-Colombo, January 25, 2024-
(කළුතර දිස්ත්‍රික් ධීවර සමුළුව | සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය)
අද ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, ඇතුළු සියලුම කර්මාන්ත, ව්‍යාපාර වගේම රටේම ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වට්ටලා තිබෙනවා. මේ බේරුවල නගරය මැණික් කර්මාන්තයට වගේම සංචාරක කර්මාන්තයට ඉතා ප්‍රසිද්ධයි. ඒවා සියල්ලම බිඳවට්ටලා තිබෙන්නේ. අපේ සමස්ත ආර්ථිකයම බිඳ වට්ටලා. අපි බංකොළොත් වුණු රටක ජීවත්වෙන්නේ. මහ බැංකුවේ ප්‍රධානින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා ‘අපේ රට බංකොළොත්’ අපි ගත් ණය ගෙවන්න බැහැ කියලා. මේ පාලකයෝ පෙබරවාරි 04වෙනිදාට 76 වැනි නිදහස් දිනය සමරන්න සූදානම් වෙනවා. එදාට මුහුදට වෙඩි තියලා, සංදර්ශන පවත්වලා, ජනාධිපති, අගමැති රටේ සංවර්ධනය පිළිබඳව, නිදහසෙන් අපට ලැබුණු දේවල් ගැන, අනාගතේ රට හදන්නේ කොහොමද කියල පම්පෝරි ගහයි. මෙපමණ කාලයක් නිදහස් උත්සවවලදි රට හදන හැටි තමයි ප්‍රකාශ කළේ. හැදුවේ කොහොමද කියලා කිව්වේ නැහැ.
නමුත් 76වසරක් ගෙවුණු තැන ධීවරයාට ඒ කර්මාන්තයෙන් ජීවත්වෙන්න බැරිකරලා. ජනතාවට කුමක් හෝ නිෂ්පාදන මාර්ගයකින් ජීවත් වෙන්න බැරිකර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ තේ, රබර් කර්මාන්ත කඩා වැටිලා. මේ කඩා වැටීම අහම්බයක් නොවෙයි. විශේෂයෙන් පසුගිය වසර 45ක කාලය විසින් අපේ රටේ සියලුම නිෂ්පාදන වට්ටලා තිබෙනවා. අපේ පාලකයෝ ණය ගත්තා, හොරා කෑවා, නිෂ්පාදන මාර්ග දියුණු කළේ නැහැ. ගත්තු ණය ගෙවාගන්න බැරිව අපි බංකොළොත් වෙලා ඉන්නවා. අපිට විදේශ සංචිත නැහැ. අපිට තෙල් පෝලිම්, ගෑස් පෝලිම්වල ඉන්න සිදුවුණා. ඒ අපිට ඒවට ගෙවන්න ඩොලර් තිබුණේ නැති නිසා. අපි ඩොලර් උත්පාදනය කළේ නැහැ. තිබුණු ඩොලර්වලින් තමයි අපට අවශ්‍ය දේවල් ගේන්නත්, ණය ගෙවන්නත් සිදුවුණේ. ඒ දෙකම කරන්න බැරි නිසා අවුරුදු දෙකක් තිස්සේ අපි ණය ගෙවන්නේ නැහැ. ඒ නිසා තිබෙන ඩොලර්වලින් බඩු ටිකක් ගේන්න හැකියාව ලැබුණා. අපි ඉන්නේ විදේශ වත්කම් නැති රටක. අපිට විදේශ සම්පත් ඉපයිය හැකි මහා සම්පත් තිබුණත් ඒවා ප්‍රයෝජනයක් නොගෙන නාස්තිවෙමින් යනවා. රටක් මෙවැනි තත්වයකට වැටෙන්න ඕනද?
