයක යෙදී සිටිනවා. ඒ එකතුවීමේ ජයග්‍රහණය රටටත් අනාගත පරපුරටත් අත්කර දීම තහවුරු කිරීම වෙනුවෙන් රොද බැඳගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා.

Kaluthara-Public-Rally

“මඩ ගහලා අවලාද ගහලා අපේ ව්‍යාපාරයේ ජයග්‍රහණය වළක්වන්න බැහැ”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා-

මේ පිටිය පුරා විසිරී සිටින අධිෂ්ඨානයෙන් යුතු ජනතාව දෙස බලන විට පැහැදිලි වෙන්නේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට තමන්ගේ පංගුව එකතු කරන්න හොරණ ආසනයේ ජනතාව සූදනම් කියන එකයි. මේ වන විට ජනාධිපති සටන පටන්ගෙනයි තිබෙන්නේ. එක පැත්තකින් සජිත් පේමදාස මහත්තයා කාගෙන් හරි සල්ලි ටිකක් අරගෙන පාසලකට බස් එකක් හෝ පන්ති කාමරයක් ලබාදී ළමයි එකතු කරගෙන, ‘මිත්‍රවරුනි’ කියලා දේශපාලන කතා පවත්වනවා. ෆොන්සේකා මහත්තයා එයාට වැටෙන්න කඳ හරහා ගහපු නිසා මේ දවස්වල කතා අඩුකරලා තිබෙන්නේ. අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය බලය යොදවලා දිස්ත්‍රික් සංවර්ධන සභා කමිටු කැඳවමින් තව පැත්තකින් අල්ලස් දීලා මන්ත්‍රීවරු ගන්න ක්‍රියාකරමින් ජනතාවට බඩු සහ ඉඩම් ඔප්පු බෙදමින් යනවා.
රනිල් වික්‍රමසිංහ ජනතාවට හැමදාමත් අනාගතය ගැන කියමින් ඉන්නවා. ඔහු අනාගතය වෙනුවෙන් හැමදාමත් කියූ කිසිම දෙයක් ඉටුවී නැහැ. මීට කලකට පෙර අපේ රටේ තරුණ තරුණියන්ට රත්තරං බ්රේස්ලට් පැළඳිය හැකි තත්වයක් ඇති කරන බව කීවා. නමුත් අන්තිමටම ගෙදර අම්මලාගේ සහෝදර සහොදියන්ගේ රත්තරං බඩු ටික බැංකුවලට සින්න වෙලා ගියා. ඊට පස්සේ කිව්වා රට පුරා වයිෆයි කලාප ඇති කරනවා කියලා. අන්තිමට සිදුවී තිබෙන්නේ රුපියල් 100/- ඬේටා කාඞ් එකක් දාගන්න බැරි වීමයි. 2020වන විට ලංකා ණය බරින් නිදහස් කරන බව කලින් කීවා. තව අවුරුදු හතරකින් ණය ගෙවන්න පටන් ගන්න බව දැන් කියනවා. ඉස්සර ගුවන් විදුලියේ ගීතයෙන් ගීතය කියලා වැඩ සටහනක් තිබුණා වගේ රනිල් වික්‍රමසිංහ දැන් කියන්නේ බොරුවෙන් බොරුව. එක බොරුවක් කියලා ඒක අමතක වෙද්දී තව බොරුවක් කියනවා මුල් බොරුව ජනතාවට අමතක කරනවා. බොරුවෙන්මයි යන්නේ. ඔවුන් යමක් කරයි කියලා විශ්වාස කළ කාලයේ ජනතාව ඒ බොරු පිළිගත්තා. අපේ රටේ ජනතාව එවැනි බොරුවලින් රැවටිය නොහැකි බව දැන් ඔප්පුකර තිබෙනවා. බොරු කරපු, බොරු කියපු සියලු දෙනාම තමන්ට ලැබෙන පළමු අවස්ථාවෙන්ම පරාජය කරන්න ජනතාව දැන් සූදානම්.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ගැන කිසිකෙනෙක් සැකයක් තියා ගන්න එපා. අපි කිසි කෙනෙක් හදිසියේ ඡන්දයට කඩා පාත් වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ කරන්නේ ඇහින්දාස් ක්‍රමයට පිරිසක් ගලවා ගන්නයි. පොහොට්ටුවෙන්, සමගි ජන බලවේගයෙන් වගේම තවත් එහෙන් මෙහෙන් එකතු කරගෙන අටවා ගන්න උත්සාහ කරනවා. මහින්ද රාජපක්ෂලාට එහෙම එකක් වත් නැහැ. සජිත් ප්‍රේමදාසත් තමන්ගේ පිරිස රැක ගනිමින් ඉදිරියට යන්න උත්සාහ කරනවා. ජාතික ජන බලවේගයේ අපි කොළඹදී ජාතික සමුළුව පවත්වා ඉන්පසුව දිස්ත්‍රික් සමුළු පවත්වා ආසන සමුළු පවත්වා විධායක සභා සහ සංවිධාන මණ්ඩල පත්කර ගනිමින් ක්‍රියාත්මක වූනා. අවසන් වශයෙන් ග්‍රාමසේවා කොට්ඨාශ මට්ටමින් කොට්ඨාශ සභා පිහිටවූවා. මේ ආකාරයට දැවැන්ත සංවිධාන ජාලයක් වටා මේ රට වෙනුවෙන් කැපවී ක්‍රියාකරන්න සූදානම් එක්සත් ජාතික පක්ෂයේ පොහොට්ටුවේ සියලු දෙනා එකතු කර ගත්තා. එතනින් නතර නොවී කාන්තාවක් එකතුකර ගනිමින් “ගැහැනු අපි එක මිටට” සංවිධාන ගොඩනැගුවා. දස දහස් ගණන් කාන්තා බලවේග සංවිධාන දේශපාලනයට එකතු කර ගත්තා. ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකය, විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ එකතුව, නීතිඥවරුන්ගේ එකතුව, වෛද්‍යවරුන්ගේ එකතුව, ඉංජිනේරුවන්ගේ එකතුව ඇතුළුව සියලු බලවේග උඩින් වගේම බිම් මට්ටම දක්වා එකතු කර ගනිමින් රට පරිවර්තනය කළ හැකි මහා ජන බලයක් ගොඩනැගුවා. අපේ රටේ පොදු ජනතාව මාලිමාව දිනවනවා කියන විශ්වාසයෙන් කටයුතු කරනවා.