ධීවර කර්මාන්තය ගැන දන්න, දක්ෂ හැකියාව ඇති ධීවර ජනතාවක් රටේ ඉන්නවා. ඒ අයට ඵල නෙලාගන්න අවස්ථාව, පහසුකම් ටික ආණ්ඩුව ලබාදුන්නොත් ඩොලර් උපයන්න පුළුවන්. ලෝකයේ මුහුදක් තිබෙන සෑම රටකම ලොකුම කර්මාන්තය ධීවර කර්මාන්තය. ජපානය, දකුණු කොරියාව, චීනය, තායිලන්තය, වියට්නාමය මුහුදක් තිබෙන රටවල ධීවර කර්මාන්තය විශාල එකක්. රට වටකර තිබෙන මහා මුහුදෙන් අපට කර්මාන්ත කිහිපයක්ම කළ හැකියි. ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, සුළඟින් විදුලිය උත්පාදනය කරන්න පුළුවන්. ඒවා කරන්න අපේ ආණ්ඩු සමත් වෙලා නැහැ. අපට ආදායම් ලබාගත හැකි ක්ෂේත්‍ර නතර කරලා. කෘෂිකර්මාන්තයට සුදුසු පසක්, දේශගුණයක්, තිබෙනවා. නමුත් ගොවියාට උවමනා සහයෝගය ආණ්ඩුව නොදෙන නිසා කෘෂිකර්මාන්තය කඩා වැටිලා. රට බංකොලොත් කළ මහත්තුරු ආයෙමත් කියනවා මේ රට හදන්න එයාලට පුළුවන් කියලා. බංකොලොත් කළ අයට රටක් හදන්න බැහැ. ඒකයි ඇත්ත. නිෂ්පාදන ආර්ථිකයක් හැදුවේ නැහැ. ණයට කන ආර්ථිකයක් හැදුවා. ඒකෙ ප්‍රතිඵල අපි අත්විඳිමින් ඉන්නවා. ව්‍යාපාර කඩා වැටිලා බැංකුවලට සින්න වෙනවා. සමහරු විකුණලා යනවා. විනාශ වෙච්ච රටක ජනතාව දුක් විඳිමින් ඉන්නවා. අපි අර්බුදය අත්විඳිමින් ඉන්නවා.
මේ අර්බුදය තුළම හොඳ දෙයක් ඉස්මතුවෙමින් තිබෙනවා. මේ මහා ව්‍යසනයෙන් පීඩාවට පත්වුණු ජනතාව ඉතිහාස අත්දැකීම් තුළින් තීරණයක් ගනිමින් ඉන්නවා වසර 76ක් තිස්සේ පවත්වාගෙන ආ වැරදි ආර්ථික ක්‍රමයත්, වැරදි දේශපාලනයත්, එයට නායකත්වය දුන් පාලක කණ්ඩායම් සියල්ලම පළවා හැර, ජනතාවගේ ආණ්ඩුවක් හදන්න සූදානම් වෙලා තිබෙනවා. “හැම කළු වළාකුළක රිදී රේඛාවක් තිබෙනවා වගේ” මාලිමාව වටා එකතු වෙන්න ලැහැස්තියි කියන පණිවිඩය සියලුම බලවේග පෙන්වා දෙමින් තිබෙනවා. අපි ඔබ මේ සියලු දෙනා එකතු කරන්නේ ඡන්දෙ අරගෙන ගෙදර යන්න නොවෙයි. අපි මේ රටේ නිෂ්පාදන නගා සිටුවන්න ඕන. අපේ රටේ නිෂ්පාදනයට දායක වෙන නිෂ්පාදන බලවේගය සංවිධානය කරන්න ඕන. අපි හදන අලුත් ආණ්ඩුවෙන් මහා මුහුද ජයග්‍රහණය කරන්න ධීවර කර්මාන්තයේ යෙදෙන, ධීවර ප්‍රජාව සංවිධානය කරන්න ඕන. අපේ රටේ ආර්ථිකයට ධීවර කර්මාන්තයෙන් ලොකු පංගුවක් එකතු කරන්න අධිෂ්ඨානය ඇති කරන්න තමයි මේ සමුළුව පවත්වන්නේ.
අපි ඉල්ලන දේවල් දෙන්න වත් එයට ඇහුම්කන් දෙන්නවත් මේ ආණ්ඩුව සූදානම් නැහැ. කතා කරන්න හෝ අදහස් පළ කරන්න දෙන්නේ නැහැ. අපි කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා අපේ රටේ සියලු බලවේග, ධීවර ජනතාව, ගොවි ජනතාව, වැඩ කරන ජනතාව, ව්‍යාපාරික ජනතාව හැමෝම අපේ කාර්යන් කරගත හැකි, අපේ දහඩිය මහන්සියට වටිනාකම ලැබෙන, අපේ කාර්යයෙන් රටට යමක් එකතු කළ හැකි අලුත් රටක් හදන්න ඕන. අලුත් නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරන්න ඕන. අපි අලුත් ආණ්ඩුවක් හදන්න ඕන. මේ දිනවල කළ සමීක්ෂණ වාර්තා සියල්ලගෙන්ම ජාතික ජන බලවේගය ඉදිරියෙන් ඉන්නවා. බහුතර ජනයාගේ තේරීම පමණක් නොවෙයි බුද්ධි අංශයේ වාර්තාවලින් පවා හළිවී තිබෙන්නේ අපි ඉදිරියෙන් සිටින බවයි. දැන් රට පාලනය කරන මහත්තුරු බයවෙලා ඉන්නේ. එයාලට ලොකුම අභියෝගය ජාතික ජන බලවේගය බවට පත්වෙලා නිසා. අද අපේ ප්‍රතිපත්ති ගැන නොවෙයි එයාලා කතා කරන්නේ. මඩ, අවලාද නගන එක. එයින් පෙනෙන්නේ අපි බලවේගයක් ලෙස කොතරම් ශක්තිමත්ද කියන එකයි.