අපට විතරක් නොවෙයි, රනිල්ටත් විශ්වාසය තිබෙනවා මාලිමාව දිනනවා කියලා. රනිල්ට මේ ජනාධිපතිවරණය පහසුවෙන් දිනන්න හැකි නම්, ජනාධිපතිවරණය කල් දැමීමට ක්‍රම සොයන්නේ නැහැ. ඔවුන් ජනාධිපතිවරණයෙන් පළා යාමට උත්සාහ කිරීමෙන් තහවුරු වන්නේ මාලිමාවේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන බවයි. අපි මාලිමාව දිනවන්නේ මේ තිබෙන ආණ්ඩු වෙනුවට ආණ්ඩුවක් හදන්න හෝ දැන් ඉන්න ජනාධිපතිවෙනුවට වෙන ජනාධිපති කෙනෙක් පත් කරගන්න විතරක් නොවෙයි. අපි ගොඩනගන ආණ්ඩුවට විතරක් කළ නොහැකි අපි හැමෝම එකතු වී ගැඹුරු සමජ වෙනසක් සිදුකරමින් රට ගොඩනැගීමේ අභියෝගයක් අප ඉදිරියේ තිබෙනවා.

Kaluthara-Public-Rally

ජාතික පුනරුද යුගයක් අපි ඇති කරන්න ඕනෑ. ලෝකයේ රටවල් වේගයෙන් ඉස්සරහට ගියත්, සිටි පාලකයන් පසුගිය සියවසේදී අපේ රට ගෙනගියේ ආපස්සට. නිදහස ලබන විට ආසියාවේ දෙවැනි ශක්තිමත්ම ආර්ථිකයක් තිබුණු ලංකාව අද ආසියානු ආර්ථිකයේ අන්තිමයා. නිදහස ලබන විට විදේශවලට ණය නොවී තිබුණු ලංකාව අද ණය ගෙවා ගන්න බැරිව බංකොලොත් වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සෙන් ගිහිල්ලා කෙඳිරි ගගා ණය ආපසු ගෙවීම කල්දමාගෙන තිබෙනවා. අපිට අතීතයේ දැවැන්ත ශ්‍රී විභූතියක් තිබුණු බව අපි කවුරුත් දන්නාව. නව පාලකයන් කළේ නැවත පැරකුම් යුගයක් ගොඩනගමු කියලා මායාවක් ඉදිරි පත් කළා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ දුටු ගැමුණු ගැන චිත්‍රපටි හදලා අතීතයට ගෙන යන්න උත්සාහ කළා.
මැලේසියාව කෘෂිකර්මාන්තයේ අලුත් බීජ සොයා ගනිමින් ඉදිරියට යන කොට අපේ රටේ මැලේසියාවෙන් ගෙන් වූ දේවල් පාර අයිනේ විකුණන තත්වයට පත් වුණා. මැලේසියාවේ සියඹලාත් තිබෙනවා. අනෙකුත් රටවල් විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයේත් පිමි පනිමින් යනකොට, පාලකයන් විසින් අපේ රටට විසිවැනි සියවස මගහරිනු ලැබුවා. ඒ නිසා 21වැනි සියවස වෙනුවෙන් අපේ රටට පුනරුද යුගයේ පිම්මක් පනින්න ඕනෑ. ඒ නිසා මෙය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන හෝ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන මැතිවරණයක් නොවයි. රට පිම්මක් පැනීම වෙනුවෙන් සියලු බලවේග එක්කර ගන්නා අවස්ථාවක්. ඒ වෙනුවෙන් සමස්ත ජනතාවම සම්බන්ධ කරගත් ජන සහභාගිත්ව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟනවා. සියඹලාණ්ඩුවට, වව්නියාවට, කිලිනොච්චියට නොගිය සංවර්ධනය ජනතාව කරා ගෙනියන්න ඕනෑ. පහළ සිටි උඩට වගේම කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා ජනතාවට සාධාරණ ලෙස බෙදී යන යාන්ත්‍රණයක් ගොඩනඟන්න ඕනෑ. රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් කරන තුරු සහන ලබාදී සහන නොමැතිව දෙපයින් සිටිය හැකි ජනතාවක් මේ රටේ බිහිකරනවා. මේ කටයුතු කරන්න ගියාම අපෙන් නිතර අහන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

ජේ.වී.පී. සහ එන්.පී.පී. එක ගැන ප්‍රශ්නකරන ගොඩක් දෙනෙකුට මේ මහජන ව්‍යාපාරය තේරුම් ගන්න බැහැ. මෙයට පෙර තිබෙන්නේ ඡන්දයක් කිට්ටු වෙද්දී සංධාන පිහිටුවාගෙන මන්ත්‍රී ධුර, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර වගේම ඇමති ධුර බෙදාගන්න දේශපාලනයක්. අපට මොනවාද දෙන්නේ? කියලා අහන කිසිවෙකුත් එන්.පී.පී. වේදිකාවල නැහැ. අපි ඔක්කෝම එකතු වෙලා රටට යමක් කරන්නේ කොහොමද කියලා අධිෂ්ඨානය තිබෙන පිරිසක් අප වටා එකතුවී ඉන්නවා. පුනරුද යුගයේ ප්‍රධාන කටයුත්තක් ලෙස ශ්‍රී ලාංකික ජාතිය ගොඩනඟන්න තිබෙනවා. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගුනාම සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජනතාවන්ගේ අනන්‍යතාවයන් ඒ තුළ ආරක්ෂා වෙනවා. මාලිමාව නිර්මාණය වී තිබෙන විවිධ සංවිධානවල අනන්‍යතාව වෙන වෙනම තිබියදී, බිඳ වැට්ටූ රට ගොඩනැගීමේ පුනරුද යුගයේ කාර්යභාරය වෙනුවෙන් අපි සියලු දෙනා එක්වී කැපවී සිටිනවා. මේ වගේ බලවේගයක් වෙන කාටවත් නැහැ. වරාය හා නාවික ඇමති ධුරය රෝහිත අබේගුණවර්ධන වැනි කෙනෙකුට දුන් අය, අපේ ආණ්ඩුවක ඇමති මණ්ඩලයට පත්කරන්න අයගේ සුදුසුකම් අහනවා. මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවෙලා සිටි සමයේ ක්ෂුද්‍ර ජීවීන් නැති කාබනික පොහොර චීනයෙන් ගේනවා කිව්වා. නමුත් මාලිමාව වටා එක් එක් ක්ෂේත්‍රවල ඉහළම හැකියාවන් තිබෙන වෘත්තිකයන් පෙළ ගැසී සිටිනවා.

අපි සම්බන්ධයෙන් කලබලවී සිටින සතුරන් අපේ කතා විකෘති කරමින් ජනතාව බිය ගන්වන ප්‍රචාර යවනවා. අපිට ගල් ගහලා මඩ ගහලා වට්ටන්න බැරි බව සතුරන්ට අවධාරණයෙන් මතක් කරනවා. අපේ කතා විකෘති කර, ප්‍රචාරය කිරීම නිසා කළබල වෙන අයට අපි සම්පූර්ණ කතාව බලන්න කීවාම අපේ කතා අඩංගු වීඩියෝ සම්පූර්ණයෙන්ම අහන අය වැඩිවෙනවා. ඒ තුළින් වඩා හොඳින් ඇත්ත අවබෝධ කර ගන්නා ජනතාව ඔවුන්ව අත්හැර අප වටා එකතු වෙනවා. අපට මඩ ගහන රූපවාහිනී නාලිකා වේගයෙන් ප්‍රතික්ෂේප කෙරෙමින් යනවා. අපට මඩ ගහන යූ ටියුබ් නාලිකා ජනතාවගෙන් වේගයෙන් ප්‍රතික්ෂේප වෙමින් යනවා. මඩ අවලාදවලින් මේ ජන ගඟ නවත්වන්න බැරි බව තහවුරු වී තිබෙනවා. “බාධක දැක පෙරමුණේ – මොන නදියද නැවතුණේ” කියලා කතාවක් තිබෙනවා. ගංඟාවක් ගැලීම බාධක නිසා නතර වෙන්නේ නැහැ. මාලිමාව සියලු බාධක මැඩගෙන ඉදිරියට යනවා. අපි හැමෝම ජනාධිපතිවරණය දක්වා එකට එකතු වී කිසිවෙකුට පරාජය කළ නොහැකි මහජන ප්‍රවාහය ගොඩනඟා පෙරටම යන්න ඕනෑ. ජයග්‍රහණය තිබෙන්නේ අපි අතේ. අතීතය සතුරන් සතුවේ. අනාගතය මහජනතාව සතුවේ. අපි හැමදෙනාම එකතු වී පොදු ජනතාව දිනවමු. ජනාධිපතිවරයෙක් පත්කරගෙන ජනතාවාදී පාලනයක් පිහිටුවා රට දිනවමු.