මේ අර්බුදයෙන් රට ගොඩගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් අපට බදු ගහනවා. ඒගොල්ලෝ කිසිදු කැපකිරීමක් නොකර, අපට කැපකිරීම් කරන්න කියනවා. උපයන විට ගෙවීම් බද්ද දරා ගන්න නෙැහැකිව විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු, රට දාලා ගියා. අයවැයට කලින් පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් වැට් එක වැඩි කළා. 15% තිබුණු බද්ද 18% දක්වා වැඩි කළා. වැට්වලට අදාළ නොවුණු භාණ්ඩ 94කට වැට් බදු ගැසුවා. ඒ භාණ්ඩ අතරට පාසල් උපකරණ. තෙල්, පොහොර, කෘෂි උපකරණ සාමාන්‍ය ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලටම වැට් ගහලා. ඉස්සර ආදායම් ලබන අයගෙන් බදු ගත්තා. අද කිසිම ආදායමක් නැති අයට බදු ගෙවන්න සිදුවෙලා. හැමෝම බදු ගෙවීම සඳහා ටින් අංකයක් ලබාගන්න ඕනෑ. වෙන රටවල්වල බදු අරගෙන අධ්‍යාපනයට, සෞඛ්‍යයට, සුබසාධනයට පහසුකම් සලසනවා. අපේ රටේ බදු අරගන්නවා අධ්‍යාපනයට, සෞඛ්‍යයට කරන වියදම අඩු කරනවා.
අපේ අම්ම තාත්තට සල්ලි නැති නිසා දරුවට උගන්වන්න විදිහක් නැතිවෙනවා. ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න විදිහක් නැහැ. රනිල් වික්‍රමසිංහ වැය ශීර්ෂයකින් අයවැයෙන් සල්ලි වෙන්කරගෙන මාසයයි, ආයෙමත් විදේශ ගමන්වලටයි, වාහන නඩත්තුවලටයි පරිපූරක ඇස්තමේන්තුවෙන් සල්ලි ඉල්ලනවා. ජනාධිපති ධුරයට පත්වෙලා වසරයි, විදේශ ගමන් දාහතරක් ගිහින්. එයා ජනාධිපතිකමේ ඉඳගෙන ආතල් ගන්නවා. මේ වියදම් කරන්නේ ඔබට, අපට බදු ගහලා ගන්න සල්ලි.
නිෂ්පාදන මාර්ග වට්ටලා, ආදායම් මාර්ග නැතිකරලා, අපට බදු ගහලා, බොටුව මිරිකලා සූරා කාලා, චෞර කල්ලියක් සැපසේ, සතුටින්, ජීවත් වෙනවා. ඔබ, අප ඉස්සරහා ලොකු වගකීමක් තිබෙනවා. වට්ටපු ධීවර කර්මාන්තය, මැණික් කර්මාන්තය, වැටී තිබෙන ව්‍යාපාර, කෘෂිකර්මාන්තය, තේ කර්මාන්තය ගොඩගන්න ඕනෑ. ඒකට උදව් කරන්න, දැවැන්ත නිෂ්පාදන ආර්ථිකයට අත දෙන ආණ්ඩුවක් අපි හදා ගන්න ඕනෑ. ඒ සඳහා ප්‍රතිපත්ති තිබෙන, හැකියාව තිබෙන ආණ්ඩුවක් අපි හදා ගන්න ඕනෑ. මේ ආණ්ඩුව අපේ අභිමානය වට්ටලා තිබෙන්නේ. ලෝකයේ කිසිම රටක් වීසා දෙන්නේ නැහැ අපිට. අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ආර්ථික ශක්තියත් ආර්ථික නිදහසත් අපට නැතිවෙලා. ශක්තිමත්, ස්ථාවර ආර්ථිකයක් අපි හදන්න ඕනෑ. නිෂ්පාදන ආර්ථිකයක් හා ඒ නිෂ්පාදනය කාටත් සාධාරණව බෙදෙන ආර්ථිකයක් හදන්න ඕනෑ. අපේ රට සංස්කෘතික වශයෙන් විනාශ කර තිබෙන්නේ. වංචා දූෂණ පිරිලා. නීතියේ ආධිපත්‍යයක් නැහැ. පාතාලයත් පොලීසියේ ඇතැම් නිලධාරීන් මිනීමරණවා. පොලීසියේ අයට යුනිෆෝම් එක ඇඳලා ගෞරවයක් සහිතව රස්සාව කරන්න ඉඩදුන්නේ නැහැ. පොලීසිය දේශපාලනයට යට කළා. ඒ නිසා නීතියේ ආධිපත්‍යය රැකෙන්න ඕන.