Kaluthara-Public-Rally

“පුනරුද යුගය තුළ පුරවැසි ඉතිහාසය ලිවීමේ අයිතිය ලැබෙන්නේ පුරවැසියන්ටමයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය-

අපි එදා සිතුවා රට පාලනය කළ නායකයන් අපේ සිහිනත්, බලාපොරොත්තුත් විනාශ කළා කියලා. අද ඒක වෙනස් වෙලා. ඒ වෙනස කළේ ඔබ. නමුත් රටේ පාලකයන් වෙනස් වෙලා නැහැ. ඒ දූෂිත, ජඩ දේශපාලනය ඉවර කිරීම සඳහා මේ රටේ පුරවැසියන් හැටියට එක අරමුණකින්, සාමූහිකව එකතු වෙලා අපි සියලු දෙනා තුළම නැවත වතාවක් බලාපොරොත්තු ඇති කර තිබෙනවා; සිහින දකින්න අවස්ථාවක් උදාකර තියෙනවා. නැවුම් බලාපොරොත්තු සහිතව, මේ රට ගොඩගැනීම සඳහා අපට එකතු වෙන්න පුළුවන් වෙලා තියෙනවා.

අපේ බලාපොරොත්තු මොනවාද? මේ දුෂ්ට පාලනය වෙනස් කරලා, මේ රටේ ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනාධිපති සහෝදරයෙක් අපිට පත්කර ගන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා ජනාධිපති ලෙස පත්වෙලා පැය 24ක් යාමට පෙර පාර්ලිමේන්තුව විසුරුවන බව ප්‍රකාශ කර තිබෙනවා. එවිට දූෂිත පාර්ලිමේන්තුව සුද්ද කරලා අපට අවශ්‍ය පරිදි, ජනතාවාදී, ජනතාව ගැන හිතන අලුත් මහජන නියෝජිතයන් පත්කර ගන්න, අවස්ථාවක් උදාවෙනවා. මේ කරුණු දෙක සම්පූර්ණ කර ගත්තාට පසුව රට හදන වැඩේ පටන් ගන්න අපට හැකිවෙනවා.

පළමු වැනි දිනයේ සිට අපේ ක්‍රියාකාරකම්වල, අපේ භාවිතයෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කර ගන්නවා. දේශපාලනඥයාගේ සීමාව තේරුම් ගන්න දත්ත විද්‍යාව මත ජනතාව පෙරදැරි කරගත් ජනතා කේන්ද්‍රීය ප්‍රතිපත්ති හදන දේශපාලන සංස්කෘතියක් අපි ආරම්භ කරනවා. දේශපාලනය කියන්නේ වරප්‍රසාදවලට කෑදරකමින් ඉන්න තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය වෙනුවෙන් වැඩකරනවා වෙනුවට, ජනතාවට අවංකව සේවය කරන ජනතාවට වග වෙන රාජ්‍ය යාන්ත්‍රණයක් අපි පත්කරනවා. ඒ යාන්ත්‍රණය හරහා අලුතින් නිර්මාණය කරන අලුත් බලාපොරොත්තු එක්ක සාමූහික ප්‍රතිපත්තිවලට අනුව වැඩකරන නිලධාරීන් සමග දේශපාලන නායකත්වය ඒකාබද්ධ කොට මේ රට ක්‍රමානුකූලව ගොඩනැගීමේ පුනරුද යුගය අපි ආරම්භ කරනවා.

අලුත් ආර්ථික ක්‍රමවේදයක් අපිට අවශ්‍යයි. ජනතාව කේන්ද්‍රීය කරගත්, ජන සහභාගිත්වය ලබා ගන්න, නිෂ්පාදනය වැඩිකරන ආර්ථිකයක් අපට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය වන දත්ත, ප්‍රතිපත්ති, විද්‍යාත්මක පර්යේෂණ, කරන්න පටන් ගන්න ඕනෑ. ඒ අවශ්‍යතාවය මූලික කරගෙන ලංකාවේ පළමුවැනි වතාවට විද්‍යාඥයන් විශාල සංඛ්‍යාවක් එකතුවෙලා රටේ සංවර්ධනයට අවශ්‍ය පර්යේෂණ මොනවාද යන්න සාකච්ඡා කරන්න අපේ පර්යේෂණ ප්‍රතිපත්ති අපි එළිදැක්වූවා. එවැනි ආර්ථිකයක අපි සියලු දෙනාගේ සහභාගිත්වය ලබාගෙන ශක්තිමත් ආර්ථියක් අපි ගොඩනඟනවා. මේ රටේ 52%ක් වන ගැහැනුන්ට, තමන්ගේ සුරැකුම් වැඩවලට වටිනාකමක් දෙන, සමාජ වගකීමක් අරගෙන තමන්ගේ රැකියාවන් නිදහසේ කරන්න හැකිවෙන රාජ්‍ය මැදිහත්වීම් තුළින් ඒ සුරැකුම් වැඩවල බර අඩුකරමින් ඒ හදන ව්‍යුහය තුළ, කාන්තාවන්ට මේ ආර්ථිකයේ සමාන කොටස්කරුවන් විය හැකි ආර්ථිකයක් අපි ගොඩනඟනවා. ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ අපි සියලු දෙනාටම සාධාරණය භුක්ති විඳීමට හැකි ක්‍රමවේදයක් අපි සකස් කරනවා. ඒ සියල්ල කරන්න අපේ මානව සම්පත රැකගන්න ඕනෑ. මහජන සේවාවන් තුළින් ජනතාවට සේවයක් වන, ජනතාවට විශ්වාසයක් ඇතිවෙන ආකාරයෙන් මහජන සේවාවන් ලැබෙන ආකාරයේ පරිවර්තනයක් අපි සකස් කර ගත යුතුයි.

Kaluthara-Public-Rally

අධ්‍යාපනය ලබන දරුවෙකු පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා අරමුණක් සහිතව රැක ගනිමින්, සමාජ වගකීම ලැබෙන, සමාජයෙන් තමාට ලැබෙන වගකීම ගැන ආකල්ප වර්ධනයක් ඇති කරන, ආර්ථිකයට සම්බන්ධ වීමට අවශ්‍ය කුසලතා ලබා ලබාදෙන, සමාජ සංවර්ධනයට සහභාගි විය හැකි තත්වයක් ගොඩනගනවා. සමාජයට නායකත්වය දෙන්න පුළුවන් වන පුරවැසියෙක් බිහිකරන අධ්‍යාපනයක් අපි ක්‍රමානුකූලව ලබා දෙනවා. නිරෝගී පුරවැසියෙක් බිහිකරන, ආරක්ෂා කරන සෞඛ්‍ය සේවයක් අපි ගොඩනගනවා. මහජනතාවගේ අවශ්‍යතාවයන් අනුව, ජනතාවට සංවේදී වන, මහජන ප්‍රවාහන සේවයක් අපි හදනවා.

අපේ ගැහැනුන්ට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙන ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගත යුතුයි. කිසිවෙකු කුසගින්නේ ඉන්න ඉඩ නොතබන අතර, පෝෂණයෙන් සම්පූර්ණ වූ, ආහාරවල ගුණාත්මකභාවය ගැන සැකයෙන් ජීවත් වෙන්න ඉඩ තබන්නේ නැහැ. ඒ වගේම අපට ශක්තිමත් සමාජ ආරක්ෂණයක් අවශ්‍යයි. සමාජයේ සියලුම කොටස් ආබාධිත සහිත වූවන්, විශේෂිත උදව් අවශ්‍ය වන ගැහැනුන්, දරුවන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සියලු දෙනා ආරක්ෂා වෙන ආයතන පද්ධතියක් අපට අවශ්‍යයි. කිසිවෙක් අසරණ විය යුතු නැහැ. සියලු දෙනා වෙනුවෙන් වගකියන, සියලු දෙනා රැකගන්නා, සමාජ ආරක්ෂණයක් අපි ගොඩනඟනවා. ඒ වගේම මේ රටට නීතියේ ආධිපත්‍යය අවශ්‍යයි. කිසිවෙකුට හෝ වෙනස්කොට නොසලකන, නීතියේ ආධිපත්‍යය, යුක්තිය, සාධාරණත්වය තහවුරු කරන නීති පද්ධතියක්, අධිකරණ ක්‍රියාවලියක් අපි හදනවා. මේ සියල්ල කර ගැනීම සඳහා අපට ශක්තිමත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ ව්‍යවස්ථාව තුළ ජනතා පරමාධිපත්‍යයට මුල්තැන දෙන, ප්‍රජාතන්ත්‍රවාදයේ පුළුල්ම අර්ථය දෙන ආකාරයෙන් සකස් කරනවා. ශ්‍රී ලංකා පුරවැසියෙක් කියන්නේ මැතිවරණයකදී කතිරයක් ගහන එක්කෙනෙකුට එහා යන තමන්ට පාලනයට ඍජුව සම්බන්ධ විය හැකි, තමාගේ පරමාධිපත්‍යය ක්‍රියාවට නැංවිය හැකි, තමාගේ මූලික අයිතිවාසිකම් තහවුරු වෙන, ආරක්ෂා වෙන අලුත් ව්‍යවස්ථාවක් හදන ක්‍රියාවලිය අපි ආරම්භ කරනවා.