සහකම්පනය තිබෙන, සහෝදරත්වයෙන් ජීවත් වෙන ජනතාවක් නිර්මාණය කරන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම්, ජාතීන් අතර ජාතික සමගිය ඇති කරන්න ඕනෑ. රටට ආදරය කරන සියලුම දෙනා එකතු වෙලා මේ රට ගොඩගන්න ඕනෑ. රට ගොඩගත්තොත් ව්‍යාපාර ශක්තිමත් වෙනවා, කෘෂිකර්මාන්තය දියුණු වෙනවා. අපේ අතට මුදල් එනවා. අපට හොඳ ජීවිතයක් ගත කළ හැකිවෙනවා. එකතු වෙන බදු මුදල් වැඩිවෙනවා. අද මිනිසුන්ගේ මිලදී ගැනීම අඩුවෙලා. ආර්ථිකය හැකිලුනාම ආණ්ඩුව බලාපොරොත්තු වෙන බදු එකතු වෙන්නේ නැහැ. ශක්තිමත් ආර්ථිකයක් හැදීම තුළ සමාජය හොඳ වෙනවා. අධ්‍යාපනයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ශක්තිමත් ආර්ථිකයක් හදලා එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා. මේ කියන්නේ සල්ලි බෙදීමක් ගැනද? නැහැ. චීන කියමනක් තිබෙනවා, “මා ඔබට මාළුවෙක් දුන්නොත් ඔබේ කුසගින්න එක වේලකින් නිවාගන්න පුළුවන්. මා ඔබට මාළු අල්ලන ක්‍රමය කියා දුන්නොත් ඔබේ කුසගින්න හැමදාම නිවා ගන්න පුළුවන්.” අපි කළ යුත්තේ මිනිසුන්ට තුන්වේල කන්න පුළුවන් ආර්ථියක් හදන එක. යැපෙන මිනිසුන් නෙවෙයි අපට ඕනේ. තමන්ගේ ධෛර්යයෙන් නැගී සිටින විට ඒකට අත දෙන ආණ්ඩුවක් අපි හදන්න ඕන.
ප්‍රතිලාභ සාධාරණ බෙදෙන ශක්තිමත් ආර්ථිකයක් අපි හදන්න ඕන. කොහොමද ප්‍රතිලාභ බෙදෙන්නේ. ප්‍රතිලාභ වැඩිවීමෙන් අධ්‍යාපනයට වෙන්කරන මුදල් ප්‍රමාණය වැඩිකරනවා. ඔබට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වියදම් කරන්න වෙන්නේ නැහැ. පාසල් අධ්‍යාපනය හොඳින් කරනවා නම්, ටියුෂන් යවන්න ඕන වෙන්නේ නැහැ. ළඟම පාසල හොඳම පාසල කළොත් සියලු පහසුකම් සහිතව හදනවා නම්, අපේ දරුවා ගමේ පාසලට යනවා. වියදම අඩුයි. ආරක්ෂාව සම්බන්ධ ගැටලු නැහැ. දරුවටත් දෙමාපියන්ටත් නිදහස තිබෙනවා. සෞඛ්‍ය සේවයට වැඩිපුර මුදලක් වෙන්කළොත් අපට නොමිලේ බෙහෙත් ටික ලැබෙනවා. පරික්ෂණ පහසුකම්, හදනවා. ඒක තමයි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය. අද ජනතාව ලෙඩ වෙන්න ඇරලා ලෙඞ්ඩුන්ට බෙහෙත් දෙන එක ජාවාරමක් වෙලා. අපි වට්ටපු රට ගොඩගන්න ඕනෑ. අපට තිබෙන ලොකුම සම්පත මහ මුහුද. මේකට අත තියලා නැහැ. අපේ රටට මාළු අල්ලන ට්‍රෝලර් යාත්‍රාවක්, නැවක් නැහැ. ධීවර කර්මාන්තය රටට ආදායම් ගේන කර්මාන්තයක් කරන්න ඕනෑ. ශක්තිමත් ආර්ථියක් හදන, ජනතාවගේ ආණ්ඩුවක්, හදා ගන්න ඕනෑ. ජාතික පිබිදීමක් ඇතිකරන ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපි හැමෝටම තෝරා ගැනීමට තිබෙන එකම බලවේගය ජාතික ජන බලවේගය විතරයි. ඒ නිසා බංකොලොත් වෙච්ච දේශපාලනය පැත්තක දාලා අපේ ශක්තිය ගැන, රටේ සම්පත් ගැන, විශ්වාසය තබමු. ජාතික එකමුතුව නිර්මාණය කරමු. ජාතික පිබිදීමක් හදමු. අලුත් රටක්, අලුත් සමාජයක්, සැමට සතුටින් ජීවත් විය හැකි සමාජයක් හදමු.