අපි දශක ගණනාවක් ලේ වැගිරූ රටක්. ඒවාට මූලයක් වූ ජාතික අසමගිය වෙනුවට ජාතික සමගිය අපි ඇති කරනවා. කිසිදු පුරවැසියෙකුට වෙනස් කොට නොසලකන, දෙවන ගණයේ පුරවැසියෙක් ලෙස හැඟෙන්නේ නැති සියලු දෙනාටම ශ්‍රී ලාංකේය අනන්‍යතාවයක් සහිතව තමන්ගේ සංස්කෘතික අයිතිවාසිකම්, භාෂාව, ආගම අභිමානයෙන් රැක ගත හැකි සමාජයක් අපි ගොඩනඟනවා. සියලු දෙනාම පිළිගන්න, සමාජය තුළ තිබෙන විවිධත්වය ඇගයිය හැකි ජාතික සමගියක් සහිත රටක් අපි ගොඩනඟනවා.

අපි බලාපොරොත්තුවෙන පුනරුදය, ගැඹුරු සමාජ පරිවර්තනය කියන්නේ ජනතාවගේ යුගය ආරම්භ වන කාලයයි. අපි වසර 2500ක ඉතිහාසයක් ගැනත් වසර 75ක ඉතිහාසයත් ගැන කතා කළා. අපිට කියවන්න, අහන්න ලැබෙන්නේ පාලකයන්ගේ පැත්තෙන් ලියැවුණු ඉතිහාසයක්. ඒ ඉතිහාසයේ වීරයන් වීරවරියන් බවට පත්කරලා තිබෙන්නේ පාලකයන්, නැතිනම් ප්‍රභූ පැළැන්තියේ අය. රජවරුන්ගේ, සිටුවරුන්ගේ, ජනාධිපතිවරුන්ගේ කතා අහන්න ලැබෙනවා. අගමැතිවරු, ඇමතිවරු ගැන දන්නවා. මේ රටේ ඇත්තම වීරවරුන් වීරවරියන් වන්නේ මේ රටේ ජනතාවයි. සියලු අර්බුද දරාගනිමින්, ඒවාට මුහුණ දෙමින්, රට වැටෙන්න නොදී අල්ලාගෙන ගියේ මේ රටේ ජනතාව, මේ රටේ පුරවැසියන්. නමුත් පුරවැසියන්ගේ ඉතිහාසය ගැන අහන්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ පුනරුද යුගය තුළ අපි ලියන්නේ පුරවැසියන්ගේ ඉතිහාසය. ඒ ලිවීමේ අයිතිය පුරවැසියන් ලබා ගන්නවා. 2024න් පසුව අපි ආරම්භ කරන්නෙත් පුරවැසියන් බාර ගන්න, පුරවැසියන් ලියන, පුරවැසියන් නිර්මාණය කරන ඉතිහාසයක්. ඒක තමයි පුනරුද යුගය තුළ සිදුවෙන විශේෂිතම දෙය. ප්‍රභූ පැළැන්තියෙන් මිදුණු පුරවැසි යුගයක් අපි ආරම්භ කරනවා. ඒ වෙනුවෙන් තමයි, ඒකෙ කොටස්කරුවන් වන ඔබ සියලු දෙනා මෙතනට එකතු වී සිටින්නේ. ඒ පුනරුද යුගය ළඟාකර ගැනීම සිහිනයක්, බලාපොරොත්තුවක් පමණක් නොවෙයි, එය යථාර්ථයක්, අත්දැකීමක්, අපේ ජීවිතය බවට පත්කර ගනිමු.

Kaluthara-Public-Rally

“ලංකාව පුනරුදය කරා ගෙනයාමේත් ඊට නායකත්වය දීමේත් හැකියාව මාලිමාව සතුයි”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය ලියනගේ අමරකීර්ති-

නිලන්ති සහෝදරිය ‘උබුන්ටු’ වචනය කියන කොට මගේ දෙසවනට සංගීතය වගෙයි. දකූණු අප්‍රිකානු ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවේ ‘උබුන්ටු’ කියන වචනය නොදියුණු ගෝත්‍රික වචනයක් නොවෙයි. මානව සහෝදරත්වය පිළිබඳ උණුසුම් වචනයක්. මේ තමයි අපේ උබුන්ටු. මේ තමයි අපේ සහෝදරත්වය. මේ තමයි අපේ අනෙකා පිළිබඳ කැපවීම, කැක්කුම.

අද මම මෙතන කතා කරන්නේ ඉතාම ආත්මාර්ථකාමී ආශාවකින්. මම වැඩිහිටි වියේ පසුවෙන්නෙක්. මට වුණු හිරිහැරයකින් නිදහස් වෙන්න මට ආසයි. ඒක මගේ ආත්මාර්ථකාමී ආසාවක්. රූපවාහිනිය බලනකොට, පත්තරයක් කියවනකොට මගේ වැඩිහිටි ජීවිතය පුරාම ඇස් දෙකට හිරිහැරයක් වුණු කරදරයකින් නිදහස් වෙන්න මට ආසයි. ප්‍රවෘත්ති අහනකොට කණට හිරිහැරයක් වුණු කන් කරච්චලයකින් නිදහස් වෙන්න මට ආසයි. මගේ දෙසවන් වේදනාවට පත්කරන කරදරය කුමක්ද? මේ රටේ පාර්ලිමේන්තුවේ, ප්‍රධාන දේශපාලන පක්ෂවල ඉඳගෙන මේ රට පාලනය කරන මිනිස්සුන්ගේ මුහුණු කටහඬවල් පුදුමාකාර හිංසනයක්. ඔක්තෝබර් මාසෙ, ඒ හිංසනයෙන් මිදෙන්න මට අවශ්‍යයි. මේක ආත්මාර්ථකාමී ආශාවක්. ඔබ හැමදෙනා තුළ එවැනි ආත්මාර්ථකාමී ආශාවක් නැද්ද? ඒ තමයි අපේ උබුන්ටු. ඒ තමයි සහෝදරත්වය. ඒ තමයි රට වෙනුවෙන් කැක්කුම. ඒ තමයි අනෙකා පිළිබඳ කැක්කුම. ඒක සාමූහික ආශාවක්. සාමූහික ප්‍රාර්ථනයක්. සාමූහික සිහිනයක්. අනුර කියන්නේ අපේ සාමූහික සිහිනයේ අනුරුව. අපේ සාමූහික ආශාවේ අනුරාගය. අපේ ප්‍රාර්ථනාවේ අනු කෘතිය.

ලංකවේ දේශපාලන ක්ෂේත්‍රයේ මේ වෙලාවේ ඉන්න ඉතාම පරිපූර්ණ, දැක්මක් ඇති දේශපාලනඥයා ඔහුයි. ඔහු අපේ නායකයා. ඔහු අපේ හදවත. ඉදිරි මාස කිහිපය තුළදී ඒ අනුරුව හඹා යමු. අලුත් ලංකාවක් පිළිබඳව සිහින දකින ආශාවට හැකියාව, දැනුම එක්කරමු. අපේ සිහිනයට ප්‍රඥාව එකතු කිරීමේ, සබුද්ධිකත්වය එකතු කිරීමේ ආශාව තමයි ජාතික ජන බලවේගයේ සාර්ථකත්වයත්, අනුර සහෝදරයාගේ සාර්ථකත්වයත්. මේ රටේ කීර්තිමත් අනාගතය දෙස බලා ඉඳිමු. ඒ අනාගතය වර්තමානය බවට පත්වෙන දිනය ආසන්නයි. ජාතික ජන බලවේගයේ එක ශක්තියක් තමයි ප්‍රඥාවේ මූලාශ්‍ර තිබෙන්නේ කොහේද, ඒ ඕනෑම තැනකින් උකහා ගැනීමේ විවෘතභාවය, සුඛ නම්‍යතාවය අපට තිබෙනවා. ඒක එක ශක්තියක්. ලංකාවට පුනරුදයක් අවශ්‍යයි. ලංකාව පුනරුදය කරා ගෙනයාමේ හැකියාවත් නායකත්වයත් දීමේ හැකියාවත් අපට තිබෙනවා.

පුනරුදයකරා යාමට මනුෂ්‍යත්වයට එරෙහි පාපයන් 11 පරාජය කිරීම අවශ්‍යයි. යුක්තිය මත පදනම් වූ ප්‍රතිපත්තිමය මූලධර්මයන් නැති දේශපාලනය අපි පරාජය කළ යුතුයි. ඒ ප්‍රතිපත්තිමය පදනමක් නැති දේශපාලනය පාපයක්. ඒ පාපය අපි ගාව නැහැ. දෙවැනි පාපය විනෝදය. අපේ රටේ දේශපාලකයෝ, ජනාධිපති පුත්තු කොවිඩ් 19 ඇතුලේ, සාගතය ඇතුලෙ මුහුදු ක්‍රීඩාවලට ගිහින් හිටියා. ඒ විනෝදය පාපයක්. දේශපාලකයන්ගේ රාත්‍රී ජීවිතය බැලුවොත් හෘදය සාක්ෂියක් නැති විනෝද ජීවිතයක්. වැඩ කිරීමෙන් තොර ධනය පාපයක්. ජාතික ජන බලවේගයේ සාර්ථකත්වයට හේතුවක් තමයි, මේ රටේ දේශපාලන පංතියේ චෞර වළල්ල ගැන අනුර සහෝදරයා විසින් හෙළිදරව් කිරීම. ඒ පාපය පරාජය කිරීමේ ශක්තිය හැකියාව තිබෙන්නේ ජාතික ජන බලවේගයටයි. චරිතයෙන් තොර දැනුම, හතරවැනි පාපය. ජනතාව සමග සාමූහික විමුක්තිය පැත්තේ හිටගන්න චරිත ශක්තිය නැත්නම් ඒක දැනුමක් නොවෙයි. ඒක චරිතයෙන් තොර දැනුම. පස්වැනි පාපය ආචාරධර්මවලින් තොර ව්‍යාපාර. අපේ සාමාන්‍ය මනුස්සයා කුසගින්නේ මැරෙද්දී, ලෙඩරෝගවලින් මැරෙද්දී, ඔවුන් වෙනුවෙන් ගේන ඇන්ටිජන්වලින් හොරාකන ව්‍යාපාරිකයා ආචාරධර්ම නැති, හොඳ නරක පිළිබඳ තර්කනයක් නැති ව්‍යාපාරිකයෙක්. හයවැනි පාපය මනුෂ්‍යත්වයෙන් තොර විද්‍යාව. මේ විද්‍යාවෙන් ඵලයක් තිබෙනවාද, ඒක මනුෂ්‍යත්වයට, පොදු සහෝදරත්වයට සේවය කරන්නේ නැතිනම්. ඒක තමයි අද විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති එළිදක්වන වෙලාවෙදි විද්‍යාඥයන් ඇහුවේ. කරුණාවෙන් තොර ආගම හත්වැනි පාපය. බෞද්ධ ආගම හෝ වෙන ආගමක් හෝ විය හැකියි. වගකීමෙන් තොර අයිතිවාසිකම් පාපයක්. අපේ වගකීම් පිළිබඳව කිසිදු හැඟීමක් නැතිව අයිතිවාසිකම් විතරක් හඹා යනවා නම් ඒක පාපයක්. ජාතික ජන බලවේගයේ පුනරුද යුගය කරා යාමට එකතු කරන්නේ ඒ පාපයන්ට දායක නොවෙන මිනිස්සු. ඊළඟ පාපය වගවීමෙන් තොර බලය. මේ රටේ සියලුම බලය ආර්ථික, මූල්‍යමය, සන්නද්ධ, සංස්කෘතික බලය බාරදෙන කොට ඒක වගවීමක්. ඔක්තෝබර් මාසයේ තමන් අතට එන මේ අසීමිත බලය වගවීමෙන් පාවිච්චි කරන්නේ අනුර කුමාර සහෝදර ජනාධිපතිවරයා. කල්පැවැත්මෙන් තොර සංවර්ධනයත් පාපයක්. අපේ පරිසර පද්ධතිය, සතා සීපාවා, අපේ ගහ කොළ, අපේ මනුෂ්‍යයෝ විනාශ කරන සංවර්ධනයක් නොවෙයි අපේ පුනරුදයේ සංවර්ධනය. ඊළඟ පාපය යුක්තියෙන් තොර නීතිය. දැන් ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ පොඩි සිදුරක් සොයන්නේ කුමකටද? රිංගන්න නීතිමය හිස්තැනක්, ගැලවිල්ලක්, මිසක් යුක්තිය නොවෙයි සොයන්නේ. අපේ රැස්වීම්වලට එකතුවෙලා ඉන්න මහජනතාව යුක්තියේ පැත්තේ හිටගෙන ඉන්නකොට, නීතියේ කොපමණ හිල් තිබුණත් අපි ඒවා පරාජය කරනවා.

මේ මා ඉදිරිපත් කළ පාපයන් එකොළහ පරාජය කළ සුඛිත මුදිත සමාජයක්, සහජීවනයෙන් යුතු සමාජයක් බිහිකළ හැකි දේශපාලන බලවේගයක් තිබේ නම් ඒ ජාතික ජන බලවේගය පමණයි. ඊට නායකත්වය දිය හැකි අපේ සිහිනයේ අනු රාවය වන්නේ අනුර කුමාර දිසානායක. මේ ඉදිරියට එන සති කිහිපයේ මේ පෙරළිය කරා යන ගමන අපි එකාවන්ව යමු. තව තවත් එකතු කර ගනිමු. අපි හැමෝගෙම මුහුණුවල සතුටු කඳුළු දිදුලන දවස කරා යමු.